යාපනයේ සසප රැස්වීමක්:
දෙමල ධනේශ්වර ජාතිකවාදය ප්‍රතික්ෂේප කරනු!
සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!

2017 අගෝස්තු 19

දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂවල පරිහානිගතවීම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිලිබඳ ව සාකච්ඡා කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අගෝස්තු 26දා යාපනයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

දෙමල ජාතික සංධානය (දෙජාස), දෙමල ජාතික ජනතා පෙරමුන, දෙමල ජනතා සන්සදය, ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන යන සියලූ දෙමල ධනේශ්වර පක්ෂ වැඩකරන ජනයා අතර අපකීර්තියට පත් ව ඇත.

ඇමරිකානු ගැති ශ්‍රී ලංකා ආන්ඩුවේ සහකරුවෙක් ලෙස ක්‍රියාකරන දෙජාස, එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සහයෝගය දෙන අතර අනෙක් දෙමල දේශපාලන පක්ෂ ද එම පිලිවෙත ම අනුගමනය කරති. කම්කරු පන්තියේ නොසන්සුන්තාවයෙන් බිය පත් ව සිටින දෙජාස, මෑත දී තෙල් සංස්ථා කම්කරුවන්ගේ වර්ජනයේ දී කලාක් මෙන් වැඩවර්ජිත කම්කරුවන්ට එරෙහි ව මිලිටරි පොලිස් මර්දනය උසිගන්වන කොලඹ ආන්ඩුව සමග ඒකාබද්ධ වී සිටියි. දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ තුල මිලිටරි වාඩිලාගැනීමට හා ආන්ඩුවේ මර්දන පියවරයන්ට ද එය සහාය දෙයි.

දෙජාස ජාතිකවාදය මෙලෙස හෙලිදරවු වීම නිසා තැතිගැනී සිටින මෙම පක්ෂවල සමහර නායකයන් හා මාධ්‍ය —නව දෙමල දේශපාලන නායකත්වයක අවශ්‍යතාව ගැන — විවාදයක් අරඹා ඇත. මෙහි එල්ලය වන්නේ, කම්කරුවන්, දුගීන් හා තරුනයන්ට අලුත් දේශපාලන උගුලක් ඇටවීම යි.

කම්කරුවන් හා තරුනයන් දෙමල ධනේශ්වරයේ සෑම කන්ඩායමකින් ම බිඳී, දෙමල ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පරාජයෙන් පාඩම් උකහා ගැනීමට ද පියවර ගත යුතුය.

සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, දෙමල ජනයාට එරෙහි වෙනස්කම්වලට හා කොලඹ ආන්ඩුවේ යුද්ධයට ද විරුද්ධ ව සටන් වැදීමේ දීර්ඝ වාර්තාවකට හිමිකම් කියයි. දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු කල හැක්කේ සිංහල, දෙමල, මුස්ලිම් යනාදී වාර්ගික බේදයන් ප්‍රතික්ෂේප කරමින් සමාජවාදය සඳහා කරන ඒකාබද්ධ අරගලයකින් පමනි.

ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලයේ ක්‍රියාමාර්ගය මත පදනම් වන සසප, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වදී. රැස්වීමට පැමින මෙම තීරනාත්මක සාකච්ඡාවන්ට සහභාගි වන ලෙස කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

රැස්වීම පවත්වන ස්ථානය: වීරසිංහම් ශාලාව, දෙවන මහල, යාපනය.

දිනය හා වේලාව: අගෝස්තු 26 සෙනසුරාදා සවස 3.00 ට.

Share this article: