ආන්ඩුවේ අර්බුදය තීව‍්‍රවීම මධ්‍යයේ ශ‍්‍රී ලංකා විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

Sri Lankan foreign minister resigns amid intensifying government crisis

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2017 අගෝස්තු 16

බල කිරීම යටතේ පසුගිය සතියේ සිදු කෙරුන විදේශ ඇමති රවී කරුනානායක ගේ ඉල්ලා අස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මුහුන දී සිටින තීව‍්‍රතර දේශපාලන අර්බුදය පිලිබඳ පැහැදිලි සංඥාවකි.

කරුනානායකගේ ඉල්ලා අස්වීමේ ක්ෂනික හේතුව වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන, තමන් විසින් ම ඒකාබද්ධ විපක්ෂය ලෙස නම් කර ගත් මන්ත‍්‍රී කන්ඩායමක් විසින් පාර්ලිමේන්තු කතානායකට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක් මගහැරීමය.

ජනාධිපති විමර්ශන කොමිටියක් මගින් විමර්ශනය කෙරෙමින් පවතින රුපියල් බිලියන ගනනක් සම්බන්ධ මහ බැංකු බැඳුම්කර වංචාව පිලිබඳ ප‍්‍රධාන චුදිතයා සමග ඔහු මුල්‍ය ගනුදෙනුවක යෙදීම ගැන එලිදරව්වීමත් සමග කරුනානායක පසුගිය සතියේ දූෂන සෝලියකින් වෙලා ගැනුනි.

බැඳුම්කර වංචාවට කරුනානායක සම්බන්ධ බවට කෙරී ඇති චෝදනාව ආන්ඩුවට විරුද්ධව වැඩෙන මහජන අප‍්‍රසාදය ගසාකෑමේ තවත් අවස්ථාවක් ලෙස සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ‍්‍රීලනිප) කැඩුන කන්ඩායමක් වන ඒකාබද්ධ විපක්ෂය දුටුවේ ය. ආන්ඩුවේ අර්බුදය උග‍්‍රකරමින් සිරිසේනගේ ශ‍්‍රීලනිප යේ බොහෝ මන්ත‍්‍රීන් විශ්වාසභංග යෝජනාවට චන්දය දෙන බව ඇඟවුම් කර තිබුනි.

දෝෂාභියෝගයෙන් පරාජයවීමට පැවති හැකියාව නිසා බැඳුම්කර වංචාව පිලිබඳව කොමිසම මෙතෙකුදු එම විමර්ශනය සිදු කරමින් පවත්නා හෙයින් ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම නීත්‍යානුකුල නොවන බව ප‍්‍රකාශ කරමින් විවාදය මග හැරීමට ආන්ඩුව පලමුව උත්සාහ කලේ ය. එහෙත්, කොමිසම අධිකරනයක් නොවන බව ප‍්‍රකාශ කරමින් නීතිපති ආන්ඩුවේ තර්කය ප‍්‍රතික්ෂේප කලේ ය.

තමන් කිසිදු වරදක් නොකල බව තරයේ ප‍්‍රකාශ කල කරුනානායක ඇමති තනතුරේ එල්ලී සිටීමට උත්සාහ කලේ ය. නමුත්, ඔහුගේ අමාත්‍යමන්ඩල සගයන්ගේ සහ අනතුරුව ජනාධිපති හා අගමැතිගේ පීඩනය යටතේ කරුනානායකට ඉල්ලා අස්වීමට බල කෙරුනි. බලයේ රැඳී සිටීමේ මංමුලාසහගත උත්සාහයක් ලෙස ආන්ඩුව කරුනානායක බිලිදුන්නේ ය.

අගෝස්තු 13 වෙනිදා සන්ඩේ ටයිම්ස් කතුවැකිය මෙසේ සඳහන් කර තිබුනි. “අවාසනාවකට, සමහර සාකච්චා සහ චාටු කතාවලින් පසුව, ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වීමට කරුනානායක නිවැරිදි තීන්දුවක් ගත්තේ ය. පසුගිය සතිය අවසානයේ දකින්නට තිබුනේ පා පහර දෙමින් සහ කෑමොර ගසමින් ඔහුගේ අමාත්‍යාංශයෙන් ඔහුව ඇද දමන තත්වයකි..... පක්ෂය විසින් පවරන ලද ඔහුගේ රාජකාරිය කිරීම නිසා තමන් බිල්ලක් බවට පත්විය යුත්තේ ඇයිදැයි යම්ආකාරයකට යුක්තිසහගත ලෙස ඔහු තර්ක කලේ ය”.

එක්සත් ජනපදයේ පිටුබලය ලත් පාලනතන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමකින් සිරිසේන විසින් රාජපක්ෂ බලයෙන් පහකල 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරනයෙන් පසු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත් විය. ඉහවහ ගිය දූෂනය, ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට පහර එල්ල කිරීම හේතුවෙන් රජාපක්ෂ ආන්ඩුව කෙරෙහි පලල්ව පැතිර පැවති මහජන විරෝධය සිරිසේන ගසා කෑවේය.

යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔවුන්ගේ බොරු සටන්පාඨ හා රාජපක්ෂ ආන්ඩුවේ දුෂිත සාමාජිකයන්ට දඬුවම් දෙන බවට දුන් වංචනික පොරොන්දු ප‍්‍රවර්ධනය කරමින් වෘත්තීය සමිති, වෘත්තිකයෝ, සිවිල් සමාජ කන්ඩායම් සහ ව්‍යාජ වාම සංවිධාන වහාම සිරිසේන-වික‍්‍රමසිංහ වටේ රැලිවුහ.

ශ‍්‍රීලනිප හා එක්සත් ජාතික පක්ෂ සම්මුති ආන්ඩුව වික‍්‍රමසිංහගේ සමීපතම විශ්වාසවන්තයෙකු වූ අලුතෙන් පත්කල මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදු වූ බැඳුම්කර වංචාවකට ඉක්මනින් ම පැටලුනි. මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්, බැඳුම්කර වෙන්දේසි වල දී නිරන්තර ලංසු තබන්නෙකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන අධ්‍යක්ෂ විය. 2015 පෙබරවාරි මාසයේ දී සමාගම විසින් රුපියල් බිලියන 5 ක වටිනාකම් සහිත බැඳුම්කර ඉතා ඉහල පොලී රේට්ටුවකට මිල දී ගෙන තිබුනි. නමුදු ලංසු තැබීමේ ආරම්භයේ දී එම බැඳුම්කරවල වටිනාකම රුපියල් බිලියනයක් පමනක් විය.

අභ්‍යන්තර සහාය සහිතව, විශේෂයෙන් ම, අප්‍රේල් මාසයේ තනතුරෙන් ඉවත් කල මහ බැංකු අධිපති හරහා බැඳුම්කර නිකුත් කිරීම ඇතුලු තොරතුරු ලබා ගත් බවට අලෝසියස්ට චෝදනා එල්ල වී තිබේ.

වංචාව ආවරනය කිරීමේ සියලු ප‍්‍රයත්නයන් අසාර්ථක වූ විට, ආන්ඩුව, විශේෂයෙන් ම කරුනානායක, විසින් ඉටුකල භූමිකාව එලිමහනට පැමිනි, විමර්ශන කොමිසම ජනාධිපති සිරිසේන විසින් පත්කරන ලදී. ඇලෝෂියස් සමග සම්බන්ධකම ගැන බරපතල විවේචන මැද කරුනානායක මුදල් ඇමැතිකමින් ඉවත් කර විදේශ ඇමති ලෙස පත් කෙරුනි.

බැඳුම්කර විකිනීම මගින් රුපියල් බිලියන 70 ක් උපයන ලෙස ඉල්ලමින් කරුනානායක විසින් මහ බැංකුවට දින රහිතව යවන ලද ලිපියක් විමර්ශනයේ දී එලිදරව් විය.

බැඳුම්කර වංචාව සිදු වීමෙන් ක්ෂනික ඉක්බිතිව ඇලෝසියස් විසින් කරුනානායක සඳහා අධිසුඛෝපභෝගී නිවසක් කුලියට ගත් බව ද ඒ සඳහා මාසයකට රුපියල් මිලියන 1.45 ක බදු කුලියක් ගෙවූ බව ද එහි දී එලිදරව් විය. පසුව කරුනානායක පවුල රුපියල් මිලියන 165 ට එම නිවස මිලට ගත්තේය. ඔහුගේ බිරිඳ විසින් පාලනය කරනු ලබන සමාගම හරහා සිදු වූ ගනුදෙනුව ගැන තමන් කිසිවක් නොදන්නා බව කරුනානායක කොමිසමට ප‍්‍රකාශ කලේ ය.

විදේශ ඇමතිගේ ඉල්ලා අස්වීම යහපාලනය වෙනුවෙන් ආන්ඩුවේ කැපවීම පෙන්නුම්කල බව වික‍්‍රමසිංහ පසුගිය සතියේ නරුම ලෙස පැවසුවේ ය. “අපක්ෂපාති විමර්ශනයක් කිරීමට ඉඩදීම මගින් 'අපි නව සම්ප‍්‍රදායක්' නිර්මානය කල බව” ඔහු පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කලේ ය.

සිරිසේන සහ වික‍්‍රමසිංහ විසින් නව විදේශ ඇමති ලෙස තිලක් මාරපන ඊයේ පත් කරන ලදී. උත්සුකතා පිලිබඳ ඒ හා සමාන ගැටුමක් නිසා මාරපන ඇමති තනතුරෙන් ඉවත් කලේ යන්තම් වසරකට පෙරය. වානිජ නැව් වලට ආරක්ෂාව සම්පාදනය කල, දැවැන්ත මුල්‍ය වංචාවන් ට සම්බන්ධ සමාගමක් වූ ඇවන්ට් ගාර්ඩ් ආරක්ෂා කිරීම ගැන ඔහුට චෝදනා එල්ල විය.

මෙම සෝලීන් “යහපාලනයට” හා ”ප‍්‍රජාතන්ත‍්‍රවාදයට” කැපවීමේ ආන්ඩුවේ ප්‍රෝඩාව පමනක් නොව, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පරිපූර්න කුනුවීමද එලිදරව් කරයි.

නිල විරුද්ධ පක්ෂයේ සහ දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නායක ආර්. සම්බන්ධන් ආන්ඩුවට සහයෝගය දුන් අතර එය අර්බුදයෙන් ගලවා ගැනීම පිනිස උත්සාහ කලේ ය. කරුනානායක “යහපාලනය සහ මහ ජනතාවගේ උත්සුකතාවයන්” වෙනුවෙන් ක‍්‍රියා කල බව කියමින් ඔහුගේ ඉල්ලා අස්වීම “නිර්භය ක‍්‍රියාවක්” ලෙස හුවා දැක් වී ය.

දූෂන නැති කල යුතු බව පමනක් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද කරුනානායක ගේ ඉල්ලා අස්වීම ඒ ආකාරයෙන් ම ඔජවැඩ වී ය. ජවිපෙ 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේනට සහයෝගය දුන්නේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ දූෂන කෙරෙහි අවධානය යොමුකරවීමට ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂය (නසසප), පුරවැසි බලය, සමාජ සාධාරනත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ තවත් කන්ඩායම් ගනනාවක් උත්සාහ කර ඇත. පසුගිය ආන්ඩුවේ සාමාජිකයන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර ඔවුන්ට දඬුවම් පැමිනවීම පිනිස “විශේෂ අධිකරනයක්” පිහිටුවන ලෙස ඊයේ පැවති රැස්වීමක දී ඔව්හු ඉල්ලා සිටියහ.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යෝජනාවට පක්ෂව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා රැස්වීමේ දී කතාකලහ. එවන් විශේෂ අධිකරනයක් ස්ථාපිත කලොත් ආන්ඩුවට තර්ජනයක් වන කවරෙකු හෝ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට එය උපයෝගී කරගනු ඇත. සියල්ලටමත් වඩා, ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත්වලට කම්කරු පන්තියෙන් එල්ල වන කවර හෝ විරුද්ධත්වයක් මැඩලීමට එබඳු පියවරයන් යොදා ගනු ඇත.

පසුගිය මාසයේ තෙල් සංස්ථා කම්කරුවන්ගේ වර්ජනය මර්දනය කිරීමෙන් පසු ”ආන්ඩුව පෙරලීමට කිසිවෙකුට ඉඩ නොදෙන” බවට ජනාධිපති සිරිසේන කල ප‍්‍රකාශය වැඩකරන ජනතාව සහ තරුනයන් බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. මෙය හුදෙක් පුරාජේරු කතාවක් නොවේ. බලයේ රැදී සිටීම සහ එහි ආර්ථික කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේ දී පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන් ඇතුලු මර්දන පියවරයන් ගැනීමට ආන්ඩුව පසුබට නොවනු ඇත.

Share this article: