ට‍්‍රම්ප් සෝලිය හා එක්සත් ජනපදයේ පිලිකුල් සහගත මැතිවරනය

The Trump scandal and the US gutter election

2016 ඔක්තෝබර් 10

ඇමරිකානු දේශපාලනයේ සාමාන්‍යයෙන් පවතින අධම තත්වය මෙම සතියේදී තවත් පහල අඩියකට වැටුනි. කිසිදු දඬුවමක් නොලබා කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම සඳහා සිය ධනය හා ජනප‍්‍රියත්වය යොදාගැනීමට ඔහුට ඇති හැකියාව පිලිබඳව රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් 2005 වසරේදී ගැසූ කයිවාරුවක් දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමෙන් අනතුරුව මුලු මහත් මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයම එම සෝලියට වහවැටුනි.

රිපබ්ලිකන් නිලදරුවන් හා ඡන්ද අපේක්ෂකයන් දුසිම් ගනනක්, තමන් එක්කෝ ට‍්‍රම්ප්ට ඡන්දය නොදෙන බව නැතිනම් ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙස පැවසූහ. කලින් ඡන්දය ප‍්‍රකාශ කරන අය, තැපල් ඡන්දදායකයින් හා ඡන්දය දා නොපැමින ඡන්ද දායකයින් වෙනුවෙන් දැනටමත් ඡන්ද පත‍්‍රිකා පුලුල්ව බෙදා හැර තිබෙන තතු තුල, මෙම දෙවන යෝජනාව ප‍්‍රායෝගික එකක් නොවේ. ඇමෙරිකානු මිලිටරිය දියත් කල සෑම යුද්ධයකටම හුරේ දැමීමට කිසිදා අමතක නොකල මාධ්‍ය අටුවාකරුවෝ, කාන්තාවන් කෙරෙහි ට‍්‍රම්ප් දක්වා ඇති ආකල්පය ගැන සිය දැඩි කෝපය ප‍්‍රකාශ කලහ.

ට‍්‍රම්ප්ගේ අදහස් ගැන සැලකිලිමත් වනතාක් දුරට, රිපබ්ලිකන් පක්ෂයේ හා සමස්ථයක් වශයෙන් ධනේශ්වර ද්වි-පක්ෂ ක‍්‍රමයේම දරුනු ඛාදනය පිලිබඳව සැලකිලිමත් වන කිසිදු බැරෑරුම් නිරීක්ෂකයෙකුට මවිතවීමට හෝ කම්පාවීමට කිසිවක් ඇත්තේ නැත. පුද්ගලයෙක් ලෙස ට‍්‍රම්ප් තුල මූර්තිමත් කෙරෙන්නේ, නිව් යෝක් සිටි දේපල වෙලඳපොල, අත්ලාන්තික් සිටි කැසිනෝ, ලාස් වේගාස් හා විනෝද කර්මාන්තයේ අධම සම්බන්ධතාවන්ගේ ප‍්‍රකාශනයක් වන ඇමරිකානු පාලක පන්තියේ පසුගාමීත්වය යි.

ට‍්‍රම්ප්ගේ අදහස්වලටත් වඩා වැදගත් වන්නේ, ඒවා යොදාගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න යි. පැහැදිලි කාරනාව, පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් ට‍්‍රම්ප්ගේ ජනාධිපති අපේක්ෂකත්වය පිලිගත නොහැකි යයි තීන්දු කර තිබීම යි. ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයේ ආන්තික ප‍්‍රතිගාමී ස්වභාවය පිලිබඳ මොනයම්ම හෝ සාකච්ඡාවක් ඇතිවීම වලක්වන අතර, දෙදෙනා අතර පවතින වෙනස්කම් මත කාකොට ගැනීම සඳහා තනා ගත් යාන්ත‍්‍රනයකි, මෙම සෝලිය. තුච්ඡම මට්ටමෙන්, එනම් අසභ්‍යම කාමුකත්වයේ දේශපාලනය මත ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප් සමග ගැටීමට තීන්දු කර ඇත.

සැබෑ ප‍්‍රශ්න කවරේද යන්න ගැන බහුතරයක් ජනතාව දැනුවත් කිරීමෙන් තොරව, සිය ආරවුල් සමනය කර ගැනීමට එක්සත් ජනපද පාලක පන්තිය යොදාගෙන ඇති සම්මත යාන්ත‍්‍රනයක් බවට ලිංගික සෝලි පත්ව තිබේ. එවැනි විධික‍්‍රම දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානු දේශපාලනයේ ලක්ෂනයක් බවට පත්ව ඇත- කොන්ග‍්‍රස් සභිකයන්, විධායක අංශවල නිලධාරීන් හා ජනාධිපතිවරුන් අවමානයට පත් කිරීමට යොදා ගැනීම සඳහා එෆ්බීඅයි විධායක අධ්‍යක්ෂ ජේ. එඩ්ගාර් හූවර් එවැනි සෝලීන් සම්බන්ධ ලිපි ගොනු පවත්වා ගෙන යාම පිලිබඳව කුප‍්‍රකටය.

මැතිවරනයට දින 30ක කාලයක් පමනක් ඉතිරිව තිබියදී, උපරිම හානියක් සිදුකල හැකි වේලාවේදී යොදා ගැනීම පිනිස එම වීඩියෝ පටය එන්බීසී මාධ්‍ය ආයතනයේ ඇක්සෙස් හොලිවුඩ් වැඩසටහනෙන් සොයා ගෙන පසෙකට කර තිබුනේ ද යන්න ගැන ඇත්තේ සුලු සැකයක් පමනි. මෙම සුවිශේෂ බෝම්බය ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය අවසාන වසයෙන් ගිල්වා දැමීමට අසමත් වන්නේ නම්, තවත් ටෝපිඩෝවන් දිය යට තිබිය හැකි බවට ද ඇත්තේ සුලු සැකයකි.

ඉරිදා රාත‍්‍රියේ නගර ශාලාවේ පැවැති විවාදයේදී එක්තරා දුරකට සැබෑ ප‍්‍රශ්න ඉස්මතු විය. මඩ ගැසීම් හා පුද්ගලයින් එල්ල කර බැන අඬගැසීම් පිටුපසින්, විදේශ පිලිවෙත පිලිබඳ සීමිත සාකච්ඡාවක් තුලින් ක්ලින්ටන්ගේ න්‍යාය පත‍්‍රය එලිමහනට පැමිනියේය. එහිදී ඇය “රුසියානු ආක‍්‍රමනය හෙලා දකිමින්” සිරියාව තුල ප‍්‍රධාන මිලිටරි මැදිහත් වීමක් සඳහා පුන පුනා කැඳවුම් කලා ය.

වෝල්වීදියේ බැංකුවලට ඇය කල කතාවලින් උපුටාගත් කොටස් ද ඇතුලු - දේශපාලනයේදී “පොදු” ආස්ථානයක් හා “පෞද්ගලික” ආස්ථානයක් තිබීම අත්‍යවශ්‍ය යයි ඉන් එකකදී ඇය කියා ඇත- විකිලීක්ස් වෙබ් අඩවිය විසින් කාන්දුකල විද්‍යුත් ලිපි ලේඛන ගැන විමසූ ප‍්‍රශ්නයට පිලිතුරු වශයෙන් ඇය වහාම, එය මැතිවරනයේදී ට‍්‍රම්ප්ට වාසි සහගත බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරන බව පවසමින්, රුසියාවට පහර දීමට යොමු වූවාය. “අපේ බුද්ධි ප‍්‍රජාව පසුගිය දින කීපයේදී හරියටම නිගමනය කර ඇත්තේ, ක්‍රෙම්ලිනය හෙවත් පුටින් හා රුසියානු ආන්ඩුව, අපේ මැතිවරනයට බලපෑම් කිරීම සඳහා ඩිමොක‍්‍රටික් ජාතික කවුන්සිලයේ විද්‍යුත් ලිපිගොනු තුලට හොරෙන් ඇතුලුවීම ඇතුලු ඇමෙරිකානු විද්‍යුත් තැපැල් ගිනුම්වලට රහසේ පිවිස ඇති බව යි. විකි ලීක්ස් යනු එහි කොටසකි”.

අනතුරුව ක්ලින්ටන් පැවසුවේ, ලීවරයක් ලෙස යොදාගත හැකි පරිදි, සිරියාව තුල “පියාසර තහනම්” කලාපයක් ඇති කිරීමට තමන් සහාය දෙන බව යි. ඒකාබද්ධ කාර්යමන්ඩල ප‍්‍රධානීන්ගේ සභාපති ජෝසප් ඩන්ෆෝල්ඩ් පසුගිය මාසයේදී පැවසුවේ, එවැන්නක අර්ථය රුසියාව හා සිරියාව සමග යුද්ධයකට යාම බව යි. “රුසියාව තීන්දු කොට ඇත්තේ, සිරියාව සියල්ල තීරනය කරනු ඇති බවයි. ඒ වගේම එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තමන් දැකීමට කැමති කවුරුන් ද යන්නත් ඔවුන් තීන්දු කරලා තියෙනවා, හැබැයි ඒ මම නම් නෙවෙයි. රුසියාව සම්බන්ධයෙන් මම ඉන්නෙ කොතනද යන්න කියලා තියෙනවා. මම පුටින් හා අනෙක් අය සමග ගනුදෙනු කර තියෙනවා, ඒ වගේම ජනාධිපති විදියටත් ඒ දේ මම කරනවා”.

ඇමරිකානු පාලක පන්තිය සැලසුම් කරන්නේ හා සැබවින්ම දැනටමත් ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ මෙය යි. මෙම පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමට කෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් බිලිදීමට ඇය සූදානම් දැයි විවාදය මෙහෙයවූ ඇන්ඩර්සන් කූපර් හෝ මාර්තා රැඩට්ස් ක්ලින්ටන්ගෙන් ප‍්‍රශ්න කලේ නැත.

ඇමෙරිකානු මාධ්‍ය ට‍්‍රම්ප්ගේ ලිංගික අඩත්තේට්ටම් ගැන කුලප්පුවට පත්ව ඇති නමුත් දහස් සංඛ්‍යාත, නැතිනම් මිලියන සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවකට තර්ජනය කරන අධිරාජ්‍යවාදී මැරයෙකුගේ අභිරුචීන් ගැන ඇහිපිල්ලමක්වත් හෙලන්නේ නැත. එමෙන්ම, ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ ඝාතනය ගැන, “අපි ආවා, අපි දැක්කා, ඔහු මැරුනා” යනුවෙන් කියමින් කොක්හඬලූ ක්ලින්ටන්ගේ රූපවාහිනී සාකච්ඡාවට ද එවැනිම උද්යෝගිමත් මාධ්‍ය අවධානයක් දෙන්නේ නැත.

විවාදය සිදුවන ආකාරය දෙස බැලූ විට සනාථ වන්නේ, ක්ලින්ටන් හා ඩිමොක‍්‍රටිකයන් බලාපොරොත්තුවූ ආකාරයෙන් එය වැඩකර නැති බව යි. ට‍්‍රම්ප් කෙරේ ඇති වෛරය ගසා කෑමට ඔවුන් වෑයම් කරන අතරේ, ඩිමොක‍්‍රටිකයන්ට තමන්ගේ ඡන්ද අපේක්ෂිකාව වසයෙන් ලැබී ඇත්තේ, අතිශයින් නින්දාවට පත්, සාපරාධිත්වයේ හා දූෂනයේ ගිලී ගිය කෙනෙකි. ඇය “බොරුකාරියක්” යයි හෙලා දකින ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික වාචාල වලට, ඇගේ කථා හා කෙරුවාවල් අතර සම්බන්ධයක් නැති ක්ලින්ටන්ට පිලිතුරු නැත.

ට‍්‍රම්ප්ගේ පසුගාමිත්වය පිලිබඳ හෙලිදරව්ව කැපී පෙනෙයි, එහෙත් එය පෙන්නුම් කරන්නේ, ද්වි-පක්ෂ ක‍්‍රමයේ හා සමස්තයක් වසයෙන් මැතිවරන ක‍්‍රමයේ නීතිවිරෝධී හා දූෂිත ස්වභාවය යි. දූෂිත දේශපාලන කාපාලුවෙක් හා යුද උන්මත්තකයෙක් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගෙන තිබෙන ඩිමොක‍්‍රටික් පක්ෂය විකල්පයක් නොවේ. මිලියන 325ක ජනගහනයක් සහිත රටක අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින දෙදෙනා, එක්සත් ජනපද ඉතිහාසය තුල වඩාත්ම වෛරයට පාත‍්‍රවූවන් වන අතර එසේ වීමට ඔවුහු සුදුස්සෝ ය.

අත්දැකීම් සහිත හා මහා ව්‍යාපාරිකයන්ගේ විස්වාසනීය නියෝජිතකයෙකු වන හිලරි ක්ලින්ටන් ධවල මන්දිරය තුල පැලපදියම් කිරීම, අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී බලවේගවල වර්ධනයට දිරිදීම හා දේශපාලන පද්ධතිය තවදුරටත් දකුනට දැක්කීමේ සිය අරමුන වෙනුවෙන් කැපව සිටින රස්තියාදුකාර බිලියනපතියෙකුට වඩා, හුදෙක්ම ඇමරිකානු පාලක ප‍්‍රභූවේ එකඟත්වය ලබන පිලිවෙත්- සියල්ලටම ඉහලින් චීනය හා රුසියාවට එරෙහි වඩාත් ආක‍්‍රමනකාරී හා මැදිහත්කාරී පිලිවෙතක් හා රටතුල කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව කඩා පැනීමක්- සහතික කරනු ඇතුවා පමනි.

පැට්‍රික් මාටින්

Share this article: