ජනාධිපති සිරිසේන “රට විනය ගත කිරීමට” කල යෝජනාවේ විසකුරු ඇඟවුම්

2017 අප්‍රේල් 29

කැබිනට් ඇමති හා ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාට විනය ගත කිරීම සඳහා දෑවුරුද්දකට රට භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල යෝජනාවේ බරපතල අනතුරු ඇඟවීම කිසි ලෙසකිනුත් අඩු තක්සේරු කිරීමට ඉඩ නොදිය යුතු ය.

සිරිසේන ෆොන්සේකාට කර ඇත්තේ සෘජු යෝජනාවකි. එනම්, හමුදාපති ධුරය හෝ ත්‍රිවිධ හමුදා ප‍්‍රධානියාගේ තනතුර භාරගෙන ආන්ඩුවේ සංවර්ධන වැඩ පිලිවෙලට බාධා කරන්නා වුත් අත්‍යවශ්‍ය සේවා ඇන හිටුවන්නා වූත් වර්ජන, විරෝධතා හා උද්ඝෝෂන නතර කර “රට විනය ගත” කිරීමයි.

ඇට නැති දිව දස අතේ හැරවීම සම්බන්ධයෙන් කුප‍්‍රකට ඇමතියෙකු වන එස්.බී. දිසානායක “ජනාධිපති කලේ විහිලුවක්” යයි කියා ඇති අතර තවත් එවැන්නකු වන කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න තම නායකයා “සැහැල්ලුවෙන් කල ප‍්‍රකාශයක් ලොකු කර දක්වා ඇතැ”යි සඳහන් කර තිබේ. සිරිසේනගේ ප‍්‍රකාශය ගනන්ගත යුත්තක් නොවන බව පෙන්වමින් එහි බරපතල ඇඟවීම් ආවරනය කිරීම දිසානායකගේ හා සෙනෙවිරත්නගේ කූට වෑයමයි.

“සුලුතරයක් වන වෘත්තීය සමිතිවලට රට ආන්ඩු කරන්ට ඉඩ දෙන්න බෑ” යයි ඇමති පාඨලී චම්පික රනවක, ජනාධිපතිගේ යෝජනාව මාධ්‍ය සාකච්ඡාවේ දී නිවේදනය කල කැබිනට් සගයෙකු වන රාජිත සේනාරත්නගේ හඬ තැලීම් තව දුරටත් උලුප්පා දැක්වූයේ ය. වෘත්තීය සමිති හුවා දක්වා ගෝරනාඩු කරතත් ආන්ඩුවේ සැබෑ ඉලක්කය පාලකයන් සමග සම්මුතිවලට සූදානම්, ඔවුන්ගේ උපකරන බවට පත් කර ගෙන ඇති, වෘත්තීය සමිති නො ව කම්කරු පන්තිය යි.

තමන්ට කල යෝජනාව ගැන හිටපු හමුදාපති ෆොන්සේකාට පැහැදිලිය. හමුදා පති හෝ ත්‍රිවිධ හමුදා ප‍්‍රධානියාගේ තනතුර භාර ගැනීමට ඒ අවස්ථාවේ අකැමති වූ බව ද අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් ක්‍රියා නතර කිරීම සඳහා පියවර ගැනීමට කැමැත්ත පල කල බව ද ෆොන්සේකා පැවසීය. “සුලු පිරිසකට ආන්ඩුවේ පාලනය කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි යි,” හිටපු හමුදාපති අවධාරනය කලේ ය.

ආන්ඩුවේ ඉලක්කය පැහැදිලිය. එම ඉලක්කය අරගලයට එන කම්කරු පන්තිය මැඩලීමයි. සිසුන් හා ගොවි ජනයා ඇතුලු දුගීන් අතර යන පෙරලිකාරිත්වය ද සිරිසේනගේ ඔලුවේ වැඩ කරන අනෙක් “තර්ජනයන්” ය.

සිරිසේනගේ යෝජනාව සාමාන්‍ය පුද්ගලයෙක් කල එකක් නො වේ. ඔහු ලංකාවේ රාජ්‍ය නායකයා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග එක්ව වත්මන් ආන්ඩුවට නායකත්වය දෙන පුද්ගලයා ය. ධනේශ්වර ආන්ඩු වනාහි කලින් කලට පාලක පන්තිය විසින් සිය විධායකය ලෙස තෝරා ගන්නා සංස්ථාවයි. එම සත්‍යය ආවරනය වී ඇත්තේ, සීමිත සර්ව ජන ඡන්දයෙන් තෝරා පත්කෙරෙන ජනාධිපතියෙකු හා පාර්ලිමේන්තුවක් හරහා ආන්ඩුව පිහිටුවනු ලබන හෙයිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දස අවුරුදු පාලනයට එරෙහිව පැන නැගුනු කම්කරුවන්ගේ හා දුගීන්ගේ කෝපය ධනපති පක්ෂ සමග එක් ව ව්‍යාජ වම්මුූ හා වෘත්තීය සමිති විසින් පීලි පන්වා සිරිසේන හා වික‍්‍රමසිංහ නායකත්වය දෙන වත්මන් පාලනය බලයට ගෙන ආහ.

ආන්ඩු මාරුවෙන් ගත වී ඇත්තේ යන්තම් අවුරුදු දෙකකි. පැරනි ක‍්‍රමයට, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාව යටතේ, තව දුරටත් පාලනය කල නොහැකි බව ජනාධිපති සිරිසේන හා ආන්ඩුව නිගමනය කර ඇති බව සිරිසේනගේ යෝජනාවේ තේරුම යි. පාර්ලිමේන්තුවෙන් පිටස්තර පාලන ක‍්‍රමයකට මාරු වීමට හා ඒ සඳහා කොන්දේසි සකස් කිරීමට--එනම් ආඥාදායක පාලනයකට මාරු වීමට--ජනාධිපති හා ආන්ඩුව බැරෑරුම්ව කල්පනා කරමින් සිටියි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව, යුද අපරාධවලින් කෙලවර වූ යුද්ධයට නායකත්වය දුන් හිටපු හමුදාපතිවරයා “රට විනය ගත කිරීමට” සුදුස්සෙකු ලෙස තෝරා ගැනීම ආන්ඩුවේ සූදානම සංකේතවත් කරයි.

රාජපක්ෂ 2015 දී නියමිත කලට පෙර මැතිවරනයක් කැඳවා බලයට පත් වීමට තැත් කලේ, තමන්ට එරෙහි ව පුපුරා ඒමට නියමිතව තිබූ මහජන විරෝධය තලා දමන අධිරකාරිවාදී පාලනයක් තහවුරු කර ගැනීමටයි. චීනය සමග ඔහුගේ සමීප සම්බන්ධකම් බිඳ තම භූ දේශපාලන උවමනාකම්වල කක්ෂයට ලංකාව ගැනීම සඳහා වොෂින්ටනය කොලඹ පාලන තන්ත‍්‍රය මාරු කිරීමට තීන්දු කර තිබූ තතු යටතේ පාලක පන්තියේ සැලකියයුතු කොටසක් සිරිසේන වටා එක්ව ඊට උර දුන්හ. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පාලනය කල නොහැකි අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ දැන් තමන්ගේ කන්ඩායම මෙහෙයවා ගෙන වොෂින්ටනයේ ආධාරය ද පතමින් බලයට ඒමට කැස කවන්නේ පෙරලිකාරී වන කම්කරු පන්තිය තලා දමන පාලනයක් ඇටවීම සඳහා යි.

ලංකාවේ පාලක පන්තිය මෙලෙස ආඥාදායක පාලනයකට බැල්ම හෙලීමට මූලිකම හේතු දෙකකි.

ඉන් පලමුවැන්න, ලෝක ධනවාදය බිඳ වැටීමක් තුලින් ගමන් කරන සන්දර්භය තුල මිරිකෙන ලංකාවේ කේඞෑරි ධනපති ක‍්‍රමයේ අර්බුදය උග‍්‍ර වීමයි. පරපුටු මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාකම් ඉටු කිරීම සඳහා මේ අර්බුදය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක ආධිපත්‍ය තහවුරු කිරීමට මිලිටරි හඹා යාමක යෙදී සිටින අතර අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් තම අධිකාරිය පතුරුවා ගැනීමට මිලිටරි බලය ගොඩ නගමින් සිටියි. මෙම ක්‍රියා මගින් අධිරාජ්‍යවාදය තුන්වන ලෝක යුද්ධයක් තුලට ලෝකය ඇද දැමීමේ තර්ජනය මතුවී ඇත.

ලංකාවේ පාලක පන්තිය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ කොන්දේසි ක්‍රියාවට දමමින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ අයිතීන් කලා දැමීම සිදු කරන්නේ මෙම ධනපති අර්බුදය තුල ය. රාජපක්ෂ ආන්ඩුව නැවතූ තැනින් පටන් ගෙන වඩවඩා උග‍්‍ර වන ප‍්‍රහාර එල්ල කිරීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමයි. මෙම ප‍්‍රහාර ජාත්‍යන්තරව ම ජීවන හා සමාජ අයිතීන් තලා දැමීමට ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයක කොටසකි.

දෙවන හේතුව, කම්කරු පන්තිය දේශපාලන ක්ෂේත‍්‍රයට අවතීර්න වීමේ කොන්දේසි නිර්මානය වීමයි. තෙල් සංස්ථාවේ වැඩ වර්ජනය ජාතිකවාදී ඉල්ලීම් මත වෘත්තීය සමිති විසින් කැඳවුම් කෙරුනත් තෙල් සැපයුම මුලුමනින් ඇන හිටවූ එම කාර්මික ක්‍රියාව කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය ඇඟවුම් කරමින් ආන්ඩුව ද පාලක පන්තිය ද කම්පනයට පත් කලේ ය.

මේ යුගයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය තුල විභව විප්ලවවාදී ශක්තිය එලෙස ඇඟවුම් කෙරුනේ කම්කරු පන්තිය දියවී ඇතැයි ගරහන නව සම සමාජ, එක්සත් සමාජවාදී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂ වැනි ව්‍යාජ වම්මුන්ගේ හා ධනපති විශ්ලේෂකයන්ගේ නරුමාලාපවලට බලගතු පහරක් එල්ල කරමිනි. එම විභවය මාක්ස්වාදී දේශපාලනයෙන් සන්නද්ධ කෙරුනු කල්හි, ගම්බද දුගීන් හා තරුනයන් රැලි කර ගනිමින් ලාභ පිපාසිත ධනපති ක‍්‍රමය පෙරලා දමන සමාජවාදී විප්ලවයට පෙරමුන ගැනීමට කම්කරු පන්තිය අත්‍යන්තයෙන්ම සමත් ය.

ගෝලීය ධනවාදයේ අර්බුදය සමාජ ප‍්‍රතිවිප්ලවයක හා ලෝක යුද්ධයක කොන්දේසි ඇති කර තිබෙනවා පමනක් නොව රටක් රටක් පාසා කම්කරු පන්තියේ විප්ලවවාදී පෙර ගමන ද ඇති කරමින් තිබේ.

හොර වම්මු ද වෘත්තීය සමිති ද මෙම විප්ලවවාදී ශක්තිය මොට කර ධනපතියන්ට බලපෑම් දැමීමේ වැඩ පිලිවෙලක කම්කරුවන් හිර කිරීමට ක්‍රියා කරති. සිරිසේනගේ විසකුරු යෝජනාව නිවේදනය වූ සැනින් වෘත්තීය සමිති නිලධරයෝ ව්‍යාජ සටන්කාමිත්වයක් මවාගෙන බෙරිහන් දෙති.

ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) හා වරායේ වෘත්තීය සමිති නායකයන් මෙම පූච්ඡානම් දෙඩවීමේ යෙදුනු එක කන්ඩායමකි. ලංවිම සමිති නායකයා ආන්ඩුවේ පියවරයන්ට කම්කරුවන් බය නැතැයි කී අතර වරාය සමිති නායකයා සඳහන් කලේ ෆොන්සේකාගේ තර්ජනය කරත්ත රෝදයට අහුවුනු පුහුල් ගෙඩියක් මෙන් චප්ප වනු ඇති බවයි. ජවිපෙ අන්තර් සේවා සංගමයේ නායක වසන්ත සමරසිංහ, ෆොන්සේකා නායකත්වය දුන් මිලිටරි ජයග‍්‍රහනයට ආවඩමින් එහි “ගෞරවය රැක ගෙන” පැත්තකට වී සිටින ලෙස ආයාචනා කලේ ය. පූච්ඡානම් දෙඩවිල්ලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අතිරේක ලේකම් හරිත අලුත්ගේ එකතු වූයේ මර්දනයට බය නැතැයි ප‍්‍රකාශ කරමිනි.

මේ පුහු බිරුසන්දීම් කම්කරු පන්තිය, වැඩෙන අන්තරායක් ඉදිරියේ නිද්‍රෝපගත කිරීමට එල්ල කර ඇත. ඒ ධනපති ආන්ඩුව නැත්නම් මේ ධනපති ආන්ඩුව බලයට ගෙන ඒමට උඩින් හා යටින් කරබදු වූ වෘත්තීය සමිති හා නිලධරයන්ගේ ක්‍රියා කලාපය තුඩු දෙනු ඇත්තේ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර ආඥාදායක පාලනයකට බිලි දීමට යි. ධනපති ගැති වෘත්තීය සමිති නිලධරය හා ව්‍යාජ වම්මු නියෝජනය කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ උවමනාකම් ය.

ධනපති ආන්ඩුවෙන් එල්ල වී ඇත්තේ දේශපාලන තර්ජනයකි. ජීවන හා සේවා කොන්දේසි තලා දමමින් ඉදිරිපත් කර ඇති දේශපාලන අනතුර පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ දේශපාලන වැඩ පිලිවෙලකින් ම පමනකි.

කම්කරුවන් වෘත්තීය සමිතිවල හා ඊනියා වම්මුන්ගේ ධනපති ගැති වැඩපිලිවෙල ප‍්‍රතික්ෂේප කල යුතු ය. ඔවුන් ධනපති පන්තියේ සෑම කොටසකින් ම බිඳී තමන්ගේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ගත යුතුය. වැඩපොලවල හා වතුවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම වෘත්තීය සමිති වල යකඩ සැට්ටය බිඳ ස්වාධීන පන්ති ශක්තිය මෙහෙයවා ගැනීම සඳහා සංවිධානයවීමට අත්‍යාවශ්‍ය ය.

ඒ සියල්ල මත්තේ, ධනපති කොම්පැනි, විශාල වතු සමාගම් හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල ද විදේශ නය නිෂ්ප‍්‍රභා කිරීම ද ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගයට සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාවය දැන් මතු වී තිබේ. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කරන්නේ දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ය.

මෙම සටන සඳහා නායකත්වය දීමට සමාජවාදී සමානතා පක්ෂය විප්ලවවාදී පක්ෂය ලෙස පුලුල්ව තහවුරු කිරීමට එක් වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

x අප්‍රේල් 30 දා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් පවත්වන ඔන්ලයින් මැයි දිනයට එක් වන්න.

x මැයි 1 දා සවස 3ට සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ කොලඹ නව නගර ශාලාවේ දී පවත්වන මැයි දින රැලියට එක් වන්න.

කේ. රත්නායක

Share this article: