නව මූල්‍ය බිඳ වැටීමක් පිලිබඳ අනතුරු ඇඟවීම් හමුවේ ෆෙඩරල් මහ බැංකු අධිපති ජැක්සන් හෝල් සමුලුවේදී මිත්‍යාවන් වපුරයි

Amid warnings of a new financial crash, Fed Chairwoman promotes illusions at Jackson Hole conference

නික් බීම්ස් විසිනි ,2017 අගෝස්තු 26

වයෝමිං ජැක්සන් හෝල්හි මහ බැංකු ප‍්‍රධානීන්ගේ සමුලුව තුල ෆෙඩරල් රිසර්ව් බැංකු අධිපති ජැනට් යෙලන් 25දා කල කථාව සිහියට නංවන්නේ, වසර 12ට පෙර පැවති එවන් සමුලුවේ සිදුවීම්ය. එහිදී 2008 වසරේ ඇතිවීමට යන ව්‍යසනකාරී මූල්‍ය අර්බුදය පිලිබඳ වඩ වඩාත් සලකුනු මතුවෙමින් තිබින ද ඒවා මුලුමනින්ම නොතකා හැරුනි. මේ වසරේ රැස්වීමෙහි තත්වය ඊට සමානය. එය පැවැත්වුනේ, කොටස් වෙලඳපොලවල උත්පාතයේ තියුනු කඩාවැටීමක් පිලිබඳව අනතුරු ඇඟවෙමින් තිබියදීය.

2005 වසරේ රැස්වීම සංවිධානය කලේ, “දැනමුත්තා” ලෙස සැලකුන එවක ෆෙඩරල් බැංකු ප‍්‍රධානී ඇලන් ග්‍රීන්ස්පෑන්ගේ ජයග‍්‍රහන සැමරීමටය. ඔහුගේ ප‍්‍රතිපත්ති ගෝලීය ආර්ථිකයට සෞභාග්‍යයේ නව යුගයක් උදාකලේ යයි කියන ලදී. එක් අශුභ හඬක් නංවනු ලැබුවේ, එවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) අර්ථශාස්ත‍්‍රඥ රගුරාන් රාජන් විසින්ය. ඔහු පැවසුවේ, ලාභ මුදල් සැපයුම මූල්‍ය අර්බුදයක කොන්දේසි නිර්මානය කරනු ඇති බවයි. එහෙත් ඔහු පසෙකට කර තැබුනි.

මහ බැංකු ප‍්‍රධානී යෙලන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරියෙන් අවසන් වීමට නියමිත අතර ජනාධිපති ට‍්‍රම්ප් කලින් ඇය නැවත පත්කිරීම ප‍්‍රතික්ෂේප කර තිබියදී, මේ වසරේ ඇගේ කථාව, අවසන් එක ලෙස පොදුවේ සලකනු ලබයි.

මේ වසරේ පවතින තතු, සැබවින්ම, වසර 12ට පෙර පැවතුනාට වඩා බොහෝ සෙයින් වෙනස්ය. එම හමුවෙන් පසුව, 1930 ගනන් වල මහා ආර්ථික අවපාතයෙන් ඉක්බිතිව ඇතිවූ දරුනුම මූල්‍යම අර්බුදයට ලෝකය මුහුන පෑවේය. කෙසේ වෙතත් මේ දෙක අතර සමානකම් පවතියි.

යෙලන්ගේ කථාව, තවත් මූල්‍යම ව්‍යසනයකට කොන්දේසි මෝරමින් තිබීම මුලුමනිම නොතකා හරිමින්, 2008 සිදුවීම් යලි ඇතිවීම වැලැක්වීම පිනිස, ෆෙඩරල් මහ බැංකුව ද අනෙකුත් නියාමන බලධාරීන් ද විසින් ගනු ලැබූ පියවරයන්හි සාර්ථකත්වය සැමරීමක් ලෙස සැලකිය හැකිය.

යෙලන් සිය කථාව පටන් ගත්තේ, දශකයකට පෙර අර්බුදය ගැන සඳහන් කරමිනි. ඉන් පසුව ඇය, එතැන් පටන් හඳුන්වාදී ඇති සීමිත නියාමනයන් ආරක්ෂා කරමින් කථා කලාය. එහෙත් ඒවා, දැන් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දී ඇති පුලුල් ප‍්‍රති නියාමන සැලසුම් මගිින් තර්ජනයට ලක්ව ඇත.

ඇමරිකාවේ ද ලෝකය පුරා ද පසුගිය දශකය තුල හඳුන්වා දී තිබෙන පියවර, මූල්‍ය නියාමනය ප‍්‍රවර්ධනය කර තිබේ යයි ඇය පැවසුවාය. “අනාගත මූල්‍ය අර්බුද පිලිබඳ හැකියාව හා ඒවායේ දරුනු ප‍්‍රතිවිපාක යන දෙකම සීමාකර ඇත.”

මෙම ප‍්‍රතිසංස්කරන මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර තිබේ. පහසු කොන්දේසි යටතේ නය ඕනෑ තරම් ලබාගත හැකිය, ආර්ථික කටයුතු වලට ගැලපෙන පරිදි නය දීම වර්ධනය වී ඇත, ඒවා “අද දිනයේ ශක්තිමත් ආර්ථිකයට දායක වන්නේය.”

මෙම “ශක්තිමත් ආර්ථිකය”පවතිද්දී, ඇමරිකාවේ ද ලෝකය පුරා ද මිලියන සිය ගනනක් සාමාන්‍ය වැඩකරන ජනතාව, අර්බුදයට මුලුමනින්ම වගකිව යුතු මූල්‍ය සමපේක්ෂකයින් දැවැන්ත ධන සම්භාරයක් පොදිගසා ගනිද්දී, තමන්ගේ ජීවන තත්වයන් හා සමාජ කොන්දේසි එක දිගටම පිරිහෙලමින් තිබෙන ආර්ථික ක්‍රමයක් කෙරෙහි මෙතරම් නොසංසුන්ව ඇත්තේ හා කෝපයට පත්ව සිටින්නේ මන් ද යන්න පැහැදිලි කරනවා තබා, ඒ ගැන සඳහන් කිරීම වටිනා බව පවා ඇය සිතුවේ නැත.

අනුව මූල්‍ය ක‍්‍රමයේ යලි ගොඩඒමේ හැකියාව ශක්තිමත් කර ඇති අතර බැංකු වඩා සුරක්ෂිතය, “නියාමන පරිමිතයට පිටින් පැන නගින අවදානම් කාර්යක්ෂම ලෙස නිරීක්ෂනය කර විසඳුම් සපයා, අසාර්ථක වීමට තරම් ලොකු වැඩිය” යන ගැටලුව හා පද්ධතිය ද යථා තත්වයට පත්කර තිබේ.

“යලි ගොඩඒගත හැකි අපේ මූල්‍යක‍්‍රමය, මෑත වසරවල වෙලඳපොල කැලඹීම් සිදුවූ අවධීන්වල නිදසුන් බවට පත්වී ඇති පරිදි, දරුනු කම්පන විසුරුවා හැරීමට වඩා උරා ගැනීමට හොඳින් සූදානම් කර තිබේ.”

වසර 12ට පෙර පැවති තත්වය සලකන කල යෙලන්ට, සැබවින්ම මූල්‍ය අර්බුදය ජයගෙන තිබේ යයි පැවසිය නොහැක. සිදුවිය හැකි විනාශයක බලපෑම ගැන මතකය තවමත් මැකී ගොස් නැත. යෙලන්මත් පිලිගත් පරිදි, 2007 ජැක්සන් හෝල්හි රැස්වීමේදී පවා, “මූල්‍ය ක‍්‍රමයේ විෂාධීන් නිසා ඇතිවිය හැකි කඩාවැටීමකට විරුද්ධව පැවතියේ වඩා ශුභවාදී වි මනෝ භාවයකි.”

“අපට නව අර්බුදයක් ඇති නොවේයයි සහතික විය නොහැකි නමුත්, අතීතයේ පාඩම් සිහියේ තබාගන්නේ නම්, මූල්‍ය ක‍්‍රමය හා ආර්ථිකය, අනාගතයේ සිදුවන කුමන හෝ අර්බුදයකින් ඉක්මන් ගොඩඒමක් ද අර්බුද වඩා අඩුවීමක් ද පිලිබඳව බලාපොරොත්තු තැබීමට අපට හේතු තිබේ. දශකයකට පෙර ඇතිවූ අර්බුද අවධියේ කුටුම්භයන් හා ව්‍යාපාර අත් විඳි වේදනාව මගහැරී යනු ඇත.”

යෙලන්ගේ කථාව, යථාර්තය පිලිබඳ මිත්‍යා වැපිරීමකි. එහි මාතෘකාව වූයේ, “අර්බුදය හටගෙන දශකයකට පසුව මූල්‍ය ස්ථාවරත්වය” යන්නයි. එහෙත් ඇය, ආර්ථික ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් මූල්‍ය වර්ධනයන් ගැන සඳහන් නොකර මගහැරියාය. එනම්, ෆෙඩරල් මහ බැංකුව ද ලොව පුරා අනෙකුත් මහ බැංකු ද ගොඩගසාගෙන ඇති දැවැන්ත මූල්‍ය වත්කම් ය.

මේ ප‍්‍රශ්නයට අතවත් නොතැබීමට යෙලන්ට පැවති එක් හේතුවක් නම්, වෙලඳපොලවල් දැන් කෙතරම් අස්ථාවර ද යත්, මහ බැංකුව සිය වත්කම් තොග අඩුකර ගන්නේ කෙසේ ද යන සැලැස්ම ගැන කරන මොනම ඇඟවුමක් හෝ සමපේක්ෂනය පෝෂනය කරන මුදල් ප‍්‍රවාහය අඩුවීමෙන් මූල්‍ය භීතිකාවක් නිර්මානය කිරීමේ හැකියාවයි.

අර්බුදයට පෙර ඩොලර් බිලියන 800ක් වූ මහ බැංකුවේ ශේෂ පත‍්‍රය, ඩොලර් ට්‍රිලියන 4.5 දක්වා නැග ඇත. ෆෙඩරල්, යුරෝපීය (ඊසීබී) ජපාන හා එංගලන්ත මහ බැංකු හතරේ ඒකාබද්ධ ශේෂපත‍්‍රවල අගය ට්‍රිලියන 13කි. මෙම වත්කම් අගය, මේ රටවල් හතරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 36ට සමානවේ. එය 2007 පැවති අගය මෙන් තුන්ගුනයකි.

බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව පසුගිය වසරේ ලෝකයේ ලොකුම මහ බැංකු 10 වත්කම් අගය ඩොලර් ට්‍රිලියන 21.4 විය. එය පෙර වර්ෂයට වඩා සියයක 10 වැඩිවීමකි.

මධ්‍යම බැංකුවල වත්කම් තොග මේ ආකාරයට ඉහල නැගීම, ගෝලීය ව්‍යාපාර වස්තු වෙලඳපොලවල වර්ධනය සමග සම්පාතවේ. නව මූල්‍ය බුබලක් පිම්බී ඒම පිලිබඳ වැඩෙන කනස්සල්ල මෙයින් උග‍්‍ර කෙරේ.

අංශ ගනනාවකින්ම අනතුරු ඇඟවීම් නිකුත්ව ඇත. ෆෙඩරල් මහ බැංකු කාර්ය මන්ඩලයේ මෑතක පැවති රැස්වීමට සූදානම් කරන ලද වාර්තාව “වත්කම් ඇගයීමට සම්බන්ධ සෙලවීම් නිසා ඇතිව තිබෙන පීඩනය සැලකිය යුතු තරම් වැඩිවී ඇතැයි” සඳහන් කර තිබේ.

මේ සතිය තුල ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලවූ වාර්තාවකට අනුව, “එක්සත් ජනපද කොටස් වෙලඳපොලේ ආදායම් අනුපාතයට වාරික ගැලපීම් අත්කර ගන්නා ලද මිල ගනන් වලට වඩා ඉහලින් ඒවා පැවතුනේ, ඩොට්කොම් උත්පාතයේ උච්ඡ අවස්ථාවේ පමනි. බැඳුම්කර වාසි තවමත් වාර්තාගත පහත මට්ටමක පවතිද්දී අයෝජකයෝ, වැඩි ප‍්‍රතිලාභ සොයමින් අවදානම් සහිත ඔට්ටු ඇල්ලීම් වෙත හැරෙමින් සිටිති.

එවන් අවදානම් සහිත ඔට්ටු යනු, 2008 මූල්‍ය අර්බුදයට තීරනාත්මකව දායකවූ, නය පැහැරහැරීම් ඇපවලට කරන ආයෝජන ප‍්‍රතිලාභ මත ද බිට්කොයින් යන සැඟවුනු මුදල් (cryptocurrency) වැනි සමපේක්ෂනයේ නව රූපාකාරයන් මත ද ඔට්ටු ඇල්ලීමයි.

මේ සතියේ පලවූ බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව, එච්එස්බීසී, සිටිගෘප් හා මෝර්ගන් ස්ටැන්ලි යන ප‍්‍රධාන බැකු තුනක්, ව්‍යාපාරික චක‍්‍රයේ මූලික වැටීමක් පිලිබඳ වැඩි වන සාක්ෂි දරා සිටියි.

වෝල් වීදියේ බෙහෙමොත් අඩවියේ විශ්ලේෂකයින් සලකුනු කලේ, කොටස්, බැඳුම්කර හා භාන්ඩ අතර දිගු කාලීන බැඳීම් අවසන් වෙමින් ඇති බවත්, ආයෝජකයින් තක්සේරු මූලධර්ම හා දත්ත නොසලකා හරින බවත් ය. ඒ සියල්ලේ අර්ථය, කොටස් හා නය වෙලඳපොලවල් වේදනාකාරී වැටීමක අවදානමට මුහුනදී සිටීමය.”

මෝර්ගන් ස්ටැන්ලිහි වෙලඳපොල මූලෝපායඥයෙක් වන ඇන්ඩෘ ෂීට්ස් තත්වය 2005-07 අතර කාලයේ පැවති කොන්දේසි වලට ඈඳයි. එලඹෙමින් ඇත්තේ කුමක්දැයි ඔවුන්ගේ අනතුරු ඇඟවීම් තිබියදී පවා ප‍්‍රමුඛ බැංකු හා මූල්‍ය ආයතන, ව්‍යසනයේ මගෙහිම ගමන් ගන්නා අතර, “සංගීතය වාදනය කෙරෙන තාක් දුරට ඔබ නැගී සිට නැටිය යුතුය, අපි තවමත් නටමින් සිටින්නෙමු” යන 2007දී සිටිගෲප් ප‍්‍රධානියාගේ කුප‍්‍රකට ප‍්‍රකාශ සිහියට නංවයි.

2008 මූල්‍ය අර්බුදය ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මවිතයට පත්කල අතර ඔවුන්, එලඹි සමාජ ව්‍යසනයට මුහුන දීමට සූදානම්ව සිටියේ නැත. දැන් පසුගිය දශකයේ පාඩම් ඉගෙන ගත යුතු අතර ඒ අනුව කටයුතු කල යුතුය. පාලක දේශපාලන හා මූල්‍ය පැලැන්තියට, තමන් අරක්ගෙන සිටින ලාභ පද්ධතියේ ප‍්‍රතිවිරෝධයන්ට කිසිදු පිලිතුරක් නැතුවා පමනක් නොව, ඔවුන්ගේ කටයුතු ඊටත් වඩා දැවැන්ත ව්‍යසනයකට කොන්දේසි සකසයි.

නව මූල්‍ය බිඳවැටීම කඩාපාත් වන්නේ කවදාදැයි කිසිවෙකුටත් අනාවැකි කිව නොහැකි නමුත් ඒ සඳහා කොන්දේසි මෝරා ඇත. එය සමාජ අරගල පුපුරවා හරිනු හා පන්ති ගැටුම් උත්සන්න කරනු ඇති අතර තීරනාත්මක වන්නේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමත් විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමත්ය.

Share this article: