වැටුප් අරගලයේ යෙදී සිටින හලාවත පොල්වතු කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ඔක්තෝබර් 29

හලාවත වැවිලි සමාගමට අයත් පොල්වතුවල සේවයේ නියුතු වතු කම්කරුවෝ, පසුගිය මාස කිහිපය පුරා, වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂනවල නිරතව සිටිති.

පසුගිය මස 21 දා, එම සමාගමට අයත් කාර්යාල සේවකයින්, ක්ෂේත‍්‍ර නිලධාරීන් හා ආරක්ෂක සේවකයන් ඇතුලු කාර්ය මන්ඩල කම්කරුවෝ 150 ක් පමන, රාජ්‍ය අංශයේ සේවකයන්ට වැඩි කල රුපියල් 10,000 තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා හලාවත වැවිලි සමාගම ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වූහ.

දෛනික වැටුප් ලබන වතු කම්කරුවෝ 500 ක් පමන දෙනා පසුගිය මැයි මාසයේ දී මෙලෙසම උද්ඝෝෂනයක යෙදී ගත්තේ පුද්ගලික අංශයට පොරොන්දු වූ රුපියල් 2500 වැටුප් වැඩි කිරීම ලබා දෙන ලෙස ඉල්ලමිනි. පොල්වතු කම්කරුවන්ගේ මෙම උද්ඝෝෂන තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස තේ වතු කම්කරුවන් ගෙනයන උද්ඝෝෂන සමග සමපාත වේ.

පොල්වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය, ධනේශ්වර ප‍්‍රහාරයන්ට එරෙහිව නිතිපතා වැඩෙන අනෙකුත් කම්කරු, ශිෂ්‍ය සහ ගොවි අරගල සමග ඒකාබද්ධ කොට, ආන්ඩුවට හා ධනේශ්වර පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක් ලෙස වර්ධනය කිරීමට එරෙහිව, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් නිදහස් සේවක සංගමය හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය වැඩට බැස සිටිති. ආන්ඩුව සහ සමාගම සමග සාකච්ඡාවන් මගින් වැටුප් වැඩි කර ගැනීමේ ප්‍රෝඩාවක කම්කරුවන් සිර කිරීමේ ප‍්‍රයත්නයක ඔවුහු යෙදී සිටිති.

මෙම සමිති, සමාගම සමග පෙරදී අත්සන් කොට ඇති සාමූහික ගිවිසුම් මගින් හා බලයට පත් සෑම ආන්ඩුවක් විසින් තම රැකියා හා ජීවන කොන්දේසිවලට එල්ල කොට ඇති ප‍්‍රහාර හමුවේ තේ වතු කම්කරුවන් තුල මෙන්ම පොල්වතු කම්කරුවන් තුලත් වෘත්තීය සමිති හා සංස්ථාපිත දේශපාලන පක්ෂ කෙරෙහි ඇත්තේ දැඩි පිලිකුලක් හා වෛරයකි.

උද්ඝෝෂනයෙන් පසු මෙම පොල්වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට වැඩ කරන දිනවලට පමනක් රුපියල් 100 ක් එකතු කොට තිබේ. එම සොච්චම් වැඩිවීමෙන් පසුත් ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 515 ක් පමනි. මාසික වැටුප් ලබන කම්කරුවන් හට කිසිදු වැටුප් වැඩිවීමක් සිදු වී නොමැත.

තේ හා රබර් හැරුනු කොට ලංකාවේ තෙවන විශාලතම වතු භෝගය පොල් ය. ලෝක ආර්ථික අවපාතය හා මැදපෙරදිග පුරා ඇමරිකා එක්සත් ජනපදය විසින් අවුලවනු ලබන යුද ගැටුම් හමුවේ තේ හා රබර් ආදයම් පහල බැස තිබුන ද පොල් ඉල්ලුම ඉහල ගොස් ලංකාවේ පොල් අපනයන ආදයම් වැඩි වී තිබේ. අපනයන සංවර්ධන මන්ඩලයේ වාර්තාවලට අනුව රටේ සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් සියයට 12 ට හිමිකම් කියන්නේ පොල් වගාවයි. සමස්ත අපනයන ආදායමින් සියයට 5 ක් පොල්වලින් ලැබේ. රටපුරා අක්කර 350,000 ක පොල් වගා කර තිබෙන අතර වාර්ෂික අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.5 පමන වේ. ලංකාව මේවන විට ඩෙසිකට් (ඩිසී) පොල් අපනයනය කරන රටවල් අතරින් පස්වන තැන සිටින අතර කොහු ආශි‍්‍රත නිෂ්පාදනවලින් ප‍්‍රමුඛ තැනකට පත්ව තිබේ. පොල් තෙල්, කොප්පරා ඇතුලු පොල් ආශි‍්‍රත සෑම අපනයනයක්ම පසුගිය වසර කිහිපය තුල වර්ධනය වී ඇති අතර 2015 සමස්ත පොල් අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 523 කි.

පොල්වතුවල ආදායම් අඛන්ඩව වැඩී ඇති නමුත් ඒවායේ ශ‍්‍රම සූරාකෑම අනෙකුත් වතුවගාවන් හා සමානව පවතී. බොහොමයක් පොල්වතුවල කම්කරු නිවාස ලයින් කාමර වන අතර ඉන් බහුතරයක් අබලන් වී අනාරක්ෂිත තත්වයේ පවතී.

මහා ධනපති සමාගම් සතුව මෙන්ම ප‍්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් සතුව ද හලාවත, කුරුනෑගල හා මීගමුව අතර පොල් ති‍්‍රකෝනයේ හා ඉන් පිටත පිහිටි දැවැන්ත පොල්වතු තිබේ.

පොල් ආශි‍්‍රත කොහු මෝල් හා අනෙකුත් කම්හල් තුල ද කම්කරුවෝ දරුනු සූරාකෑමකට ලක් වී සිටිති.

මාදම්පේ පොල්වත්තක ස්ථානභාර නිලධාරීවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට තම අදහස් දැක්වූයේ මෙසේය: “මගේ වැටුපෙන් අර්ථසාධක වැනි දේවල් කැපිලා අතට එන්නේ රුපියල් 30,000 ටත් අඩු මුදලක්. මට පාසැල් යන දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ජීවත් වෙන්න මේ මුදල කොහෙත්ම ප‍්‍රමානවත් නෑ. කම්කරුවන්ට රුපියල් 100 ක් වැඩි වුනා. නමුත් ඒ අයට වැඩ කන්දරාවක් තියෙනවා. එක දවසකට පොල් අල්ලි 40 විතර විසි ගහන්න. පොල් ගස් 150 ක් වටේට පොල් අතු කපලා දාන්න. පොල් කඩන දිනවලට පොල්ගෙඩි 3000 ක් අහුලන්න, අනෙක් දවස්වලට අක්කර 40 ක විතර පොල් අහුලන්න ඉලක්ක දීලා තියෙන්නේ. කම්කරු පිරිවැය හා පොල් අස්වැන්න ගැන වතු පාලනාධිකාරිය ඇහැගහගෙන ඉන්නේ.”

හලාවත වැවිලි සමාගමට අයත්, හලාවත ආනමඩුව මාර්ගයේ පිහිටි අක්කර 1600 ක් පමන වන පලුගස්වැව පොල්වත්තේ කම්කරුවෝ සිය දරුනු රැකියා කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳව මෙසේ විස්තර කලහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට තම අදහස් දැක්වූ කම්කරු කාන්තාවක්

තිදරු මවක් වන 35 වියැති කම්කරු කාන්තාවක් ප්‍රකාශ කලේ: “අපේ ලොකු අම්මලා කෑගල්ලේ රබර් වතුවල ඉඳලා මෙහෙට ඇවිත් තියෙන්නේ. ඒ ඉතිහාසය මම දන්නේ නෑ. මම දැන් පොල් කඩපු ගස් ගනිනවා. මට තව දරුවෙක් ලැබෙන්න නිසා අහුලන්න යන්නේ නෑ. මගේ මහත්තයයි ලොකු පුතයි දෙන්නම පොල් ලෙලි ගහනවා. එයාලට ගෙඩි දාහක් ලෙලි ගැහුවොත් රුපියල් දාහක් දෙනවා. වත්තේ වැඩ කරන කොයි ලමයටත් වැඩිදුර අධ්‍යාපනයක් නෑ. ඔක්කෝම වත්තේ වැඩ.”

සුබසාධන කප්පාදුව හේතුවෙන් මාතෘ සායනය වසා දමා ඇති බවත් වසර ගනනාවකින් නිවාස අලුත්වැඩියා නොකල බවත් ඇය පැවසුවාය. විදුලි මීටර නොමැති බැවින් සෑම නිවසකින්ම රුපියල් 850 බැගින් වැටුපෙන් අයකර ගැනෙන අතර භාවිතා කෙරෙන ඉතා සීමිත විදුලි උපකරන සංඛ්‍යාව සමග සැලකූ කල එය පරිභෝජන අගයන් ඉක්මවා යන අයකර ගැනීමකි.

වත්තේ අතුරු භෝග විදිහට ඩ‍්‍රැගන් ෆෘට් වගාකොට ඇති බවත්, වත්තේ මී හරක් පට්ටියෙන් මී කිරි සහ යෝගට් නිපදවා විශාල අදායමක් ලැබුව ද තම වැටුප් ඉතා අල්ප බව ඇය තවදුරටත් පැවසුවාය.

පලුගස්වැව වත්ත බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ පටන් පැවත එන පොල්වත්තකි. වත්ත විටින් විට පුද්ගලික අංශයට හා රජයට පවරා ගෙන තිබෙන අතර 1992 දී වයඹ පුද්ගලික වතු සමාගමට පවරා 2008 දී යලි රජයට පවරා ගෙන තිබේ. මෙම පොල්වත්ත ආසියාවේ තනි විශාලතම පොල්වත්ත ලෙස සැලකෙන අතර ලොව ගුනයෙන් ඉහල පොල් නිෂ්පාදනයක් සහිත බවට ද වාර්තාවේ. 300 ක් පමන වන කම්කරුවන්ගෙන් සූරාකනු ලබන ශ‍්‍රම ශක්තිය හේතුකොට ගෙන වත්තේ පොල් ආදායම අඛන්ඩව ඉහල ගොස් ඇති අතර 2010 දී එය රුපියල් මිලියන 145 ට නැග තිබේ.

උන බටවලින් සාදාගත් කෙකිවලින් පොල් කැඩීමේ නිරත පලුගස්වැව වත්තේ තරුන කම්කරුවෙක් සඳහන් කලේ : “මම තව හතර දෙනෙක් එක්ක පොල් කඩනවා. හෙක්ටයාර් එකක පොල් කඩන්න රුපියල් 375 ක් දෙනවා. හෙක්ටයාර් 38 ක ගස් සිය ගනනක පොල් කඩන්න දවස් 4 ක් විතර යනවා. උදේ 7. 30 ඉඳලා දවල් 11 පමන වෙනකන් පොල් කඩලා දවසකට රුපියල් 800 ක් විතර ලැබෙනවා. ඊට පස්සේ වත්තේ දෙන ඕන වැඩක් කරනවා. මේ සියලු වැඩ කරලා මාසයකට මට උපයාගන්න පුලුවන් වෙන්නේ රුපියල් 28,000 ක් විතර මුදලක්. ලමයින්ට කන්න අඳින්න දෙන්න යන වියදම්වලට මේ පඩිය මදි.”

පොල් ලෙලි ගැසීමේ නිරත තරුන කම්කරුවෙක්

පොල් ලෙලි ගැසීමේ නිරත වයස අවුරුදු 18ක තරුන කම්කරුවෙක් පැවසුවේ: “මම දවසකට පොල් ගෙඩි දාහකට වඩා ලෙලි ගහනවා. ඇඟේ හයිය තියෙන නිසා ඒක වැඩිය අමාරු නෑ. මගේ තාත්තා වැවේ ගිලිලා මරුනා. අම්මා තව කසාදයක් කර ගත්තා. නංගි ඉන්නේ අම්මා ලඟ. මම තනිව ම තමා ජීවත් වෙන්නේ. සතියකට රුපියල් 2000 ක් මගේ කෑමට වියදම් වෙනවා. මම ඉගෙන ගත්තේ 6 වසරට විතරයි. නමුත් නංගිට උගන්වන්න ඕනා. ඒ නිසා අම්මටත් නංගිගේ වියදම්වලට මම පොඩි මුදලක් අම්මට යවනවා.”

වෘත්තීය සමිතිවලින් පලක් නැති බව හලාවත වැවිලි සමාගමට අයත්, මාදම්පේ පිහිටි අක්කර 300 ක් පමන විශාල පොල්වත්තක කම්කරුවෙක් කීවේය: “ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයට අපේ වැටුපෙන් මාසයකට රුපියල් 80 ක් කැපෙනවා. නමුත් අපේ වැටුප් හා ජීවන තත්වයන් රැක ගන්න කිසිම අරගලයක් කරන්නේ නෑ.”

තම වත්තේ කම්කරුවන් 30 ක් පමන සේවයේ යෙදී සිටින බවත් වත්තේ කුමන හෝ සටනක් කලහොත් සමාගමේ දඩයමට ලක්වන බවත් ඔහු පැවසුවේය. “අනික් කම්කරුවන් එක්ක ඒකාබද්ධ නොවී අපිට අරගලයක් කරන්න බෑ. වෘත්තීය සමිති කම්කරුවන් ඒකාබද්ධ වෙනවට විරුද්ධයි.”

මෙම වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය ඇතුලු අනෙකුත් කම්කරු අරගල, ද්‍රෝහී වෘත්තීය සමිති අතින් මුදා ගෙන තම අතට ගැනීමේ අත්‍යවශ්‍යතාව, තීරනාත්මකව කම්කරුවන් ඉදිරියේ මතු කෙරී ඇත. බලන්න:ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලය: ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදිනු!

Share this article: