අගෝස්තුවේ තුවක්කු

The guns of August

2017 අගෝස්තු 08

ගිම්හානයේ අවසාන සති කිහිපය තුල දසදහස් ගනනක් නේටෝ සහ රුසියානු සොල්දාදුවන් යුරෝපය පුරා ද්වන්ද යුද ක්‍රීඩා වලට සහභාගිවෙමින් සිටියි. 1914 අගෝස්තු මාසයේ වෙඩි පත්තු වීමෙන් පසුව යුරෝපයේ පලමුවන ලෝක යුද්ධය පුපුරා යාම නිවේදනය වී යන්තම් සියවසක් පසු වුනා පමනි. ලෝක න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුම පුපුරා යාම සඳහා බහු මිලිටරි මර්මස්ථානවල කොන්දේසි නිර්මානය වෙමින් පවතී.

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් නමැති එක්සත් ජනපද ගුවන්යානා ප‍්‍රවාහක නෞකාව, බ්‍රිතාන්‍ය ගුවන් යානා නෞකා ප‍්‍රහාරක කන්ඩායමක් සමග එක්වී උතුරු සාගරයේ “සැක්සන් රනශූරයා” (සැක්සන් වොරියර්) අභ්‍යාසවල යෙදී සිටී. මෙය සිදු කෙරෙන්නේ පසුගිය මාසයේ හංගේරියාව, රුමේනියාව සහ බල්ගේරියාව තුල නේටෝ සොල්දාදුවන් 25,000 ක් සම්බන්ධ වූ “කඩුගසන ආරක්ෂකයා” (සැබර් ගාඩියන්) අභ්‍යාසය සිදු කිරීමෙන් පසුවය.

නේටෝ සොල්දාදුවන් නැගෙනහිර යුරෝපය පුරා බොහෝ අභ්‍යාසවලට හවුල් වේ. පෝලන්තය හා බෝල්ටික් රාජ්‍යවල, රුසියානු දේශසීමා මත දහස් ගනනක් යොදවා ඇති අතර, 2,000 ක එක්සත් භට කන්ඩායම් පැරනි සෝවියට් ජනරජයක් වූ ජෝර්ජියාවේ “ශ්‍රේෂ්ඨ සහකරු” (නෝබල් පාර්ට්නර්) අභ්‍යාසයට එක් වී සිටිති. මෙය එක්සත් ජනපදයේ පිටුබලය ලද ජෝර්ජියානු හමුදා ප‍්‍රහාරය මගින් රටේ උතුරේ රඳවාගෙන සිටි රුසියානු සාම සාධක හමුදා භටයින් මරා දැමීමෙන් අනතුරුව රුසියාව හා ජෝර්ජියාව අතර කෙටි සටනක් දියත් වූ 2008 වසරින් පසුව ජෝර්ජියාවේ විශාලතම එක්සත් ජනපද යුද අභ්‍යාසය වේ.

මේ අතර 2014 පෙබරවාරි මාසයේ දී, කියෙව්හි නේටෝ පිටුබලය ලද කුමන්ත‍්‍රනයෙන් බලයට පැනගත් අන්ත දක්ෂිනාංශික අන්ත ජාතිවාදී යුක්රේන තන්ත‍්‍රය සන්නද්ධ කරනවාද යන්න පිලිබඳව වොෂින්ටනය විවාද කරමින් සිටී. එක්සත් ජනපදය පලමු වතාවට 2015 දී මෙම ප‍්‍රතිපත්තිය යෝජනා කල නමුත් එය අත්හැර දැමුනේ ජර්මනිය හා ප‍්‍රන්සය මෙමගින් රුසියාව සමග පූර්න යුද්ධයක් ඇවිලවීමේ අනතුර ඇතැයි අඟවා මින්ස්ක්හි සාම ගිවිසුමකට එලඹීමෙන් පසුව ය.

මොස්කව් තමන්ගේම යුද්ධ අභ්‍යාසවල යෙදී සිටී. රුසියාව චීන නියෙමු මිසයිල විනාශකයන් සමග බෝල්ටික් මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසය පවත්වන ලද අතර එය චීනය, ඉරානය, ඊජිප්තුව, ඇන්ගෝලාව, උස්බෙකිස්තානය, වෙනිසියුලාව සහ සිම්බාබ්වේ වැනි රටවල් වල හමුදා සමග සිය අන්තර්ජාතික යුද කී‍්‍රඩාවට අනුග‍්‍රහය දක්වයි. ලබන මාසයේ බටහිර රුසියාව තුල නේටෝ මූලාශ‍්‍රයන් යයි කියනු ලබන 100,000 කට අධික හමුදා භටයින්ගෙන් සමන්විත සැපඩ් සරඹ සංචිතය සඳහා ද සූදානම් වෙමින් සිටී.

සීතල යුද්ධය අවසන් වීමෙන් පසු පෙර නොවූ විරූ පරිමානයේ මෙම විශාලතම යුද අභ්‍යාස දේශපාලන අනතුරු ඇඟවීමකි. නේටෝ සන්ධානයේ මිලිටරි කේන්ද්‍රය මැද පෙරදිග සිට යුරෝපය දක්වා මාරු වෙමින් තිබේ. අධිතාක්ෂන සතුරන් සමග යුද්ධයට සූදානම් වීම සඳහා උපකරන සහ උපාය මාර්ග සඳහා එක්සත් ජනපද හා නේටෝ ඒකක “පුලුල් පරාසයක” වෙනස්කම් කරන බව නිව් යෝර්ක් ටයිම්ස්වාර්තා කරයි. යුරෝපීය භූමිය තුලට සංකලනය වන පරිදි කාන්තාර ටාන් (කහ පැහැයට හුරු) පැහැයේ සිට තද කොල පැහැය දක්වා ඔවුන්ගේ යුද ටැංකි නැවත පින්තාරු කරමින් සිටී.

මහජනතාවගේ පිටුපසින්, දේශපාලන හා මිලිටරි තන්ත‍්‍රයන් පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ පරයා යන හෝ ඊට සමාන ලේවැකි ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටී. එක්සත් ජනපද ජනරාල් ජෝන් හීලි ප‍්‍රකාශ කලේ “අවසානයේ අප යන්නේ ගෝලීය වශයෙන් ඒකාබද්ධ කරන ලද යුද අභ්‍යාස වැඩසටහනක් සඳහා වන අතර... එකම ස්වර සටහන් පත‍්‍රයක් වාදනය කරන්නා සේ ඒකාබද්ධ ගෝලීය අභ්‍යාසයකට අපි එකමුතු වන්නෙමු.” එහෙත් මෙම “ගෝලීය අභ්‍යාසය”; කොරියානු අර්ධද්වීපයේ, දකුනු චීන මුහුදේ හා මැද පෙරදිග සූදානම් කරමින් සිටින්නේ කුමක් සඳහාද? මෙම “ගෝලීය අභ්‍යාසය” ගෝලීය යුද්ධය සඳහා පෙරහුරුවක් විය හැකිය.

ලෝක යුද්ධයේ අර්ථය කුමක්ද යන්න පිලිබඳව නිල කවයන් තුල කන් බිහිරි වන නිශ්ශබ්දතාවයක් පවතී. කෙසේ වෙතත් කරුනක් වශයෙන්, උතුරු ඇමරිකාව, යුරෝපය හා රුසියාවේ නගර පුරා න්‍යෂ්ටික බෝම්බ පුපුරා යන යුද්ධයක දී බිලියන ගනනකගේ ජීවිත අහිමි වනු ඇත. ඇමරිකාව හා යුරෝපය තුල කම්කරු මහජනතාව අතර යුද්ධ හා මිලිටරි වියදම්වලට විරුද්ධත්වය වැඩෙන විට, දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය යුක්රේනයේ රුසියානු ආක‍්‍රමනකාරිත්වය කෙරෙහි නොසැලකිලිමත් බව හා එක්සත් ජනපද මැතිවරනය රුසියාව කොල්ලකෑ බවට නිමක් නැති මනස්ගාත නගමින් උත්සාහ කරන්නේ මහජනතාව අලා මුලා කොට යුද්ධ උත්සන්නිය උසිගැන්වීමට ය.

මිලිටරි නිලධාරීන් කෙසේ කිව්වත් මෙම යුද අභ්‍යාස හිතාමතා හෝ අහම්බෙන් යන දෙකින් කෝක වෙතත් යුද්ධය කෙරේ එලඹීමේ තර්ජනය මතු කරයි. කෙසේ වෙතත්, නේටෝ රටවල මාධ්‍ය විසින් මෙය රුසියානු විරෝධී හිස්ටීරියාවේ මෝල තුලට දමා ඇඹරීමට හරවාගෙන ඇත. රුසියානු සපාඩ් අභ්‍යාසයට පහර දෙන ලිපියක් තුල එම්එස්එන්. කොම් (MSN.com) මෙසේ ලියයි. “සරඹ පුහුනු වීමක් වැන්නක් ආක‍්‍රමනශීලී ක‍්‍රියාවක් ලෙස රුසියානු සොල්දාදුවෙක් හෝ කාන්ඩයක් විසින් වරදවා වටහා ගැනීම නිසා එක් පාර්ශවයකට බලය යෙදීමෙන් ප‍්‍රතිචාර දැක්වීමට සිදු වුවහොත් වේගෙයන් අර්බුදයක් නිර්මානය කල හැකිය. රුසියානු අභ්‍යාසය අතරතුර රුසියානු දේශසීමාව අසල අභ්‍යාස පැවැත්වීම නෝටෝ හමුදා විසින් වලක්වනු ලබනු ඇත.”

යුද්ධයේ අන්තරායට මොස්කව් වගකිව යුතු යයි කියාපෑම අධිරාජ්‍යවාදී කුහකත්වය සමග කාවද්දා තිබේ. රුසියාව තමන්ගේම භූමියක අභ්‍යාසවල යෙදෙමින් සිටින අතර එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් රුසියානු දේශසීමා දක්වා ඔවුන්ගේ හමුදා පතුරමින් සිටී.

ස්ටැලින්වාදී නිලධරය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, සියවස් කාර්තුවකට වඩා නේටෝ බලවතුන්, සියල්ලටම ඉහලින් එක්සත් ජනපදය, විසින් අනුගමනය කරන ලද පිලිවෙත් තුල යුද්ධය තීව‍්‍ර වීමේ අවදානම මුල්බැස තිබේ. එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, සිරියාව හා ඉන් ඔබ්බෙහි පවතින යුද්ධ මගින් යුරේසියානු භූමි ප‍්‍රදේශය මත සිය ආධිපත්‍යය ස්ථාපිත කිරීමට වොෂින්ටනය ප‍්‍රයත්න දරා ඇත. එහි එල්ලයව පැවතියේ යුරේසියාව තුල සතුරු ආක‍්‍රමනකාරී බලයක් මතුවීම වැලැක්වීම පමනක් නොව යුරෝපයේ හා ආසියාවේ සිය “සහචරයින්ගේ” බලශක්ති සැපයුම් හා වෙලඳ මාර්ග පාලනය කිරීම ද සඳහා ය.

රුසියාවට එරෙහිව පවතින වත්මන් උත්සන්නවීම, මෙම යුද්ධවල දී එක්සත් ජනපදය ව්‍යසනකාරී පසුබෑම් මාලාවකට මුහුන දීමේ ප‍්‍රතිපලයකි. වොෂින්ටනයේ අනුබලය ලත් ඉස්ලාමීය හමුදා සහ නේටෝව, රුසියානු පිටුබලය ලබන සිරියානු තන්ත‍්‍රයට එරෙහි සිවිල් යුද්ධයේ දී පරාජයේ මුව විට සිටින අතර නේටෝවේ පිටුබලය ලද කියෙව් තන්ත‍්‍රය සමස්ත රටම අල්ලා ගැනීමට අසමත් ව, රුසියානු භාෂාව කතා කරන නැගෙනහිර යුක්රේනය හා ක්‍රිමියාවේ පිහිටි සෙවාස්ටොපොල්හි ප‍්‍රධාන රුසියානු නාවුක කඳවුර සිය සක්‍රීය පාලනය යටතට ගත නොහැකිව සිටී. ඇමරිකාව හා යුරෝපය අතර වැඩෙන ආර්ථික එදිරිවාදිකම් හමුවේ මෙම පසුබෑම් ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපීය බලවතුන්ට ස්වාධීන, එනම් සතුරන් මුහුන දීමේ ශක්‍යතාව සහිත, විදේශීය හා මිලිටරි ප‍්‍රතිපත්තියක් ලුහුබැඳීමට දිරිගන්වා තිබේ.

රුසියාවට එරෙහිව සිය ආස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමත්, නැගෙනහිර යුරෝපයේ රුසියානු විරෝධී පදනමක් මත දිනා ගන්නා මිත‍්‍රයන් හරහා යුරෝපය බිඳීමත් යන වොෂින්ටනයේ බලාපොරොත්තු ද්වයම ගැටුම්වල උද්ගමනයව තිබේ. මෙම යුරෝ-ඇමරිකානු ගැටුම් මුල්බැස ඇත්තේ ට‍්‍රම්ප්ගේ නොහික්මුනු පුද්ගලත්වය තුල නොව, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය අතර වෛෂයික ගැටුම තුලය. පසුගිය මාසයේ දී එය ට‍්‍රම්ප් නොව එක්සත් ජනපද කොංග්‍රසය සම්මත කර ගත් සම්බාධක පනත මගින් යුරෝපයට තීරනාත්මක රුසියානු තෙල් හා ගෑස් අපනයනය කපා හැර රුසියානු බලශක්ති වෙලඳාමට මූල්‍යමය බලපෑම් කරමින් ජර්මනියේ හා අනෙකුත් එක්සත් ජනපද “අනුචරයින්” ගේ කෝපාවිෂ්ට විරෝධතා අවුලුවාලමින් බටහිර යුරෝපීය සංගතයන්ට තර්ජනය කලේය.

පශ්චාත් සෝවියට් ධනපති කතිපයාධිකාරයේ බංකොලොත්වූ රුසියානු ජාතිකවාදය තුල මුල්බැස ඇති ක්‍රෙම්ලිනයේ පිලිවෙත තුල, අධිරාජ්‍යවාදී යුද ධාවනයට විරුද්ධව ඉදිරිපත් කිරීමට කිසිදු ඉදිරි මාවතක් නොමැත. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී මනෝගතීන්ට ආයාචනා කිරීමට බියෙන් හා ශක්‍යතාවක් නොමැතිකමින් සිටින ක්‍රෙම්ලිනය ඒ හිලව්වට රුසියාව තුල දක්ෂිනාංශික බලවේග හා වාර්ගික ආතතීන් අවුලූවනු ලබයි. එය අධිරාජ්‍යවාදී බලවතුන් සමග සියලුම වර්ගයේ මිලිටරි ගැටුම් ඇවිලවීමේ අවදානම සහ මෑත දී උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට ඡන්දය දීම වැනි ගනුදෙනුවකට ඔවුන් එලඹීමට උත්සාහ කිරීමත් අතර දෝලනය වෙමින් සිටී.

සියවසකට පෙරාතුව සිය දේශපාලන මුතුන් මිත්තන් මෙන් ම ප‍්‍රතිවාදී ධනේශ්වර ආන්ඩු, ලෝක යුද්ධයට නායකත්වය දෙන ගතිකයක් බවට පත්වෙමින් තිබෙන අතර, කෙසේවෙතත්, මේ වතාවේ, ග‍්‍රහ ලෝකය විනාශ කල හැකි න්‍යෂ්ටික ආයුධ භාවිත කිරීමට සම්බන්ධ වෙමින් සිටී. කම්කරු පන්තිය විසින් දේශපාලනිකව සවිඥානික මැදිහත්වීමකට පිටින් යුද්ධය සඳහා ධාවනය නතර කිරීමට මාවතක් නැත. ප‍්‍රධාන අනතුර වන්නේ, මෙම පුපුරන සුලු තත්වයෙන් ඇතිවන අවදානම ගැන මහජනතාව සැබවින්ම දැනුවත්ව නොසිටීමයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: