මහාචාර්ය ෂෝන් මැක්මීකින් අපකීර්තිමත් ලෙනින්-විරෝධී අපවාදයන් අලුත් කරයි (පලමුවන කොටස)

Professor Sean McMeekin revives discredited anti-Lenin slanders (Part I)

ඩේවිඩ් නෝර්ත් විසිනි ,2017 ජූනි 30

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය වෙනුවෙන් නිව්යෝර්ක් ටයිම්ස්හි කතුවැකි පිටුවේ පලකෙරෙන පාඨක අදහස් දැක්වෙන ලිපි මාලාවකට බාඩ් ශාස්ත්‍රාලකයේ මහාචාර්ය ෂෝන් මැක්මීකින් විසින් ජූනි 19 වන දින සම්පාදනය කරනු ලැබූ ලිපියක් විය. විප්ලවය පිලිබඳ හෙලාදැකීම් හා ඒ පිලිබඳ බියගුලු ක්ෂමාලාපයන් අතර දෝලනය වෙමින් පවත්නා මෙම ලිපි මාලාවේ, 1917 සිද්ධීන් වටහා ගැනීමට ආධාරකාරී වන ලිපි එකකුදු පල වී නැත. එහෙත් නිසැකවම ඒ අතර වඩාත්ම විෂකුරු වූත් සත්තකින්ම වඩාත්ම තකතීරු වූත් එක වන්නේ, මැක්මීකින් විසින් රචිත “ලෙනින් ජර්මන් ඒජන්තයෙක් වී ද?˜“”යන ලිපියයි.

ලිපිය පදනම් වී ඇත්තේ මෑතකදී පල වූ මැක්මීකින්ගේ The Russian Revolution: A New History (රුසියානු විප්ලවය: නව ඉතිහාසයක්) නම් පොත මතය. එය වඩාත් හොඳින් විස්තර කල හැක්කේ, ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝ, චිලියේ පිනෝෂේ හෝ ඇමරිකාවේම ජේ. එඩ්ගාර් හූවර්, තම අමතර කාලය “ඉතිහාසය ලිවීමට” යොදවන ලද්දේ නම් ඔවුන් විසින් රුසියානු විප්ලවය සම්බන්ධයෙන් ලියැවෙන්නට ඉඩ තිබුනු වර්ගයේ එකක් ලෙසය. එය ඉතිහාස කෘතියක් ලෙස හඳුන්වා දිය නොහැක. මක්නිසාදයත්, ඉතිහාස කෘතියක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය දැනුම් මට්ටම, වෘත්තීය ප්‍රවීනත්වය හෝ කරුනුවලට ගරු කිරීමේ ගුනය මැක්මීකින් සතු නොවන හෙයිනි. මැක්මීකින්ගේ පොත හුදු කොමියුනිස්ට් විරෝධී ප්‍රචාරනයේ අභ්‍යාසයක් පමනක් වන අතර කිසිවෙකුට ඉන් කිසිවක් හෝ උගත හැකි නොවේ.

1917 රුසියානු විප්ලවය අවධියේ රැස්ව සිටින ජනතාව අමතන ලෙනින්

ඔහු මෙම පොත ලියූවේ මන්ද? පහසුවෙන් ගතමනාවක් සොයාගැනීම සඳහා වන පෙලඹවීම පසෙකින් තැබුවහොත්, (කොමියුනිස්ට් විරෝධී කෘතීන් සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන්නේ සැලකිය යුතු ප්‍රසිද්ධියක් ද, නිව්යෝර්ක් ටයිම්ස් හා තවත් බොහෝ ප්‍රකාශනයන්හි ධනාත්මක විචාරයන් පල වන බවට සහතිකවීමක් ද ඇතිවය), මැක්මීකින්ට දේශපාලන අභිප්‍රායයක් පැවතින. මේ වසරේ ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය: “ලෝක ධනපති ක්‍රමය භීතියෙන් මුසපත් කරමින් හොල්මන් කරන අවතාරයක් වෙයි: ඒ රුසියානු විප්ලවයේ අවතාරයයි. ” මැක්මීකින් ද මෙසේ භීතියෙන් මුසපත් වූවන් අතර එකෙකි. වැඩෙන මහජන අතෘප්තියෙන් ධනවාදය තර්ජනයට ලක්ව ඇති බවත් බෝල්ශෙවික්වාදය යලිත් නැගී එමින් තිබෙන බවත් පොතේ පසුවදනේ “කොමියුනිස්ට්වාදයේ අවතාරය” නමින් ඔහු ලියයි. “1917 දී සමාරම්භ කෙරුනු මතවාදී යුගයෙන් නිපන් න්‍යෂ්ටික අවි පරිද්දෙන්, ලෙනින්වාදයේ ඛේදජනක සිද්ධාන්තය වන්නේ, වරක් නිමැවූ කල්හි එය ආපසු හැරවිය නොහැකි වීමයි. සමාජ අසමානතාවය ද, එහි පසෙකින් වන එම අසමානතාවය අතු ගා දැමීම සඳහා වූ සමාජවාදීන්ගේ යහපත් චේතනාන්විත ආවේශය ද සෑම කල්හිම අප සමග පවතිනු ඇත.” එබැවින්, “ලෙනින්වාදී නැඹුරුව සෑම කල්හිම, විශේෂයෙන්ම වඩාත් රැඩිකල් විසඳුම් ඉල්ලා සිටිය හැකි, අවපාත හෝ යුද වකවානු වැනි බලාපොරොත්තු විරහිත සමයන්හි දී, අභිලාෂාත්මක හා නිර්දය මිනිසුන් අතර සැඟවී රැක සිටිනු ඇත.” මැක්මීකින් වැඩිදුරටත් මෙසේ ලියයි: “පසුගිය සිය වස අපට යමක් උගන්වා ඇත්නම්, ඒ, සමාජ පරිපූර්නත්වය පිලිබඳ ප්‍රතිඥා දෙන සන්නද්ධ ශාස්තෘවරුන්ට එරෙහිව අපේ ආරක්ෂාව තර කොට ප්‍රතිරෝධය දැක්විය යුතු බවයි. ” 1

“සන්නද්ධ ශාස්තෘවරුන්ට එරෙහිව අපේ ආරක්ෂාව තර කොට ප්‍රතිරෝධය දැක්වීම” සඳහා කෙරෙන සිය කැඳවුම මගින් මැක්මීකින් අදහස් කරන්නේ කුමක්දැයි ඔහුගේ පොතේ විස්තාරනය කොට ඇත. විප්ලවයේ තර්ජනයට දැක්විය යුතු අත්‍යවශ්‍ය ප්‍රතිචාරය විය යුත්තේ විප්ලවවාදීන් ඝාතනය කිරීමයි. මැක්මීකින් තර්ක කරන්නේ, 1917 දී සිදුකෙරුනු මහත් දේශපාලන අත්වැරැද්ද වූයේ, 1917 ජූලියේ ඒ සඳහා අවස්ථාව උදා වී තිබියදී ද බෝල්ශෙවිකයන් කායිකව මූලෝත්පාටනය කර දැමීමට කෙරන්ස්කි අසමත්වීමයි. එකී අවස්ථාව උදා වූයේ, බෝල්ශෙවික් පක්ෂයට ජර්මනියෙන් මූල්‍ය ආධාර ලැබුනු බව හා ඒ අනුව ලෙනින් ජර්මානු අධිරාජ්‍ය හමුදා මූලස්ථානයේ ඒජන්තයෙකු ලෙස කටයුතු කල බව ඔප්පු කල හැකියැයි ඇඟවෙන තොරතුරු “සොයා ගත්” කල්හිය.

මෙම ශත වර්ෂයක් පැරනි අපවාදයට නැවත පන දීමේ දී මැක්මීකින් අනුකරනය කරන්නේ 1917 දී කොමියුනිස්ට්-විරෝධී “යෙලෝ ප්‍රෙස්” (සත්‍යය බවට තහවුරු වූ යුක්තියුක්ත පුවත් වෙනුවට හුදු හැඟීම් ඇවිස්සීමේ පුවත් සිරස්තල හා ලිපි පල කිරීමේ කසිකබල් පුවත්පත් කලාව) සඳහා ලියූ දක්ෂිනාංශික ලිබරල්, රාජාන්ඩුවාදී හෝ “බ්ලැක් හන්ඩ්‍රඩ්” (රුසියානු ෆැසිස්ට්වාදී) පුවත්පත් ලේඛකයන්ගේ ශෛලියයි.

මැක්මීකින් විසින් මෙම මුසාවට යලි පන දෙනු ලැබීම විමසා බැලීමට ප්‍රථම, එම කර්තෘවරයාගේ වෘත්තීය ප්‍රවීනත්වය පිලිබඳව කිවයුතු යමක් වෙයි. රුසියානු විප්ලව ඉතිහාසය පිලිබඳව තත්කාලීනව පුලුල් ප්‍රසිද්ධියක් ලැබී තිබෙන “අධිකාරීන්” බොහොමයකට මෙන්ම මැක්මීකින්ට ද එම ක්ෂේත්‍රයය සම්බන්ධයෙන් කිසිදු බැරෑරුම් දැනුමක් හෝ වැටහීමක් නැත. 1903 දී බෝල්ශෙවික් හා මෙන්ෂේවික් කන්ඩායම් නැගී ඒමට තුඩු දුන් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂ (ආර්එස්ඩීඑල්පී) යේ දෙවැනි සම්මේලනය පිලිබඳ මැක්මීකින්ගේ වාර්තාව ඔහුගේ මුග්ධත්වය පිලිබඳව උදාහරනයක් සපයයි. මේ වූ කලී, රුසියානු විප්ලවවාදී ව්‍යාපාරයේ 1917ට පෙර ඉතිහාසය තුල වඩාත්ම වැදගත් තනි සිද්ධිය ලෙස තර්ක කල හැකි අතර, එමගින් දුරදිග යන ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිවිපාක දනවන ලද බව ද එහිලා එක් කල යුතු වෙයි. මැක්මීකින් මේ සම්බන්ධව පහත දැක්වෙන වාර්තාව සම්පාදනය කරයි:

කල යුත්තේ කුමක්ද? යන 1902දී පල කල සිය කෘතිය තුල සංක්ෂිප්තව දක්වනු ලැබූ (ඇතැම්විට පෙරටු බලඇනිවාදය ලෙස හැඳින්වෙන) විශිෂ්ඨයන්ගේ වෘත්තීයමය කේඩරයක් වෙනුවෙන් ලෙනින් පෙනී සිටීමත්, පක්ෂය තුල බහුජන කම්කරු සහභාගිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය වූ මෙන්ෂේවිකයන් ඊට විරුද්ධවීමත් මත 1903 ජූලියේ සුප්‍රකට බෝල්ශෙවික්-මෙන්ෂේවික් භේදය ඇති වීය යන්න බොහොමයක් ඉතිහාස පොත් මගින් විස්තර කෙරී ඇති පොදු විශ්වාසය වන නමුත්, එම විශ්වාසයට පටහැනි ලෙස, බ්‍රසල්ස් සම්මේලනයේ සැබෑ ගිනිකෙලි ඇවිල ගියේ යුදෙව් ප්‍රශ්නය වටාය. සම්මේලනයේ දහහතර වැනි පුන්සැසිය දක්වා පක්ෂ සංවිධානය පිලිබඳව සාකච්ඡාවක් හෝ සිදු නොවීය. බ්‍රසල්ස්හි දී ලෙනින්ගේ ප්‍රධාන අරමුන වූයේ බුන්ඩ් ව්‍යාපාරය - එනම්, පක්ෂය තුල යුදෙව්වාදී ස්වතන්ත්‍රීය - පරාජය කිරීමයි. ඔහුගේ විජයග්‍රාහී තර්කය වූයේ යුදෙව්වන්ට පොදු භාෂාවක් හෝ පොදු ජාතික භූමි ප්‍රදේශයක් නොතිබූ හෙයින් ඔවුන් සැබැවින්ම ජාතියක් නොවූ බවයි. මින් බෙහෙවින් අමනාපයට පත් බුන්ඩ්හි ආදී කර්තෘ මාටොව්, නව මෙන්ෂේවික් (සුලුතර) කන්ඩායම පිහිටුවා ගැනීමට සම්මේලනයෙන් නැගිට ගියේය. සෑම යුදෙව් සමාජවාදියෙක්ම පාහේ ඔහු අනුව නැගිට ගියෝය. ඒ අතරට විශේෂයෙන්ම, දකුනු යුක්‍රේනයේ කර්සන්හි සිට පැමිනි, නා නා ජාතීන්ගෙන් සැදුම්ලත් ඔඩෙස්සාහි ජර්මානු පාසැලක අධ්‍යාපනය ලබා සිටි - යුරෝපීය මාක්ස්වාදය කෙරේ ඔහුගේ ආකර්ෂනයට මුල පිරුනේ එම පාසලෙනි- තරුන බුද්ධිමතෙකු වූ ලෙව් බ්‍රොන්ස්ටීන් (ට්‍රොට්ස්කි) ද ඇතුලත් විය. ලෙනින් රුසියානු යුදෙව්-විරෝධීන්ගේ තර්ක එහැමපිටින්ම පාහේ ප්‍රතිබිම්බනය කල තතු තුල මාටොව්, ට්‍රොට්ස්කි හා සෙසු යුදෙව්වන් විරුද්ධ පක්ෂයට එක්වීම වටහා ගැනීම අසීරු නොවේ. 2

මෙම විස්තර වාර්තාවේ ඇති ගැටලුව වන්නේ, එය කරුනු වශයෙන් ගත් කල මෙන්ම දේශපාලන අර්ථ කථනය ලෙස සැලකූ කල ද මුලුමනින් සාවද්‍ය වීමයි. භේදය සිදු වූ දින වකවානු සම්බන්ධ ඔහුගේ දෝෂය (භේදය ඇති වූයේ ජූලියේ නොව අගෝස්තුවේ ය) පසෙකින් තබමු. යුදෙව්-විරෝධියකු ලෙස ලෙනින්ට අපවාද නැගීමේ අරමුනින් මැක්මීකින්, මෙන්ෂේවිකයන් හා බෝල්ශෙවිකයන් අතර භේදය පිලිබඳව ඓතිහාසික හා දේශපාලන යථාර්ථයට මෙලෝ සම්බන්ධයක් නැති කථාන්තරයක් ගොතයි. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය භේද වූයේ යුදෙව් බුන්ඩ් ව්‍යාපාරය සම්බන්ධ කරුනක් මත නොවේ. පක්ෂය තුල බුන්ඩ්හි ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් ලෙනින් දැක්වූ විරුද්ධත්වයට එරෙහිව මාටොව් සම්මේලනයෙන් නැගිට යාමේ කථාව තිබියේවා, බුන්ඩ් ව්‍යාපාරයේ “ආදිකර්තෘ” වූ පුද්ගලයාට ද පටහැනිව, සම්මේලනයෙන් නැගිට යාමට බුන්ඩ් සාමාජිකයන් පොලඹවනු ලැබූ පක්ෂ යෝජනාව ලියනු ලැබූයේ මාටොව් විසිනි. කම්කරුවන්ගේ විප්ලවවාදී පක්ෂය තුල යුදෙව් ස්වාධිපත්‍යයට මාටොව් දැක්වූ විරුද්ධත්වය ලෙනින් ඊට දැක්වූ විරෝධයට වඩා කර්කශ එකක් විය. මෙන්ෂේවික්වාදයේ ඉතිහාසය පිලිබඳ ප්‍රමුඛ විශේෂඥ නැසීගිය ලියෝපෝල්ඩ් හයිම්සන් The Russian Marxists and the Origins of Bolshevism(රුසියානු මාක්ස්වාදීන් හා බෝල්ශෙවික්වාදයේ සම්භවය) නම් තම වැදගත් ශාස්ත්‍රීය කෘතිය තුල සඳහන් කල පරිදි, “මෙම විෂයය දෙවැනි පක්ෂ සම්මේලනය තුල ඉස්මතු වූ කල්හි මාටොව්, බුන්ඩ් නියෝජිතයන් සමග සාහසික ලෙස ගැටුනේය. මෙම සාකච්ඡා පැවැත්වෙද්දී ඔහුගේ වාදශීලී විලාසය තුල ඔහුගේ පිලේ අන් කවර සාමාජිකයෙකුගෙන් හෝ ප්‍රදර්ශනය නොවූ විරූ මහත් රලුපරලු බවක් පල විය.˜”3 ස්වාධිපත්‍යය සඳහා වූ බුන්ඩ් ඉල්ලීමට සහයෝගය දෙමින් ට්‍රොට්ස්කි ද 1903 සම්මේලනයෙන් නැගිට ගියේය යන මැක්මීකින්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිවයුත්තේ, එය ඇදහිය නොහැකි තරම් විශ්මිත ලෙස තවදුරටත් මුග්ධභාවය ප්‍රදර්ශනය කිරීමක් බවයි. ට්‍රොට්ස්කි බුන්ඩ් ව්‍යාපාරයේ දලදඬු විරුද්ධවාදියෙකු වූ අතර, සම්මේලනයේ විවාදයන් පිලිබඳ (ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකි) අනුපිටපත්වලින් පෙනී යන්නේ ට්‍රොට්ස්කි යලියලිත් මාටොව්ගේ යෝජනාවට පක්ෂව මැදිහත් වූ බවයි.

ජුලියස් මාටොව් 1917 දී

මෙය සුලුපටු වරදක් නොවේ. 1903 භේදයේ ප්‍රභවයන් පිලිබඳ “පොදු විශ්වාසය˜” ඛන්ඩනය කරන බවට කයිවාරු ගසමින් මැක්මීකින් ප්‍රදර්ශනය කරන්නේ, ඔහුට රුසියානු විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව මූලික දැනුමක් හෝ නොමැති බවයි. හයිම්සන්ගේ අතිශය වැදගත් කෘතිය (මැක්මීකින්ගේ පොතෙහි ග්‍රන්ථ නාමාවලිය තුල එය ඇතුලත් නොවේ) හෝ පියවරක් ඉදිරියට, පියවර දෙකක් පසුපසට කෘතිය තුල දෙවැනි සම්මේලනය සම්බන්ධයෙන් එන ලෙනින්ගේම සවිස්තරාත්මක වාර්තාව හෝ මැක්මීකින් විසින් කියවනු ලැබ නැතැයි යමෙකුට වැඩි සැකයකින් තොරව අනුමාන කල හැක. බෝල්ශෙවික්-මෙන්ෂේවික් භේදය අවුලුවා ලූ කාරනා නිසි ලෙස හඳුනා ගැනීමට හා පැහැදිලි කිරීමට අසමත් වන මැක්මීකින්, රුසියානු සමාජවාදයේ ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙකු ලෙස සලකනු ලැබීම සඳහා තමන් නුසුදුස්සෙකු බවට තමාම පත් කොට ගනී.

ජර්මානු ආන්ඩුව 1917 දී බෝල්ශෙවිකයන්ට මුදල් දීමට යත්න දරන්නට ඇත. එහෙත් එය එසේ කලේ, රුසියාව අධිරාජ්‍යවාදී යුද්ධයට සහභාගී වීමට එරෙහිව සමාජවාදීන්ගේ විරුද්ධත්වය, තම සතුරන් අතරින් එකෙකු දුබල කරනු ඇතැයි ගනන් බලන ලද, තමන්ගේම හේතූන් මත ය. එම ප්‍රයත්නයන්, රුසියාවේ සිදුවීම්වල දිශානතියට බලපෑම් කිරීම සඳහා බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ආන්ඩු විසින් දැරුනු එවැනි උත්සාහයන්ට වඩා මොන ආකාරයකින්වත් වෙනස් නොවූ අතර, එකී ප්‍රයත්න දරන ලද්දේ ජර්මානු ආන්ඩුවේ උපක්‍රම තුල ලෙනින්ගේ සහභාගීත්වයකින් තොරව ය.

“”

විප්ලවයේ පූර්විකාව තුල රබිනොවිච් මෙසේ ලියයි: “එහෙත් මේ විෂයය සම්බන්ධයෙන් පවතින අනන්තවත් ලේඛන සම්භාරය තුල කොතැනකවත්, ලෙනින්ගේ පිලිවෙත් හෝ උපාය මාර්ග කවර ආකාරයකින්වත් ජර්මනුන් විසින් මෙහෙයවන ලද බවට හෝ, අඩු තරමින් ඔවුන්ගේ බලපෑමට හසු වූ බවට හෝ වන ප්‍රවාදයට සහාය දෙන කිසිදු සාක්ෂියක් හමු නොවේ.” 4

මැක්මීකින් සිය ග්‍රන්ථ නාමාවලිය තුල 1917 ජූලි සිදුවීම් සම්බන්ධ වඩාත්ම වැදගත් අධ්‍යයනයන් අතරට රබිනොවිච්ගේ ග්‍රන්ථය ලැයිස්තුගත නොකිරීම කිසිසේත් පුදුමසහගත නොවේ. එහෙත් රබිනොවිච්ගේ මතය නියෝජනය කරන්නේ, විද්‍යාර්ථීන් මේ සම්බන්ධයෙන් පොදුවේ එකඟ වන මතයයි. ලෙනින්ට එරෙහි චෝදනාවන්, අපවාද ලෙස හැර, අන් කිසිදු ලෙසකින් සැලකූ එකදු බැරෑරුම් ඉතිහාසඥයෙකු හෝ නැත.

1917 ට්‍රොට්ස්කි පෙට්‍රොග්‍රෑඩයට පැමිනේ

ලෙනින් ජර්මනිය හරහා “මුද්‍රා තැබූ දුම්රියේ ” (මුද්‍රාම තැබූ දුම්රිය යන්නෙන් හැඟවෙන්නේ රේගු හා ආගමන මුද්‍රාම යටතේ රටකින් රටකට යැවෙන දුම්රියකි. එහි අඩංගු දේ හෝ පුද්ගලයන් ගමනේ ආරම්භය හා අවසානය අතරතුර ඇතුලුවන හෝ පිටත් වී යන කිසිදු රටකට ඒවා / එම පුද්ගලයන් ඇතුලු වූ සේ නෛතිකව නොසැලකේ) පෙරලා පැමිනි තැන් පටන්, විප්ලව-විරෝධී දක්ෂිනාංශය, බෝල්ශෙවික් නායකයා කයිසර් අධිරාජයාගේ ඒජන්තයෙකු ලෙස නිරූපනය කිරීමට ප්‍රයත්න දැරීය. විප්ලවයේ මුල් මාසවලදී මේ අපවාදයට ලිබරල් හා ෆැසිස්ට්වාදී කවයන්ගෙන් පිටත කිසිදු සහායක් දිනා ගත්තේ නැත. තමන්ගේ නායකයන් අතර වඩාත්ම ධෛර්යසම්පන්න හා දීප්තිමත් අයෙකු ලෙස රුසියානු කම්කරුවන් විසින් පුලුල්ව පිලිගැනුනු තැනැත්තෙකු, වහා පෙරලා පැමිනීමේ දී, ඔහු විප්ලවකාරී පෙට්‍රොග්‍රෑඩය කරා ඇති වේගවත්ම මාර්ගය තෝරා ගැනීමේ හැකියාව කවුරුන් විසිනුදු හොඳින් වටහා ගන්නා ලදී. මසක ඇවෑමෙන් මාටොව් ද බොහෝ අදිමදිකිරීම්වලින් පසු ජර්මනිය හරහා මග තෝරා ගත්තේය. තවද, 1917 මාර්තු-අප්‍රේල් කාලයේ ට්‍රොට්ස්කි ලද අත්දැකීම් ද ලෙනින්ගේ තීරනයට තවදුරටත් වලංගුභාවයක් ලබා දුන්නේය. නිව්යෝර්ක් සිට අත්ලාන්තික් සාගරය හරහා ගමන් කල ට්‍රොට්ස්කි හැලිෆැක්ස් වෙරලින් එපිට දී තම නෞකාවෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අධිකාරීහු ක්‍රියා කලෝය. ඔවුන්ගේ ප්‍රයත්නය වූයේ, “ලෙනින්ට ද වඩා නරකයැ˜යි ඔවුන් බොහෝ දෙනා විශ්වාස කල, ඔවුන් බොහෝ දෙනාගේ භීතියට හේතු වූ විප්ලවවාදියා, රුසියාව කරා පෙරලා පැමිනීම වලකා ලීමයි. බ්‍රිතාන්‍යයෝ මාසයක් පුරා ට්‍රොට්ස්කි යුද කඳවුරක සිරගත කොට තැබූහ. පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ විරෝධය හා ඔහු නිදහස් කරන ලෙස තාවකාලික ආන්ඩුව විසින් අදිමදි කරමින් සිදුකෙරුනු ඉල්ලීම ද හමුවේ අවසානයේ ට්‍රොට්ස්කිට රුසියාව කරා ආපසු ගමන යලි ඇරඹීමට ඉඩ සලසන ලදී. ඔහුගේ පැමිනීම සිදුවූයේ ලෙනින්ගේ ආගමනයෙන් මසකට අනතුරුවය.

ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි, තාවකාලික ආන්ඩුව හා ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය විසින් ලෙනින් ජර්මානු ඒජන්තයෙකු වීය යන චෝදනාවට යලි පන දෙනු ලැබුවේ, ජූලි දිනවලදී (ජූලි 3-4) කම්කරු පන්ති කැරැල්ලක තර්ජනයෙන් භීතියට පත්ව දැක්වුනු ප්‍රතිචාරයක් ලෙසය. නැගිටීමක් සඳහා තතු පරිනත වී නැතැයි විශ්වාස කල බෝල්ශෙවික් පක්ෂය, කම්කරු පන්තිය සංසිඳුවා ගැනීමට යත්න දැරූ නමුදු, තාවකාලික ආන්ඩුව හා එහි සහචරයෝ, ලෙනින්ට එරෙහිව ම්ලේච්ඡ ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කලෝය. තුට්ටු දෙකේ දක්ෂිනාංශික පුවත්පත් විසින් පෙට්‍රොග්‍රෑඩය තුල ජන ඝාතන වර්ගයේ වාතාවරනයක් නිර්මානය කර ගැනීමට, එම චෝදනා භාවිතා කෙරින. ලෙනින්ට එරෙහිව ඉදිරිපත් වූ අපවාදයේ කිලිටු ස්වභාවය හඳුනා ගන්නා ලදී. නිකොලායි සුඛානොව් සිය මතක සටහන් තුල සිහිපත් කරන පරිදි:

විප්ලවය සමග සැබැවින්ම බැඳී සිටි ජනතාව අතරින් එකෙකු හෝ මෙම [ලෙනින්ට එරෙහි] කටකථාවල අභූත ස්වභාවය පිලිබඳව මොහොතකටවත් සැක නොකල බැව් කිවයුතු නොවේ. එහෙත් -දෙවියනි!- සුලුතරය අතර, විප්ලවයේ වාටියේ එල්ලී සිටින්නන් අතර හා නගරයෙන් ද ගමෙන් ද පොදුවේ හමුවන මැටිමෝලුන් අතර කවර නම් කථා පැතිර යන්නට පටන් ගෙන තිබුනි ද? 5

ලෙනින්ට එරෙහි අපවාදය විස්මය දනවන බලයක් අත්පත් කර ගත්තා වූ, මුසාවන්ගෙන් හා ප්‍රචන්ඩත්වයෙන් යුත් එකී වාතාවරනය පිලිබඳව සුඛානොව් සිත් කාවදින සුලු විස්තරයක් ගෙන එයි. ඔහු ලියූවේ, ලෙනින් අපකීර්තියට පත්කිරීමට දැරිය හැකි සෑම ප්‍රත්නයක්ම දරමින් සිටි “අපේ ලිබරල් පුවත්පත් වල නීචභාවයේ මට්ටම” පිලිබඳ ජුගුප්සාව පල කරමිනි. ලෙනින්ට එරෙහිව දෝෂාරෝපනය ගෙන එතැයි කියනු ලැබූ ලේඛන කිසිත් විශේෂ සැලකිල්ලකින් යුතුව හැදෑරීමට කිසිවෙක් කරදර නොවූහ.

ඉනික්බිතිව එලැඹුනු දිනවලදී අලුත් ලේඛන කිසිවක් පල නොවීය. එහෙත් ඇරඹෙමින් පැවැති [දේශපාලන ප්‍රතිගාමීත්වයේ] යුගය සඳහා එපමනක් වුව ප්‍රමානවත් බැව් පෙනී ගියේය. ලෙනින්ගේ දූෂන ඔප්පුවීම මත පදනම්ව ධනපති පුවත්පත් විසින් ආරම්භ කල යුද නැටුම් සංදර්ශනය පිලිබඳව සිතා ගැනීමට උපුටා දැක්වීම් අවශ්‍ය නොවේ. සාර්වාදී රහස් පොලිසිය හා ජර්මානු හමුදාවේ සැබෑ ඒජන්තයන් ද ජූලියේ පැවැති කැලැඹිලිකාරී තතු තම වාසියට හරවා ගැනීමට යත්න දරමින් සිටි බව නිසැකය. අගනුවර සිටි සෑම වර්ගයකම රස්තියාදුවෝ, ඇති වී තිබූ වියවුල්කාරී තතු, පටලැවිලි, කලකෝලාහල හා ඉන් පෙර දිනයේ මනෝභාවයේ ඇති වූ සීරුමාරුවීම් තම වාසියට ගසා කෑමට උත්සාහ දරමින් සිටියහ. එහෙත් සත්තකින්ම සියලු අපරාධ සම්බන්ධයෙන් චූදිතයා, බෝල්ශෙවිකයන් බවට ඒකච්ඡන්දයෙන් ප්‍රකාශ කෙරිනි. ජූලි 5 වන දින, එනම් ප්‍රතිගාමීත්වයේ පලමු දිනයේ, “ප්‍රධාන පුවත්පත්” පිරී තිබුනේ බෝල්ශෙවිකයන් දඩමීමා කරගත් වාර්තා වලිනි. 6

චයිනා මිවිල්, මනා පර්යේෂනවලින් පසු “ඔක්තෝබර්˜”යන මැයෙන් මෑතකදී පල කෙරුනු, විප්ලවය පිලිබඳ ඔහුගේ ජීවමාන වාර්තා ලේඛනය තුල ලෙනින්ට එරෙහි චෝදනා සම්බන්ධ සිදුවීම මෙසේ පිඬු කොට දක්වයි:

මෙම මිථාපවාදයේ සංකීර්න අවුල්ජාලයක් වූ විස්තරය පදනම් වූයේ, යෙර්මොලෙන්කෝ නම් එක් ලුතිනන්වරයෙකු සහ ඉසෙඩ්. බර්ස්ටීන් නම් එක් වෙලෙන්දෙකු විසින් කියන ලද (ඔප්පු කිරීමට සාක්ෂියේ නැති) කරුනු මතය. පසුව ජර්මානු දේශප්‍රේමියෙකු බවට හැරුනු හිටපු මාක්ස්වාදී න්‍යායාචාර්ය පාර්වුස් විසින් නායකත්වය දෙනු ලැබූ ජර්මන් ඔත්තු ජාලයක්, බෝල්ශෙවිකයන් සමග සම්බන්ධතා දිගටම පවත්වා ගෙන යන්නේයැයි ඉහත කී බර්ස්ටීන් නැමැත්තා චෝදනා කලේය. යෙර්මොලෙන්කෝගේ කොටස වූයේ, ඒවා, තමන් ජර්මානුවන් අත යුද සිරකරුවෙකුව සිටියදී, ලෙනින්ගේ භූමිකාව පිලිබඳව ජර්මන් හමුදාවෙන් අසන්නට ලැබුනු දේ බව කියා සිටීමයි. යෙර්මොලෙන්කෝට අනුව එම ජර්මානුන්, (එකට වෙලී ගත් වරදවා හඳුනා ගැනීම් මාලාවක් විය හැකි) ඔහු තමන්ගේ ඔත්තුකරුවෙකු ලෙස බඳවා ගැනීමට තැත් කොට ඇති අතර, අවසානයේදී යෙර්මොලෙන්කෝ ඔවුන්ගේ එම ප්‍රයත්නය සාර්ථක වී යැයි ඔවුන්ට අඟවා ඇත.

“”

මෙම ප්‍රකාශ, මුසාවාදකරනයේ, ප්‍රබන්ධකරනයේ හා අගතිගාමීත්වයේ අවුල් ජාලයකි. යෙර්මොලෙන්කෝ අමුතු චරිතයකි. අඩුවෙන්ම කියතොත් ඔහු දවල් හීන දකින්නෙකි. ඒ අතර ඔහුගේම ආන්ඩුවේ බලධාරීන් විස්තර කලේ, බර්ස්ටීන් සහමුලින්ම විශ්වාස නොකලැකි අයෙකු ලෙසය. ලිපි ගොනුව සූදානම් කෙරුනේ, හිටපු කඨෝර බෝල්ශෙවිකයෙකු වූ ඇලෙක්සින්ස්කි විසිනි. අශූචි වලවල් කැලැත්තීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ ඔහුගේ ද්වේශසහගත භාවය කෙතෙක් වීද යත්, ඔහුට සෝවියට් සභාවට ඇතුලවීම තහනම් කොට තිබිනි. මෙම වල්පල් අතරින් කිසිවක් හෝ මොහොතකටවත් විශ්වාස කල බැරෑරුම් මිනිසුන්, දක්ෂිනාංශිකයන් අතර පවා, කිසිවෙකුත් නොවූ තරම්ය. අඩුවෙන් අපකීර්තියට පත් හෝ, වඩාත් ප්‍රවේශම්කාරී දක්ෂිනාංශිකයන් ඇතැමෙකු ඒවා පල කිරීම පිලිබඳව Zhivoe slovo (ෂිවෝ ස්ලෝවෝ) පුවත්පත [ජීවමාන වචනය, අපවාද ව්‍යාපාරය දියත් කල දක්ෂිනාංශික කසිකබල් පුවත්පත] කෙරේ කෝපාවිෂ්ඨ වූයේ මන්දැයි එයින් පැහැදිලි කෙරේ. 7

මිවිල්ගේ කර්කශ කියමනම භාවිතා කලහොත්, මැක්මීකින්ගේ පොත හා නිව්යෝර්ක් ටයිම්ස්හි ඔහු පල කල ලිපිය “අශූචි වලවල් කැලැත්තීමේ”යාවත්කාලීන කල අභ්‍යාසයකට වැඩි යමක් නොවේ. ඔහුගේ ලේඛනය මෙම දුගඳ හමන මිශ්‍රනයට වංචනික ප්‍රකාශ තොගයක් එක් කරයි.

ජූලි දවස් ලෙස හඳුන්වනු ලබන රජය පෙරලීමේ දෙවැනි ප්‍රචන්ඩ ප්‍රයත්නයෙන් අනතුරුව, ලෙනින් හා තවත් බෝල්ශෙවිකයන් 10 දෙනෙකුට එරෙහිව “රාජද්‍රෝහීවීමේ හා සංවිධානාත්මකව සන්නද්ධ කැරැල්ලක් ගැසීමේ˜” චෝදනා ඉදිරිපත් කෙරින. ස්ටොක්හෝම් සිට බැංකු හරහා මුදල් හුවමාරු කිරීම්, ජර්මන් ආනයන ව්‍යාපාරයක් හරහා කලූ සල්ලි මගඩි, බෝල්ශෙවික් පුවත්පත වූ ප්‍රව්ඩා සඳහා (ඉදිරි පෙල භට කන්ඩායම් ඉලක්ක කරගත් මුද්‍රනයන් ද ඇතුලුව) ජර්මනියෙන් මුදල් යෙදවීම, වීථීවල විරෝධතාවලදී බෝල්ශෙවික් පුවරු අල්ලා ගෙන සිටීම වෙනුවෙන් පවතින රේට්ටු (රූබල් 10), නැතහොත් රතු බලකාය තුල සටන් කිරීම සඳහා ගෙවූ මුදල (දිනකට රූබල් 40) පිලිබඳව සාක්ෂි දීමට දුසිම් ගනන් සාක්ෂිකරුවෝ ඉදිරිපත් වූහ. ලෙනින් පින්ලන්තය බලා පලා ගිය අතර ඔහුගේ සහෝදරවරුන්ගෙන් වැඩි දෙනා අත්අඩංගුවට පත් වූහ. ආකර්ශනීය නඩු විභාග සංදර්ශනයක් සඳහා වේදිකාව සැකසී තිබින.

ඇත්තෙන්ම කිවහොත්, තාවකාලික ආන්ඩුව “ආකර්ශනීය නඩු විභාග සංදර්ශනයක්˜” සඳහා සූදානම් වෙමින් සිටියේ නැත. ආන්ඩුව ලෙනින්ට එරෙහි අපවාද ව්‍යාපාරය පාවිච්චි කරමින් සිටියේ, යම් හෙයකින් ඔහු හඹා යමින් සිටි හමුදාවන්ගේ හෝ ෆැසිස්ට් මැරයන්ගේ අතට හසු වී නම් පොලිස් ස්ථානයකට හෝ යාමට පෙරාතුව ඔහු මරා දැමෙනු ඇති වාතාවරනයක් නිර්මානය කරනු සඳහාය. ජූලි දවස්වලින් ඉක්බිතිව එලැඹුනු ප්‍රතිගාමිත්වයේ නාඩගම තුල සමස්ත දේශපාලන වාමාංශයම ප්‍රහාරයට ගොදුරු විය.

“එමෙන්ම බිය විය යුතුව තුබුනේ හුදෙක් බෝල්ශෙවිකයන් පමනක් නොවේ,˜” මිවිල් ලියයි. ෆැසිස්ට්වාදී බ්ලැක්හන්ඩ්‍රඩ්වරුන්ගේ “පරපීඩාකාමී සුපරීක්ෂකයෝ, ‘ද්රෝහීන්' හා ‘කරදරකාරයන්' දඩයම් කිරීම සඳහා නිවෙස්වලට කඩා පනිමින් වීථී පුරා කරක් ගැසුවෝය.˜”8 යුදෙව්වෝ සුවිශේෂී ලෙස අනතුරුදායක තත්වයකට මුහුන පා සිටියහ. “රටම සිසාරා ගිය අශුභ පෙරනිමිත්ත වූයේ, අන්ත-දක්ෂිනාංශික, යුදෙව් විරෝධී ජනඝාතකවාදීන්ගේ නැගීමයි. ‘ශුද්ධ වූ රුසියාව' නම් කන්ඩායමක් ප්‍රචන්ඩත්වය සඳහා යලියලිත් කෙරුනු කැඳවුම් සමග Grozaග්රෝර(z)සා -අකුනු කුනාටුව- නම් ව්‍යාපාරය දියත් කලහ. වීථී කොනේ කලහකාරීහු යුදෙව්වන්ට එරෙහිව ගර්ජනා කලහ.˜”9

ජුලි දිනයන්හි , තාවකාලික ආන්ඩුවේ හමුදාවේ මෙෂින් තුවක්කු ප්‍රහාරයෙන් පසු නෙව්ස්කි හි වීදි පෙලපාලි

ජූලි දිනවලින් පසුව පැවැති දේශපාලන තතු පිලිබඳ සිය අනුමැතිය මෙලෙස මැක්මීකින් සිය පොතෙහි පිඬු කොට දක්වයි: “අන්ත-වාමාංශයේ කැරැල්ල, බෝල්ශෙවික් ද්‍රෝහිත්වයට එරෙහිව ඒකරාශී වූ දේශප්‍රේමී මනෝභාවය විසින් මේ දැන් කුඩුපට්ටම් කරනු ලැබ තිබින.˜”10

මැක්මීකින්ගේ පොතෙහි හා ඔහුගේ රචනයේ හදවතෙහිම පවතින මූලික ප්‍රෝඩාව වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව දෙවැනි ජාත්‍යන්තරය 1914 ට පූර්ව යුගයේ දැරූ දේශපාලන ආස්ථානයන් මත පදනම් කෙරුනු ලෙනින්ගේ සප්‍රතිපත්තික සමාජවාදී විරුද්ධත්වය, ජර්මන් ඒජන්තයෙකු විසින් ක්‍රියාත්මක කෙරුනු රුසියානු විරෝධී ද්‍රෝහිත්වය හා අනන්‍ය කොට දැක්වීමයි.

රුසියානු ෆැසිස්ට් ජාතිකවාදියෙකු ලෙස ලියමින් ඔහු මෙසේ ප්‍රකාශ කරයි: “ලෙනින් ඔහු වැනි සෙසු රුසියානු සමාජවාදීන්ගෙන් වෙන් කරනු ලැබුවේ, උන්මත්තක උද්‍යෝගයකින් යුතුව ඔහු යුද්ධය පිලිබඳව දැක්වූ විරුද්ධත්වය හා, මධ්‍යම බලවතුන්ගේ පිලේ ප්‍රමුඛ එල්ලයක් වූ යුක්‍රේනියාවේ නිදහස දිනාගැනීම සඳහා පිදූ ඔහුගේ සහයෝගයෙනි.˜”මේ අනුව, දැන් අපට එය පැහැදිලිය: 1907 වසරේ ස්ටුට්ගාර්ට්හි දී, 1910 දී කෝපන්හේගන්හි දී සහ 1912 දී බාසල්හිදී දෙවැනි ජාත්‍යන්තරය සම්මත කල යුද්ධ-විරෝධී අභියෝජනාවන්ට බැඳී සිටීමෙන් ලෙනින්, මධ්‍යම බලවතුන්ගේ අපසහායකයෙකු බවට පත් කෙරෙයි! එපරිද්දෙන්ම, බෝල්ශෙවිකයන්ගේ පූර්ව-යුද කාලීන වැඩ පිලිවෙලේ ප්‍රමුඛ අංගයක් වූ ජාතීන්ගේ ස්වයංනිර්නය අයිතිය ආරක්ෂා කිරීම සඳහා ලෙනින් පෙනී සිටීමෙන් ඔහු ජර්මන් ඒජන්තයෙකු වූ බැව් ගම්‍ය කෙරේ!

1915 දී ලෙනින් විසින් විප්ලවවාදී පරාජකවාදයේ වැඩ පිලිවෙල ඉදිරිපත් කෙරුනු “සමාජවාදය හා යුද්ධය˜” ප්‍රකාශනය ඔහුගේ ද්‍රෝහිත්වය පිලිබඳ තවත් උදාහරනයක් ලෙස මැක්මීකින් උපුටා දක්වයි. 1914 හා 1917 අතරතුර ලෙනින් විසින් රචිත අනෙකුත් ලේඛන සේම මෙම ලේඛනය ද, අන් සියල්ලට ඉහලින්, යුද්ධයේ දී ඔවුන්ගේ ආන්ඩුවට සහාය දීමේ ද්‍රෝහිත්වය සම්බන්ධයෙන් ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙලා දුටු බව සැලකිල්ලට ගැනීමට මැක්මීකින් අසමත් වෙයි. ලෙනින්ගේ ආස්ථානය වූයේ, සෑම සමාජවාදියෙකුම තමන්ගේ අධිරාජ්‍යවාදී ආන්ඩුවේ යුද අරමුනුවලට විරුද්ධ විය යුතු අතර එහි පරාජය සඳහා සටන් වැදිය යුතු බවයි - එහෙත් ඒ, මැක්මීකින් විසින් ගම්‍ය මාන කරන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් තුලින් නොව, සෙබලුන් හා කම්කරු පන්තිය තුල යුද විරෝධී ප්‍රචාරනය වර්ධනය කිරීමෙනි.

ජර්මානු ඒජන්තයෙකු ලෙස ලෙනින්ගේ භූමිකාව පිලිබඳ තවත් උදාහරනයක් ලෙස චෝදනා නමින් මැක්මීකින් ලියා ඇත්තේ, “තවද, රුසියාවට පෙරලා පැමිනීමෙන් පසුව පවා ලෙනින් ඔහුගේ යුද විරෝධී ආකල්ප නොසැඟවූ˜”බවයි. සත්තකින්ම ඔහු එසේ නොකලේය. රුසියාවට පෙරලා පැමිනීමෙන් පසු ලෙනින්, 1915 සැප්තැම්බරයේ සිමර්වෝල්ඩ් සම්මේලනයේ දී තමන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ ජාත්‍යන්තරවාදී යුද විරෝධී වැඩ පිලිවෙල සඳහා සටන් කලේය.

කෙරෙන්ස්කි 1917 දී

මැක්මීකින්ගේ පොතෙහි මාවත අනුයමින් ඔහුගේ ලිපිය “ජූලි දවස්˜”ඉදිරිපත් කරන්නේ අතහැර ගත් අවස්ථාවක් ලෙසය. 1917 ජූලිය - ට්‍රොට්ස්කි උචිත ලෙස විස්තර කල පරිදි, “මහා අපවාදයේ මාසය ”තුල බෝල්ශෙවිකයන් අත්අඩංගුවට ගැනීමට කෙරෙන්ස්කි නියෝග කලේය. එහෙත් ඔවුන් ඉවරයක් කර දැමීමට ඔහු අසමත් වූයේය. අගෝස්තුවේ සාර්වාදී ජනරාල් කොර්නිලොව් සිය ෆැසිස්ට් කුමන්ත්‍රනය දියත් කල කල්හි කෙරෙන්ස්කි සහාය පතා වම කරා හැරුනේය. “අදූරදර්ශී පියවරක් ගනිමින් කෙරෙන්ස්කි බෝල්ශෙවික් මිලිටරි සංවිධානයට යලි සන්නද්ධ වීමට ඉඩ හල අතර, එමගින් තව දෙමසක ඇවෑමෙන් ඔහු බලයෙන් පහ කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇති ආයුධ අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය.˜”

එනයින්, කෙරෙන්ස්කිගේ “අදූරදර්ශී පියවර”නිසා පෙට්‍රොග්‍රෑඩය අත්පත් කොට ගෙන දසදහස් ගනනින් කම්කරුවන් වනසා දැමීමේ අවස්ථාව කොර්නිලොව්ට අහිමි කෙරිනි. තම පොත තුල, කෙරෙන්ස්කිගේ වරද පිලිබඳ සිය කලකිරීම මැක්මීකින් නොසඟවා පල කරයි. “කෙරෙන්ස්කි සිතමින් සිටියේ මොන උලව්වක් ද?”ඔහු හඬ නගයි. 11

මැක්මීකින්ගේ ලිපියේ සමාප්තිය තුලින් කිසියම් දේශපාලන චකිතයක් නොදැනීම පාහේ හෙලිදරව් කෙරේ. ඔහු මෙසේ ලියයි:

1917 දී රුසියාවේ මෙන් නොව, අද දින මහා බලවතුන්ගේ ආන්ඩු -වොෂින්ටනයේ, පැරීසියේ, බර්ලිනයේ හෝ මොස්කව්හි වේවා- ලෙනින් කෙනෙකුට ගොදුරු නොවිය හැකි තරමට ශක්තිමත් ලෙස ආරක්ෂා කෙරී පවතී. නැතහොත්, තතු එපරිද්දෙන් වෙතැයි අප අපේක්ෂා කල යුතුය.

මැක්මීකින් සම්බන්ධයෙන් ගත් කල, රුසියානු විප්ලවයේ පාඩම පැහැදිලිය: විප්ලවවාදීන් මුලිනුපුටා දැමිය යුතුය. 1917 ජූලියේ “වැරදීම”යලි නොසිදුවිය යුතුය. එහෙත් ධනපතීහු මැක්මීකින්ට බොහෝ පූර්වයෙන් 1917 පාඩම උගත්තෝය. 1919 ජනවාරියේ ෆැසිස්ට් පැරා හමුදා බලකායෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවේ උදව් ඇතිව ජර්මානු විප්ලවයේ විශිෂ්ඨ නායකයන් දෙදෙනා වූ රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට් ඝාතනය කලෝය.

1917 ජූලියේ අපවාදයන් හා ඉනික්බිතිව පැමිනි ප්‍රතිවිප්ලවවාදී ප්‍රචන්ඩත්වය නොතකා බෝල්ශෙවිකයෝ වහා ප්‍රකෘතිමත් වූහ. අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී බෝල්ශෙවික් පක්ෂය අත්දුටුවේ පුපුරන සුලු වර්ධනයකි. මහජනයා ලෙනින්ට එරෙහි චෝදනා මුසාවන් ලෙස ප්‍රතික්ෂේප කලාහ. එමෙන්ම, එය ඉතිහාසය විසින් දෙන ලද තීන්දුව ද වෙයි. අශූචි ඇවිස්සීමේ මහාචාර්ය මැක්මීකින්ගේ ප්‍රයත්නයන්ගෙන් එහි වෙනසක් සිදු වනු නැත.

සටහන්:

1. ෂෝන් මැක්මීකින්, The Russian Revolution: A New History (New York: Basic Books, 2017), පි. 351-52

2. එම, පි. 22-23, අවධාරනය එක් කරන ලදී.

3. Boston: Beacon Press, 1955, පි. 64

4. Indiana University Press, 1968, පි. 286

5. The Russian Revolution 1917 , එන්.එන්. සුඛානොව්, සංස්කරනය ජොවෙල් කාමිචෙල් (New York: Harper Torchbook, 1962), පි. 453-54

6. එම, පි. 459

7. October: The Story of the Russian Revolution, චයිනා මිවිල් (Verso, 2017), පි. 185-86

8. එම, පි. 186

9. එම, පි. 192

10. The Russian Revolution, පි. 179

11. එම, පි. 198

Share this article: