මහාචාර්ය ෂෝන් මැක්මීකින් සහ ඓතිහාසික මුසාවක නිර්මානය (දෙවැනි කොටස)

Professor Sean McMeekin and the construction of a historical lie (Part II)

ඩේවිඩ් නෝර්ත් විසිනි ,2017 ජූලි 10

2017 ජූනි 30 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මහාචාර්ය මැක්මීකින් අපකීර්තිමත් ලෙනින්-විරෝධී අපවාද අලුත් කරයි යන ලිපිය පල කලේය. මගේ ලිපිය, ජූනි 19 වන දින නිව්යෝර්ක් ටයිම්ස්හි පලවූ මැක්මීකින්ගේ ලිපියකට ලියූ පිලිතුරක් විය. බාඩ් විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයා සිය ලිපිය තුල චෝදනා කලේ, 1917 අප්‍රේල් මාසයේ ලෙනින් රුසියාව කරා පෙරලා පැමිනියේ ජර්මන් අධිරාජ්‍යවාදී ආන්ඩුවේ ඒජන්තයෙකු ලෙස බවය. ජූනි 30 ලිපියේ මා සඳහන් කල පරිදි:

ලිපිය පදනම් වී ඇත්තේ, මෑතකදී පල වූ මැක්මීකින්ගේ “රුසියානු විප්ලවය: නව ඉතිහාසයක්” (The Russian Revolution: A New History) නම් පොත මතය. එය වඩාත් හොඳින් විස්තර කල හැක්කේ, ස්පාඤ්ඤයේ ෆ‍්‍රැන්කෝ, චිලියේ පිනෝෂේ හෝ ඇමරිකාවේම ජේ. එඩ්ගාර් හූවර් තම අමතර කාලය තුල “ඉතිහාසය ලිවීම”ට අත ගැසුවා නම්, ඔවුන් විසින් රුසියානු විප්ලවය සම්බන්ධයෙන් ලියැවෙන්නට ඉඩ තිබුනු වර්ගයේ එකක් ලෙසය. එය ඉතිහාස කෘතියක් ලෙස හඳුන්වා දිය නොහැක. මක්නිසාදයත්, ඉතිහාස කෘතියක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය දැනුම් මට්ටම, වෘත්තීය ප‍්‍රවීනත්වය හෝ කරුනුවලට ගරු කිරීමේ ගුනය මැක්මීකින් සතු නොවන හෙයිනි. මැක්මීකින්ගේ පොත හුදෙක් කොමියුනිස්ට් විරෝධී ප්‍රචාරනයේ අභ්‍යාසයක් පමනක් වන අතර කිසිවෙකුට ඉන් කිසිවක් හෝ උගත හැකි නොවේ.

පසුගිය සතිය තුල මම, දශක ගනනාවක් පුරා සැලකියයුතු ඓතිහාසික පර්යේෂන ගනනාවකට විෂය වූ “ජර්මන් රත්රන්” පිලිබඳ කරුන සම්බන්ධයෙන් දිගටම අධ්‍යයනය කලෙමි. මැක්මීකින්ගේ චෝදනා බැරෑරුම් ඉතිහාසඥයන් විසින් තහවුරු කෙරී ඇති කරුනු සමග සසඳා බැලීමට මම විශේෂයෙන්ම උනන්දු වීමි.

මැක්මීකින්ගේ පොත විමර්ශනය කිරීමේ දී, බෝල්ශෙවික් නායකයාට එරෙහිව මහාචාර්යවරයාගේ චෝදනාපත‍්‍රය පිඬු කොට දක්වන එහි අටවන පරිච්ඡේදයේ පහත දැක්වෙන ඡේදයට මගේ අවධානය යොමු විය:

තාවකාලික ආන්ඩුවේ ප‍්‍රතිචරපුරුෂ සේවයේ රැකියාව කල කර්නල් බී.වී. නිකිටින්, සිය මතක සටහන් තුල සාපරාධීකාරක විදුලි සංදේශ ගනාවක පිටපත් ගෙන හැර දැක්වීය. එහිදී ඔහු කියා සිටියේ, එව්ජිනියා සුමෙන්සන් නම් බෝල්ශෙවික් ඒජන්තවරියක් (ජර්මන් ආනයන ව්‍යාපාරයක් හරහා ඇය යටිමඩි ගැසූ- මුදල් බෝල්ශෙවික් මධ්‍යම කාරක සභිකයෙකු වූ මයිසිස්ලොව් කොස්ලොව්ස්කි නම් පෝලන්ත නීතිඥයෙකුට ලබා දුන් බව ප‍්‍රශ්නකිරීම් හමුවේ පාපෝච්චාරනය කල බවයි. රුසියාව හැර යාමෙන් පසු 1917 අග භාගයේ දී කෙරෙන්ස්කි, සයිබීරියානු බැංකුවක පැවැති සුමෙන්සන්ගේ ගිනුමෙන් රූබල් 750,000 ක් ආපසු ගැනීමේ සුප‍්‍රකට සිද්ධිය ද ඇතුලු තමන් දුටු බව පවසා සිටි ලේඛන පිලිබඳ මිත‍්‍ර පක්ෂයේ ඔත්තුසේවා සතු තොරතුරු ගැන පසු විපරමක් කර තම මතක සටහන්වල ලියා තැබීය. මේ දක්වාම බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කලේ, රුසියානු ලේඛනාගාරයේ ඒවා තහවුරු කරන සාක්ෂි නොමැති හෙයින් මෙම විවාදශීලී දෑ අප‍්‍රකටව පැවතිය යුතු බවයි. 1

ෂෝන් මැක්මීකින්

මෙම ඡේදයට මැක්මීකින් අධෝ ලිපි අංක 21 යොදා ඇති අතර එය, 372 වන පිටුවේ ඇති සටහනක් කරා පාඨකයා ගෙන යයි. මෙම සටහනේ මෙසේ දැක්වෙයි: “බෝල්ශෙවිකයන්ගේ “ජර්මන් රත්රන්” කරා යලි පැමිනීම 1995 (‘The Bolsheviks’ “German Gold” Revisited) කෘතිය තුල සෙමියොන් ලියන්ද්‍රෙස්ගේ නිගමනය එපරිදිය.” එසේ දැන් අප දකින්නේ, ජර්මන් ආන්ඩුවේ මූලාශ‍්‍ර වල සිට බෝල්ශෙවික පෙට්ටගම් කරා මුදල් පොම්ප කිරීම පිලිබඳ විදුලි සංදේශ සාක්ෂි ”අප‍්‍රකටව පැවතිය යුතුය” යන ඔහුගේ තර්කයට සහාය දීමට මැක්මීකින් තවත් ඉතිහාසඥයෙකු, සෙමියොන් ලියන්ද්‍රෙස්, උපුටා දක්වන බවයි.

රොබට් සර්විස් හා ඉයන් තැචර් වැනි දක්ෂ ලෙස ඉතිහාසය මුසාකරනය කරන්නන් සමග ගනුදෙනු කොට ඇති මම, මැක්මීකින් සඳහන් කල සෙමියොන් ලියන්ද්‍රෙස්ගේ කෘතිය පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය බැව් දැන සිටියෙමි. 372 වන පිටුවෙන් කර්කෂ මී ගඳක් වහනය විය. කෙටියෙන්ම කිවහොත්, මැක්මීකින් ලියන්ද්‍රෙස්ගේ පර්යේෂනයේ නිරවද්‍ය සංක්ෂිප්තයක් සම්පාදනය කොට ඇතැයි මට කිසිසේත් උපකල්පනය කල හැකි නොවීය.

සෙමියොන් ලියන්ද්‍රෙස් නොත්රොදාම් සරසවියේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයෙකි. එහි ඉතිහාස අංශය ඔහුගේ වෘත්තීය කටයුතු පිලිබඳව දක්වන පැතිකඩ පහත දැක්වෙන පරිදිය:

සෙමියොන් ලියන්ද්‍රෙස් යනු, නූතන හා අද්‍යතන රුසියානු ඉතිහාසය: ශාස්ත්‍රීය නිබන්ධන හා ලේඛන (Modern and Contemporary Russian History: Monographs and Documents) ප‍්‍රකාශන මාලාවේ ආරම්භකයා හා එහි උතුරු ඇමරිකානු කතුවරයාය. තවද ඔහු නූතන රුසියානු ඉතිහාසය හා ඉතිහාස ලේඛනය පිලිබඳ සංග‍්‍රහයෙහි (The Journal of Modern Russian History and Historiography) සමාරම්භක කර්තෘවරයෙකි. ඔහුගේ ප‍්‍රකාශන අතරට; බෝල්ශෙවිකයන් “ජර්මානු රත්රන්” කරා යලි පැමිනීම: (1995) ; 1917 චෝදනා පිලිබඳ විමර්ශනයක් (The Bolsheviks’ “German Gold” Revisited) රාජ්‍ය ඩූමාවේ සභාපති සහ තාවකාලික ආන්ඩුවේ යුද කටයුතු ඇමති ඇලෙක්සැන්ඩර් ගුච්කොව්ගේ මතක සටහන් (1993) (The Memoirs of Alexander Guchkov" President of the State Duma and a Minister of War in the Provisional Government ඒ.වී. ස්මොලින් සමග; වෙලූම් දෙකකින් යුත් සයිබීරියාවේ සිවිල් යුද්ධයේ හා චීනයේ පිටුවාහල් ජීවිතයේ කාලානුක‍්‍රම ලේඛනයක්: පීටර් වසිලෙවිච් වොලොගොඞ්ස්කිගේ දින සටහන්, 1918-1925-2002, A Chronicle of the Civil War in Siberia and Exile in China: The Diaries of Petr Vasil’evich Vologodskii, 2002ඩයෙට්මා වුල්ෆ් සමග හා වඩාත්ම මෑතදී පල කල සාර්වාදයේ බිඳවැටීම: 1917 පෙබරවාරි විප්ලවයේ නොකී කථා, (ඔක්ස්ෆර්ඞ් සරසවි මුද්‍රනාලය, 2013, සංශෝධිත, කඩදාසි බැම්ම සහිත මුද්‍රනය, 2014) (The Fall of Tsarism: Untold Stories of the February 1917 Revolution) ඇතුලත් වෙයි. ඔහු ජර්මන්-ඇමරිකන් සභා පදනමේ, ජෝන් එම්. ඔලින් පදනමේ, මානව ශාස්ත‍්‍ර සඳහා වූ ජාතික උපපාදනයේ (එන්ඊඑච්*, හා ඉයර්හාට් පදනමේ ප‍්‍රධාන පෙලේ අධිසාමාජිකත්වය උසුලා ඇති අතර, The Slavic Review, Kritika, The Soviet and Post-Soviet Review, Russian History, Berliner Jahrbuch für osteuropaische Geschichte, Zmanim, The Journal of Modern Russian History and Historiography, iy Otechestvennaia istoriia යන ප‍්‍රකාශනවල ලිපි හා නිබන්ධන පල කොට ඇත.2

සෙමියොන් ලියන්ද්‍රෙස් දේශනයක

මෙම විමසුමට අදාල කෘතිය වන, බෝල්ශෙවිකයන් “ජර්මානු රත්රන්” කරා යලි පැමිනීම: (1995) ; 1917 චෝදනා පිලිබඳ විමර්ශනයක් යනු, රුසියානු හා නැගෙනහිර යුරෝපීය අධ්‍යයන කේන්ද්‍රයේ කාල් බෙක් පේපර්ස් ප‍්‍රකාශකයන් විසින් 1995 දී පල කරන ලද, පිටු 132 ක විෂය ග‍්‍රන්ථයකි. එය, ලෙනින්ට එරෙහිව තාවකාලික ආන්ඩුව නැගූ චෝදනා පදනම් කෙරුනු ලේඛන සම්බන්ධයෙන් කවර කලෙක හෝ සිදු කෙරී ඇති සවිස්තරතම විමර්ශනය වෙයි. ජර්මන් රජය හා බෝල්ශෙවිකයන් අතර මුදල් හුවමාරුව ලේඛනගත වී යැයි සිතනු ලබන, ප‍්‍රන්ස ආන්ඩුව විසින් රහසේ කියවනු ලැබ රුසියානු තාවකාලික ආන්ඩුවට ලබා දෙන ලද විදුලිසංදේශ 66ක් පරිවර්තනය කොට අධ්‍යයනය කිරීමට ලියන්ද්‍රෙස් කටයුතු කලේය.

මෙම ඓතිහාසික විමර්ශනයට ලියූ හැඳින්වීම තුල ලියන්ද්‍රෙස් අත්‍යවශ්‍ය පසුබිම් තොරතුරු සම්පාදනය කලේය:

ආන්ඩු විරෝධී නැගිටීමේ උච්ච අවස්ථාවේ, (“ජූලි දින”වල) 1917 ජූලි 4 වන දින, තාවකාලික ආන්ඩුවේ අධිකරන ඇමති පවෙල් එන්. පෙරෙවර්සෙව්, රාජද්‍රෝහී කටයුතු සම්බන්ධයෙන් බෝල්ශෙවික් නායකයන්ට චෝදනා එල්ල කෙරෙන ප‍්‍රවෘත්ති නිවේදනයකට අනුමැතිය දුන්නේය. ඊලඟ දිනයේ පලකෙරුනු වාර්තාව, ජර්මනිය සමග වෙනම සාම ගිවිසුමකට එලැඹීම හා “තාවකාලික ආන්ඩුව කෙරේ රුසියානු මහජනයාගේ විශ්වාසයට යටින් වල කැපීම” සඳහා සහාය ඒකරාශී කිරීමට ජර්මන් ආන්ඩුව විසින් ලෙනින් රුසියාව කරා එවන ලදැයි චෝදනා නැගීය. ඔහුගේ කටයුතු සඳහා වැය කිරීමට මුදල් බර්ලිනයේ සිට ස්ටොක්හෝම් හරහා පෙට්‍රොග‍්‍රෑඩය කරා යොමු කරන ලදැයි ද චෝදනා කරන ලදී. ස්ටොක්හෝම්වලදී මෙම මුදල් හුවමාරුව සිදුකරන ලද්දේ, බෝල්ශෙවිකයෙකු වූ ජේකබ් ෆර්ස්ටෙන්බර්ග් (හනෙකි) හා රුසියානු-ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වූ ඇලෙක්සැන්ඩර් ඊස්රායෙල් හෙල්ෆාන්ඩ් (පාර්වුස්) විසිනි. පෙට්‍රොග‍්‍රෑඩයේදී මුදල් ලබා ගත් ප‍්‍රමුඛයන් වූයේ බෝල්ශෙවික් නීතිඥ මියෙස්ලෝ කොස්ලොව්ස්කි හා ෆර්ස්ටෙන්බර්ග්-හනෙකිගේ ඥාතියෙකු වූ එව්ජිනියා එම්. සුමෙන්සන්ය. ෆර්ස්ටෙන්බර්ග් සමග මූල්‍ය ගනුදෙනු සඳහා ආවරනය සැපයීමට ඇය සහ කොස්ලොව්ස්කි වෙලඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය අතර, එමගින් ජර්මානු අරමුදල් හුවමාරුව නීත්‍යානුකුල ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස පෙනෙන්නට සලස්වන ලදී.

පලකෙරුනු වාර්තාව, චෝදනා පිලිබඳව පැවැති දෙආකාරයක සාක්ෂි ගැන සඳහන් කරයි. පලමු චෝදනාව -එනම්, ලෙනින් ජර්මනුන් සඳහා වැඩ කරමින් සිටියේය යන චෝදනාව- රඳා පැවතියේ, ජර්මන් කඳවුරක යුද සිරකරුවෙකුව සිටියදී ජර්මානු රහස් ඔත්තුසේවා නිලධාරීන් විසින් තමන්ට ඒ බව පවසන ලදැයි කියා සිටි එන්සයින් දිමිත්‍රිඒ එස්. යෙර්මොලෙන්කෝගේ තරමක සැක උපදවන සුලූ වාචික සාක්ෂිය මතය. දෙවැනි චෝදනාව -බෝල්ශෙවිකයන් ජර්මන් මුදල් ලබා ගත් බවට වන චෝදනාව- රහසින් කියවන ලද, පෙට්‍රොග‍්‍රෑඩය හා ස්ටොක්හෝම් අතර මුදල් හුවමාරුවලට සම්බන්ධ වූවන් හුවමාරු කරගත් විදුලි පනිවුඩ මගින් වඩා හොඳින් ලේඛනගත ව තිබින. මෙකී චෝදනා ගැන සොයා බැලීමට තාවකාලික ආන්ඩුව විශේෂ පරීක්ෂන කොමිසමක් පත් කලේය. එහි නායකත්වය දැරුවේ පෙට්‍රොග‍්‍රෑඩ් අධිකරන කාර්යාලයේ චෝදකවරයා වූ නිකොලායි එස්. කරින්ස්කිය. කොමිසම, විදුලි පනිවුඩ සිය ප‍්‍රධාන සාක්ෂිය ලෙස සැලකු අතර දෙසතියක ඇවෑමෙන් ජූලි 21 වන දින බෝල්ශෙවික් නායකයන්ට එරෙහිව නිල වශයෙන් රාජද්‍රෝහී චෝදනා නගන ලදී. 3

මෙම හැඳින්වීම තුල ලියන්ද්‍රෙස්, වසර 22 ක ඇවෑමෙන් මැක්මීකින් ලෙනින්ට එරෙහිව නගන සිය චෝදනා පදනම් කෙරෙන සාක්ෂි පිලිබඳව, විවේචනාත්මක කරුනු ගනනාවක් ගෙන හැර දැක්වීය. මුලදීම නිකිටින් විසින් උපුටා දක්වන ලද විදුලි පනිවුඩ පිලිබඳව මහාචාර්ය ලියන්ද්‍රෙස් මෙසේ ලිවීය:

කෙසේවෙතත්, මෙම ලේඛනවල ප‍්‍රභවය හා ඒවා නිසි පරිදි විශ්ලේශනය කර නොතිබීමේ කරුන ද සැලකිල්ලට ගත් කල, ඒවා පරිහරනය කිරීමේදී ප‍්‍රවේශම්කාරී විය යුතුය. පලමුව, නිකිටින් මේවා ප‍්‍රතිනිෂ්පාදනය කලේ, දශක දෙකකට ආසන්න කාලයකට ඉහත, 1917 දී, ප‍්‍රන්ස ඔත්තුසේවා වෙතින් ඉහත කී විදුලිපුවත්වල පිටපත් 29 ක් ලද අවස්ථාවේ ඔහු තැබූ සටහන් ඇසුරෙනි. දෙවනුව, ප‍්‍රන්සුවන් එම විදුලි පනිවුඩ රහසේ කියවා තුබුනේ, ඒවා සම්ප්‍රේශනය වන අතරතුර දී ය. ඒ අනුව ප‍්‍රතිනිෂ්පාදනයේ නිරවද්‍යතාවය පරීක්ෂා කල නොහැකි බවට පත්වේ. තව ද, අවසාන වශයෙන්, නිකිටින්ට මෙම ලේඛන අවශ්‍ය තරමින් පරීක්ෂා කිරීමට ප‍්‍රමානවත් කාලයක් නොලැබුනි. ඔහුට ඒවා ලැබුනේ බෝල්ශෙවික් නඩුවෙන් ඔහු ඉවත් කිරීමට යන්තම් කෙටි කලකට පෙර ය. නිකිටින්ගේ විදුලි පනිවුඩ 29 තුල, ඒවා යැවුනු අංක, දින හෝ වේලාවන් සඳහන් නොවීම ඉහත කී සියල්ල විසින් පැහැදිලි කෙරෙනු ඇත. වැඩිදුරටත් කිව යුත්තේ, බහුලව පවතින වැරදීම්, සාවද්‍යතා හා ඒවායේ සඳහන් වූ නම් හා ලිපිනයන්හි වැරදි අක්ෂර සංයෝජනයන් ද නියත වශයෙන්ම එම විදුලි පනිවුඩවල අර්ථය පැහැදිලි කිරීමට උත්සාහ කලවුන් සාවද්‍ය නිගමන කරා කැඳවා ගෙන ගිය බවයි. 4

ලියන්ද්‍රෙස් තවදුරටත් මෙසේ ලියයි:

විදුලි පනිවුඩ 29 අර්ථකථනය හා ඒවා ක‍්‍රමානුකූලව සැකසීම සඳහා මේ දක්වා දරා ඇති එකම බැරෑරුම් ප‍්‍රයත්නය දරන ලද්දේ, 1940 දී රට හැර ගිය ඉතිහාසඥ සර්ජි පී. මෙල්ගුනොව් විසිනි. එහෙත් නිකිටින්ගේ විදුලි පනිවුඩවල ඉහත සඳහන් කෙරුනු අඩුලූහුඬුකම් සලකා බැලීමේදී හා එම කාලයේ මෙල්ගුනොව්ට අත ගසා ගත හැකි වූ මූලාශ‍්‍රයන් සීමාසහිත වීම හේතුවෙන් එම ඉතිහාසඥයාට එකී විදුලි පනිවුඩවල අන්තර්ගත දෑ ප‍්‍රමානවත් ලෙස පැහැදිලි කල හැකිව තුබුනේ නැත. ඇත්තෙන්ම ඔහු, මෙම විදුලි පනිවුඩ මගින් ජර්මන් මුදල් බෝල්ශෙවිකයන් කරා යැවුනු බව තහවුරු වේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත නිගමන කරා එලැඹුනේ නැත. ඔහු නිශ්චය කලේ ඒවා සැකසහිත කටයුතු ආවරනය කිරීමට යොදා ගැනුනා විය හැකි, යම් ආකාරයක කේතගත පනිවුඩ හුවමාරුවක් නියෝජනය කල බව පමනෙකි. 5

ලියන්ද්‍රෙස් පැහැදිලිවම මැක්මීකින්ගේ මූලික තර්කයට පටහැනිය. නොත‍්‍රදාම්හි මහාචාර්යවරයා විදුලි සංදේශ සාක්ෂිවල නිකිටින්ගේ පිටපතේ විශ්වාසනීයත්වයෙහි පවතින දැඩි සැකසහිත ස්වභාවය කෙරේ අවධානය යොමුකර ඇත. එහෙත් ඉදිරියෙහි සඳහන් වන දේ මැක්මීකින්ගේ ඉදිරිපත් කිරීම පිලිබඳ වඩාත් ගර්හිත වනු ඇත. මක්නිසාදයත්, එමගින් ඔහු තම මූලාශ‍්‍ර ලේඛන ඉතා දැනුවත්ව සහ හිතාමතා මුසාකරනය කල බැව් හෙලිදරව් කෙරෙන හෙයිනි. ලියන්ද්‍රෙස් මෙසේ ලිවීය:

නිකිටින්ගේ මතක සටහන් හෝ මෙල්ගුනොව්ගේ අධ්‍යයනය මගින් විදුලි පනිවුඩවල අර්ථය සම්බන්ධයෙන් වූ විවාදය විසඳනු ලැබුනේ නැත. ඒ වෙනුවට සිදුවූයේ, පසුකාලීන ඉතිහාසඥයන් අතර, තාවකාලික ආන්ඩුව විසින් සලකා බලනු ලැබුනේ නිකිටින් විසින් ප‍්‍රතිනිෂ්පාදිත එකී විදුලි පනිවුඩ පමනකැයි යන සිතිවිල්ල ඇති වීමයි. 6

මා පාඨකයාගේ අතිමහත් චිත්ත එකාග‍්‍රනතාවයක් ඉල්ලා සිටින බව මට වැටහේ. එහෙත් ඓතිහාසික මුසාකරනයේ ක්‍රියාවලිය පිලිබඳ වෝභාර අධ්‍යයනයක් වූ කලි විස්තාරනයන් කෙරේ ප‍්‍රවේශම්කාරී අවධානයක් ඉල්ලා සිටින්නකි. මැක්මීකින්, හිතාමතා සිදුකල තම විකෘතකරනයන්, සාමාර්ථතත්වයේ තුනී සාටෝපයකින් ආවරනය කර සඟවා ගැනීමට හැකිවන ආකාරයේ හැඩයකට සාක්ෂියේ අඹරා හැඩ ගස්වා ගැනීමේ නිපුනයෙකි. බෝල්ශෙවිකයන් “ජර්මානු රත්රන්” කරා යලි පැමිනීම 1995 කෘතිය තුල සෙමියොන් ලියන්ද්‍රෙස්ගේ නිගමනය ද එපරිදි යයි කියා සිටින අධෝලිපි සඳහනක සහාය ලබමින්, විදුලි සංදේශ සාක්ෂි අප‍්‍රකටව පැවතිය යුතුයයි” කියා සිටින මැක්මීකින්ගේ ප‍්‍රකාශය මෙහිදී පාඨකයා සිහියට නගා ගත යුතුය.

මේ වූ කලී, ලියන්ද්‍රෙස්ගේ පර්යේෂනය පිලිබඳ හිතාමතා සිදු කල මුසාකරනයකි. ලියන්ද්‍රෙස් සාක්ෂි “අප‍්‍රකටව පැවතිය යුතුයැයි” ප‍්‍රකාශ කලේ, මැක්මීකින් ගම්‍යමාන කරන අර්ථයෙන් - එනම්, “ජර්මන් රත්රන්” සම්බන්ධයෙන් ලෙනින්ගේ රඳාපැවැත්මේ පරිමානය, මැක්මීකින් විසින් සිය ‘නව ඉතිහාසය’ කෘතිය 2017 දී ප‍්‍රකාශයට පත් කරන තුරු පැහැදිලිව වටහා නොගන්නා ලදැයි යන අරුතෙන් - නොවේ. ඒ වෙනුවට, 1995 දී ලේඛනයේ යෙදෙමින් ලියන්ද්‍රෙස් පැහැදිලිව සඳහන් කලේ, නිකිටින්ගේ 1937 මතක සටහන් වලින් හා 1940 මෙල්ගුනොව්ගේ අධ්‍යයනයෙන් කල ඉදිරිපත් කිරීම් විශ්වාස නොකලැකි බව හා නොමග යවන සුලූ බවයි. ඔවුන්ගේ කෘතීන් මත විශ්වාසය තැබූ ඉතිහාසඥයන්ට බෝල්ශෙවිකයනට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රාමානික ඇගයීමක් කරා එලැඹීමට නොහැකි විය. ඉතිහාසඥයන් අතර නොනැසී පැවතුනු ව්‍යාකුලත්වය සඳහා වූ වඩාත්ම වැදගත් හේතුව වූයේ නිකිටින්ගේ හා මෙල්ගුනොව්ගේ කෘතීන් පරිහරනයකොට තිබුනේ, කොයි ලෙසකින් සලකා බැලූව ද, දුර්වල ලෙස ප‍්‍රතිනිෂ්පාදනය කෙරුනු, දෝෂවලින් පිරී ගිය, සහ නිසි ලෙස විශ්ලේෂනය නොකෙරුනු විදුලි පනිවුඩ 29 ක් පමනක් සමග වීමයි. මෙය අසම්පූර්න හා නොමග යවන සුලුවාර්තාවක් බව ලියන්ද්‍රෙස් පැහැදිලි කලේය. ලෙනින් ජර්මන් ඒජන්තයෙකැයි තාවකාලික ආන්ඩුව නැගූ චෝදනාවල සැබෑ පදනම රැඳී තිබුනේ විදුලි පනිවුඩ 66 ක ගොනුවක් මතය.

1990 ගනන්වල මැද භාගයේ දී රහසින් කියැවූ විදුලි පනිවුඩ 66 හි සම්පූර්න එකතුව විමර්ශනය කල මහාචාර්ය ලියන්ද්‍රෙස්, එසේ කල ප‍්‍රථම ඉතිහාසඥයා වෙයි. තාවකාලික ආන්ඩුවේ චෝදනා සනාථ කරනු වෙනුවට සම්පූර්න ලේඛන ගොනුව පිලිබඳ විශ්ලේෂනයක්, බෝල්ශෙවිකයන්ට එරෙහි චෝදනා කුඩු පට්ටම් කර දමයි. ලියන්ද්‍රෙස් මෙසේ ලිවීය:

වත්මන් කෘතිය එක් එක් විදුලි පනිවුඩය පිලිබඳව මෙන්ම සංඛ්‍යාවෙන් 66ක් වූ සම්පූර්න ලේඛන සමූහයම පිලිබඳව ද විශ්ලේෂනයක් ඉදිරිපත් කරන අතර, ජූලි චෝදනාවලට ඒවායින් කිසිදු සහායක් නොලැබේ. ඇත්තෙන්ම බෝල්ශෙවික් පෙට්ටගම් තුලට වැටුනු අරමුදල් පිලිබඳ කථා තිබියේවා, ස්ටොක්හෝම් සිට පෙට්‍රොග‍්‍රෑඩය කරා කවර හෝ මුදල් සංසරනයක් සිදුවූ බවට සාක්ෂියක් ඒවායින් සොයා ගත හැකි නොවීය. ඇතැම් අවස්ථාවලදී රූබල් 100,000 දක්වා වූ, විශාල මුදල් ගනුදෙනු එම විදුලි පනිවුඩවල ඇතුලත් වූ දෑ අතර ප‍්‍රමුඛස්ථානයක් ගත් බව සත්‍යයකි. එහෙත් එම මුදල් ගනුදෙනු මගින් නියෝජනය වූයේ ස්කැන්ඩිනේවියාවේ සිට පෙට්‍රොග‍්‍රෑඩය කරා පාර්වුස්-ෆර්ස්ටේන්බර්ග් සමාගම විසින් අපනයනය කෙරුනු භාන්ඩ සඳහා කල ගෙවීම්ය. භාන්ඩ පෙට්‍රොග‍්‍රෑඩය කරා එවන ලද අතර, ගෙවීම් ආපසු ස්ටොක්හෝම් වෙත යැවින - එහෙත් කිසිදු අවස්ථාවක මෙම මුදල් හුවමාරුව අනෙක් අතට සිදු වී නොතිබින. මෙම මුදල් හුවමාරු සුමෙන්සන් විසින් හසුරුවන ලද නමුදු, ඇය මුදල් යවන්නිය විනා මුදල් ලබන්නිය නොවූවාය. අහම්බයෙන් වුව, ජූලි විමර්ශන පිලිබඳ අලුතින් නිකුත් කරන ලද වාර්තාවලින් ද මෙම නිගමනයට අමතර සහායක් ලැබේ. බෝල්ශෙවිකයන් පාර්වුස්-ෆර්ස්ටෙන්බර්ග්-කොස්ලොව්ස්කි-සුමෙන්සන් ජාලය හරහා ජර්මන් අරමුදල් ලබා ගත් බව ඔප්පු කල හැකි සාක්ෂි සොයා අනවරතව සිදු කෙරුනු සොයා බැලීම් තිබියේ වී වුව (තාවකාලික ආන්ඩුව සුමෙන්සන්ගේ වානිජ කටයුතු පමනක් නොව, 1914 පසුභාගයේ සිට 1917 ජූලි දක්වා රුසියාව සමග සිදු වූ සියලූ විදේශීය මුදල් ගනුදෙනු පිලිබඳව පරීක්ෂා කලේය), විමර්ශනයේ නිගමනය වූයේ “ජර්මන් සම්බන්ධය” පිලිබඳව සාක්ෂි නොමැති බවයි. 7

විදුලි පනිවුඩ පිලිබඳ ලියන්ද්‍රෙස්ගේ 1995 විශ්ලේෂනය මීට වඩා පැහැදිලි විය නොහැක. ගනුදෙනුවල ස්වභාවය තවදුරටත් අපැහැදිලි නොවීය. මුදල් ගලා ගියේ ස්ටොක්හෝම් සිට පෙට්‍රොග‍්‍රෑඩය කරා නොව, “පාර්වුස්-ෆර්ස්ටෙන්බර්ග් සමාගමෙන් ස්කැන්ඩිනේවියාවේ සිට පෙට්‍රොග‍්‍රෑඩය කරා අපනයනය කල භාන්ඩවලට කල ගෙවීම් ලෙස පෙට්‍රොග‍්‍රෑඩයේ සිට ස්ටොක්හෝම් කරාය. - කිසිදු අවස්ථාවක මෙම මුදල් හුවමාරුව අනෙක් අතට සිදු වී නොතිබින.”

ලියන්ද්‍රෙස් තවදුරටත් සොයා ගත්තේ, “එසේම පෙට්‍රොග‍්‍රෑඩය හා ස්ටොක්හෝම් අතර සිදුවූ විදුලි සංදේශ පනිවුඩ හුවමාරු කේතීකෘත බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. 8 මෙය, තමන් ස්ටොක්හෝම් සිට නීතිවිරෝධී අරමුදල් ලබා ගත් බව කේතාංක භාවිතය මගින් සඟවාලීමට බෝල්ශෙවිකයන් ප‍්‍රයත්න දැරූ බවට වූ තාවකාලික ආන්ඩුවේ කියාපෑමට මාරාන්තික ලෙස යටින් වල කැපීය. ලියන්ද්‍රෙස්ගේ මෙම ප‍්‍රධාන සොයාගැනීම් මැක්මීකින් නිකම්ම නොතකා හරී.

ලියන්ද්‍රෙස්ගේ විෂය ග‍්‍රන්ථය, “ජර්මන් රත්රන්” මතභේදය පිලිබඳ අධ්‍යයනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ප‍්‍රධාන පෙලේ විද්‍යාර්ථීහු පිලිගනිති. 2005 දී ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් රීඩ්විසින් පලකෙරුනු ලෙනින්ගේ ජීවිත කථාව තුල ඔහු මෙසේ ලියයි: “[ජර්මානු රත්රන් පිලිබඳ] මිත්‍යාව, එස්. ලියන්ද්‍රෙස්ගේ බෝල්ශෙවිකයන් ‘ජර්මානු රත්රන්’ කරා යලි පැමිනීම කෘතිය විසින් වඩාත්ම සාර්ථක ලෙස බිඳ හෙලනු ලැබ ඇත....” 9 ලියන්ද්‍රෙස්ගේ කෘතිය පිලිබඳව ස්ලාවික් රිවිව්හි 1996 දී පල වූ විචාරයක් තුල මහාචාර්ය රෙක්ස් වේඩ් මෙසේ ලියා ඇත:

ලේඛන හැදෑරීමෙන් හා ඒවා පලකිරීම සඳහා සූදානම් කිරීමෙන් ලියන්ද්‍රෙස් අනර්ඝ කාර්යයක් සිදු කොට ඇත. රුසියානු මුල් පිටපත් සහ ඉංග්‍රීසි පරිවර්තන ඇතුලත් කර ඇති අතර, ඒවායේ සන්දර්භය හා අන්තර්ගතය පැහැදිලි කෙරෙන විස්තීර්න සටහන් හා විවරන ද ඊට යාකොට කොට ඇත. මෙය පහසු කාර්යයක් නොවේ. ඒවා විදුලි පනිවුඩ වන අතර, ඒ අනුව ආකෘතියෙන් දුරවබෝධ වනු පමනක් නොව රුසියන් භාෂාවෙන් ලියැවුනු ඒවා -එනම් ඒවායින් බොහොමයක්- ලතින් අකුරුවලට ද ඉන්පසු පෙරලා රුසියානු බසට ද අක්ෂර පරිවර්තනය කරනු ලැබ ඇති හෙයින් නාමයන් විකෘත වී ඇත. (එම කාලයේ දින 13ක් වූ) රුසියානු හා බටහිර දින දර්ශනයේ දින අතර පැවැති වෙනස වැඩිදුරටත් වැරදි වැටහීම් ගෙන ආවේය. ලියන්ද්‍රෙස් මේවා හා අනෙකුත් ගැටලු සමග ගනුදෙනු කොට ඇත්තේ ඉමහත් සැලකිල්ලකින් යුතුවය. එමෙන්ම මෙම මතභේදයේ ඉතිහාසය පිලිබඳව, විදුලි පනිවුඩවල සම්භවය පිලිබඳව හා 1917 දී ඒවා නිකුත් කරනු ලැබීම පිලිබඳව අනගි ලූහුඬු වාර්තාවක් ද, විදුලි පනිවුඩවල අන්තර්ගතය හා ඒවායේ වැදගත්කම පිලිබඳ මාහැඟි සමාප්ත අර්ථකථනයක් ද සම්පාදනය කරයි....

ලියන්ද්‍රෙස් තම ලේඛන මගින් පෙන්නුම් කෙරෙන දේ වලට වඩා වැඩියෙන් දේ කීමෙන් වැලකීමට විචාර බුද්ධියෙන් යුතුව ක්‍රියාකරයි: පූර්වානුමාන කල හෙල්ෆාඩ් මග ඔස්සේ, 1917 දී ජර්මන් මුදල් පැමින නැත. කෙසේවෙතත්, එය රුසියානු විප්ලවය පිලිබඳ අපේ අවබෝධය පෝෂනය කරන ප‍්‍රධාන ප‍්‍රතිපදානයකි. එය සියලු බැරෑරුම් ඉතිහාසඥයන්ගේ අර්ථ විවරනයන්ට බලපානු ඇති අතර, 1917 බෝල්ශෙවිකයන්ගේ සාර්ථකත්වය සහ “ජර්මානු රත්රන්” අතර ඔප්පු කල සම්බන්ධයක් පවතිතැයි උපකල්පනය කිරීමට අනායාසයෙන් යොමු ව ඇති වඩාත් පුලුල් පාඨක සමූහයාට ද එමගින් බලපෑමක් ඇති කල යුතුය. 10

මහාචාර්ය වේඩ්ගේ විචාරයෙහි එන වැදගත්ම වාක්‍ය ඛන්ඩය වන්නේ “සියලු බැරෑරුම් ඉතිහාසඥයන්” යන්නයි. ෂෝන් මැක්මීකින් “බැරෑරුම්” ඉතිහාසඥයෙක් නොවේ. ඔහු කිසිසේත්ම ඉතිහාසඥයෙකු නොවේ. ඔහුට තත්‍ය කරුනු කෙරේ ගෞරවයක් නැත. ප‍්‍රතිපත්ති විරහිත අභිචෝදකයෙකු හොර නඩු අටවන්නාක් මෙන් මැක්මීකින්, උපුටා දැක්වීම් සාවද්‍ය ලෙස විස්තර කරමින්, නිර්දෝෂිභාවය පිලිබඳ සාක්ෂි නොතකා හරිමින්, වාර්තාව මුසාකරනයට භාජනය කරයි. ලියන්ද්‍රෙස්ගේ අධ්‍යයනය විසින් ලෙනින්ට එරෙහි තාවකාලික ආන්ඩුව ගෙන ආ චෝදනා අපකීර්තියට පත් කෙරී තුබූ බැව් ඔහු දනියි. එහෙත්, ලියන්ද්‍රෙස්ගේ සුප‍්‍රසිද්ධ හා බලගතු විෂය ග‍්‍රන්ථය නිකම්ම නොතකා සිටීමට නොහැකි වූ හෙයින් ඔහු, දෙපැත්ත කැපෙන යෙදුම් උචිත ලෙස භාවිතා කිරීමෙන් 1995 එම කාර්යයේ නිගමන ද ලෙනින් හා බෝල්ශෙවිකයන්ට එරෙහිව බොරු චෝදනා ගොඩ නැගීමේ සිය ව්‍යායාමය ද අතර කිසිදු පරස්පර විරෝධයක් නැතිය යන අදහස ඇති කිරීමට යත්න දරයි.

එක් අවසාන කරුනක් කෙරේ අවධානය යොමු කරමි: ලෝක සමාජවාදී වෙබ් අඩවිය මහාචාර්ය ලියන්ද්‍රෙස් සම්බන්ධ කර ගත් විට ඔහු ප‍්‍රකාශ කලේ, 1995 දී තමා බැස ගත් නිගමන වෙනස් කිරීමට හේතු විය හැකි කිසියම්ම හෝ නව තොරතුරක් තමාට දැක ගන්නට ලැබී නැති බවයි.

ෂෝන් මැක්මීකින්, ඉතිහාසය පිලිබඳ මුසාවාදියෙකු ලෙස හෙලිදරව් වී සිටී.

**

සටහන්:

1.The Russian Revolution: A New History (New York: Basic Books), පි. 133.

2. බලන්න: https://history.nd.edu/faculty/directory/semion-lyandres/

3. Lyandres, පි. 1.

4. එම, පි. 4.

5. එම

6. එම

7. එම, පි. 94-95, ඇල අකුරු මුල් කෘතියෙනි.

8. එම, පි. 95.

9. Lenin-ක්‍රිස්ටෝපර් රීඩ් (^London and New York: Routledge, 2005*, පි. 295.

10. රෙක්ස් ඒ.වේඩ්, zReview of The Bolsheviks’ “German Gold” Revisited: An Inquiry into the 1917 Accusations, by Semion Lyandres, Slavic Review, 55 වෙලුම, අංක 2 (1996 ගිම්හානය), පි. 486-487.

Share this article: