සයිටම් වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඉදිරියටම ගෙන යන බව ජනාධිපති පවසයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 27

පසුගිය බ‍්‍රහස්පතින්දා ජනාධිපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුවකදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ආන්ඩුවේ තීන්දුව ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කලේ එම ආයතනය දැනට පවතින තනි පුද්ගල හිමිකාරිත්වයෙන් බැහැර කර කොටස් වෙලඳපල හරහා ආයෝජනය කෙරෙන, “පෞද්ගලික එහෙත් සාමූහික” හිමිකාරිත්වයක් සහිත ආයතනයක් ලෙස දිගටම පවත්වාගෙන යන බවයි.

“තනි පෞද්ගලික හිමිකාරිත්වය” වෙනුවට “සාමූහික එහෙත් පෞද්ගලික හිමිකාරිත්වය” පිහිටුවීමෙන්, තනි පුද්ගලයෙකුගේ අධිකාරවත්භාවය ඉවත්ව, සමාජ සාධාරනය ඉටුවෙතැයි ඇඟැවුම් කෙරෙමින් සිරිසේන කරන මෙම ප‍්‍රකාශයන්හි සැබෑ අරමුන වන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැගී ඇති විරෝධය යටපත් කොට වෙනත් රූපාකාරයකින් එහි පුද්ගලික හිමිකාරිත්වය පවත්වාගෙන යාමට ඉඩ සැලසීමයි.

ආන්ඩුව තම පුද්ගලීකරන පිලිවෙත දශමයකින් හෝ වෙනස් නොකරන බව සිරිසේනගේ සෑම ප‍්‍රකාශයක් තුලම අඩංගු කෙරී පැවතින. “පිලිගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන අපේ රටේ තිබිය යුතුයි කියන එක අපි ප‍්‍රතිපත්තියක් විදියට පිලිගන්නවා” යැයි ඔහු පැවසූ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය නිර්බාධිතව ඉදිරියට ගෙන යාම සඳහා සම්පූර්න අනුමැතිය ලබා දෙමින් “මේ දක්වා වෛද්‍ය පීඨයක් ඇරුනු කොට අනෙක් සියලු පෞද්ගලික අධ්‍යාපන අංශ මේ රටේ තිබෙන” බව සඳහන් කලේය.

“නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන අතරේ” රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කල යුතු බවට සිරිසේන පවසයි. ඊට හේතු ඉදිරිපත් කරමින් ඔහු පවසන්නේ රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලුවීමේ ඉඩප‍්‍රස්ථාව නොලබන සිසුන් සඳහා අවස්ථාව සලසා දිය යුතු බවයි.

වාර්ෂිකව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන 150,000ක පමන ශිෂ්‍ය සංඛ්‍යාවක් අතරින් 25,000ක් පමනක් රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලත් වීම ගැන “විස්සෝප” වන අතර ඉතිරි සිසුන්ගේ දෙමාපියන් “කන කර විකුනා, ඉඩ කඩම් විකුනා දරුවන් පිට රට [අධ්‍යාපනයට] යවන බැවින් “ඒ පැත්තෙන් හිතා” කටයුතු කල යුතු බව සිරිසේන පැවසීය.

මෙම ප‍්‍රකාශයන් අංශුවක් පාසා වංචනික වේ. ලංකාවේ සියලු ධනේශ්වර අනුප‍්‍රාප්තික ආන්ඩු අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල රජයේ වියදම් කප්පාදු කිරීමෙහි යෙදී සිටි අතර පැවති රාජපක්ෂ ආන්ඩුව විසින් එය තීව‍්‍ර කරද්දී සිරිසේන එම ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් වූයේය. එමෙන්ම තමන් ජනාධිපති බවට පත් වීමෙන් පසු පිහිටවූ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රථම අයවැයෙන් අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් පෙර නොවූ විරූ අන්දමට රුපියල් බිලියන 109 කින් කපා දැමීමෙන් පසු “නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම” ගැන ඔහු කරන කතා උත්ප‍්‍රාසජනකය.

එම හමුවට සහභාගී වූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, අධ්‍යාපනයේ පුද්ගලීකරනය පිලිබඳ ඉදිරි සැලසුම් ප‍්‍රකාශයට පත්කරමින් පැවසුවේ සයිටම් ආයතනය පරිපාලනය වන ආකාරය පිලිබඳ නිසි නිර්දේශ සකස් කරගත් විට එම නිර්දේශයන්, ඕස්ට්‍රේලිියාවේ මොනෑෂ් සහ ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාල විසින් මෙරට පිහිටුවීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් පරිපාලනය කිරීමේ දී ද යොදාගත හැකි බවයි.

2008 දී පුපුරාගිය ලෝක මුල්‍ය අර්බුදයෙන් ඉක්බිති ශ‍්‍රී ලංකාව ද ඇතුලු ලොව පුරා පාලක පන්තීහු කම්කරු පන්තිය තම අතීත අරගල තුලින් දිනාගත් සමාජමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සියල්ල උදුරාගනිමින් සිටිති. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සේවා දැවැන්තව කප්පාදු කරමින් ඒවා ලාභ ඉපයීමේ ක්ෂේත‍්‍ර බවට පත් කිරීම සියලු ආන්ඩු විසින් අනුගමනය කරන ප‍්‍රතිපත්තියයි. වත්මන් සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ශ‍්‍රී ලංකාව තුල කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් අත් විඳින්නේ මීට වෙනස් තත්වයක් නොවේ.

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සයිටම් ආයතනය පිහිටුවීම සහ එය පවත්වාගෙන යාම ඉහත සංසිද්ධියේ කොටසකි. ගැඹුරුවන ලෝක ධනේශ්වර අර්බුදය හේතුවෙන් වඩාත් තීව‍්‍ර වන ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ආන්ඩුවට අන පනවා ඇත්තේ රාජ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කිරීමටයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ඇතුලු සුබසාධන සේවා පෞද්ගලිකරනය කිරීම මෙලෙස වේගවත් කෙරෙන්නේ එම නියෝගයන්ට අනුකුලවයි.

ජනාධිපති සිරිසේනගේ ප‍්‍රකාශයෙන් යලිවතාවක් තහවුරු කෙරෙන්නේ බලපෑම් දැමීමෙන් ආන්ඩුවේ එම පිලිවෙත ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරමින් සිසු විරෝධතාවයන් හි මුදුනට නැග සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයත් (අවිශිබම) එයට දේශපාලන නායකත්වය සපයන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) ගෙනයන විරෝධතා දේශපාලනයේ බංකොලොත්කමයි.

සයිටම් විරෝධී උද්ඝෝෂනයේ පෙරමුන ගෙන සිටින අනෙක් කන්ඩායම වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), අවිශිබම සහ පෙසප මෙන්ම ආන්ඩුවේ ක‍්‍රියාපිලිවෙත් ධනේශ්වර අර්බුදයේ ප‍්‍රතිපලයක් බව සිතාමතා වහංගු කරයි. මොවුන්, සයිටම් පිලබඳ ආන්ඩුවේ තීරන සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන ඇමතිවරුන්ගේ දුෂ්ටකමේ ප‍්‍රතිඵලයක් ලෙස නම් කරමින් අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි විරෝධය ධනපති ක‍්‍රමයට එරෙහි විරෝධයක් ලෙස වර්ධනය වීම වලකාලීමේ දැනුවත් ප‍්‍රයත්නයක යෙදීසිටී. එපමනක් නොව, අධ්‍යාපනය හෝ සෞඛ්‍යය පෞද්ගලීකරනය සම්බන්ධයෙන් තමන්ට කවර හෝ විරුද්ධත්වයක් නොමැති බව රවෛනිස කිහිපවරක්ම ප‍්‍රකාශකර තිබේ.

“ජනාධිපතිවරයා මේ පිලිබඳ සාධාරන විසඳුමක් ලබාදෙනු ඇති” බව රවෛනිස දිගටම වපුරන මිත්‍යාවයි. සිරිසේන විසින් සයිටම් ආයතනය කොටස් වෙලඳපල ආයෝජනයක් බවට පත් කරන බවට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව රවෛනිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාගේ තීන්දුව “සාධනීය තත්වයක්” ලෙස හුවා දැක්වීය.

ජනාධිපතිවරයා ගැටලුවට සාධාරන විසඳුමක් දීමට උත්සාහ කරන නමුත් එම උත්සාහය සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන ඇමතිවරුන්ගේ බලපෑම යටතේ ව්‍යර්ථ වන බව රවෛනිස ඇදබාන බේගලයයි. රවෛනිස සහකාර ලේකම් නලින්ද හේරත් පවසන්නේ “මෙම තීරනයට ඇමතිවරුන් මැදිහත් වී තිබීමට ඉඩ ඇති නිසා මෙම තීරනය ජනාධිපතිවරයා විසින්ම කරන ලද්දක්දැයි තමන්ට විශ්වාස නොමැති බැවින් එය නිල වශයෙන් ප‍්‍රකාශ කෙරෙන තුරු තමන් එම තීරනය පිලිනොගන්නා” බවයි.

ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් පසු අවිශිබමය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ “ජනාධිපතිගේ තීන්දුව තුලින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය විකුනන පදනම කිසිසේත් අහෝසි වී නොමැති නිසා තමන් එම තීරනයට එකඟ නොවන” බවයි. සයිටම් ආයතනය අහෝසි කිරීම හෝ සම්පූර්නයෙන් අහෝසි කිරීමෙන් මෙපිට විසඳුම් තමන් පිලිනොගන්නා බව පුන පුනා කියන අවිශිබම නායකත්වය ඊට එරෙහිව “හැකිතාක් පුලුල් බලවේග” ගොඩනැගීම තුලින් ආන්ඩුවට බලපෑම් දමා මෙල්ල කරගැනීමේ නිස්සාර විරෝධතා උද්ඝෝෂනයක් පසුපස කම්කරුවන් සහ සිසුන් ගාල් කිරීමේ යෙදී සිටියි.

ජනාධිපතිගේ තීරනයට විරුද්ධ වීමට හේතු දක්වමින් මාධ්‍ය සාකච්ඡාවේදී වීරසේකර පැවසූ ලොකුම බේගලය වන්නේ “සටන් කරන බලවේග සියල්ල ලාභ අපේක්ෂාවෙන් අධ්‍යාපනය සෞඛ්‍ය විකුනන්න එපා” කියූ වගයි. එය අමූලික බොරුවක් බව තේරුම් ගැනීම සඳහා සිහිබුද්ධිය ඇත්තෙකුට අවිශිබමය සිය සයිටම් විරෝධී වේදිකාවට නග්ගාගෙන සිටින කන්ඩායම් දෙස දෙවරක් බැලිය යුතු නැත. එය ලාභය මත පදනම්වූ ධනේශ්වර ක‍්‍රමයේ මුරබල්ලන් වන වෘත්තීය සමිති නායකයින්, අන්ත වර්ගවාදීන් සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරනය සඳහා රාජපක්ෂ තැබූ සෑම පියවරකටම දායකවූවන්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂයේ කන්ඩායම් වලින් සමන්විත ප‍්‍රතිගාමී සන්ධානයකි.

අවිශිබම, පෙසප සහ රවෛනිස විසින් මෙලෙස ගෙනයන පුහු විරෝධතා ආන්ඩුවේ පෞද්ගලීකරන ක‍්‍රියාවලියට අංශුමාත‍්‍රික අභියෝගයක් නොකෙරෙන අතර එම විරෝධතාවයන් තුල උත්සාහ දැරෙන්නේ අධ්‍යාපනය පුලුල් සමාජ අයිතියක් ලෙස දිනාගත හැක්කේ සමාජවාදී ප‍්‍රතිපත්ති උදෙසා සටන්වදින කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක් හරහා පමනක්ය යන අවබෝධය වෙත කම්කරු පන්තිය සහ ශිෂ්‍යයන් ලඟාවීම වලකාලීමටයි.

Share this article: