දකුනු ආසියාව ජනවාර්ගිකව බෙදාලීමෙන් සැත්තෑ වසරකට පසු

Seventy years since the communal Partition of South Asia

2017 අගෝස්තු 16

අවුරුදු සැත්තෑවකට පෙර මේ සතියේ, 1947 අගෝස්තු 15 දා, දකුනු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් යුක්තවූ ඉන්දියානු ජාතික සංගමයේ “ස්වාධීන” ඉන්දියානු ආන්ඩුවකට බලය පවරා දුන්හ.

ඊට කලින් දා, ඉන්දියාවේ අන්තිම බ්‍රිතාන්‍ය ආන්ඩුකරයා වූ, මෞන්ට්බැටන් සාමි, කරච්චියේදී මුස්ලිම් ලීගයේ සභාපති එම්.ඒ. ජින්නා සමග එක්ව පකිස්ථානය තනිකර මුස්ලිම් රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කලේය. පකිස්ථානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වයඹ දිග සහ ඊසාන දිග මුස්ලිම් බහුතරයක් ජීවත්වූ ප‍්‍රදේශයෙන් කපා වෙන්කරන ලද අතර, එමගින් “නව” ඉන්දියාව ප‍්‍රථමිකව ම හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය කරන ලදී.

එහෙත්, මුස්ලිම්වරු අවුරුදු දහසක් පමන කාලයක් ඉන්දියානු උප මහාද්වීපයේ ජිවත්ව සිට තිබුනි.

ඉන්දියාව ජනවාර්ගික පදනමක බෙදාලීම 20වන සියවසේ ඉමහත්ම අපරාධයන්ගෙන් එකක් විය- ඒ වනාහි ඉක්බිති ඓතිහාසික කාල වකවානුව තුල දකුනු ආසියාව හැඩ ගැන්වූ, වඩාත් නිවැරැදිව කිවහොත්, විකෘතිකලා වූ අපරාධයකි.

ඉන්දියාව බෙදීම මගින් පැන නංවන ලද බිහිසුනු ජනවාර්ගික ප‍්‍රචන්ඩය මිලියන දෙකක් පමන හින්දුන්, මුස්ලිමුන් සහ සික් වරුන් මරාදමනලද අතර මානව ඉතිහාසයේ මහා ජන සංක‍්‍රමනයන් ගෙන් එකක් සිද්ධ කලේ ය.

ඊලඟ අවුරුදු හතර ඇතුලත, මිලියන 15 කට වැඩි ජනකායක්, තමන්ට අතින් හා කරින් රැගෙන යා හැකි දෑ සමග, එක රටක සිට තවත් රටකට: හින්දුන් සහ සික් වරුන් පකිස්ථානයේ සිට ඉන්දියාවටත්, මුස්ලිම් වරුන් ඉන්දියාවේ සිට පකිස්ථානයටත් සංක‍්‍රමනය විය.

බෙදීම සිදුකෙරුනේ දකුනු ආසියාවේ භූගෝලය, ඉතිහාසය, සංස්කෘතියට හා ජල සම්පත් යුක්තිසහගතව පාවිච්චි කිරීමද ඇතුලු ආර්ථික වර්ධනයේ තර්කනයට ද විරුද්ධව ය. ඉන් දශක හතකට පසු, දකුනු ආසියාව වනාහි ලෝකයේ ආර්ථික වශයෙන් අඩුවෙන්ම එකාග‍්‍රත වූ ප‍්‍රදේශයයි.

ප‍්‍රථම අගමැති නේරු ද ඇතුලූු ඉන්දියාව බෙදීමේ කතෘ වරුන් කියා සිටියේ ඒමගින් වාර්ගික ඝර්ෂනය තුනී වනු ඇති බව පමනක් නොව වාර්ගික විසප්පුව හිල්කර දමනු ඇතැයි කියාය. යථා වශෙයන් ගත් කල එය දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යූහය තුලටම වර්ගවාදය ඇතුලු කල අතර ඒමගින් එය විශාලිත වී මුල් බැස ගති.

මුස්ලිම් පකිස්ථානයේ මෙන්ම නමට පමනක් අනාගමිකවූ ඉන්දියාවේ ද පාලක ප‍්‍රභූවන් විසින්, සමාජ කෝපය ප‍්‍රතිගාමී දිසාවකට යොමු කිරීම සඳහා ද කම්කරු පන්තිය භේද කිරීම සඳහා ද වර්ග වාදය සමග එහි දෘෂ්ටිවාදී ඥාතීන් වන, ආගමික මූලධර්ම වාදය ද කුල වාදය ද, වගා දිගා කොට ඇත.

විභේදනය විසින් ඉන්දියාව සහ පකිස්ථානය අතර ප‍්‍රතිගාමී යුද්ධ-මූලෝපායික ප‍්‍රතිමල්ලතාවකට පනපෙවූ අතර එමගින් මූලික සම්පත් නාස්ති කොට දකුනු ආසියාවේ ම ජනයා න්‍යෂ්ටික සමුලඝාතයකට ලක් කිරීමට තර්ජනය කර සිටී. ගතවූ දශක හත පුරා, ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට ප‍්‍රකාශිත යුද්ධ තුනක් ද අප‍්‍රකාශිත යුද්ධ ගනනාවක් ද කර ඇති අතර යුද අර්බුද මාලාවක් තුලින් ගමන්කර ඇත.

මෑතක් වනතුරු ඉන්දියානු ධනේශ්වර පන්තියේ ප‍්‍රමුඛ පක්ෂයව සිටි කොන්ග‍්‍රසය, තමන් බෙදීමේ ගොදුරක් ලෙස හුවා දක්වා ඇත; ඔවුන් කියා ඇත්තේ තමන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සහ මුස්ලිම් ලීගයේ යටිකුට්ටු වල ගොදුරක් වූ බවය.

බ්‍රිතාන්‍යයන් “බෙදා පාලනය කිරීමේ” ප‍්‍රතිපත්තියක් යොදාගත් බව සහතිකය. තම අධිරාජ්‍ය පාලනයේ පර්යාය තුලට ජනවාර්ගික භේදකාරී ප‍්‍රවර්ගයන් යොදාගත් බව නිසැකය. එසේම මුස්ලිම් ලීගය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ස්වාමින් සමග කුමන්ත‍්‍රනය කලබව ද ඇත්තය.

එහෙත් කොංග‍්‍රසයට මොවුන්ගේ වාර්ගික කූටෝපාය පරාජය කිරීමට අසමත් වීමට අති මුලික පන්ති හේතු තිබේ. “එක්සත්, ප‍්‍රජාතන්ත‍්‍ර, අනාගමික” ඉන්දියාවක් තුල හින්දු-මුස්ලිම්-සීක් එක්සත් භාවය යන තමන්ගේ ම ක්‍රියාමාර්ගය පාවා දී ඉන්දියාව බෙදාලීමට කොන්ග‍්‍රසය ක්‍රියාකලේ ඇයි? මෙයට බෙංගාලයේදී ශ්‍යාම් ප‍්‍රසාද් මුඛර්ජි ද පන්ජාබයේ දී මාස්ටර් තරසින්ග්හ් ද වැනි අන්ත-හින්දු සහ සික් වර්ගවාදීන් සමග සමීප සහයෝගීවීම අන්තර්ගත විය.

ධනේශ්වර කොන්ග‍්‍රසය දකුනු ආසියාවේ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පොදු පන්ති අවශ්‍යතා ආමන්ත‍්‍රනය කොට බලමුලුගැන්වීම ට සහ දකුනු ආසියාව “පතුලෙන්ම” එක්සත් කිරීමට සතුරු වුවා පමනක් නොවේ; ඓන්ද්‍රියව ම අසමත් ද විය.

කොංග‍්‍රසය පිලිබිඹු කලේ, කම්කරු පන්තිය සූරා කෑමට තමන්ට තිබුනු අවස්ථා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ සීමාසහිත වූ හෙයින් බ්‍රිතාන්‍ය පාලනය කෙරේ නොසතුටුව සිටි ඉන්දියානු ධනේශ්වරයේ ආසක්තතා වන් ය. ගාන්ධිගේ නායකත්වය යටතේ , කොන්ග‍්‍රසය , 1920 සිට 1942 දක්වා දියත් කලේ දේශපාලනිකව-නිරායුධ කර දැඩිව-පාලනය කැරුනු ජන විරෝධාතා පමනි. එනමුත් වඩ වඩාත් මහජනයා, විශේෂයෙන්ම කම්කරුවන් දර්ශන පථයට පිවිසෙන විට කොන්ග‍්‍රසය වඩාත් ඕනෑකමින් අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් පැතුවේය.

විශේෂයෙන් ම 1942 “ක්විට් ඉන්ඩියා” (ඉන්දියාව හැරයනු) ව‍්‍යාපාරයෙන් ඉක්බිත්තේ, කොංග‍්‍රසය, තදින් භීතියට පත් වූයේ කම්කරුවන් හා ගොවීන්ගේ අරගල තම පාලනයෙන් පිටත පුපුරාගොස් බ්‍රිතාන්‍ය පාලනයට එරහි අරගලය තමන්ගේ පාලනයට පිටතින් පුපුරා යතැයි ද බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි මහජන අරගලය, වඩාත් රැඩිකල් ධනේශ්වර දේපල වලට තර්ජනය කරන කොටස් අතට පත්වෙතැයි ද යන භීතියෙනි.

1945 සහ 1947 දක්වා කාලපරිච්ඡේදයේ දී ඉන්දියාව පූර්ව විප්ලවවාදී ස්වරූපයක අරගලයන්ගෙන් ඇලලී ගියේ ය. මහා වැඩවර්ජන, කල්කටාවේ සහ බොම්බායේ කම්කරු පන්ති කේන්ද්‍රවල පොලිසිය සහ හමුදාව ට එරෙහි සෘජු ගැටුම් සහ (බ්‍රිතාන්‍ය නාවුක හමුදාවේ ) රාජකීය ඉන්දියානු භටයන්ගේ කැරැල්ලක් ඇතුලු අධිරාජ්‍ය විරෝධි මහා ජන බලමුලු ගැන්වීම් මාලාවකින් ඉන්දියාව සෙලවී ගියේ ය.

මහාජනකාය ඉදිරියට එත් එත්, කොන්ග‍්‍රස් නායකයෝ යටත් විජිත රාජ්‍යයේ මර්දනකාරී යන්ත‍්‍රය සිය අතට ගැනීමට හා එමගින් ධනේශ්වර පාලනය ස්ථාවර කරගැනීමට වඩවඩාත් උත්සුක වූහ. එම අරමුනේ ඔවුහු බ්‍රිතාන්‍යයන් සමග සම්මුතියකට වහවහා ඉදිරිපත් වූ හ. බ්‍රිතාන්‍යයෝ දකුනු ආසියාව තුල සෘජු අධිරාජ්‍ය පාලනයේ සිට වක‍්‍ර අධිරාජ්‍ය පාලනය කරා මාරු වීමේ අවශ්‍යතාවය වටහා ගත්තෝය. එහෙත්, ජනවර්ගික උගුල යොදාගැනීම ට උනන්දු වූ ඔවුහු, ඉන්දියානු ජාතික සංගමයේ ( කොන්ග‍්‍රසයේ) සහ ඉන්දියානු ධනපති පන්තියේ තටු සිඳීම අරමුනු කරගත් දැඩි ඉල්ලීම් ඉදිරිපත් කරන්නට තම මුස්ලිම් ධනේශ්වර හා ඉඩම්හිමි අනුග‍්‍රාහකයන් උසි ගැන්වූ හ.

1947 අගෝස්තුවට පෙර දශක තුනක් තිස්සේ දකුනු ආසියාව හොලොවාලූ මහා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය මත සිය පාලනය තහවුරු කරගනිමින් අන්තිමේදී එය යටපත් කිරීමට කොන්ග‍්‍රසය සමත් වීම සෝවියට් ස්ටැලින්වාදී නිලධරයත්, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපී අයි) තුල සංවිධානය වී සිටි ඔවුන්ගේ ඇම්බැට්ටයන්ද සිදුකල පාවාදීම් සමග බැඳී පැවතුනි.

මහා ඔක්තෝබර් විප්ලවයේ කේන්ද්‍රීය පාඩම් සිතාමතාම නොතකා හරිමින් අධිරාජ්‍ය විරෝධී අරගලය මත ජාතික ධනේශ්වරයේ පාලනය තහවුරු කිරීමට සෑම අවස්ථාවකම උදව් කල ස්ටැලින්වාදියෝ කම්කරු පන්තිය විසින් ගොවිජනයාගේ ධනේශ්වර නායකත්වයට අභියෝග කරනු ලැබීම වලක්වාලීම සඳහා වැඩපිලිවෙලක් දිගින් දිගටම අනුගමනය කලෝය. මෙම වැඩපිලිවෙල ට ධනේශ්වර කොන්ග‍්‍රසය බහු-පන්තික පෙරමුනක් ලෙස හුවාදැක්වීම, බ්‍රිතාන්‍ය මිත‍්‍ර කඳවුරේ යුද ප‍්‍රයත්නයට බාධාකරයයි කියමින් 1942 ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය-ඉන්දියානු පාලන අධිකාරීන්ට ආධාර කිරීම සහ මුස්ලිම් ලීගය ඉදිරිපත් කල වෙනම පකිස්ථානයක් උදෙසා ප‍්‍රතිගාමී ඉල්ලීමට සහය දීම ඇතුලත් වේ.

ඉන්දියානු සහ පකිස්ථානු ධනේශ්වරය විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය පාගා දැමීමේ වඩාත් ක්ෂනික සහ කැපීපෙනෙන උදාහරනය වන ඉන්දියාව බෙදාලීම, පශ්චාත් යුදකාලීන ලෝක ධනවාදය යලිත් ස්ථාවර කිරීමේ ප‍්‍රධාන අංගයක් වූයේය. කෘෂිකාර්මික සම්බන්ධතාවයන් ගේ රැඩිකල් ප‍්‍රතිවර්තනයක් ද කුලවාදය අහෝසිකිරීම ද ඇතුලු ගොවි ජනතාව මුහුනදෙන එකදු දැවෙන ප‍්‍රශ්නයක් හෝ විසඳන ලද්දේ නැත. බෙදාලීමෙන් පැනනැගුනු රටවල් දෙකේ ම කම්කරු පන්තිය දරිද්‍ර, ඇත්ත වශයෙන්ම මූලික සමාජ ආරක්ෂනයන් පවා රහිතව යාන්තම් පනගැටගසා ගන්නා වැටුපකට හා සිය අරගල මුලපටන්ම රාජ්‍ය මර්දනයේ ගොදුරුවූ තත්වයකට ඇද දමනු ලැබ තිබේ.

ඉන්දියාවේ “නැගීම” පිලිබඳව දැන් බටහිර මාධ්‍ය ලොකුවට කතාකරති. ඇත්ත වශයෙන් ගතහොත්, ඉන්දියානු ධනේශ්වර පන්තිය වසර 2017 දී, දශක හතකට ඉහතදී සිටියාට වඩා අද දින ප‍්‍රතිගාමී ය, කම්කරු පන්තියට සතුරුය.

පසුගිය ශත වර්ශ කාල තුල ලෝක ධනවාදය සඳහා ලාභ - ශ‍්‍රම සපයන්නෙකු බවට ඉන්දියාව පරිවර්තනය වීම විසින් ධනවත් කර ඇත්තේ ඉතා කුඩා ස්ථරයකි. අද දින ලෝකයේ බිලියන පතියන් ගනනින් තුන්වන තැන දරන රට බවට පත්ව ඇතැයි පූච්චානම් දොඩවන ඉන්දියාවේ බිලියන් 1.3 ජනකායෙන් හතරෙන් පංගු තුනක් පන ගැට ගසා ගන්නේ දිනකට ඩොලර් දෙකකට අඩු ආදායාමකිනි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකානු පාලක පන්තියේ අපරධකාරිත්වය සහ මෘගත්වය නිරූපනය කරන්නේ යම්සේද, ඉන්දියානු පාලක පන්තිය තමන්ගේ සැබෑ මුහුන වර්තමාන අගමැති, හින්දු ස්වෝත්තමවාදී අත්තනෝමතික නරේන්ද්‍ර මෝඩි තුලින් දැක ගෙන තිබේ.

ආයෝජකයින්ට- හිතකර “ප‍්‍රතිසංස්කරන” වේගවත් කිරීම මගින් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය පිටුපස ඉන්දියාව විලි ලජ්ජා නැතිව පෙල ගැස්සවීම මගින් මෝඩි බාරගෙන ඇත්තේ ඉන්දියානු ධනපති පන්තිය ට තව දුරටත් ඉහල නැගීමට ද මහා බලවතෙකු බවට පත් වීමට ඊට ඇති උවමනාවට ද තල්ලුවක් දීමට ය.

දැන් ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද්ධ -මූලෝපායික ප‍්‍රහාරයේ පෙරටු බල ඇනියක් සේ සේවය කරයි. එම අශුභ වර්ධනය යටින් පවතින්නේ, හිමාලය ප‍්‍රදේශයේ මාස දෙකක් ගතව ඇති චීන-ඉන්දියානු දේශසීමා හැප්පීම යුද්ධයක් ලෙස පුපුරායාමේ තර්ජනය හා උතුරු කොරියාව දවා භෂ්ම කර දැමීමට එක්සත් ජනපද ජනාධිපති ට‍්‍රම්ප් කරන තර්ජනයට අගමැති මෝඩිගේ පූර්න සහායයි.

දශක ගනනාවක් තිස්සේ ප‍්‍රතිගාමී පකිස්ථානු ධනේශ්වරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රාදේශීය ආන්ඩුකාරයා ලෙස ක‍්‍රියා කලේ ය. එනමුදු දකුනු ආසියාව භයංකර ලෙස අස්ථායි කොට, සන්නද්ධ න්‍යෂ්ටික තරඟයක් අවුලුවා ඇති බවට පකිස්ථානය විසින් කැරෙන නිරන්තර අනතුරු හැඟවීම් නොතකා වොෂිංටනය වඩවඩාත් දැඩිව පකිස්ථානයේ පරම සතුරු ඉන්දියාව වැලඳගෙන ඇත. මෙමගින් එන්න එන්නම නොඉවසිලිමත් වන ඉස්ලමාබාදය බෙයිජිනය සමග සබඳතා තර කරගෙන සිටි.

බෙදාලීමෙන් පැනනැගී ප‍්‍රතිගාමී ඉන්දු පකිස්ථානු ප‍්‍රතිමල්ලතාව දැන් ඇමරිකන්- චීන ඝට්ටනය සමග පැටලී, ඒ දෙකටම දැවැන්ත නව පුපුරනසුලු බලයක් අත්කරදී තිබේ. දකුනු ආසියාවේ කම්කරුවන් ගිය සියවසේ මහා මූලෝපායික අත්දැකීම්වල, එනම් රුසියානු විප්ලවයේ පමනක් නොව, යටත් විජිත ධනේශ්වරය විසින් දකුනු ආසියාවේ ප‍්‍රජාජතන්ත‍්‍ර වාදී, අධිරාජ්‍ය-විරෝධී විප්ලවය පාගා දැමීමේ ද, ඊනියා “නිදහස්” ධනේශ්වර පාලනයේ අසාර්ථකත්වයේ ද පාඩම් උකහාගත යුතුව ඇත.

යුද්ධයට එරෙහි අරගලයට නායකත්වය දිය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තිය විසිනි. ධනේශ්වර සංවර්ධනය කල් පසුවූ රටවලට අධිරාජ්‍යවාදයෙන් ද යටත් විජිතවාදයේ උරුමයන්ගෙන්ද පූර්ව ධනේශ්වර සූරාකෑමේ විපාකවලින් ද නිදහස දිනාගත හැක්කේ සමාජවාදී විප්ලවය තුලින් පමනක් ම ගොඩ නැගෙන පීඩිත වැඩකරන ජනතාවගේ සහාය මත පදනම්වූ කම්කරු පන්තියේ ආන්ඩුවක් පිහිටුවීම මගින් පමනක්ම, වේ. එවැනි විප්ලවයකට නායකත්වය දීමට නම්, කම්කරු පන්තිය විසින් නොනවතින විප්ලවයේ ක‍්‍රියාමාර්ගය මත පදනම්වූ පක්ෂ, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩ නගාගත යුතු ය.

කීත් ජෝන්ස්

Share this article: