රතුපස්වල වෙඩිතැබීමෙන් වසර හතරක්

විලානි පීරිස් විසිනි, 2017 අගෝස්තු 10

වැලිවේරිය, රතුපස්වල වැසියන් පානීය ජලය ඉල්ලා සිදුකල මහජන උද්ඝෝෂනයට 2013 අගෝස්තු 1 දින එල්ල කල මිනීමරු හමුදා ප‍්‍රහාරයෙන් වසර හතරක් ගතව ඇත. එහෙත්, ජනතාව මුහුන දුන් ජල ප‍්‍රශ්නයට හෝ පරිසර දූෂනයට නිසි පිලියම් ලැබී නොමැති බව ද ජල දූෂනයට හා හමුදා ප‍්‍රහාරයට සැබැවින්ම වගකිවයුත්තන් නිදැල්ලේ පසුවන බව ද රතුපස්වල නිවැසියෝ චෝදනා කරති.

මෙම වෙඩි තැබීම නිසා මිය ගිය 17 වියෙහි පසු වූ අකිල දිනේෂ් ජයවර්ධන
මෙම වෙඩි තැබීම නිසා මිය ගිය 18 වියෙහි පසු වූ රවිශාන් පෙරේරා

අද බලගතුව සනාතව ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කල විශ්ලේෂනය හා එය ඉදිරිපත් කල සමාජවාදී ක්‍රියාමාර්ගයේ නිරවද්‍යතාවයයි.

රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කම්හල විසින් මුදා හරින ලද අපජලය නිසා ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය වීමට එරෙහිව ප‍්‍රදේශයේ මහජනතාව සංවිධානය කල උද්ඝෝෂනයට එවක බලයේ සිටි රාජපක්ෂ ආන්ඩුව විසින් හමුදාව යොදා එල්ල කල ප‍්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්පකුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය. ආරක්ෂාව පතා අසල දේවස්ථානයට දිව ගිය නිරායුධ මහ ජනයා ලූහුබඳිමින් හමුදාව වෙඩි තබමින් පහර දුනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව බලයට පත්වූයේ ඊට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආන්ඩුව බරපතල ලෙස අපකීර්තියට පත් කල රතුපස්වල මිලිටරි ප‍්‍රහාරයට එරෙහිව නැගුනු මහජන විරෝධය ද යහමින් පාවිච්චියට ගනිමිනි. සිය ආන්ඩුව බලයට පත්වූ පසුව රතුපස්වල නිවැසියන්ගේ ප‍්‍රශ්න විසඳීමට හා මර්දනයට වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් දීමට ද ඔවුහු පොරොන්දු වූහ.

මෙම ආන්ඩුව බලයට පත්කිරීම සඳහා මහජනතාව නොමග යැවීමට දායක වූවන් අතර ව්‍යාජ-වාම කන්ඩායම්, පුරවැසි පෙරමුන, ශ්‍රී ලංකා තරුන ජන මාධ්‍යවේදීන්ගේ සංගමය, ආන්ඩුවේ නොවන සංවිධාන ආදී ධනේශ්වර ක‍්‍රමය තුල මහජනතාවට විසඳුම් ඇත යන මිත්‍යාව වපුරන සංවිධාන විය. සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව වසර හතරක් ගතව ඇතත් රතුපස්වල ජනතාවගේ කවර හෝ ප‍්‍රශ්නයක් විසඳී නැත.

මහජනයාගේ උද්ඝෝෂනයේ මූලිකත්වය ගත් සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන වෙඩි වැදීමට ද ලක්වූ ජූඩ් නිශාන්ත පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “තවමත් පලාතේ ජලය විෂ සහිතයි. ග‍්‍රාමසේවා කොට්ඨාස දොලහකින් හතරකට පමනයි නල ජලය ලැබිල තියෙන්නෙ. බොහෝ අය අදත් පානය කරන්නෙ අපිරිසිදු ජලය.

මිලිටරි ප්‍රහාරයෙන් පසු දියර ආහාර පමනක් ගතහැකි තත්වයට පත් වූ ශාන්ත කුමාර සසප සාමාජිකයන්ට කරුනු දක්වයි

“තුන් දෙනෙකුගෙ ජීවිත නැතිවුනා. අබ්බගාත තත්වයට පත්වූවන්ට හරි හැටි රැකියාවක් කර ගන්න බැහැ. විනාශයට සරිලන වන්දියක් ලැබුනෙ නැහැ. කොටසකට සොච්චම් වන්දියක් දුන්න මහජන විරෝධතා වලක්වා ගන්න.”

ඔහු තව දුරටත් කියා සිටියේ රතුපස්වල උද්ඝෝෂනය කල ජනයාට පහර දුන් හමුදා කන්ඩායම භාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශ්‍ප්‍රිය ගුනවර්ධන ඇතුලු තවත් හමුදා නිලධාරීන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය ගම්පහ මහේස්ත‍්‍රාත් උසාවියේ ගෙන යන නඩුවෙන් ඔවුනට දඬුවම් ලබාදුන්නත් සැබවින්ම වගකිවයුත්තන් කවුද යන්න යට ගැසෙන බවය. “මෙම ප‍්‍රහාරයට රාජපක්ෂ ආන්ඩුවේ වගකීමත්, සියල්ලටමත් වැඩියෙන් වෙනිග්‍රොස් සමාගම විසින් අප ජලය මුදා හැරීමෙන් පරිසරය හා ජලය දූෂනය වූ බවත් වසන් කරන්නයි උත්සාහ කරන්නෙ,” ඔහු කීවේය. හමුදාපති හෝ ආරක්ෂක ලේකම් වැනි ඉහල අයෙකුගේ නියෝගයක් නොමැතිව මෙවැනි වෙඩි තැබීමක් සිදුවිය නොහැකි බව ඔහුගේ අදහසයි.

මෙම වෙඩි තැබීම නිසා මිය ගිය අවුරුදු 29ක් වයසැති බියගම නිදහස් වෙලඳ කලාප කම්කරුවෙකු වූ නිලන්ත පුෂ්පකුමාර

හමුදා නිලධාරීන් තිදෙනා පාවිච්චි කල ටී 56 තුවක්කු වලින් වෙඩි තැබීමේදී පාවිච්චි කල උන්ඩ නිකුත්වී ඇති බව පරීක්ෂන වලදී හෙලිදරව් වී ඇත. බ්‍රිගේඩියර් ගුනවර්ධන උසාවියේදී පවසා ඇත්තේ වෙඩි තැබීමට නියෝග කලේ ඔහු නොවන බවයි. පලමු වන සාක්කිකරුවන ජූඩ් උසාවියේදී පවසා ඇත්තේ ගුනවර්ධන “ෆයර්” කී විටම තුවක්කු පත්තු වූ බවය.

ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍රවීමට වගකිවයුතු වෙනිග්‍රොස් කම්හල බියගම නිදහස් වෙලඳ කලාපයේ යලි ක්‍රියාත්මක කර ඇති බව පැවසූ ඔහු “ගමේ කම්කරුවන් බොහෝමයක් දොට්ට දැම්ම, වන්දියක් වත් දුන්නෙ නැහැ. වසර හතරක් ගෙවී ගියත් ආන්ඩු මාරු වුනත් කිසිදු සාධාරනයක් ඉටුවී නෑ” යයි චෝදනා කලේය.

රතුපස්වල තවත් නිවැසියෙක් හා වරාය සේවකයෙකු වන සරත් පද්මසිරි පෙරෙරා මහජනයා මුහුන දුන් ජල ප‍්‍රශ්නය හා අනිකුත් කිසිදු ප‍්‍රශ්නයක් නොවිසඳී ඇතිබව කියා සිටියේය. හමුදා වෙඩි තැබීමෙන් පසු උද්ඝෝෂනයට සම්බන්ධවූ තමන් ඇතුලු කිහිපදෙනෙකුට බොරු චෝදනා මත නඩු දමා තිබුන නමුත් එම නඩු සියල්ලෙන්ම ඔවුහු නිදහස්වූ බව පෙරේරා පැවසීය.

ලාභය මත පදනම්වූ ධනේශ්වර ක‍්‍රමය යටතේ කර්මාන්ත ශාලාවන්ගෙන් සිදුවන පරිසර දූෂන වැලැක්විය නොහැකි බව ද සසප ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවල පමනක් කම්කරුවන්ට ඇති එකම විසඳුම බව පිලිගන්නා බවද පෙරේරා කියා සිටියේය.

හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම ද ප‍්‍රහාරයට ඉලක්ක වූ ඇතැමෙකුට සොච්චම් වන්දි මුදලක් ලබාදීම ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වූ ව්‍යාජ-වාම පක්ෂ ඇතුලූ සංවිධාන මහජනයා මුලා කිරීමට දිගටම ප‍්‍රයත්න දැරීය.

2013 අගෝස්තු 14 දා කොලඹ කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට එජාපයේ නායකත්වයෙන් විරෝධතාවකට සම්බන්ධවූ එජාප නායක රනිල් වික්‍රමසිංහට වික්‍රමබාහු කරුනාරත්න මයික්‍රෆෝනය අල්ලා ගෙන සිටී

රතුපස්වල මහජන විරෝධය එජාපය තුලට ගාල් කිරීම සඳහා මූලික ම ක්‍රියා කලාපයක් ඉෂ්ට කලේ පැබ්ලෝවාදී නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය යි. මෙම පක්ෂ ඒ දින වලදී එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ගොඩනගා ගත් “නිදහසේ වේදිකාව” මගින් එජාපය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂකයෙක් ලෙස පින්තාරු කිරීමට ක්‍රියා කලහ. 2013 අගෝස්තු 14 දා කොලඹ කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට එජාපයේ නායකත්වයෙන් විරෝධතාවකට සම්බන්ධවූ කරුනාරත්න සඳහන් කලේ “අද ජනතාවට සත්‍යය වැටහී” රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව එජාපය වටා පෙල ගැසෙමින් සිටින බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මහජන අරගලයට ඉදිරි මාවත ලෙස යෝජනා කලේ ඒවා “ඒකාබද්ධ කිරීමට සහ සහාය පල කිරීමටත්,” “විකල්ප කි‍්‍රයා මාර්ග සඳහා ප‍්‍රවේශයක් ගැනීමටත් මේ මොහොතේ සමස්ත සමාජයේ මැදිහත් වීම අවශ්‍ය බව”යි. ඔවුන්ගේ යෝජනාවේ අර්ථය වුයේ ධනපති පන්තියට හා ආන්ඩුවට බලපෑම් දමීමේ පුලුල් ව්‍යාපාරයක් මගින් ප‍්‍රශ්නය විසඳා ගත හැකිය යන්නයි. සමස්ත අරගල ඒකාබද්ධ කිරීම ලෙස ඔවුන් යෝජනා කරන්නේ ග්‍රීසියේ සිරිසා බඳු ධනේශ්වර ව්‍යාපාරයක් ගොඩ නැගීමය.

මෙම සංවිධාන අද රතුපස්වල හමුදා ප‍්‍රහාරය හා ජනතාව මුහුන දෙන ප‍්‍රශ්න ගැන නිහඬය.

ශ්‍රී ලංකා තරුන ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ (තජසං) ලේකම් තරිඳු ජයවර්ධන විසින් රචිත, ‘ජන අරගලයක දිය සලකුන-රතුපස්වල’ නම් කෘතිය මහ ජනතාවගේ උද්ඝෝෂන මධ්‍යයේදී කම්හල රතුපස්වලින් ඉවත් කොට බියගම නිදහස් වෙලඳ කලාපය තුල ස්ථාපිත කිරීම දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමින්, ධනේශ්වර පද්ධතිය පිලිබඳව අරගලයෙන් මතු කෙරුනු දේශපාලන ප‍්‍රශ්න සහ ඉන් මහජනතාව උගතයුතු වැදගත් දේශපාලනික පාඩම් යට ගසා ඇත. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික වැඩපිලිවෙලකට එරෙහිව ඔහු ද ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දමා පරිසර දූෂනය වැනි බැරූරුම් ප‍්‍රශ්න විසඳාගත හැකිය යන ප්‍රෝඩාව වමාරයි.

එහෙත් රතුපස්වල ජනතාව ආරම්භ කල අරගලයෙදී මතු කෙරුනු ප‍්‍රශ්න කම්හල වෙනත් ස්ථානයකට ගෙනයාමෙන් විසැඳී නැත. මහජන විරෝධතාව යටපත් කිරීම සදහා කම්හල බියගම වෙලඳ කලාපයට ගෙනගිය ද රතුපස්වල පරිසරයේ හා එහි ජලයේ සිදුවූ දූෂනය වසර ගනනාවක් ඉදිරියට ද බලපානු ඇත. අනෙක් අතට බියගමදී ද කම්හලෙන් එවන් පරිසර දූෂනයක් සිදු නොවෙතැයි සහතිකයක් ද නැත.

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම සිරිසේන ආන්ඩුව ද ක්‍රියා කරන්නේ ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා, පිරිහෙන ජීවන තත්වයන්ට, රැකියා විනාශයට හා පරිසර දූෂනයට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල හමුදාව සහ පොලීසිය යොදා තලා දැමීමටයි. ඛනිජතෙල් කම්කරුවන්ගේ වැඩ වර්ජනය බිඳීම සඳහා මෙම ආන්ඩුව ජූලි 25 දින අත්‍යවශ්‍ය සේවා නීතිය යටතේ හමුදාව මෙහෙයවීම එහි කොටසකි. එලෙසම අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි සිසු අරගල ද සනීපාරක්ෂක පියවර තහවුරු කිරීමකින් තොරව කසල බහැර කිරීමට එරෙහි මහජන අරගලවලට ද පොලිස් ප‍්‍රහාර එල්ල විය.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්තශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මාස හයක් පුරා සිදුකල ස්වාධීන කම්කරු පරීක්ෂනයෙන් අනතුරුව එම පරීක්ෂනය සිදුකල කමිටුව විසින් නිගමන ගනනාවක් ප‍්‍රකාශයට පත් කෙරුනි.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තා නිගමන

ඉහතකී කම්හල් දෙකේම “නිසි අපජල ප‍්‍රතිකාරක පද්ධති නොමැති වූ බවත් ඒවායෙන් අවට පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය හා අපජලය මගින් එම ප‍්‍රදේශයන්හි ජලය හා පරිසරය දූෂනය වී ඇති බවත්” පෙන්වා දුන් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව, “අගෝස්තු 1 දා වැලිවේරියේ මිලිටරි ඝාතනයන්ට ද මාර්තු 16 දින තුන්නාන පොලිස් ප‍්‍රහාරයට ද වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව” බව ද නිගමනය කලේය.

එම කම්හල්වලින් සිදු කෙරුනු ජල දූෂනයේ හා ප‍්‍රදේශයේ ජනයාට එල්ල කෙරුනු හමුදා පොලීස් ප‍්‍රහාරවල මූලයන් පිලිිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව මෙසේ පැහැදිලි කලේය: “මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නො ව ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනපති ක‍්‍රමය තුල, කම්හල්වල වැඩ කරන කම්කරුවන්ගේ ද, කම්හල් ආශ්‍රිත ප‍්‍රදේශවල ජීවත් වන ජනයාගේ ද, ජීවිත, සෞඛ්‍යය හා සමාජ කොන්දේසි නො තකා නිෂ්පාදනය සිදු කෙරෙයි.”

“ඇමරිකාවේ ලෙහ්මන් බ‍්‍රදර්ස් මූල්‍ය සමාගමේ බිඳ වැටීමෙන් ඇරැඹී තවදුරටත් ගැඹුරු වන බිඳ වැටීමේ කාල පරිච්ඡේදයක් තුලින් ලෝක ධනවාදී ආර්ථිකය දැන් ගමන් කරයි. ලාභ ලුහුබැඳීමක යෙදෙන මූල්‍ය ප‍්‍රාග්ධනය කම්කරුවන් දිනා ගත් සමාජ අයිතීන් කපා හරින සමාජ ප‍්‍රතිවිප්ලවයක් උසි ගන්වා ඇත,” කමිටු වාර්තාව සඳහන් කලේය.

“පිරිසිදු ජලය ලබා ගැනීම හා දූෂනයෙන් තොර පරිසරයක ජීවත් වීම මහජනයාගේ සමාජ අයිතියක්” බව ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව පෙන්වා දුන්නේය. රාජපක්ෂ ආන්ඩුව කාර්මික දූෂනයේ යෙදෙන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පාලකයන් ඇතුලු ආයෝජකයන් විවෘතව ම ආරක්ෂා කල අතර එය ධනේශ්වර අර්බුදය තුල කම්කරු පන්තිය අතීතයේ දී දිනා ගත් සියලු සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් යලි උදුරා ගන්නා සමාජ ප‍්‍රතිවිප්ලවයක කොටසකි.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන අවසාන කෙරුනේ මෙලෙස ක්‍රියාමාර්ගික මග පෙන්වීමක් ලබාදෙමිනි: “ධනපති ක‍්‍රමය විස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ලෝක කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි ලංකා ශාඛාව යි. ලෝක සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ඉන්දු උපමහාද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයකට ද එහි කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක ස්වරූපයෙන් ශ්‍රී ලංකා‐ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩ නැගීමට ද සසප සටන් වදියි. කාර්මික දූෂනයට එරෙහිව ඉදිරියට එන කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති මත සසප ගෙන යන මෙම අරගලය සමග ඒකාබද්ධ විය යුතු ය.”

කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ රතුපස්වල අත්දැකීමෙන් මෙම බරපතල පාඩම් උකහා ගන්නා ලෙසයි.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තා නිගමන

Share this article: