“ඔබ දෝෂාභියෝගයට හසු නොවන පරිපූර්න විප්ලවවවාදියෙකි”

75වැනි උපන්දිනය සමරන ශ‍්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නායක විජේ ඩයස්

On the 75th birthday of Sri Lankan Trotskyist leader Wije Dias

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 සැප්තැම්බර් 9

සැප්තැම්බර් 3වැනිදා ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, සිය ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්ගේ 75වැනි උපන්දිනය සැමරුවේ ය. අප පහත පල කරන්නේ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් විසින් විජේ ඩයස් සහෝදරයාට එවන ලද ශුභපැතුම් පනිවිඩයේ සිංහල පරිවර්තනය යි.

දයාබර විජේ සහෝදරය,

ඔබගේ හැත්තෑපස්වැනි උපන්දිනය සැමරීමට ශ‍්‍රී ලංකාවේ ඔබගේ සහෝදරවරුන් එක් වන අවස්ථාවේ, හතරවැනි ජාත්‍යන්තරයේ ගමන් මගෙහිදී, ලෝක සමාජවාදය සඳහා මෙන්ම ධනේශ්වර සූරාකෑම, මර්දනය හා ප‍්‍රචන්ඩත්වයෙන් මනුෂ්‍ය වර්ගයා විමුක්ත කර ගැනීම සඳහා ඔබ කර ඇති සියල්ල වෙනුවෙන්, ප‍්‍රගාඪ ඇගයීම, ගරුත්වය හා කෘතඥතාවෙන් පිරි, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ මෙන් ම ලෝකය පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවල ඔබගේ සහෝදර සහෝදරියෝ හා මිතුරෝ, ඔවුන් හා එක්වෙති.

විජේ ඩයස්

එහෙත් අපගේ සැමරීම් අවස්ථාවේ දී පවා, ඔබගේ සමාජ අත්දැකීම් හා දේශපාලන තීන්දුවල රූපරාමුව නීර්නය කෙරුනු ඓතිහාසික යුගයේ සන්දර්භය තුල, ඔබ ගත කර ඇති ජීවිතයේ වැදගත්කම පිලිබිඹු වීම වැලක්විය නො හැක.

ඔබ උපන් 1941 වසර, තීරනාත්මක එකක් විය. දෙවැනි ලෝක යුද්ධය බුර බුරා නැගෙමින් තිබුනි. අධිරාජ්‍යවාදය තමන්ට කල හැකි ම්ලේච්ඡ ප‍්‍රචන්ඩත්වය විදහා පාමින් සිටියේ ය. ඔබ ඉපදීමට යන්තම් මාස දෙකකට පෙර, ජර්මනියේ නාසි තන්ත‍්‍රය සෝවියට් සංගමය ආක‍්‍රමනය කලේය. 1941 අවසන් වන විට, ජපානය, බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය, අතිවිශාල ආසියානු මහාද්වීපය මත කුමන අධිරාජ්‍යවාදී බලවතා ආධිපත්‍ය ගනු ඇද්ද යන්න තීරනය කිරීමේ බිහිසුනු සටනක පැටලී සිටියේ ය. මොවුන් බලය සඳහා රුදුරු තරඟයක යෙදී සිටියදී පවා, ආසියාව පුරා ජනතාව පිබිදෙමින් සිටියහ. යුද්ධය මගින් තම අලුත් ස්වාමියා ලෙස කවුරු මතුවේ දැ යි තීරනය කරන තෙක් අකර්මන්‍යව බලා සිටීමට ඔවුන්ට රිසි නොවීය. ඊට ප‍්‍රතිවිරුද්ධ ආකාරයකට ජනතාව උත්සාහ කලේ, යටත්විජිත මර්දනයේ සමස්ත යාන්ත‍්‍රනය ම පෙරලා දැමීමට ය.

එහෙත් මෙය දිනාගත හැකිව තිබුනේ කෙසේ ද? ආසියානු ධනේශ්වරයේ නොයෙකුත් ජාතික නායකයයින් අනුශාසනා කලේ පරෙස්සම හා ඉවසීම යි. සියල්ලටත් වඩා ඔවුන් බියපත් වුනේ, යටත්විජිතවාදයට එරෙහි මහජන අරගලය, තමන්ගේම පන්ති උත්සුකයන්ට තර්ජනයක් වීමට ඉඩ ඇති, සමාජවාදී පරිමාවක් ගැනීමේ හැකියාව පිලිබඳවයි. ඉන්දියාව තුල තරම් මෙම පන්ති පාදක භීතිය වඩා පැහැදිලි ප‍්‍රකාශනයක් අත් කර ගත් තැනක් ආසියාවේ කොහේ වත් නො වී ය. සියල්ලටත් වඩා එහි දී ගාන්ධිගේ අවිහිංසාවාදය යොමු කෙරුනේ, කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීමට එරෙහිව ය. තමන්ගේ පැත්තෙන් ඉන්දීය ස්ටැලින්වාදීන්, සෝවියට් නිලධාරී තන්ත‍්‍රයේ මාවත අනුගමනය කරමින් අවධාරනය කලේ, කම්කරු පන්තිය ධනේශ්වර කොංග‍්‍රස් පක්ෂයේ දේශපාලන ආධිපත්‍යයට හිස නැමිය යුතු බව හා ඉනුත් එහාට ගොස්, යුද්ධය පවතින තාක් දුරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී උත්සුකයන්ට තර්ජනය කෙරෙන කිසිවක් නොකල යුතු බවටත් ය.

කෙසේ නමුත්, ධනේශ්වර ජාතිකවාදීන්ගේ හා ඔවුන්ගේ ස්ටැලින්වාදී සහචරයන්ගේ ක‍්‍රියාමාර්ගයට එරෙහිව, මහජනතාව ඉදිරියේ තවත් ඉදිරිදර්ශනයක් මතු වෙමින් තිබුනි: ඒ වනාහි නොනවතින විප්ලවයයි. 1939 ජූලි මාසයේ දෙවැනි ලෝක යුද්ධය පුපුරායාම ආසන්නයේ දී ලියොන් ට්‍රොට්ස්කි, “ඉන්දියාවේ කම්කරුවන්ට විවෘත ලිපියක්” නිකුත් කලේ ය. ඔහු මෙසේ සඳහන් කලේ ය:

ඉන්දියානු ධනේශ්වරය විප්ලවීය අරගලයකට නායකත්වය දීමට අසමත් ය. ඔවුන් කිට්ටුවෙන් බැඳෙන්නේ ද යැපෙන්නේ ද බි‍්‍රතාන්‍ය ධනවාදය මත ය. ඔවුන් සලිත වන්නේ ඔවුන්ගේ ම දේපල වෙනුවෙනි. ඔවුන් ජනතාව පිලිබඳ බියෙන් පසුවෙයි. ගෙවිය යුතු මිල කවරක් ද යන්න නොතකා ඔවුන්, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් ප‍්‍රාර්ථනා කරන අතර, ඉහලින් ලැබෙනු ඇතැයි කියන ප‍්‍රතිසංස්කරන බලාපොරොත්තුවෙන් සිටින ලෙස ඉන්දියානු ජනතාව නලවයි. මෙම ධනේශ්වරයේ නායකයා හා අනාගත වක්තෘ ගාන්ධි ය. (ඔහු) ව්‍යාජ නායකයෙකු මෙන් ම සාවද්‍ය අනාගත වක්තෘවරයෙකි!...

ආරම්භයේ දී ම ඉන්දියානු ජනතාව, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් තම ඉරනම වෙන් කර ගත යුතු ය. පීඩකයන් හා පීඩිතයන් නැගී සිටින්නේ යුද බිමේ දෙපැත්තේ ය. වහල් හිමියන්ට කිසිම සහායක් එපා! ඊට වෙනස් ව, එහි ආරම්භයේ දී ම යුද්ධයෙන් නිර්මානය කරන ඉමහත් දුෂ්කරතා, පාලක පන්තීන්ට මාරාන්තික ප‍්‍රහාර එල්ල කිරීම සදහා උපයෝගී කර ගත යුතුය. ස්වාමීන් එසේ වේ ද නැද්ද යන්න නො සලකා, සියලු ම රටවල පීඩිත ජනතාවන් ක‍්‍රියා කල යුත්තේ එසේ ය. අධිරාජ්‍යවාදීහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ ෆැසිස්ට්වාදී වෙස් මුහුනු පැලඳ ගනිති.

එවැනි ප‍්‍රතිපත්තියක් සාක්ෂාත් කර ගැනීමට විප්ලවවාදී පක්ෂයක්, කම්කරු පන්තියේ පෙරමුනු බල ඇනිය මත පදනම්වීම අත්‍යාවශ්‍ය ය. එවැනි පක්ෂයක් මේ දක්වා ඉන්දියාව තුල නොපවතියි. හතරවැනි ජාත්‍යන්තරය මෙම පක්ෂයට තම ක‍්‍රියාමාර්ගය, අත්දැකීම් හා සහයෝගය පිරිනම යි. මෙම පක්ෂයේ මූලික කොන්දේසි වන්නේ: අධිරාජ්‍යවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පූර්න ස්වාධීනත්වය, දෙවැනි හා තුන්වැනි ජාත්‍යන්තරයන්ගෙන් පූර්න ස්වාධීනත්වය, හා ඉන්දියානු ජාතික ධනේශ්වරයෙන් පූර්න ස්වාධීනත්වය යි.

බොහෝ ඈත මෙක්සිකෝවේ සිට ලියන ලද මෙම වදන්, ට්‍රොට්ස්කිගේ විවෘත ලිපිය තුල ඉදිරිපත් කෙරුනු ප‍්‍රතිපත්ති මත පදනම් වූ ඉන්දියානු උපමහාද්වීපය හා විශේෂයෙන් ම ලංකාව තුල අලුතින් ආරම්භ කෙරුනු ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) තරුන නායකයින්ට අවශ්‍ය දේශපාලන දිශානතිය සැපයීමේදී, ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් විය. 1942දී ලසසප හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් බවට පත් විය. ඔබගේ ජීවිතයේ පලමු වසරේ දී ගනු ලැබුනු, මෙම ඓතිහාසික තීරනය, ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) හා 1940 ගනන් අග හා 1960 ගනන් මුල ලසසප ධජය යටතට රොක්වුනු, ඔබ කෙරෙහි මෙන් ම ලංකාවේ තරුනයන්ගේ සම්පූර්න පරම්පරාවක් මත ඒ සා ප‍්‍රගාඪ බලපෑමක් ඇති කල හැකි වූ දේශපාලනික හා බුද්ධිමය සංස්කෘතියකට පදනම දැමී ය.

කොල්වින් ආර්. ද සිල්වා

විජේ සහෝදරය, ඔබ දන්නා පරිදි, 1960 ගනන් මුල තීරනාත්මක වසරවල ලසසප තරුන ව්‍යාපාරය තුල ඔබගේ අත්දැකීම් විස්තර කරන ලෙස බොහෝ අවස්ථාවල දී මම ඔබගෙන් ඉල්ලා ඇත්තෙමි. ඔවුන් සරන ගොස් තිබූ විප්ලවවාදී ප‍්‍රතිපත්ති වලින් කොල්වින් ආර්. ද සිල්වා හා අනෙකුත් අයගේ පසු බැසීම ඔබ දුටුවේ ය. 1964 ලසසපයේ පාවාදීම ― ඔවුන් සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුලුවීම ― ඔබගේ දේශපාලන “තාරුන්‍යය” අවසානයකට ගෙන ආ පලමු මහා දේශපාලනික පරීක්ෂනය යි. ඔබගේ වැඩිහිටියන්ගෙන් වෙනස්ව හා විරුද්ධව, ඔබ ඔවුන්ගේ යටත්වීම ප‍්‍රතික්ෂේප කල අතර ශ‍්‍රී ලංකාව තුල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී ධජය ඔසවා තැබීම ඇරඹී ය.

ඊට පසු වසර කීපය ඉමහත් ලෙස අභියෝගාත්මක විය. ලසසප පවාදීම, අවමංගතවීම හා දිරිසුන්කම පැතිරවීමට තරම් ගැඹුරු එකක් විය. ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංවිධානය -1953 පටන් ඔවුන් සිදු කරන ලද ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය සංශෝධනය කිරීම, ලසසපය තුල අවස්ථාවාදයේ වැඞීම සුජාත කර පෝෂනය කලේය- ලංකාව තුල පාවාදීමේ මූලයන් පිලිබඳ බැරෑරුම් විශ්ලේෂනයක් කිරීම වැලක්වීමට හැකි සෑම දෙයක් ම කලේ ය. අලුතින් පිහිටවුනු ලසසපයට (විප්ලවවාදී), පැබ්ලෝවාදී නායක අර්නස්ට් මැන්ඩෙල් හා ඔහුගේ නඩය පංගාර්තු කල කාර්ය භාරය මෙය විය.

පැවති දුෂ්කර කොන්දේසි නොතකා, දේශපාලන පැහදිලිකම සඳහා වූ තීරනාත්මක කටයුතු පෙරට ගියේ ය. විල්ෆ‍්‍රඩ් “ස්පයික්” පෙරෙයිරාගේ නොමඳ සහාය ඇතිව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලසසපයේ (විප්ලවවාදී) මාධ්‍යමික විසකුරු දේශපාලන වාතාවරනයෙන් වෙන්වී ගැනීමට උත්සාහ දරමින් සිටි ඔබ හා ශක්ති කන්ඩායමේ අනෙකුත් අය - ප‍්‍රධාන වසයෙන්ම රත්නායක, කීර්ති හා වික්ස් යන සහෝදරවරුන් - සමග සම්බන්ධකම් ඇති කර ගැනීමට සමත් විය. සැබිවින් ම, එම ක‍්‍රියාවලිය සංකීර්න මෙන් ම පරස්පරවිරෝධී එකක් විය. එහෙත් 1966 හා 1968 අතරතුර විප්ලවවාදී ප‍්‍රතිපත්ති ආරක්ෂා කර පුනස්ථාපනය කිරීමේ අරගලය, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) - සමාජවාදී සමානාතා පක්ෂයේ පූර්වගාමී- පිහිටුවීම තුල කුලු ගැන්වුනි.

මෙම දැවැන්ත දේශපාලන අත්දැකීම පසුකර ගොස් සිටි ඔබ ඒ වන විට විසි ගනන්වල තරුනයෙකු විය. එහෙත් විකොස මුහන දුන් අභියෝග නිස්කලංකය බිඳ දැමීය. පක්ෂ නායකත්වයට යලි යලිත් තම දේශපාලන දෘඪ බව පෙන්නුම් කිරීමට සිදුව තිබුනි. මෙම අත්දැකීම් පිලිබඳ සවිස්තර අගැයීමකට, අන්තර්ගත වනු ඇත්තේ, ශ‍්‍රී ලංකාව, ආසියානු උපමහාද්වීපය හා සැබවින් ම පසු ගිය අඩසියවසක කාලය තුල හතරවැනි ජාත්‍යන්තරයේම දේශපාලන ඉතිහාසයට වඩා අඩු දෙයක් නො වනු ඇත. ක්ෂනිකව මතකයට නැගෙන සිදුවීම් අතර, (1) 1971 ජනතා විමුක්ති පෙරමුනේ නැගිටීම, මෙහි දී විකොස, -මා ඕවාදී සංවිධානය සමග නො පෑහිය හැකි වෙනස්කම් තිබියදීම හා තමන්ට මුහුන පෑමට සිදුවූ දැඩි අවදානම නොතකාම- ආන්ඩුවේ ම්ලේච්ඡ මර්දනයට එරෙහිව ජේවීපීය හා එහි බලපෑමට හසුව සිටි ගම්බද තරුනයන් ආරක්ෂා කලේ ය; (2) 1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහනයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියට එරෙහිව සිදු කෙරුනු කුරිරු ප‍්‍රති-ප‍්‍රහාරය; (3) 1983 දී සිවිල් යුද්ධය පුපුරා යාම. මෙහිදී කොලඹ තන්ත‍්‍රයේ වර්ගවාදී දෙමල විරෝධී ප‍්‍රතිපත්තිවලට මෙන් ම එල්ටීටීඊයේ ධනේශ්වර ජාතිකවාදී බෙදුම්වාදී ක‍්‍රියාමාර්ගයට ද එරෙහිව විකොස පමනක් හුදකලාව නැගී සිටියේ ය; 4) 1980 ගනන්වල ජේවීපීය විසින් මුදාහරින ලද ප‍්‍රචන්ඩ ව්‍යාපාරය, මෙය විකොස ඉලක්ක කර ගත්තේ, සිංහල ස්වෝත්තමවාදය පිලිබඳ එහි නිර්දය විරුද්ධත්වය නිසා ය.

කීර්ති බාලසූරිය

1971 හා 1985 අතරතුර විකොසට, දේශපාලන අර්බුදයේ මෙම අවසානයක් නො වු සන්තතියට මුහුන දීමට සිදුව තිබුනේ, බි‍්‍රතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්) පසුව, කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී පදනම් ප‍්‍රතික්ෂේප කිරීමේ මාවතක ගමන් කරමින් සිටියදීය. කෙලින්ම කිවහොත්, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දියානු ආන්ඩුව විසින් නියෝග කරන ලද, 1971 නැගෙනහිර පකිස්තාන ආක‍්‍රමනය සඳහා, එස්එල්එල් දුන් අවස්ථාවාදී සහයෝගයට එරෙහිව විකොස, දේශපාලන කමිටුවේ ද සහාය ඇතිව කීර්ති සහෝදරයා විසින් කරන ලද නිවැරදි හා අතිශය ප‍්‍රබල විවේචනය පිලිබඳව, කවිපයේ හීලි, බන්ඩා හා ස්ලෝටර් නායකත්වය විසින් කිසිදා අමතක කර දැමුවා හෝ සමාව දෙනු ලැබුවා හෝ නො වේ.

කම්කරු විප්ලවවාදී පක්ෂය උත්සාහ කලේ, ජාත්‍යන්තර කමිටුව තුල දේශපාලන දෘෂ්ටීන් පිලිබඳ ප‍්‍රතිපත්තිමය සාකච්ඡා වැලක්වීමට ය. 1982 හා 1984 අතරතුර වර්කර්ස් ලීගය විසින් මතු කරන ලද, කවිපයේ දේශපාලන මාවත පිලිබඳ විවේචන සම්බන්ධයෙන්, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුලුමනින් ම අඳුරේ තබන ලදී. 1984 පෙබරවාරි මස, ඇමරිකාවේ වර්කර්ස් ලීගය හා බි‍්‍රතාන්‍ය කවිප අතර මතභේද සාකච්ඡා කිරීමට, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කැඳවූ රැස්වීම පිලිබඳව විකොස දැනුවත් කල යුතු බව හා එය ඊට කැඳවිය යුතු බවට මවිසින් කරන ලද විශේෂ ඉල්ලීම කවිප නායකත්වය විසින් නොසලකා හරින ලදී. කවිපය නොනවතින විප්ලව න්‍යාය අතහැර දැමීම හා ධනේශ්වර ජාතිකවාදීන් සමග ඔවුන් පැවැත්වූ ප‍්‍රතිගාමී සම්බන්ධකම් පිලිබඳ වර්කර්ස් ලීගයේ විවේචන සමග විකොස නායකත්වය එකඟ වනු ඇතැ යි ඔවුන් කල්පනා කල හෙයින්, හීලි, බන්ඩා හා ස්ලෝටර් නායකත්වය මෙම ප‍්‍රතිපත්ති විරහිත උපාමාරුවල සරන සෙවූ බව නිසැක ය.

කෙසේ නමුත් 1985දී කවිපය තුල දේශපාලන අර්බුදයේ පිපිරීම, ජාත්‍යන්තර කමිටුව තුල එහි ප‍්‍රතිගාමී ආධිපත්‍යය අවසානයට ගෙන ආවේ ය.

1985 ඔක්තෝබරයේ ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර කමිටු රැස්වීම සලකුනු කලේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල නව හා දැවැන්තව වැදගත් වූ අවධියකි. 1953 විවෘත ලිපිය නිකුත් කිරීම සමග ඇරඹුනු, හතරවැනි ජාත්‍යන්තර තුල දිග්ගැස්සුනු සිවිල් යුද්ධය ලෙස අප විසින් විස්තර කරනු ලැබ තිබූ, පැබ්ලෝ හා මැන්ඩෙල් විසින් නායකත්වය දෙන ලද සංශෝධනවාදී කැරැල්ලට විරුද්ධ අරගලය අවසානයට පැමිනියේ, ජාත්‍යන්තර කමිටුව තුල ට්‍රොට්ස්කි විරෝධී කන්ඩායම්වල අන්ත පරාජය සමගිනි.

කවිප අවස්ථාවාදීන් සමග භේදයේ ක‍්‍රියා සන්තතිය තුල හා එහි ක්ෂනික ඉක්බිත්තේ, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය තුල කීර්ති බාලසූරිය සහෝදරයා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය. කෙසේ නමුත්, ඔහුගේ සුවිශේෂී ප‍්‍රතිපදානයන් පෙන්නුම් කලේ, ඊට පෙර දශකවල ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ අත්දැකීම්වලින් උකහා ගැනුනු, විකොස නායකත්වය හා සමාජිකත්වයේ අතිමහත් අත්දැකීම් හා දේශපාලන ස්ථිරසාර බව යි.

1987 දෙසැම්බරයේ දී අකාලයේ සිදුවූ හා මුලුමනින් ම අනපේක්ෂිත කීර්ති සහෝදරයාගේ අභාවය විකොසට දරා ගත හැකි වූයේ මෙම හේතුව නිස යි. වයස අවුරුදු 39ක්ව සිටියදී සිදුවූ ඔහුගේ අභාවය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මෙන් ම හතරවැනි ජාත්‍යන්තරයට ද කටුක හා ඛේදජනක පාඩුවක් විය. සිවිල් යුද්ධය, ජේවීපී ඝාතකයින්ගේ ප‍්‍රහාර, හා ආන්ඩුවේ අඛන්ඩ මර්දනය හමුවේ කීර්ති අභාවයට පත්වීමේ බලපෑම දරා ගැනීමට විකොස සමත් වූයේ, කුමන වෛෂයික මානයකට අනුව වුවත් විකොස නායකත්වයේ අත්‍යාසාමාන්‍ය දේශපාලන ශක්තිය නිසාය. එහෙත් පක්ෂයේ එක්සත්කම පවත්වා ගනිමින්, එහි විප්ලවවාදී ජාත්‍යන්තරවාදී නැඹුරුව ආරක්ෂා කරමින් හා එය ඉදිරියට මෙහෙයවමින් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල යමෙකු වේ නම් ඒ ඔබ යි. විජේ සහෝදරය, එය අප පිලිගත යුතු ය. එමෙන් ම මෙම විනිශ්චයට අභියෝග කරනු ඇති එක සහෝදරයෙකුවත් විකොස/සසප හෝ ජාත්‍යන්තර කමිටුව තුල නොමැත.

අප පලමු වරට හමුවීමේ තැන් පටන් වසර 45කට වඩා ඉක්ම ගොස් ඇත. පසු ගිය වසර තිහ පුරා අපි එකට වැඩ කර ඇත්තෙමු. සහෝදරයෙකු, සටන්කරුවෙකු හා මිනිසෙකු ලෙස ඔබ වෙනුවෙන් මගේ ගෞරවයේ ගැඹුර වචනවලින් ප‍්‍රමානවත් තරම් මට ඇඟවිය නො හැක. වැරදිවල කොටසක් ද ඔබ සතුව ඇති බව මට විශ්වාස නමුත්, සමාවන්න, ඉන් කිසිවක් මේ මොහොතේ මගේ මතකයට නො පැමිනෙන බවට පාපෝච්ඡාරනය කරන්නෙමි. මාක්ස්වාදී ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ දී ඔබ නොනැමී සිටියේය. හිර ගෙදරක කාලය ගත කරන අතරතුර, සමාජවාදී විප්ලවයේ අපේක්ෂාව පිලිබඳ ඔබගේ කැපවීම මගින් හිරගෙදර භාරකරුට පවා බලපෑමක් ඇති කරන ලදී!

ලංකාව පුරා, -දේශපාලන විරුද්ධවාදීන් පවා- ඔබට ගෞරව කරන්නේ, අභියෝග කල නො හැකි දේශපාලන අවංක භාවයේ මිනිසෙකු ලෙසට ය. සිංහල මෙන් ම දෙමල ප‍්‍රජාවන් තුල කම්කරු පීඩිත ජනතාවගේ ගෞරවය හා පිලිගැනීම හිමිවන, ශ‍්‍රී ලංකාවේ එක ම දේශපාලන නායකයා ඔබ ය. සමස්ත කම්කරු පන්තියේ එක්සත්කම සඳහා ද සියලු වාර්ගික බෙදුම්වාදී රූපාකාරයන්ට විරුද්ධව ද සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනක් බව ඔවුහු පිලිගනිති. අඩ සියවසකට වඩා විහිදෙන දේශපාලන අරගලයේ ක‍්‍රියාදාමය තුල දී, හා ගිනිය නො හැකි දුෂ්කරතාවන් අභිමුවෙහි -ඔබගේ සදාදරනීය බිරිඳ, පියසීලී සහෝදරියගේ අභාවය ද ඇතුලුව- ඔබ හතරවැනි ජාත්‍යන්තරයේ ධජය ඉහලින් ඔසවා ඇත.

මෙම උපන්දිනය සංධිස්ථානයක් බවට සැකයක් තිබිය නො හැක. යමෙකු සංඛ්‍යාවන් සමග උපාමාරු දැමිය හැකි වුවත්, 75 වසරක් යනු සැලකියුතු කාලයකි. එහෙත් වයසත් සමග පැමිනියේ සදා-ශ්‍රේෂ්ඨ ප‍්‍රඥාසම්පත්තිය යි, එමෙන් ම වසර කීපයකට පෙර ඔබගේ දීර්ඝායුෂට තර්ජනය කල ලොකුම කාරනා දෙකක් -මෝටර් බයිසිකල් ධාවනය හා සිගරට් දුම් පානය- ඔබ විසින් පෙර දක්නා ලදී. එබැවින් එලඹෙන වසරවල දී විප්ලවවාදී අරගලයේ පෙරමුනු බලඇනියේ ඔබ සිටිනු ඇතැ යි අපේක්ෂා කිරීමට සෑම කරුනක් ම අපට ඇත.

සැමදා ඔබගේ සහෝදර

ඩේවිඩ් නෝර්ත්

Share this article: