රුසියානු විප්ලවය අධ්‍යයනය කලයුත්තේ මන්ද ?

Why Study the Russian Revolution?

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 මාර්තු 11

1917 රුසියානු විප්ලවයේ සියවන වසර සිහි කිරීම සඳහා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන දේශන පහෙන් ප‍්‍රථම දේශනය මෙයයි. රුසියානු විප්ලවය අධ්‍යයනය කලයුත්තේ මන්ද? යන ප‍්‍රශ්නයට උත්තරය ලිපිය අගදී නොව මුලදීම සැපයීමෙන්, පටන් ගැන්මේදීම පාඨක කුතුහලයය සන්හිඳුවනු ඇත.

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද යන්න පිලිබඳ හේතු දහයක්

ප‍්‍රථම කාරනය:

රුසියානු විප්ලවය වනාහි විසිවන ශතවර්ෂයේ අතිශයින්ම අර්ථභාර, ප‍්‍රතිඵල ජනනය කල සහ ප‍්‍රගතිශීලි දේශපාලනමය සංසිද්ධියයි. ස්ටාලින්වාදයේ පාවාදීම් සහ අපරාධ මගින් විනාශ කර දමනු ලැබූ සෝවියට් සංගමයේ අවසාන ඛේදජනක ඉරනම තිබියදීම, ගිය සියවසේ අන් කිසිම සිද්ධියක් මෙම ග‍්‍රහලෝකය පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට මෙතරම් දුරදිග යන බලපෑමක් සිදු කර ඇත්තේ නැත.

දෙවන කාරනය:

බෝල්ශෙවික් පක්ෂය විසින් 1917 ඔක්තෝබරයේදී බලය අල්ල ගැනීමෙන් කූටප‍්‍රාප්තවූ රුසියානු විප්ලවය, ලෝක ඉතිහාසයේ නව අවධියක් සලකුනු කලේ ය. ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම, ධනවාදයට විකල්පය මනෝරාජික ස්වප්නයක් නොව, කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන අරගලය තුලින් සාක්ෂාත් කල හැකි සැබෑවක් බව සනාථ කලේ ය.

තුන්වන කාරනය:

ඔක්තෝබර්, මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල සූත‍්‍රගත කල, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය විප්ලවය භාවිතයේ දී තහවුරු කලේ ය. බෝල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ සෝවියට් බලය පිහිටුවීම, මාක්ස් ගේ ඓතිහාසික න්‍යායේ සාරභූත අංගයක් වන “පන්ති අරගලය, අවශ්‍යයෙන්ම කම්කරු පන්තියේ ඒකාධිපතිත්වයට මග පාදන බව සත්‍යාපනය කලේ ය.” [1]

සිවුවන කාරනය:

රුසියානු විප්ලවයේ වෛෂයික වර්ධනය පිලිබඳව පලමු වරට ලියොන් ට්‍රොට්ස්කි විසින් 1906 සහ 1907 වර්ෂ වලදී වර්ධනය කල, නොනවතින විප්ලව න්‍යාය යන නමින් හැඳින්වෙන මූලෝපායික ඉදිරිදර්ශනය සනාථ කලේ ය. සාර්වාදී රුසියාවේ අත්තනෝමතික පාලන තන්ත‍්‍රය පෙරලාදැමීම, අර්ධ වැඩවසම් ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා වල ඉතුරුව තිබුනු රොඩු බොඩු විනාශ කිරීම, ජාතික පීඩනය අවසන් කිරීම, යන මේ සියල්ල අන්තර්ගත කරගත් ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සාර්ථක කරගත හැක්කේ, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම මගින් පමනක් යයි ට්‍රොට්ස්කි පෙරදුටුවේය. ධනපති පන්තියට එරෙහිව කම්කරු පන්තිය ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය ඉටු කල ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය, සමාජවාදී විප්ලවය කරා වේගයෙන් වර්ධනය වනු ඇත.

පස්වන කාරනය:

බෝල්ශෙවික් පක්ෂය විසින් 1917 ඔක්තෝබරයේදී බලය අල්ලාගෙන ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවාලීම, ලෝකය පුරා කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ පන්ති විඥානයේ සහ දේශපාලන දැනුවත් කමේ ඉමහත් වර්ධනයක් ඇති කලේය. රුසියානු විප්ලවය, දහනවවන සියවස අග දී සහ විසිවන සියවස මුලදී අධිරාජ්‍යවාදය විසින් පිහිටුවා ගන්නා ලද පැරනි යටත් විජිත පාලන පර්යායේ අවසානයේ ආරම්භය සලකුනු කරන ලදී. එය ජාත්‍යන්තර කම්කරු පන්තිය රැඩිකලිකරනය කොට, ලෝකය පුරා පීඩිත ජනතාවන්ගේ විප්ලවකාරී ව්‍යාපාරයක් ජනනය කලේය. ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් අත්පත් කරගන්නාලද ප‍්‍රමුඛ සමාජ ජයග‍්‍රහන, එනම්, 1930 ගනන් වලදී ඇමෙරිකා එක්සත් ජනපදය තුල කාර්මික වෘත්තීය සමිති ගොඩ නැගීම, දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීම, යටත්විජිත හරනය හා දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ ක‍්‍රියාත්මක කෙරුනු සමාජ සුභ සාධන ක‍්‍රියාවලිය ද ඇතුලු මේ සියල්ල, රුසියානු විප්ලවයේ අතුරු ඵලයන් වේ.

හයවන කාරනය:

බෝල්ශෙවික් පක්ෂය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සිය අරගලය තුල න්‍යායයේදී සහ භාවිතයේදී ඔප්පු කලේ, විප්ලවවාදී මූලෝපයේ සහ බලය සඳහා ප‍්‍රයෝගික අරගලයේ සරභූත පදනම වන්නේ, සමාජවාදී ජාත්‍යන්තරවාදය බවය. ලෝක ධනවාදයේ ගෝලීය ප‍්‍රතිඝතිතාවන්ගෙන් පැනනැගුනු රුසියානු විප්ලවයේ ඉරනම රැඳී පැවත්තේ, ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනය මත ය. පසු කලෙක ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි:

“ජාතික සීමා තුල සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීම සිතිය නොහැක්කකි. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක මූලික හේතුවක් නම්, එය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග තවදුරටත් ජාතික රාජ්‍යයේ රාමුව තුල රඳවා තැබිය නොහැකි වීමය. එක අතකින් මෙයින් ගලා එන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයන් ය. අනෙක් අතින් යුරෝපයේ ධනේශ්වර එක්සත් ජනපදයක් පිලිබඳ යුතෝපියානු මනෝ රාජ්‍යයයි සමාජවාදී විප්ලවය ජාතික කරලියේ ඇරඹී, ජාත්‍යන්තර කරලියේ දිගහැරී, ලෝක කරලියේ පරිපූර්නත්වයට පත්වේ. මේ අනුව සමාජවාදී විප්ලවය වචනයේ නව සහ පෘථුල අර්ථයකින්, නොනවතින විප්ලවයක් වන්නේ ය. එය පරිපූර්න වන්නේ, නව සමාජය අපගේ මුලූ ග‍්‍රහලෝකය පුරා අවසාන විජයග‍්‍රහනය අත් කර ගැනීම ද සමගය.” [2]

මේ වචන අවුරුදු 88 කට පෙර ලියන ලද ඒවා යයි විශ්වාස කිරීම ද අමරුය. අද දින යුරෝපිය සංගමය අලලාගෙන උග‍්‍ර වන ජාත්‍යන්තර භූ දේශපාලනික ආතතින් ද කලි කලහ ද මැද්දේ දිස්වනු ඇත්තේ, ට්‍රොට්ස්කි එදා “අධිරාජ්‍යවාදී යුද්ධ” සහ “යුරෝපයේ ධනේශ්වර එක්සත් ජනපදයක් පිලිබඳ යුතෝපියානු මනෝ රාජ්‍යය” පිලිබඳව කරන ලද ප‍්‍රකාශ, හරියට ම ලේ මොන්දේ නැතිනම් ෆිනැන්ෂල් ටයිම්ස් පුවත් පත් වල අද දවසේ අන්තර්ජාල මුද්‍රනයන්හි පලකරන ලද දේ පරිද්දෙනි. ට්‍රොට්ස්කිගේ නිරීක්ෂනයන්හි චිරස්ථායි අදාල බව ද නවමු බව ද සාක්ෂි දරන්නේ, ඔහු විසිවන සියවසේ මුල් දශකයන් තුල පොර බැදූ ගැටලු විසි එක්වන ශතවර්ෂයේ ද නොවිසඳී පවත්නා බවය.

හත්වන කාරනය:

රුසියානු විප්ලවය විද්‍යාත්මක සමාජ චින්තනයේ වර්ධනයෙහි තීරක සිද්ධියක් ලෙස බරපතල අධ්‍යයනයක් ඉල්ලා සිටි. 1917 දී බෝල්ශෙවිකයන්ගේ ඓතිහාසික ජයග‍්‍රහනය විදර්ශනය කලේ ද සාක්ෂාත් කලේ ද විද්‍යාත්මක භෞතිකවාදී දර්ශනවාදය සහ විප්ලවවාදී භාවිතය අතර වන සාරභූත සම්බන්ධතාවයි.

බෝල්ශෙවික් පක්ෂයේ විකාශනය, කලයුත්තේ කුමක් ද යන කෘතියේ ලෙනින්ගේ ප‍්‍රකශය සනාථ කලේ ය: “විප්ලවවාදී න්‍යායකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයකට පැවතිය නොහැකිය.” [3] ලෙනින් නිරන්තරව අවධාරනය කල පරිදි මාක්ස්වාදය, දාර්ශනික භෞතිකවාදයේ අතිශයින්ම වර්ධිත ආකාරය වේ. එය සම්භාව්‍ය විශේෂයෙන්ම හේගල්ගේ ජර්මානු විඥානවාදය, [අපෝහක තර්කනය සහ වෛෂයික යථාර්තය ඥානනය කිරීමේ ලා ඓතිහාසිකව පරිනාමය වන සමාජ භාවිතය ඉටු කරන්නාවූ සක‍්‍රිය භූමිකාව ග‍්‍රහනය කර ගැනීම මගින්] විවේචනාත්මකව යලි ප‍්‍රගුන කරන, එහි සැබෑ ජයග‍්‍රහනයන් ප‍්‍රත්‍යක්ෂනය කරන මාක්ස්වාදය වනාහි, දාර්ශනික භෞතිකවාදයේ අතිශයින්ම සංවර්ධිත ආකාරයයි.

අවුරුදු 30ක් මුලූල්ලේ [1895 සිට 1922 දක්වා] ලියා පලකල කෘති මාලාවක් හරහා ස්ථිරසාරව දාර්ශනික භෞතික වාදය සහ ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය ආරක්ෂා කිරීම මගින්, තහවුරු කල ලෙනින්ගේ සංකල්පය මෙයයි. එමගින් ඔහුගේ ප‍්‍රගාඪ බුද්ධිමය ඒත්තුගැන්වීම ප‍්‍රකාශ කෙරේ. “මානව වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වන්නේ, ආර්ථික පරිනාමයේ [සමාජ ජීවිතයේ පරිනාමය] වෛෂයික තර්කනය, එහි පොදු සහ අති මූලික ලක්ෂන සහිතව වටහා ගැනීම වේ.” අපගේ සමාජ විඥානය සහ හැකි සියලු ආකාරයන්ගෙන්, නිශ්චිත, පැහැදිලි හා විවේචනාත්මක ලෙස ධනපති රටවල වැඩි දියුනු පන්තීන්ගේ විඥානය එමගින් ඊට අනුකූලව හැඩගැස්විය හැකිය. [4] 1917 ඔක්තෝබරයේ දී කම්කරු පන්තිය විසින් බලය අල්ලාගැනීම මෙතෙක් ඉක්මවා නැති ඓතිහාසික මුදුනකි. කම්කරු පන්තියේ දේශපාලන ක‍්‍රියාවන්ගෙන් ප‍්‍රකාශිතවූ ආකාරයට, එහි විඥානයට මානව වර්ගයාගේ අනුගතවීම, “ආර්ථික පරිනාමයේ වෛෂයික තර්කනයයි.”

අටවන කාරනය:

බෝල්ශෙවික් වාදය දේශපාලන ප‍්‍රවනතාවයක් ලෙස වැඩී ඒම ද 1917 කැලඹිලිකාර සිද්ධීන් තුල එය ඉටු කල සුවිශේෂී භූමිකාව ද මාක්ස්වාදීන් විසින් අවස්ථාවාදයට හා එහි දේශපාලන බෑයා වන මාධ්‍යමිකවාදයට එරෙහිව කරන ලද අරගලයේ සාරභූත අර්ථභාරය ඔප්පු කලේ ය. රුසියාවේ මෙන්ශේවික් දේශපාලන අවස්ථාවාදයට එරෙහි ව ද 1914 දී පලමුවැනි ලෝක යුද්ධය ඇරඹෙත්ම දෙවන ජාත්‍යන්තරය විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවාදීමට එරෙහිව ද ලෙනින් කලාවූ අරගලය, 1917දී බලය සඳහා අරගලයට නායකත්වය දුන් පක්ෂයේ දේශපාලන අනන්‍යතාවය වාත්තු කලේ ය.

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය යොදාගත් ලෙනින්, දේශපාලන ප‍්‍රවනතා වල ඝට්ටනය තුල ප‍්‍රකාශනයක් අත් කරගත් සමාජ සහ ආර්ථික ආසක්තතා අනාවරනය කරලීමට යත්න දැරී ය. මේ පදනමේ ලෙනින් අවස්ථාවාදය -සහ විශේෂයෙන්ම දෙවන ජාත්‍යන්තරය තුල- අධිරාජ්‍යවාදයට අනුගත වූ කම්කරු පන්තියේ ද මධ්‍යම පන්තියේ ද කොටස්වල භෞතික ආසක්තයන් ගේ ප‍්‍රකාශනයක් බව - හඳුනාගත්තේ ය.

නවවන කාරනය:

සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා සැබෑ විප්ලවවාදී පක්ෂයක් හා එවන් පක්ෂයක විස්ථාපනය කල නොහැකි ක‍්‍රියාකලාපයෙහි තීරනාත්මක වැදගත්කම පිලිබඳ ආදර්ශයක්, බෝල්ශෙවිකයෝ කම්කරු පන්තියට ලබාදුන්නෝය. 1917 විප්ලවවාදී ක‍්‍රියාවලිය පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් මගින් නිසැකවම තහවුරු වන්නේ, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුතු බෝල්ශෙවික් පක්ෂයේ පැවැත්ම, සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය උදෙසා තීරනාත්මක වූ බවයි. ගොවි ජනයාගේ විප්ලවවාදී නැගිටීමේ ආධාරය ලත් රුසියානු කම්කරු පන්ති ව්‍යාපාරය, 1917 දී යෝධ පරිමානයක් අත්කර ගත්තේ ය. එහෙත් ඒ වර්ෂයේ සිද්ධීන් පිලිබඳ කුමන යථා අධ්‍යයනයක් මගින් වුව ද තහවුරු කෙරෙන කාරනය නම්, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම බෝල්ශෙවික් පක්ෂය විසින් සම්පාදනය කෙරුනු නායකත්වයෙන් තොරව කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බවය. ට්‍රොට්ස්කි මෙසේ එම අත්දැකීම සාර භූත ලෙස විදහා දැක්විය: “විප්ලවවාදී යුගයක් තුල [කම්කරු පන්ති] නායකත්වයේ භූමිකාව ද වගකීම ද දැවැන්ත වේ”[5] මෙම නිගමනය 1917 දී වලංගු වූයේ යම්සේ ද අද දින ද එය එසේ වන්නේ ය.

දසවන කාරනය:

1917 පෙබරවාරි /මාර්තු සහ ඔක්තෝබර් /නොවැම්බර් අතර තුර වූ සිද්ධි මාලාව හුදෙක් ඓතිහාසික ආසක්තය දනවන්නක් පමනක් නොවේ. එම තීරනාත්මක මාසවල අත්දැකීම, අනිවාර්යයෙන්ම ඉදිරියේ එලඹෙන නව විප්ලවවාදී අරගලය තුලදී කම්කරු පන්තිය මුහුන දෙනු ඇති මූලෝපායික සහ උපායික ගැටලු වලට, අතුල්‍ය සහ චිරස්ථායී අභිනිවේශයක් සපයයි. ට්‍රොට්ස්කි 1924 දී පෙන්නුම් කල පරිදි,“කම්කරු පන්ති විප්ලවයේ නියාම සහ විධික‍්‍රම සම්බන්ධයෙන් ගතහොත් අද වනතෙක් ම, අපගේ ඔක්තෝබර් අත්දැකීමට වඩා වැදගත් වු ද ප‍්‍රගාඪවූ ද වෙනත් මූලාශ‍්‍රයක් තිබී නැත.” (6)

බොල්ශෙවික් වාදයේ ක‍්‍රියාමාර්ගයට සහ මූලධර්ම වලට එරෙහි ප‍්‍රති-මාක්ස්වාදී ජාතිකවාදී නිලධාරිවාදී ප‍්‍රතික‍්‍රියාවක් වූ ස්ටාලින් වාදයේ අපරාධ, ඔක්තෝබර් විප්ලවය සහ සෝවියට් සංගමය පැවතුනාවූ 74 අවුරුද්ද ඇතුලත එය අත් කරගත් ඒවා ද ඇතුලත්, එහි සැබෑ ජයග‍්‍රහන අවලංගු කර දමන්නේ නැත. ධනේශ්වර පද්ධතියේ ගෝලීය අර්බුදයේ මෙම අලුත් කාල පරිච්ඡේදය තුල, වත්මන් සමාජ, ආර්ථික සහ දේශපාලන අපාරය තරනය කිරීම සඳහා, අනිවාර්ය පූර්වාවශ්‍යතාවය වන්නේ, රුසියානු විප්ලවය පිලිබඳ අලුතින් හැදෑරීම සහ එහි පාඩම් අත්පත් කර ගැනීම වේ.

ලෝක යුද්ධයේ මහා ව්‍යසනය

මෙය වනාහි දේශන පහෙන් මුල් එකය. මා අපේක්ෂා කරන්නේ මීලඟ මාස දෙක ඇතුලත පැවැත්වෙන මෙම දේශන, රුසියානු විප්ලවය පිලිබඳ ව සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් අවශ්‍ය කරන්නේ මන්ද යන්න පිලිබඳව මා මෙහි දී ඉදිරිපත් කර තිබෙන හේතු සනාථ කොට පුලුල් කරනු ඇත කියාය.

හරියටම මෙයට අවුරුදු සියයකට පෙර මේ සතියේ එනම් 1917 මාර්තු 8 වනදා, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අධිරාජ්‍ය රුසියාවේ අගනුවර වූ පෙට්‍රොග‍්‍රෑඞ් හි රැස්වීම් සහ පෙලපාලි පැවැත්වුනි. ඒවන විටත් රුසියාව පාවිච්චි කලේ ජුලියන් දින දර්ශනය වූ හෙයින් - ලෝකයේ වෙනත් බොහෝ ප‍්‍රදේශවල යොදාගන්නා ග‍්‍රිගොරියානු දින දර්ශනයට වඩා එය දින 13ක් පස්සෙන් සිටින නිසා- මෙම සිද්ධීන්හි පෙට්‍රොග‍්‍රෑඩ් දිනය වූයේ 1917 පෙබෙරවාරි 23 ය. මෙම දේශනයේ ඉතුරු හරියේ, රුසියාව තුල සිදුවූ සිද්ධීන් ගැන සඳහන් කරන කල්හි මා යොදා ගනු ඇත්තේ එකල රුසියාවේ යොදා ගැනුනු දින දර්ශනයයි.

මෙම විරෝධතා ආරම්භ වන විට යුරෝපයේ මහා බලවත්තු, එක් පැත්තකින් ඔස්ට්‍රියා-හංගරියාව සහ ජර්මනිය ද අනෙක් පැත්තෙන් ප‍්‍රන්සය සහ බ්‍රිතාන්‍යය ද අවුරුදු දෙකකුත් සත්මාසයක යුද්ධයක පැටලී සිටියහ.

1914 අගෝස්තු සහ 1917 මාර්තු අතරතුර කාලයේ යුද වැදුනු සියලු රටවල ආන්ඩු - ඒවා පාලනය වූයේ පාර්ලිමේන්තු යටතේ වුව, රජවරුන් යටතේ වුව - මිනිස් ජීවිත විනාශ කලේ සාපරාධි නොතැකීමකින් ය. 1916 වර්ෂයේදී යුරෝපයේ යුද පිටි ලෙයින් තෙත්ව තිබුනි. 1916 පෙබරවාරි 21 පටන් දෙසැම්බර් 18 දක්වා දින 303ක් තුල සිදුවූ වර්ඩන් සටනේ දී ප‍්‍රන්ස සහ ජර්මානු සෙබලු 715, 000ක් දෙනා, බරපතල තුවාල වලට හෝ මරනයට ගොදුරු වූවෝ ය. එනම්, මසකට හේවායන් 70,000ක් මරනයට නැතිනම් බරපතල තුවාල ලැබූ බව ය. වර්ඩන් සටනේදී මරනයට පත් සංඛ්‍යාව පමනක් 300,000 කි.

ඒ හා සමගාමීව ප‍්‍රන්සයේ සොම් ගඟ අසල කරන ලද සටනේ ප‍්‍රථම දිනයේ දී, එනම් 1916 ජුලි 1දා පමනක්, බ්‍රිතාන්‍යය‍ හමුදාවේ ජීවිත හානි 57,000කි. 1916 නොවැම්බර් 18 දා යුද්ධය හමාරවී මහා ඝාතනය අවසන් වන විට මියගිය බ්‍රිතාන්‍ය, ප‍්‍රන්ස සහ ජර්මානු සෙබලුන්ගේ සංඛ්‍යාව එක් මිලියනය ඉක්මවා තිබුනි.

යුද්ධයේ නැගෙනහිර පෙරමුනේදී රුසියානු හමුදා, ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ හමුදා වලට මුහුන දී සිටියාහ. 1916 ජුනි මාසයේ දී සාර් පාලනය ජෙනරල් බෘසිලොව් යටතේ ප‍්‍රහාරයක් දියත් කලේ ය. සැප්තැම්බර් මාසයේ ප‍්‍රහාරය අවසානයේදී, රුසියානු හමුදා භටයන් ලක්ෂ 5-10 ත් අතර සංඛ්‍යාවක් විපතට පත්ව තිබුනි. රුසියානු විප්ලවයේ ප‍්‍රචන්ඩත්වය ද බෝල්ශෙවිකයන්ගේ අමානුෂික ස්වභාවය ද ගිය ශතවර්ෂයේ නිමක් නැති ඉතිහාසඥයන්ගේ හෙලාදැකීමට ලක්වී ඇත. එහෙත් යන්තමින් හෝ දැනගත්තත්, ශාස්ත‍්‍රාලික උපාසකයන් සැබවින්ම ගසා බසා දමන කාරනය නම්, රුසියානු විප්ලවය එක ජීවිතයක් හෝ බිලි ගැනීමට පෙර, 1914 දී රුසියානු ධනේශ්වරයේ නොමඳ සහාය ඇතිව සාර්වාදී අත්තනෝමතික පාලනය විසින් දියත් කෙරුනු යුද්ධය, රුසියානු හේවායන් මිලියන එකයි තුන්කාලකගේ [ලක්ෂ දාහත හමාරක] ජීවිත බිලිගත් බව ය.

පෙබරවාරි 23ට සැලසුම් කර තිබූ නිශ්චිත විරෝධතා, විප්ලවයේ ආරම්භය සලකුනු කරනු ඇතැයි කාටවත් සිතාගැනීමට පුලුවන් වුනේ නැත. එහෙත් යුද්ධය විප්ලවයට මග පාදනු ඇති බව පෙර දකිනු ලැබිනි. 1915 තරම් කල්තියා ට්‍රොට්ස්කි මෙසේ ලියා තිබුනි: “යුද්ධය නමැති පාසලේ පන්නරය ලබා තිබෙන කම්කරු පන්තිය, තමන්ගේ රට තුලම ප‍්‍රථම බරපතල බාධකය ට මුහුන දුන් වහාම, බලයේ භාෂාව යොදාගැනීමේ අවශ්‍යතාව වටහාගනු ඇත.” ලෙනින් බෝල්ශෙවිකයන්ගේ යුද විරෝධී පිලිවෙත පදනම් කර තිබුනේ, ලෝක පර්යායක් වන අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිඝතිතා, යුද්ධයට මග පෑදුවා පමනක් නොව සමාජ විප්ලවයට ද මගපාදනු ඇතිය යන්න මතය.

1905 විප්ලවයේ ගිනිපුපුර බවට පත් වූ, සාන්ත පීටර්ස්බර්ග්හි බ්ලඩි සන්ඩේ [‘ලේවැකි ඉරිදා’] සංහාරයේ 12 වන සංවත්සරය වූ 1917 ජනවාරි 22 දා සුරිච් නගරයේ දී පැවැත්වූ දේශනයක දී ලෙනින්, තමා ගේ දේශනය ට පැමිනි කුඩා ශ‍්‍රාවකයට මෙසේ උපදෙස් දුන්නේ ය: “දැනට යුරෝපය පුරා පැතිර තිබෙන සුසානයක් වන් නිෂ්ශබ්දතාවයට අප රවටන්නට ඉඩ තැබිය යුතු නැත. යුරෝපය විප්ලවයෙන් ගැබ්බරව පවතී. අධිරාජ්‍ය යුද්ධයේ මෘග බිහිසුනු කම ද උග‍්‍ර ජීවන බරෙන් ඇති කරනු ලබන පීඩනය ද සෑම තැනකම විප්ලවීය මනෝ ගතියක් ජනනය කරයි. පාලක පන්ති, ධනේශ්වරය, සහ එහි ඇබිත්තයන්, ආන්ඩු, ගොඩ වී ගත නොහැකි අන්ධ පථයක් තුලට වඩ වඩාත් තල්ලු වෙති. අති මහත් පෙරලි වලට තුඩු නොදී ඉන් ගොඩ ඒමට ඔවුන්ට පුලුවන් කමක් නැත.” [7]

මහා ඓතිහාසික සිද්ධීන්ගේ ආරම්භයේදී බොහෝ විට සිදුවන්නාක් මෙන්, පෙබෙරවරි 23 දා ඒකරාශි වූ නොදන්නා පෙලපාලි කරුවෝ, තමන්ගේම ක‍්‍රියාවල ප‍්‍රතිවිපාකයන් කුමක් වන්නට යන්නේද යන්න දැන නොසිටියෝය. ඒ බ‍්‍රහස්පතින්දා උදේ තමන් කරමින් සිටියේ, ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම බව ඔවුන් කොහොම දැනගන්න ද ?

යුද්ධය එලඹෙත්ම, රුසියාව තුල සමාජ අර්බුදය කොතරම් උග‍්‍ර තත්වයට පත්වී දැයි කියතොත්, කම්කරු පන්ති වැඩ වර්ජන සහ වෙනත් ස්වරූපයේ අරගල කිසිසේත්ම අමුත්තක් වූයේ නැත. පෙට්‍රොග‍්‍රෑඩ් නගරය ජනවාරි 9 වෙනි දා, කම්හල් 100කට වැඩි ගනනක කම්කරුවන් 140,000කගේ යෝධ ස්ට‍්‍රයිකයක් විසින් සොලොවා ලන ලදී. පෙබරවාරි 14 දා තවත් ප‍්‍රධාන ස්ට‍්‍රයිකයකට 84,000ක් කම්කරුවෝ එක් වූහ. එසේ වුව ද පූර්න පරිමාන විප්ලවයක් පුපුරා යාම කරා ආතතින් ගොඩ නැගෙමින් පවත්නා බව ඒ වන විටත් පැහැදිලිව තිබුනේ නැත. වාම මෙන්ශේවික නිකොලස් සුඛානොව් පෙබරිවාරි 21දා, සිය 1917 සිද්ධීන් පිලිබඳ නොමිනිය හැකි තරම් අගනා මතක සටහන් තුල, වැඩෙමින් තිබුනු අසහනය පිලිබඳව තම වැඩපලේ තරුන යතුරු ලියන්නියන් දෙදෙනෙකු අතර කෙරුනු සාකච්චාවක් ගැන සඳහන් කරයි. එක තරුනියක් අනෙකාට මෙසේ කීමෙන් ඔහු මවිතයට පත් විය: “ඔබ දන්නව ද මගෙන් කවුරුහරි ඇහුවොත් කියන්නේ, මේක තමයි විප්ලවයේ පටන්ගැන්ම.” සුඛානොව් තමන්ට ම කියා ගත්තේ: මේ මෝඩ ගෑනු ලමයි විප්ලවය ගැන දන්නේ මොකක් ද? “විප්ලවයක්, විප්ලවයක් වෙන්න තියෙන ඉඩ හොඳටම අඩුය, විප්ලවේ!” යනුවෙන් තමාට කියාගත් සුඛානොව් මෙසේ සිතීය. “කවුරුත් දන්නවා මේක හීනයක් විතරක් වග. මේක පරම්පරා වල, දීර්ඝ කටුක අවුරුදු දසක ගනනක හීනයක්! කෙල්ලන් කියනදේ ගැන විස්වාසයකින් තොරවම මමත් ඔවුන් කියන දේම කිව්වා: ‘ඔව්, විප්ලවේ ආරම්භය වගෙයි.’” [8]

පෙබරවාරි විප්ලවය ඇරඹේ

මෙයින් පෙන්නුම් කලේ, පතුලට ම සංශයවාදී මෙන්ෂෙවික්වාදියාට තිබුනාට වඩා යථාර්තය පිලිබඳ හොඳ වැටහීමක්, දේශපාලන පලපුරුද්දක් නොලත් තරුන ගැහැනු ලමයින්ට තිබුන බවයි. පෙබරවාරි 22 දා යෝධ පුටිලොව් කම්හල, 30,000ක් කම්කරුවන් දොට්ට දැම්මේ ය. භයංකර යුද්ධයක පසුබිමට එරෙහිව පන්ති ආතතියෙන් උතුරා ගිය නගරය තුල හරියටම ඊලඟ දිනයේ, කාන්තා දින විරෝධතා පටන්ගති.

මෙම විරෝධතා පැනනැංගේ, වත්මන් පෝසත් මධ්‍යම පාන්තික ව්‍යාජ වම විසින් සිය ආධාරකය ලෙස, මිලියන පතියන් සමග ආන්තික දිලින්දන් රාශිය එක සමාජ කොටසක ට දමා අනාගත් ‘සීයට අනුනවය’ වැනි කන්ඩායමක් තුලින් නොවේ.

1917 පෙබරවාරි පෙට්‍රොග‍්‍රෑඩ් පෙලපාලිකරුවන් මතු වූයේ, අධිරාජ්‍යයේ අගනුවර වූ පෙට්‍රොග‍්‍රෑඩ් නගරයේ කම්කරු පන්තිය තුලින් වූ අතර, ඔවුන් නියෝජනය කලේ එම පන්තියේ ආසක්තයන් ය. ඔවුන්ගේ උත්සුකතා යොමුව තිබුනේ, පෞද්ගලික ජීවන ශෛලිය පිලිබඳ ප‍්‍රයුක්තීන්ට නොවේ, සමාජ පන්තින් ගේ ජීවන තත්වයන් දෙසට ය. ඔවුන් නැගුවේ මෙම හඬයි, “යුද්ධය භංගවේවා! ඉහලයන ජීවන වියදම පහත දමනු! කුසගින්න එපා! කම්කරුවන්ට පාන් දියව්!”[9] කාන්තාවෝ ෆැක්ටරි වලට පෙලපාලි යමින් කම්කරුවන්ගෙන් ආධාර ඉල්ලා සිටියෝය. දවස ඉවර වනවිට කම්කරුවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වැඩ වර්ජනය කලහ.

ඊලඟ දවස් කිහිපය තුල විරෝධතා වැඩී ආ තතු තුල වඩ වඩාත් පැහැදිලි වුයේ, පාලන තන්ත‍්‍රයේ ඉරනම සම්බන්ධයෙන් දින නියමවී ඇති බචය. පොලිසියේ වැඩිවන මර්දනයට පෙලපාලි නැවැත්වීමට බැරි විය. සාමය තහවුරු කිරීමට කැඳවන ලද සොල්දාදුවන්, වැඩි වැඩි යෙන් විරෝධතා දෙස සානුකම්පිකව බැලීමටත් තම නිලධාරීන් ගේ අන ක්‍රියාත්මක කිරීමට අකමැත්තක් දක්වන්නටත් පටන්ගෙන ඇති බවක් කම්කරුවන්ට පෙනෙන්නට විය. හතරවන දිනය වන විට කම්කරු පන්තිය පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමට වඩ වඩාත් ආසන්න විය. පෙලපාලි කරුවන්ට එරෙහිව මැෂින් තුවක්කු ප‍්‍රහාරවලින් සිය ගනනක් මරා දැමූ පොලිසියට මහජනතතාවගේ අප‍්‍රතිහත ප‍්‍රතිරෝධයකට මුහුන දීමට සිදු විය. මේ වනවිට අරගලයේ ප‍්‍රතිඵලය රඳා පැවැතුනේ පෙට්‍රොග‍්‍රෑ‍ඩ් නුවර සිටි හමුදා සේනාංක මත ය. සමකාලීන ඉතිහාසඥයෝ, කම්කරුවන් සහ සොල්දාදුවන් අතර වැඩෙමින් ආ සහෝදරාත්මක අන්තර් ක්‍රියාව පිලිබඳ ට්‍රොට්ස්කි ගේ විස්තරය සනාථ කරති. මහාචාර්ය රෙක්ස් වේඩ් පෙබරවාරි විප්ලවය පිලිබඳ සිය විස්තරයේ මෙසේ ලියයි:

1917 දී සිටියේ, 1905 විප්ලවය මර්දනය කල සොල්දාදුවන් නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා විනයට අඩක් පමනක් බැඳී සිටි අලුතෙන් බඳවාගත් අය වූහ. බොහෝ දෙන පෙට්‍රොග‍්‍රෑඩ් ප‍්‍රදේශයේ අය ම වූ හ. පෙබරවාරි 23-26 අතර මෙම සොල්දාදුවන් සහ සෙනඟ අතර බොහෝ සාකච්ඡා සිදු වී තිබුනි. එම සාකච්ඡාවල දී සොල්දාදුවන් සහ සෙනග අතර [මෙයට සොල්දාදුවන්ගේ පවුල් ද ඇතුලත් විය] පවත්නා පොදු අවශ්‍යතා ද යුද්ධය ඉවර කරගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වාදෙනු ලැබිනි. නිරායුධ ජනතාවට වෙඩි තබන්නට සිදුවීමේ අත්දැකීම හේවායන්ට තදින් බලපෑවේ ය. බෙහෝ සේනාංකවල සිදුවෙමින් තිබුනු දේ පිලිබඳ උනුසුම් වාද විවාද ඇති විය.[10]

මහජනයා සමග සමපර්කයේ ක්‍රියාවලිය හමුදා විනයට බලපෑවේ ය. “සාර් ටු ලෙනින්” නම් විශිෂ්ඨ වාර්තා චිත‍්‍රපටයේ මැක්ස් ඊස්ට්මන්ගෙන් උපුටා දැක්වුවහොත්, “ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සාර්ගේ හේවායෝ ඔහුගේ අන පැහැර හැරියෝ ය. පර්යාය පිහිටුවීමට තුවක්කු යෙදීම පසෙක තබා වීදිවල ජන රලට එක්වීම මගින් හේවායෝ නොසංසුන්තා උග‍්‍ර කලෝ ය.”

“ස්වයං සිද්ධතාවය,” මාක්ස්වාදය සහ විඥානය

විප්ලවය පිලිබඳ පසුව කල විස්තරවලදී ස්මෘති ලේඛකයන්, වාර්තා ලේඛකයන් සහ ඉතිහාසඥයින් පෙබරවාරියේ මහජන නැගිටීම, ඔක්තෝබරයේ බෝල්ශෙවික් නායකත්වයෙන් සිදුවූ සනද්ධ නැගිටීමට විසංවාදී ලෙස දක්වා තිබේ. බොහෝවිට මෙම සමීකරනය යේ අරමුන වී ඇත්තේ දේශපාලනිකව සවිඥානක නායකත්වයේ භූමිකාව විප්ලවවාදී ක‍්‍රියාවට සිදු කල බලපෑම නොතකා හැරීමය. ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ, විප්ලවවාදී ව්‍යාපාරයට දේශපාලන වශයෙන් දැනුවත් නායකත්වයක් තිබීම, එහි සදාචාරික පාරිශුද්ධිය හීනකරන බව තහවුරු කිරීම හෝ ගම්‍ය කිරීම ය. නායකත්වයක පැවතීම, දේශපාලන කුමන්ත‍්‍රනයක් සමග අනන්‍ය කරමින්, සිද්ධීන්ගේ සාමාන්‍ය ගමන් මග අවුරන්නක් ලෙස හඳුන්වා තිබේ.

ස්වාභාවිකත්වය [‘ස්වයං සිද්ධභාවය’] යන පදය වර්නනා කරන්නේ, දේශපාලන සවිඥානක භාවය නැතිකම උද්දාමයට හේතුවක් කරගත් නොදැනුවත් ජනකායක්, ප‍්‍රජාතන්ත‍්‍ර ඉව උඩ වැඩ ඇරඹීමක් සමග අනන්‍ය කිරීමටය. ඓතිහාසික තථ්‍යතාවක් ලෙස ගතහොත් අවිඥානක ‘ස්වාභාවිකත්වය’ යොදා ගැනෙන්නේ, 1917 පෙබරවාරි විප්ලවය ගුඪකරනය කොට, විකෘත කොට මිථ්‍යා කරනය කිරීමට ය. රුසියානු කම්කරු පන්තිය ද බොහෝ සෙයින් ගම්බද ගොවි ජනතාවගෙන් බඳවාගත් සෙබල ජනතාව ද තමන්ගේ ක්‍රියාවන්හි ඵල විපාක පැහැදිලිව නුදුටු බවත්, ඔවුන්ගේ ක්‍රියා තෝරා බේරාගත් විප්ලවාවාදී මූලෝපායක් විසින් නොමෙහෙයවුනු බවත් ඇත්තකි.

එහෙත් වැඩකරන ජනතාවට, දශක ගනනාවක් තිස්සේ එක්රැස්කරගත් සෘජු සහ ආවේනික අත්දැකීම් මගින් පෙබරවාරි සිද්ධීන් කිරා මැන බැලීමටත් නිගමනයන් කරා එලඹීමටත් සෑහෙන තරම් සමාජ සහ දේශපාලන විඥානයක් තිබුනි.

ඔවුන්ගේ චින්තනය, භයංකර පීඩාවන් යටතේ වර්ධනයවූ ද සමාජ සහ පෞද්ගලික දුක් දොම්නස් විසින් දහනය වූ ද උදාර ආත්ම පරිත්‍යාග මගින් අනුප‍්‍රානය ලද්දා වූ ද සංස්කෘතියක ශික්ෂනය ලත්, උදාර ආත්ම-පරිත්‍යාගයන් විසින් පන පෙවුනු සංස්කෘතියක ආභාශය ලැබී වර්ධනය වූවකි.

ලෙනින් 1920දී, බෝල්ශේවික් වාදයේ මූලයන් සමාලෝචනය කරමින් කම්කරු පන්තිය තුල ගැඹුරු මුල් සහිත වූ ද පීඩිත ජනතාවගේ පුලුල් කොටස් කෙරේ බලපෑමට සමත් වූ ද සමාජවාදී දේශපාලන සංස්කෘතියක් සහ ව්‍යාපාරයක් සඳහා කරන ලද දීර්ඝ අරගලයට ප‍්‍රනාමය පුද කලේ ය.

ශතවර්ෂ භාගයක් පුරා, දල වශයෙන් එක්දහස් අටසිය හතලිස් ගනන්වල සිට අනූ ගනන් දක්වා ද පසුගිය සියවසේදී ද අතිශය මෘග සහ ප‍්‍රතිගාමී සාර්වාදය විසින් පාගනු ලැබූ රුසියාව තුල, ප‍්‍රගතිශීලී චින්තනය, එකම නිවැරදි විප්ලවවාදී න්‍යාය වර්ධනය කර ගනු ලැබුවේ, එනම් රුසියාව මාක්ස්වාදය අත්පත් කර ගත්තේ, අනුපම විප්ලවවාදී වීර්යයක් ද අචින්ත්‍ය බලශක්තියක් යොදා කැප වී කරන ලද ගවේෂනය, අධ්‍යයනය හා ප‍්‍රායෝගික පරීක්ෂනය ද අපේක්ෂා භංගය ද උරගා බැලීම සහ යුරෝපිය හා ඇමරිකානු අත්දැකීම සමග සංසන්දනය කිරීම මගින්. සාතිශය සුපරීක්ෂභාවයෙන් සහ දෘඪ භාවයෙන් මෙහෙයවී ගෙන, යුරෝපය සහ ඇමරිකාව මෙම ක්ෂේත‍්‍රයේදී අත් පත් කර ගෙන තිබුනු හැම ”අවසාන වචනයක්ම” හැදෑරීම මගිනි. දහ නවවන ශත වර්ශයේ දෙවන භාගයේ රුසියාවේ විප්ලවාදීහු සාර්වාදය විසින් බලකෙරුනු දේශපාලන පිටුවහල හේතු කොටගෙන, ජාත්‍යන්තර සම්බන්ධතා සම්භාරයක් ද ලෝක විප්ලවවාදී ව්‍යාපාරයේ නානා රූප සහ න්‍යාය පිලිබඳව ද තොරතුරුද ලබා ගැනීමට සමත් වූ හ. [11]

පෙබරවාරි විප්ලවයට පෙර අවුරුදු 35 තුල රුසියාවේ කම්කරු ව්‍යාපාරය වැඩී ආවේ, සමාජවාදී සංවිධානයන් සමග සමීප සහ නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයකිනි. මෙම සංවිධාන - ඔවුන්ගේ විවිධ පත්‍රිකා, පුවත්පත්, දේශන, පාසල්, සහ නීත්‍යානුකුල හා නීති විරෝධී ක්‍රියාකාරකම් සමග කම්කරු පන්තියේ සමාජ, සංස්කෘතික සහ බුද්ධිමය ජීවිතය තුල ඉමහත් භූමිකාවක් ඉටු කලේ ය.

1880 ගනන්වල සිට 1905 නැගිටීමේ පටන් පෙබරවාරි විප්ලවයේ පුපුරායාම හරහා වර්ධනය වූ තත්වය තුලින් රුසියානු කම්කරු පන්තියේ ජීවිතයෙන් හා අත්දැකීම් වලින්, මෙම සර්වව්‍යාපී සමාජවාදී සහ මාක්ස්වාදී සන්ථවය, ඉවත්කල නොහැකි වේ. ප්ලෙඛානොව්, ඇක්සල්ඩ්, සහා පොට්රෙසොව් ගේ පුරෝගාමී වැඩ කටයුතු අපතේ ගියේ නැත. විප්ලවවාදී ව්‍යාපාරයේ කර්යධරයේ ස්ථිරසාර ප‍්‍රයත්නයන් තුල සාක්ෂාත් වෙමින්, 1917 පෙබරවාරියේ දී මහජනතාවගේ ‘ස්වභාවික ය’ යි කියන ලද විඥානයේ ඉහල බුද්ධිමය සහ දේශපාලන මට්ටම පෝෂනය කරනු ලැබුවේ, දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තියේ සමාජ අත්දැකීම ද මාක්ස්වාදී විශ්ලේෂනය ද අතර වූ අත්‍යසාමාන්‍ය අන්‍යොන්‍ය ප‍්‍රතික්‍රියාව මගිනි.

ඉහල පන්ති විඥානයකින් හෙබියාවූ කම්කරුවන් පෙබරවාරි ව්‍යාපාරය සංවිධානය කරමින් ද ඒකාධිපතිත්වය පෙරලා දැමීම කරා එය මෙහෙයවමින් ද ඉටු කල සෘජු සහ නිර්නක භූමිකාව, බැරෑරුම් ඓතිහාසික අධ්‍යනයන් තුලින් තහවුරු කරනු ලැබ ඇත. “පෙබරවාරි විප්ලවයට නායකත්වය දුන්නේ කවු ද?” යන ප‍්‍රශ්නයට ප‍්‍රධානවශයෙන්ම ලෙනින් ගේ පක්ෂය විසින් අධ්‍යාපනය දී පුහුනු කරන ලද සවිඥානක කම්කරුවන් යයි ට්‍රොට්ස්කි දුන් පිලිතුර මුලුමනින් ම නිවැරදි වේ. [12] එහෙත් ට්‍රොට්ස්කි වහාම එයට මෙසේ ද එකතු කලේ ය. “මෙම නායකත්වය සන්නද්ධ නැගිටීමේ ජයග‍්‍රහනය සහතික කිරීමට සෑහුනේ වුව ද විප්ලවයේ නායකත්වය වහාම කම්කරු පන්තික පෙරටු බලඇනිය අතට මාරු කර ගැනීමට සෑහුනේ නැත.” [13]

“ද්වන්ද බලය” පැනනැගීම

පෙබරවාරි 27 සඳුදා සවස් වරුව වන විට, කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ මහා ජන ව්‍යාපාරය විසින්, රුසියාව 1613 සිට පාලනය කර තිබුනු රොමානොව් රාජාන්ඩුව පලවාහැර තිබුනි. පැරනි පාලන තන්ත‍්‍රය විනාශ කර දැමුනු වහාම ඉස්මතුවු දේශපාලන ප‍්‍රශ්නය නම් කුමන පාලනයක්, ඒකාධිපතිත්වය වෙනුවට බලයේ පිහිටවිය යුතු ද යන්නයි. රුසියානු ධනේශ්වරයේ භීතියට පත්ව හිස් අවුල්වූ දේශපාලන නියොජිතයෝ ටොරිඩ් මාලිගයට රැස් වූ හ. රාජ්‍ය ඩූමා සභාවේ තාවකාලික කමිටුවක් පිහිටුවාගත් ඔවුහු, වහාම එය තාවකාලික ආන්ඩුව ලෙස සම්මත කරගත්තෝය. මහජන ව්‍යාපාරයෙන් තැතිගත් ධනේශ්වරයේ ප‍්‍රධාන උත්සුකය වුයේ, දේපල හිමියන් හා ධනවතුන්ගේ ද්‍රව්‍යමය උවමනාකම් වලට හානියක් නොවන පරිදි හැකි තාක් ඉක්මනට විප්ලවය පාලනය කර ගැනීමය. රුසියාව අධිරාජ්‍යවාදී යුද්ධයට අඛන්ඩව ගැටගසා තබාගැනීම ය.

ඒ අතර ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයෝ එම ගොඩනැගිල්ල තුලම, විප්ලවකාරී ජනතාවගේ අවශ්‍යතා තහවුරු කිරීම සඳහා කම්කරුවන්ගේ සහ සෙබලුන්ගේ සෝවියට් සභා නියෝජිත කමිටුව ලෙස රැස්වූහ. මෙම සැබෑ සහ විභව කම්කරු බලයේ යාන්ත‍්‍රනය ගොඩනගාගැනීමේ දී රුසියානු කම්කරු පන්තිය, 1905 විප්ලවයේ අත්දැකීම් උකහා ගත්හ. ට්‍රොට්ස්කි සභාපති වූ 1905 ශාන්ත පීටර්ස්බර්ග් සෝවියට් සභාව පැන නැගෙන්නේ, එම වර්ෂයේ මහජන ව්‍යාපාරය මුදුන්පත් වූ අවසන් සති වලින් පසුව වුව ද පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාව, 1917 විප්ලවයේ පලමු සතිය තුලම සක‍්‍රීය විය.

සාර්වාදී ඒකාධිපතිත්වය පෙරලා දැමීමෙන් පසුව ද නොවිසඳී ඉතිරි ව තිබුනු රුසියානු සමාජයේ පන්ති බෙදීම්, ද්වන්ද බල තන්ත‍්‍රය තුලින් ප‍්‍රකාශනයක් අත්කර ගත්තේය. එකිනෙකට සතුරු පන්ති බලවේගයන් නියෝජනය කරන්නාවූ එදිරිවාදී රාජ්‍ය අධිකාරයන් දෙකක් එකවිට පැවතීම ආවේනිකවම අස්ථාවර විය. මෙම අති විශේෂ ප‍්‍රපංචයේ අර්ථය පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි ලියා තැබුවේ මෙයයි. “පරමාධිපත්‍යය දෙකට පැලීමෙන් පෙන්වන්නේ, සිවිල් යුද්ධයට නො අඩු දෙයකි.”[14] 1917 විප්ලවයේ මුල් සති වලදී එය ජීවමාන විය.

ඊලඟ අට මාසය පුරා විප්ලවයේ වර්ධනය සිදුවුනේ, ධනේශ්වර තාවකාලික ආන්ඩුව ද කම්කරුවන් සහ සොල්දාදුවන්ගේ සෝවියට් සභා ද අතර ඝට්ටනය තුලින්ය. සරලවම අරගලයට බැස සිටියාවූ බලවේගයන්ගේ ශක්තිය පිලිබඳ කිසියම් වර්ගයක ගනිතමය ගනන් බැලීමකින් මෙම අරගලයේ අවසන් ප‍්‍රතිඵලය නිර්නය කරගත හැකිව තිබුනේ නම් ප‍්‍රශ්නය විසඳාලීමට මාස අටක් අවශ්‍ය නොවනු ඇත.

මුල පටන්ම ධනේශ්වර තාවකාලික ආන්ඩුව පැවැත්තේ ප‍්‍රධානකොටම බලරහිත තත්වයක ය. එහි අධිකාරය මුලුමනින්ම පාහේ රැඳී පැවතුනේ, මෙන්ශේවික් සහ සමාජ-විප්ලවවාදී පක්ෂ වලින් පැමිනි, සෝවියට් සාභාවේ දේශපාලන නායකයන් දුන් සහාය මතය. ඔවුන් අවධාරනය කලේ, රුසියාවේ විප්ලවය මුලුමනින්ම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර ස්වභාවයක් දරන බවත්, ධනවාදී දේපල සමාජවාදී ආකාරයකට පෙරලා දැමීම න්‍යාය පත‍්‍රයට ඇතුලත් නොවන බවත්, එහෙයින් කම්කරු පන්තියේ ද පීඩිත ගොවි ජනතාවගේ ද නියෝජිතයාවූ සෝවියට් සභාවට, තමන්ගේ ම බලය පිහිටුවාගත නොහැකි බවත් ය.

විජයග‍්‍රාහී පෙබරවාරි විප්ලවයේ ප‍්‍රථම සති කිහිපය තුල, සෝවියට් විධායක කමිටුව [තාවකාලික ආන්ඩුවට] යටත්වී සිටීම අභියෝගයට ලක්වුනේ නැත. තවමත් ලෙනින් රුසියාවට නොපැමිනි තතු තුල, කමනෙව් සහ ස්ටැලින්ගේ නායකත්වය යටතේ බෝල්ෂෙවික් පක්ෂයම ද සෝවියට් විධයක කමිටුව, තාවකාලික ආන්ඩුවට හා රුසියාව විසින් දිගටම යුද්ධයට සහාය දීමට එකඟ විය. මෙම දේශපාලන අනුගත වීමේ පිලිවෙත ලෙනින් රුසියාවට ආපසු එනතෙක්ම පවත්වාගෙන යනු ලැබිනි.

ලෙනින් පෙට්‍රොග‍්‍රෑඩයට පෙරලා ඒම

ලෙනින් රුසියාවට පෙරලා පැමින පෙට්‍රොග‍්‍රෑඩ්හි ෆින්ලන්ත දුම්රිය පලට ලඟා වීම, ලෝක ඉතිහාසයේ අතිශය නාටකීය අවස්ථාවලින් එකක් සලකුනු කලේය. විප්ලවය පැනනගින විට ලෙනින් වාසය කලේ, ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ ස්පිගෙල්ගස් මාවතේ, කුඩා දෙවැනි මහලක කාමරයක ය. ලෙනින් පිටුවහලෙකු ලෙස සූරිච් නුවර Hauptbahnhof මධ්‍යම දුම්රිය නැවතුම් පලේ සිට රුසියාවේ පෙට්‍රොග‍්‍රෑඩ් කරා කල ගමන, විප්ලවයේ ගමන් මග තුල ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නයක් ලෙස ඉස්මතු විය. යුද්ධය පැවතීගෙන යද්දී ලෙනින්ට ඉක්මනින්ම රුසියාවට පැමිනීමට නම්, වටවූ භූමියකින් යුත් ස්විට්සර්ලන්තයේ සිට ජර්මනිය හරහා ගමන් කල යුතු විය. ලෙනින් මැනවින් වටහාගත් කරුනක් නම්, ප‍්‍රතිගාමී ජාත්‍යෝත්තමවාදීන්, එවකට රුසියාව සමග යුද වැදී සිටි රටක් හරහා ගමන් කිරීමට තමා ගන්නා තීන්දුව කෝලාහලයකට කාරනයක් කරගනු ඇති බවයි. එහෙත් මෙහිලා තීරනාත්මක ප‍්‍රශ්නය වූයේ කාලය යි. ඔහු නැති තතු තුල බෝල්ෂෙවික් පක්ෂය, තාවකාලික ආන්ඩුව සමග සම්මුතියකට එලඹීමේ පිලිවෙතක් අනුගමනය කරමින් සිටි සෝවියට් සභාවේ මෙන්ශේවික් නායකයන් වටේ කරක්ගැසීය. ජර්මනිය හරහා සිය ගමනේ කොන්දේසි පිලිබඳව සාකච්චා කල ලෙනින් තමා සහ ජර්මානු රාජ්‍යයේ නියෝජිතයන් අතර මොනම සම්බන්ධයකටවත් ඉඩ නො තබන ‘සීල් තබා වැසූ’ දුම්රියක් ලබා ගැනීමේ හැකියාව ගැන සලකා බැලීය.

රුසියාවේ විප්ලවය පුපුරායාම පිලිබඳ ආරංචිය ලෙනින්ට ලැබුනු වහාම ඔහු, තාවකලික ආන්ඩුවට සමා විරහිත ලෙස විරුද්ධ විය යුතුය යන විප්ලවවාදී පිලිවෙත සූත‍්‍රගත කිරීම ආරම්භ කලේ ය. ඔහුගේ ප‍්‍රාරම්භක ප‍්‍රතිචාරය දක්වන ලද්දේ ‘ඈත සිට එවූ ලියුම්’ යන නමින් හැඳින්වෙන සවිස්තර සටහන් මාලාවක් තුලය.

විප්ලවයේ මුල් දිනවල පටන් ලෙනින් ඉදිරිපත් කල පිලිවෙත් පදනම් කර ගනු ලබුවේ, අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයෙන් මත ය; ඔහු 1915 සැප්තම්බරයේ සිමර්වෝල්ඩ් සම්මේලනයේ පටන්ම සටන් වැදුනු විප්ලවවාදී යුද-විරෝධී ක්‍රියාමාර්ගයේ අඛන්ඩතාවය ලෙස ය. එහි දී ලෙනින් අධිරාජ්‍යවාදී යුද්ධය සමාජවාදී විප්ලවයට මග පාදනු ඇති බව අවධාරනය කර තිබුනි. ඔහු ඉදිරිපත් කල සටන් පාඨය වූ “අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධය බවට හරවනු” යන්න එම ඉදිරිදර්ශනය සංයුක්ත කිරිමකි.

සාර්වාදී ඒකාධිපත්‍යය පෙරලා දැමීම මෙම විශ්ලේෂනයේ සනාථනයක් බව ලෙනින් දුටුවේ ය. රුසියාවේ මහා පෙරලිය ස්වයං-ජාත ජාතික සංසිද්ධියක් වූයේ නැත; එය යුරෝපිය කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි මහා නැගිටීමක ප‍්‍රාථමික අවස්ථාව, එහෙයින්ම ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය විය.

ලෝක යුද්ධයේ ජාත්‍යන්තර සන්දර්භය තුල ලෙනින්ගේ විශ්ලේෂනය, ඔහු ගැටුමකට ගෙන ගියේ, සෝවියට් සභාව අරක්ගත් මෙන්ශේවික් නායකයන් සමග පමනක් නොවේ, එවක පෙට්‍රොග‍්‍රෑඩ් නගරයේ බෝල්ශෙවික් පක්ෂ නායකයන් ගෙන් සැලකිය යුතු කොටසක් සමග ද වේ. මෙන්ශේවික් නායකයන්ගේ තර්කය වූයේ, සාර් පෙරලා දැමීමත් සමග, රුසියාව යුද්ධයට සහභාගී වීම ද නව දේශපාලන අන්තර්ගතයක් දරන්නට පටන්ගත් බවයි. එය දැන් ජාතික ආත්මාරක්ෂාව පිලිබඳ යුක්ති සහගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංග‍්‍රාමයක් බවට පත් වී තිබුනි.

පෙට්‍රොග‍්‍රෑඩ් සංවිධානයේ පහල-පෙලේ නායකයන් විසින් සූත‍්‍රගත කරගත් පරිදි බෝල්ශෙවික් පක්ෂය පෙබරවාරි විප්ලවයට දැක්වූ ආරම්භක ප‍්‍රතිචාරය වුයේ, ලෙනින් සිමර්වෝල්ඩ් හි දී සටන් වැද තිබුනු, සම්මුති විරහිත යුද-විරෝධී ආස්ථානය අනුව අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයකට පරිවර්තනය කිරීමයි. එහෙත් සයිබීරියාවේ පිටුවහලේ සිටි තව තවත් ජ්‍යේෂ්ඨ පක්ෂ නායකයන් පෙට්‍රොග‍්‍රෑඩ් කරා පැමිනෙත්ම පක්ෂයේ දේශපාලන පිලිවෙත ද වෙනස්විය.

කමනෙව් සහ ස්ටැලින් මාර්තු මැද පෙට්‍රොග‍්‍රෑඩ් නුවරට පැමිනීම, පක්ෂ පිලිවෙතේ නාටකීය ක්ෂනික පරිවර්තනයක් ඇති කලේය. ස්ටැලින්ගේ සහායලත් කමනෙව්, දිගින් දිගටම යුද්ධය පවත්වාගෙනයාම සාධාරනය කල ජාතික ආරක්ෂකවාදී ආස්ථානයක් වැලඳ ගනිමින් මාර්තු 15 දා බෝල්ශෙවිකයන්ගේ ප‍්‍රව්ඩා පුවත්පතේ පලකල ප‍්‍රකාශයක් මෙසේ කියා සිටියේ ය: “හමුදාවක් තවත් හමුදාවකට එරෙහිව මුහුනට මුහුනලා සිටුනා කල්හි, එයින් එකක් සිය අවි බිම තබා ගෙදර යා යුතුයයි කිව හැක්කේ පරම අන්ධ පිලිවෙතකට ම හැර අන් කිසිවකට නොවේ.” [15]

“අප්‍රේල් ප්‍රවාද”

සුඛානොව්, ලෙනින් රුසියාවට පෙරලා පැමිනීම පිලිබ‍ඳ සම්පූර්න චිත්‍රයක් ඉදිරිපත් කර ඇත. බෝල්ශෙවික් පක්ෂය පෙරලා රුසියාවට පැමිනි සිය නයකයා උනුසුම්ව පිලිගත්තේ ය. ලෙනින්ගේ වසර ගනනාවක විප්ලවවාදී කටයුතු විසින් ඔහුට පෙට්‍රොග‍්‍රෑඩ් නුවර දියුනු කම්කරුවන් අතර ඉමහත් කීර්තියක් ලබාදී ඇති බව වටහාගත් සෝවියට් නායකයන්ට මෙම නිල පිලිගැනීමේ උත්සවයට සහභාගී වීමට සිදුවී තිබුනි. දුම්රියෙන් බට ලෙනින් අතට පත් කෙරුනු දීප්තිමත් රතු රෝස මල් පොකුර, ඔහුගේ මුලුමනින් සම්ප‍්‍රදායික ඇඳුම් කට්ටලය ට ගැලපුනේ නැත. විප්ලවයේ අගනුවරට එන්නට ලැබීමෙන් පැහැදිලිවම උද්දාමයට පත් ලෙනින් ඉක්මනින්ම ෆින්ලන්ඩ් දුම්රිය හලේ ගිමන් හලට ගමන් කලේ ය. එහිදී ලෙනින්ට මූනු මැලවුනු සෝවියට් නායකයින්ගේ නියෝජිත කන්ඩායමක් මුන ගැසුනි. නිල පිලිගැනීම් කමිටුවේ පෙරමුනේ සිටගත් ජෝර්ජීයාවේ උපන් මෙන්ශේවික නිකොලයි ච්කෙඉඞ්සේ, නම් නායකයා වමේ සමගිය නොබිඳින ලෙස ලෙනින්ගෙන් බයාදු ලෙස ඉල්ලා සිටියේ ය. සුඛානව්ගේ මතකයට අනුව, සෝවියට් සභාපති ගේ ආයචනය තුට්ටුවකට ගනන් නොගන්නා බව පෙන් වූ ලෙනින්, සීලිම දෙස බලා ඉක්බිතිව පිරිස අතර සුපුරුදු මුහුනු තිබේ දැයි බලමින්, තවමත් තම අතේ තිබුනු මල් පොකුරේ මල් හරිගස්සන අතර නැගිට සිටියේය. චෙකිඞ්සේ කතාකොට ඉවරවු වහාම ලෙනින්, තමාගේ හෙනපහර එල්ල කිරීම පටන් ගති.

ප්‍රිය සහෝදර වරුනි, සොල්දාදුවනි, නාවුකයෙනි, කම්කරුවනි! ලෝක පරිමාන කම්කරු පන්තික හමුදාවේ පෙරමුනු බල ඇනිය වන ඔබගේ පෞරුෂය තුල විජයග‍්‍රාහීවූ රුසියානු විප්ලවය කෙරෙහි උද්දාමයෙන් ප‍්‍රනාමය පුද කරන්නෙමි. කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධය වනාහි යුරෝපය පුරා සිවිල් යුද්ධයේ ආරම්භයයි. අපගේ සහෝදර කාර්ල් ලීබ්නෙක්ට් ගේ කැඳවුම යටතේ, ලෝක ජනතාව සිය ධනේශ්වර සූරාකන්නන්ට විරුද්ධව අවි යොමු කරන හෝරාව ලංවී ඇත. ලෝක පරිමාන සමාජවාදී විප්ලවය දැනටම එලඹ තිබේ. ජර්මනිය උතුරා යමින් තිබේ.... දැන් කොයි මොහොතේ හෝ සමස්ත යුරෝපිය ධනවදයම බිඳවැටිය හැකිය. ඔබ විසින් ජයගන්නා ලද රුසියානු විප්ලවය මාවත පාදා, නව යුගයකට දොර හැර තිබේ. ලෝක සමාජවාදී විප්ලවය දිගුකල් දිනේවා! [16]

සුඛානොව් ලෙනින්ගේ වචන වල ප‍්‍රකම්පක බලපෑම වාර්තා කරන්නේ මෙසේ ය:

එය චිත්තාකර්ශනීය විය! (සහතිකෙන්ම එය ප‍්‍රතිවිරෝධයක් නොවීය.) විප්ලවයේ කර්කශ රටාවේ කරවටක්ම ගිලී සිටි අප සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට හිටි අඩියේ ආකර්ශනීය, නිලංකාර, ආලෝක ධාරාවක් විහිද ගියේ අප කැපව සිටි සියල්ල අකාමකා දමමිනි. ” [17]

“ලෝක පරිමාන සමාජවාදී විප්ලවය වටහාගැනීමේ දී ද ලෝක යුද්ධය හා අධිරාජ්‍යවාදී පර්යායේ බිඳවැටීම අතර නොබිඳිය හැකි සම්බන්ධය පිහිටුවාලීමේ දී ද ලෙනින් දහස් වතාවක් නිවැරදිවී යයි තමාට හැඟී ගිය බව, සුඛානොව් ලෙනින්ගේ වචන කෙරෙහි තමන්ගේම ප‍්‍රතිචාරය සිහිපත් කරමින් පිලිගත්තේය. එහෙත් මෙන්ෂෙවිකයන් අතර වඩාත්ම වාමාංශික අයගේ පවා ගති ලක්ෂනය වූ දේශපාලන දෙගිඩියාව නිරූපනය කල සුඛානොව්, ලෙනින්ගේ ඉදිරිදර්ශනය කොතරම් නිවැරදි වුවත්, එය ප‍්‍රායෝගිකව විප්ලවවාදී ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාවක් නම් දුටුවේ නැත. [18]

ෆින්ලඩ් දුම්රියපලේ පිලිගැනීමෙන් පසු තම පැරනි සහෝදරවරුන් සමග කෙටි රාත්‍රී අහාරයකට සම්බන්ධ වීමෙන් ඉක්බිති ලෙනින් රැස්වීමකට සහභාගී විය. පැය දෙකක් පැවති එම රැස්වීමේ දී ඔහු ඉදිරිපත් කල නිල නොවන වාර්තාව සම්පාදනය කලේ, එහි සංවර්ධිත ආකාරයෙන් ඉතිහාසයට අප්‍රේල් ප‍්‍රවාද ලෙස ඇතුලුවූ දේ හි කටු සටහනකි. ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ආරක්ෂා කොට සම්පූර්න කරගත හැක්කේ, සමාජවාදී විප්ලවය පදනම් කරගෙන පමනක් බවත්, ඒ සඳහා අධිරාජ්‍යවාදී යුද්ධය ප‍්‍රතික්ෂේප කොට, ධනේශ්වර තවකාලික ආන්ඩුව පෙරලාදමා බලය සෝවියට් සභා අතට ගත යුතුව ඇති බවත් ය.

පක්ෂයේ සාමාජිකයෙකු නොවුන ද රැස්වීමට ඇතුලුවීමට අවසර ලබාගත් සුඛානොව්, ලෙනින්ගේ වාර්තාව මෙසේ විස්තර කලේය:

සීල් තැබූ දුම්රියෙන් එලියට බැසගත් ගමන් ලෙනින් කල මෙම පිලිතුරු කතාවේදී, තමාගේ සමස්ත ධර්මයම ද ලෝක සමාජවාදී විප්ලවය තුල සිය ක්‍රියාමාර්ගය සහ උපායයන් ද සවිස්තරව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කලේ යයි මා සිතන්නේ නැත. මේ කතාව බොහෝවිට හිටිවන සකසාගත් එකක් විය හැකි නිසා, කිසියම් විශේෂ ඝනත්වයකින් හෝ සැකැස්මකින් තොර විය. එහෙත් එහි එක් තනි කොටසක්, එක් අංගයක්, අදහසක්, ගත් කල ඒවා අනර්ඝ ලෙස සකසාගෙන තිබුනි. එම අදහස් ලෙනින් දිගු කාලයක් තිස්සේ දරා සිටි ඒවා බවත්, ඔහු ඒවා නිරතුරුව ආරක්ෂා කල බවත් පැහැදිලි විය. මෙය ඔහු ප‍්‍රදර්ශනය කල විශ්මයාවහ වාග්චාතුර්යය, සමස්ත නිර්වචන හා සියුම් අර්ථ විභේදන ධාරාව, සහ ඊට සමාන්තර අර්ථ කථනයන් යන මේ සියල්ල අත්පත් කර ගත හැකි වූයේ අතිමුලික බුද්ධිමය ක්‍රියාකාරිත්වයකිනි.

සැබවින්ම ලෙනින් ආරම්භ කලේ, ලෝක යුද්ධයේ විපාකයක් ලෙස ලෝක විප්ලවය පුපුරායාමට ආසන්නව පවතී ය යන්නෙනි. යුද්ධයෙන් ප‍්‍රකාශිත අධිරාජ්‍යවාදයේ අර්බුදය විසඳාලිය හැක්කේ සමාජවාදයෙන්ම පමනකි. අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයකට පරිවර්තනය කිරීම හැර අන් විකල්පයක් ඉතුරුවී නැත. එය හමාර කල යුතුව ඇත්තේ සිවිල් යුද්ධයෙන්ම පමනි. ලෝක පරිමාන සමාජවාදී විප්ලවයෙන්ම පමනි.” [19]

ලෙනින්ගේ දේශපාලන ක්‍රියාමාර්ගය සලකුනු කලේ, - ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සමග ලෙනින්ගේ මූලෝපාය සම්පතනය වීමකි, එය ප‍්‍රාථමික වශයෙන්ම රුසියාවේ ජාතික වශයෙන් නිර්නිත තත්වයන් හා අවස්ථාවන් මත පදනම්ව නොවන බවය. කම්කරු පන්තිය මුහුන දුන්නාවූ සාරභූත ප‍්‍රශ්නය නම් රුසියාව ජාතික රාජ්‍යයක් හැටියට, සමාජවාදයට පරිවර්තනය වීමේ හැකියාව ඇති කරන්නාවූ මට්ටමක, ධනේශ්වර සංවර්ධනයක් අත්පත් කරගෙන තිබේ ද යන්න නොවේ. සැබෑ ප‍්‍රශ්නය, යුරෝපිය කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එය පැනනංවනු ලබන ධනේශ්වර පර්යායට එරෙහිව කරන්නා වූ අරගලය සමග සිය ඉරනම අවියෝජනීය ලෙස බැඳී පවතී තත්වයකට, රුසියානු කම්කරු පන්තිය මුහුන දී සිටි බවයි.

ට්‍රොට්ස්කි රුසියාවට පෙරලා පැමිනේ

ලෙනින් තමාගේම පක්ෂය තුල ප‍්‍රතිරෝධය ජයගත් තතු තුල බෝල්ෂෙවිකයින්ට, මෙන්ෂෙවිකයන්ගේ සහ සමාජ-විප්ලවවාදීන්ගේ දේශපාලන බල පෑමට එරෙහි අරගලයක් ගෙනයා හැකි විය. මැයි මාසයේ ට්‍රොට්ස්කි රුසියාවට පැමිනීම, මෙම ප‍්‍රයත්නයට බලවත් ශක්තියක් එකතු කලේය. නිව් යෝක් නවර සිට කැනඩාව හරහා රුසියාව කරා ගමන් කරමින් සිටි ට්‍රොට්ස්කි, හැලිෆැක්ස් වරායේදී නැවෙන් බස්සා, මාසයක් යුද සිරකරුවෙකු ලෙස සිර කඳවුරක රඳවාගෙන සිටි බිතාන්‍ය බලධාරීහු, ඔහු පෙට්‍රොග‍්‍රෑඩ් නගරයට ලඟාවීම මාසයකින් ප‍්‍රමාද කලේය. මෙසේ නීති විරෝධීව ට්‍රොට්ස්කි සිරකර තැබීමට එරෙහි ව පලවූ විරෝධතා නිසා ඔහු නිදහස් කරන ලෙස බ්‍රිතාන්‍ය බලධාරීන්ට බලකර සිටීමට රුසියාවේ තාවකාලික ආන්ඩුවට සිද්ධවී තිබුනි. එහෙත් තාවකාලික ආන්ඩුවවත් සෝවියට් නායකයන්වත් ට්‍රොට්ස්කිගේ ආගමනය ගැන සතුටුවූ යේ නැත. ඔහු කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනය සමනය කරන බලපෑමක් ඇති කරනු ඇතැයි කවුරුවත් අපේක්ෂා කලේ නැති අතර සුඛානොව් මෙසේ සටහන් කරයි: “ඔහු පිලිබඳව අවිනිශ්චිත රාවයක් පැතිර ගියේ ය. ඔහු බෝල්ෂෙවික් පක්ෂයට අයත් නොවූ නමුත් 'ලෙනින්ටත් වඩා නරක' අයෙක් ලෙස කතාබහට ලක් විය.” [20]

ලෙනින් සමග කලින් තිබූනු මතභේද විසඳුනු තත්වයක් තුල දැන් ට්‍රොට්ස්කි, බෝල්ශෙවික් පක්ෂයට ඇතුලුවිය; ඒ සමග ම ඔහු ලෙනින්ට පමනක් දෙවැනිවූ නායක තත්වයක් පක්ෂය තුල දරන්නට පටන්ගත්තේ ය. එවකට මෙසරෝයන්ට්සි (mezhrayontsi) නමින් දන්නා ලද පෙට්‍රොග‍්‍රෑඩ් අන්තර් දිස්ත‍්‍රික්ක කන්ඩායම තුලින් ක්‍රියාත්මකව සිටි ට්‍රොට්ස්කිගේ සමීපතම දේශපාලන සහකරුවන් ගනනාවක්ම ඔහු අනුව යමින් බෝල්ශෙවික් පක්ෂයට බැඳුනෝ ය. ඔවුහු ඔක්තෝබර් විප්ලවයේ, සිවිල් යුද්ධයේ හා සෝවියට් ආන්ඩුවේ ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට පටන් ගත්හ. සත්තකින්ම ස්ටැලින් අන්තිමේදී, 1930ස් ගනන් දක්වා ජීවත්ව සිටි මෙස්රෝයන්ට්සි වරුන්ගේ විශිෂ්ට නියෝජිතයන් ගෙන් වැඩි දෙනා මරාදැමිය.

පෙබරවාරි විප්ලවය විසින් මතු කරන ලද එක දු අපේක්ෂාවක් වත් සපුරාලීමට තාවකාලික ආන්ඩුව සමත් වූයේ නැත. තමන්ගේම අධිරාජ්‍යවාදී විජිගීශාවන් ඇත හැර දැමීමට අකමැති වූ ද බ්‍රිතාන්‍ය, ප‍්‍රන්ස සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආධාරය මත පදනම්වු ද එය, යුද්ධය අවසන් කිරීම ප‍්‍රතික්ෂේප කලේ ය. මහජනතාවගේ කැමැත්තට එරෙහිව යමින් කෙරන්ස්කි ආන්ඩුව, ජුනි මාසයේදී දියත් කල ප‍්‍රහාරය අවසන් වූයේ විනාශයකිනි. සෝවියට් සභාවේ නායකයන් තාවකාලික ආන්ඩුවෙන් බිඳී බලය ගත යුතු යයි බෝල්ශේවික් පක්ෂය ගෙන යමින් තිබුනු උද්ඝෝෂනයට වැඩි වැඩියෙන් සහාය ලැබුනි. බෝල්ශෙවික් පක්ෂයේ කීර්තිය වර්ධනය වන්නට පටන් ගති. එම තතු තුල තාවකාලික ආන්ඩුව ද ධනේශ්වර මාධ්‍ය ද ප‍්‍රධාන මෙන්ශේවිකයන් සහ සාමාජ විප්ලවවාදීන් ද ලෙනින් අපකීර්තියට පත් කිරීම සඳහා දරනලද ප‍්‍රයත්න වඩ වඩාත් වියරු සහගත විය.

ආන්ඩු විරෝධී මහ ජන පෙලපාලි මර්දනය කල “ජුලි දිනවලට” පස්සෙන්, බෝල්ශෙවික් පක්ෂයට සහ විශේෂයෙන්ම ලෙනින්ට එරෙහිව රුදුරු මෙහෙයුමක් සිදු කෙරිනි. රුසියාවට ඇතුලූවීම සඳහා ජර්මනිය හරහා ගමන් කිරීමට ලෙනින්ට සිදුවී තිබීම, ඔහු ඝාතනය කිරීම සඳහා දේශපාලන තත්වය සකසා ගැනීමේ අවලාද මෙහෙයුමක් සැකසීමට යොදාගැනිනි.

රජය සහ විප්ලවය

ජුලි 7 දා තාවකාලික ආන්ඩුව ලෙනින් අත්අඩංගුවට ගැනීමට නියෝග කලේ ය. හිර ගෙට ඇතුලු කිරීමට පෙරම තමා මරාදමන බව වටහාගත් ලෙනින් සැඟවී ගත්තේය. ඉක්බිති මාස දෙක තුල පෙට්‍රොග‍්‍රෑඩ් නුවරින් පිටව සිටින්නට බලකෙරුනු තතු තුල ලෙනින් රජය සහ විප්ලවය යන කෘතිය ලිවීය.

ඔහු එහි පෙරවදනේ මෙසේ ලියා තැබුවේ ය:

දැන් රාජ්‍යය පිලිබඳ ප‍්‍රශ්නය න්‍යායික මෙන්ම ප‍්‍රායෝගික දේශපාලනයේ පැත්තෙන් ද විශේෂ වැදගත් කමක් ගනිමින් පවතී. ඒකාධිකාරී ධනවාදය, රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය බවට පරිවර්තනය වීම අධිරාජ්‍යවාදී යුද්ධය විසින් ඉමහත් ලෙස උත්සන්න කරනු ලැබ තිබේ. පෙර කවර කලෙකවත් දක්නට නොලැබුනු ආකාරයක දිග්ගැසුනු යුද්ධයේ බිහිසුනුකම හා දුක් වේදනා මහජනතාවගේ තත්වය දරාගත නොහැකි තත්වයකට පත් කොට කෝපය උග‍්‍ර කොට තිබේ. ලෝක කම්කරු විප්ලවය පැහැදිලිවම මෝරා එමින් තිබේ. එය රාජ්‍යයට දරන්නාවූ සම්බන්ධය පිලිබඳ ප‍්‍රශ්නය ප‍්‍රායෝගික අර්ථභාරයක් දරයි. [21]

මෙම විශිෂ්ට කෘතිය තුලින් තමා යෙදීගත් කර්තව්‍ය ලෙනින් විස්තර කලේ, එක පන්තියක් තවත් පන්තියක් මත ආධිපත්‍ය පැවැත්වීමට යොදාගන්නා වූ පන්ති පාලනයේ උපකරනයක් හැටියට රාජ්‍යය පිලිබඳ මාක්ස් සහ එංගල්ස් ගේ උගැන්වීම් පාදා හෙලිකොට යලි තහවුරු කරලීමේ, ‘ඓතිහාසික කැනීම්’ අභ්‍යාසයක් ලෙසය. රාජ්‍යයම පවතින්නේ, සමනය කල නොහැකි පන්ති ප‍්‍රතිඝතිතා හේතුකොටගෙනය. රාජ්‍යය වනාහි ‘පන්ති සන්හිඳියාව සඳහා’ වන මෙවලමක් ලෙස පෙන්නුම් කරමින් මාක්ස් ‘නිවැරදි’ කිරීමට උත්සාහ කල ධනපති හා සුලු ධනපති දෘෂ්ඨිවාදීන්ට ලෙනින් පහර දුන්නේය. [22]

සිය රජය සහ විප්ලවය කෘතිය සාතිශය වැදගත් කමක් දරන බව සලකු ලෙනින්, යම්හෙයකින් තමා අකල් මරනයකට පත් වුවහොත්, එය පලකිරීමට සුවිශේෂ අවධානයක් දිය යුතුව ඇති බවට විශේෂයෙන්ම උපදෙස් දුන්නේය.

එහෙත් ලෙනින් මරනයට පත්වූයේ නැත. සැප්තැම්බර් වන විට දේශපාලන තත්වය මූලිකව වමට මාරුවෙන්නට පටන්ගත්තේ ය. ජනරාල් කොර්නිලොව්ගේ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රනයේ තර්ජනයට මුහුන දුන් සෝවියට් නායකයන්ට, මහජනයා බලමුලුගන්වා සනද්ධ කිරීමට සිදු විය. ජුලි මාසයේ පටන් සිරගත කරනු ලැබ සිටි ට්‍රොට්ස්කි නිදහස් කිරීමට ඔවුන්ට සිදුවිය. බොල්ශේවික් වරුන් විසින් කරන ලද තීරක භූමිකාව මගින් මෙහෙයවුනු කම්කරු පන්ති ප‍්‍රතිරෝධය තුල කොර්නිලොව්ගේ සොල්දාදුවෝ ඔහු හැර ගියහ. බලකොල්ලයේ කුමන්ත‍්‍රන බිඳ වැටුනි.

සියලු බලය සෝවියට් සභාවලට

බලකොල්ලයට පෙර කොර්නිලොව් සමග රහසේ කුමන්ත‍්‍රනය කරමින් සිටි කෙරෙන්ස්කි, දේශපාලනික ව අපකීර්තියට පත් විය. ලෙනින් තවමත් සැඟවී සිටි අතර බෝල්ශෙවික් පක්ෂය, ‘සියලු බලය සෝවියට් සභා වලට’ යන සටන් පාඨය ඉදිරිපත් කරමින්, ජන සහයෝගයේ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගත්තේ ය. තවමත් තාවකාලික ආන්ඩුවෙන් කැඩී වෙන්වීමට සුදානම් නොවූ, සෝවියට් සභාවලට බලය පැවරීමට සතුරු වූ, මෙන්ශේවික්වරුන්ගෙන් කම්කරු පන්තියේ පුලුල් කොටස් ඉවත්ව ගියහ.

ආර්ථික සහ දේශපාලන අර්බුදය උත්සන්න වන සැප්තැම්බරයේ දී, ගොවි ජනතාවගේ පොදු නැගිටීමක් රුසියාව පුරා පැතිර යන තතු තුල ලෙනින්, බෝල්ශෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතා, බලය අල්ලා ගැනීමේ සන්නද්ධ නැගිටීමක් සංවිධානය කිරීමට සංයුක්ත පියවර ගන්නා ලෙස කියා සිටියේ ය.

ඔක්තෝබර් 10 දා පෙට්‍රොග‍්‍රෑඩ් නුවරට රහසේ ඇතුලූ වූ ලෙනින් ද සහභාගී වූ මධ්‍යම කාරක සභා රැස්වීම, බලය අල්ලා ගැනීම සඳහා සනද්ධ නැගිටීමක් වහා සංවිධානය කල යුතුය යන යෝජනාවක් සම්මත කලේ ය. කෙසේ වෙතත් පක්ෂය තුල, තාවකාලික ආන්ඩුව පෙරලා දමන්නට යත්න දැරීම කෙරෙහි සැලකිය යුතු විරෝධයකුත්, සන්නද්ධ නැගිටීමේ මූලෝපායික සැලැස්ම පිලිබඳ නො එකඟතාවයකුත් ඉතුරුව පැවතුනි.

මෙම දේශනයේ සීමාව තුල බෝල්ශෙවික් නැගිටීම පිලිබඳ සවිස්තර සමාලෝචානයක ට ඉඩක් ඇත්තේ නැත. ඒ සඳහා, බලය අල්ලා ගැනීම ආසන්න දිනවල බෝල්ශෙවික් නායකත්වය තුල පැනනැගී අර්ථභාරී මතභේද පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් අවශ්‍යවනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කිගේ ඔක්තෝබරයේ පාඩම් කෘතිය සහ සත්තකින්ම, ඔහුගේ රුසියානු විප්ලවයේ ඉතිහාසය, බෝල්ශෙවික් පක්ෂය තුල ඝට්ටනය සහ ඒවායේ දේශපාලන සහ ඓතිහාසික අර්ථභාරය පිලිබඳ විස්තර සම්පාදනය කරයි. විප්ලවීය සන්තතියේ වෛෂයික සහ ආත්මීය අංගයන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයෙන් එම කෘතීහු අසමසම වෙති.

එහෙත් ඔක්තෝබරය පිලිබඳ එක තීරක ප‍්‍රයුක්තියකට අපේ අවධානය යොමු කල යුතුව ඇත. ඔක්තෝබරයේ දී තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම, කිසිදු සෑහෙන ජන සහායකින් තොරව, කුමන්ත‍්‍රනකාරී බල කොල්ලයක් වීය යන කියාපෑම, ශතවර්ෂයක් පුරා බෝල්ශෙවිකයන්ගේ සතුරන් සහ ප‍්‍රතිගාමී ඉතිහාසඥයන් විසින් යලි යලිත් ගනන් නැති විවිධ ක‍්‍රම වලින් වමාරනු ලබන විකෘතියකි. සිය ආන්ඩුව දුෂ්ට, සාපරාධි කුමන්ත‍්‍රනයක් මගින් පෙරලා දමන ලදැ යි, තමා (දේශපාලනිකව) මැරී අර්ධ -ශතවර්ෂයක ට පසුව ද 1970 දක්වා අවුරුදු 89ක් ව මියයනතෙක් ම දිගින් දිගටම කියා සිටියේ කෙරෙන්ස්කිම මිස අන් කිසිවෙක් නොවේ.

බෝල්ශෙවිකයන් ජයගත්තේ මන්ද ?

ඔක්තෝබර් විප්ලවය වනාහි මහජන සහායකින් තොර කූමන්ත‍්‍රනයක්ය යන්න විද්වත් අධ්‍යනයන් ගනනාවක් විසින් ඛන්ඩනය කර ඇත. ඒවා අතර ඇමරිකානු ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් රබිනොවිච් ගේ කෘතී සතිශයව විශද වේ. රුසියානු විප්ලවය පිලිබඳ සිය යාවජීව අධ්‍යයනයේ තුන්වන වෙලුම වන, 2007 දී පල කරන ලද The Bolsheviks in Power, [බෝල්ෂෙවිකයෝ බලයේ] නම් කෘතියේ පෙරවදනේ රබිනොවිච් මෙසේ ප‍්‍රකාශ කරයි:

The Bolsheviks in Power, [බෝල්ශෙවිකයෝ බලයට එති ] සහ Prelude to Revolution, [විප්ලවයේ ප‍්‍රාරම්භය] යන කෘතින් විසින් ඔක්තෝබර් විප්ලවය වනාහි කුඩා, එක්සත්, විප්ලවවාදී උන්මත්තකයන් කන්ඩායමක් කල කුමන්ත‍්‍රනකාරී යුද බල කොල්ලයක්ය යන බටහිර පවත්නා මතවාදය අභියෝගයට ලක් කරන ලදී. මා සොයාගත්තේ 1917දි, පෙට්‍රොග‍්‍රෑඩ් හි බෝල්ශෙවික් පක්ෂය මහා දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වුනු බවත්,ලෙනින් පස්සේ එකට අඩිතබමින් ගමන් කරන ඒකඝන ව්‍යාපාරයක් වෙනුවට, එහි නායකත්වය වම, මධ්‍යම, සහ මධ්‍ය දක්ෂින කන්ඩායම් ලෙස බෙදී පැවතුනු බවත්, ඉන් එකිනෙකක් විප්ලවවාදී මූලෝපාය සහ උපාය සැකසීමට උදව් කල බවත් ය. මා සොයාගත් තවත් දෙයක් නම්, 1917 පෙබරවාරියේ දී සාර් පෙරලා දැමීමෙන් පසුව බලය සඳහා අරගලයේ දී පක්ෂය අත්කරගත් සාර්ථකත්වය ට තීරකව හේතු වුයේ, එහි සංවිධානාත්මක සුඛනම්‍යතාවත්, විවෘත භාවයත්, ජනයාගේ ආසක්තයන් කෙරේ සුසංවේදී බවත් පමනක් නොව, එයට පැවති පෘතුල, සුපරික්ෂාකාරීව බලාකියා ගන්නා ලද ෆැක්ටරි කම්කරුවන්, පෙට්‍රොග‍්‍රෑඩ් හමුදාංක සොල්දාදුවන්, බෝල්ටික් නාවුක හමුදවේ නැවියන් සමග සම්බන්ධතාවයි. මා එලඹී නිගමනය වූයේ, පෙට්‍රොග‍්‍රෑඩයේ පෙබරවාරි විප්ලවය මිලිටරි සුදානමකට වඩා ජනප්‍රිය දේශපාලන සංස්කෘතියක මුල්බැසගත්තාවූ ද පෙබරවාරි විප්ලවයේ ප‍්‍රතිඵල පිලිබඳව පෘථුලව පැවති අතෘප්තියේ සහ එම සන්දර්භය තුල බොල්ශෙවිකයන් දුන් පොරොන්දු: ක්ෂනික සාමය, පාන්, සහ ගොවියන්ට ඉඩම් ද බහු පාක්ෂික සෝවියට් මගින් පහලම මට්ටමෙන් ක්‍රියාත්මක කෙරුනු දේශපාලනය ද පිලිබඳ පොරොන්දු ය.[23}

මහචාර්ය රබිනොවිච් හැදී වැඩුනේ මෙන්ශේවික් නායකයන් සමග සමීප සම්බන්ධකම් තිබුනු පවුලකය. ඔහුට පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවේ, මෙන්ශේවික් කන්ඩායමේ නායකයාව සිටි ඉරක්ලි ට්සෙරෙටිලි සමග පෞද්ගලික හැඳුනුම් කමක් තිබුනි. කතාන්දරයේ මෙන්ශේවික් පැත්ත ඔහු බොහෝවිට අසා තිබුනි. එහෙත් තමාගේම විද්‍යාත්මක පර්යේෂනයන් හරහා ඔහු සොයාගත් දේ, 1917 දී තමන් ලත් පරාජයන් පිලිබඳව මෙන්ශේවිකයන් කල පැහැදිලි කිරීම් වලට ප‍්‍රතිවිරුද්ධ නිගමනයන් කරා ඔහු එලඹවිය.

ඔක්තෝබර් විප්ලවය කෙරේ ධනේශ්වර-අධිරාජ්‍යවාදී ප‍්‍රතිචාරය

ඔක්තෝබර් විප්ලවය ක්ෂනික ඉස්මත්තේ රුසියානු මෙන්ම ජාත්‍යන්තර ධනේශ්වරය, පෙට්‍රොග‍්‍රෑඩයේ සිදුවෙමින් පැවති දෙයෙහි දේශපාලන පරිමාව වටහා ගත්තේ නැත. පාලක ප‍්‍රභූවන් ප‍්‍රතිචාර දැක්වූයේ බෝල්ශෙවික ජයග‍්‍රහනය, හරියටම තමන් හිටි හැටියේ පිබිදෙනු ඇති, දකිමින් සිටි නපුරු හීනයක් ලෙසය. වොශිංටනයේ වේලාවට අනුව නොවැම්බර් 9 දා, තාවකාලික ආන්ඩුව පෙරලා දමා පැය 48 කට අඩු වෙලාවක් තුල නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ “වොෂින්ටනයේ සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් අපේක්ෂා කරන්නේ බෝල්ශෙවික් පාලනය වැඩි කල් අල්ලන්නේ නැති ය” කියාය. නිව් යෝක් ටයිම්ස් වාර්තාව එසේ තම පාඨකයන් අස්වසාලීය:

පෙට්‍රොග‍්‍රෑඩයෙන් ලැබෙන වාර්තා තරමට ම රුසියාවේ තත්වය නරක නැති යයි මෙහි අය විස්වාස කරති. බෝල්ශෙවික විප්ලවවාදී මිලිටරි කමිටුව විසින් දැනට පෙට්‍රොග‍්‍රෑඩ් ආන්ඩුව මත පවත්වාගෙන යනු ලබන පාලනය වැඩි කල් අල්ලන්නේ නැතිය යයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීහු විස්වාස කරති. අද එක ලොකු නිලධාරියෙක් කීවේ, අවසාන ප‍්‍රතිඵලය නරක අතට වඩා හොඳ අතට බලපානු ඇති යයි තමා විස්වාස කරන බව ය. ඒ මන්ද කීවොත් අලුත් තත්වයක් තුල කිසියම් හයිකාරයෙකුට බලය අතට ගෙන තත්වය පාලනය කීරීම සඳහා නැගී සිටීමට මින් ඉඩ ලැබෙන නිසාය.”

එහෙත් ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ ආන්ඩුව බලාපොරොත්තු වූ හයි කාරයා ආවේ නැත; විප්ලවය ඉක්මනින්ම ලෙයින් නෑවෙනු ඇති බවට තිබුනු සුභවාදී ප‍්‍රාර්ථනය, සතියක් තුල වෛරයක් බවට පරිවර්තනය විය. විප්ලවවාදීන් එක්ක සෙල්ලම් කිරීම ගැන ද කොර්නිලොව් ගේ බල කොල්ලයට ඉඩ නොදීම ගැන ද කෙරෙන්ස්කි හෙලා දැකීම ඇරඹුනි.

එහෙත් කෙරන්ස්කිට බැරි වූ තැන බෝල්ශෙවිකයන්ගේ විනාශකාරී හස්තයෙන් ආන්ඩු බලය උදුරාගත හැකි කෙනෙක් මතුවනු ඇත. සත්තකින්ම බලය දිගින් දිගටම තබා ගැනීම ඔවුන්ට කල හැක්කක් නොවේ. මන්දයත්, ඔවුන් වනාහි ශෝචනීය ලෙස නූගත්, පටු මිනිසුන්ය, තමන් සෙල්ලම් කරන මහා බලවේගයන් පිලිබඳ සුලු හෝ තේරුමක් නැති දේශපාලන නොදරුවන් ය, කටවාචාලය හැරෙන්නට ප‍්‍රමුඛත්වය උදෙසා මොනම සුදුසු කමක් වත් ඇත්තේ නැති එවුන් ය; මොවුන්ට ඇතිතරම් කාලයක් ඔහේ ඉන්ට ඉඩ දුන්නොත් ඔවුන්ගේ අදක්ෂතාව ඔවුන් ඉබේටම විනාශ කර දමනු ඇත. එසේ වුව ද උන් ඉවත්කොට අලුතෙන් එන එකා ඔවුන්ටත් වඩා සවුත්තු විය හැකි ය. ප‍්‍රන්ස විප්ලවයේ ගමන් මග වුයේ ද එවැන්නකි. මුඛරි අසමර්තයන් සහ නූගතුන් එක කල්ලියකට පසු තවෙකක්, එකෙක් අනිකාට වැඩියෙන් තකතීරු වූ අතර අන්තිමේදී අදක්ෂකම සහ තකතිරුකම ඔවුන් සියාලු දෙනාම වනසා දැම්මේ ය.

නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ ද එම බලවේග විසින් නියෝජනය කරනු ලැබූ ජාත්‍යන්තර ධනේශ්වර අධිරාජ්‍යවාදයේ බලවතුන්ගේ ද ආක්‍රෝෂය අවුලුවාලීමට, තාවකාලික ආන්ඩුව පෙරලා දමීමෙන් පසු බෝල්ශෙවික් වරුන් කර තිබුනේ කුමක් ද ? මුලින්ම, බෝල්ශෙවිකයෝ සාම සාකච්ඡා අරඹන ලෙස ඉල්ලා, සාමය පිලිබඳ ආඥාවක් නිකුත් කලෝය. ප‍්‍රදේශ අල්ලා ගැනීම ද යුද වන්දි ද වලින් තොර වූ සාම ගිවිසුමක් අත්සන් කරන ලෙස ද යුද වැදුනු කොටස් වලට ඔවුහු බල කර සිටි යෝ ය. දෙවනුව, නව සෝවියට් ආන්ඩුව ඉඩම් පිලිබද ප‍්‍රකාශයක් නිකුත් කරමින්,“ඉඩම් පිලිබඳ පෞද්ගලික අයිතිය සදහටම අහෝසි වනු ඇත; ඉඩම් මිලදී ගැනීම, බද්දට දීම, උකස් කිරීම හෝ අන් සතු කිරීම නොකල යුතු යයි නියම කලේ ය.” 24

ලෝක ඉතිහාසය තුල ඔක්තෝබර් විප්ලවයට හිමි තැන

ලෝක ඉතිහාසයේ විශිෂ්ට තම සමාජ විප්ලවය ඇරඹුනේ ඒ ආකාරයටය. වෙනත් විප්ලව සිදුවී තිබිනි: 1640-49 ඉංගිරිසි විප්ලවය, 1776-83 ඇමෙරිකානු විප්ලවය, 1789-94 ප‍්‍රන්ස විප්ලවය, සහ 1861-65 දෙවන ඇමෙරිකානු විප්ලවය. මේ එක විප්ලවයක් වත් එවා විසින් ප‍්‍රකාශිත පරමාදර්ශයන් සාක්ෂාත් නොකිරීම හෝ ඒ ආසන්නයටවත් නො පැමිනීම යන කාරනය, ඒවායේ අර්ථභාරය හීන කරන්නේ නැත. ඒවා මානව වර්ගයාගේ ඓතිහාසික වර්ධනයෙහි සැතපුම් කනු විය. වඩා හොඳ ලෝකයක් සොයා අතීත පරම්පරාවන් කලාවූ කැපකිරීම් හා ප‍්‍රයත්න, පශ්චාත් නූතනවාදීන්ගේ හෙලාදැකීමට ලක්වීම තරම් බුද්ධිමය වශයෙන් පිලිකුල් දනවන අන් කිසිවක් ඇත්තේ නැත. සුලු ධනේශ්වර නරුමත්වයේ මෙවන් වැඩ සමග, මාක්ස්වාදී සමාජවාදීන්ට කිසිදු සහමතියක් ඇත්තේ නැත. පසු ගිය ඉතිහාස යුගවල විප්ලවවාදීන්ගේ ප‍්‍රයත්නයන් හි ඓතිහාසිකව නිර්මිතවූ සීමාවන් පිලිගන්නා අතරම අපි, ඔවුන්ට උරුම ප‍්‍රනාමය පුද කරන්නෙමු. ලෝක ඉතිහාසයේ සිද්ධියක් හැටියට රුසියානු විප්ලවය නියෝජනය කරන්නේ, අයුක්තියේ ද මානව දුක්ඛ වේදනාවේ ද හේතු වටහාගෙන එය අවසාන කිරීමට මානව වර්ගයා මේ තාක් කල් කවර කලෙක හෝ දරන ලද ප‍්‍රයත්නයන් අතර විශිෂ්ටතම හා අනභියෝගී ව්‍යායාමයයි.

ඔක්තොබර් විප්ලවය, මානව විඥානය වෛෂයික යථාර්තය සමග පෙර නුවූ විරු පරිදි සම්පතනය කලේ ය. මෙය ප‍්‍රකාශිත වූයේ දේශපාලන නායකයන්ගේ තීන්දු සහ ක්‍රියා තුල පමනක් නොවේ. ඔක්තෝබරයේ සිද්ධීන්, කෙතරම් ශ්‍රේෂ්ඨ වුව ද හුදෙක් නායකයින්ගේ ක්‍රියාවල අර්ථයෙන් පමනක් ගැනීම, විප්ලවයේම අර්ථභාරය අහෝසි කර ගැනීමකි. විප්ලවයක් තුල ඉතිහාසය ගොඩ නගන්නේ මහජනතාවයි.

තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමේ දී කම්කරු පන්තිය ක්‍රියා කලේ, ආර්ථික වර්ධනයේ සමාජ නියමයන් පිලිබඳ වූ ප‍්‍රගාඪ වැටහීමක් සමගිනි. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “සිතිවිලි වෛෂයික සන්තතියට සම්පාත වෙත් නම්, එම සන්තතිය කෙරේ බල පෑමට සමත් නම්, එය මෙහෙයවත් නම්, ඒවා විද්‍යාත්මක වෙති.” 25 මෙම අති මූලික අර්ථයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සිතිවිලි සහ භාවිතය, විද්‍යාවේ මට්ටමට නැග ගත්තේ ය; ජනතාව ග‍්‍රහනය කර ගත් විද්‍යාත්මක න්‍යාය, එමගින් භෞතික බලවේගයක් බවට පරිවර්තනය වීය. කම්කරු පන්තිය ආර්ථික සම්බන්ධතාවන්ගේ යල්පැනගිය පද්ධතිය අහෝසි කොට, ධනේශ්වර වෙලඳපලේ අරාජකත්වය හමාර කොට, සවිඥානක සැලසුම් කරනය ආර්ථික ජීවිතයේ සංවිධානය තුලට ගෙන ඒම ආරම්භ කලේ ය. ඒවන විටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වලට කැපව සිටියාවු ද ධනේශ්වර සමාජය කෙරේ විවේචනාත්මක ආකල්පයක් ගැනීමට සමත් බුද්ධිමත් ස්ථරයක් ඇමරිකාව තුල සිටියාවූ ද 1920 හා 1930ස් ගනන් වලදී, ‘සෝවියට් පරික්ෂනය ය’ යි නම් කරන ලද දෙයෙහි ඓතිහාසික අර්ථභාරය පෘතුලව වටහාගන්නා ලදී.

1931 දී ජෝන් ඩිවේ නම් ඇමරිකානු ලිබරල් දාර්ශනිකයා, සෝවියට් සංගමය පිලිබඳ පොත් කිහිපයක්, ද නිව් රිපබ්ලිකන් සඟරාවේ සමාලෝචනයට භාජනය කලේ ය. ඔහු මෙසේ ලිවීය: ”රුසියාව වනාහි ඇමරිකාවට එල්ලවන අභියෝගයකි. එසේ වන්නේ ඒ හෝ මේ ගති ලක්ෂනය නිසා නොවේ, අපගේම වාසනාවට කැපකොට ඇත්තාවූ තාක්ෂනික යාන්ත‍්‍රනය පාලනය කිරීමට සමත්, සමාජ යාන්ත‍්‍රයක් අප සතුව නැති හෙයිනි.” ‘මානව සමාජයේ වර්ධනය මානව අධ්‍යාසයේ පාලනයට ගත හැකිය යන මාක්ස්වාදයේ ප‍්‍රස්තුතයට තමා එකඟවන බව’ ඩිවේ ප‍්‍රකාශ කලේ ය. ඩිවේ එවක සිටි ප‍්‍රමුඛ ලිබරල්වාදියෙකු වූ ජෝර්ජ් එස් කවුන්ට්ස් විසින් රචනා කල ඇමරිකාවට එල්ල වන සෝවියට් අභියෝගය (ඔයැ ීදඩසැඑ ක්‍ය්කකැබටැ එද ්පැරසජ් * නම් කෘතිය තුල ධනවාදය පිලිබඳව නගා ඇති විවේචන කෙරෙහි සිය එකඟත්වය පල කලේය.

කාර්මික සමාජය එහි වර්තමාන ස්වරූපයෙන් ගත් කල්හි, ආත්මයක් හෝ අභ්‍යන්තර වැදගත්කමක් යන කවරකින් හෝ වියෝ වූ රාක්ෂයෙකි. අතීතයේ පැවතී වඩා සරල සංස්කෘතීන් විනාශ කර දමා ඇති එය, තමන්ට අයත්වූ, සංස්කෘතිය යන පදයට ඔබින දෙයක් නිර්මානය කිරීමට අසමත්ව ඇත. මෙම සදාචාරාත්මක වික්ශෝභ තත්වය සංක‍්‍රමනිය යුගයක සිදුව ඇති තාවකාලික අවසන්ධියක් ද නැතහොත් පුද්ගලික ලාභය ප‍්‍රමුඛ අරමුනක් සේ පෙරදැරි කොට ගත්තාවූ සමාජ ක‍්‍රමයක අනිවාර්ය නිෂ්පාදනයක් ද යන්න අප සමයේ සාතිශය ප‍්‍රශ්නයන්ගෙන් එකක් වන්නේ ය.”[26]

1917 ඔක්තෝබර් විප්ලවයේ පටන් සෝවියට් සංගමය විසුරුවා හැරීම දක්වා රුසියානු විප්ලවයේ ඉරනම වනාහි, විසිවන ශතවර්ෂයේ අතිශය අර්ථපූර්න වු ද සංකීර්න වූ ද ඓතිහාසික අත් දැකීම වෙයි. එහෙත් එය පොරබැදුවාවූ ගැටලූ දිගටම පවතිනවා පමනක් නොව පෙර කවර කලකට ද වඩා අද දින උත්සන්නව පවතී.

ඔක්තෝබර් විප්ලවයෙන් අවුරුදු සියයක් ගතව තිබෙන අද දින, ධනවාදය සර්පිලාකාරව විනාශය කරා ඉහල නගිමින් පවතී. ධනවාදී සමාජයේ අර්බුදය සරලවම මහාචාර්ය කවුන්ට්ස් කී පරිදි, ‘සංක‍්‍රමන යුගයක තාවකාලික අවසන්ධියක් නොවේ.’

මනුෂ්‍ය වර්ගයා ගේ නිෂ්පාදන බලවේග සහ ස්වාභාවික සම්පත් පුද්ගලික අයිතියට යටත් කරන්නාවූ ද මනුෂ්‍ය වර්ගයා ගේ අතිමහත් බහුතරයක් මහ සංගත සහ පුද්ගලික ධනපතියන් සතු ප‍්‍රාග්ධනයේ සූරාකෑමට ලක් කෙරෙන, ඓතිහාසිකව යල්පැන ගිය ආර්ථික සංවිධාන ක‍්‍රමයක් එහි පැවැත්මට ඇති ප‍්‍රධාන බාධකය වනවා පමනක් නොවේ. එවන් ක‍්‍රමයක් තව දුරටත් පැවතුනහොත් සමස්ත මානව වර්ගයාගේ ම පැවැත්ම අවසන් වීමේ තර්ජනය උද්ගතවෙමින් පවතී.

ධනවාදයේ රාමුව තුල විසඳිය හැකි එකදු සමාජ ප‍්‍රශ්නයක් වත් ඇත්තේ නැත. සත්තකින්ම ධනේශ්වර ක‍්‍රමයේ ද අධිරාජ්‍යවාදී භූ දේශපාලන ය විසින් පදනම සැපයෙන ජාතික රාජ්‍ය පර්යායේ ද තර්කනය අනිවාර්යයෙන් මෙහෙය වෙන්නේ, ගෝලීය යුද්ධයට ය. මෙවර නම් එවැන්නක් කෙරෙනු ඇත්තේ න්‍යෂ්ටික ආයුධ වලිනි. ලෝකය මේ මහා ව්‍යසනයට ඇද වැටීම වැලැක්විය හැක්කේ විප්ලවය යලි පන ගැන්වීම තුලින්ම පමනි.

සටහන්:

1. Marx-Engels Collected Works මාක්ස්-එංගල්ස් තෝරාගත් කෘති, වෙළුම 39, (නිව් යෝක්: 1983) පිටු 62-65.

2.The Permanent Revolution , නොනවතින විප්ලවය (ලන්ඩන්: 1971* පිටු 155.

3.Lenin Collected Works ලෙනින් තෝරාගත් කෘති, වෙළුම 5, (මොස්කව්: 1961* 369 පිටුව

4.Lenin Collected Works ලෙනින් තෝරාගත් කෘති, වෙළුම 14, (මොස්කව්: 1977* 325 පිටුව

5.“The Class, the Party, and the Leadership,” in The Spanish Revolution 1931-39 පන්තිය පක්ෂය සහ නායකත්වය, ස්පාඤ්ඤ විප්ලවය 1931-39, (නිව් යෝර්ක් 1973*, 360 පිටුව

6.The Lessons of October in The Challenge of the Left Opposition ඔක්තොබරයේ පාඩම් කෘතියේ ”වාම විරුද්ධ පාර්ශවයේ අභියෝගය”, (නිව් යෝර්ක්, 1975*, පි. 227

7. Collected Works ලෙනින් එකතුකල කෘති, වෙළුම 23, පිටු 253

8. The Russian Revolution 1917 by N.N. Sukhanov, edited, abridged and translated by Joel Carmichael නොයෙල් කාමයිකල්, 1 වෙලූම, (නිව් යෝර්ක්: 1982* 5 පිටුව

9. The Russian Revolution, 1917 රුසියානු විප්ලවය 1917, රෙක්ස් ඒ. වෙඞ් (කෙම්බි‍්‍රජ්: 2000 * 31 පිටුව

10. එම, පිටු 39.

11.Lenin Collected Works ලෙනින් එකතුකල කෘති, වෙළුම 23 , පිටු 25-26

12. History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය (ඈන් ආබර්: ඵෂ 1957 * 152 පිටුව.

13. එම.,

14. The History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය (ඇන් ආබර්: 1961 *.පිටු 208,. The History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය (ඇන් ආබර්: ඵෂ 1957* පි. 152.

15. War Against War යුද්ධයට එරෙහි යුද්ධය, ක්රෙග් නේෂන් විසිනි (ඩුරාම් ඇන්ඞ් ලන්ඩන්: 1989*, පිටු. 175 *

16.Sukhanov සුඛානොව්, වෙලූම්1 පි. 273

17. එම, පිටු. 273-74

18. එම, පිටු 274

19. එම, පිටු 281.

20. Sukhanov සුඛානොව්, වෙලූම ii පි. 360ග

21. Lenin Collected Works ලෙනින් එකතුකල කෘති, වෙළුම 25, පිටු 388.

22. එම, පිටු., 392.

23. The Bolsheviks in Power: The First Year of Soviet Rule in Petrograd, බෝල්ෂෙවිකයන් බලයේ: පෙට්‍රොග‍්‍රෑඩයේ පලමු වසරෙහි සෝවියට් පාලනය, ඇලෙක්සැන්ඩර් රබිනොවික්, පිටුව 9

24.Quoted in The Russian Revolution in 1917, 1917 රුසියනු විප්ලවය, 243 පිටුව

25.History of the Russian Revolution, රුසියානු විප්ලවයේ ඉතිහාසය, 151 පිටුව

26.Cited in John Dewey,ජෝන්ඬේවී, 6 වෙලූම, 1931-32 ලිපි Volume 6: 1931-1932, Essays, Reviews and Miscellany (Carbondale and Edwardsville),1989), පි. 266ඤ , 266 පිටුව

.

Share this article: