“හැට දෙලක්ෂයේ” රැස්වීම: කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි වඩාත් රුදුරු මර්දනයක් කැඳවුම් කෙරුනු ප‍්‍රතිගාමී වේදිකාවක්

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අගෝස්තු 24

“හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” නමින්, “පුරවැසි බලය”, “සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය” (සාසජා) සහ ව්‍යාජ-වාම නව සමසමාජ පක්ෂය (නසසප) ප‍්‍රමුඛව, පසුගිය 15 වනදා කොලඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වූ රැස්වීම සහ සත්‍යග‍්‍රහය වනාහි, අර්බුදයෙන් වෙලුනු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව ක්‍රියාවට නංවමින් සිටින මර්දනීය පිලිවෙත් වඩාත් වේගවත් කිරීම සඳහා තල්ලුව සැපයූ අන්ත ප‍්‍රතිගාමී ව්‍යායාමයකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්වීමෙන් දෙවසරක් සම්පුර්න වීමට දින දෙකක් තිබියදී පැවැත්වූ මෙම රැස්වීමේ ප‍්‍රධාන අරමුන වූයේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව අත්පත් කර දුන්නේයැයි කියන “සාධනීය වෙනසක්” ගැන ව්‍යාජ චිත‍්‍රයක් මවා පාමින් එම “වෙනස” ට එරෙහිවන්නන් මර්දනය කිරීම සඳහා වඩාත් රුදුරු පියවර ගැනීමට පෙරමග සකස්කර දීමයි.

රැස්වීම් වේදිකාවේ එක් පසෙක ආන්ඩුව විසින් “ඉටුකල දේ”ත් අනික් පස තවදුරටත් “ඉටුකලයුතු දේ” ත් ප‍්‍රදර්ශනය කර තිබුනි. දෙවසරක කාලය මුලුල්ලේ මහජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල රුදුරු ප‍්‍රහාරයන් හමුවේ, දැවැන්ත මහජන විරෝධයකට පාත‍්‍රව සිටින මෙම ආන්ඩුව “ඉෂ්ට කල දේවල්” යටතේ, “බියෙන් තොර නිදහස් සමාජයක් බිහිකිරීම” සඳහන්කර තිබීමෙන් ම මෙම ව්‍යාජය වඩාත් කැපී පෙනුනි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේදී සිරිසේනගේ ජයග‍්‍රහනය සඳහා ඡන්දය දුන් හැටදෙලක්ෂයක් වූ ඡන්ද දායකයන් සියල්ල එක මිටකට දමා අනන්‍ය කිරීම මෙම “හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයේ” අතිමූලික ප්‍රෝඩාවයි. මෙම “හැට දෙලක්ෂයෙන්” අතිමහත් බහුතරය, එනම් කම්කරු-පීඩිත මහජනතාව, සිරිසේන ට තම ඡන්දය ප‍්‍රකාශ කලේ රාජපක්ෂ තන්ත‍්‍රය විසින් තම ජීවන තත්වයන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරමින් සිටි රුදුරු ප‍්‍රහාරයන්ට විරෝධය පෑමක් ලෙසයි.

නමුදුු, බෞද්ධ භික්ෂුන්, වෘත්තීය සමිති, ඊනියා සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන් හා රාජ්‍ය නොවන සංවිධාන වල එකතුවක් වූ “සාසජා” හා “පුරවැසි බලය” යන සංවිධාන මෙන්ම නසසපය, සිරිසේන බලයට ගෙනඒම සඳහා සෘජුවම දායකවූයේ තම මධ්‍යම පන්තික වරප‍්‍රසාද තහවුරු කරගැනීමේ අභිලාෂයෙනි.

කම්කරු-පීඩිත මහජනතාවට කෙසේවෙතත්, රැස්වීම සංවිධානය කල සහ එහි කතා කල මධ්‍යම පන්තික නඩයට මෙම ආන්ඩුවෙන් “සාධනීය වෙනසක්්” අත්පත් වී ඇති බව නිසැකය. කථිකයින් සෑම කෙනෙක්ම පාහේ කියා සිටියේ පැවති රාජපක්ෂ පාලනයට සාපේක්ෂව වත්මන් ආන්ඩුව සාධනීය වෙනසක් සිදුකර ඇති බව සහ “ආන්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූ අය හැටියට” ආන්ඩුව ඉෂ්ට කර නොමැති කාර්යභාරය ඉෂ්ට කරවාගැනීමට “කැපවන” බවත්ය.

ඔවුන් සැමදෙනාම පාහේ පැවසුවේ රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පහකර සිරිසේන බලයට ගෙන ඒම “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාක්ෂාත් කරගැනීමේ විප්ලවයක් ” වූ බවයි. එහෙත් ඊට සපුරා පටහැනිව පසුගිය ජනාධිපතිවරනයේදී සිරිසේන ජනාධිපති බවට පත්වීම යනු, ඉන්දියානු සාගර කලාපය තුල චීනය හුදකලා කිරීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කරමින් සිටින “ආසියාවට හැරීම” නමැති යුදකාමී මූලෝපායේ කොටසක් ලෙස කුමන්ත‍්‍රනකාරීව සිදු කෙරුනු ”තන්ත‍්‍ර මාරුවකි”. එනම් ඇමරිකානු යුද ධාවනයේ මාවතට ශ‍්‍රී ලංකාව ඇද ගැනීමකි. “ජනවාරි 8 වනදා විප්ලවයට” සම්මාදම් වූයේයැයි පාරම්බාන ඉහත රැලියේ සංවිධායකයන් ඇත්ත වශයෙන්ම සම්මාදම් වී ඇත්තේ අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද මූලෝපාය ඉදිරියට ගෙන යාමටයි.

රැලිය ඇමතූ දඹර අමිල භික්ෂුව පැවති ආන්ඩුව හා වත්මන් ආන්ඩුව අතර සංසන්දනයකට යමින් මෙසේ පැවසීය. “කලින් ආන්ඩුවට නය ගෙවාගන්න බැරුව ගන්න පියවර වලින් පීඩාවට පත්වෙලා පාරට බහින අයට කලින් ආන්ඩුව තිබුන නම් කරන දේ කොහොම තියෙයිද කියල හිතල බලන්න.” ඔහු මෙලෙස සුදුහුනු ගාන්නේ හමුදාව සහ පොලීසිය යොදා කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුලු පීඩිතයන්ගේ විරෝධතාවයන්ට එරෙහිව දරුනුම වර්ගයේ ප‍්‍රහාරයක් දියත්කර ඇති ආන්ඩුවකටයි. ජනාධිපති, අගමැති ඇතුලු ආන්ඩුවේ මුල්පෙල ඇමතිවරු වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයන් මර්දනය කිරීම සඳහා“නව නීති ගෙන ඒම” ගැන නිරන්තරව සඳහන් කරන අතර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ආදී නව නීති හරහා පොලිස්-රාජ්‍ය ක‍්‍රමෝපාය ශක්තිමත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

රැලියේ ප‍්‍රධාන අරමුන වූයේ එම මර්දන නීති තව තවත් දැඩි කිරීම සඳහා ආන්ඩුවට ශක්තිය ලබා දීමයි. ඒ සඳහා යොදා ගැනුනු කඩතුරාව වූයේ හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහු පරිවාරයේ සිටි පුද්ගලයින්ගේ අපරාධ සහ දූෂන විමර්ශනයට ලක්කර ඔවුන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවයයි.

අමිල භික්ෂුව සඳහන් කලේ “රාජපක්ෂ කල්ලියේ හොරුන්ට දඬුවම් දීමට වෙනම අධිකරනයක් පිහිටුවා පැය විසිහතරම නඩු ඇසිය යුතු” බවත් ”ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම නවතා ප‍්‍රහාරක පියවරයන්ට යායුතු” බවත් ය. සාමාන්‍ය පාර්ලිමේන්තු විධික‍්‍රමයන් සහ අධිකරන කි‍්‍රයාදාමයන් ඉක්මවා යන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක‍්‍රමවේදයන්, රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය මෙල්ල කිරීම සඳහා ආන්ඩුව විසින් යොදාගත හැකිවන නමුදු, ඒවා නිසැකවම යොදා ගැනෙනු ඇත්තේ ආන්ඩුවේ ගමනට එරෙහිව සිටින මූලික බලවේගය වන කම්කරුවන් ඇතුලූ පීඩිත ජන කන්ඩායම් මර්දනය කිරීමටයි.

ඔවුන් විසින් බලයට ගෙනඑන ලද සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ කවර හෝ අරගලයක්, රාජපක්ෂගේ “ෆැසිස්ට්” බලවේගයන්ගෙන් මෙහෙයවෙන බවට හංවඩු ගසමින් එම අරගලයන් මැඞීම සඳහා ප‍්‍රසිද්ධියේ කැඳවුම් කරන නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, එදිනම පැවති සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි රැලිය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය: “අපි මෙතනට ගෙන්නල තියෙන ජනතා බලය බින්දුවට බස්සන්න කියල නුගේගොඩ රැලියක් සංවිධානය කරලා තියෙනවා. ඒ කියපු අය මෙතනට ආව නම් අපි රැස්කරපු ජනතා බලය බලාගන්න තිබුනා. මම කියනව, ඒ රැලිය සංවිධානය කල මහින්ද රාජපක්ෂගේ ගෝලයන්ට, ජාතිවාදී බල ඇනිවලට මෙතනට ආපු සෙනග දිහා බැලුවනම් හිතාගන්න පුලුවන් මේ වගේ නඩයන් කරන විකාරවලට විරුද්ධව රට එක්සත්ව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ජනතාව කොයි තරම් අවදිකරන්න පුලුුවන්ද කියල.”

සයිටම් විරෝධී ව්‍යාපාරයේ මුදුන අරක්ගෙන සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුන සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ඒකාබද්ධ විපක්ෂය ද ඇතුලත්කර ගනිමින් අටවාගෙන තිබෙන දක්ෂිනාංශික ධනපති පෙරමුනෙහි ප‍්‍රතිගාමිත්වය තිබියදීම, සයිටම් විරෝධය තුල ප‍්‍රකාශයට පත්වන්නේ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු සමාජ සුබසාධනයන් පෞද්ගලිකරනය කිරීමට වත්මන් ආන්ඩුව විසින් ගනු ලබන පියවරයන්ට එරෙහිව කම්කරුවන් සහ ශිෂ්‍යයන් අතරේ වර්ධනය වී ඇති බලගතු විරෝධයයි. කරුනාරත්න මෙම විරෝධය “ජාතිවාදී බල ඇනිවලට” ලඝු කරන්නේ එය තලා දැමීම සඳහා ආන්ඩුව ගෙනයන මර්දනයට ශක්තිය ලබා දීමටයි.

ආන්ඩුවේ ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන් සහ අජිත් පෙරේරා ආදීන් රැස්වීමට සහභාගිවීම තුලින් ආන්ඩුවේ පිටුබලය ඊට සෘජුවම ලැබී ඇති බව පෙන්නුම් කෙරුනි. තම දේශපාලන විරුද්ධවාදීන් කවර ආකාරයෙන් හෝ මැඩීමට ආන්ඩුවේ සුදානම හෙලිකරමින් රැලිය ඇමතූ අජිත් පෙරේරා පැවසුවේ “දුෂිතයන්ට දඬුවම් දීම ගැන ආන්ඩුව ඇතුලේ කතාකරල ඒකෙන් විසඳුමක් ගන්න බැරි වූ තැන යලිත් වරක් සටන් මගට බහින්නට අපි තීරනය කර තිබෙනවා” යනුවෙනි.

“රාජපක්ෂලාගේ නඩු ඇසීමට වෙනම අධිකරනයක් පිහිටුවන්න අවශ්‍ය” බව සඳහන් කරමින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මෙසේ පැවසුවේය. “මුන්ට විරුද්ධව අරගලය කරන එක පහසු නෑ. ආන්ඩුව වෙනස්වුනාට හැම අමාත්‍යංශයකම, හැම දෙපාර්තමේන්තුවකම, හැම අධිකරනයකම මුන්ගේ වරප‍්‍රසාද ගත්තු උන් ඉන්නව ඒක නිසා සියල්ලන්ටම එරෙහිව තමයි මේ සටන ගෙනියන්න වෙන්නේ” යැයි. එමඟින් නැවත වතාවක් හෙලිදරව් කෙරුනේ රාජපක්ෂ කල්ලියේ අපරාධවලට දඬුවම් දීම දඩමීමා කරගෙන පුලුල් පරාසයක මර්දනයක් දියත්කිරීමට ආන්ඩුව සුදානම් වන බවයි. සේනාරත්න සෘජුව නොකියන නමුත් මෙවන් මර්දනයක මූලික එල්ලය වනුයේ අරගලයට ප‍්‍රවිෂ්ටවන කම්කරුවන් සහ පීඩිතයන් ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානය පරිදි, තියුනුවන ආර්ථික අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පැටවීමට වේගවත් ගමනක යෙදෙන ආන්ඩුව ඊට එරෙහිව දෛනිකවම පාහේ මතුවන විරෝධතාවයන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් මගින් මර්දනය කිරීමට තීරනය කොට ඇත. මෙම තතු යටතේ, “හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” විසින් පැවැත්වූ මෙම රැස්වීමේ අරමුන වූයේ දූෂිතයන්ට දඬුවම් දීමේ කඩතුරාව යටතේ ආන්ඩුවේ මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීම සඳහා පිටිය සකස්කර දීමයි.

Share this article: