අවිශිබමය තම ක‍්‍රියාකාරකම් ප‍්‍රතික්ෂේප කල සිසුන්ට කායිකව පහර දෙයි

ලොහාන් ගුනවීර සහ මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 සැප්තැම්බර් 4

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් කැඳවුම් කල ක‍්‍රියාකාරකම් වලට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කල පේරාදෙනිය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි සිසුන් දෙපිරිසකට, අවිශිබමයේ හස්තයන් ලෙස ක‍්‍රියාත්මක වන, ඊනියා මහා ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් විසින් එල්ල කල ප‍්‍රචන්ඩ කායික ප‍්‍රහාරයන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

අගෝස්තු 22 සඳුදා, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පලමු වසර සිසු පිරිසකට එම පීඨයේ ම දෙවන වසර සිසුන් පිරිසක් ද, අගෝස්තු 30 වන දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ පලමු වසර සිසුන් පිරිසකට එම පීඨයේම දෙවන වසර සිසුන් පිරිසක් ද එල්ල කල මෙම ප‍්‍රහාරයන්, ඉහත ශිෂ්‍ය සංගම් විසින් දැනුවත්ව සැලසුම් කොට එල්ල කරන ලද්දක් බව සිද්ධිය දිගහැරී ඇති ආකාරයෙන් ද, අනාවරනය කෙරෙන තොරතුරු වලින් ද තහවුරු වෙයි.

පේරාදෙනියේ දී පහර දී ඇත්තේ “ජ්‍යෙෂ්ඨයන්” විසින් සංවිධානය කල රැස්වීමකට පැමිනීම ප‍්‍රතික්ෂේප කල “කනිෂ්ඨ” සිසු පිරිසකටයි. “ජ්‍යෙෂ්ඨයන්” හෙවත් මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් විසින් සංවිධානය කරන මෙම ඊනියා රැස්වීම් යනු, අවිශිබමයේ සහ එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලන ක‍්‍රියාකාරකම් සඳහා සිසුන් පොලඹවා ගැනීම සඳහා බලහත් කාරී ලෙස කෙරෙන්නක් බව බොහෝ දෙනා දන්නා කරුනකි. සැබැවින්ම රැස්වීමෙහි ප‍්‍රධාන අරමුන වී ඇත්තේ, අවිශිබමයෙන් සංවිධානය කොට අගෝස්තු 31 දින පැවැත්වුනු සයිටම් විරෝධී පා ගමනට සහභාගී වීම සඳහා සිසුන් සූදානම් කිරීම යි. මෙම රැස්වීම් වලට සහභාගිවීම හෝ නොවීම සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. ”ජ්‍යෙෂ්ඨ සිසුන්” විසින් ප‍්‍රචන්ඩ මැර බලය යොදා ඇත්තේ එම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියට එරෙහිවයි.

ජයවර්ධනපුර සරසවියේ පහරදීම සිදුව ඇත්තේ ද එවැනිම රැස්වීමකදීය. රැස්වීමට සහභාගිවූ පලමු වසර සිසුවෙකු අත තිබූ හෙල්මටයක් පිලිබඳ ප‍්‍රශ්න කරමින් ප‍්‍රකෝපකරනයට මුල පිරූ ”ජ්‍යෙෂ්ඨයින්”, දෙපිරිස අතර ඇතිවූ වාදයක් මධ්‍යයේ ප‍්‍රහාරය අරඹා ඇත. අසල තිබූ ඩෙස් බංකු කඩා එල්ල කල අමානුෂික ප‍්‍රහාරය හේතුවෙන් පලමු වසර සිසුන් හය දෙනෙකු රෝහල් ගත කිරීමට සිදුව ඇති අතර ඉන් එක් සිසුවෙකු නාසයේ සැත් කමකට ද භාජනය කෙරී ඇත.

පහර කෑමට ලක්වූ ශිෂ්‍යයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරුනු දක්වමින්, මෙවන් ප‍්‍රහාරයකට ඔවුන් ලක්වූයේ මන්ද යන්න පැහැදිලි කරමින් මෙසේ පැවසීය: “පහර කෑමට ලක්වූ අපි ඔක්කොම කැම්පස් හොස්ටල් වලින් පිටස්තර ස්ථානවල ඉඳල ඉගෙන ගන්න එන අය. ශිෂ්‍ය සංගම් නියෝජිතයො, හොස්ටල්වල ඉන්න අය බලහත් කාරයෙන් තමාගෙ ග‍්‍රහනයේ තියාගෙන හිටියත් පිට ඉඳල එන අපි එහෙම තියා ගන්න අමාරුයි. අවිශිබමයෙ දේශපාලනයට එකඟ නැති අයත්, ඒ සටන් වලින් නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න බෑ කියල හිතන අයත්, රාජ්‍ය මර්දනයට බය අයත් වගේම මේ කිසිවක් නොතකා උපාධිය ගැන පමනක් හිතන අයත්, හැකි හැම වෙලාවෙම ශිෂ්‍ය සංගම්වල වැඩ මග හරිනව. උදාහරනයක් වශයෙන් අපි ඔවුන්ගේ කැට ව්‍යාපාරයට සම්බන්ධ උනේ නෑ. ඒක ඒ අය දන්නව. ඒක කෙලින්ම කියල අපිට ගහන්න බැරි නිසා බොරු නිමිති අරගෙන ගැහුව කියල මට හිතෙන්නෙ.’

තමා ඇතුලු බොහෝ සිසුන් පුද්ගලීකරනයට එරෙහිව අධ්‍යාපන අයිතීන් රැක ගැනීම සඳහා සටන් කිරීමට සූදානම් නමුදු, අවිශිබමයේ විරෝධතා මගින් එම සටන ජයගත නොහැකිය යන ආස්ථානයේ සිටින බව ඔහු තවදුරටත් පැවසීය. “අපි එකකට පස්සෙ තවත් එකක් ආකාරයට සංවිධානය කරපු උද්ඝෝෂන වලට මුලදි දිගටම සහභාගි උනා. ඒත් ආන්ඩුව තමන්ගෙ වැඩපිලිවෙල ඉස්සරහටම අරන් යනව විතරක් නෙවෙයි, එන්න එන්නම මර්දනය උග‍්‍ර කරනව.”

පේරාදෙනියේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලෝසවෙඅ ට කතා කල එම සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුගේ අදහස මෙසේ විය: “ශිෂ්‍ය සංගමයේ නවකවද වැඩවලට, දේශපාලන අරගලවලට සහයෝගය නොදුන් නිසා අපට කරපු තර්ජන ගැන, පහර දීම් ගැන, ඒ වගේම විශ්ව විද්‍යාලයේ සමහර ගොඩනැගිලි සහ පහසුකම් භාවිතා කරන්න නොදී අපිව එලවා දැමීම ගැන හිතන කොට මේ ප‍්‍රහාරය මහා ශිෂ්‍ය සංගමයෙන් එල්ල කෙරුනු එකක් බවට සැකයක් නෑ. ඔය වගේ සිද්ධි ගැන, විවිධ අවස්ථාවල අපි පැමිනිලි කරල තියෙනවා. එතකොට මාර්ෂල්ලා, පරිපාලනයේ සමහරු ඒ පැමිනිලි සම්බන්ධ විස්තර සේරම ශිෂ්‍ය සංගමයට දෙනව. මතුපිටින් බැලුවම පරිපාලනයයි, ආරක්ෂක අංශයි එක පැත්තකත්, ඊට විරුද්ධ පැත්තෙ මේ ශිෂ්‍ය සංගම් ඉන්නව වගේ පෙන්නනව. ඒත් මේ වගේ ප‍්‍රශ්නවලට ආවම දෙපැත්තම යටින් එකතු වෙලා වැඩ කරනව.”

පේරාදෙනියේදී පහර කෑමට ලක්වූ සිසුන් සියලු දෙනාම දෙමල සහ මුස්ලිම් වාර්ගිකයන් වීම ද සැලකිල්ලට ගතයුතු තවත් වැදගත් කරුනකි. කලින් ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) මෙහෙයවුනු සහ දැන් පෙසපයෙන් මෙහෙයවෙන අවිශිබමයත්, ඒ යටතේ වැඩ කරන මහා ශිෂ්‍ය සංගමයත්, විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍ය කටයුතු වාර්ගික රේඛා ඔස්සේ බෙදා පවත්වාගෙන යාමට බොහෝ කලක් තිස්සේ ක‍්‍රියාත්මක වෙමින් සිටිති. “බැච් මීටිං” හා විවිධ නම්වලින් හැඳින්වෙන රැස්වීම් පමනක් නො ව විවිධාකාර “අරගල”, උද්ඝෝෂන හා පෙලපාලි සඳහා ශිෂ්‍ය කන්ඩායම් සහභාගී කරගැනීමේ සිට විනෝදාස්වාද හා සංස්කෘතික ක‍්‍රියාකාරකම් දක්වා ශිෂ්‍ය ජීවිතයේ බොහෝ කටයුතු සිංහල හා දෙමල වාර්ගික භේදය අනුව වෙන වෙනම පවත්වාගෙන යනු ලැබේ.

වාර්ගික සමානතාව ගැන බොරු මවාපෑම් කරන අවිශිබම හි සහ පෙසප හි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය නිරතුරුව විශද වන්නේ ජවිපෙ හි සිංහල ස්වෝත්තමවාදී පෙකනිවැලෙන් එය කිසි විටෙකත් නොබිඳුනු බැවිනි. එය මෑතම සිදුවීමකින් වඩාත් පැහැදිලි විය. මිලිටරියේ සහ සිංහල වර්ගවාදී නඩවල පූර්න පිටුබලය සහිතව ක‍්‍රමානුකූලව සිදුකල ප‍්‍රකෝපකරනයන් මාලාවක ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දා යාපනය සරසවිය තුල ඇතිවූ සිසු ගැටුමේ යථා පසුබිම මුලුමනින්ම වහංගු කල පෙසප, එහි වගකීම දෙමල සිසුන් වෙත පැටවූයේ “ගැටුම් වලක්වා ගැනීමට දෙමල සිසුන්ට විශේෂ වගකීමක් පැවරෙන බව” පවසමිනි.

පේරාදෙනියේ ඊනියා “බැච්” රැස්වීමට දෙමල සහ මුස්ලිම් සිසුන් සහභාගි නොවීම පිටුපස, අවිශිබමයේ විරෝධතා දේශපාලනය සහ සුලූජනවාර්ගිකයන්ට එරෙහි රාජ්‍ය මර්දනයේ රුදුරු අත්දැකීම් පිලිබඳ උත්සුකයන්ට අමතරව එහි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය ප‍්‍රතික්ෂේප කිරීමක් ද ගැබ්ව පවතින බව නිසැකය.

පේරාදෙනිය සහ ජයවර්ධනපුර සිද්ධීන් දෙකෙන්ම තහවුරු වන ප‍්‍රධාන කරුනු දෙකකි. ඉන් පලමුවැන්න නම් අවිශිබමයේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්බව වඩවඩාත් හෙලිවන තතු යටතේ ශිෂ්‍යයන් අවිශිබමයට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටීම ආම්භකර ඇති බවයි. දෙවැන්න නම් සිසුන් අතර ව්‍යාජව සහ බලහත්කාරීව රඳවාගෙන සිටි තම ග‍්‍රහනය වේගයෙන් ගිලිහී යනබැව් දැන වියරු වැටී සිටින අවිශිබමය සහ පෙසප දිගටම භාවිතයේ යොදවමින් සිටි මැරබලය වඩාත් ප‍්‍රචන්ඩ ලෙස යොදා ගනිමින් සිසුන් මත තම ග‍්‍රහනය රඳවා ගැනීමට තීන්දු ගෙන ඇති බවයි.

මෙහි තවත් වැදගත් සනාථනයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන්ම සැපයේ. ඉහත ප‍්‍රහාරයෙන් යන්තම් සතියක් ගත වීමටත් ප‍්‍රථම, පේරාදෙනිය සරසවියේ උද්ඝෝෂනයක යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයන්ට තර්ජනය කල මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ තවත් එවැනිම ප‍්‍රහාරයක් සඳහා ප‍්‍රයත්න දැරූහ.

සසප-සසජාතශි කන්ඩායම විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය අසල ගලහ මහනුවර මාර්ගයේ පත‍්‍රිකා බෙදමින්, සැප්තැම්බර් 2 වැනි දා මහනුවර දී පැවැත්වෙන තම රැස්වීම පිලිබඳ දැනුවත් කරමින් සිටිය දී එතැනට පැමිනි මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් මෙය පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමයේ “අවසරය ලබා ගෙන කරන වැඩක් දැ” යි අසමින් ඊට බාධා පැමිනවීම ඇරඹූහ. ඒ සඳහා කවරෙකුගේ හෝ අවසරයක් ලබා ගැනීම අනවශ්‍ය බවත්, සිසුන් උත්සුකයක් දක්වන ලෝක පරිමාන වැදගත්කමක් උසුලන ගැටලු පිලිබඳ දැනුවත් කිරීම හා සාකච්ඡා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ. කෙසේ වුවද, ඔවුන් දිගටම කියා සිටියේ විශ්ව විද්‍යාල තුල “පක්ෂ දේශපාලනයට” ඉඩ නොදෙන බවයි.

මහජනතාවගේ ජීවන තත්වයන්ට ද, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට ද, එල්ල කෙරෙන ප‍්‍රහාරයන් පරාජය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරමින් සසප-සසජාතශි සිසුන් සමග කල සාකච්ඡාවන්හි දී ඔවුන් අතරින් පල කෙරුනු පැහැදිලි උද්‍යෝගය හමුවේ පරලව සිටි ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ උද්ඝෝෂකයන්ට කායිකව පහරදෙන බවට තර්ජනය කලේ, “යනවා යන්ඩ මෙතනින්. එහෙම නොකලොත් ලොකු ප‍්‍රශ්නවලට මුහුන දෙන්ඩ වෙයි” යනුවෙන් පවසමිනි.

“පක්ෂ දේශපාලනයට” එරෙහි වන බවට මහා ශිෂ්‍ය සංගමය කරන ඉහත අන්දමේ කියුම් වූ කලී ශිෂ්‍යයින් කම්කරු පන්තික දේශපාලනය දෙසට හැරීම වැලකීම සඳහා කරන විසකුරු වෑයමකි. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයට සිසුන් අතර දේශපාලනයේ යෙදීමටත්, සිසුන්ට එම දේශපාලනය සමග ඒකාග‍්‍ර වීමටත් ඇති අයිතිය අකාමකා දැමීම සඳහා “මේක රාජ්‍ය ආයතනයක්” යන තර්කය පවා ඉදිරිපත් කරමින් ධනේශ්වර රාජ්‍යය සමග ඔවුනට ඇති අනන්‍යතාව ද මේ ඊනියා සිසු නායකයන් එලිපිටම පෙන්නුම් කලහ.

මෙම අන්ත ප‍්‍රතිගාමී තර්කවල පිලිසරන සෙවීම අහම්බෙන් සිදු වූවක් නො වේ. ඒවා ගලා එන්නේ, සිය තිඹිරි ගෙය වූ ජවිපෙ සේ ම, අවිශිබම සහ මහා ශිෂ්‍ය සංගම් වලට දේශපාලන නායකත්වය සම්පාදනය කරන පෙසප ද ධනපති රාජ්‍යය හා පවත්නා ලෝක පර්යාය එපරිද්දෙන් ම රැකගැනීමට කැප ව සිටින ඔවුනගේ දේශපාලනයෙනි. ඔවුන්ගේ ඊනියා අරගලයේ කේන්ද්‍රයෙහි ඇත්තේ එක පිට එක කරන පා ගමන්, වීදි බැසීම් හා ස්වයං නාශක සටන් හේතුවෙන් ධනපති ආන්ඩු සෙලවී “වෙලඳ භාන්ඩයක් බවට පත් නො වන අධ්‍යාපන පද්ධතියක්” ධනේශ්වර ක‍්‍රමය තුල ම ස්ථාපිත කරගැනීමට ඉඩක් පෑදේ ය යන මිථ්‍යාව යි.

සසප සහ සසජාතශි සටන් වදින්නේ මෙයට සපුරා ප‍්‍රතිවිරුද්ධ ඉදිරි දර්ශනයක් මතයි. පේරාදෙනිය සරසවියේ සිසුන් අතර එදින ඔවුන් බෙදා හරිමින් සිටි සසප ප‍්‍රකාශයේ එය මෙසේ සඳහන් කෙරී තිබුනි.

“දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදින ලෙස සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. එවන් ආන්ඩුවක්, සියලු මහා සමාගම් ද වතු ද බැංකු ද කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක් යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගනු ඇත. ඒ අනුව සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය තර්කාන්විත ලෙස සංවිධානය කරනු ඇත. එය සියලු විදේශ නය අහෝසි කරනු ඇත.

“එවන් පදනමක් යටතේ පමනක් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ශුභ සාධන සේවා ද කම්කරුවන්ගේ හා නාගරික, ග‍්‍රාමීය පීඩිත ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගන්නා අව්‍යාජ දේශපාලන අරගලයක් දියත් කල හැකිය. මෙම අරගල මෙහෙයවීමට අවශ්‍ය කෙරෙන මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.”

පෙසප ද ඔවුන් විසින් මෙහෙය වන අවිශිබම සහ මහා ශිෂ්‍ය සංගම් ද වඩාත්ම සලිතව සිටින්නේ සසප ඉදිරිපත් කරන ඉහත වැඩපිලිවෙලට සිසුන් සහ තරුනයන් ආකර්ශනය වෙතැයි යන භීතියෙනි.

Share this article: