ජීවිතාන්තය දක්වා සිරගතකල කම්කරුවන් 13දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මරුති සුසුකි කම්කරුවෝ විරෝධතාවේ පෙරමුන ගනිති

Maruti Suzuki workers lead protest demanding freedom for 13 workers jailed for life

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් විසිනි, 2017 මාර්තු 24

දඩයමට ලක්ව සිටින මරුති සුසුකි කම්කරුවන් 13දෙනා නිදහස් කරන ලෙස ඉල්ලන ඔන් ලයින් පෙත්සමට අත්සන් තබන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම පාඨකයින්ගෙන් ඉල්ලා සිටී.

23දා හර්යානා ප‍්‍රාන්තයේ මනේසර්හි පැවති විරෝධතාවට 8000ට අධික පිරිසක් එක් වෙති. ඔවුන් ඉල්ලා සිටින්නේ, ගොතන ලද මිනිමැරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් 13දෙනා ද ඇතුලු ඊට අඩු චෝදනා යටතේ වසර 3-5 අතර කාලයකට සිරගත කල සිව් දෙනා ද වහාම නිදහස් කරන ලෙසයි.

මනෙසර් රැලියේ මරුති සුසුකි කම්කරුවන්

මරුති සුසුකි කම්කරු සංගමය (එම්එස්ඩබ්ලිව්යූ) පිලිගන්නා ලෙස කලමනාකරනයට බල කිරීමෙන් යන්තම් මාස කීපයකට පසු, ජපන් මෝටර් රථ සමාගම, පොලීසිය හා කොංග‍්‍රස් පක්ෂය නායකත්වය දෙන හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව සමග අත්වැල් බැඳගෙන ප‍්‍රකෝපකරනයක් දියත් කලේ ය. කම්කරුවන්ට එරෙහිව නීතිමය දඩයමක් ගෙන යාමට හා එහි කම්කරු බලඇනිය විරේක කිරීමට මරුති සුසුකි පාලකයින් යොදා ගත්තේ, සමාගම විසින් කුපිත කරන ලද ආරවුලක් හා අරගලය මධ්‍යයේ අභිරහස් ලෙස කම්හලේ හටගත් ගින්නකි.

23දා පැවති පෙලාපලියට හා රැලියට එක්වෙමින් කම්කරුවෝ, මනෙසර් පිහිටා ඇති ගුර්ගාඔන් දිස්ති‍්‍රක්කයේ පුද්ගලයන් පස්දෙනෙකු හෝ ඊට වැඩි දෙනෙක් එක්රැස්වීම මැයි 14වැනිදා දක්වා තහනම් කරමින් ප‍්‍රාන්ත බලධාරීන් විසින් පටවන ලද පොදු තහනමකට විරුද්ධ වූහ.

දිවා වැඩ මුරයෙන් පසු, තමතමන්ගේ වැඩ පොලවලින් කම්කරුවන් මනෙසර් උද්‍යානයට පෙලපාලියේ යාම වැලක්වීමට ප‍්‍රාන්ත පොලීසිය ආරම්භයේ දී උත්සාහ කල බව එම්එස්ඩබ්ලිව්යූ ප‍්‍රකාශකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ය. කෙසේ නමුත්, ඔවුන් විරෝධතාවේ තරම දැක ― විශේෂයෙන් ම මනේසර් මරුති සුසකි වැඩබිමේ කම්කරුවන් 3,000කගේ පමන රැස්වීම දුටු විට― එයට ඉදිරියට යාමට ඉඩ දීමට ඔවුහු තීරනය කලහ.

කම්කරුවන් සෝදිසි කිරීමට හා බිය වැද්දීමට ආන්ඩුව පොලිස් භටයන් පන්සියයක් මනෙසර් වීදිවල රැඳවී ය. අතිරේක ආරක්ෂක හමුදා “භටකායන් දෙකක්” සූදානමින් රඳවා සිටි බව ද දනගන්නට ඇත.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ, විශාල මෝටර් රථ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන ගුර්ගාඔන්-මනෙසර් කාර්මික තීරුවේ දුසිම් ගනනාවක් කම්හල්වල කම්කරුවෝ ඊයේ විරෝධතාවට සම්බන්ධ වූහ. නොයිඩා හා ෆරිදාබාද් ඇතුලු දිල්ලියේ අනෙකුත් කාර්මික උපනගරයන්ගෙන් පමනක් නො ව රාජස්තානයේ අල්වාර් වැනි ඈත ප‍්‍රදේශවලින් ද නියෝජිතයෝ පැමින සිටියහ.

මනෙසර් රැලිය

එම්එස්ඩබ්ලිව්යූ තාවකාලික කි‍්‍රයාකාරී කමිටුවේ සාමාජිකයෙකු වන රාම් රිවාස් රැලිය අමතමින් මෙසේ පැවසී ය: “අප ගෙන යන්නේ සාමාකාමී විරෝධතාවක්, නමුත් ඒකේ අර්ථය අප දුර්වලයි කියන එක නො වෙයි. අපි අපේ‍්‍රල් 4වැනිදා ප‍්‍රාන්ත ආන්ඩුවට හා මරුති කලමනාකාරයට විරුද්ධව සමස්ත ඉන්දීය විරෝධතාවක් පවත්වනවා, එමෙන් ම අපේ සහෝදරයන් 13දෙනාට සාධාරනය ඉටු වන තෙක් අපි දිගටම එසේ කරනවා.”

මරුති සුසුකි මානව සම්පත් කලමනාකරුගේ හුස්ම හිර වී මියයාම වෙනුවෙන් කම්කරුවන් 13කු බියකරු බොරු නඩුවක පැටලවීම, ආසන්න වසයෙන් කම්කරුවන් 150ක් අත්අඩංගුවට ගෙන වසර ගනනාවක් හිරකර තැබීම හා 2012 කලහයෙන් පසු මරුති සුසුකි ස්ථීර කම්කරුවන් 500ක් හා කොන්ත‍්‍රාත් කම්කරුවන් 1800කට වැඩි සංඛ්‍යාවක් 2012 ජූලි 18න් පසුව දොට්ට දැමීම හෙලා දකිමින් රිවාස් තව දුරටත් කතා කලේ ය.

“ගින්න නිසා ඇතිවුන හුස්ම හිරවීම මානව සම්පත් කලමනාකරුගේ මරනයට හේතුව ලෙස පශ්චාත් මරන පරීක්ෂන වාර්තාව සහතික කරද්දී, මරනය සඳහා කම්කරුවන්ට චෝදනා නැගීම සිදු වන්නේ කෙසේ ද” රිවාස් ඇසී ය. “රැකියා වලින් දොට්ට දමමින් ඔවුන් ජීවිත සිය ගනනාවක් විනාස කලා, දැන් ඔවුන් මේ 13දෙනාගේ ජීවිත අවසන් කරලා තියෙනවා. අපි උදව් ගැනීමට ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමග සම්බන්ධකම් පවත්වනවා.”

මරුති උද්‍යෝග් කම්කරු සංවිධානයේ ප‍්‍රධාන ලේකම් කුල්දීප් ජන්ගු රැලියට මෙසේ පැවසී ය: “මෙම චුදිතයන් අහිංසක යි, පන්ජාබ් දිස්ති‍්‍රක් උසාවියේ හා හර්යානා ප‍්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවට එරෙහිව අපි අභියාචනා කරනවා. අපි අධිකරනමය පරීක්ෂනයක් කරන ලෙස උසාවියෙන් ඉල්ලනවා, ඒ මගින් සත්‍යය හෙලිවෙයි. නඩුවේ දී මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කෙරුනු කම්කරුවන් නිදහස් කර ගැනීම අපට අවශ්‍යයි.”

මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවලට එක් වූ කථිකයන් දෙදෙනා හා කම්කරුවෝ 2012දී පොලිස් පරීක්ෂන කන්ඩායමක් විසින් පවත්වන ලද “පරීක්ෂනය” හෙලා දුටුවෝ ය. පොලීසිය කලමනාකරනය සමග කුමන්ත‍්‍රනය කොට සාක්ෂි ගෙතූ බව දහතුන්දෙනා වරදකරුවන් කල විනිශ්චයකරුට පවා පිලිගැනීමට සිදුව තිබුනි. ඔවුන්ගෙන් බොරු පාපොච්චාරන ලබා ගැනීමේ අරමුන ඇතිව කම්කරුවන් 148දෙනාගෙන් බොහෝ දෙනෙකුට පොලීසිය පහර දී වද දුන් බවට සැක රහිත සාක්ෂි ද ඔවුහු ඉදිරිපත් කලහ.

2012 අගෝස්තු මස ශ‍්‍රමබලකාය විරේක කිරීම අතරතුර දොට්ට දැමූ ස්ථීර කම්කරුවන් 546දෙනා නැවත සේවයේ පිහිටුවීමට වෘත්තීය සමිතිය සටන් කරමින් සිටින බව එම්එස්ඩබ්ලිව්යූ තාවකාලික කි‍්‍රයාකාරී කමිටුවේ ප‍්‍රධානී, කුෂි රාම් පැවසුවේ ය. “විශේෂ පරීක්ෂන කන්ඩායම ඔවුන්ගේ වාර්තාව තුල 214දෙනෙකු පමනක් නම් කිරීම නොසලකා, පාලකයෝ කම්කරුවන් 546කගේ වැඩ අත්හිටෙව්වා. දැන් (දිස්ති‍්‍රක්) උසාවිය විසින් නඩුවට පටලවා සිටි 117දෙනෙකු මුදා හැර තියෙනවා. දැන් කොම්පැනිය ඔවුන් ආපසු ගත යුතු යි.”

මරුති සුසුකි කම්කරුවන් ගොදුරු වන්නේ, ගුර්ගාඔන්-මනෙසර් කාර්මික තීරුවේ කම්කරුවන් බියවැද්දීම හා ඔවුන්ගේ සිය දැවැන්ත ලාභ වෙනුවෙන් වහල් කඳවුරු කොන්දේසි පැනවීමට වන කම්කරු විරුද්ධත්වය, ඉන්දියාවේ දේශපාලන සංස්ථාපිතය විසින් කුරිරු ලෙස මර්දනය කරනු ඇති බවට ආයෝජකයින්ට යලි සහතික කිරීම අරමුනු කර ගත් සමාගමේ හා ආන්ඩුවේ ඒකාබද්ධ වෛරයට යි.

මාර්තු 17වැනිදා තීන්දුව ප‍්‍රකාශ කෙරුනු දිනයේ පැමිනිලි පක්ෂය, ලාභ ශ‍්‍රමය සඳහා විදේශ ආයෝජකයින් චීනයෙන් ඉන්දියාවට හැරවීමට පෙලඹවීම අරමුනු කර ගත් ආන්ඩුවේ “ඉන්දියාව තුල නිපදවනු” ප‍්‍රතිපත්තිය පෙන්වා දෙමින්, 13දෙනා එල්ලා මැරීමට කරුනු ඉදිරිපත් කලහ.

මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කිරීම, ඔවුන්ට එරෙහි සියලු දඬුවම් ඉවත් කිරීම, හා දඬුවමට ලක් වූ සියලු කම්කරුවන් නැවත සේවයේ පිහිටුවීමට ඉන්දියාව තුල හා ලෝකය පුරා කම්කරුවන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිගන්නා සියලු අය ඒකරාශී කිරීමේ ව්‍යාපාරයට අපතේ යැවීමට කාලයක් නොමැත.

ජපාන මෝටර් රථ නිෂ්පාදකයා පවසා ඇත්තේ, කම්කරුවන් 117දෙනා නිදොස් කිරීමට එරෙහිව අභියාචනා කිරීමට බලධාරීන්ට බල කරන බව හා වරදකරුවන් කෙරුනු අයට දැඩි දඬුවම් අපේක්ෂා කරන බවත් ය. වෙනත් වචන වලින් කිවහොත්, පාලකයින්ගේ රුදුරු සූරාකෑමට අභියෝග කිරීම පුද්ගලයින් 13 දෙනා සිදුකල එකම “අපරාධය” වන අතර ඔවුන් ඝාතනය කල යුතුය යන්නයි.

මරුති සුසුකි කම්කරුවන් මුහුනපා ඇති භයානක “පන්ති අසාධාරනයට” එරෙහිව ගුර්ගාඔන්-මනෙසර් කාර්මික තීරුව හා ඉන්දියාව පුරා කම්කරුවන් අතර තියුනු කෝපයක් පවතී. කෙසේ නමුත්, ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙකට―ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නැතහොත් සීපීඑම් ― අනුබද්ධ ප‍්‍රධාන කම්කරු සමිති සම්මේලන ඇතුලු සමිති, මරුති සුසුකි කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමට තදබල ලෙස විරුද්ධ වූහ. සීපීඅයි හෝ සීපීඑම් යන දෙකෙන් එකක්වත් මාර්තු 10වැනිදා තීන්දුව හෝ මාර්තු 17වැනිදා මරුති සුසුකි කම්කරුවන්ට දඬුවම් නියම කිරීම හෙලාදකිමින් මාධ්‍ය නිවේදනයක් වත් නිකුත් කර නොමත.

සමාගමේ හා ආන්ඩුවේ බොරු නඩුවට එරෙහිව මරුති සුසුකි කම්කරුවන් සටන් කරමින් සිටින වසර පහ අතරතුර, ස්ටැලින්වාදීන් ඔවුන්ගේ බලපෑම යොදා ගෙන ඇත්තේ “සාධාරනත්වය” සඳහා ධනේශ්වර උසාවියට හා මහා ව්‍යාපාරිකයින්ගේ දේශපාලන සංස්ථාපිතයට අභියාචනා කිරීමට හා එසේ කරන ලෙස එම්එස්ඩබ්ලිව්යූවට ද බලපෑම් කිරීමට ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්ර කමිටුවේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉන්දියානු ආධාරකරුවන් ඊයේ චෙන්නායි නුවර පැවති රැලියකට මැදිහත් වෙමින්, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමට ඉන්දීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටියේය.

ඉන්දීය මා ඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස් ලෙනින්වාදී ― සීපීඅයි-එම්එල්) ඒකාබද්ධ වෘත්තීය සමිතිවල සමස්ත ඉන්දීය කවුන්සිලය (ඒඅයිසීසීටීයූ) විසින් රැලිය කැඳවන ලද්දේ, 1931 මාර්තු 23වැනිදා, බි‍්‍රතාන්‍ය යටත්විජිත තන්ත‍්‍රය විසින් මරනයට පත් කරන ලද, විප්ලවවාදී ත‍්‍රස්තවාදියෙකු වූ භගාට් සිං අනුස්මරනය කිරීමට ය.

ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෝ “බොරු චෝදනා මත දන්ඩනයට ලක් වූ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!” නම් ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශනයේ පිටපත් බෙදා දුන් අතර, ඔවුන්ගේ සාකච්ඡාව වැලැක්වීමට ඒඅයිසීසීටීයූ නායකයින් විසින් ගන්නා ලද උත්සාහය නො තකා, සහභාගී වූ කම්කරුවන් 300න් බොහෝ අයගේ උනුසුම් අවධානයක් දිනා ගත්තේ ය.

රෙනෝල්ට්-නිසාන් කම්කරුවෙකු වන, 27හැවිරිදි නඩරාජා මෙසේ ප‍්‍රකාශ කලේ ය, “මම වැඩ කරන්නෙත් කාර් හදන ගෝලීය සමාගමක. මෙම ජාත්‍යන්තර උද්ඝෝෂනය හරහා අප ගෝලීය මෝටර්රථ කම්කරුවන් සමග අන්තර්කි‍්‍රයාකාරිත්වයක් වර්ධනය කල යුතු යි කියලා මම විශ්වාස කරනවා. මරුති-සුසකි ද ගෝලීය සමාගමක් වන නිසා, එයට අභියෝග කිරීමට කම්කරුවන්ගේ ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමක් අවශ්‍යයි.”

රියදුරෙකු වන ආනන්දන්: “මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරගැනීමට ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ගෙන යාම වැදගත්. වෘත්තීය සමිතියක් ගොඩනැගීමට හා වැටුප් වැඩිකර ගැනීමට ඇති අයිතිය වැනි නීත්‍යානුකූල අයිතීන් සඳහා සටන් කල කම්කරුවන්ට ඇප නොදී වසර ගනනාවක් අත්අඩංගුවේ තබා ගැනීම පෙන්වන්නේ, උසාවි කම්කරුවන් සඳහා නොවන බව යි. මරනයක් සිදු කලත් සේකාර් රෙඞ්ඩි වැනි පොහොසත් පුද්ගලයන්ට සතියක් ඇතුලත ඇප ලබා හිරෙන් එලියට එන්න පුලුවන්... හිරේ ඉන්නා කම්කරුවන්ගේ පවුල් කෙසේ දරා ගන්නවා ඇත් දැයි සීතීම වේදනා සහගත යි. දැන් 13කුට ජීවිතාන්ත සිරදඬුවම් දීලා තියෙනවා. ඔවුන්ගේ පවුල් පාරවල් වලට තල්ලු කෙරෙනවා ඇත.”

වෙන්කටේසන් හා ෂන්මුගන්

වෙන්කටේසන් මෙසේ පැවසී ය: “ඉන්දියාව තුල රජයේ කර්මාන්ත ඇතුලුව සියලූම කර්මාන්තවල ලාභ ශ‍්‍රම කොන්ත‍්‍රාත් ක‍්‍රමය දිගටම තියෙනවා. ආන්ඩුවට අයිති සමාගම්වල පවා රැකියා ස්ථීර නෑ. මරුති-සුසුකි කම්කරුවන්ට බොරු නඩු ඇටෙව්වේ සමාගම, පොලීසිය හා ආන්ඩුව එකතු වෙල යි. දේශපාලන පක්ෂ ධනේශ්වර පන්තියට ගැතිකම් කරනවා. කම්කරුවන් හා ජනතාවට මෙම පක්ෂ වලින් කිසි දෙයක් ලබා ගන්ට බෑ. ඒ නිසා ජාත්‍යන්තර උද්ඝෝෂනය ප‍්‍රයෝජනවත්.”

සුරේන්දර් හා ශී‍්‍රධර්

තවත් කම්කරුවෙකු වන සුරේන්දර් මෙසේ පැවසී ය: “මම තදින් ම මෙම තීන්දුව හෙලා දකිනවා. මරුති-සුසුකි කම්කරුවන් දිනාවි යයි මට විශ්වාස යි. ගෝලීය සමාගම් හිතන්නේ ඔවුන්ට සල්ලිවලින් ඕනෑ දෙයක් කරන්න පුලුවන් කියලා. නමුත් ජාත්‍යන්තර කම්කරුවන්ගේ එක්සත්කම ඊට වඩා බලවත්. අපට දෙගිඩියාවක් නෑ, අපගේ අදහස් හා ඡායාරූප පල කරනවාට අපි කැමති යි. කම්කරුවන්ගේ ජාත්‍යන්තර එක්සත් කමත් එමෙන් ම තරුන කම්කරුවන්ගේ එක්සත් අරගලයත් මගින් වෙනසක් අත් කර ගත හැකි බව මෙය පෙන්වා දෙනවා ඇති.”

ජාත්‍යන්තර කමිටුව, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අන්තර්ජාල පෙත්සමක් දියත් කර තිබේ. මෙම පෙත්සමට අත්සන් කරන ලෙසත් සහයෝගය සංවිධානය කිරීම හා බලමුලු ගැන්වීම පිනිස සකසා ඇති ෆේස්බුක් පිටුවට එක්වන ලෙසත් අපගේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: