කුමාර් ඩේවිඩ්: ධනපති පාලනය රැකීමට රාවය කැඳවා ගත් අලුත් ලියනප්පු

විජේ ඩයස් විසිනි. 2016 සැප්තැම්බර් 21

රාවය පත්තරය වනාහී, ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් තම ලෝක මූලෝපායට ලංකාව ද කරබදු කර ගැනීම සඳහා කල තීරනාත්මක මැදිහත්වීමක්වූ, 2015 මෙරට පාලන තන්ත්‍ර මාරුව සඳහා කෑමොර දීමට පැනගත් ඝෝෂාබද්දන්ගේ කෙලිපිටියක් වූවකි. දැන් එම පත්තරය, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රැකදීම සඳහා අලුත් ලියනප්පු කෙනෙකු සේවයට කැඳවාගෙන ඇත. ඒ, කුප්‍රකට කුමාර් ඩේවිඩ් නමැති මහචාර්යවරයා ය.

ඩේවිඩ් මීට පෙර ඉරිදා දි අයිලන්ඩ් පුවත්පත හරහා, එක දිගට, ඉංග්‍රීසි පාඨකයන් දේශපාලනිකව වල්මත් කිරීම සඳහා කැපවී සිටියෙකි. 2015 තන්ත්‍ර මාරුවේදී අන් සියල්ලට පෙරාතුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තනි සටන්පාඨය වටා ජනයා රැලි කිරීමට පෙරමුන ගත්තේ තමා බව කීමට තරම් නිර්ලජ්ජිතයෙකු වන කුමාර් ඩේවිඩ්, අධිරාජ්‍යවාදී පද්ධතිය ගැන පොදුවේත් වර්තමාන ආන්ඩුව ගැන විශේෂිතවත් මවන චිත්‍රය මෙබඳු ය:

"නව ලිබරල්වාදය යනුවෙන් දෙයක් අද ඉතුරු වෙලා නෑ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ සමාජවාදය උදාවුනා කියලා. මෙයින් මා මහන්සි ගන්නේ ධනවාදය වෙනත් ආකාරයකට ක්‍රියාත්මකවීමට උත්සහා දරන බව පෙන්වා දෙන්න. ඒ අනුව තමයි කම්කරු පංතිය හා ජනතාව සමග සම්මුතියක් ඇති කරගන්නට ධනවාදීන් අද මහන්සි ගන්නේ. අද එදා වගේ ජනතාව මත බර පැටවීමට දේශපාලන බලය යොදන්නට සූදානමක් නෑ. කම්කරු පන්තිය ඇතුලු ජනතාවගේ බලය අද ඉතා ශක්තිමත්. ඒ නිසා අර රලු දේශපාලන ව්‍යාපෘතිය අත්හැරලා දාලායි තියෙන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහත් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවට එන්නට උත්සහා දරන්නේ එම සම්මුතියට අනුව. ජනතාව සමග ගැටෙන්නේ නැතිව, ඔවුන්ට ද ප්‍රතිලාභ ලැබෙන ආකාරයට තමයි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට බලන්නේ." (රාවය, 2016 සැප්තැම්බර් 4 , "නව ලිබරල්වාදය අවසන්: උත්සාහය නව සමාජ ගිවිසුමක් ඇති කර ගන්නයි", මහාචාර්ය කුමාර් ඩේවිඩ්).

ලක්ෂ සංඛ්‍යාත මහජනතාව දිනපතා අත්විඳින නොඉවසිය හැකි ජීවන බර සහ මර්දනය ද පීඩාකාරී වාතාවරනය ද උඩි යටිකුරු කර දක්වන මෙවැනි ප්‍රකාශයන් ඇදබෑමට තරම් වන නරුමත්වයක් කෙනෙකු තුල පහලවන්නේ කෙසේ ද? කුමාර් ඩේවිඩ් දේශපාලන කරලියේ අල්ලා ඇති අඩව් දෙස බැලීමෙන් ඒ කුකුස මගහරවා ගත හැකි ය.

රාවය පත්තරයේ පලවූ ප්‍රකාශයක් සඳහා, කුමාර් ඩේවිඩ් තමා වෙනුවෙන්ම ඉදිරිපත් කර ගෙන ඇතැයි සැලකිය හැකි හඳුන්වාදීම මෙසේ ය:

"කුමාර් ඩේවිඩ් සමසමාජකාරයෙකි. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනය අරඹා, ඉන්පසු නව සමසමාජ පක්ෂය ආරම්භ කිරීමට හවුල්වූ ඔහු, පසු කලෙක වාසුදේව නානායක්කාර මහතා සමග ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනට එක්විය. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යද්දී පවා පැරනි වම මහින්ද රාජපක්ෂ සමග එකගෙයි කෑම පිලිකුල් කල කුමාර් එකී වමේ පක්ෂ "මළ වම" ලෙස ගර්හාවට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුලුල් අරගලයට එක් විය. 2009දී "නිදහසේ වේදිකාව" ගොඩනැංවීමේදී එයට සම්බන්ධවූ කුමාර් ඉන් පසු එක දිගටම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල ඒකාබද්ධතාවයක් වෙනුවෙන් මැදිහත් විය."

"ආන්ඩුවේ ආර්ථික වැඩසටහනට විවේචනාත්මකව සහයෝගය දෙනවා" යන මාතෘකාව යටතේ, 2016 සැප්තැම්බර් 11දා, රාවය පත්තරයට ලියා ඇති ලිපිය විමසා බැලීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුන යි. මේ ඊනියා විවේචනාත්මක සහයෝගය දීමේ ප්‍රෝඩාව ලිපියේ මුල හරියේ දී ම එලිදරව් කෙරී ඇත.

ඩේවිඩ් මෙසේ කියයි: "19වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකොට වෙනස්කම් කර ඇති බව සත්‍යයකි. එහෙත් තවදුරටත් ඉදිරියට යා යුතුය. නැතිනම් එසේ නොකල හැක්කේ මන්දැයි ජනතාවට කරුනු පැහැදිලි කල යුතු ය." සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට කුමාර් ඩේවිඩ් එල්ල කරන "විවේචනයේ" සැඩපරුෂභාවය මහපොලොව නුහුලන තරම් ය!

බොඳවූ විචාරක්ෂියක් ඇතියෙකුට පවා නොවලහා පෙනී යන කරුන නම් ඩේවිඩ් යෝජනා කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ ක්‍රමයක් බව ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපතිවරනයක ඒකායන ඉලක්කය කරගත යුතු බවට ඩේවිඩ් යෝජනා කර තිබූ තතු යටතේ, සිරිසේන-වික්‍රමසිංහ ඈදුත්ත, 2015 ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී අහස උසට ගිගුම් දුන්නේ ඒ පොරොන්දුව ය. දැන් එය ඉටුකර නැත. ඩේවිඩ් ආන්ඩුවට භාර කරන ඊලඟ කටයුත්ත වන්නේ ඒ මන්දැයි පැහැදිලි කරදීමේ භාරදූර වගකීම ඉටුකිරීම ය. එය ඉටුවූ විට ජනතාවට නිස්කාන්සුවේ නින්දට යා හැක. මෙවන් ප්‍රලාප ඇඹරිය හැක්කේ රාවය වැනි ධනපති ගැති පත්තර හරහාම පමනි.

කුමාර් ඩේවිඩ්, තමා පරිපූර්න මූලධර්ම විරහිතයෙකු බව මෙහිදී එලිදරව් කරගෙන ඇත. තමා සමසමාජ පක්ෂයට ඇදුනේමත්, එම පක්ෂය 1964දී ධනපති ආන්ඩුවට හවුල් වෙමින් කල මහා පාවාදීම කෙරෙහි පැවැති බඩගෝස්තරවාදී ආකර්ශනය නිසා මිස, ඒ පක්ෂයේ අතීතය හා බැඳුනු ට්‍රොට්ස්කිවාදී පිලිවෙත් ගැන අබමල් රේනුවක හෝ තැකීමක් නිසා නොවන බව එයින් ප්‍රකාශිත ය.

සමසමාජ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමකට මෙතැන ඉඩක් නැති මුත්, 1964 වනතුරුම එම පක්ෂය පෙනී සිටියේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස ය යන්න සඳහන් කල යුතු ය. එම නාමකරනයට ඉඩ ලැබුනේ ට්‍රොට්ස්කිවාදී බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය, 1950දී සමසමාජ පක්ෂය සමග ප්‍රතිපත්ති විරහිත එකමුතුවකට ගමන්කොට තිබීම හේතුකොට ය. ට්‍රොට්ස්කිවාදයේ සාරය වන නොනවතින විප්ලව න්‍යායේ මුරගලක්වූයේ, අධිරාජ්‍යවාදී යුගයේදී කවර රටක ධනපති පන්තියකටවත්, එතෙක් නොවිසඳී පැවැති ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරයන් ඉටුකල නොහැකි බවත්, ඒ කර්තව්‍යයන් ජයගත හැක්කේ කම්කරු පන්ති නායකත්වය යටතේ පීඩිත ජනතාවන් රැලිකරගත් සමාජවාදී අරගලයකින් පමනක් බවත් යන්න ය.

සිරිසේන-වික්‍රමසිංහ දෙබෑයන් සනාථ කොට ඇත්තේ, මේ රටේ 68 වසරක ඊනියා නිදහස යටතේ පාලන බලය දැරූ සෑම ධනපති ආන්ඩුවක් විසින් ම ඔප්පුකරනු ලැබ ඇති ධනපති පන්තික ප්‍රතිගාමීත්වයේ ස්වභාවය යි. ඩේවිඩ් එම සත්‍යයට වෛර කරන්නෙකි. ඔහු 1964 න් පසු සමසමාජ පක්ෂයට බැඳුනේම ඒ වෛරී සහගතභාවයෙන් ප්‍රේරනයවී ගෙන, ධනපති පන්තියේ ආරක්ෂකයින් බවට පත්ව සිටි ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා ප්‍රමුඛ ද්‍රෝහී නඩයේ දැනුවත් සහකරුවෙකු ලෙස ය.

ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමට තල්ලූ කල හැකිය යන මිත්‍යාව වපුරමින්, සමසමාජ පක්ෂය කම්කරු-පීඩිත සටන්කරුවන් හා තරුනයන් පරම්පරා දෙකක් දේශපාලනිකව වල්මත් කලේ ය. සමසමාජ පාවාදීමෙන් පසුව කුමාර් ඩේවිඩ්, ඒ මාවතේම ගමන් කල නව සමසමාජ පක්ෂයේ වික්‍රමබාහු කරුනාරත්න හා එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය වැන්නන් සමග එක්වී, 21 වැනි සියවසේදී යූඇන්පියෙන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රදානය කරවා ගැනීමට පිටපොට ගසා ගත්තේ ය. රනිල් වික්‍රමසිංහට ප්‍රගතිශීලි සලු පෙරවීමට සකසාගත් තිප්පොල "නිදහසේ වේදිකාව" ය.

එදා සමසමාජ පක්ෂය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල්කෑම යුක්තිසහගත කිරීම සඳහා යොදාගත් එක් තර්කයක්වූයේ, යූඇන්පී ප්‍රතිගාමීත්වය පරාජය කිරීම සඳහා එය අවශ්‍යය යන්න යි. දැන් කුමාර් ඩේවිඩ්, යූඇන්පියේ රනිල් වික්‍රමසිංහගේ "කරුනු පැහැදිලි කිරීම්" තුල ජනතාව හිරකරලීමට කැස කවයි. එපමනක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය මුලුමනින්ම අහෝසි කිරීමට උද්ඝෝෂනය කිරීමෙන් දැන් තමා ඉවත්ව සිටින බව ද ඩේවිඩ් කියා සිටී. ඔහුට ඒ පිලිබඳව අලුතින් පහලවී ඇති නුවන ද විස්තර කරමින් ඩේවිඩ් මෙසේ දෙස යි:

"විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්නයෙන්ම අහෝසි කල යුතුයැයි මම ඉල්ලා නොසිටිමි. මෙය ආගමක් නොවේ. ප්‍රයෝගිකව කල යුත්තකි." තමා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙනඒම සඳහා ප්‍රදර්ශනය කලේ බොරු කැස්සක් බව කිසිදු හිරිකිතයකින් තොරව වමාරන ඔහු තවත් මාතෘකාවකට මාරු වෙයි. එම ප්‍රශ්නයට සපයා ඇති පිලිතුර පලමුවැන්න තරම්වත් අමාරු නැත.

"ඊලගට ඇති අභියෝගය ජාතික ප්‍රශ්නය විසඳීම ය. ඩෙවලුෂන් යන ඉංග්‍රීසි වචනය සඳහා බලය බෙදීම යන වචනය වෙනුවට වෙනත් වචනයක් අවශ්‍යය ය. බලය බෙදීම යැයි කියන විට එය රට බෙදීම හා සම්බන්ධ යැයි අදහසක් ඇති වේ." ඒ, ඩේවිඩ්ගේ වචන ය. දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන්, මැතිවරනවලට පෙරාතුව සිරිසේන-වික්‍රමසිංහ කල්ලිය ගෙන ගියේ ද චිරකාලීනව ධනපති පාලකයන් අනුගමනය කල වංචාවම බව ඩේවිඩ් පැහැදිලි කර දෙන ආකාරය එසේ යි. මූලික කරුන කොටගත යුත්තේ, දෙමල ජනතා අයිතීන් රැකදීම නොව, සිංහල වර්ගෝත්තමවාදීන්ට සිදුවිය හැකි සිත් රිදවුම් සමනය කෙරෙන ආකාරයට හැසිරීම හා වචන හරඹ කිරීම බව ඔහු පැහැදිලි කරයි. මෙය, යලිත් සනාථ කරන්නේ, ඩේවිඩ් වැන්නන්ගේ ව්‍යාජ වාම වංචාව ඉරාගෙන, ඔවුන් පේවී සේවය කරන ධනපති පන්තියේ ඇත්ත දේශපාලන බංකොලොත්කමේ හා ප්‍රතිගාමීත්වයේ නිරුවත් භාවය යි.

උක්ත ලිපියේ අගට අමුනා ඇත්තේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත පිලිබඳව ඩේවිඩ්ගේ "විවේචනාත්මක සහයෝගය" පැහැදිලි කිරීමකි. "ආර්ථීකය පිලිබඳව ඩ්‍රයිව් එක එන්නේ රනිල් සහ ඔහුගේ උපදේශකයන්ගේ පැත්තෙනි" යනුවෙන් සඳහන් කරන ඩේවිඩ් "මා සහයෝගය දෙන්නේ කුමන හේතු මත ද සහ විවේචනය කවර හේතුමත ද යන්න පැහැදිලි කල යුතුය" යන වගකීම භාරගනී. පලමුව ඔහු කියා සිටින්නේ, "ලංකාවට තමන් තුලට හැරී රට සංවර්ධනය කිරීම නොකල හැකි බවට මේ [වික්‍රමසිංහගේ] ප්‍රතිපත්තිය පිලිගනී. එම අදහසට මම සහයෝගය දෙමි" යන්න යි. එමතු ද නොව, වර්තමාන ආන්ඩුව "සිංගප්පූරුව සමග ගිවිසුම්ගත වන අතර චීනය සමග ගිවිසුමක් අත්සන් කොට හම්බන්තොට ආර්ථික කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරගෙන යතැයි" කියමින් "ඒ පිලිවෙතට මම මගේ ප්‍රබල සහයෝගය පලකරමි" යි ද තිරකොට සඳහන් කරයි.

මෙසේවුව ද, අඩුපාඩුවක් ඇති බව කියන ඩේවිඩ් "නමුත් මේ උපාය මාර්ගය ප්‍රායෝගික යථාර්ථයන් කර ගැනීමට යාමේදී විශාල අඩුපාඩුවක් සිදුවන බව මට පෙනේ" යැයි සඳහන් කරයි. තම ප්‍රබල සහයෝගය ලබාදෙන උපාය මාර්ගය වනාහී ජනතාවගේ ඇස්වලට වැලිගැසීමේ තවත් ප්‍රෝඩාවක් බව පිලිගැනීම හැර, මෙය අන් යමක් නොවේ.

"අඩුපාඩුවක්" ලෙස හෑල්ලුවට ලක්කොට කුමාර් ඩේවිඩ් සඳහන් කරන්නේ, නිෂ්පාදනය ගැන ආන්ඩුවේ පිලිවෙත නිහඬවීම ය. "ඔවුන් [ආන්ඩුව] කොලඹ දෙස බලන්නේ සිංගප්පූරුව හෝ ඩුබායි නගර දෙස බලන ආකාරයට ය. නමුත් නිෂ්පාදනය ගැන වචනයක්වත් නැත. ආර්ථික නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය ගැන මේ අයගේ ඔලුවලට අදහස් පහලවන්නේ නැත" යයි ඔහු කෙඳිරිගායි.

මේ තත්වයට හේතු දෙකක් ඩේවිඩ් පෙන්වා දෙයි. "මෙවැනි තත්වයක් ඇතිවීමට අපගේ දේශීය ධනපති පන්තිය ද වගකිව යුතු වේ. ඔවුන් මේ රටේ ආයෝජනය කිරීමට සූදානමක් නැති බව පැහැදිලි යැයි" සඳහන් කරන ඔහු ඒ හුස්මටම "එමෙන්ම සෘජු විදේශීය ආයෝජන රටට ගලා ඒම සිදු නොවේ" යැයි ද කියයි. තවදුරටත් ඔහු අවධාරනය කරන්නේ, "සෘජු විදේශීය ආයෝජන මේ මොහොතේදී කිසිදු රටකට ගලා නොයයි" යනුවෙනි.

ඔහුට විසඳුමක් තිබේ. "ඉතුරු කිරීම් නොමැතිව සෘජු ආයෝජන සිදු නොවේ... රජය මෙහිදී කුමනාකාරයෙන් හෝ ඉතුරු කිරීමේ අනුපාතය වැඩිකල යුතු ය."

මේ විසඳුමට එනවිට ඔහු දැනටමත් සහයෝගය පල කර ඇති. "ලංකාවට තමා තුලට හැරී රට සංවර්ධනය කිරීම නොකල හැකි බව" යන්නට යනඑම මං නැති කර ඇති බව පැහැදිලි ය. දැන් කතා කරන්නේ ආයෝජන සඳහා රට තුල "කුමනාකාරයෙන් හෝ ඉතිරිකිරීම් අනුපාතය වැඩිකර ගැනීම" ගැන ය.

වටවංගු ගනනාවක් පසුකරගෙන පාඨකයා, ඩේවිඩ් විසින් දැන් කැඳවා ගෙන ඇත්තේ, අධිරාජ්‍ය ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සමාජ ප්‍රතිවිප්ලවවාදී කප්පාදු වැඩපිලිවෙල වන්දනා කිරීමේ තැනට ය.

දැනටමත් කැපිලි කෙටිලිවල ගොදුරු බවට පත්ව ඇති නිදහස් අධ්‍යාපනය හා නිදහස් රෝහල් සේවය මෙන්ම පෝර සහනාධාරය, සමෘධි දීමනා වැනි සුභසාධක සහන සියල්ල ඇට පොත්තටම සිඳවා ගරා ගන්නා ක්‍රමයකින්, ධනපති ක්‍රමයේ සංවර්ධනය සඳහා ආයෝජන පිනිස මුදල් සොයා ගැනීමේ ආන්ඩු වැඩපිලිවෙලට ඩේවිඩ් ඇතුලු සියලු ව්‍යාජ වම්මුන් පුදන සහාය මේ යෝජනාවේ අර්ථය යි. ඒ බැව් ඩේවිඩ් තම ලිපිය තුලම පැහැදිලි කර දෙන්නේ මෙපරිද්දෙනි:

"මේ රජය සිටින්නේ කලින් රජය විසින් ඇටවූ විශාල නය උගුලක බව මම පිලිගනිමි. මුදල් සෙවීමට මාර්ග දෙකක් ඇත. එකක් ඉතිරිකිරීමේ අනුපාතය ඉහල දැමීම යි. අපේ රටේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11ක් පමන වේ. මෙය ලෝක මට්ටමෙන් බැලුවිට ඉතාම පහල රේට්ටුවකි. . .ඒ නිසා වැට් වැනි බද්දක් අයකරගත යුතු වේ. එයින් පැනයාමට නොහැකි ය. මේ නය බරෙන් කොටසක් ජනතාවටත් පැටවිය යුතු ය."

ඩේවිඩ්ගේ මේ යෝජනාවල අඩංගු වන්නේ, අය-වැය පරතරය පියවා ලීමේ නමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවට අනවා ඇති නියෝග ක්‍රියාවට දැමීම මුලුමනින්ම අනුමත කිරීම හැර වෙන යමක් නොවේ.

මේ ජනතා විරෝධී වැඩපිලිවෙල අනුමත කරන පරිවාර ව්‍යාජ වාම නඩයට අයත් වන සංවිධාන රොත්තට නසසප-එසප, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අක්ෂය කවය, පුරවැසි බලය යනාදිය ඇතුලත් ය. ඔවුන්ගේ නිරාවරනිත ධනපති ගැති වැඩපිලිවෙල මගින් විවරවන හිඩැස තුලින්, වැඩෙන මහජන විරෝධය පුපුරා එනු ඇත යන භීතිකාවෙන් පෙලෙන කොටස් ද එමට ය.

එවන් එක් පුද්ගලයෙකු වන කුමුදු කුසුම් කුමාර නමැති ආචාර්යවරයෙක්, කුමාර් ඩේවිඩ්ගේ සැප්තැම්බර් 11දා ලිපියට පිලිතුරක් ලෙස සැප්තැම්බර් 18දා රාවය ට ලියා ඇති ලිපියක් ආරම්භ කර ඇත්තේ මෙසේ ය: "මහාචාර්ය කුමාර් ඩේවිඩ් වර්තමාන දේශපාලන යථාර්ථයට කනක් තබාගෙන තම අදහස් පලකරන බව පෙනේ. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම පිලිබඳ දක්වන අදහස් ඊට උදාහරනයකි."

මෙසේ කුමාර් ඩේවිඩ්ට තම සහයෝගය පලකිරීමෙන් පසු ආචාර්යවරයා එම ලිපිය අවසන් කර ඇත්තේ මෙබඳු ප්‍රශ්නයකිනි: "මහින්ද රාජපක්ෂගේ ආඥාදායක මාවතට එරෙහිව ජනවාරි 8 නිහඬ විප්ලවය ජයග්‍රහනය කල ලංකාවේ ජනතාව, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් රනිල්ගේ ආඥාදායකත්වය කොපමන කල් ඉවසා සිටිනු ඇත් ද?" ජනාධිපති සිරිසේන බලයට පත්කිරීම ප්‍රෝඩාකාරී ලෙස "නිහඬ විප්ලවය" ලෙස නම් කරතත්, ධනපති පාලනයට එරෙහිව ලංකාවේ පමනක් නොව, මෙම කලාපයේ ද ලොව පුරා ද විප්ලවකාරී ලෙස වැඩී එන කම්කරු පන්තික අරගලය කෙරෙහි බයභීතිකාවෙන් පෙලෙන මධ්‍යම පන්තියේ මංමුලාව, කුමාර් ඩේවිඩ්ගේ ලිපියෙන්ම මෙන්ම කුමුදු කුසුම් කුමාරගේ ලිපියෙන් ද ප්‍රකාශයට පත් වේ.

Share this article: