ශ‍්‍රී ලංකාව: යාපනේ වැසියෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලති

Sri Lanka: Jaffna residents demand release of Maruti Suzuki workers

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 22

ඉන්දියාවේදී කුමන්ත‍්‍රනකාරී ලෙස සිරගත කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බලකෙරෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යාන්තර කමිටුවේ උද්ඝෝෂනය, යුද්ධයෙන් වැනසුනු ශ‍්‍රී ලංකාවේ උතුරේ යාපනයේ කම්කරුවෝ හා තරුනයෝ අනුමත කලහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයන් හා ආධාරකරුවන් වාහනකම්කරුවන් නිදහස් කරන ලෙස බලකරන පිකටින් විරෝධතාවයක් හා මහජන රැස්වීමක් එන සතියේ යාපනයේදී පැවැත්වීමට යයි. එහි ප‍්‍රචාරක කන්ඩායමක් මෑතකදීමහනගරසභාවේ, යාපනය සරසවියේ හා අනෙකුත් සේවාස්ථානවල කම්කරුවන් සමග එම කාරනාව සාකච්ඡාකලහ.

හර්යානාහි ජපාන ජාතිකයන්ට අයිති සමාගමේ මනෙසාර් කම්හලෙහි පැවති කෲර සේවාතත්වයන්වලට එරෙහිව මරුති සුසුකි කම්කරුවන් නොබියව සටන් කිරීම නිසා කුමන්ත‍්‍රනකාරී චෝදනා මත නඩුපැවරින. කම්කරුවන් දහතුන් දෙනෙක් ජීවිතාන්තය තෙක් දඬුවමට යටත් කෙරුනු අතර තවත් 18 ක් වසර තුනේ සිට පහ තෙක් සිරගතකෙරුනි. පෙර තිබූ කොන්ග‍්‍රස් ආන්ඩුව වර්තමාන භාරතීය ජනතා පක්ෂ පෙරමුන ගත් පාලනය ද ඇතුලත්ව ඉන්දීය පොලීසිය, අධිකරනය හා දේශපාලන සංස්ථාපිතය කම්කරුවන් පසුපස හඹායෑමේදී සහයෝගයෙන් කටයුතු කලහ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධය නිමාවී වසර අටකට පසුව ද, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දසදහස්ගනන් සෙබලුන් විසින් යාපනය දිගටම අල්ලාගෙන සිටී. හමුදාව ප‍්‍රදේශයෙන් ඉවත්කරගැනීම, පෙර අයිතිකරුවන් හට වාඩිලාගත් ඉඩම් ආපසු බාරදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම හා යුද්ධයේ “අතුරුදහන්” වූවන් පිලිබඳ තොරතුරු ලබාදීම ඉල්ලා දෙමල ජනතාව නිතරම විරෝධතා දක්වති.

යාපනය මහ නගර සභා සේවකයන් මරුති සුසුකි කම්කරුවන් ගැන සසප ප‍්‍රකාශනය කියවමින්

මරුති සසුකි කම්කරුවන් නිදහස්කරගැනීම සඳහා ජාත්‍යාන්තර ව්‍යාපාරයක ඇති දේශපාලන වැදගත්කම ගැන සසප හා සසජාතශි සාමාජිකයෝ යාපනය මහ නගර සභා කම්කරුවන් සමග කතා කලහ.

“මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීමට අපිටත් වගකීමක් තිබෙනවා.” එක් කම්කරුවෙක් පැවසීය. “අපට පැය නවයක් සේවය කිරීමට බලකෙරෙන නමුත් ගෙවන්නේ පැය අටකට විතරයි. රැකියා ස්ථිර කලයුතු තාවකාලික සේවකයන් බොහොමයක් ඉන්නවා. ඇබෑර්තු ඇති බව දැනගෙනත්, උතුරු පලාත්සභාව එම තනතුරු පුරවන්නට හා ස්ථිර රැකියා සපයන්නට කටයුතු කරන්නේ නෑ.”

“එවැනි සටනක් වර්ධනය කිරීම හොඳයි හා එමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උදව්වෙනවා. අපි පිකටින් එකට සහභාගී වෙන්නම්. අපි මීට කලින් මෙම කාරනය දැනගෙන හිටියේනෑ. ඒක දැනගත්තේ ඔබලාගෙන් විතරයි.” තවත් කම්කරුවෙක් පැවසීය.

“මේවිදිහට මෙම කම්කරුවන්ට දඬුවම්දීම අසාධාරන නිසා, මම ඔවුන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරයට සහයෝගය දෙනවා.” නගර සභා කම්කරුවෙක් වන එම්. පද්මනාදන් කීය.

නගර සභා රියදුරන් කන්ඩායමක් ද අදහස් දැක්වීය. “අපිව එම තීන්දුවෙන් කම්පනයට ලක්වුනා. කම්කරුවන් 13 දෙනෙක් බොරු චෝදනාමත ජීවිතාන්තය තෙක් සිරගත කිරීම භයානකයි වගේම පිලිගත නොහැකියි. අනාගතයේදී මේවගේම දේවල් අපටත් සිද්ධවෙන තත්වයක් උදාවන්නට පුලුවන්.”

වැද්දුම්කරුවෙක් හා යාපනය මහ නගර සභාවේ සේවකයන්ගේ වෘත්තීය සමිති නායකයෙක් වන, ඒ. වොෂින්ටන් මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි හඹායෑම හෙලාදැකි අතර යාපනය නගර සභා සේවකයන්හට තවමත් දිනකට පැය නවයක සේවාකාලයක් ඇති බව විස්තර කලේය.

“අපේ කම්කරුවන් තවමත් ස්ථිර රැකියාවල් සඳහා සටන් කරමින් සිටිනවා. වෙනස් ලෙස සැලකීම් තියෙනවා. මම වැද්දුම්කරුවෙක් වුනාට මට සුදුසු වැටුපක් ගෙවන්නේ නෑ.” ඔහු පැවසීය. “අපි බොහෝ ගැටලුවලට මෙහේ සටන්කලාට විසඳුම් ලැබිලා නෑ. පලාත්සභාව පාලනයවන්නේ දෙමල ජාතික සංධානය (දෙමල ධනපති පක්ෂවල එකමුතුවක්) විසින් වුනාට ඔවුන් සේවකයන්ගේ ප‍්‍රශ්න ගැන සලකන්නේ නෑ.”

විශ්වවිද්‍යාල සේවකයෙක් වන කේසවන් ඉන්දීය වාහන කම්කරුවන් මත පැනවුනු බන්ධනාගාර කොන්දේසි හෙලාදැක්කේය. “ඉන්දියානු අධිකරනයක් විසින් නීත්‍යානුකූල නොවන ලෙසට සිරගතකල මරුති සුසුකි කම්කරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස මා ඉල්ලනවා. මෙම තීන්දු ශ‍්‍රී ලංකාවේ හා අනෙකුත් රටවල කම්කරුවන්ට එරෙහිව පාවිච්චි කරන්නට පුලුවන්. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවට මම විරුද්ධයි. තමන්ගේ අයිතීන් සඳහා සටන් කරන මිනිසුන්ව සිරගත කිරීම කම්කරුවන්ව වහලුන්ට හැරවීමට සමානයි.” ඔහු පැවසීය.

තවත් විශ්වවිද්‍යාල කම්කරුවෙක් වන නවරත්නම්, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් නොකරන්නේ මන්දැයි ප‍්‍රශ්න කලේය. මෙම ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල පරිහානිය, කොන්ග‍්‍රස් පක්ෂයද ඇතුලත් ධනපති පක්ෂ සමග ඔවුන්ගේ සහයෝගීතාවය හා ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයන් තුලට ඔවුන්ගේ විපරිනාමය සම්බන්ධව අපේ සාමාජිකයෝ විස්තර කලහ.

“අපි දිනකට පැය නවයක්, නිවාඩු දිනවල පවා, සේවය කලයුතුයි.” නවරත්නම් පැවසීය. “මේ අසාධාරනය ප‍්‍රශ්න කරන්නට ඔවුන් ඉඩදෙන්නේ නෑ. මම මෙහේ අවුරුදු25 ක් සේවය කරමින් සිටිනවා. මගේ උසස්වීමට ඔවුන් විභාගයක් පැවැත්වූවාට ඒකේ ගොඩාක් අමාරු ප‍්‍රශ්න තිබුන නිසා මට සමත්වෙන්නට බැරිවුනා. ඉන්දියානු කම්කරුවන් විතරක් නෙමෙයි ශ‍්‍රී ලංකාවේ කම්කරුවොත් සමාන ප‍්‍රශ්නවලට මුහුන දෙනවා. එම මරුති සුසුකි කම්කරුවන් නිදහස්කරන ලෙසට මම ඉල්ලා සිටිනවා.”

සෞන්දර්ය උපාධිධාරිනියක් වන පී. සුබා රැකියා සඳහා යාපනයේදී දැනට කරගෙනයන උද්ඝෝෂනයට සම්බන්ධවී සිටී. “මරුති සුසුකි කම්කරුවන් මතට එල්ල වී ඇති ප‍්‍රහාරය හෙලාදැකියයුතුයි. මම අද පෙත්සම අත්සන් කරනවා.” ඇය පැවසුවාය.

“මට මගේ අධ්‍යාපනය 2011 දී අවසන් කරන්නට තිබුනා. යුද්ධය හා ජලගැලීම් හේතුවෙන් අපට තැන්තැන්වලට යන්න වුන නිසා මට මගේ අධ්‍යාපනය තවත් වසරකට ගෙනියන්නට සිදුවුනා. මම අවුරුදු පහකට වඩා රැකියාවක් නොමැතිව ඉන්නවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියැලී සිටි කාලයේ නේවාසික ගාස්තු හා අනෙකුත් අවශ්‍යතාවලට බොහෝ වියදම් දරන්නට සිදුවුනා. ඒ නිසා මට මගේ දෙමව්පියන්ව බලාගන්නට හැකියාවක් නෑ.” “යුද්ධය පැවති කාලයේ, අපිව නැව් මගින් ගැටුම් ඇති කලාපයෙන් ඉවත්කලා. අපිව එකතැනකින් තව තැනකට දවස්ගනන් නැව් මගින් රැගෙන ගිය අතරේ ප‍්‍රහාරයකට ලක්විය හැකි ඉහල අවදානමකට මුහුන දුන්නා.” ඇය පැවසුවාය.

අප්‍රේල් 27 දා පැවැත්වෙන පිකටින් එකට හා මහජන රැස්වීමට සහභාගී වන ලෙස සසප හා සසජාතශි කම්කරුවන්ව, තරුනයන්ව හා ශිෂ්‍යයන්ව උනන්දු කලේය.

Share this article: