බ්‍රසීල කම්කරු පක්ෂ ආන්ඩුව බලයෙන් පහකිරීම

The ouster of Brazil’s Workers Party government

2016 සැප්තැම්බර් 3

අගෝස්තු 31දා රැස් වූ බ්‍රසීල සෙනට් සභාව, කම්කරු පක්ෂ (පීටී) ජනාධිපතිනි දිල්මා රූසෙෆ් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා වූ දිග්ගැස්සුනු ක‍්‍රියාදාමය ඡන්ද 61 ට 20ක් ලෙස සම්මත කොට ඇය බලයෙන් ඉවත් කල අතර, දශක දෙක තුනකට පෙර එක්සත් ජනපද පිටුබලය ලත් මිලිටරි ආඥාදායකත්වයෙන් මෙපිට වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුව බලයට පත්කර, බ්‍රසීල ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරය පක්ෂයේ (පීඑම්ඩීබී) මිචෙල් ටෙමර් ජනපති පදවියට පත් කලේය. කලින් රූසෙෆ්ගේ උප ජනාධිපති හා සමීපතම දේශපාලන සගයෙක් වූ ටෙමර්, දිවුරුම් දීමෙන් පසු මහජනයා අමතා කල පලමු කතාවේ දී, තමන් කුමන්ත‍්‍රනකරුවෙකු ලෙස නම් කිරීම කිසිසේත් නො ඉවසන බව ප‍්‍රකාශ කොට ආන්ඩුව එවන් විවේචකයන් සම්බන්ධයෙන් “තදින් කටයුතු කරන" බව අවධාරනය කලේ ය.

දෝෂාභියෝගයට එරෙහි ව තැනින් තැන පැවැත්වුනු විරෝධතා, මිලිටරි පොලීසිය යොදවා මර්දනය කිරීම මඟින්, මෙම නිවේදනය ක්ෂනික ව ක‍්‍රියාවට නැඟුනි. කඳුලු ගෑස් හා කම්පන උන්ඩ භාවිතා කරමින් සාඕ පාවුලෝහි දී විරෝධතාකරුවන්ට පොලීසිය ප‍්‍රචන්ඩ ලෙස පහරදුන් අතර එහි දී කිහිප දෙනකු තුවාල ලැබී ය. ඒ අතර තමන්ගේ ඇස පසාරු කරගෙන ගිය උන්ඩයකින් අන්ධ භාවයට පත් 19 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ද වූවා ය.

කතුවැකියක් පල කරමින් රටේ ප‍්‍රධානතම දිනපතා පුවත්පත වන ෆෝලා දෙ එස්. පී. මෙම සිද්ධීන්වලට ප‍්‍රතිචාර දැක්වූයේ වඩ වඩා දරුනු කඩා පැනීම් සඳහා කැඳවුම් හා අනතුරු ඇඟවීම් කරමිනි. එය මෙසේ ලිවී ය: “ප‍්‍රචන්ඩ අන්තගාමීන් මර්දනය කිරීමට අසමත් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්ට, එතෙක් ඉතිහාසයේ නරක ම ආඥාදායකත්වයට හේතු වූ වීදි ප‍්‍රචන්ඩත්වයෙන් සෙලවුම්කෑ 1930 ගනන්වල ජර්මනියේ වයිමාර් සමූහාන්ඩුවේ අත්දැකීමට යලිත් මුහුන දීමට සිදුවනු ඇත."

ශතවර්ෂයක් තුල බ්‍රසීලයේ දරුනුතම ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීම ඉලක්ක කරගත්, දුර දිග යන කප්පාදු පිලිවෙත් බලාත්මක කිරීම පිනිස ආන්ඩුවේ වෙනස් වීම ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අධිෂ්ඨානවත් ව සිටින ධනපති පාලක පන්තියක භාෂාවයි මේ. ඔවුන් ඉල්ලා සිටින්නේ, බ්‍රසීල හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ලාභ ඉහල දමා ගැනීමට, පලල් ජනතාවගේ ආදායමින් හා මූලික සමාජ සේවාවන් මත කරන වියදම්වලින් ධනය අඩුකර ගැනීමයි. ෆෝලා කතුවැකිය පෙන්නුම් කරන්නේ, මෙම ඉලක්ක කරා ලඟා වීමට, 1964 සීඅයිඒ පිටුබලය ලත් කුමන්ත‍්‍රනයෙන් පසුව පැමිනි මිලිටරි ජුන්ටාවන් සිදු කල අපරාධවලින් බොහෝ ඔබ්බට යාමට බ්‍රසීල මූල්‍ය කතිපයාධිකාරය සූදානම් බව යි.

තම ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රයේ පලමු පියවර ටෙමර් දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර ඒවාට, විශ‍්‍රාම වැටුප් සහන කපා දැමීම, සෞඛ්‍ය රක්ෂනය, අධ්‍යාපනය හා අනෙකුත් මූලික සමාජ සේවා වෙනුවෙන් කරන වියදම් වසර 20කට කැටි කිරීම, කම්කරු නීති අහෝසි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායයන් හා යටිතල පහසුකම් පුද්ගලීකරනය කිරීම අයත් ය. පලමු වරට, බ්‍රසීල ඉඩම් මිල දී ගැනීමට විදේශීය සංගතවලට ඉඩ දීම හා රටෙහි ගිනිකොනදිග වෙරල තීරයේ පත්ලෙහි තෙල් නිධි හෑරීමට විදේශීය තෙල් සමාගම් වලට කෙලින්ම ඉඩදීමට යෝජනා සකස් කෙරෙමින් පවතී.

රූසෙෆ්, පීටී හා ඔවුන්ගේ ආධාරකරුවෝ ටෙමර් බලයට පත්කිරීම “කුමන්ත‍්‍රනයක්" ලෙස හෙලා දැක තිබේ. කම්කරු පන්තිය සම්බන්ධයෙන් ආන්ඩු වෙනසෙහි ඇති ගම්‍යයන් සැලකිල්ලට ගැනීමේ දී එවැනි නාටකාකාර යෙදුමක් මුලුමනින් ම ගැලපේ. එහෙත් එයට කුමන්ත‍්‍රනයක් යයි කියතහොත්, පීටී පක්ෂය ද ඍජු හා නැති ව ම බැරිවූ සමකුමන්ත‍්‍රනකරුවෙක් යයි කීම අවශ්‍ය වනු ඇත.

රූසෙෆ් බලයෙන් පහ කිරීමට පෙර ඇයගේ ජනප‍්‍රියත්වය තනි ඉලක්කම් වලට බැස්සේ ය. මූර්ත වැටුප් පහත වැටෙමින් හා සමාජ අසමානතාව යලි නැගී එමින් මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් විරැකියාවේ පසු වන තතු තුල 1930 ගනන්වල ට වඩා අතිශයින් ගැඹුරු බ්‍රසීල ධනවාදයේ අර්බුදය, ඇයගේ පරිහානියෙහි වෛෂයික පදනම විය.

2014 ජනාධිපතිවරන උද්ඝෝෂනය සමයේ පටන්ම කම්කරු පන්තිය තුල රූසෙෆ් කෙරෙහි පලවූ විරෝධය අනවරත ව වැඩුනි. වැඩකරන ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීමට හා ඔවුන්ගේ ජීවන කොන්දේසි වැඩි දියුනු කිරීමට පොරොන්දු දී යලි ජයගත් වහා ම ඇය කලේ, ඇය විරුද්ධ යයි කියූ, දැන් ටෙමර් යටතේ වේගවත් වෙමින් පවතින “මූල්‍ය වෙනස්කම්" යනුවෙන් හඳුන්වන පිලිවෙත වැලඳගැනීම යි.

මධ්‍යම පන්තියේ වඩා වරප‍්‍රසාදිත කොටස් අතර රූසෙෆ් කෙරෙහි කෝපය, දක්ෂිනාංශික උන්මාදයකට හරවන ලදී. බ්‍රසීලය “පලමුවන ලෝකයේ" රටක තත්ත්වයට නැගීම නැවැත්වීමටත්, එම මමංකාරී ස්ථර තමන්ගේ යයි විශ්වාස කරන මුදල් දිලින්දන් සඳහා සොච්චම් සමාජ ආධාරක වැඩපිලිවෙලවල් සඳහා වැය කිරීමට වගකිව යුත්තේ කම්කරු පක්ෂය ය යන සංකල්ප මත එම විරෝධය පදනම් විය.

රජයෙන් පාලනය කරන බලශක්ති දැවැන්තයෙකු වන පෙට්රොබ්රාස් සමාගමේ කොන්ත‍්‍රාත් සඳහා ඩොලර් මිලියන ගනනක අල්ලස් දීමේ අපචාරය පිලිබඳ ඔපරේෂන් කා වොෂ් (Lava Jato) විමර්ශනය මඟින් දිගින් දිගට ම කෙරෙන හෙලිදරවු කිරීම් මඟින්, ජනගහනයේ සෑම ස්ථරයක් අතර ම සමස්ත දේශපාලන පද්ධතිය කෙරෙහි පවත්නා අතෘප්තිය දල්වනු ලැබ තිබේ. සෑම දේශපාලන පක්ෂයක් ම පාහේ චෝදනාවට ලක් ව තිබෙන අතරේ, අපචාරය සිදු ව ඇත්තේ සංගතයේ සභාපති ධූරය දරා ඇති රූසෙෆ් හා අයුතු ලාබ ගරා ගැනීමේ අපචාරය ගැන නීතිය ක‍්‍රියාත්මක කිරීමට බාධා කලේ යයි චෝදනා එල්ල වන ලෝහ කම්කරු වෘත්තීය සමිතියේ හිටපු සභාපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා යන දෙදෙනා ජනාධිපති තනතුරු හෙබවූ කාලයේය.

දෝෂාභියෝග ක‍්‍රියාවලියට එරෙහි ව කම්කරු පන්තියට ආමන්ත‍්‍රනය කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් රූසෙෆ්ට හා කම්කරු පක්ෂයට නො වී ය. එම පක්ෂයට කම්කරු පක්ෂය යයි නම් තබා තිබුනත් එය පදනම් වන්නේ කම්කරු පන්තිය මත නො වේ. එය වනාහි, ශාස්ත‍්‍රාලිකයන්, සමිති නිලධරයන් සහ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් ඇතුලු ඉහල මධ්‍යම පාන්තික කොටස් මත ප‍්‍රධාන වසයෙන් පදනම් වන ධනේශ්වර පක්ෂයකි.

ආන්ඩුව බලයේ රැඳී සිටීමට උත්සාහ කලේ, දෝෂාභියෝගය සංවිධානය කල එම දූෂිත හා දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලනඥයන්ගෙන් සැදුම්ලත්, ආන්ඩුවේ පූර්ව දේශපාලන සහචරයන්ට ආයාචනා කරමිනි. කම්කරු පක්ෂයට සම්බන්ධ සීයූටී වෘත්තීය සමිති සම්මේලනයට හා රාජ්‍ය-අනුග‍්‍රහය ලබන “සමාජ ව්‍යාපාරවලට" පක්ෂයේ පවත්නා සබඳතා පාවිච්චි කොට, දරුනු කප්පාදු පියවර ගැනීමේ දී මතුවන පන්ති අරගල සමහන් කිරීමේ වඩා හොඳ ස්ථානයක තමන් සිටින බවට ඔවුන් තර්ක කලේ ය. අවසානයේ බ්‍රසීල පාලක සංස්ථාපිතය හා වෝල් වීදිය යන දෙක ම තීරනය කලේ තන්ත‍්‍රයේ වඩා නාටකාකාර වෙනසක් අවශ්‍ය බව යි.

වර්තමාන තත්ත්වයට පාර කපා ඇත්තේ කම්කරු පක්ෂය නම්, එම පක්ෂය ආරම්භ කොට එය ප‍්‍රවර්ධනය කිරීමේ දී මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකල ව්‍යාජ-වාම සංවිධාන රොත්ත ද බ්‍රසීල කම්කරු පන්තිය දැන් මුහුන දෙන තියුනු අන්තරායන්ට දේශපාලනික ව වගකිව යුතු බව කිව යුතු ය.

මෙම දේශපාලන ව්‍යාපෘතිය තුල නායක ක‍්‍රියාකලාපය ඉටුකරන ලද්දේ ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගිය සංවිධාන විසිනි. 1960 ගනන්වල දී මෙම කන්ඩායම් පදනම් වූයේ කස්ත‍්‍රෝවාදය හා සුලුධනේශ්වර ගරිල්ලාවාදය කම්කරු පන්තිය තුල විප්ලවීය මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීම අනවශ්‍ය බවට පත්කොට ඇති ය යන න්‍යාය මත යි. මෙම න්‍යාය සමස්ත ලතින් ඇමරිකාව පුරා කම්කරු පන්තියට මාරක පරාජයන් අත්කර දීමට හේතු වූයේ දශක ගනනක මිලිටරි ආඥාදායකත්වයන්ට පාර කපමිනි.

යෝධ වැඩ වර්ජන හා සටන්කාමී ශිෂ්‍ය අරගලවල කොන්දේසි යටතේ බ්‍රසීල මිලිටරි තන්ත‍්‍රය දුබල වෙමින් පැවති දිනවල, සමිති නායකයන්, කතෝලික පල්ලිය හා වාම ශාස්ත‍්‍රාලික කොටස් සමඟ කම්කරු පක්ෂය ආරම්භ කිරීමට මෙම ව්‍යාජ-වම්මු එක් වූහ. එමඟින් යලි වතාවක් ඔවුන් සොයාගෙන තිබුනේ කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට හා සමාජවාදී විඥානය සඳහා සටන් කිරීම වෙනුවට ආදේශකයකි. කම්කරු පක්ෂය සමාජවාදය සඳහා සුවිශේෂී පාර්ලිමේන්තු මාවතක් සම්පාදනය කිරීමට නියමිත විය. එම මාවත දැන් එහි ආවෘත අන්තරය කරා පැමින ඇත.

අද දින ද මෙම සංවිධාන එකක් වත් විප්ලවීය විකල්පයක් ඉදිරිපත් කිරීම තබා මෙම මූලෝපායික දේශපාලන අත්දැකීමේ පාඩම් උකහාගැනීමට වත් සූදානම් නැත. ඒ වෙනුවට කම්කරු පක්ෂය මුහුදු බත් වීම මඟින් ඔවුන් තව තවත් දකුනට හා අර්බුදයට තල්ලු කර දමනු ලැබේ.

දෝෂාභියෝගයට සහාය දීමට හා මධ්‍යම පන්තියේ දක්ෂිනාංශික විරෝධතාවන්ට අනුගත වූ, “ඔවුන් සියල්ලන් ඉවත් කරනු"යන ප‍්‍රතිගාමී දේශපාලන පිලිවෙත වැලඳ ගත් මොරිනෝවාදී පීඑස්ටීයූව (ඒකාබද්ධ සමාජවාදී කම්කරු පක්ෂය) තුල බෙදීමක් හටගෙන එයට එහි සාමාජිකත්වයෙන් අඩක් අහිමි ව ගොස් ඇත. බෙදී වෙන් වූ පාර්ශවය, කම්කරු පන්තිය, කම්කරු පක්ෂයටත් එහි සහචරයන්ටත් යටත් කිරීම ඉලක්ක කරගත් “වමේ එකමුතුවක්" සොයමින් සිටී.

පැබ්ලෝවාදී සංශෝධනවාදීහු, කම්කරු පක්ෂය තුල දිගට ම රැඳී සිටිය යුතු බව කියන හා කම්කරු පක්ෂයේ “ආරම්භක" මූලධර්ම කරා යලි යා යුතු ය යන බංකොලොත් ඉදිරිදර්ශනය මත පදනම් වන පීඑස්ඕඑල් (සමාජවාදී හා විමුක්තිය පක්ෂය) ගොඩනැගීමට ගිය පාර්ලිමේන්තු කන්ඩායම අතර බෙදී පවතී. මෙම පීඑස්ඕඑල් පක්ෂයට සම්බන්ධ ව සිටින තවත් කොටසක් වන්නේ, ආර්ජන්ටිනියානු මොරිනෝවාදී පීටීඑස්හි (සමාජවාදී කම්කරු පක්ෂය) බ්‍රසීල අනුගාමිකයන් ය. කුමන්ත‍්‍රනයේ ගම්‍යයන් පිලිබඳ ව තැකීමක් නැති මෙම කොටස් ලබන මස නාගරික මැතිවරන උද්ඝෝෂනයන්ට කැප වී සිටිති. එම මැතිවරනයේ පීඑස්ඕල්හි ප‍්‍රධාන අපේක්ෂකයා වන්නේ, සාඕ පාවුලෝහි හිටපු නගරාධිපතියෙක් වන, දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ රාශියක් හරහා ගමන් කොට පීඑස්ඕඑල් යටතේ තරඟ කිරීම එකඟ ව ඇති ලුවිසා එරුන්දිනා ය.

පක්ෂය අත්‍යන්තයෙන් කුජීත ව ඇති තතු තුල, මේ සියලු කන්ඩායම් කැප වී සිටින්නේ ග‍්‍රීසියේ සිරිසා හෝ ස්පාඤ්ඤයේ පොදේමොස් වැනි “වාම" ධනේශ්වර දේශපාලන පක්ෂවල පිලිවෙත් ඔස්සේ කම්කරු පන්තියට නව දේශපාලන උගුලක් ඇටවීමට ය.

ඔවුන්ගේ උපාමාරු මධ්‍යයේ වුව ද පන්ති අරගලයේ පුපුරනසුලු වර්ධනයක් ඇති වීමට නියමිත ය. ඉස්මතු වෙමින් පවත්නා ගැටුමේ දී, හුදෙක් බ්‍රසීලයේ පමනක් නො ව සමස්තයක් ලෙස ලතින් ඇමරිකාව තුල ම මූල්‍ය ප‍්‍රාග්ධනයට එරෙහි ව කම්කරු පන්තිය මුහුනට මුහුනලා පිහිටුවනු ඇත. සෑම අසල්වාසී රටක් සමඟ ම සුවිසල් ආයෝජන හා වෙලඳ සබඳතා ඇති කලාපයේ විශාල ම ආර්ථිකය ලෙස බ්‍රසීලය තුල අනුයන පිලිවෙත්, ක්ෂනික ව දේශසීමා ඉරාගෙන ගොස් දකුනට පැද්දීම වේගවත් කොට මහාද්වීපය පුරා කම්කරු පන්තිය මත ප‍්‍රහාරය පුලුල් කරනු ඇත.

බ්‍රසීල කම්කරුවන් මත එල්ල වන ප‍්‍රහාරය සමස්ත මහාද්වීපයේ හා ගෝලීය ප‍්‍රහාරයක කොටසක් වන්නාක් මෙන් ම, එම ප‍්‍රහාරයට එරෙහි සාර්ථක අරගලයක් ද ඉල්ලා සිටින්නේ, ලතින් ඇමරිකාවේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන බලමුලුගැන්වීමකි.

බ්‍රසීල කම්කරු පන්තියට සිය ආරක්ෂාව සලසාගත හැකි වන්නේ, සමස්තයක් ලෙස තමන් සූරාකන මූල්‍ය ප‍්‍රාග්ධනයට හා අන්තර්ජාතික සංගතවලට එරෙහි පොදු අරගලයක් තුල, ලතින් ඇමරිකානු කම්කරු පන්තිය, උතුරු ඇමරිකානු කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට අරගලය කිරීමෙන් පමනි.

එවැනි ක‍්‍රියාමාර්ගයක් සඳහා අරගල කිරීමට, බ්‍රසීලය තුලත් ලතින් ඇමරිකාව පුරාත් ධනේශ්වර පාලනයට මුක්කු ගසා ඇති කම්කරු පක්ෂයෙන් හා එහි ව්‍යාජ-වාම ආවතේවකරුවන්ගෙන් නිශ්චිත දේශපාලන බිඳීමක් අවශ්‍ය කරයි. හදිසි ප‍්‍රශ්නය වන්නේ විප්ලවවාදී නායකත්වය හා දේශපාලන ඉදිරිදර්ශනය වර්ධනය කිරීම යි. මේ සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල මූර්තිමත් ව පවතින අරගලයේ දීර්ඝ ඉතිහාසය සමීකරනය කරගැනීම අවශ්‍ය වේ.

බිල් වෑන් ඕකන්

Share this article: