සයිටම් විරෝධී පාගමන සහ රැස්වීම: අධ්‍යාපන කප්පාදුවට එරෙහි මහජන විරෝධය අවමංගත කිරීමේ දැනුවත් ව්‍යායාමයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ එස්. අජන්තන් විසිනි, 2017 අප්‍රේල් 11

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය “ජනසතු” කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ් සංගමය (රවෛනිසං) අප්‍රේල් 7 වෙනිදා එක්දින වර්ජනයක් සහ උද්ඝෝෂනයක් පැවැත්වීය. හදිසි ප‍්‍රතිකාර අංශයන්හි, ලමා රෝහල් සහ ලමා වාට්ටුවල, මාතෘ රෝහල් සහ ගැබිනි වාට්ටුවල සහ මහරගම පිලිකා රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් හැර දිවයින පුරා අනෙකුත් සියලුම වෛද්‍යවරු වර්ජනයට සහභාගී වූ අතර එදින කොලඹ පැවති පාගමනට සහ විරෝධතා රැලියට වෛද්‍යවරුන්, වෛද්‍ය පීඨ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු 6,000 ක් පමන සහභාගි වූහ.

උද්ඝෝෂනය සඳහා සහභාගි වූවන්ගෙන් කොටසක්

සයිටම් අහෝසි කරනු, අධ්‍යාපනය සහ සෞඛ්‍යය විකුනාගෙන කෑම නතර කරනුු, රෝගී ජීවිත අනතුරේ හා සයිටම් ජනසතු කරනු ආදී සටන් පාඨ පුවරු ඔසවාගෙන හා එම සටන් පාඨ හඬ නගමින් කොලඹ ජාතික රෝහලේ සිට කොටුව දුම්රියපල දක්වා ඔවුන් පාගමනේ යෙදුනි.

උද්ඝෝෂනය සඳහා දහස් ගනනක සහභාගිත්වය නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය කප්පාදු කිරීමේ ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහිව වැඩෙන පුලුල් මහජන විරෝධයක ප‍්‍රකාශනයකි. එහෙත්, උද්ඝෝෂනයේ මූලිකත්වය ගෙන සිටින රවෛනිසං සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබ) දක්ෂිනාංශික හා ව්‍යාජ-වාම දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සමග සයිටම් විරෝධී ජන පවුර නමින් ගොඩනගා ගෙන තිබෙන ප‍්‍රතිගාමී පෙරමුනේ අරමුන වැඩෙන මහජන විරෝධය දේශපාලනිකව අවමංගත කර ආන්ඩුවේ පුද්ගලීකරන හා ආර්ථික කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තියෙන් හා සිසුන්ගේ දේශපාලන අභියෝගයක් එල්ලවීම වැලකීම ය.

මෙම පෙරමුනට සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ජාතික හෙල උරුමය (ජහෙඋ), ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු පක්ෂ දහයක් සහ ලංකා ගුරු සංගමය, දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති සම්බන්ධ වී සිටිති.

ජවිපෙ, එහි වෘත්තීය සමිති සහ පෙසප මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වක‍්‍රව සහයෝගය දුන් අතර වර්ගවාදී ජහෙඋ සම්මුති ආන්ඩුවේ පාර්ශ්වකරුවෙකි. ලංකා ගුරු සංගමය හා ආන්ඩුවේ සෘජු පන්දම්කාර පක්ෂයක් වන ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) ඊනියා වාම කන්ඩායමේ අධිකාරිය සහිත ආන්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය ද ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදී වෘත්තීය සමිති පෙරමුනේ කොටස්කරුවෝ ය.

ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට පාර්ලිමේන්තුව තුල අත උස්සන ජාහෙඋ වැනි එහි කොටස්කාරයන් සමග ගසාගෙන ඇති මේ පෙරමුන ම, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යය ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයට විරුද්ධව සටන් කිරීමට උවමනාවක් ඇති වෛද්‍යවරුන්ට සහ සිසුන්ට අටවා ඇති මාරක උගුලකි.

වෘත්තීය සමිති 200 ක් පමන සහයෝගය දීමට ඉදිරිපත් වී ඇති බවත් ඔවුන් ද වැඩ වර්ජනය කර උද්ඝෝෂනයට සහභාගිවන බව එහි සංවිධායකයන් කලින් කර තිබුන නිවේදනය පචයකි. එබඳු වර්ජනයක් හෝ ඒවායේ සාමාජිකයන්ගේ සහභාගිත්වයක් තිබුනේ නැත. විශේෂයෙන් ම, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට (ජාවෘසම) සම්බන්ධ සමිති සියල්ලම වර්ජනය කර උද්ඝෝෂනයට සම්බන්ධ වන බව එහි සභාපති කේ.ඩී. ලාල්කාන්ත ප‍්‍රකාශ කර තිබුනි. එසේ සිදු නොවුනේ උද්ඝෝෂනය 6 වෙනිදා කිරීමට කලින් බලා පොරොත්තු වූ නමුත් එය පසු දිනට යොදා ගත් නිසා බව පවසමින් එම ප්‍රෝඩාව වසන් කිරීමට ලාල් කාන්ත රැස්වීමේ පැවැත්වූ තම කතාව තුල අසාර්ථක උත්සාහයක යෙදුනි.

උද්ඝෝෂන රැලිය ඇමතු හැම කථිකයෙක් ම ආන්ඩුවේ කප්පාදුවට විරුද්ධව පොදු අරගලයක හෝ දේශපාලන ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය ගැන වචනයකුදු කතා කලේ නැත. සියලුම කථිකයන්ගේ කතාවල පොදු සාරය වුයේ හුදෙක් සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ උද්ඝෝෂනයකට වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ විරෝධය කොටු කිරීමත්, සෞඛ්‍යය සහ අධ්‍යාපන කප්පාදුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙතේ කොටසක් බව වසන් කිරීමත් ය.

රැලිය ඇමතු රවෛනිසං අනුරුද්ධ පාදෙනිය සභාපති “දේශපාලන උන්මත්තකයන් නිසා අපට පාරට බැහැල උද්ඝෝෂනය කරන්න සිදුවෙලා තියෙන” බව කීවේය. ඔහුට අනුව සයිටම් ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙතේ කොටසක් නොව, “රටේ සදාචාරය බල්ලට යාමේ” ප‍්‍රතිවිපාකයකි. ”අපව පාරේ තියල සටන පරාජය කරන්න “ බැරි බවත් සටන ජයග‍්‍ර‍්‍රහනය දක්වා පෙරට ගෙන යන” බවටත් කයිවාරු ගැසූ ඔහු සයිටම් “ජනසතු කරන” ලෙස ජනාධිපති ගෙන් ඉල්ලා සිටියේ ය.

උද්ඝෝෂනයෙන් පසු එදින සවස ජනාධිපති ඇතුලු සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී ජනතාවගේ රෝගී අයිතිවාසිකම් වලට යුක්තිය ඉටුකිරීමට ජනාධිපති පොරොන්දු වූ බවත් ඊලඟ කමිටු රැස්වීමේ දී ඔහු ඒ සඳහා ”නිර්භීත” තීන්දුවක් ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් පාදෙනිය මාධ්‍යයන්ට පැවසීය.

රවෛනිසං පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට විරුද්ධ නැත

රජයේ ආයතනයන්හි මුදල් අයකොට අධ්‍යාපනය ලබා දීමට ද එය විරුද්ධ නැත. මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ කොතලාවල ආරක්ෂක ඇකඩමියේ මුදල් අය කෙරෙන උපාධි පාඨමාලා ආරම්භ කරන විටත් සයිටම් පිහිටුවන විටත් රවෛනිස ඊට විරුද්ධ වූයේ නැත. පුද්ගලික රෝහල් පිහිටුවීම පිලිබඳව හෝ රජයේ සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ද රවෛනිසං විරුද්ධ නැත.

එය ඉල්ලා සිටින්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා නිසි ප‍්‍රමිතියක් තහවුරු කරන ලෙසය. ඒ සඳහා අවම ප‍්‍රමිතියක් නියම කරන ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රවෛනිසං ආන්ඩුවට යෝජනා කර ඇත. සයිටම් “ජනසතු” කරන ඉල්ලීමක් රවෛනිසං අලුතෙන් පෙරට දමා ගෙන ඇත්තේ පුද්ගලීකරනයට ආවැඩීමේ එහි පිලිවෙතට වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ විරුද්ධත්වය එල්ල වූ බැවිනි.

ජාවෘසම සභාපති ලාල්කාන්තගේ කතාව විශේෂයෙන් යොමුවූයේ පන්ති සටන වෙනුවට ඊනියා සමාජ බලවේගයන්ගේ සටන ආදේශ කිරීමටයි. “දේශපාලන පක්ෂ වලට සටන් කරන්න බැහැ. ඒවාට පුලුවන් මත පලකරන්න විතරයි. සටන් කරන්නේ සමාජ බලවේග. ශිෂ්‍යයෝ එබඳු බලවේගයක්. අද මේ සටනට වෘත්තීය සමිති ඇතුලු වෙලා. ඒ නිසා මේ සටන ජයග‍්‍රහනයෙන් තොරව කෙලවර වෙන්නේ නැතැ” යි කියූ ඔහු “ආන්ඩුව දනගස්වල බැරිනම් ගෙදර යවල හරි සටන දිනවමු” යයි කයිවාරු ගැසුවේය.

ධනේශ්වර සමාජයේ එකිනෙකාට අභිමුඛ ප‍්‍රධාන පන්තීන් දෙක ධනපති පන්තිය සහ කමිකරු පන්තිය බවත් ධනේශ්වර ප‍්‍රහාරයන්ට එරෙහිව සටනේ නායකත්වය සඳහා ඓතිහාසිකව නිර්නය කෙරී ඇති පන්තිය වන්නේ කම්කරු පන්තිය බවත් යට ගසා ඊනියා සමාජ බලවේග නියෝජනය කරන පක්ෂ සහ සංවිධානයන්ගෙන් යුත් පුලුල් ධනපති පෙරමුනක් තුල පන්ති සටන දියකර හැරීම ලාල්කාන්ත ගේ උත්සුකයයි.

වාචාල කතා ඇද බෑමට සූරයන් වන ජවිපෙ නායකයන් කම්කරු පන්ති සටන් පාවාදීම සම්බන්ධයෙන් කුප‍්‍රකටය. ඒ නිසාම දිය වී ඇති ජවිපෙ සමාජ පදනම් යලි ගොඩ නගා ගැනීමට එය උත්සාහ කරන්නේ ආන්ඩුවට විරුද්ධව වැඩෙන කම්කරුවන්ගේ ශිෂ්‍යයන්ගේ හා දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනයාගේ වෛරය ගසාකෑමෙන් ය.

පෙසප දේශපාලන මන්ඩල සභික චමීර කොස්වත්ත කතාකරමින් මේ වනවිටත් ජනතාව අතර සටනට “ජයග‍්‍රහනයක්” ලැබී තිබෙන බව ප‍්‍රකාශ කලේ ය. “මෙතරම් සටනක් කරලත් දිනන්න බැරි වුනොත් බරපතල අවාසියක්. කැඳවිය හැකි සියලු බලවේග කැඳවල සටන් කල යුතු” බව ද ඒ සඳහා “ඉදිරියෙන් ම ඉන්න” බව ද ඔහු කීවේය.

කොස්වත්ත ගේ “සියලු බලවේග” ලාල්කාන්තගේ “බලවේගයන්” මය. ඒවානම් දක්ෂිනාංශික හා ව්‍යාජ වාම දේශපාලන පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති නිලධරය හා බෞද්ධ සංඝයා ඇතුලු කම්කරු පන්තියට හතුරු ප‍්‍රතිගාමී සමාජ සහ දේශපාලන බලවේගයන්ය. සයිටම් අහෝසි කිරීමට “සියලු බලවේග” සමග ඒකාබද්ධවීම නමින් කොස්වත්ත සහ පෙසපත්, ඔවුන් විසින් මෙහෙයවනු ලබන අවිශිබමයත් කරන්නේ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ශිෂ්‍යයන්ගේ හා වෛද්‍යවරුන්ගේ සටන මෙම ප‍්‍රතිගාමී බලවේග වල අත යටට තල්ලු කර දැමීමට ය.

පෙබරවාරි මාසයේ සයිටම් අහෝසිකිරීමේ නමින් පෙසප හා අවිශිබම නයකයකයෝ දක්ෂිනාංශික පක්ෂ සමඟ නුගේගොඩ දී වේදිකාරූඩ වූ හ. කොස්වත්ත දැන් යෝජනා කරන්නේ ඒ පෙරමුන තවත් පලල් කිරීමටය.

අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර “සටන හුදකලා වෙනකම් ආන්ඩුව බලාගෙන ඉන්න” බවත් “එහෙම වෙන්නේ නැහැ. මේ බලවේග තීන්දු කරලයි තියෙන්නේ සටන දිනනලයි නවත්වන්නේ කියල. අවුරුද්දෙන් පස්සේ සටන තවත් පුලුල් කරන” බවත් කීවේය. දවස් 400 ට වැඩි කාලයක් වෛද්‍ය පීඨ හයක් ඉදිරිපිට සත්‍යග‍්‍රහයකට ශිෂ්‍යයන් කොටුකර තැබීම ඔහුට අනුව විරෝදාර අරගලයකි. ඇත්තට ම, එය සටනක් නොව, ශිෂ්‍යයන් දුර්මුඛ කර අධ්‍යාපනයට හා සෞඛ්‍යයට එල්ල වන ප‍්‍රහාරයට එරෙහි සටනින් ඔවුන් ඉවතට තල්ලු කිරීමේ ප‍්‍රතිගාමී ව්‍යායාමයකි.

නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යය ට එල්ල වන ප‍්‍රහාරය සමාජ සුබසාධන කප්පාදුව හා රාජ්‍ය ආයතන හා සේවාවන් ප‍්‍රතිව්‍යූුහගත කිරීම හා පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙතේ කොටසකි. බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය හා යලි යලිත් මතු වූ කම්කරු පන්තියේ විරෝධය නිසා ප‍්‍රමාද වූ එම ආර්ථික ප‍්‍රතිසංස්කරන වහාම ක්‍රියාවට දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) ආන්ඩුවට නිර්දේශ කර ඇත.

ධනවාදී ලෝක ආර්ථිකයේ ගැඹුරුවන අවපාතයේ වාසුලියට අසුවී බරපතල ආරථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුවට එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඊට එරෙහිව පැන නගින කවර හෝ විරෝධයක් තලා දැමීමත් හැර වෙනත් විකල්පයක් නැත.

Share this article: