මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් සිදුවූ මරන සංඛ්‍යාව දහ නවය දක්වා ඉහල නගී

විජිත් සමරසිංහ සහ විමල් පෙරේරා, 2017 අප්‍රේල් 16

සිකුරාදා පස්වරුවේ, කොලඹ නගරාසන්නයේ කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඇති ගොඩ ගසා ඇති දැවැන්ත කසල කන්දෙන් විශාල කොටසක් කඩා වැටීමෙන් සිදුවී ඇති මරන සංඛ්‍යාව සෙනසුරාදා සවස් වන විට 19 දක්වා ඉහල ගොස් තිබුනි. සොයා ගත් මල සිරුරු අතර කුඩා ලමුන් හයකගේ සිරුරු ඇත. තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුලු කර සිටින සංඛ්‍යාව 12කි. තවත් විශාල ගනනක්, සියයක් පමන වුවත්, වැලලී සිටිත හැකි යයි, ඛේද වාචකය නිර්මානය කිරීම ගැන වර්තමාන හා පසුගිය ආන්ඩුවලට කෝපයෙන් දෝෂාරෝපනය කරමින් ප‍්‍රදේශ වැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලොසවෙඅ) වාර්තාකරුවන්ට පැවසුහ.

කසල කන්දෙන් විශාල කොටසක් කඩා වැටීමෙන් පසු

නිවාස 145 කඩාවැටුනු කුනු කන්දට යටවී හා බිඳ වැටීමට ලක්ව තිබේ. පවුල් 180 අයත් 645 ජනයා අවතැන්වී නුදුරෙන් පිහිටි රාහුල විද්‍යාලය ඇතුලු ස්ථාන ගනනාවක අවම පවසුකම් වත් නොමැතිව රඳවනු ලබා සිටිති. සිංහල-හින්දු අලුත් අවුරුදු උත්සව දිනය නිසා පවුල්වල ඥාතීන් ද මෙම නිවාස තුල සිටින්නට ඇත. කන්ද කඩාවැටීමෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියකටද හානි වී ඇති අතර, ඒ අවට සිටින ජනතාවට තම නිවෙස් වලින් ඉවත් වන ලෙස විදුලිබල මන්ඩලය විසින් දැනුම් දී ඇත.

ආන්ඩුවල පූර්න පිටුබලය සහිතව, කොලඹ නගර සභාව මගින්, කිසිදු කලමනාකරනයක් හෝ මිනිස් ජීවිත පිලිබඳ මොනම තැකීමක්වත් නැතිව අක්කර දහසයක පමන වපසරියක කල කුනු දැමීම නිසා ගොඩවී තිබෙන කසල කන්ද අඩි සියයක් පමන උසට නැගී ඇත. එහි විශාල පදාසයක් ගැලවී යාමෙන් දකුනු මායිමේ පිහිටි සියලු නිවාස විනාශ වී ඇත.

කොලඹ මෘතශරීරාගාරය අසල රැස්වසිටි ඤාතී පිරිසක්

තම සොහොයුරාගේ, ඔහුගේ බිරිඳ හා 12 හැවිරිදි දියනියගේ මලසිරුරු ගොඩගන්නා තෙක් සිකුරාදා සිට බලා සිටින කාන්තාවක් අපට පැවසුවේ, සිද්ධිය වී පැයකටත් වැඩි කාලයක් කිසිදු සහන කන්ඩායමක් හෝ රජයේ නිලධාරියෙක් ස්ථානයට නොපැමිනි බවය. “මිනිස්සුම තමයි පුලුවන් විදිහට යටවෙලා ඉන්න අය හොයන්න ගත්තේ. ඊට පස්සේ පොලිසියයි නාවික හමුදාවයි ආව උදලු ටිකක් අරගෙන.” මහා ජනතාවගේ වෛරය ඇවිලී යන තත්වය තුල ආන්ඩුව හමුදාවේ “මුදා ගැනීමේ කන්ඩායමක්” එවන විට තවත් පැය ගනනක් ගතවී අඳුරු වැටීමටද පටන්ගෙන තිබුනි.

සිය ගනනක ජීවිත අහිමි කල දැවැන්ත නාය යාම ගනනාවක් මෙරට සිදුවී ඇතත්, ඒ සඳහා කිසිදු පෙර සුදානමක් හෝ වැඩපිලිවෙලක් ආන්ඩුවට නැති බව ප‍්‍රකට කරමින්, විධිමත් මෙවලම් හෝ ආරක්ෂක උපකරන කිසිවක් නොමැතිව හමුදා භටයින් හා සහන කන්ඩායම්, කුලියට ගත් කැනීම් යන්ත‍්‍ර වලින්, විපතට පත්වූවන් සෙවීමට යොදා ඇත. හය සීයක භට කන්ඩායමක් එහි යොදවා ඇතැයි ආපදා ස්ථානය භාරව පත් කර ඇති හමුදා බ්‍රිගේඩියර් ප‍්‍රකාශ කලේය.

“මේක කඩාවැටෙයි කියල කොයි කාලෙක ඉඳල කිව්වද?” තවත් කාන්තාවක් ලොසවෙඅ සමග කීවාය. පසුගිය වසරේ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක්ද මෙතේන් වායුව කන්ද තුල නිපදවීමේ පීඩනය නිසා කඳ ගැලවී යාමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවූ බව ඇය තව දුරටත් පැවසුවාය. “අපි කොයි තරම් කෑගැහුවත් ආන්ඩු කනකට ගත්තේ නැහැ, මිනිස්සු යටවෙලා මැරෙනකම්ම බලාගෙන හිටිය” අතුරුදහන්ව සිටින තම ඥාති පවුල් දෙකක් ගැන තොරතුරක් ලැබෙන තෙක් බලා සිටින පුද්ගලයෙක් සඳහන් කලේය.

සෙනසුරාදා එම ස්ථානයට පැමිනි නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක, ආන්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් හා පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු පිරිසකට ජනතාවගේ හූ තැබීම් හා විරෝධය පෑම් මධ්‍යයේ ඉවත්ව යාමට සිදුවූ බව ජනතාව පැවසූහ.

“කුනු දානවට විරුද්ධව අපි උද්ඝෝෂනය කරනකොට බැටන් පොලු වලින් ගහල දැන් මැරුනට පස්සේ බලන්න එන්න ඕනේ නැහැ කියල මිනිස්සු කීවා” එක පුද්ගලයෙක් තම දැඩි කෝපය ප‍්‍රකාශ කරමින් පැවසීය. “ඔය දේශපාලනඥයෝ, හාමුදුරු ගොල්ලෝ, පාදිලි ගොල්ලෝ එක්කෙනෙක් වත් මෙතනට එන්න ඕනේ නැහැ” ඔහු තවදුරටත් කීවේය. මේවා මරන නොව මිනීමැරුම් බව පැවසුවේ තමන් හා මුනුබුරා පමනක් ඉතිර වී වැලපෙන මහලු පුද්ගලයෙකි.

ජනතාවගේ කැකෑරෙමින් ඇති වෛරය ගැන දැනුවත්ව, ආන්ඩුව මේවන විටත්, සහන සැපයීමේ මුවාවෙන්, අතිවිශාල පොලිස් හා හමුදා භට පිරිසක් ප‍්‍රදේශය අවට යොදවා ඇත. “ජනතාවගේ ආරක්ෂාව” සඳහා යයි කියමින් ප‍්‍රදේශයට කිසිවෙකුට ඇතුලු වීම තහනම් කර ඇති අතර, අවට ඇති වැල්ලම්පිටිය, ගොතටුව නව නගරය ඇතුලු ප‍්‍රදේශ වල පොලිස් කැරලි මර්දන බලකායේ භටයින් ගිනි අවි, කඳුලු ගෑස් හා ජල ප‍්‍රහාර රථ සන්නද්ධව සිටිනු අප වාර්තාකරුවන්ට දක්නට ලැබිනි. තම නිවෙස් වලින් වටිනා දේ ලබා ගැනීමටවත්, පදිංචිකරුවන්ට මෙතෙක් ඉඩ ලබා දී නැත.

සිද්ධිය සිදුවී පැය 24 පසුව ආන්ඩුව වෙනුවෙන් ප‍්‍රකාශයක් කරමින් නියෝජ්‍ය මුදල් ඇමති හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කලේ, වසර විස්සකටත් වැඩි කාලයක් පැවත එන ප‍්‍රශ්නයක් නිසා මේ විපත සිදු වූ බවත්, ප‍්‍රදේශයට කුනු දැමීම වහාම නතර කිරීමට ආන්ඩුව තීරනය කල බවත්ය. මෙය, මේ දැවැන්ත අපරාධයේ වගකීමෙන් ගැලවීම පිනිස කල අමු කුහක ප‍්‍රකාශයකි.

විපතට පත්වූවන් මත වගකීම පටවමින් හර්ෂ ද සිල්වා තවදුරටත් ප‍්‍රකාශ කලේ මේ පවුල් වලට ස්ථානයෙන් ඉවත් වීමට මුදල් ලබාදී තිබුනත්, ඔවුන් ඉවත් නොවූ නිසා ඛේදවාචකය සිදු වූ බවය. විපතට පත්වූවන් ප‍්‍රකාශ කලේ වත්මන් ආන්ඩුව හා කලින් රාජපක්ෂ පාලනය යටතේ ජනතාව මේ ප‍්‍රදේශයෙන් ඉවත් කර ඉඩම් ලබාගැනීමේ අටියෙන්, නිලධාරින් පැමින කුඩා වන්දි ලබා දීම හෝ වසර දෙකකට නිවෙස් සඳහා කුලී ලබා දීම වැනි විකල්ප දිය හැකි බව වාචිකව ප‍්‍රකාශ කිරීම හැර මොනම විධිමත් යලි පදිංචි කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොවූ බවය.

ප‍්‍රදේශයේ පදිංචි ජනයා ඉවත් කිරීමේ තැත කොලඹ හා අවට ප‍්‍රදේශය මූල්‍ය හා වානිජ නගරයක් බවට පත් කිරීම සඳහා රාජපක්ෂ පාලනය විසින් අරඹා වත්මන් ආන්ඩුව විසින් ගෙන යන ඉඩම් අත්පත් කර ගැනීමේ ව්‍යාපෘතියේ කොටසක් මිස දුගී ජනයා කෙරෙහි අනුකම්පාවකින් ක්‍රියාවට දමන වැඩපිලිවෙලක් නොවේ.

පටු සටන් පාඨ මගින් විරෝධතා ගෙන යාම නිසා ප‍්‍රශ්නය විසඳීමට නොහැකිවූයේ යයි බස්නාහිර පලාත් මහා නගර සංවර්ධනය භාර ඇමති හා වර්ගවාදී ජාතික හෙල උරුමය නායකයා වන පාටලී චම්පික රනවක ප‍්‍රකාශ කලේය. ආන්ඩුව මෙම විපත ප‍්‍රදේශයෙන් ජනයා ඉවත් කිරීමට කූට ලෙස යොදා ගන්නට සැරසේ. කොලඹ නගරයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඉවත් කල ජනයාගෙන් වැඩි දෙනෙක් තවමත් තාවකාලිකව තැනු පැල්පත්වලට ගාල් කර ඇත, ඇතැමෙක් රැකියා අහිමි වීමට ගොදුරුවී ඇත.

මෙහි කසල දැමීම දැනට දශක ගනාවක් පුරා සිදු වුනත්, මෙතරම් අවදානම් සහගත තත්වයක් ඇති වූයේ 2009 වසරේ සිට කොලඹ නගරයේ ප‍්‍රධාන කසල බැහැර ලන ස්ථානය ලෙස යොදා ගැනීමෙන් පසුවයි. සිදුවිය හැකි ආපදා පිලිබඳව අනතුරු අඟවා ප‍්‍රදේශයේ ජනයා විරෝධතා පැවැත්වූයේ වරක් දෙවරක් නොවේ. 2014 මුල දින ගනනාවක් කසල බැහැර කිරීමට ඉඩ නොදෙමින් ප‍්‍රදේශ වැසියන් ගෙන ගිය විරෝධතාවක් පසුගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් මැඩලූයේ පොලීසිය යොදා ප‍්‍රචන්ඩ ලෙස පහර දෙමිනි.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ජනතාව තුල තිබූ දැඩි විරෝධය ගසා කමින් 2015 ජනවාරි 8 දා ජනාධිපතිවරනයට පෙර දිනක වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ ස්ථානයට පැමින ප‍්‍රකාශ කලේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ වහාම කුනු දැමීම ඉක්මනින්ම නතර කරන බවයි. ඊයේ ජපානයේ සිට කුහක ලෙස ශෝකය ප‍්‍රකාශ කරමින් වික‍්‍රමසිංහ සඳහන් කලේ වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීමට පෙරම විපත සිදුවී ඇති බවයි. එහෙත් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව 2015 මැයි මස සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වූ විරෝධතා දෙකක් මැඩීමට පොලිස් ප‍්‍රහාර උසි ගැන්වූ ආන්ඩුව පුද්ගලයන් ගනනාවක් පොලිස් අත්අඩංගුවට ගත්තේය.

මීතොටමුල්ල ඛේදවාචකය ආන්ඩු හා ධනපති පන්තිය විසින් නිර්මානය කල එකකි. පෙන්නුම් කර ඇත්තේ මහා ජනතාවගේ මොනම අති මූලික ප‍්‍රශ්නයක් හෝ විසඳීමට නොහැකි තරමට ධනපති පන්ති පාලනය කුනුවී ඇති බවයි. ජනාධිපති සිරිසේන වහා ප‍්‍රශ්නය විසඳා කුනු දැමීම නතර කිරීමට ද ප‍්‍රදේශයේ විපතට පත් ජනයාට වහා සහන සැලසීමට ද අන පනවා ඇතැයි ජනමාධ්‍ය ප‍්‍රකාශ කලේය. සිරිසේන හා වික‍්‍රමසිංහ බිය පත්වී සිටින්නේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරෝධය උත්සන්න කිරීමට මේ විපත ද එකතු වීම ගැනයි.

Share this article: