එජාප 70 වන සංවත්සරය: මහජනතාවට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් සඳහා සියලු ධනපති කොටස් ඒකාග්‍ර කරගැනීමේ වේදිකාවක්

නන්ද වික්‍රමසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 24

පසුගිය සැප්තැම්බර් 10දා කොලඹ දී පවත්වන ලද එක්සත් ජාතික පක්ෂයේ (එජාප) 70 වන සංවත්සරය වනාහි, තම පක්ෂයේ මූලිකත්වයෙන් අටවා තිඛෙන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දැනටමත් ආරම්භ කර ඇති ප්‍රහාරයන් වේගවත් කොට ඉදිරියට ගෙනයාමටත්, එක්සත් ජනපදයේ යුද මූලෝපායික සැලසුම්වලට ශ්‍රී ලංකාව වඩාත් ඒකාග්‍ර කර දීමටත්, සිංහල සහ දෙමල ධනපති පංතීන්ගේ සියලු කොටස් සහ ඔවුනගේ ප්‍රධාන දේශපාලන පක්ෂ පෙලගස්වා ගැනීමට කැඳවුම් කෙරුනු වේදිකාවකි. විවිධ පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වේදිකාවේ සංයුතියම පෙන්නුම් කලේ‚ ධනපති පංතියේ සැලකියයුතු කොටසක් මේ සඳහා දැනටමත් පෙල ගැසී ඇති බවයි.

ලඟ එන පලාත් පාලන මැතිවරනය එල්ල කර ගනිමින් එජාපයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ආසන සහ දිස්ත්‍රික් මට්මෙන් ගෙනගිය උද්ඝෝෂනයකින් පසුව පැවැත්වූ මෙම සංවත්සර රැස්වීමේ විශේෂ ආරාධිතයන්වූයේ, වොෂින්ටනය තම අත යොදා පසුගිය වසර මුලදී ශ්‍රී ලංකාව තුල සිදුකල තන්ත්‍ර මාරුවෙන් ජනාධිපතිධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන හා එම කුමන්ත්‍රනයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යි.

රැස්වීමේ ප්‍රධාන කතාව කල එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් අවධාරනය කලේ සියලු ධනපති පක්ෂ ඒකාග්‍ර කරගත් “ජාතික ආන්ඩු” අවශ්‍යතාව යි. “පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේදී අපට තුනෙන් දෙකක ඡන්ද බලයක් ලැබුනානම් ඒත් ජාතික ආන්ඩුවක් පිහිටුවීම අපේ අභිලාෂය වුනා......මේ ගමන තනියම යන්න බෑ. අපට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය යි.”

මෙම තනියම යන්න බැරි ගමන” කුමක්දැයි වික්‍රමසිංහ පැහැදිලි කලේ මෙසේ ය: “අප මේ රට සීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට රැගෙන යනවා. අපි මහනුවර, වයඹ, බස්නාහිර, දකුන, හම්බන්තොට සහ මොනරාගල විශාල සංවර්ධන කලාප ඇති කරනවා. මහනුවර විශාල නගරයක් බවටත් ගාල්ල සුවිසල් සංචාරක ප්‍රදේශයක් බවට පත් කරනවා. ඉන්දියන් සාගරයේ විශාලතම නගරය බවට බස්නාහිර පලාත පත් කරනවා.”

වික්‍රමසිංහ මේ කතා කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් සන්තර්පනය කිරීම සඳහා සමස්ත දිවයින පරිවර්තනය කිරීමට යන තම ආන්ඩුවේ ගමන ගැන යි. කොලඹ කේන්ද්‍රය කරගත් දැවැන්ත වානිජ නගරයක් බවට බස්නාහිර පලාත පත් කිරීමේ “මෙගා පොලිස්” වැඩපිලිවෙල යටතේ කොලඹ සහ තදාසන්න නගරවල දුගී පවුල් දසදහස් ගනනක් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැර ඉන් මුදා ගන්නා ඉඩම් ජාත්‍යන්තර ආයෝජකයන්ට පවරාදීම දැනටමත් ආරම්භ කෙරී ඇත.

වික්‍රමසිංහගේ ඊනියා ආර්ථික කලාප යනු අන් කවරක් හෝ නොව, කම්කරුවන් ඇට පොත්තටම සූරා කැවෙන ලාභ ශ්‍රම වහල් කඳවුරු පිහිටුවීමේ ප්‍රතිගාමී ව්‍යාපෘතිය යි. වික්‍රමසිංහ වලිකන්නේ, චීනයේ, බංග්ලාදේශයේ, වියට්නාමයේ සහ ඉන්දියාවේ ලාභ ශ්‍රම කඳවුරු සමග තරග කිරීමට හැකි වඩාත් ලාභ ශ්‍රමය සහ රුදුරුම මර්දනය සහිත “ආර්ථික කලාප” නිර්මානය කිරීමට යි.

ඒ සමගම ඔහු කියා සිටියේ, “2020 වනවිට අපි මේ රටේ නයබර අඩු කරනවා කියල කියන්න කැමති” බවයි. දැවැන්ත ආර්ථික අර්බුදයක වෙලීසිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දැනටමත් ප්‍රකාශයට පත්කොට ඇති පරිදි රටේ සමස්ත නයගැතිභාවය රුපියල් ට්‍රිලියන නවයකි. අනාගත පරපුර කෙරේ බොරු අනුකම්පාවක් මවා පාමින් වික්‍රමසිංහ පැවසුවේ “පරම්පරා ගනනකට රාජපක්ෂ රෙජිමේ නය ගෙවන්න ඕන නෑ. අපේ කාලෙ අපි මේ නය ගෙවනව කියල කියන්න කැමති” බවයි. මේ කෛරාටික ප්‍රකාශයේ සැබෑ අදහස නම් තමා දුන් නය වහා ගෙවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ලෝක මුල්‍ය අධිපතියන් දී ඇති නියෝගයන් වහවහා ක්‍රියාත්මක කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛතම නියෝගය වන්නේ‚ 2020 වනවිට රටේ අය-වැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් (දජානි) සියයට 3.8 දක්වා අඩුකලයුතු බවට පනවා ඇති නියෝගය යි. පසුගිය වසර අවසානයේ මෙම හිඟය දජානියෙන් සියයට 6 ඉක්මවා තිබුනි. මෙම ඉලක්කය ජය ගැනීමට නම් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි දැවැන්තම ප්‍රහාරයක් එල්ල කල යුතු ය. එක් අතකින් මහජනතාව මත බදුබර පටවමින් රාජ්‍ය ආදායම ඉහල දමා ගත යුතුවෙයි. අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවාවන් මත පවා සියයට 15 ක දැවැන්ත වැට් බද්දක් පනවමින් ආන්ඩුව දැනටමත් ආරම්භ කොට ඇත්තේ මෙය යි. සන්ඩේ ටයිම්ස් පුවත් පත ලියා ඇති පරිදි‚ “ආන්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඊලඟ නය වාරිකය ලබා ගැනීමට නම් නව බදු රේට්ටු ඉදිරි අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීම නැතිව බැරි දෙයක් බවට පත්ව තිබේ.” මෙම ප්‍රහාර‚ ඉදිරි කෙටි කාලයතුල පෙරනුවූ පරිදි උග්‍ර කෙරෙනු ඇත.

අනෙක් අතට රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලලු සමාජ සුබසාධනයන් ද අනෙකුත් සහනාධාරයන් ද දැවැන්ත කප්පාදුවකට ලක්කල යුතුය. සමෘද්ධි සහ පොහොර සහනාධාරයන් කප්පාදු කරමින් එම ක්‍රියාවලිය ද ආරම්භ කෙරී පවතී.

සිරිසේන සහ වික්‍රමසිංහ ඇතුලු සමස්ත ධනපති පංතියේම දෙපා සලිතව ඇත්තේ, දිගු කාලයක් පුරා වර්ධනය වෙමින් පවත්නා සමාජ ආතතීන් විප්ලවවාදී අරගලයන් ලෙස පුපුරා යතැයි යන භීතියෙනි. “අපේ තරුනයන් තව කොතෙක් දුර ඉවසයි ද? අපේ ගොවි ජනතාව තව කොතෙක් දුර ඉවසයි ද?” යනුවෙන් වික්‍රමසිංහ තම කතාවේදී ප්‍රශ්න කලේ ය. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව, ශිෂ්‍යයන්, කම්කරුවන් සහ ගොවීන් මෙන්ම සුලු වෙලෙන්දන් ද දැනටමත් අරගලයට අවතීර්න වෙමින් සිටී. ඔවුනට එරෙහිව දියත්කොට ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන පියවරයන් වඩාත් ගැඹුරු කොට ඉදිරියට ගෙනයාමට නම් සියලු ධනපති කොටස් ඒකාග්‍ර කරගතයුතු බැව් වික්‍රමසිංහ හොඳින් දනී. අනෙකුත් සියලු ධනපති පක්ෂවලට “ජාතික ආන්ඩුවක්” සඳහා ඔහු විසින් කෙරෙන ඇරැයුම පිටුපස පවත්නේ මෙම උත්සුකය යි.

එජාපයේ ඉතිහාසය ගැන බේගල් ඇද බාමින් වික්‍රමසිංහ පැවසුවේ‚ තම පක්ෂය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කැපවී ක්‍රියාකල බවයි. එනමුදු එජාපයේ දීර්ඝ වර්තාව පෙන්නුම් කරන්නේ මෙහි ප්‍රතිවිරුද්ධය යි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අමතිවරුන් ලෙස මෙහෙවරෙහි යෙදී, එම අධිරාජ්‍යවාදීන් ගේ කන්කානින් හැටියට සුදුසුකම් ලැබ සිටි‚ ඩී.එස්. සේනානායක සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක ප්‍රධාන කොම්ප්‍රදෝරු ධනපතියන්, 1947 ඊනියා නිදහසට සැරසුනේමත් 1946 මහා වැඩවර්ජනය මර්දනය කිරීම සදහා විජිත පාලකයන්ට සෘජුව ම සහාය දෙමිනි. ඉන් ඉක්බිති‚ එජාපය අටවාගෙන හදිසි නීති බලතල පනත සම්මත කොට 1947 මහ වැඩවර්ජනය පොලිස් මර්දනයට ලක් කලේ ය. ඉක්බිති අවුරුදු නවයක එජාප පාලන සමයේ වාර්තාව සමන්විත වන්නේ, වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කිරීම, 1953 හර්තාලයේදී කම්කරුවන් 7 දෙනෙකු වෙඩි තබා මරාදැමීම ඇතුලු දීර්ඝ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර මාලාවකිනි.

එජාපය 1977 දී යලි බලයට පත්ව, තම අධිරාජ්‍යගැතිභාවය තවදුරටත් ගැඹුරු කරමින් ඊනියා විවෘත ආර්ථික ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුනි. එයට එරෙහිව නැගී ආ 1980 මහ වැඩ වර්ජනය මර්දනය කලේ‚ ලක්ෂයකට අධික කම්කරුවන් තම රැකියා වලින් දොට්ට දමමිනි. ඉන් අනතුරුව කම්කරු පංතියේ ශක්තිය තවදුරටත් බිඳ දමනුවස් ඔවුන් වාර්ගික රේඛා ඔස්සේ ඛෙදීම එල්ල කර ගනිමින්‚ 1983 දී දෙමල ජනතාවට එරෙහි රුදුරු යුද්ධය ආරම්භ කලේ ය. 1987-90 තුල දී ගම්බද තරුනයින් 60,000ක් ඝාතනය කලේ ද වික්‍රමසිංහ ද ඇතුලත් එජාප ආන්ඩුව විසිනි.

තමාට හුරුපුරුදු වංචනික සහ කෛරාටික ක්‍රමයෙන් වික්‍රමසිංහ තම කතාව අවසන් කලේ‚ තම පක්ෂය “අතීතයේ කල වැරැදි” වලට සමාව අයදිමින් සහ “රට සංවර්ධනය කිරීම” සඳහා “සියලු ජාතීන්ට” ආරාධනය කරමිනි. කල වැරැදි කුමක්දැයි සඳහන් නොකරමින් වික්‍රමසිංහ කල මෙම වංචනික සමාව අයැදීම සහ ඇරයුම වනාහි, කොලඹ තන්ත්‍රය සමග යම් සම්මුතියක් ඇතිකර ගනිමින් තම වරප්‍රසාද තරකර ගැනීමට මාන බලමින් සිටින දෙමල ධනේශ්වරයට, විශේෂයෙන් ම එහි ප්‍රධාන දේශපාලන නියෝජිතයන් වන දෙමල ජාතික සන්ධානයට, තම ආන්ඩුව සමග එක්වන ලෙස දෙන ලද සංඥාවකි. මෙය කිසි විටෙකත්, එජාපයේ සමස්ත ඉතිහාසය පුරා සිදු කරන ලද වාර්ගික කෙනහිලිකම් සහ විසිහය වසරක රුදුරු යුද්ධය සම්බන්ධයෙන් දෙමල පීඩිත ජනතාවගෙන් සමාව ගැනීමක් නොවේ.

එජාපය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද දෙමල ජාතික සන්ධානය ද පෙලගස්වා ගනිමින් 2015 ජනවාරියේ සිදුකල තන්ත්‍ර මාරුවේදී‚ ඇමරිකානු අධිරාජ්‍යවාදය මෙහෙයවුනේ, අති මූලික වශයෙන් ම, සිය යුද මූලෝපායික අවශ්‍යතා වලිනි. ඉන්දියානු සාගරය තුල ශ්‍රී ලංකාවේ පිහිටීමේ යුද මූලෝපායික වැදගත්කම වොෂින්ටනය විසින් නැවත නැවතත් අවධාරනය කර තිබේ. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, තම වසර දෙකකට ආසන්න ආයු කාලය තුල, වොෂින්ටනයේ යුද මූලෝපායික වැඩ කටයුතුවලට ශ්‍රී ලංකාව ඉමහත් වේගයෙන් ඒකාග්‍ර කොට දී ඇත. ශ්‍රීලංකාවේ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ නොමඳ පැසසුමට ලක්වීමේ රහස මෙය යි.

මෙම වැඩකටයුතු වඩාත් ඉදිරියට ගෙනයාමට නම් සෑම ධනපති කොටසක්ම ඒ සඳහා පෙලගස්වා ගැනීම අත්‍යවශ්‍ය බව වික්‍රමසිංහ දනී. සියලු දෙනාට තමා සමග එකතු වන ලෙස වික්‍රමසිංහ කල ඇරැයුම තුල මෙම අභිලාෂය ද අතිමූලික වශයෙන් පවතී.

මහින්ද රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය හා පීඩිත ජනයා නැගී සිටි තතු තුල, එම මහජන විරෝධය එජාපය පිටුපසට ගාල් කිරීම සඳහා ද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ යුද මූලෝපායික වැඩකටයුතු සඳහා ශ්‍රී ලංකාව ගැටගසා දීම සඳහා ද, වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි වික්‍රමබාහු කරුනාරත්න වැනි ව්‍යාජ වම්මු සහ “පුරවැසි බලය” වැනි ඊනියා සිවිල් සංවිධාන දැන් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන් මුලුමනින්ම වහංගු කරමින් එයට ප්‍රජාතන්ත්‍රවාදී සලුපිලි අන්දවමින් සිටිති. එජාප සංවත්සරය තුල වික්‍රමසිංහගේ වංචනික සමාව ගැනීම තලු මරමින් ඔහුගේ “නිහතමානිත්වය” සහ “අවංකභාවය” අවධාරනය කරන මෙම චංචාකාරී නඩය, ඔහු “ප්‍රජාතන්ත්‍රවාදයේ” කප්පිත්තෙකු ලෙස ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වඩාත් ඉහල තලයකට නංවා ඇත.

එජාප සංවත්සරය ඇමතූ ජනාධිපති සිරිසේන ද වික්‍රමසිංහ මෙන්ම සියලු ජනවර්ගයන්ගේ එකමුතුව පිලිබඳ වංචාකාරී සූත්‍රය යලි යලිත් මැතුරුවේ ය. අවංකයෙකුගේ වේශය මවා පාමින්, පීඩිත ජාතීන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් තම පංතියේ ඓතිහාසික නොහැකියාව ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “අවුරුදු 70 කට පෙර ඩී.එස්.සේනානායක මැතිතුමා කතාකල දේ අවුරුදු 70 කට පස්සෙ අපට අදත් කතා කරන්න වෙලා තියෙනව. අවුරුදු 70 කට පස්සෙත් කතාකල ප්‍රශ්නයේ ස්වභාවය සමග එයට විසඳුමක් දීමට නොහැකිව ඇති බව පිලිගන්න සිද්ධවෙලා තිබෙනව.”

එජාපයේ සංවත්සරයෙන් සහ එහි 70 වසරක ඉතිහාසයෙන් සනාථ කෙරී ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලව න්‍යායයේ වලංගුභාවය යි. එනම්‚ ධනේශ්වර විප්ලවය කල් පමා වූ ශ්‍රී ලංකාව වැනි රටවල ධනේශ්වර පාලක පංතීන්ට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇතුලු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්ගෙන් කවරක් හෝ ඉටු කල නොහැකිබව සහ ඔවුනට අධිරාජ්‍යවාදීන්ගේ බත්බැලයන් ලෙස සේවය කිරීම හැර කවර හෝ ස්වාධීන කාර්යභාරයක් ඉටුකල නොහැකි බවයි.

Share this article: