චිකාගෝ විශ්වවිද්‍යාලයේදී චොම්ස්කි: අඩු නපුර පිලිබඳ දේශපාලනයේ කැඳහැලිය

Chomsky in Chicago: The thin gruel of lesser-evil politics

මාකස් ඩේ සහ ජෝර්ජ් ගැලනිස් විසිනි, 2016 ඔක්තෝබර් 12

මැසචුසෙට්ස් තාක්ෂන විද්‍යා ආයතනයේ වාග් විද්‍යාව පිලිබඳ ගරු මහාචාර්ය හා එක්සත් ජනපද විදෙස් පිලිවෙත පිලිබඳ ප‍්‍රමුඛ පෙලේ විවේචකයෙක් වන නෝම් චොම්ස්කි, සැප්තැම්බර් 26දා චිකාගෝ සරසවියේ දී කතාවක් පැවැත්වී ය. “බලය සහ දෘෂ්ටිවාදය” යන මැයෙන් යුත් දේශනය සංවිධානය කරන ලද්දේ, ව්‍යාජ-වාම ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයෙහි (අයිඑස් ඕ) ප‍්‍රකාශන ආයතනය වන හේමාකට් බුක්ස්හි අනුග‍්‍රහයෙනි.

චොම්ස්කිට ඇහුම්කන් දීම සඳහා රැස්ව සිටි අය

මෙම සිද්ධිය සැලකිය යුතු අවධානයක් දිනා ගත්ත ද සියල්ලටත් වඩා න්‍යෂ්ටික බලවතුන් අතර ලෝක යුද්ධය ඇවිල යාමේ තර්ජනය ඇතුලු මානව වර්ගයා මුහුන දෙන දැවැන්ත ගැටලුවලට විසඳුම් අපේක්ෂාවෙන් යම් කිසිවෙක් එයට සහභාගි වූයේ නම්, ඔහුට හෝ ඇයට ලැබුන විසඳුම වූයේ “නපුරු පක්ෂ දෙකෙන් අඩු නපුරට”, එනම් ඩිමොක‍්‍රටික් පක්ෂයට, සහයෝගය දිය යුතු යයි කියන මුලුමනින් ම බංකොලොත් මූලෝපාය යි.

ජනාධිපති අපේක්ෂක හිලිරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර විවාද මාලාවේ පලමු වැන්න පැවැත්වුනු දින රාති‍්‍රයේ ම පවත්වන ලද මෙම රැස්වීමට විශාල වසයෙන් තරුනයින් පැමින සිටියහ. ප‍්‍රවේශපත් සියල්ල පැය ගනනක් තුල අලෙවි විය. 1,800ක් දෙනා රැස්වීමට සහභාගි වූයේ යයි වාර්තා වන අතර තවත් 1,000කට අධික පිරිසක් සජීවී ව අන්තර්ජාලයෙන් එය නැරඹූහ.

අයිඑස් ඕ හා එහි ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් රිවීව් ප‍්‍රකාශනයේ ද හේමාකට් බුක්ස් කර්තෘ මන්ඩලයේ ද සාමාජිකයෙක් වන ඇන්තනී ආනොව්, චොම්ස්කි හඳුන්වා දුන්නේ “වෙනත් කිසිදු ජීවමාන පුද්ගලයෙකුට වඩා සහෝදරත්වයේ අර්ථය මූර්තිමත් කරන තැනැත්තා” බව පවසමිනි. මෙම සහෝදරත්වය පවත්නේ කවර පුද්ගලයන් හෝ කවර පන්තියක් සමග ද යන්න විස්තර නො කරන ලදී.

“මානව ඉතිහාසයේ පලමු වතාවට තීරනාත්මක තීන්දුවක් ගැනීම අවශ්‍ය යි. එනම්, මෙම පෘථිවි තලය මත සංවිධිත මානව ජීවිතය නො නැසී පවතිනවා ද නැද්ද යන්න යි. එය ද වැඩි ඈතක නො ව නුදුරු අනාගතය කරා ම පැමින තිබෙනවා” යයි තම දේශනය ආරම්භ කරමින් චොම්ස්කි කීවේ ය.

“ශිෂ්ට සම්පන්න මානව පැවැත්මට” එල්ලවී තිබෙන ප‍්‍රධාන තර්ජන දෙක, න්‍යෂ්ටික යුද්ධය හා පාරිසරික ව්‍යසනයයි. එක්සත් ජනපද විදෙස් හා පාරිසරික පිලිවෙතෙහි සමහර ලක්ෂන විවේචනය කරන අතර චොම්ස්කි දිගට ම උත්සාහ කලේ, රිපබ්ලිකන් පක්ෂය පොදුවේත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් සුවිශේෂ වත් ක්ලින්ටන් හා ඩිමොක‍්‍රටික් පක්ෂයට වඩා දරුනු උවදුරක් ලෙස ඉදිරිපත් කිරීමට යි. එය තහවුරු කිරීම සඳහා “පරදුවට තැබී තිබෙන දේවල් සැලකිල්ලට ගැනීමේ දී, අද්‍යතන රිපබ්ලිකන් පක්ෂයට වඩා අන්තරායදායක තවත් සංවිධානයක් එදා මෙදාතුර තිබී ඇද්ද යන ප‍්‍රශ්නය ඇසීම ම සාධාරන” යයි චොම්ස්කි කීවේ ය.

අට වසරක ඔබාමා පරිපාලනය අනුගමනය කල නො නවතින යුද්ධය හා ජීවන තත්ත්වයන්ට ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මිලියන ගනන් කම්කරුවන් හා තරුනයන් ඩිමොක‍්‍රටික් පක්ෂය සමග විරසක වෙමින් සිටින තතු තුල ඔවුන් ඉන් බිඳී යාම වැලැක්වීම සඳහා කලහැකි සියල්ල කරන චොම්ස්කි, ඒ සඳහා සිය “වාමාංශික” අක්තපත‍්‍ර යොදාගැනීමට කැසකවයි. මෙහි දී ඔහුට සමාන අනෙකා වන්නේ, වෝල් වීදියට ඇති හිතවත්කම හා යුදවාදී වාර්තාව නිසා පුලුල් හා සාධාරන වෛරයට පාත‍්‍රව සිටින ක්ලින්ටන් වටා තම පැරනි අනුගාමිකයන්ගේ සහයෝගය රැලි කිරීමට රට පුරා සංචාරය කරන සෙනට් සභික බර්නි සෑන්ඩර්ස් ය.

චොම්ස්කි රැස්වීම අමතමින්

මූලිකවම ක්ලින්ටන්ට සහයෝගය ගොනු කිරීම පිනිස චොම්ස්කි, තම සැඳහුම්වල දී ගෝලීය උනුසුම නිසා ඇතිව තිබෙන තර්ජන ගැන සඳහන් කලේ මෙසේ කියමිනි: “එක්සත් ජනපදය තුල ගල් අඟුරු බලාගාර පිහිටුවීම ගැන අපිට බොහෝ දේ කරන්න පුලුවන්. මෙම අතිශය අර්ථභාරී කාරනය ගත් කල, මෙම ඉතා විනාශකාරී භාවිතය ඉවත දැමීමට කැපවුනු අපේක්ෂිකාවක් හා මෙම විනාශය වේගවත් කිරීම සඳහා ආයාචනා කරන අපේක්ෂකයෙක් යන දෙදෙනාගෙන් එක් අයෙක් ජනාධිපති ලෙස තෝරා ගැනීමේ පැහැදිලි වරනය තව සති කිහිපයකින් අපට ලැබෙනවා.”

ගල් අඟුරු භාවිතා කිරීම නවත්වන බවට ක්ලින්ටන් ගෙන යන උද්ඝෝෂනය නිසා ඇය ට‍්‍රම්ප්ට වඩා සුදුසු ය යන චොම්ස්කිගේ අවධාරනය, එහි ඇති නරුම කම නිසා නො වේ නම් සිනහ ගන්වනසුලු ය. ආරක්ෂාකාරී පරිසරයක් සඳහා ලෝක ජනතාවට ඇති අවශ්‍යතාවන්ට විරුද්ධ ව, සෑම අවස්ථාවක දී ම බලශක්ති සමාගම්වල ලාභ අවශ්‍යතා ආරක්ෂා කොට තිබෙන ඩිමොක‍්‍රටික් පක්ෂයට එවැනි කියාපෑම් පිලිබඳ වාර්තාවක් තිබේ.

“න්‍යෂ්ටික යුද අනතුර කරා අප ඇද දමන මිලිටරිමය මානය මූලික ව එන්නේ රුසියානු දේශ සීමාවෙන්. චීන වෙරල තීරයෙන් ද ද්විතීක තර්ජනයක් තිබෙන” බව පවසමින් චොම්ස්කි, න්‍යෂ්ටික යුද අනතුරු ගැන සඳහන් කිරීම අර්ථභාරීය.

රුසියාව සමග යුද්ධයක තර්ජනය පිලිබඳ වගකීම “බොහෝ සෙයින්” නැටෝව ප‍්‍රසාරනය කිරීම වෙත ආරෝපනය කල චොම්ස්කි, පූර්ව මැතිවරන දෙකේ දී ඔබාමාටත් වර්තමානයේ ක්ලින්ටන්ටත් දෙන සහයෝගය සමග බලන කල, යුද්ධයේ තර්ජනය ඔබාමා පරිපාලනය යටතේ ආන්තික ලෙස ඉහල ගොස් තිබීම පිලිබඳ තක්සේරුවක් නො කිරීමට සෑම විට ම වග බලා ගත්තේ ය.

සිරියාව තුල “පියාසර තහනම් කලාපයක්” ප‍්‍රකාශ කිරීම හා ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට බෝම්බ හෙලීම සඳහා ක්ලින්ටන් දෙන විවෘත සහයෝගය හෝ ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය එක් ව රුසියාව “නීති විරෝධී රාජ්‍යයක්” ලෙස නම් කිරීම සඳහා ගෙන යන ප‍්‍රතිගාමී උද්ඝෝෂනය ගැන චොම්ස්කි මුලුමනින් ම නිහඬ ව සිටියේ, ට‍්‍රම්ප් “වැඩි නපුර” ලෙස ඉදිරිපත් කිරීම සඳහා ය. මෑත දී තමන්ගේ නවතම කෘතිය තුල “විසිඑක්වන සියවසේ ප‍්‍රධාන ම අපරාධය” ලෙස චොම්ස්කි ගුනාංගීකරනය කර ඇති ඉරාක යුද්ධයට පක්ෂ ව ක්ලින්ටන් ඡන්දය ප‍්‍රකාශ කිරීම පිලිබඳ ව ද ඔහු සඳහන් නො කලේ ය.

ඔබාමා යටතේ රුසියාවට හා චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයන් නාටකාකාර ලෙස වර්ධනය වීම, ක්ලින්ටන් යටතේ ඊටත් වඩා අනුකම්පා විරහිත යුද පිලිවෙත් සැලසුම් කිරීමට ඇති ඉඩ සහ සමස්ත විදෙස් පිලිවෙත්, මිලිටරි හා රහස් තොරතුරු සංස්ථාපිතය ක්ලින්ටන්ට සහයෝගය දීම යන කාරනා, ඩිමොක‍්‍රටික් පක්ෂය “අඩු නපුර” ය යන චොම්ස්කිගේ කියාපෑම් යථාර්ථයේ දී කීතු කොට දමයි.

විශේෂයෙන් ම 2004 වසරේ ඩිමොක‍්‍රටික් ජෝන් කෙරී හා රිපබ්ලිකානු ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන ජනාධිපති අපේක්ෂක තරඟය සමයේ පටන්, වේයන් විසින් කාදමා ඇති “අඩු නපුරේ” මූලෝපාය, චොම්ස්කි විසින් ප‍්‍රතිචකි‍්‍රකරනය කර ඇතත්, ඔහුගේ තර්ක ඒවායේ වඩාත් ම දුර්වල ප‍්‍රකාශනය අත් කර ගන්නේ, මේ වසරේ ජුනි 15 දින පල කරන ලද “අඩු නපුරට ඡන්දය දීම (ලෙසර් ඊවිල් වෝටිං-එල්ඊවී) සඳහා හේතු අටක සාරාංශයක්” යන ලිපිය තුල යි.

(එම ලිපිය පැන නංවා ඇති කෝපයේ සහ ද්වි-පක්ෂ පද්ධතිය කෙරෙහි පවත්නා මහජන අප‍්‍රසාදය ගැන චොම්ස්කිට ඇති නො තැකීමේ දර්ශකයක් වන්නේ, එම ලිපිය මුල යොදා ඇති “මෙම ලිපියට ප‍්‍රතිචාර දැක්වීම සඳහා තමන් අමතන්න එපා යයි මහාචාර්ය චොම්ස්කි ඉල්ලා සිටී” යන සටහන යි.)

“සදාචාරාත්මක මූලධර්ම” හා “පිරිවැය/වාසි මූලෝපායික ව විගනනය කිරීම” ආදී වැකි ඇදබාන චොම්ස්කි හා අනෙක් කතුවර ජෝන් හැලේ, ඩිමොක‍්‍රටික් පක්ෂයට ඡන්දය දීම සඳහා කම්කරුවන් හා තරුනයන් රැවටීමට විතන්ඩවාදී කුතර්කයක් ගොතති.

“අපගේ ගුනයන් ප‍්‍රකාශයට පත් නොකරන ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට” හෝ “සංගත ප‍්‍රභූන්ට පිලිගත හැකි වරනයෙන් පිට පැනීම වැලැක්වීම සඳහා සැලසුම් කොට ඇති දූෂිත පද්ධතියට” විකල්ප ලෙස ඉදරිපත් වන තැනැත්තන්ට ඡන්දය දෙන අය, සාරභූතවම ට‍්‍රම්ප්ට සහයෝගය දෙති යි ඔවුහු අවධාරනය කරති. “2016 ඡන්දය දීමෙන් වැලකී සිටීමෙන් වන්නේ (‘දෙපැත්තට පැද්දෙන තරඟකාරී ප‍්‍රාන්තයක්’ වැන්නක්) ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගේ ජයග‍්‍රහනය කිරීමේ අවස්ථාව ඉහල හෝ පහල යාම යි.”

ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික පිලිවෙත් කිහිපයක් ගැන සඳහන් කරමින් (හා ක්ලින්ටන්ගේ වාර්තාව හා පිලිවෙත් ගැන කිසිවක් නො කියමින්), “(ට‍්‍රම්ප්ගේ) මෙවැනි හා අනෙකුත් පිලිවෙත් හා ආකල්ප මගින් කොන් කරන ලද හා දැනටමත් පරිපීඩිත ජනකායන් මත ඇති කර තිබෙන පරිහානිය, ක්ලින්ටන් යටතේට වඩා අතිශයින් වැඩි වීමේ හැකියාවක් පවතී” යන නිගමනය කරා ඔවුහු පැමිනෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් පැහැදිලි කොට තිබෙන පරිදි ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය, හුදකලා ව්‍යතිරේකයක් නොව, එක්සත් ජනපද ධනවාදයේ පිරිහීම සහ ධනේශ්වරය විසින් වඩ වඩා ප‍්‍රතිගාමී හා සාපරාධී පිලිවෙත් කරා යොමු වීම සමග බැඳී තිබෙන සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ආන්තික දකුනට යාමේ ප‍්‍රකාශනයක් පමනකි. ක්ලින්ටන්ට ඡන්දය දෙන ලෙස පෙලඹවීම වනාහි, කම්කරුවන් හා තරුනයන් එම යථාර්ථය කෙරෙහි අන්ධ කොට, ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ක්ලින්ටන් විසින් සූදානම් කරමින් තිබෙන ව්‍යසනකාරී යුද සැලසුම් ආවරනය කර ගැනීමට ඉඩ ලබා දීම යි.

ක්ලින්ටන්ගේ ජනාධිපති පදවිය යටතේ කි‍්‍රයාත්මක කරනු ඇති කම්කරු පන්ති විරෝධී පිලිවෙත් මගින් සිදු වනු ඇත්තේ, ට‍්‍රම්ප් හෝ වෙනත් වාචාලයෙකුට සමාජ අසහනය ගසා කා ෆැසිස්ට්වාදී මාවතක් දිගේ එය අපසරනය කිරීමට කොන්දේසි නිර්මානය කිරීම පමනි. නිල “වම” විසින් නිර්මානය කරනු ලබන සමාජ ව්‍යසනය ගසා කන ල පෙන්ගේ ජාතික පෙරමුන වැනි පක්ෂ හරහා යුරෝපය පුරා එම කි‍්‍රයාදාමය ම සිදුවනු දැකගත හැකිය.

ඔවුන්ගේ “සාරාංශයේ” හැඳින්වීම තුල චොම්ස්කි හා අනෙකා මෙසේ අවධාරනය කරති: “පරදුවට තැබී ඇති සදාචාරාත්මක මූලධර්මය සරල ය. අප හුදෙක් අපගේ කි‍්‍රයාවන් පිලිබඳ වගකීම ගත යුතු වනවා පමනක් නො වේ, අපගේ කි‍්‍රයාවන්හි ඵලවිපාක අනෙකුන්ට බලපාන ආකාරය ගැන සැලකීම අපගේ ම යහපත ගැන තකනවාට වඩා වැදගත් වේ.” වෙනත් වචනවලින් කියතොත්, දක්ෂිනාංශික යුදවාදී අපේක්ෂකයන් දෙදෙනාට එරෙහි දේශපාලනික විකල්පයකට ඡන්දය දීමට ඔබ නිර්භීත වන්නේ නම්, ඔබ හුදු ආත්මාර්ථකාමියෙක් මිස අනෙකෙක් නො වේ.

මෙය මුලුමනින් ම ව්‍යාජ ය. චොම්ස්කි හෝ අනෙක් අය වගකිව යුතු වන එක ම “විපාකය” වන්නේ ට‍්‍රම්ප් ජනපති වුවහොත් කරනු ඇති දේවල් ය. එහෙත් චොම්ස්කි ම යලි යලිත් උත්කර්ෂයට නැංවූ ඔබාමාගේ පිලිවෙත් හෝ ක්ලින්ටන්ගේ අනාගත පිලිවෙත් ගැන ඔහු කිසිදු වගකීමක් නො ගනී.

යාවජීව අරාජිකවාදියෙක් හා මාක්ස්වාදයේ ද රුසියානු විප්ලවයේ ද ඍජු විරුද්ධවාදියෙක් වන චොම්ස්කි, ඉහල මධ්‍යම පන්තික බුද්ධි ස්ථරයේ නියෝජිතයෙකි. එම බුද්ධි ස්ථරය, විශේෂයෙන් ම 1970 ගනන්වල වියට්නාම් යුද විරෝධී උද්ඝෝෂන කෙලවර වීමෙන් පසු ව හා 1991 සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් ඉක්බිත්තේ වඩා වේගයෙන් දකුනට ගමන් කොට ඇත.

එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීම් සඳහා සම්පාදනය කෙරෙන හේතු දැක්වීම්වල කුහකත්වය හා වංචනිකත්වය ගැන චොම්ස්කි එක් හෝ තවත් අවස්ථාවක දී සටහන් කල හැකි වුවත්, මාක්ස්වාදයටත්, සියල්ලටම වඩා යුද්ධයේ මූල හේතුව ධනවාදය ය යන මාක්ස්වාදයේ ඓතිහාසික ව පදනම් වන විද්‍යාත්මක විශ්ලේෂනයටත් පවත්නා විරුද්ධත්වය හේතුවෙන්, අධිරාජ්‍යවාදය කෙරෙහි නොනැමෙන සුලු දේශපාලන විරුද්ධත්වයක් පවත්වාගෙන යාමට ඔහුට නො හැකි ය.

චොම්ස්කි චිකාගෝවට පැමිනි වෙලේ සත්කාරකත්වය දැරුවේ අයිඑස් ඕව යන්න ද වැදගත් නැතුවා නො වේ. සිරියාවේ අසාද් තන්ත‍්‍රය හා රුසියාව සමග එක්සත් ජනපද මිලිටරි ගැටුමක වඩාත් උද්යෝගිමත් කසකරුවන්ගෙන් එකක් වන්නේ අයිඑස් ඕව යි. “අඩු නපුර” යන තර්කයට විරුද්ධ බවත්, තමන් රූපික ව සහාය දෙන්නේ හරිත පක්ෂයේ අපේක්ෂක ජිල් ස්ටෙයින්ට බවටත්, අයිඑස් ඕව ගසන කයිවාරුව තිබියදීම යථාර්ථයේ දී ඔවුන් කි‍්‍රයාත්මක වන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොටසක් ලෙස ය. ලිබියාව, සිරියාව හා අනෙක් තැන්වල එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීම් සුජාතකරනය කිරීමට යොදා ගන්නා වංචාකාරී “මානව හිමිකම්” කඩතුරාව යලි යලිත් ප‍්‍රචාරනය කර ඇති අයිඑස් ඕව, නව හා වඩා ව්‍යසනකාරී යුද්ධ සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂයේ සැලසුම් ආවරනය කිරීමේ ලා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙම බොරු ගැන හා දේශපාලන වාර්තාව පිලිබඳ ව කීමට කිසිවක් චොම්ස්කි සතු ව තිබුනේ නැත.

ද්වි-පක්ෂ පද්ධතිය කෙරෙහි වන ඕනෑම අභියෝගයකට එකහෙලා විරුද්ධ මහාචාර්ය චොම්ස්කි, එනිසා ම දේශපාලන සංස්ථාපිතය ඉදිරියේ ඇද වැටේ. “නපුරු දෙදෙනාගෙන් අඩු නපුර ලෙස” ක්ලින්ටන්ට ඡන්දය දෙන්නැයි ආයාචනා කිරීම මගින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආධාරකරුවෙක් බවට පත්වන හෙතෙම, එම පක්ෂය කි‍්‍රයාවට දමා ඇති හා සූදානම් කරමින් සිටින අපරාධ සඳහා දේශපාලනික ව වගකිව යුත්තෙක් බවට තමන් ව පත්කර ගනී.

Share this article: