එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා උතුරු කොරියාවට එරෙහි න්‍යෂ්ටික යුද තර්ජනය

US imperialism and the threat of nuclear war against North Korea

2017 අගෝස්තු 11

ලෝකය කොරියානු අර්ධද්වීපය මත යුද්ධයක් අද්දර ලඹ දෙන අතර එය වේගයෙන් ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා උත්සන්න විය හැක.

එක්සත් ජනපද ජනාධිපති “ලෝකය කිසිදා දැක නැති ආකාරයේ අග්නියක හා කෝපයක” උතුරු කොරියාව ගිල ගැනීමට වන ඔහුගේ කුපිතකාරී තර්ජනය දෙගුන කර ඇත. ඊයේ ඔහු තමන්ගේ වචන “ඇති තරම් දැඩි නො වනවා විය හැකි” යයි අදහස් දැක් වූ අතර ඕනෑම ප‍්‍රහාරයකට එක්සත් ජනපදයේ ප‍්‍රතිචාරය “කිසිවෙකු දැක නැති ඇති ආකාරයේ එකක් වනු ඇත”යි තර්ජනය කලේ ය. එක්සත් ජනපද න්‍යෂ්ටික ගබඩාව “ඉස්තරම් ආකාරයෙන්” තිබෙන බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

ඔහු උතුරු කොරියාවට එරෙහිව “පූර්ව භංග ප‍්‍රහාරයක්” ගෙන යන්නේ දැ යි අසන ලදුව, තමා මිලිටරි විකල්ප ගැන කතා කරන්නේ නැති නමුත්, එය ඉවත දමන්නේ නැති යි ද ට‍්‍රම්ප් පැවසීය. ඇමරිකානු පාලක පන්ති කවයන් තුල ප‍්‍රහාරය ක‍්‍රියාකාරීව සලකා බැලෙමින් තිබෙන බව අවධාරනය කෙරුනේ “එක්සත් ජනපදය උතුරු කොරියාවට පලමුව පහර දෙන්නේ නම්, එය ස්වයං ආරක්ෂාවට ද” යන ශීර්ෂ නාමයෙන් යුත් නිව් යෝක් ටයිම්ස් ලිපිය තුල ය. මෙම විවරනය උතුරු කොරියාව මත ඒකපාර්ශ්වීය, ආක‍්‍රමනකාරී ප‍්‍රහාරයක් නීත්‍යානුකූල විකල්පයක් ලෙස සාකච්ඡා කලේ, පූර්වභංග ප‍්‍රහාරයක් සඳහා එය නීතිමය ප‍්‍රමිතීන් සපුරනු ඇත් දැ යි තර්ක කරමිනි.

වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ බිය දනවන ලිපියක් වොෂින්ටනයට උතුරු කොරියාව මත පූර්ව භංග න්‍යෂ්ටික ප‍්‍රහාරයක් දියත් කල හැක්කේ කෙසේ දැ යි විභාග කිරීමට තරම් දුර ගියේ ය. ඔහුගේ උපදේශකයින්ගේ එකඟත්වය සහතික කර නො ගෙන ට‍්‍රම්ප්ට පලමු න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කල හැකි බවත්, එමෙන් ම මිලිටරියට හෝ කොංග‍්‍රසයට ඔහුගේ නියෝගය ප‍්‍රතික්ෂේප කල නො හැකි බවත් එය නිගමනය කලේ ය.

එක්සත් ජනපදය ඉතා ප‍්‍රබල බලයක් සහිතව ප‍්‍රතිචාර දක්වනු ඇති, මංමුලා සහගත ක‍්‍රියාවකට අතිශයින් අස්ථාවර ප්යොංග්යෑන්ග් තන්ත‍්‍රය පෙලඹවීමට ට‍්‍රම්ප් උත්සාහ කරමින් සිටින්නේ ද, නැතහොත් උතුරු කොරියාව මත පූර්ව භංග ප‍්‍රහාරයක් දියත් කිරීමට කොන්දේසි නිර්මානය කරමින් සිටින්නේ ද යන්න කුමක් වේවා, එක්සත් ජනපදය “ලෝකය කිසිදා දැක නැති ආකාරයේ” භයානක අපරාධයක් සූදානම් කරමින් සිටී.

යුද්ධය කොරියානු අර්ධද්වීපයට මෙන් ම සම්ප‍්‍රදායික අවිවලට පමනක් සීමා කෙරුන ද, මරන හා ව්‍යසනය මිලියන ගනන් දක්වා ඉහල යනු ඇත්තේ, එය 1950-53 කොරියානු යුද්ධය අතරතුර කල පරිද්දෙනි. ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැටිස් මෙම සතියේ දී තර්ජනය කලේ, උතුරු කොරියාව වොෂින්ටනයේ නියෝගයන්ට යටත් නො වන්නේ නම්, වොෂින්ටනය “තන්ත‍්‍රය අවසන් කිරීමට මෙන් ම එහි ජනතාව විනාස කිරීමට,” උදා, මිලියන 25ක් වන ජනතාවගේ රටක් විනාස කිරීමට, කටයුතු සලසන බව යි. චීනය හා රුසියාව වැනි අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් ඇද ගැනුන හොත්, ගෝලීය ප‍්‍රතිවිපාක ගිනිය නො හැකිවනු ඇත.

මෙම අර්බුදයට වග කිව යුත්තේ කව්රුන් ද? එක්සත් ජනපද මාධ්‍ය ඒකාකාරව එහි දෝෂාරෝපනය තබන්නේ උතුරු කොරියානු “ආක‍්‍රමනය” මත ය. මෙය මුසාවකි, එය ආන්ඩුවේ ප‍්‍රචාරක හොරනෑවක් ලෙස පවතින ඇමරිකානු මාධ්‍යයේ කාර්යභාරයට අනුකූල ය.

වර්තමාන අර්බුදය පසු ගිය සියවස් කාර්තුව තුල මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව, මධ්‍යම ආසියාව හා බෝල්කන් කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් හඹායන ලද විවෘත ආක‍්‍රමනකාරී පිලිවතේ ප‍්‍රතිඵලය යි. වොෂින්ටනයේ ගෝලීය විජිගීෂාවන්ට බාධකයක් ලෙස කටයුතු කර තිබුනු, සෝවියට් සංගමය 1991දී විසුරුවා හැරීමෙන් අනතුරුව, එක්සත් ජනපදයේ ප‍්‍රධාන මූලෝපාය “කිසියම් හෝ ශඛ්‍ය අනාගත ගෝලීය තරඟකරුවෙකුගේ මතුවීම ඉවත් කිරීම කෙරෙහි යොමු කල” යුතු යයි සඳහන් කරමින් පෙන්ටගනය ආරක්ෂක උපදෙස් කෙටුම්පත් කලේ ය.

උතුරු කොරියාව මත ප‍්‍රහාරයක්, න්‍යෂ්ටික ප‍්‍රහාරයක් පවා, යුක්තිසහගත කිරීමට ට‍්‍රම්ප් හා ඔහුගේ උපදේශකයින් විසින් දැන් පිහිට පතමින් සිටින “පූර්ව භංග යුද්ධය” පිලිබඳ සිද්ධාන්තය ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් පලමුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ඉරාකය ආක‍්‍රමනය කිරීම හා එහි වාඩිලා ගැනීම සඳහා කඩතුරාවක් ලෙස ය. ඇමරිකානු “වටිනාකම් හා උත්සුකයන්ට” වන ඕනෑ ම තර්ජනයක් වෙනත් රටකට එරෙහිව එක්සත් ජනපද මිලිටරි ප‍්‍රහාරයක් සඳහා ප‍්‍රමානවත් හේතුවක් බව ප‍්‍රකාශ කිරීමට ජනාධිපති බරක් ඔබාමා බුෂ්ගේ සිද්ධාන්තය පුලුල් කලේ ය. මෙම නව සිද්ධාන්තය ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු න්‍යුරෙම්බර්ග් නඩු ඇසීම්වල දී නාසි නායකයින්ට චෝදනා කෙරුනු හා ඔවුන් වරදකරුවන් කෙරුනු ප‍්‍රධාන අපරාධය ආක‍්‍රමකකාරී යුද්ධයක නියලීම විය.

ට‍්‍රම්ප් පාලනාධිකාරයෙන් ඉඟිය ලබා ගනිමින්, උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් පිස්සු මිනිසෙකු ලෙස යක්ෂාවේශ ගැන්වීමට හා ඔහුගේ තන්ත‍්‍රය විසින් මතු කෙරෙන “ජන ඝාතක අවි” තර්ජනය අධික ලෙස පිම්බීමට ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය තුල දැන් ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයක් ඇරඹී ඇත. මෙය අනුයන්නේ ඒක්සත් ජනපදය විසින් මෙහයවුනු සර්බියාවට, ඉරාකයට, ලිබියාවට හා සිරියාවට ඒරෙහි යුද්ධ වලදී මහජන මතය තෙරපා දැමීමේ උත්සාහය සඳහා යහමින් යොදාගත් හම්පඩ ගැසුනු ක‍්‍රියා පිලිවෙතකි.

මෙම ප‍්‍රචාරක වෙඩි ප‍්‍රහාරය පිටුපස, අවිශදව පෙනෙන මෙම යුද්ධයේ අතිමූලික ස්වභාවය කුමක්ද? එය ලෝකයේ ඉතාමත් විශාල ලෙස සන්නද්ධ අධිරාජ්‍යවාදී බලවතා සහ විසිවැනි සියවසේ කුරිරු යටත්විජිත හා අධිරාජ්‍යවාදී මර්දනයේ නිර්මිතයක් වන සමාජ හා දේශපාලනික ස්වභාවයකින් හෙබි පීඩිත හා දරිද්‍රාපන්න රටක් අතර ගැටුමකි.

වසර හතලිහකට වඩා වැඩි ජපානයේ ම්ලේච්ඡ යටත්විජිත පාලනයෙන් පසු, එක්සත් ජනපදය සෝල් හි මිලිටරි ඒකාධිපතිත්වයක් අටවා, 1950ස් ගනන්වල මුල ආසන්න ජනඝාතක යුද්ධයක් ගෙන ගියේ කොරියානු අර්ධද්වීපය උතුරු හා දකුනු වශයෙන් කෘතිමව බෙදී ම රැක ගැනීමට ය. යුද්ධය අවසානයේ සිට, උතුරු කොරියාව එක්සත් ජනපදය පිටුබලය දෙන ආර්ථික සම්බාධකවලට යටත් කෙරුනේ, යලි යලිත් කෙරුනු ප‍්‍රකෝප කිරීම් හා මිලිටරි තර්ජන සමගිනි.

ට‍්‍රම්ප් පාලනාධිකාරියේ යුද තර්ජනයේ ප‍්‍රධාන ඉලක්කය උතුරු කොරියාව නො ව, එක්සත් ජනපදය තම කලාපීය හා ගෝලීය ආධිපත්‍යයේ ප‍්‍රධාන බාධකය ලෙස සලකන, චීනය යි. ආසියා-ශාන්තිකරය පුරා එක්සත් ජනපද මිලිටරි ශක්තිමත් කිරීම ඇරඹුනේ ෆැසිස්ට්තාලයේ බිලියනපති ට‍්‍රම්ප් සමග නො ව; එය ඔබාමා පාලනාධිකාරිය විසින් වර්ධනය කරන ලද “ආසියාවට හැරීම” ඉදිරියට යෑමකි. මෙම මූලෝපායාත්මක මුලපිරීම ට‍්‍රම්ප්ට බාර දීමේ දී, නව පාලනාධිකාරිය මුහුන දෙන ප‍්‍රධාන මිලිටරි අභියෝගය ලෙස ඔබාමා උතුරු කොරියාව හඳුනා ගත් අතර, චීනය සමග එක්සත් ජනපදයේ ඝට්ටනය වේගවත් කිරීම සඳහා උතුරු කොරියානු “තර්ජනය” කඩතුරාවක් ලෙස යොදා ගත යුතු යැයි උපදෙස් දුන්නේ ය.

ට‍්‍රම්ප්ගේ යුදකාමී ප‍්‍රකාශනය සිදුවන්නේ ප්යොන්ග්යෑන්ග්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නව කටුක සම්බාධක සඳහා ඒකමතිකව ඡන්දය දීමෙන් ක්ෂනික ඉක්බිත්තේ දී ය යන කාරනය ප‍්‍රදර්ශනය කරන්නේ, සම්බාධක යෝජනාවට පක්ෂව චීනය ඡන්දය දීම දුර්වලත්වයේ සංඥාවක් මෙන් ම වහා ම තීව‍්‍රකෙරෙන ඝට්ටනයක් සඳහා කොල එලිය දීමක් ලෙස වොෂින්ටනය අර්ථකතනය කල බව යි. උතුරු කොරියාවට එරෙහි “අග්නිය හා කෝපයේ” තර්ජනය අඟවන්නේ චීනය, රුසියාව මෙන් ම එක්සත් ජනපද ආධිපත්‍යයට තර්ජනය කරන ඕනෑම බලවතෙකුට එරෙහි අනතුරු ඇඟවීමක් ලෙස ය.

උතුරු කොරියාවට එරෙහි ඕනෑ ම එක්සත් ජනපද ප‍්‍රහාරයක්, 1950දී සිදුවුනාක් මෙන් චීනය සමග යුද්ධයකට වේගෙයන් අවතීර්න වනු ඇත. එක්සත් ජනපදය මූලෝපායාත්මක ව පිහිටි කොරියානු අර්ධද්වීපය පාලනය කිරීම, 1930ස් ගනන්වල ජපන් අධිරාජ්‍යවාදීන් සඳහා එය එසේ වූවා සේ උතුරු චීනය තුල ට ප‍්‍රකෝපකිරීම් හා මැදිහත්වීම්වලට පනින පෝරුවක් වනු ඇත. එක්සත් ජනපදය උතුරු කොරියාව අල්ලා ගැනීම වැලක්වීමට වසර 67ට පෙර සටන් කල හා ප්යොන්යෑන්ග් සමග අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම තවමත් පවත්වාගෙන යන චීනය, අනතුරු පිලිබඳව හොඳින් ම දැනුවත් අතර තම උතුරු දේශසීමාව මිලිටරිමය වශයෙන් ශක්තිමත් කිරීමෙහි නියැලී ඇත.

යුදකාමීන් නිරායුද කිරීම මෙන් ම නව ලෝක යුද්ධයක් සඳහා වන අධිරාජ්‍යවාදී තල්ලුව නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී බලමුලු ගැන්වීමෙන් පමනි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: