අන්තර් අත්ලාන්තික් වෙලඳාම හා රුසියාවට එරෙහි යුද ව්‍යායාමය මුල්කරගත් බෙදීම් යුරෝපීය සංඟමය වසාගෙන ඇත

Divisions grow at EU summit over trans-Atlantic trade, war drive against Russia

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2016 ඔක්තෝබර් 22

යුරෝපීය සංගමය (යුසං) දෙදින සමුලුව ඊයේ බ‍්‍රසල්ස්හිදී අවසන් වූයේ, සිරියානු යුද්ධය, කැනඩාව සමග ඇතිකර ගැනීමට නියමිත සෙටා වෙලඳ ගිවිසුම හෝ බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් පිටවීම පිලිබඳ එකඟත්වයකින් තොරවය.

පසුගියදා ඇතිවූ බ්‍රික්සිට් හෙවත් බ්‍රිතාන්‍යයන් යුසං පිටමං වීම පිලිබඳ ඡන්දය, සංගමය බිඳී යාම දෙසට තැබූ මූලික පියවරක් බව අන් කවරදාකටත් වඩා අද පැහැදිලිය. විවිධ ගැටුම් වලින්, සියල්ලටත් වඩා, රුසියාව හා චීනයට එරෙහි ඇමරිකානු යුද ව්‍යායාමයෙන් ද වොෂින්ටනය සමග සම්බන්ධතා පලදු වීම ද සමග යුසං, ප‍්‍රතිපත්ති පිලිබඳ පොදු එකඟත්වයකට පැමිනීමට පමනක් නොව, සිය සාමාජිකයින් අතරම වැඩෙමින් පවතින ආතතීන් සඟවා ගැනීමට ද අසමත්ව සිටියි.

17දා පැවති විදෙස් ඇමතිවරුන්ගේ සමුලුව පෙන්නුම් කලේ, දැනටමත් පන අදිමින් ඇති යුසං ආර්ථිකය, වල පල්ලට යැවීමට තර්ජනය කරන, සිරියාව සමග යුද්ධය මත රුසියාවට එරෙහිව තව තවත් සම්බාධක පැනවිය යුතු බව පවසන ඇමරිකාවේ පීඩනයට හිස නැමීම, යුසං විසින් ප‍්‍රතික්ෂේප කරනු ඇති බවයි. එසේ වුවත් ජර්මනිය, ප‍්‍රන්සය හා බ්‍රිතාන්‍යයට, ඇලෙප්පෝවේ නේටෝව පිටුබලය දෙන විපක්ෂ කැරලිකරුවන්ට පහර දීම මත කුහක ලෙස රුසියාව හෙලා දැකීමටත්, අනාගතයේ දිනෙක රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමේ හැකියාව ගැන කියමින් යෝජනාවක් යුසං තුල සම්මත කර ගැනීමටත් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් ඉතාලි අගමැති මැටියෝ රෙන්සිගේ විරුද්ධත්වය නිසා එය ද සාර්ථක නොවීය.

20දා පැවති දිගු සාකච්ඡාවලින් අනතුරුව යුසං නායකයෝ පසුදින උදෑසන 2ට, සිරියාව හා රුසියාව පිලිබඳ ඔවුන්ගේ එකිනෙකට පරස්පර ආස්ථාන ඉදිරිපත් කලහ.

ඉතාලියේ බැංකු ක‍්‍රමය කඩාවැටීමේ අද්දරට පැමින තිබියදී ද දෙසැම්බර් 4දා ව්‍යවස්ථාමය ජනමත විමසුමක් පැවැත්වීමට නියමිතව තිබියදී ද රෙන්සි වෙතින් පෙනෙන්නට තිබුනේ, රුසියාව සමග සමීප වෙලඳ හා බල ශක්ති සම්බන්ධකම් පවතින ඉතාලිය, සම්බාධක පැනවීමක් ගැන කථාකිරීමට පවා අකැමති බවය.

“ප‍්‍රකාශනය තුල, සම්බාධක ගැන කථාකිරීම පවා නිරර්ථක බව පෙනේ. ඒ නිසා මම හිතන්නේ, අවසන් ලියවිල්ල තුල නිවැරදි වචන අප පාවිච්චි කල යුතු බවය, සිරියාව පිලිබඳ එකඟත්වයකට පැමිනීම සඳහා අප කල හැකි සියල්ල කරන බව වැනි” යයි ඔහු පැවසීය.

රෙන්සිගේ ප‍්‍රකාශ වෝර්සෝවේ දැඩි නොසතුටට හේතු විය. පෝලන්තය රුසියාවට එරෙහි ඇමරිකානු යුද ව්‍යායාමය සමග සමීප ලෙස සම්බන්ධව සිටී. පෝලන්ත නියෝජ්‍ය විදේශ ඇමති කොන්රඞ් සිමන්ස්කි පැවසුවේ, රුසියාවට එරෙහි පියවර සම්බන්ධයෙන් “පැහැදිලි” එකඟත්වයක් පවතින බවයි. “සියලු විකල්ප සම්බාධක පිලිබඳවය, විවිධ අය අද සිරියාව තුල සිදුවෙමින් ඇති දේට රුසියාව සමග සම්බන්ධතා සීමා කලෝය. සිරියාව තුල රුසියාවේ හැසිරීම පිලිබඳ වෙනසක් නොවුනහොත් ඒ මාතෘකාවට ඉක්මනින්ම යලි පැමිනීමට අපට සිදුවනු ඇත.”

රුසියාව සමග ගැටුම මත බර්ලිනය හා වෝර්සෝව අතර ද ආතතීන් පැන නැගුනි. බෝල්ටික් මුහුද හරහා රුසියාව හා ජර්මනිය සම්බන්ධ කරන නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල පද්ධතියට පහර දෙමින් සිමන්ස්කි ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක් පල කලේය. පෝලන්තය හා අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් දිගු කලක සිටම නල පද්ධතියට විරුද්ධවී ඇත. 2005දී බර්ලිනය හා මොස්කෝව අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව, රුසියාව සමග ගැටුමක් ඇතිවී මොස්කෝව සිය බල ශක්ති සැපයුම් කපාහැරියොත් පවා ජර්මනියට ප‍්‍රති සැපයුම් ලබාගතහැකි වනු ඇත.

“යුරෝපීය සංගමයේ ආර්ථිකය අස්ථාවර කර, එහි දේශපාලන සම්බන්ධතාවන්ට විස එන්නත් කිරීමට පවා හැකි ට්‍රෝජන් අශ්වයෙක්” ලෙස නල මාර්ගය නම් කල සිමන්ස්කි, “අවශ්‍ය වුවහොත් පෝලන්තය හෝ වෙනත් රටවල්, මේ පිලිබඳව අධිකරනයේදී (යුසං අධිකරනය) නීතිමය අභියෝග පවා එල්ල කල හැකි” බව පැවසීය.

යුසං තුල මතුව ඇති නොවිසඳිය හැකි පරස්පරයන් තුඩුදී ඇත්තේ, රුසියාවට හා චීනයට එරෙහිව ඇමරිකාව විසින් ගෙන යනු ලබන ඉවබව නැති යුද ව්‍යායාමය හමුවේ ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර මතුවී ඇති කටුක ගැටුම් වලටය.

ලබන වසරට යුසං නිර්මානය කල මාස්ට්‍රිච් ගිවිසුම අත්සන් තබා 25 වසරක් ගතවේ. එවක් පටන් පැවති, සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම ද යුසං බිහිවීමෙන් යුරෝපය එක්සත් කිරීම ද මගින් සියල්ලන්ටම සාමය, සෞභාග්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන එනු ඇතැයි යන මිථ්‍යාව සුන්වී ගොසින්ය. යුරෝට්‍රිලියන ගනන් බැංකු වලට පුද කල ද යුරෝපීය ආර්ථිකය, මහා විරැකියාව හා සමාජ අයිතීන්ට පහර දීම හමුවේ එක තැන පල්වෙයි. නැටෝව දස දහස් ගනන් සෙබලු මැද පෙරදිගට හා රුසියාවේ යුරෝපීය දේශසීමාව ඔස්සේ ස්ථානගත කරන අතර යුරෝපය, යලි මිලිටරීකරනය කෙරෙමින් තිබේ.

යුසං මොසුල් වෙත එල්ල කරන දරුනු ප‍්‍රහාර හා සිරියානු ඇලෙප්පෝවේ විපක්ෂ ඉස්ලාමීය මිලිෂියාවන් සන්නද්ධ කිරීමේදී තමන් ඉටු කරන ක්‍රියාකලාපය වසං කිරීම පිනිස, රුසියානු විරෝධී ප‍්‍රචාරනය ඉව බව නැතිව උත්සන්න කරයි. රට තුල පොලිස් රාජ්‍ය උමතුව ඇවිස්සීම ද මිලිටරි වියදම් වැඩි කිරීම යුක්තිසහගත කිරීම පිනිස ඔවුන් වොෂින්ටනයේ කථාම ඇද බාන නමුත් නේටෝව තුලම උග‍්‍රද වෙමින් තිබෙන අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් සැඟවීමට වඩ වඩාත් අසමත් ය.

රුසියාව හා චීනය තුල තමන්ට විවෘත වන ලාභ ලැබීමේ අවස්ථාවන් අතහැර දැමීමට අකැමති බොහෝ යුරෝපීය බලවත්තු, රුසියාවට එරෙහි තවත් ආර්ථික සම්බාධක හා චීනයේ ආසියානු යටිතල ව්‍යූහ ආයෝජන බැංකුව වර්ජනය කිරීම වැනි පියවර ගන්නා ලෙසට කෙරෙන ඇමරිකානු ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරති.

මෙය කවර කලෙකවත් දක්නට නොලැබුනු ආකාරයේ මිලිටරි හා ආර්ථික ආතතීන් සමග අත්වැල් බැඳගෙන ගමන් කරයි. පසුගිය වසරේදී බර්ලිනය හා පැරිසිය, රුසියාවෙන් එල්ල විය හැකි මිලිටරි ප‍්‍රතික්‍රියා පිලිබඳ බිය නිසා, රුසියාවට එරෙහිව යුක්රේනයේ ජාතිකවාදී මිලිෂියාවන් සන්නද්ධ කිරීමේ සීඅයිඒ සැලසුම් වලට විරුද්ධ විය. මේ වසරේදී යුසං නිලධාරීහු, දකුනු චීන මුහුද තුල බීජිනය සමග වොෂින්ටනය ඇතිකරගෙන තිබෙන ආරවුලට තමන් සම්බන්ධ නොවන බව පැවසූහ. වොෂින්ටනයෙන් ස්වාධීනව යුසං හමුදාවක් පිහිටුවීමේ සැලසුම් දැන් යුසං නිලධාරීහු නිවේදනය කරති. එයට බ්‍රිතාන්‍ය ආන්ඩුව විවෘතවම සතුරුකම් දක්වයි.

පසුගිය මාසයේදී මෙම සතුරුකම් වෙලඳ යුද්ධයක් ඇවිලී යෑම දක්වා වර්ධනය විය. ඒ අයර්ලන්තයේදී බදු පැහැර හැරීමේ චෝදනා මත ඇපල් සමාගමට යුරෝ බිලියන ගනනක දඩ, යුසං විසින් නියම කිරීමත්, වොෂින්ටනය එයට එකට එක කිරීමක් ලෙස ජර්මනියේ කොර ගසන ඩොයිෂෙ බැංකුවට ඒ හා සමානම දඩ නියම කිරීමත් සමගය. මෙම පැතිර යන අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම්, සෙටා හා බ්‍රික්සිට් ගිවිසුම් පිලිබඳ එකඟත්වයකට පැමිනීමට යුසං සමුලුවට නොහැකිවීම පිටුපස පැවතියේය.

සෙටා ගිවිසුම පිලිබඳ සාකච්ඡා ඊයේ අවසන් වූයේ, අන්තර් අත්ලාන්තික් වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්වය හෙවත් ටාප් ගිවිසුම පිලිබඳව වොෂින්ටනය සමග සාකච්ඡා නිමා කිරීමට ජර්මානු හා ප‍්‍රන්ස බලධාරීහු තීන්දු කිරීමෙන් දෙමසකටත් අඩු කාලයකදීය. බෙල්ජියමේ වැලෝනියා ප‍්‍රදේශයේදී, කැනේඩියානු තරඟයෙන් යුසං ගොවීන් ආරක්ෂා කල යුතු බව පවසන විරෝධතා මතු විය. බෙල්ජියමේ ප‍්‍රරමුඛ ආර්ථික කලාපයක් වන ෆ්ලැන්ඩර්ස් බලධාරීන් සෙටා ගිවිසුමට සහාය දක්වන අතර ඊට වල කැපීම ද ඉහත විරෝධතාවයේ අරමුනක් වූ බව වාර්තා විය.

බෙල්ජියමෙන් නික්ම යද්දී කැනේඩියානු වෙලඳ ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීකලඩ් පැවසුවේ, “මටත් කැනඩාවටත් දැන් පැහැදිලිවී ඇත්තේ, යුරෝපයේ වැනිම අගයන්ගෙන් යුක්ත කැනඩාව සමග පවා ගිවිසුමකට එලඹ ගැනීමට යුසං දැන් අපොහොසත්ව ඇති බවයි......... කැනඩාවේ බලාපොරොත්තු සුන් විය. එය කල නොහැකි දෙයකි” යනුවෙනි.

එවන් වෙලඳ ගිවිසුමක් පවා ඇතිකර ගැනීමේ දුෂ්කරතා තවදුරටත් පෙන්නුම් කරන්නේ, ලංඩනය යුසං ඉවත්වීමේ ක්‍රියාවලිය පෙරට ගෙන යමින්, මේ දක්වා යුසං නීතියට අනුව ඇතිකරගත යුතුව තිබුනු වෙලඳ ගිවිසුම් තනිවම ඇතිකර ගැනීමට උත්සාහ දරන තතු හමුවේ, ගැඹුරු මතභේද පැන නගිමින් තිබෙන බවයි. බ්‍රික්සිට් මුල්කරගෙන බ්‍රිතාන්‍යය. අගමැති තෙරේසා මේ හා යුසං නිලධාරීන් අතර 20දා පැවති සාකච්ඡා පිලිබඳ විස්තර දැන් පලවෙන්නට පටන්ගෙන තිබේ. මේ සහභාගී වූ යුසං පලමු රැස්වීමේදීම මතභේද ඉස්මතුවී තිබෙන බව ඒ අනුව පැහැදිලිය.

ඇමරිකාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනව, යුසං හමුදාවක් ගොඩනැගීමට ලංඩනය දක්වන විරුද්ධත්වය නිසා, යුරෝපීය මහජන පක්ෂයේ නායක මැන්ෆ්‍රෙඞ් වෙබර් බ්‍රිතාන්‍යයට තර්ජනය කලේය.

“යමෙකුට සමාජය හැර යන්නට අවශ්‍ය බව කියමින්ම එම සමාජයේ අනාගතය හැඩගස්වන ආකාරය නිගමනය කිරීමට යාම සාමාන්‍ය තත්වය නොවේ. බ්‍රිතාන්‍ය ආන්ඩුවේ චර්යාව පිලිබඳව දැඩි කෝපයක් පල වෙමින් තිබේ” යයි ඔහු බීබීසීයට පැවසීය. “ජර්මානුවන්, ප‍්‍රන්ස වැසියන් හා ඉතාලියානුවන් මෙන් අප වටහා ගන්නේ, ඔබගේ නොව අපගේ දිගු කාලීන සැලැස්මක් පිලිබඳව සැලකිලිමත් විය යුතුය කියාය. කරුනාකර කකුලෙන් අදින්න එපා, ඔබ එසේ කරන්නට ගියහොත් බ්‍රික්සිට් පිලිබඳව බොහෝ ප‍්‍රශ්න මතුවන්නට පුලුවන” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this article: