ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ බොරු නඩු අටවා සිරගත කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ට තම සහෝදරත්වය ප‍්‍රකාශ කරති

Sri Lankan free trade workers express solidarity with framed-up Maruti Suzuki workers in India

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 1

ඉන්දියාවේ සිරගත කල මරුති සුසුකි වාහන කම්කරුවන් නිදහස් කර ගැනීමට හතරවන ජාත්‍යාන්තරයේ ජාත්‍යාන්තර කමිටුව (හජජාක} ගෙන යන ව්‍යාපාරය සඳහා ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) හි ආධාරකරුවෝ කටුනායක නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් දිනා ගත්හ. බොරු නඩු අටවා සිරගත කල ඉන්දීය කම්කරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ගිය සතියේදී කම්කරුවෝ 25 කට වැඩි ගනනක් පෙත්සම අත්සන් කලහ.

මාස හතරකට පෙර, උතුරු ඉන්දීය හර්යානා ප‍්‍රාන්තයේ මනෙසාර් හි ජපනුන්ට අයිති මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලෙහි කම්කරුවන් 13 දෙනෙක්, බොරුමත ගෙතූ මිනීමැරුම් චෝදනා මත, ජීවිතාන්තය තෙක් දඬුවමට යටත් විය. රටට විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට ඉන්දීය පාලක ප‍්‍රභූව විසින් දියත් කරනු ලැබ ඇති අවම වැටුප් හා ශ‍්‍රම වෙලඳපොල තත්වයන්ට එරෙහි වන කම්කරු පන්ති විරෝධය මැඩ පැවැත්වීම අරමුනු කර ගෙන මෙම තීරනය ලබා දුනි. මෙම කම්කරුවන් හට දඬුවම් පැමිනවීම, කොන්ග‍්‍රස් පක්ෂය, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී), සමාගම, පොලීසිය හා අධිකරනය ඇතුලත් වූ ඒකාබද්ධ හඹායෑමක ප‍්‍රතිපලයක් විය.

නිවෙක කම්කරුවෙකුගේ නවාතැනක පිටත

මරුති සුසුකි පිහිටා ඇති ඉන්දියාවේ ගුර්ගෝවන්-මනෙසාර් කර්මාන්ත තීරයේ පවතින වැඩකරන තත්වයන්ට සමාන තත්වයක් පවතින ශ‍්‍රී ලංකාවේ පැරනිම හා විශාලතම නිදහස් වෙලඳ කලාපය වන කටුනායක නිවෙක හි වර්තමානයේ 40,000 ක් පමන වන කම්කරුවෝ වැඩ කරති. පසුගිය දශකය පුරා, වෙලඳ කලාපයේ ස්ථිර රැකියා ගනන එන්න එන්නම අඩුවී ඇති අතර ආයෝජකයන්ගේ සුපිරි-ලාභ ආරක්ෂා කිරීමට එම රැකියා කොන්ත‍්‍රාත් රැකියාවලින් ප‍්‍රතිස්ථාපනය කර තිබේ. තම ගෝලීය තරඟකරුවන් හා සම කිරීමට, සමාගම් සූරාකෑමේ රේට්ටුව ඉහල යවමින් සිටිති.

2011 මැද දී, රාජ්‍ය මර්දනයට එරෙහිව නිවෙක කම්කරුවන් සටන් කිරීම, 21 වියැති රොෂේන් චානක කම්කරුවා පොලීසියෙන් මරා දමමින් හා 200 කට වඩා කම්කරුවන් පිරිසකට තුවාල සිදු කරමින් කෙලවර විය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) අනින් ඇති කරන්නට සැරසුනු විශ‍්‍රාම වැටුප් “ප‍්‍රතිසංස්කරන” ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා වැඩ වර්ජන හා විරෝධතා දියත් කල කම්කරුවන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ ආන්ඩුව පොලීසිය මුදා හලේය. කෝපය සමනය කිරීමට හා ආන්ඩුවේ භූමිකාවට සුදුහුනු ගෑමට රාජපක්ෂ පත් කල කොමිසම විසින් සූදානම් කල, ප‍්‍රචන්ඩත්වයට හේතු වූ විමර්ෂනයේ ප‍්‍රතිපල වාර්තාව රාජපක්ෂ හා වර්තමාන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩු දෙකෙන්ම යටපත් කරමින් තිබී දැන් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

මරුති සුසුකි බොරු නඩු ඇටවීම, හජාජාක ව්‍යාපාරයේ වැදගත් කම හා රාජ්‍ය මර්දනයට එරෙහිව නිවෙක කම්කරුවන්ගේ අත්දැකීම් සසප/සසජාතශි ආධාරකරුවෝ සාකච්ඡා කලහ. ශ‍්‍රම වෙලඳපොල වැඩකරන තත්වයන් ගැන තමන්ගේම අත්දැකීම් සම්බන්ධව බොහෝ කම්කරුවෝ උද්‍යෝගීමත්ව ප‍්‍රතිචාර දැක් වූහ.

පොලිතීන් මලු කම්හලක සේවය කරන චාමර, “සූරාකෑම මෙහෙත් ඒ වගේමයි. අපට ඉරිදාත් වැඩ කරන්න කියනවා. දැන් ස්ථිර සේවකයන් සේවයට ගන්නේ ඉතා සීමිත ගනනක්. අපේ පඩියෙන් “මිනිස් බල”සමාගම (කම්කරු කොන්ත‍්‍රාත්කරු) තමන්ගේ ගෙවීම් අඩුකරගත් පසු අපට (කොන්ත‍්‍රාත් කම්කරුවන්ට) ගෙවන්නේ කිසිසේත්ම නොසෑහෙන පඩියක්. අපේ කම්හල තුල අපට වෘත්තීය සමිතියක් පිහිටුවන්නට ඉඩ දෙන්නේ නෑ. නමුත් ඔබ කියන ලෙස අපේ අයිතිවාසිකම් සඳහා සටන් කරන්නට ව්‍යාපාරයක් ගොඩ නගන්නට අපට අවශ්‍ය බව මම හිතනවා. මරුති සුසුකි කම්කරුවනුත් සටන් කලේ ඒ සඳහායි.” පැවසුවේය.

කටුනායන නිවෙක තරුන කම්කරුවන් සසප ආධාරකරුවාට සවන්දෙමින්

කොලඹට ආසන්න නිදහස් වෙලඳ කලාපවල වැඩ කරන්නට ගම්බද තරුනයන් පැමිනෙන්නේ ඇයිදැයි පැහැදිලි කරමින් ඔහු මෙස් පැවසීය, “මම පැමිනියේ ගාල්ලෙන් (ශ‍්‍රී ලංකාවේ දකුනෙන්). අපි වී වගාවේ නිරතව සිටියා. දක්ෂින අධිවේගී මාර්ගය හැදුවට පස්සේ අපේ කුඹුරු නිතරම ගංවතුරට යටවෙන්න ගත්ත නිසා ඒවා වගාකිරීම කරගෙන යන්න අපට බැරි වුනා. මං වාගේ බොහෝ ගම්බද තරුනයන්ට කෘෂිකර්ම හා ධීවර වගේ තමන්ගේ පාරම්පරික රැකියාවන් අතහැරලා හොඳ රැකියාවක් සොයාගෙන කොලඹට එන්නට සිදුවුනා.”

දිවයිනේ නැගෙනහිර වෙරලතීරයේ මඩකලපුවෙන් පැමින සිටි දෙමල ගැහැනු කම්කරුවෙක් වන ජෙසී ඇගේ පසුබිම මෙසේ විස්තර කලාය, “අපි විවාහ වෙලා මාස කීපයකට පස්සේ මගේ ස්වාමිපුරුෂයා හොඳ රැකියා අවස්ථාවක් සොයාගෙන පිට රට ගියා. අපට දරුවෙක් ලැබුනට පස්සේ අපේ අවශ්‍යතා සඳහා වැඩි මුදලක් සෙවීමට මට කටුනායක නිවෙක රැකියාවක් සොයාගන්නට සිදුවුනා. මගේ දරුවා මගේ දෙමාපියන් ගාව තබා එන්නට මට සිදුවුන අතර මට ඔවුන්ව බලන්න යන්න පුලුවන් මාසෙකට වතාවක් විතරයි. ජීවත්වීමට අපට ඉතා දුෂ්කර අරගලයක නිරතවන්නට සිදුවී තිබෙන නිසා අපේ පවුල බිඳී විසිරිලා. ලෝකය පුරාම බොහෝ කම්කරුවන්ගේ තත්වය මේකයි කියලා මම දන්නවා. අපි වාගේ දුගී කම්කරුවන්ට විරුද්ධව සිදුවන මේ අපරාධයට අපි විරුද්ධ විය යුතු නිසා මම මේ පෙත්සමට අත්සන් කරනවා.”

කටුනායක සිට කිමී 100 කට පමන ඈතින් පිහිටි රත්නපුර සිට පැමිනි රුවන් පැවසුවේ,“මාස අටකට පමන පෙර මම මගේ බිරිඳත් සමග නිවෙක වෙත පැමිනියා. මෙහෙ එන්නට පෙර මම ජීවත්වීමට නොයෙක් විදිහේ දේවල් කරා. අපේ ආදායම සරිවුනේ නැති නිසා මෙහේ එන්නට අප තීරනය කලා” යනුවෙනි.

රුවන් ඔන්ලයින් පෙත්සම අත්සන් කරමින්

මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ඔන්ලයින් පෙත්සම අත්සන් කිරීමට ඔහු බොහෝ උනන්දුවක් පෙන්වීය. “ඔබගේ වෙබ් අඩවිය හරහා ශ‍්‍රී ලංකාවේ කම්කරුවන් මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ සටනට සහයෝගය දෙන බව ඉන්දියාවේ හා මුලු ලෝකයේම කම්කරුවන් දකින බව අසන විට මට ගොඩාක් සතුටුයි. ඒක කම්කරුවන්ගේ එක්සත්භාවය ශක්තිමත් කරාවි. මම ලෙනින් ගැන කියවලා තියෙනවා ඔහුගේ නායකත්වය යටතේ කම්කරුවන් රුසියාවේ බලය ලබා ගත්තේ කොහොමද කියලා. මේ වාගේ ව්‍යාපාර එවැනි බලවේගයකට ආරම්භයක් දෙන බවට වන ඔබගේ තර්කයට මම එකඟයි.”

බොහෝ දෙමල කම්කරුවන්, මෑත කාලයේදී කඳුකරයේ වතුකරයේ සිට හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහිව දිගින් දිගටම පත් වූ සෑම රජයක්ම දශක තුනක් පමන දිග සිවිල් යුද්ධයක් ගෙන ගිය යුද්ධයෙන් බැට කෑ උතුරු හා නැගෙනහිර පලාත්වලින් කටුනායක නිවෙක වෙත පැමින තිබේ. වතුකරයේ වැඩකරන තත්වයන් නරක අතට කඩා වැටී ඇති අතර වැටුප් එකතැන පල්වී හෝ ඇද වැටී ඇති අතර යුද්ධයෙන් විනාශ වී යෑමෙන් පසු පාරම්පරික රැකියා සෙවීම අසීරු වී තිබේ.

නැගෙනහිර යුද්ධයෙන් බැට කෑ ගමකින් පැමිනි එක් තරුන කම්කරුවෙක් පැවසුවේ, “යුද්ධය කාලයේදී පන රැක ගැනීමට අපගේ ගම්වලින් පැනයෑමට පෙර අපි මසුන් ඇල්ලීමෙන් ජීවත් වුනා. නමුත් යුද්ධය නිමා වීමෙන් පසු අපි නැවත පැමිනිවිට, අප සතුව තිබූ සියලු දේ විනාශ වී ඇති නිසා, අපේ රැකියා කරගෙන යාමට නුපුලුවන් බව අප තේරුම් ගත්තා” යනුවෙනි.

නිවෙක හි කම්කරුවන් උපද්‍රව සහිත තත්වයන්ට මුහුන දෙන අතර බොහෝ දෙනාට තුවාල වී තිබේ. අත් වැසුම් නිෂ්පාදනය කරන කම්හලක වැඩ කරමින් සිටි නදීෂාගේ දෑත් යන්ත‍්‍රයක් තුල සිර වී දරුනු ලෙස තුවාල වී තිබේ. “මම ක‍්‍රියාකරවමින් සිටි යන්ත‍්‍රය කැඩිලා තිබුනට මට ඒ ගැන කියලා තිබුනේ නෑ. තත්පර හයක් වන තුරු මගේ අත උනු තැටි දෙකක් අතර හිරවෙලා දරුනු ලෙස පිච්චුනා. අපිව රක්ෂනය කර තිබෙන බව සමාගම අපට කියලා තිබුනත් මට එක රුපියලක්වත් ගෙව්වේ නෑ. මම අස්වෙලා වෙන රැකියාවක් සොයා ගත්තා.”

නදීෂාගේ පිලිස්සුනු අත

ඇය පෙත්සම ගැන ඉතා උනන්දුවක් දැක්වූවේ, “කම්කරුවන්ට හොඳ ලෝකයක් නිර්මානය කරන්නට අපි යමක් කල යුතුයි. කිසි බලවේගයක් හෝ ආන්ඩුවක් එය කරන්නේ නෑ. කම්කරුවන් ලෙස අප එකිනෙකාට උදව් කල යුතුයි. මේ වාගේ ගොඩක් ව්‍යාපාර තිබිය යුතුයැයි” පවසමිනි.

කොලඹ සිට කිමී 120 කට එහා පිහිටි දුරස්ථ ප‍්‍රදේශයක් වන නිකවැරටියේ තවත් තරුන ගැහැනු කම්කරුවෙක් ඇඟලුම් කම්හලකදී තම කෙස්වැටිය රෙදි සෝදන යන්ත‍්‍රයක පැටලීමෙන් දරුනු ලෙස තුවාල වී තිබුනි. “මගේ හිස්කබලේ බොහෝ සම්කොටස් සමග කෙස් මුලින්ම ඉදිරුන අතර මාව මාස ගනනකට රෝහල් ගත කලා. දැන් මගේ බෙල්ලෙත් ඔලුවෙත් විටින් විට වේදනාවක් ඇතිවෙන නමුත් මට දිගටම වැඩ කරන්න වෙලා තියෙනවා.” ඇය පැවසුවාය. ඇය සුදුසු ආරක්ෂිත උපකරන පැලඳ සිටියේ නැති බව පවසමින් සමාගම ඇයට වන්දිගෙවීම වලක්වන්නට උත්සාහ කල බව ඇය පැවසුවාය. “ඇත්තටම, අපේ ආරක්ෂාවට කිසිවක් සපයා තිබුනේ නෑ. අන්තිමට මගේ වන්දිය ලබාගැනීමට මට උසාවියාමට සිදුවුනා.”

“ඔබ කීව අන්දමට කම්කරුවන් ගෙවන්නේ ඉතා නරක ජීවිත. කොයි ආන්ඩුව රට පාලනය කලත් ඒක වෙනස් වෙන්නේ නෑ. කම්කරුවන් දහස් ගනනක් අතරේ මෙම ව්‍යාපාරය පුලුල් කල යුතුයි.” ඇය පෙත්සම අත්සන් කරන අතරේ පැවසුවාය.

Share this article: