ගූගල් සෙවුම් යන්ත‍්‍රය විසින් ලෝසවෙඅ අසාදු ලේඛනගත කිරීමට එරෙහි පෙත්සමට ලැබුනු අත්සන් ගනන 1,000 ඉක්මවයි

Over 1,000 sign petition to demand end to Google blacklisting of WSWS

අයිසැක් ෆින් විසිනි , 2017 අගෝස්තු 16

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හා අනෙකුත් වෙබ් අඩවි අසාදු ලේඛනගත කිරීම අවසන් කරන ලෙස ඉල්ලමින්, ගූගල් සෙවුම් යන්ත‍්‍රයට බලකරන ලෙස දියත් කලපෙත්සම ලොවපුරා 1,000කට අධික පිරිසක් අත්සන් තබා ඇත. ලෝකයේ මහාද්වීප පහට ම අයත් රටවල් 35ක පුද්ගලයෝ පෙත්සමට අත්සන් තැබූ අය අතර වෙති.

තම සෙවුම් ප‍්‍රතිඵලවලින් අපහාසාත්මක වෙබ් අඩවි වලක්වා, විශ්වාසනීය අන්තර්ගතයන් දිරිමත් කිරීමට යයි කියමින් සෙවුම් ක‍්‍රමලේඛන වෙනස් කරන බව ගූගල්, අපේල් මාසයේ නිවේදනය කලේ ය. මෙම නව ක‍්‍රමලේඛනයෙහි ප‍්‍රතිඵලය වූයේ වාමාංශික වෙබ් අඩවි තුල සෙවුම් ප‍්‍රතිඵල වාරනය කිරීමයි. මෙම වෙනසෙන් වඩාත් ම ප‍්‍රහාරයට ලක් ව ඇති ලෝසවෙඅ, පසුගිය මාස තුනක කාලය තුල ගූගල් වෙතින් එන පිවිසුම් ගනන සියයට 70කින් පහත වැටෙනු අත්දුටුවේය.

විද්‍යුත් තැපෑල හා සමාජ ජාල වෙබ් අඩවි හරහා ලෝසවෙඅ ලිපි පෘථුල ව බෙදා හරිමින්, ගූගල් වාරනයට ප‍්‍රතිචාර දැක්වූ ලෝසවෙඅ පාඨකයන්ගේ සහයෝගය හේතුවෙන්, එහි පාඨක සංඛ්‍යාව, ගූගල් විසින් වාරන නාමාවලිය ආරම්භ කිරීමට පෙර පැවති මට්ටමට යලි ලඟා වී ඇත.

මෙය සිදුවන්නේ, ගූගල් සෙවුම් ප‍්‍රතිඵල තුල ලෝසවෙඅ නව ලිපි පෙන්වීම, එහි නව ක‍්‍රමලේඛනය විසින් දිගින් දිගට ම අවුරාලන තත්ත්වය නො තකා ය.

බොහෝ පාඨකයෝ ලෝසවෙඅ උද්ඝෝෂනයට සහයෝගය පලකරමින් පෙත්සම මත සිය අදහස් පලකර තිබේ.

“ගූගල් විසින් ලෝසවෙඅ වාරනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී හා ව්‍යවස්ථා-විරෝධී යි. ගූගල් විසින් තම සෙවුම් ප‍්‍රතිඵලවලින් ලෝසවෙඅහි අන්තර්ගත ලිපි වාරනය කිරීම වහා ම නවත්වා තොරතුරු නිදහසේ ගලායාමට ඉඩදිය යුතුය. බලය වන්නේ දැනුම යි” යනුවෙන් ස්ටෙෆානි ලීවා ය.

“අප මුහුන දෙන සෑම දේශපාලනික කාරනාවක ම පන්ති ස්වභාවය හෙලිදරවු කිරීමට තීරනාත්මක වන තොරතුරු ව්‍යාාප්ත වීම වාරනය කිරීමට ඉඩදීම, ආඥාදායකත්වය දෙසට වන පිම්මක් නියෝජනය කරයි.” පැනමාවේ ෆිලිප් ලීවේ ය.

“කම්කරු පන්තියට සමස්ත වෛෂයික සත්‍යය ප‍්‍රකාශ කරන හා කම්කරු පන්තියේ මනසෙහි විශිෂ්ටතම අවශ්‍යතාවන් අඩංගු කරගන්නා හෙයින් මම ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් අත්සන් තබමි” යයි අයර්ලන්තයේ ඉයන් ලීවේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට හා අනෙකුත් ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවලට එරෙහි උද්ඝෝෂනය හුදු අතාත්වික බියජනක සිහිනයක් නෙවෙයි, අපි සියලූ දෙනා අවදි විය යුතු යි” යනුවෙන් ජර්මනියේ රොබට් ලීවේ ය.

“අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බලයට හා පාලනයට වඩා සෑමවිට ම වැදගත් සහ ස්වාභාවික” බැවින් තමන් පෙත්සමට අත්සන් තැබූ බව ඩෙන්මාර්කයේ ගිඩියොන් කීවේ ය.

“තමන්ට ප‍්‍රවෘත්ති හා තොරතුරු ලැබිය යුත්තේ කොතැනින් ද යන්න තීරනය කිරීමේ අයිතිය ඇත්තේ මහජනතාවට යි. නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ගූගල් විසින් උල්ලංඝනය කරමින් සිටී; කිසිදු වෙබ් අඩවියක් වාරනය කිරීමට ඔවුන්ට අයිතියක් නැත” යයි ඇම්බර් ලීවේ ය.

“මෙය ලෝක කම්කරු පන්තිය මත එල්ල කරන කෲර, සැලසුම් සහගත හා භයානක ප‍්‍රහාරයක්. මහජනයා තොරතුරු දැනගැනීමෙන් වැලැක්වීමට ආන්ඩු හා මහව්‍යාපාරිකය ක්‍රියාකාරී ව දුස්සන්ධානයට එලඹීමෙන් සංඥා කරන්නේ, ජනතාව පාලනය කිරීමේ පොලිස් රාජ්‍ය ක‍්‍රම කරා ඔවුන් ක්‍රියාශීලී ව හා දැනුවත්ව ගමන් කරමින්” සිටින බව යයි සටහන් කලේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ ඬේවිඞ් ය.

“අපට ගැඹුරු හා විශ්වාසවන්ත තොරතුරු අවශ්‍යයි. මගේ එකම විකල්පය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි” යනුවෙන් පුවටෝරිකෝහි හෙලේනා සහයෝගය පලකරමින් ලීවා ය.

“අන්තර්ජාලය කිසිදු ආකාරයකින් වාරනය කිරීමට මම විරුද්ධ යි. එය සංගත විසින් පාලනය නො කරන නිදහස් අවකාශයක් විය යුතු යි” යනුවෙන් පෘතුගාලයේ රිකාඩෝ ලීවේ ය.

“මින් පෙන්නුම් කරන්නේ ගූගල් සමාගමේ වාරන පිලිවෙත්වලට හා අන්තර්ජාලය යෝධ ඒකාධිකාරයන් විසින් පාලනය කරනු ලැබීමට මහජනයා අතර පවත්නා විරෝධයේ ගැඹුර යි” සඳහන් කල ලෝසවෙඅ වාර්තාකාර ආන්ද්රෙ ඩීමන්, ලෝකයේ සෑම පෙදෙසකින් ම ලැබුනු ශක්තිමත් ප‍්‍රතිචාරය හේතුවෙන් උද්දාමයට පත් වූ බව කීවේ ය.

“මෙය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වන අරගලයෙහි තීරනාත්මක සටනක්. අප අරගලය කරමින් සිටින්නේ අන්තර්ජලය හරහා නිදහසේ තොරතුරු දැනගැනීමට, සිතීමට හා සන්නිවේදනය කිරීමේ අයිතිය වෙනුවෙන්” ආන්ද්රෙ කීවේ ය.

සමාජජාල මාධ්‍යයන් හරහා අපගේ ලිපි බෙදාහරිමින්, අපගේ පෙත්සමට අත්සන් තබමින්හා අපගේ උද්ඝෝෂනයට ක්‍රියාකාරී ව එක්වීමෙන්, අන්තර්ජාල වාරනයට එරෙහි ව සටන් වදින ලෙස ලෝසවෙඅ එහි සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: