ට‍්‍රම්ප් විසින් බෙනන් ඉවත් කිරීම: මිලිටරිය පාලන බලය තහවුරු කර ගනියි

Trump’s firing of Bannon: The military asserts control

2017 අගෝස්තු 19

ට‍්‍රම්ප් ඔහුගේ ප‍්‍රධාන ෆැසිස්ට් තාලයේ දේශපාලන මුලෝපායඥයාවූ ස්ටීවන් බෙනන් ඉවත් කිරීම සලකුනු කරන්නේ අමරිකානු පාලකප‍්‍රභූව තුල ඇවිලෙමින් පවත්නා කටුක කාන්ඩායමික ඝට්ටනයේ අලුත් අවධියකි.

ට‍්‍රම්ප්ට බෙනන්ව මෙසේ ඉවත් කිරීමට සිදුවුයේ පසු ගිය සති අන්තයේ චාර්ලොට්ස්විල් නගරය පුරා කැරලිගැසූ නාසි සහ සුදු ආධිපාත්‍යවාදී පෙලපාලි කරුවන් ආරක්ෂා කරමින්, ඔහු කතාකල ගිය අඟහරුවාදා මාධ්‍ය හමුවෙන් දින තුනකට පසුවය. ට‍්‍රම්ප්ගේ වචන වොෂිංටන් සංස්ථාපිතය තුල පෙර නුවූවිරු දේශපාලන ඝට්ටනයක් අවුලුවා ලීය. ඇමරිකානු පලක පන්තියේ සැලකියයුතු කොටසක් ට‍්‍රම්ප්ගේ පිලිවෙත් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර විශ්වසනිය භාවය ට හානි කරමින්, රටතුලම සමාජ පිපිරීම්වලට කොන්දේසි සකසන්නේ යයි, සිය බලගතු විරෝධය ප‍්‍රකාශකර සිටිති.

බ‍්‍රහස්පතින්දා, ට‍්‍රම්ප්ගේ සගයකු වන රූපට් මර්ඩොක්ගේ පුත‍්‍ර, 21 සෙන්චුරි ෆොක්ස් සිනමා ආයතනයේ ප‍්‍රධාන විධායක, ජේම්ස් මර්ඩොක්, ට‍්‍රම්ප්ට දොෂාරෝපනය කරමින් ප‍්‍රසිද්ධ ඊමෙල් පනිවුඩයක් නිකුත් කිරීමත් සමග මහසංගත සංස්ථාපිතය සහ රාජ්‍යය ම තුලින් ධවල මන්දිරයට එරෙහි පීඩනය අලුත් ඉහල මට්ටමකට උත්සන්න විය. බ‍්‍රහස්පතින්දාම නිව්යෝක්හි කොංග‍්‍රස් මන්ඩල සභික පීටර් කිංග් බෙනන් අස්කල යුතුයයි කියා සිටි අතර සෙනෙට් විදේශකටයුතු කමිටුවේ රිපබ්ලිකානු සභාපති වූ බොබ් කොර්කර් ට‍්‍රම්ප්ගේ ස්ථාවර බව සහ හැකියාව ප‍්‍රශ්නයට භාජන කලේ ය.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ආර්ථික උපදේශක, හිටපු ගෝල්ඩ්මන් සහ සැක්ස් සභාපති ගැරී කොහෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේය යන ආරංචිය නිසා තැතිගනිමින්, වෝල් වීථිය පුලුල් අඩු මිල කොටස් අලෙවියක් හරහා පාලනාධිකාරයට අනතුරු හැඟවීමක් කලේ ය. ඩව්ජෝන්ස් දර්ශකය තුන්මසකින් පසු ඇතිවූ ලොකුම වැටීම සටහන් කරමින් බ‍්‍රහස්පතින්දා පොයින්ට් 274 කින් පහත වැටුනි. සිකුරාදා බෙනන් ගේ ඉවත්කිරීම පිලිබඳ තොරතුරු හෙලිවූ වහාම නිව් යෝක් කොටස් වෙලඳපලේ අලෙවි කරුවෝ හුරේ දැමුහ.

බෙනන් ඉවත් කිරීමේ තීන්දුව ගනු ලැබුවේ මෑතදී පත්කරනලද ධවල මන්දිර කාර්ය මන්ඩල ප‍්‍රධානි මැරීන් ජෙනරල් ජෝන් කෙලි විසිනි. බෙනන් ඉවත් කිරීමේ තීන්දුව ට මූලිකත්වය දුන් කන්ඩායමට කෙලීද, ජාතික ආරක්ෂක උපදේශක, දැනුදු සේවයේ නියුක්ත ජෙනරල්කෙනෙකු වූ එච්.ආර්. මැක්මාස්ටර් ද ආරක්ෂක ලේකම් විශ‍්‍රාමලත් ජෙනරල් ජේම්ස් මට්ටිස් ද; හිටපු ගෝල්ඩ්මන් සහ සැච්ස් විධායක කොහන් ද එක්සන් මොබිල් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද අතුලත් වූහ.

පැහැදිලි කරුන නම් වෝල් වීදිය සමග සන්ධාන ගතව යුද්ධහමුදාව රාජ්‍ය කටයුතු කෙරේ කරන සෘජු පාලනය උග‍්‍ර කරනු ලැබ ඇති බවයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදී විදේශ ප‍්‍රත්පත්තිය මත පාලක පන්තිය තුල අභ්‍යන්තර ඝට්ටන ට‍්‍රම්ප් බලයේ පිහිටවූ තැන් පටන් උග‍්‍රව ඇවිලී ගොස් ඇත. ට‍්‍රම්ප් රුසියාවට විරුද්ධව වඩාත් ආක‍්‍රමනශීලි පිලිවෙතක් අනුගමනය කල යුතුයයි ද ඇෆ්ඝනිස්ථානයේ සහ සිරියාවේ යූද්ධ වඩා වේගයෙන් උත්සන්න කලයුතු යයි ද ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් ගේ කොටසක් සමග එක්වූ යුද්ධ අංශයේ සහ බුද්ධි තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ කන්ඩායම් බලකර සිටිති.

බෙනන් ඉවත් කිරීමේ නිවේදනය පැමිනියේ ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු භට සංඛ්‍යාව ඉහල දැමීමට ට‍්‍රම්ප් තම හමුදා අධිපතියන් සහ ප‍්‍රධාන බුද්ධි නිලධාරීන් කර ඇති යෝජනා සාකච්චා කිරීමට කෑම්ප් ඩේවිඩ්හි ඔවුන් සමග රැස්ව සිටියදී ය. බෙනන්ගේ පිටුබලය ලැබූ ට‍්‍රම්ප් මේ වනතෙක් පෙන්ටගනයේ සැලසුමට ප‍්‍රතිරෝධය දැක්වීය.

බදාදා ලිබරල්වාදී ඇමරිකන් ප්‍රොස්පෙක්ට් සඟරාව බෙනන් සමග සම්මුඛ සාකච්චාවක් පල කලේ ය: එහි ඔහු රාජ්‍ය සහ ආරක්ෂක දෙපාර්තමෙන්තුවල තම විරුද්ධවාදීන් ඉවත් කිරීමට සිය සැලසුම් ගැන පුරසාරම් දොඩමින් චීනයට එරෙහි වෙලඳ යුද්ධයෙන් ඉවත්වීම ගැන කොහෙන් නම්කොට පහර දෙන අතර, “යුද්ධමය විසඳුමක් ඇත්තේ නැත. අමතක කර දමනු”යැයි කියමින් උතුරු කොරියාවට එරෙහි යුද තර්ජන ඉවත දැමීය.

ඉක්බිති දිනයේදී ටිලර්සන් සහ මට්ටිස් යන දෙදෙනාම උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කිරීමට වොෂිංටනය සුදානම් බව ට යලි අවධාරනය කරන ප‍්‍රකාශ නිකුත් කලෝ ය.

ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්-හිතවාදී ප‍්‍රකාශ ගැන නොසතුට පලකර ඇති වෝල් වීදියේ බැංකු කරුවන් සහ මහා සංගත විධායක නිලධාරීන් බෙනන් ඉවත් කිරීම දැකගන්නේ ට‍්‍රම්ප් පාලනාධිකාරය තුලද, ට‍්‍රම්ප් සහ රිපබ්ලිකානු කොංග‍්‍රසය අතරද කෙරෙන කන්ඩායම් යුද්ධයට නාස් ලනුව දැමීමේ පියවරක් ලෙසය. ඔවුන් මෙය දැකගන්නේ මහ සංගතවල බදු කැපීමට ද, ව්‍යවසාය පරිපාලන රෙගුලාසි ඉවත් කිරීමට ද, පොදුකාර්ය පිරිවැය පිලිසකර කිරීම මුහුනුුවරින් ලාභ වර්ෂාවක් පතනය කර දීමටද වන ට‍්‍රම්ප්ගේ පොරොන්දු ඉටු කර දීමට මෙය අතිශයින් වැදගත් වන බවයි.

බෙනන් ඉවත් කරන ලෙස බලකර සිටි හමුදාපතියන්, වෝල්වීදියේ බැංකුකරුවන්, සහ ඩිමොක‍්‍රටික හා රිපබ්ලිකානු දේශපාලකයන් මෙහෙයවුනේ කිසිසේත්ම ප‍්‍රගතිශීලි හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරුනු උඩ නොවේ. පාලක පන්තියේ ගැටෙන සෑම කන්ඩායමක්ම කම්කරු පන්තියේ ජීවන තත්වයන් සහ සමාජ තත්වයන් ට එරෙහි ප‍්‍රහාරය උග‍්‍ර කිරීමේ අවශ්‍යතාව පිලිබඳව එකඟවී සිටිති. බෙනන් සමග සන්ධානගතව ෆැසිස්ට්තාලයේ පදනමක් ගොඩ නගා ගැනීමට ට‍්‍රම්ප් දරන ප‍්‍රයත්නය යොමුව ඇත්තේ කම්කරු පන්තික ප‍්‍රතිරෝධය ප‍්‍රචන්ඩව මැඩ ලීම ට ය.

ෆැසිස්ට්වාදී බ්‍රෙයිට්බාට් නිව්ස් හි ප‍්‍රධාන කතෘ ලෙස වහාම වැඩ ඇරඹු බෙනන් දිගින් දිගටම ට‍්‍රම්ප් පාලනය කෙරේ සලකියයුතු බලපෑමක් කරනු ඇත. ඔහු බ්ලූම්බර්ග් පුවත් නාලියට මෙසේ පැවසීය: “මම ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදීන්ට එරෙහිවද ට‍්‍රම්ප්ට පක්ෂවද යුද වදින්නෙමි.” ඔහු මෙ සේ ද කීය: “දැන් මා නිදහස්. මම නැවතත් මගේ ආයුධ අතට ගෙන ඇත්තෙමි.”

ට‍්‍රම්ප් ම ද, අන්ත දක්ෂිනාංශික කොටස් මොලොවා ගැනීමට තම ප‍්‍රයත්න දෙගුන කරමින් සිටි.

ට‍්‍රම්ප් ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස් හි දී ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත රැලියක දී, ආගාමික කම්කරුවන්ට එරෙහිව දඩයමකට මුල් තැන ගනිමින්, හිස්පැනික් ජනයා නීති විරෝධිව අත් අඩංගුවට ගැනීම නැවැත්වීමට දෙන ලද උසාවි නියෝගයක් උල්ලංඝනය කිරීම නිසා උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරු වූ ඇරිසෝනාවේ ප‍්‍රධාන පොලිස් නිලධාරී ජෝ අපයෝ ට සමාවක් ප‍්‍රකාශ කිරීමට නියමිතය.

ලෝක යුද්ධයේ අන්තරාය, දිලිඳුබවේ හා සමාජ අසමානතාවේ වර්ධනය සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් නැතිභංග කර දැමීම මාලිගා කුමන්ත‍්‍රන හෝ කැබිනට් මාරු වලින් විසඳෙනු නැත.

දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ සහ අන්ත-දකුනේ බලවේගවල නැගී ඒමට හේතුව වන්නේ ට‍්‍රම්ප්වත් බෙනන්වත් නොවේ; ඔවුන්මත් ඇමරිකානු සහ ලෝක ධනවාදයේ අර්බුදයේ සහ ජරපත් විමේ විෂ සහගත ප‍්‍රකාශනයයි.

ධනේශ්වර පන්තියේ කිසිදු කන්ඩායමක් රැකියා, අධ්‍යාපනය, විශ‍්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා, සාමය සහ මූලික අයිතිවාසිකම් පිලිබඳව වැඩ කරන ජනතාවගේ, අත්‍යන්ත උත්සුකතාවන් විසඳාලීමට ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට සමත් නැත.

රිපබ්ලිකන් පක්ෂය ට නොදෙවෙනිව ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් අඩ සියවසක් තිස්සේ සමාජ ප‍්‍රතිගාමීත්වය මෙහෙයවනු ලැබ ඇත. එහි ප‍්‍රධාන උත්සුකය වී ඇත්තේ සමාජ කෝපය ධනවාදයට එරෙහි අරගලයකින් ඉවතට හරවා ජාතික වාදය, වෙලඳ යුද්ධය, සහ ලෝකය පුරා යුද්ධ ආක‍්‍රමන පසුපස පෙලගැස්සවීමය.

ට‍්‍රම්ප්ට විරුද්ධව අරගලයක ට තිබිය හැකි එකම ප‍්‍රගති ශීලි පදනම නම් සමස්ත දේශපාලන සංස්ථාපිතය ට සහ එය ආරක්ෂා කරන ධනේශ්වර පර්යායට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීම යි.

බැරී ග්‍රේ

Share this article: