සයිටම් විරෝධී සිසු පාගමනට ආන්ඩුව දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 සැප්තැම්බර් 05

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් පසුගිය බදාදා (31) සංවිධානය කර තිබූ විරෝධතා පාගනමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කොල්ලුපිටියේදී දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේය. ප‍්‍රහාරය සඳහා කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ සෙබලු සන්නද්ධ කර තිබූ අතර පැයකට ආසන්න කාලයක් මුලුල්ලේ ජල ප‍්‍රහාර සහ සිය ගනනක් කඳුලු ගෑස් ප‍්‍රහාර සිසුන් වෙත එල්ල කෙරින.

පා ගමනින් එන සිසුන්

නොනවත්වා එල්ල කෙරුනු කඳුලු ගෑස් ප‍්‍රහාරයන්ට ගොදුරුවීම සහ දිවයාමේදී සිදුවූ අනතුරු හේතුවෙන් සිසුන් හතර දෙනෙකු රෝහල් ගත කෙරුනු අතර විරෝධතාවයේ නිරතවූ සිසුහු මෙන්ම සාමන්‍ය ජනතාවද ප‍්‍රහාරයෙන් දැඩිසේ පීඩාවට ලක්වූහ.

පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින්.

පාගමන වැලැක්වීමට නිකුත්කර තිබූ අධිකරන නියෝගයක් පොලිසිය විසින් පාගමන අතරතුරදී උද්ඝෝෂකයින් වෙත ඉදිරිපත් කෙරුනු අතර ඔවුන් එය ප‍්‍රතික්ෂේප කරමින් ඉදිරියට ගමන්කල අතර කොල්ලුපිටිය මංසන්ධියේ යොදා තිබූ මාර්ග බාධක පෙරලා දැමීමට උද්ඝෝෂකයන් උත්සාහ කරනවාත් සමඟ පොලිසිය විසින් සිය ප‍්‍රහාරය මුදාහරින ලදී.

පොලීසිය ජල ප‍්‍රහාර එල්ල කරමින්.

පාගමනට පහර දීමෙන් පසු ආන්ඩුව පෙර නොවූ මට්ටමකින් ශිෂ්‍යයන්ට අනතුරු අඟවා ඇත. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රතිපත්ති නිර්නය කරන්නේ ආන්ඩුව මිස ශිෂ්‍යයන් නොවන බවයි. එමෙන්ම විශ්වවිද්‍යාල වලට අවශ්‍ය සියලු පහසුකම් ආන්ඩුව විසින් සපයා ඇති නිසා සිසුන්ට චෝදනා කිරීමට දෙයක් නැති බව ඔහු පැවසීය. අනතුරු ඇඟවීමෙන් නොනැවතී සිසුන්ට එරෙහි ප‍්‍රහාරය කඩිනමින්ම ක‍්‍රියාත්මක කරමින් පාගමනේදී පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ යැයි කියන සිසුන් සොයා ආන්ඩුව දඩයමක් දියත්කර ඇත.

මෙම ප‍්‍රහාරයෙන් සහ ඉන් අනතුරුව කි‍්‍රයාත්මක කොට ඇති දඩයමෙන් යලිත් වරක් සනාථ කෙරෙන්නේ කම්කරුවන් ශිෂ්‍යයන් හා අවශේෂ පීඩිතයන් අතරින් පැනනගින කවර හෝ අරගලයක් වෙතොත් ඒවා කුරිරු ලෙස තලා දැමීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් තීරනය කොට ඇති බවයි.

තියුනු ආර්ථික අර්බුදයක එරී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉන් ගොඩ ඒමට මං සොයන්නේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන්ගේ ජිවන කොන්දේසි එක පිට එක කප්පාදු කිරීම තුලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට යටත්ව වඩ වඩාත් එම ප‍්‍රහාරය තියුනු කිරීම ආන්ඩුවට බාරගෙන ඇති රාජකාරියයි. ලෝක ධනේශ්වර පද්ධතියම අලලාගත් දැවැන්ත අර්බුදය ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම පාලක පන්තීහු එක හා සමානව මෙම ප‍්‍රහාරයේ යෙදී සිටිති. ඊට විපරීතව ලෝකය පුරාම කම්කරුවෝ සහ අනෙකුත් පීඩිත කොටස් සිය අයිතීන් දිනාගැනීම උදෙසා දිනෙන් දිනම සටන්කාමී ලෙස අරගලයට අවතීර්න වෙමින් සිටිති. ශ‍්‍රී ලංකාව තුලදී එම කප්පාදුවේ කොටසක් ලෙස දිගහැරී ඇති අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව නොකඩවා අරගලයේ යෙදී සිටින ශිෂ්‍යන්ගේ විරෝධතාවලට එරෙහිව රුදුරු පොලිස් ප‍්‍රහාර එක දිගටම එල්ල වෙමින් පවතී.

කෙසේ වුවද මෙම සිසු අරගලවල මුදුනට පැනගෙන සිටින අවිශිබමය, තම අධ්‍යාපන අයිතියට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරය පරාජය කිරීම සඳහා සිසුන් කෙරෙන් මතු වී තිබෙන සැබෑ උවමනාව අවමංගත කර සිසුන් එක දිගට මුලාවේ තැබීමට දරන උත්සාහය බදාදා පාගමනෙන් යලිත් සනාථ කෙරින.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරුනු පාගමනට සෑම විශ්වවිද්‍යාලයකින්ම පාහේ සිසුන් දහස්ගනනක් සහභාගී කරවා තිබුනි. ධනේශ්වර ක‍්‍රමයට කවර ලෙසකින් හෝ අභියෝග නොකෙරෙන සහ එයට එරෙහි දේශපාලන අරගලයකට සිසුන් යොමුවීම වලකන අන්දමේ රැඩිකල් සටන් පාඨ ගොන්නක් අවිශිබම විසින් සිසුන්ට සපයා තිබූනි. “සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමට ආන්ඩුවට බලකිරීම” සඳහා අවිශිබමය ගෙනයන විරෝධතා මාලාවේ කොටසක් හැටියට පාගමන පැවැත්වූ අතර සාමකාමී ඉල්ලීම් වලින් පලක් නොවූ තැන පාලකයන් සමඟ මෙලෙස “මහපාරේදී මුහුනට මුහුන හමුවී” ගැටලු විසඳාගැනීමට තමන් තීරනය කල බව අවිශිබම නායකයෝ පාගමන අතරවාරයේදී පූච්චානම් දෙඩවූහ.

මෙබඳු ප‍්‍රලාපයන් සිසුන් අභිමුව තබන අවිශිබම, අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම සහ පෞද්ගලිකරනය උග‍්‍ර කිරීම ධනේශ්වර ආන්ඩුවලට බලපෑම් දැමීම තුලින් ආපසු හරවාගත හැකිය යන මිථ්‍යාවේ සිසුන් ගිල්ලා තැබීම සඳහා එකක් පසුපස එකක් පුහු විරෝධතා සංවිධානය කරයි. වෛද්‍ය පීඨයක් සහිත සෑම විශ්වවිද්‍යාලයක් ඉදිරිපිටම “සත්‍යග‍්‍රහ අට්ටාල” වල සිසුන් රස්තියාදු කරවීම ද ඉන් එකකි.

ප‍්‍රහාරයෙන් පසු මාධ්‍යයන් වෙත අදහස් දැක්වීමේදී වෛද්‍යපීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ (වෛශික‍්‍රික) කැඳවුම්කරු රයන් ජයලත් පැවසුවේ “අද මෙලෙස මාර්ග බාධක පෙරලා දැමූ බවත්” හෙට “පාලකයින්ගේ සීත කාමර තුලට කඩාවැදීම” සඳහා මහජනතාවද තමන් සමඟ එක්විය යුතු බවත්ය. ආන්ඩුවේ ප‍්‍රහාරයන් හි මූලය වන ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදය සිසුන්ගෙන් මුලුමනින් වසන්කරන අවිශිබමය මෙන්ම එහි ගුරුන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද (පෙසප) ගෙන එන වංචාකාරී තර්කය වන්නේ ධනේශ්වර අන්ඩුවල මෙම කප්පාදු පියවරයන් ඒ විසින් අනුයන “නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය” තුලින් ගලා එන අතර එය බලපෑම් දැමීම තුලින් වෙනස්කරගත හැකි එකක් බවයි.

සිසුන් සහ මහජනතාව ව්‍යාකූල කිරීමේ අවිශිබම උද්ඝෝෂනය වටා විවිධ මධ්‍යම පාන්තික කල්ලි කන්ඩායම්, වෛද්‍ය සංගම් සහ ඇතැම් ශාස්ත‍්‍රාලිකයන්ගෙන් සැදුම්ලත් කන්ඩායමක් රැලිවී සිටිති. ඉන් බහුතරය පසුගිය ජනාධිපතිවරනයේදී රාජපක්ෂ බලයෙන් පහකර සිරිසේන බලයට ගෙන ඒම තුලින් ජනතාව මුහුන දී ඇති ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවට බේගල් ඇදබාමින් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව නැගී ආ මහජන වෛරය ගසාකමින් සිරිසේන-වික‍්‍රමසිංහ අන්ඩුව පිහිටුවාගැනීමට සෘජුවම කරඋර දුන් අයයි.

ආන්ඩුවේ රුදුරු ප‍්‍රහාරය සිසුන් මතට හෙලා ඇති මොහොතක එම ආන්ඩුව පිහිටුවීමට හවුල්වූවන් සමඟම කරේ අතදමාගෙන සිටින අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පාරම්බාන්නේ තමන් සිය විරෝධතාවය වෙනුවෙන් “විශාල බලවේගයක්” එකතු කරගෙන ඇතිබවයි. උද්ඝෝෂනයට පහරදීමෙන් පසු මාධ්‍ය වෙත වීරසේකර දැක්වූ අදහස්වල වංචනිකත්වය දෝරේ ගැලුවේය. “පුරවැසි බලයත්, සාධාරන සමාජයත් කඬේ ගිහින් දිනාගත්ත කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයද මේ?” යනුවෙන් ඔහු ප‍්‍රශ්න කලේය. පුරවැසි බලය, සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය වැනි සංවිධානවල ප‍්‍රමුඛ පෙල සාමාජිකයන් වූ සරත් විජේසූරිය වැන්නවුන්ට විශ්වවිද්‍යාල තුල වේදිකා තනා දෙමින්, ජනාධිපතිවරන සමයේදී සිරිසේන බලයට ගෙනඒම සඳහා එම සංවිධාන ගෙන ගිය උද්ඝෝෂනයට මාට්ටු වීගෙන සිටි අවිශිබම සිසුන්ට එල්ල කෙරී ඇති මෙම ප‍්‍රහාරයට සෘජුවම වගකිවයුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම උද්ඝෝෂනයේ යෙදී සිටි ශිෂ්‍යයන් අතරට මැදිහත් වූයේ අවිශිබමයේ ප්‍රෝඩාකාරී ක‍්‍රියාකලාපය හෙලිදරවු කරමිනි. එහිදී සසප සහ සසජාතශි නියෝජිතයෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල දියත් කෙරී ඇති කප්පාදුවේ මූලයන් සහ එය පරාජය කිරීම සඳහා එකම ශක්‍ය විසඳුම වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සිසුන් සමඟ සාකච්ඡා කලහ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල “සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයේ සහ පුද්ගලික අංශයේ ව්‍යවසායක් ලෙස ඉදිරියට ගෙනයාමේ තැතක්” යන ශීර්ෂය යටතේ පලවූ විශ්ලේශනයේ පිටපත් දහසක් උද්ඝෝෂනයේ නියුතු සිසුන් අතර බෙදා හැරින.

මෙම උද්ඝෝෂනයේදී හමු වූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ පලමු වසර ශිෂ්‍යයෙකු වූ හර්ෂන, “නිසි ප‍්‍රමිතියක් සහිතව සයිටම් වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යනව නම් ගැටලුවක් නෑ” යනුවෙන් සාකච්ඡාව ඇරඹීය. එහෙත් අධ්‍යාපන පෞද්ගලීකරනය රජයේ ප‍්‍රතිපත්තිය වී ඇත්තේ මන්ද යන්න පැහැදිලි කෙරුනු සාකච්ඡාවෙන් පසුව ඔහු එලඹුනු නිගමනය වූයේ, ලාභය පදනම් කොටගත් ධනේශ්වර ක‍්‍රමය මුලිනුපුටා දැමීමේ සටනකින් තොරව අධ්‍යාපන අයිතිය තහවුරුකල නොහැකිබව පිලිගන්නා බවත් අවිශිබමයේ මෙම විරෝධතා තුලින් එවැන්නක් සිදුවේ යැයි තමන්ට ඒත්තු නොයන බවත්ය.

පාගමනට සහභාගී වීමට සූදානම්ව සිටි එම සරසවියේම විද්‍යා අංශයේ තවත් ශිෂ්‍යයෙකු පවසා සිටියේ “සිසුන් කොපමන අරගල කලත් සියලුම ආන්ඩු රජයේ වියදමින් නඩත්තු කෙරෙන අධ්‍යාපන ආයතනවලට ලබාදෙන පහසුකම් එන්න එන්නම පහල දමන අයුරු තමන් අත්දකින” බවයි. “අවිශිබමයේ විරෝධතා පිලිබඳ ශිෂ්‍යයන් අතර විශ්වාසය ගිලිහෙමින් පවතින අතරම බොහෝ දෙනෙකු සාමූහික වැඩක් ලෙස සලකා මෙම විරෝධතාවලට එක්වන අතර මෙම අරගල ජයග‍්‍රහන කිරීම සඳහා මෙම අරගල ක‍්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව” තමන් සිතන බව ඔහු පැවසීය.

උද්ඝෝෂනය අවසානයේදී සාකච්ඡාවට එක්වූ කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු සමාජ ක‍්‍රමයේම පරිවර්තනයක් තුලින් මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන බව තමන් පිලිගන්නා නමුත් සයිටම් අහෝසි කිරීම මේ මොහොතේ පැනනැගී ඇති ප‍්‍රධානතම ගැටලුවක් බැවින් ආන්ඩුවට බලපෑම් දැමීම තුලින් එය වලක්වා ගැනීමට පියවර ගැනීම වඩා ප‍්‍රමුඛ කාර්යය වන බව ප‍්‍රකාශ කලේය. අවිශිබමය විසින් වගාදිගා කෙරෙන මෙම කුතර්කයන් සිසුන් සමාජවාදය උදෙසා සටන් වැදීම සඳහා කම්කරු පන්ති නායකත්වය වෙත හැරීම වැලැක්වීම සඳහා යොදාගන්නා ඒවා බව සසප නියෝජිතයන් පැහැදිලි කරද්දී එයට සාවධාන වූ එම ශිෂ්‍යයා පවසා සිටියේ “මෙවන් අරගල තුලින් සමාජවාදය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය ඥානය සිසුන්ට නොලැබෙන” බව තමන් පිලිගන්නා බවත් ඒ පිලිබඳව සිසුන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

Share this article: