මීතොටමුල්ල ඛේදවාචකය: කොලඹ දේශපාලන සංස්ථාපිතයට එරෙහි අභිචෝදනාවක්

2017 අප්‍රේල් 20

දුප්පත් ජනයාගේ නිවාස සියගනනක් පදිංචිකරුවන් ද සමග ටොන් ගනනක අපද්‍රව්‍යවලින් යටකරමින්, අපේ‍්‍රල් 14දා සවස කොලඹ මීතොටමුල්ල කුනු කන්ද නායයාමෙන් සිදුව තිබෙන මහා ව්‍යසනය මෙරට සමස්ත පාලක ප‍්‍රභූවට එරෙහි එල්ලවී ඇති තවත් අභිචෝදනාවකි.

මහජනයා මුහුන දෙන එකදු මූලික සමාජ, ආර්ථික ප‍්‍රශ්නයකටවත් කල්පවත්නා ස්ථිරසාර විසඳුමක් සම්පාදනය කිරීමට අසමත් කොලඹ පාලන සංස්ථාපිතය, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මහජනයාගේ වියදමින් ඉටු කර දෙමින් මෙම අපරාධයට හවුල්වී සිටිත්.

වසර ගනනක් තිස්සේ මෙම කුනු කන්ද ඉවත් කරන ලෙස බල කරමින් ප‍්‍රදේශයේ මහජනයා දියත් කල දුසිමකට ද වඩා විරෝධතා උද්ඝෝෂන තඹේකට නොසලකා හැර ඒවා මැඞීමට පොලිසිය යොදවා පහරදීමෙන් මෙම ව්‍යසනය සිදුවීමට ඉඩ හැරි ප‍්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙක ද (අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය) ඒවාට කත් අදින අනෙකුත් දේශපාලන පක්ෂ ද මෙම අපරාධයේ වගකීම භාරගත යුතු ය.

අපාදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව අඩුම වසයෙන් දරුවන් හත්දෙනෙකු ද කාන්තාවන් හා වයෝවෘධ අය ද ඇතුලූ 31කගේ මල සිරුරු අපේ‍්‍රල් 18 දා සවස් වරුව වන විට සොයාගත් අතර අවම වසයෙන් පුද්ගලයින් 30ක් අතුරුදහන්ව ඇත. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කීවේ, මරන සංඛ්‍යා ව කෙතරම් වනු ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැකි බව යි. පුද්ගලයින් ගනනාවක් කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති. නිවාස 80ක් සම්පූර්නයෙන්ම ද 17ක් පාර්ශවීය වසයෙන් ද විනාශ වී ඇති බවත් පවුල් 228කට අයත් පුද්ගලයින් 980ක් පමන අවතැන්ව ඇති බවත් පොලිස් වාර්තා කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිකාරවාදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහිව නොසන්සුන්වෙමින් සිටි මහජනයාගේ විරෝධය ගසාකා බලයට පැමිනි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවේ අර්බුදය මෙම ව්‍යසනය නිසා තවත් ගැඹුරු වී තිබේ. බලයට පැමින වසර දෙකක් තුල දුන් පොරොන්දු එකක් නෑර කඩකරමින්, ජීවන හා සමාජ කොන්දේසි කප්පාදු කරන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඊට විරුද්ධවන මහජනයාට එරෙහිව, රාජපක්ෂ පාලනය නැවතූ තැනින් එහාට මිලිටරි හා පොලිස් මර්දනය වර්ධනය කරමින් සිටියි.

මීතොටමුල්ල උවදුර සිදුවී පැය කීපයක් ඇතුලත ආන්ඩුව මිලිටරි භටයින් හා පොලිසියේ දහසක් පමන ප‍්‍රදේශයට යැවීම හුදෙක් ව්‍යසනයට ලක්වූවන් සෙවීමේ ව්‍යායාමයකට සීමාවූ පියවරක් නොවේ. එහි සැබෑ ඉලක්කයන් වන්නේ කෝපයට පත්ව සිටින මහජනයා බියගැන්වීම, ව්‍යසනයේ තරම සෙසු මහජනයාගෙන් වසන් කිරීම සහ ප‍්‍රදේශයෙන් දුගී පදිංචි කරුවන් ඉවත් කිරීමේ මහා නගර ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්පත් කර ගැනීමයි.

ආපදාවේ වගකීම ආන්ඩුව භාර ගන්නා බව ආපදා කලමනාකරන ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ ප‍්‍රකාශ කලේය. ඔහු ඉන් අදහස් කරන්නේ කුමක් ද? ශෝකය ප‍්‍රකාශ කිරීම, අවමඟුල් වියදම් දැරීම හා වැඩිම වුවොත් තත්වයෙන් බාල නිවාස කීපයක් සාදා දී ආන්ඩුවේ හා ධනපති පන්තියේ අත් සෝදා ගැනීමයි.

මෙම ඛේද වාචකය සිදුවුයේ ඇයි? මීතොටමුල්ලට කොලඹ අපද්‍රව්‍ය ඉවක්බවක් නැතිව ගොඩ ගැසීම ඇරඹු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහචරයන්ගේ “ඒකාබද්ධ විපක්ෂය” වත් සිරිසේන හා වික‍්‍රමසිංහ වත් ඊට පිලිතුරු නොදෙති. රාජපක්ෂ අත් සෝදා ගන්නේ තමන් පරදින්නට කලින් කුනු කන්ද ඉවත් කිරීමට මුදල් වෙන් කලත් වත්මන් ආන්ඩුව එය වෙනස් කල බව ප‍්‍රකාශ කරමිනි. තමන් පරදින්නට කලින් ආපදාව සිදුවුයේ නම් ඔහු කුමක් කියනු ඇත් ද? සිරිසේන ඇතුලූ ආන්ඩුවේ නායකයන් පවසන්නේ අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී මහා ජනයා ඉන් ඉවත් නොවු බවයි. මෙය අපරාධයේ වගකීම මහජනයා මතම පැටවීමකි.

ජන මාධ්‍ය ද හිත් කීරි ගස්වන ඛේදනීය ලිපි, වාර්තා හා පින්තූර කතා පල කරයි. වැඩිම වුනොත්, මෙම මාධ්‍ය වත්මන් හා පසුගිය ආන්ඩු පොරොන්දු කැඩූ බවට චෝදනා කරන ලිපි ලියති.

“මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ” නායකයෙකු වන, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නුවන් බෝපගේ ද වත්මන් හා පසුගිය ආන්ඩු විරෝධතා මැද පොරොන්දු කඩා ප‍්‍රශ්නය නොවිසඳීමෙන් මිනීමැරුමට වග කිව යුතුව ඇතැයි චෝදනා කරයි. ආන්ඩුව පොරොන්දු කඩා, ප‍්‍රශ්නය නොවිසඳුවේ ඇයි? මෙම ව්‍යාපාරය මුල්වී උද්ඝෝෂන ගනනාවක් ගෙන ගොස් තිබෙන බව ප‍්‍රකාශ කරන බෝපගේ ඛේදවාචකය සිදුවෙන තෙක්ම එම උද්ඝෝෂන ව්‍යාපාර නිෂ්ඵල ඒවා බවට පත්වූයේ ඇයිද යන්න පැහැදිලි කරන්නේ නැත.

පිලිතුරු දියයුතු ප‍්‍රශ්න ඒවායි.

පසුගිය දශකයේ කොලඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් දුගී පවුල් ඉවත් කර වටිනා ඉඩම් ආන්ඩුව සතු කරගෙන “ආසියාවේ වානිජ හා මූල්‍ය මධ්‍යස්ථානයක්” ඉදිකිරීම සඳහා දියත් කල වැඩසටහනක් තුල අධි සුඛෝපභෝගී සාප්පු සංකීර්න, මහල් මැඳුරු හා හෝටල් ද විනෝද ස්ථාන ද ගොඩ නගමින් තිබේ. මෙය වනාහි, විදේශ ආයෝජකයන්ගේ අවශ්‍යතා සඳහා කොන්දේසි හදමින්, බහුතරයක් වන පීඩිත ජනයාගේ වියදමින් අතලොස්සක් වන අර්බුද ග‍්‍රස්ත මහ ධනපතියන්ගේ පන්ති පාලනය රැක ගැනීමට ගෙනයන වැඩ පිලිවෙලකි.

දුගී සාමාන්‍ය ජනයා මුහුන දෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූවේ මොනම සැලකිල්ලක් වත් නැත. මීතොටමුල්ල පොදුවේත්, කසල බැහැර කල ආශි‍්‍රත ප‍්‍රදේශය විශේෂයෙන් මත් දුගී ජනයා වෙසෙන ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශය මොනම සැලකිල්ලකට වත් ලක් නොවීම අහම්බයක් නො වේ. කොලඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන, වත්මන් ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් 2016 දෙසැම්බර් ගුවන් විදුලි සාකච්ඡාවකදී මීතොටමුල්ල කුනුකන්ද අයිති වටිනා බිම වැදගත් වානිජ කාර්යයන්ට යොදා නොගැනීම ගැන දුක්වූවේ ය. “මේ අක්කර 28ක භූමිභාගය ඊලඟ නවීන නගරය හදන්න පාවිච්චි කරන්න ඕනේ” මරික්කාර් එහිදී තලූ මරමින් කීවේ ය. එම උත්සුකයෙන් මෙහෙයවූ වත්මන් ආන්ඩුව මෙම ව්‍යසනය වෙන්නට ඉඩ හැර අහක බලා සිටියාක් මෙනි.

සිද්ධියට පසු නිකුත් කල නිවේදනයකදී අගමැති වික‍්‍රමසිංහ කීවේ, “කුනු කන්ද ඉවත් කිරීමට සැකසූ සැලසුම කි‍්‍රයාත්මක කරමින් තිබියදී” මීතොටමුල්ල කුනු කන්ද නාය ගිය බව යි. ඔහුගේ “සැලසුම” නම්, රාජපක්ෂ ආන්ඩුව යටතේ කොලඹ නගරයේ පැල්පත්වාසී පවුල් 135,000ක් බලාත්කාරයෙන් පිටමං කර, ඉහල වානිජ වටිනාකමක් සහිත එම ඉඩම් දේශීය හා විදේශීය ආයෝජකයන්ට විකිනීමේ හා බද්දට දීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාම මිස අන් කිසිවක් නොවේ.

රාජපක්ෂ ආරම්භ කල වැඩසටහන “මෙගාපොලිස්” නමින් ඉදිරියට ගෙන යන, වත්මන් ආන්ඩුව ද කොලඹ දුප්පත් ජනයාගේ නිවාස සියගනක් “අනවසර ඉදිකිරීම්” ලෙස නම් කොට බලාත්කාරයෙක් කඩා ඉවත් කර තිබේ. ඊයේ අගමැති සමග එකට වාඩිවී සිරිසේන තර්ජනාත්මකව ප‍්‍රකාශ කලේ අනවසර ඉදිකිරීම් තහනම් කරන බවයි.

ආන්ඩුවේ හොරනෑව වන දිනමිණ පත‍්‍ර ය, අප්‍රේල් 18 දා එහි කතුවැකියෙන් ව්‍යසනය සාධාරනීය කලේ, විපතට පත්වූවන්ගෙන් කොටසක් “අනවසර පදිංචිකරුවන්” බවත් එබැවින් ඔවුන්ට හා පාරම්පරික පදිංචිකරුවන්ට “එකම ආකාරයෙන් සැලකීම” අයුක්ති සහගත බවත් කියමිනි. අපද්‍රව්‍ය එකතු කොට ආදායමක් ලබාගත් “බොහෝ දෙනෙක් අනවසර පදිංචිකරුවන්” ම බවත් මොවුන්ම කුනු කන්දට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනු බවත් ලියමින් කතුවැකිය ඇඟවුම් කලේ දැන් ඊට යටවී මියගොස් ඇත්තේ “අනවසර පදිංචිකරුවන්” බව කීමට යි. කෙසේ වෙතත්, ආන්ඩුව සැලසුම් කරන්නේ ව්‍යසනයට මුවාවී දුගීන්ට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කිරීමටයි.

බ්‍රිතාන්‍ය පාලනය සමයේ සිට සියලූ ධනපති ආන්ඩු කොලඹ නගරය නිර්මානය කර ඇත්තේ පොදු මහජනතාවගේ මූලික පහසුකම් ගැන තැකීමක් සහිත මනා සැලසුමකින් නොවේ. විශේෂයෙන්ම 1977න් පසුව පත්වූ සියලූ ආන්ඩු ධනපති අර්බුදයේ අලූත් අවධිය තුල පෙරට දැමූ විවෘත ආර්ථික පිලිවෙත යටතේ විදේශ ආයෝජකයන්ට ආරාධනා කරමින් අවිධිමත් තැනීම් හා වියදම් කැපීම නිසා දැවැන්ත පරිසර ගැටලූ ගනනාවක් කොලඹ නගරයේ පමනක් නොව සමස්ත රට පුරාම මතුවී ඇත. නුතන තාක්ෂනයේ හා විද්‍යාවේ වර්ධනයන් යොදා ගනිමින් අපද්‍රව්‍ය කලමනාකරනය පහසුවෙන් සිදු කලහැකි වුවත් ඒ සඳහා මුදල් වෙන් නොකල ධනපති ආන්ඩු කෝටිප‍්‍රකෝටි ගනනින් වර්ගවාදී යුද්ධය සඳහා ධනය පුලූස්සා දැමුවේය. යුද්ධය සඳහා වියදම් කිරීමට හා ධනපති අර්බුදය කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත ජනයා මත පැටවීමට මෙම ආන්ඩු කලේ සීමිත සුබ සාධන පවා කපා දැමීමයි.

ධනපති ක‍්‍රමය කි‍්‍රයාත්මක වන ඕනෑම රටක, සාමාන්‍ය මහජනයා මුහුන දෙන ප‍්‍රහාර එක හා සමාන ය. මාර්තු මාසයේ මුලදී මෙවැනිම ඛේදවාචකයකින් නොදියුනු අපි‍්‍රකානු රටක් වන ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරය ආසන්නයේ වසර පනහක් පමන පැරැනි කුනු කන්දක් කඩා වැටී දුප්පත් මිනිසුන් සියයකට වැඩි ප‍්‍රමානයක් මරනයට පත් විය. අඩිස් අබාබා, කොලඹ මෙන්ම මහා වානිජ නගරයක් ලෙස ඉහල සංවර්ධනයක් අත්කර ගනිමින් පවතී යයි වාර්තා පල වෙද්දී තදාසන්න ප‍්‍රදේශයට දුගී නිවැසියන් පලවා හැර තිබේ. මෙම වැසියන් ගෙන ගිය විරෝධතාවන්ට ඉතියෝපිනු ආන්ඩුවේ ප‍්‍රතිචාරය වූයේ ම්ලේච්ඡ පොලිස්-මිලිටරි ප‍්‍රහාර එල්ල කිරීමයි.

ධනපති වාදයේ අර්බුදය ලෝක පරිමානව වර්ධනය වන තතු තුල සංවර්ධිත ධනපති රටවල පවා මේ හා සමාන කොන්දේසි නිර්මානය වෙමින් පවතී. මාර්තු මාසයේදී ඇමෙරිකානු සිවිල් ඉන්ජිනේරුවන්ගේ සංගමය විසින් නිකුත් කෙරුනු එරට පිලිබඳ “තත්ව වාර්තාව” මගින් සමස්ත රටේ යටිතල ව්‍යූහයන්ගේ තත්වය D- ලෙස එනම්, යටිතල ව්‍යූහය දුර්වල තත්වයේ හා පැවැතිය යුතු තත්වයට පහලින් හා බොහෝ සිද්ධීන්හිදී ඒවායේ ආයුකාලය අවසානයට ලඟා වෙමින් තිබෙන බවට නිර්නය කලේ ය. කසල බැහැර කිරීමේ පද්ධතිය ද ඊට අයත්ය.

මෙම ජාත්‍යන්තර අර්බුදය තුල ගෝලීය ධනවාදය ගෙන එන්නේ ලෝක යුද්ධය හා සමාජ අයිතීන්ට කොටන ප‍්‍රතිවිප්ලවයයි. මීතොටමුල්ල ව්‍යසනයේ මූලය පවතින්නේ ජරාජීර්න වන ධනපති ක‍්‍රමය තුලයි. ධනපති පන්තියට හා එහි ආන්ඩු මෙවැනි අති මූලික ප‍්‍රශ්න පවා විසඳීමට අසමත්ය.

පෙසප වැනි ව්‍යාජ වාම පක්ෂ, මහජනයා මුහුන දෙන මූලික ප‍්‍රශ්න වල මූලය පවතින්නේ ධනපති ක‍්‍රමය තුල නොව, ඒ හෝ මේ ධනපති ආන්ඩුවේ, පාලකයාගේ වැරැද්ද නිසා බවත් බලපෑම් දමා තත්වය වෙනස් කල හැකි බවත් අවධාරනය කරන වැඩ පිලිවෙලක් ගෙන යති. මෙම පක්ෂ කරන්නේ ධනපති ක‍්‍රමයට එරෙහිව මහජනයා ස්වාධීනව බලමුලූ ගැන්වීම වලක්වා එහි අත යටට ඔවුන් තල්ලූ කිරීමයි.

පසුගිය දිනවල, මීතොටමුල්ල ප‍්‍රදේශයේ එක්වී ඇති හා කොලඹ ප‍්‍රදේශයේ ගොඩගැසී තිබෙන කුනු දැමීමට ගිය හැම ප‍්‍රදේශයක දීම මහජනයා ඊට දැඩි ලෙස විරුද්ධ වූහ. ආන්ඩුවේ හිස් පොරොන්දු ගැන කිසිදු විස්වාසයක් වැඩ කරන ජනතාවට නැති බව මෙමගින් ප‍්‍රදර්ශයන වී තිබේ. ඔවුන්ට අවශ්‍ය විකල්පයකි. ලාභ ගැරීම සඳහා නොව මිනිස් අවශ්‍යතා සඳහා සැලසුම්ගතව නිෂ්පාදනය ප‍්‍රති-සංවිධානය කරන සමාජවාදී ක‍්‍රමයක් තුලින් පමනක්ම විසඳුම් ලබා ගත යුතු තැනට ප‍්‍රශ්න සියල්ල ගොනුවී ඇත. සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරන්නේ මේ නිසාය.

වසන්ත රූපසිංහ

Share this article: