ප‍්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඬයි චිත‍්‍රපටියට වාරනයක්

වසන්ත රූපසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 16

ප‍්‍රවීන සිනමාවේදී ප‍්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා කෘතිය වන “උසාවිය නිහඬයි” නම් වාර්තා චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනයට එරෙහිව කොලඹ දිසා අධිකරනය ඔක්තෝබර් 19 තෙක් තාවකාලික වාරන නියෝගයක් පනවා තිබේ.

අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට තහංචි දැමීම හෝ එය වාරනයට යටත් කිරීම මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් වන අතර එය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකියි. “උසාවිය නිහඬයි” මහජන ප‍්‍රදර්ශනයට මුදා හැරිය යුතුයැයි ද සසප අවධාරනය කරයි.

හිටපු මහේස්ත‍්‍රාත්වරයෙකුවූ ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවෙකුගේ බිරිඳකට හා නඩුවක විත්තිකාරියකට ලිංගික බලාත්කාරකම් කිරීමට අදාල 1990ගනන්වල සිදුවූ සත්‍ය සිදුවීමක් විතානගේගේ වාර්තා චිත‍්‍රපටියට පාදක වේ. මාධ්‍ය වාර්තාවලට අනුව, අදාල වාරන නියෝගය ලබා ගෙන ඇත්තේ හිටපු මහේස්ත‍්‍රාත් රත්නායක විසිනි. “උසාවිය නිහඬයි” චිත‍්‍රපටිය “සාවද්‍ය කතාවක් මත පදනම්ව නිර්මානය කර ඇති” බවත් එමගින් තමන්ට හා අධිකරනයට “අපහාසයක් සිදුකර ඇති” බවත් සඳහන් කරමින් ඔහු ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ උසාවිය මේ තීන්දුව ලබා දී ඇත. මෙය සිදුකෙරුනේ, ඔක්තෝබර් 5දා කොලඹ රීගල් සිනාමා ශාලාවේ පැවැති පූර්ව දර්ශනයට පසුදා සිට සිනමාහල් කීපයක මෙම චිත‍්‍රපටිය මහජන ප‍්‍රදර්ශනය සඳහා මුදාහැරීමට සූදානම් කර තිබියදී ය.

රත්නායක සම්බන්ධ ලිංගික සෝලියත් එම සිදුවීම අධිකරනයේ බලය යොදා වසා දැමීමට මහේස්ත‍්‍රාත් හා ඔහුගේ එම ක‍්‍රියා ආරක්ෂා කල එකල නීතිපතිවූ සරත් නන්ද සිල්වා ක‍්‍රියාකල ආකාරයත්, ධනේශ්වර මාධ්‍ය හා ආගමික සංස්ථාව රත්නායකගේ ආරක්ෂාවට ඉදිරිපත්වූ ආකාරයත් ගැන රාවය කතෘ වික්ටර් අයිවන් “නිමනොවූ අරගලය” නමින් පොතක් ලියා ඇති අතර චිත‍්‍රපටියට පදනම්ව ඇත්තේ එම කෘතිය යි. සිදුවීමෙන් වසර කීපයකට පසුව අධිකරන සේවා කොමිෂන් සභාව රත්නායකට එරෙහිව පරීක්ෂනයක් පවත්වා ඇති අතර එය තීන්දු කර ඇත්තේ අදාල චෝදනාවලට හිටපු මහේස්ත‍්‍රාත්වරයා වරදකරු බව යි. එහෙත් “සීමිත දඬුවමක්” යටතේ රත්නායකට ගැලවී යන්නට අධිකරනය ඉඩදී තිබුනේ ය.

අධිකරනයෙන් “යුක්තිය ඉටුනොවීම” පිිලිබඳව මැසිවිලි පිටුපස යටපත් කොට ඇති සත්‍යය නම් අධිකරනය වනාහී ධනේශ්වර දේපල ක‍්‍රමය හා පාලන පද්ධතිය ආරක්ෂා කිරීමේ උපකරනයක් ය යන සත්‍යය යි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගැනීම සඳහා පවත්නා සමස්ථ ධනේශ්වර පද්ධතිය ම පෙරලා දැමීමේ අවශ්‍යතාව මහජනයා විසින් වටහා ගනු ලැබීම වැලක්වීම, අධිකරනය ද ඇතුලු විවිධ ධනේශ්වර පාලන අංශ කෙරෙහි ඊනියා විවේචන ඉදිරිපත් කරන්නවුන්ගේ අරමුන යි. වික්ටර් අයිවන්ගේ කෘතියෙහි ද එය පාදක කර තනා ඇති විතානගේගේ චිත‍්‍රපටියෙහි ද අන්තර්ගත වන සාවද්‍ය සංකල්පය මෙය යි. චිත‍්‍රපටියට දැන් පනවා ඇති අධිකරන වාරනය මගින් යලිවතාවක් සනාථ කෙරී ඇත්තේ, ධනේශ්වර අධිකරනය පිලිබඳ නිවැරැදි මාක්ස්වාදී අර්ථකතනය වන, අධිකරනය ධනේශ්වරයේ ආරක්ෂකයෙකු පමනක් ය යන කාරනය යි.

“යහපාලනය” තොරොම්බල් කල හා තවමත් තොරොම්බල් කරන ඊනියා වම්මුන්ගේ උත්සහාය වන්නේ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීම බව චිත‍්‍රපටියට පැනවී ඇති තහනම සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රකාශ තවදුරටත් හෙලිදරවු කරයි. පසුගිය 10දා පැවැති මාධ්‍ය සාකච්ඡාවදී, ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක ප‍්‍රකාශ කොට තිබුනේ “අධිකරන ප‍්‍රතිසංස්කරන අවශ්‍ය” බවත් “වාරනය තිබුනේ වුවද සමාජජාල වෙබ් අඩවි මගින් චිත‍්‍රපටිය නැරඹිය හැකි” බවත් ය. මෙය, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වාරනය යුක්ති සහගත කිරීමක් හැර වෙන කුමක්ද? මෙම මිත්‍යාවන්ගෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය වැඩපිලිවෙල වටා එක්රොක්වීම කලාවේ නිදහස පතන්නවුන්ගේ ද කාර්ය විය යුතු බව මේ සිද්ධියෙන් ඉස්මතුව පවතී.

Share this article: