සම්බාධක පනතට ප‍්‍රති ප‍්‍රහාරයක් වශයෙන් රුසියාව, ඇමරිකානු තානාපති නිලධාරීන් පිටුවහල් කරයි

Russia expels US diplomats in retaliation for sanctions bill

ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 ජූලි 29

මේ සතියේ ඇමරිකානු කොන්ග‍්‍රසය විසින් සම්මත කරන ලද සම්බාධක පනත හා එයට පල වන රුසියානු ප‍්‍රතිචාරය, ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ප‍්‍රධාන ගැටුමක් වර්ධනය වෙමින් තිබෙන බව සලකුනු කරයි.

රුසියාව ඉලක්ක කර ගත් සම්බාධක නීතිය සෙනේට් සභාව විසින් 98ට 2ක් වශයෙන් සම්මත කිරීමත් සමග ඇවිලි ගිය, ලෝකයේ ප‍්‍රමුඛ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර සම්බන්ධකම් පිරිහී යාම හමුවේ 28දා මොස්කෝව, සිය ගනනක් ඇමරිකානු තානාපති නිලධාරීන්ට රටින් පිටවන ලෙස දැනුම් දුන්නේය. ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව සහිත රුසියානු ආන්ඩුව ඇඟවුම් කලේ, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය රුසියාව සමග ගැටුමකට සූදානම් වන බවට තමන් නිගමනය කර ඇති බවයි.

ප‍්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ: “සම්බාධක පැනවීම පිලිබඳ නව නීතිය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපදයේ දේශීය දේශපාලන සටන තුල රුසියාව ප‍්‍රාන ඇපකරුවෙකු ලෙස ගෙන ඇති බවයි. අලුත්ම සිදුවීම් වලින් පෙනී යන්නේ, එක්සත් ජනපදයේ ප‍්‍රධාන කවයන් රුසියානු භීතිකාවකින් පෙලෙන බවත්, අපගේ රට සමග විවෘත ගැටුමක් කරා ගමන් කරමින් සිටින බවත්ය.”

මේ තතු හමුවේ රුසියාව වොෂින්ටනයට දැනුම්දී ඇත්තේ, සැප්තැම්බර් 1දා වන විට තානාපති කාර්යාලයේ 1200ක් වන විශාල නිලධාරීන් සංඛ්‍යාව සියයට 60ත් වඩා ප‍්‍රමානයකින් අඩු කරන ලෙසය. විදේශ අමාත්‍යංශය මෙසේ පැවසීය: “එක්සත් ජනපදයෙන් අප කරුනාවෙන් ඉල්ලා සිටින්නේ, එරට සිටින රුසියානු තානාපති සේවයේ සංඛ්‍යාවට සමාන වන ලෙස සැප්තැම්බරය වන සිට රුසියාවේ සිය තානාපති හා තාක්ෂනික කාර්ය මන්ඩලයේ පුද්ගලයින් සංඛ්‍යා ව අඩු කරන ලෙසයි. එහි අර්ථය රුසියානු සමූහාන්ඩුව තුල සිටින ඇමරිකානු තානාපති හා උප කාර්යාලවල සේවයේ යොදවා ඇති මුලු පුද්ගලයන් සංඛ්‍යාව 455ක් දක්වා අඩු විය යුතු බවයි.”

ඉදිරියේදී ඇමරිකාව රුසියානු තානාපති කාර්ය මන්ඩලය තවදුරටත් කපා හැරියහොත් එකට එක කිරීමක් වශයෙන් මොස්කෝව ද රුසියාව තුල සිටින ඇමරිකානු තානාපති නිලධාරීන් ඒ ප‍්‍රමානයටම කපා හරිනු ඇති බව ද එය වැඩිදුරටත් පැවසීය. අගෝස්තු 1දා සිට ඇමරිකානු නිලධාරීන්ට, මොස්කව්හි ගබඩා ද මොස්කව් නදියේ ඇති දිවයිනෙහි ගොඩනැගිල්ල වෙත ප‍්‍රවිෂ්ට වීමට ද ඉඩ නොලැබෙනු ඇත.

මෙම පියවර ගනු ලැබුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝග මත බව ක්‍රෙම්ලින් ප‍්‍රකාශක ඩිමිත්‍රි පැස්කොව් සනාථ කලේය. සම්බාධක පැනවීම පිලිබඳව ප‍්‍රතිචාර දක්වමින් පුටින්, 25දා ප‍්‍රකාශ කලේ, “අපි හැසිරෙන්නේ ඉතා සාමකාමී හා ඉවසිලි සහගතවයි, එහෙත් සමහර අවස්ථාවල අප ප‍්‍රතිචාර දැක්විය යුතු වෙනවා...අපගේ රට කෙරෙහි මේ ආකාර උද්ධච්ඡ හැසිරීමක් හැමදාටම ඉවසා සිටිය නොහැකිය.”

මොස්කෝවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ, “රුසියානු ආන්ඩුවේ නිවේදනය අප වෙත ලැබී තිබෙනවා. රුසියාවේ එක්සත් ජනපද තානාපති ටෙෆ්ට් තමන්ගේ බලාපොරොත්තු කඩවීම හා විරෝධය පල කල අතර, අපි නිවේදනය වොෂින්ටනය වෙත යවා ඇත්තෙමු.”

පැය ගනනකට පසුව 28දා සවස ධවල මන්ඳිරය, තමන් කලින් නොසතුට පල කල සම්බාධක පනතට ජනාධිපති අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව නිවේදනය කලේය. එසේම පනතින් ඉරානය හා උතුරු කොරියාවට විරුද්ධව ද සම්බාධක දැඩි කරනු ඇත. ඊට රුසියාව ඉලක්ක කල අසාමාන්‍ය වගන්ති, එනම්, සම්බාධක ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට ධවල මන්ඳිරය ගන්නා කුමන හෝ පියවරකට එරෙහිව නිෂේධ බලය යෙදවීමට කොන්ග‍්‍රසයට බලය පැවරීම ද ඇතුලත්ය.

එක්සත් ජනපදය රුසියාව සමග විවෘත ගැටුමකට සූදානම්ව සිටින බවට රුසියාව දරන අදහස පෙන්නුම් කරන්නේ, අසාමාන්‍ය මට්ටමේ ජාත්‍යන්තර ආතතීන් හා යුද්ධයේ බලවත් අන්තරායයි. එම තත්වය, රුසියානු ආන්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලට මග පෙන්වනවා පමනක් නොව, රුසියාවේ නැගෙනහිර දේශසීමාවේ උතුරු කොරියාවේ සිට බටහිරෙන් යුක්රේනය හා බෝල්ටික් ප‍්‍රදේශ ද දකුනෙන් සිරියාව ද වශයෙන් රුසියාව වටේටම ඇති රටවල කුලීකාර යුද්ධ හා මිලිටරි ගැටුම් වලට සූදානම්ව සිටින මිලිටරි බලවේගයන්ට ද මග පෙන්වයි.

උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ නේටෝ රටවල මෙම බලවේග, සැබවින්ම සමස්ත ග‍්‍රහ ලෝකයම කිහිප වතාවක් විනාශ කිරීමට සමත් න්‍යෂ්ටික අවි පාලනය කරයි.

කියෙව්හි රුසියානු ගැති පාලනය පෙරලා දැමීම සඳහා 2014 පෙබරවාරියේදී ක්‍රියාත්මක වූ කුමන්ත‍්‍රනයට නේටෝව පිටුබල දීම මගින් යුක්රේනය තුල යුද්ධයක් අවුලුවන ලදී. බොහෝකොටම රුසියානු බස කථාකරන ජනතාව ක්‍රිමියාව යලි රුසියාවට බාර දීමට ඡන්දය දීමෙන් පසුව රුසියානු හමුදාව එම භූමිය වාඩිලාගත්තේය. රුසියානු මිලිටරිය සම්පූර්න සූදානමක තබා ඇත. 2015 විකාශනය වූ රූපවාහිනී වාර්තා වැඩසටහනකට අනුව, තමා “අතිශයින් බරපතල සිදුවීම් ඇතිවීම ගැන බියෙන් පසුවන” බව පුටින් පවසා තිබුනි. රුසියානු න්‍යෂ්ටික අවි පද්ධතීන් “යුද සූදානමක තබා ඇති” බව ද ඔහු තවදුරටත් පවසා තිබුනි.

දැන් වොෂින්ටනය යලිත් ගැටුම් අවුලුවා ඇත. මේ වතාවේදී ඔවුන් යුරෝපීය වෙලඳපොලට රුසියානු තෙල් හා ගෑස් සැපයීම සඳහා ඉදිකෙරෙමින් ඇති නව නල මාර්ගයේ යටිතල ව්‍යූහයට ආයෝජනය කරන කුමන හෝ සමාගමකට එරෙහිව සම්බාධක පනවනු ලබයි. මෙය යුරෝපයට තීරනාත්මක වන බලශක්ති සැපයුම් කපා හැරීමේ තර්ජනය මතු කරන අතර, ආර්ථික ගෙලසිරකිරීම් මධ්‍යයේ තම බලශක්ති අපනයන මත මුලුමනින්ම වාරුවී සිටින රුසියානු ආර්ථිකයට ද තර්ජනයක් වේ.

මොස්කෝව වොෂින්ටනය සමග තානාපතිවරුන් නෙරපන තවත් ගැටුමක් අපේක්ෂා කරන්නේ නම් එය, දෙරට යුද්ධයකට සූදානම් වන තත්වයක ගනු ලබන සම්ප‍්‍රධායික පියවරක් වන්නේය. එමගින් නිසැකවම රුසියානු මිලිටරිය, යලි වතාවක් උපරිම යුද සූදානමක තැබෙනු ඇත. මැද පෙරදිග, ආසියානු පැසිෆික් ප‍්‍රදේශවල හෝ නැගෙනහිර යුරෝපයේ වේවා, රුසියාව හා ඇමරිකාව අතර අහම්බයෙන් හෝ වෙනත් ආකාරයකට ඇතිව ගැටුමක තර්ජනය, පූර්න පරිමානයේ ගැටුමකට පරිවර්තනය වීමේ හැකියාව උග‍්‍රර කරයි.

සමූහාන්ඩු ආරක්ෂක කමිටුවට සම්බන්ධ ෆ‍්‍රාන්ස් ක්ලින්ට්ස්විච් සඳහන් කල බවට මොස්කව් ටයිම්ස් වාර්තා කලේ, සෙනේට් සභාවේ සම්බාධක ඡන්දයට රුසියාවේ ප‍්‍රතිචාරය, මොස්කව්හි මූලෝපායේ “පලමු පියවර පමනක්” වන්නේය. “අනෙකුත් කරුනු ද සැලකිල්ලට ගනු නිසැකය.” රුසියානු ප‍්‍රතිචාර “අනපේක්ෂිතව” සිදුවනු ඇත.

ලෝකයේ ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මෙම ආතතීන් ඉහල යාම පෙන්නුම් කරන්නේ, ලෝක ධනවාදයේ ආර්ථික හා භූ-දේශපාලන අර්බුදයේ ගැඹුරයි. එහි මූලික ගාමක බලය වන්නේ, යුරේසියානු භූ ස්කන්ධය මත ආධිපත්‍යය පිහිටුවා ගැනීමට වොෂින්ටනය හා එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් දරන ව්‍යායාමයයි. නේටෝවට පැවති ප‍්‍රමුඛ මිලිටරි ප‍්‍රති බලය ඉවත් කරනු ලැබූ, ස්ටැලින්වාදී නිලධරය විසින් ධනවාදී පුනස්ථාපනය අරඹමින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් පටන් ගතවූ සියවස් කාල තුල අත්ලාන්තික් සන්ධානය, ඉරාකයේ සිට යුගෝස්ලාවියාව ඔස්සේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, ලිබියාව හා උතුරු කොරියාවට තර්ජන, බෝම්බ හෙලීම හෝ ආක‍්‍රමන සිදුකර ඇත.

ඇමරිකාවේ හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ යුද ධාවනය නතර කිරීමේ කාර්යය රුසියානු ධනපති තන්ත‍්‍රය හා එහි මිලිටරියට බාරදිය හැකිය යන මතිය, කම්කරුවන්ගේ පැත්තෙන් සලකන කල, භයානක මිථ්‍යාවකි. ඊට පටහැනිව වඩාත් නග්න ලෙස මතුවෙමින් අත්තේ, සෝවියට සංගමය විසුරුවා හැරීමේ විනාශකාරී ප‍්‍රතිවිපාකයන්ය. ධනපති පුනස්ථාපනය තුලින් නිර්මිත ආර්ථික හා සමාජ කඩාවැටීමෙන් මතුව ආ ¥ෂිත රුසියානු ව්‍යාපාරික කතිපයාධිකාරය, අධිරාජ්‍යවාදී යුද තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනය කිරීමට අසමත් වනවාක් මෙන්ම නොකැමති ද වන්නේය. ඒ වෙනුවට ඔවුන් මංමුලාසහගතව උත්සාහ කරන්නේ, සහයෝගිතාව සඳහා ඇවටිලි කිරීම හා මිලිටරි මදාවිකම් අතර වැනෙමින්, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය සමග සහජීවනය සඳහා මාවත් සෙවීමටය.

ක්‍රෙම්ලින් තන්ත‍්‍රයම ලෝක දේශපාලනයේ භයානක සාධකයක් බවට පත්වෙමින් ඇත. 1990 ගනන්වල යුගෝස්ලාවියාවේ නේටො යුද්ධ හා 2011 ලිබියානු හා සිරියානු යුද්ධ වලට මුහුන දීමෙන් පසුව පවා, අසල්වැසි යුක්රේනයේ නේටෝ පිටුබලය සහිත අන්ත දක්ෂිනාංශික රුසියානු විරෝධී බලවේග විසින් දියත් කරන ලද කුමන්ත‍්‍රනය මොස්කෝවට කම්පනයක් විය.

කෙසේ වෙතත් පුටින් තන්ත‍්‍රය බලාපොරොත්තු වුනේ, ට‍්‍රම්ප් බලයට පත්ව, රුසියානු හිතවාදී යයි තමන් විශ්වාස කල, ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් හා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වැනි නිලධාරීන් වොෂින්ටනයේ ඉහල තනතුරු වලට පත්වීමෙන් පසුව, තත්වය යහපත් අතට හැරී අනතුර පහව යනු ඇතැයි කියාය. එහෙත් ෆ්ලින් ඉල්ලා අස්වීමෙන් හා රුසියානු විරෝධී සම්බාධක පැනවීමෙන් පසුව ක්‍රෙම්ලිනය, එම බලාපොරොත්තු සුන්වී ඇතැයි නිගමනය කර ඇත.

“ට‍්‍රම්ප්ගෙන් පසුව” යන ශීර්ෂය යටතේ ක්‍රෙම්ලිනයට පක්ෂපාතී බෝරිස් මෙෂූයෙව් ලියා ඇත්තේ: “දෙමසකටත් අඩු කාලයක් තුල පැහැදිලිවී ඇත්තේ, එක්සත් ජනපදයේ දේශපාලන ප‍්‍රභූවට, ෆ්ලින් හා ටිලර්සන් වැන්නවුන් නොවැදගත් අයටත් වඩා අඩු අය වී ඇති බවයි. ඔවුන්ට ඇමරිකාව පාලනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත...දැන් ඉතිහාසයේ එම වකවානුව මාරුවී ඇති බව සලකීමට සිදුවේ, රුසියානු කොන්සවේටිව් වාදීන් හා සමස්ත රුසියාවම ‘පශ්චාත් ට‍්‍රම්ප් වාතාවරනයක්’ තුල ජීවත් වීමට ඉගෙන ගත යුතුය.”

වොෂින්ටනය හා ඇමරිකාවේ සම්බාධක පනත තියුනු විවේචනයට ලක් කල යුරෝපීය සංගමය අතර ආතතිය වැඩි වර්ධනය වෙද්දී මොස්කෝව, කෙසේ වෙතත් ශක්තිමත් වන තම භූදේශපාලන තත්වය, වොෂින්ටනයට මුහුනදීමට හැකියාව සලසනු ඇතැයි විශ්වාස කරයි. සිරියාව තුල ඇමරිකාවේ පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන්, රුසියාවේ සහාය ලබන සිරියානු තන්ත‍්‍රය හමුවේ වේගයෙන් පසුබසිමින් සිටීමත්, නැගෙනහිර යුක්රේනයේ මොස්කව් ගැති බලවේග මෑතකදී, නේටෝව සහාය දක්වන කියෙව් පාලනයට සතුරු “කුඩා රුසියාව” නම් ප‍්‍රදේශයක් ඇති කිරීම මගින් ද එවන් විශ්වාසයක් ගොඩනැගී ඇත. එසේම, බෝල්ටික් මුහුදේ නේටෝව සමග ගැටුම්කාරී තත්වයකට මුහුනපා සිටින තතු හමුවේ, මේ සතිය තුල එහි යුදනැව් පිටත්කර හැරි බීජිනයේ සහයෝගය ගැන ද රුසියාව ඔට්ටු අල්ලයි.

ක්‍රෙම්ලිනයට හිත පක්ෂපාතී සමහර විචාරකයින් දැන් පවසන්නේ මොස්කෝව, වොෂින්ටනය යුරෝ සංගමය සමග ඇතිකරගෙන තිබෙන ඇවිල යන ආරවුල් අතර උපාමාරු දමන බවයි. පියොට්රි ඇකොපොව් ලියා ඇති පරිදි, “පරස්වාචක ලෙසින් රුසියානු විරෝධී සම්බාධක පැනවීමේ නව නීතිය දැනටමත් රුසියාවට වාසි සලසමින් තිබේ. එය රුසියානු හා ට‍්‍රම්ප් විරෝධී වනවා පමනක් නොව, යුරෝපීය විරෝධී පනතක් ද වන්නේය. එය බටහිර බලවතුන් අතර ප‍්‍රතිරෝධය උග‍්‍ර කරයි. යුරෝපය වඩ වඩාත් ඒත්තු ගනිමින් සිටින්නේ, ‘අත්ලාන්තික් සහයෝගිතාව’ පිලිබඳ ඇමරිකානු කථා, තමන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා වෙනුවෙන් යෙදෙන කඩතුරාවකට වැඩි දෙයක් නොවන බවයි. එය ට‍්‍රම්ප් පසුපස එලවයි, පුටින්ට හානි පැමිනවීමට එයට අවශ්‍යය, එහි ප‍්‍රතිතිපලයක් වශයෙන් එය ‘අත්ලාන්තික් එකමුතුවට’ යුරෝපය බැඳ තිබෙන ලනුවේ තවත් පොටක් ඉරා දමා ඇත. ඔබ නියමයි කොන්ග‍්‍රසය!”

වඩාත් ආක‍්‍රමනකාරී පිලිවෙතක් මගිින් ඇමරිකානු අධිරාජ්‍යවාදය පසුබස්සවනු ඇති බවට ක්‍රෙම්ලිනය ගනන් බලයි. එය ඔවුන් ට‍්‍රම්ප් ගැන කලින් තබන ලද බලාපොරොත්තුවට නොදෙවෙනි මිථ්‍යාවකි. සම්බාධක පනත, සාමාන්‍ය යෙන් සිදුවන පරිදි ඇමරිකානු පාලක පැලැන්තිය වඩාත් අන්තරාදායක ගැටුමක් සඳහා වුවත් කරලිය සකස් කරන බව පෙන්නුම් කරයි.

Share this article: