දක්ෂිනාංශික බලවේග වේදිකාරූඪ කරගත් රැස්වීමකින් අවිශිබමයේ පාගමන අවසන් කෙරෙයි

නවීන් දේවගේ විසිනි, 2017 අගෝස්තු 15

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් නායකත්වය දෙන “සයිටම් විරෝධී සිසු ජන පෙරමුනේ” පස්දින විරෝධතා පා ගමන අගෝස්තු 04 වෙනි දා කොලඹ කොටුව දුම්රිය පොල ස්ථානය ඉදිරිපිට දී අවසන් කෙරුනි. ජූලි 31 වන දා පේරාදෙනියේ ගලහ මංසන්ධියෙන් ආරම්භ කෙරුනු පාගමනේ අරමුන වූයේ, මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ශිෂ්‍ය මර්දනය නවතා දැමීම හා බන්ධනාගාර ගතකල ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයන් වහා නිදහස් කිරීම සඳහා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බල කිරීමයි.

“සයිටම් විරෝධී සිසු ජන පෙරමුන” යනු, ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා ඒ යටතේ මෙහෙයවෙන අවිශිබමය මූලිකත්වය ගෙන මෑතක දී අටවන ලද දක්ෂිනාංෂික අවස්ථාවාදී පෙරමුනකි. තවත් ව්‍යාජ-වාම පක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) ඇතුලු ධනපති ගැති වෘත්තීය සමිතිවල නායකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ජාතික හෙල උරුමය ඇතුලු විවිධ කොටස් මෙම පෙරමුනට ඇතුලත් වෙයි.

ආරම්භයේ සිටම මෙම පෙරමුනේ මූලික එල්ලය වූයේ, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාරයන් ට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ, සිසුන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල, කම්කරු පන්තික නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් දෙසට වර්ධනය වීම වලකා, වැඩෙන මහජන විරෝධය තවත් ධනේශ්වර පෙරමුනකට, විශේෂයෙන්ම රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයට ගාල් කිරීමයිි.

පාගමන අවසානයේ පැවති රැස්වීම තුලින් මෙම ප‍්‍රතිගාමී අරමුන වඩාත් පැහැදිලිව ප‍්‍රකාශයට පත්විය. කම්කරු පන්තියට ගර්හා කරමින් “ශිෂ්‍ය සටන්” උත්කර්ෂයට නැංවීමට රැස්වීම ඇමතූ සියලු කථිකයන් එකාවන්ව පෙල ගැසුනාහ. ඒ අතරින් වඩාත් රුදුරුතම ප‍්‍රකාශකයාවූයේ කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් රැලිය ඇමතූ පෙසපයේ දුමින් ද නාගමුවයි, ශිෂ්‍යයන් කම්කරු පන්තික නායකත්වයට එරෙහිව පිහිටුවීම ඉලක්ක කොට ගනිමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: “1980 වැඩ වර්ජනයේ පරාජය තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්. කම්කරු පන්තිය එක මිටකට ගන්න බැරි, අදත් ගොඩ එන්න බැරි අර්බුදයකට 1980 න් පස්සේ කම්කරු පන්තිය ඇද දැම්මා. හැබැයි 80 වර්ජනය ආන්ඩුව පොඩි පට්ටම් කරද්දී 1981 ධවල පත්‍රිකා සටන ජයග‍්‍රහනය කරන්න අවිශිබම නායකත්වය සමත් වුනා. දැන් හම්බන්තොට විකිනුවා. ඒක පරාජය කරන්න කම්කරුවන්ට බැරි වුනා. ඒවා (එම පරාජයන්) ගෙනල්ලා ශිෂ්‍ය ව්‍යාපාරය උඩට අතහැරලා ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කරන්න හදනවා.”

නාගමුවගේ ප‍්‍රකාශයේ රුදුරු බව සහ ව්‍යාජභාවය හෙලිදරව් කිරීමට පෙසප හා ජවිපෙ ඉතිහාසය සැකවින් නමුත් පෙන්වාදීම වටී. 1980 ජූලි වර්ජනය කැඳ කෝප්ප සටන් ලෙසත් “නිර්ලජ්ජිත පාදඩ සටන් ක‍්‍රමයක්” ලෙසත් නම් කරමින් එම වර්ජනයට එරෙහිව සරසවි ශිෂ්‍යයන් මෙහෙයවීමට ක්‍රියාකල ඉතිහාසයකට ජවිපෙ, අවිශිබමය හා පෙසප උරුමකම් කියයි. ධවල පත්‍රිකාවේ පරාජය ගැන අවිශිබමය සහ පෙසප ගසන කයිවාරුවලට ප‍්‍රතිකූලව, එම පත්‍රිකාවෙන් අපේක්ෂා කල සියලු කප්පාදු පියවරයන් පසුගිය දශක හතර තුල බලයට පැමිනි අනුප‍්‍රාප්තික ආන්ඩු මගින් ක්‍රියාවට නංවා ඇත.

එවැනි මහා පරිමාන කප්පාදු සෑම ක්ෂේත‍්‍රයක් තුලම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පාලක පන්තියට බාධාවක්ව පැවති කම්කරු පන්තියේ එකමුතුව බිඳ දැමීම සඳහා දෙමල ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ආරම්භයේ සිට ගෙනගිය නොපනත්කම් 1980 දශකය මුලදී විවෘත යුද්ධයක් දක්වා පරිවර්තනය කෙරුනි. ජවිපෙ හා ඒ යටතේ ක්‍රියාත්මක වූ අවිශිබමය එතැන් සිට, අධ්‍යාපනය ඇතුලු සුභසාධනය වෙනුවෙන් යෙදවිය හැකිව තිබු රුපියල් බිලියන ගනන් මහජන මුදල් යටකල තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේ ප‍්‍රධාන සහයෝගීකරුවෝ වූහ.

1989-90 කාලපරිච්ඡේදයේ දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ ගෙන ගිය සිංහල ස්වෝතමවාදී ව්‍යාපාරයේ දී “පලමුව මව්බිම දෙවනුව වැඩබිම”, “මව්බිම නැත්නම් මරනය” යන සටන්පාඨ ඉදිරියට දමා කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් ව්‍යාපාරයක් ජවිපෙ විසින් වර්ධනය කලේ රනසිංහ පේ‍්‍රමදාස ඇතුලු එජාප නායකයන් සමග ඒකාබද්ධවයි. 2009 දී එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කල අවස්ථාවේ, අවිශිබම එවක කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න විසින් “එල්ටීටීඊය සමූල ඝාතනය කරන ලද බව කියන පුවත රටේ ජනතාවට අහන්න ලැබුනු ආශ්වාදනීයම පුවත” යයි පත්තර පිටු පිරෙන ප‍්‍රකාශ නිකුත් කලේ ය.

කම්කරු පන්තියටත් පීඩිත දෙමල ජනතාවටත් එරෙහිව ධනපති පාලක පන්තිය සමග පෙලගැසුනු ජවිපෙ මහජනයා ඉදිරියේ අපකීර්තියට පත් වීමෙන් පසු ජවිපෙන් සංවිධානාත්මක භේද වී සිටින පෙසප කම්කරු පන්තියට එරෙහිව ශිෂ්‍ය සටන් ඔජවඩවන්නේ ජවිපෙ නායකන් සමග එක වේදිකාවේ සිටිගෙනයි. දුමින්ද නාගමුව උදුල් ප්‍රේමරත්නට පෙර අවිශිබමයේ සිටි කැඳවුම්කරුවෙකි.

ජවිපෙ නියෝජනය කරමින් රැලියේ දී කතා කල පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙසේ පැවසීය. “වෙන වෙන ම සටන් කරන ගමන් එකට එක් වී දැවැන්ත බලයක් බවට පත්වීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය යි. ආන්ඩුව දන ගස්වා ගත හැක්කේ මේ අධිෂ්ඨානයට පමනයි. එම අධිෂ්ඨානය පා ගමන පුරාවටම ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රදර්ශනය කලා.”

ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන ක්‍රියාමාර්ගයකින් තොර මෙම “අධිෂ්ඨානය” වනාහිි, කම්කරු පන්තිය සහ සිසුන් නිරායුධ කොට එම ප‍්‍රහාරයන්ට යටත් කෙරෙන ප‍්‍රලාපයකි. තම අයිතීන් වෙනුවෙන් සටන් කරන හම්බන්තොට වරාය කම්කරුවන්ට එරෙහිව මෙන්ම පසුගිය දා ඛනිජ තෙල් කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව මුර්ග පොලිස්-මිලිටරි ප‍්‍රහාර දියත් කරමින් ආන්ඩුව තම කප්පාදු පිලිවෙත් ඉදිරියටම ගෙනයාම මගින් යලි යලිත් සනාථ කෙරී ඇත්තේ මෙම “අධිෂ්ඨානයේ” බංකොලොත්බව සහ එය තොරොම්බල් කරන ජවිපෙ වැනි පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවයයි.

පුද්ගලීකරනයට එරෙහි දේශපාලන අරගලයක් වලකා ධනපති ආන්ඩුවල ඊනියා කොමිෂන් සභා වටවංගුවල කම්කරුවන් සහ සිසුන් සිරකිරීමේ අරමුනෙන් රවෛනිස යේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ බැඳුම්කර කොමිසමට සමාන කොමිසමක් පත් කර “සයිටම් නාටකය” සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කිරීම අවශ්‍යබව සහ එයට එස්. බී. දිසානායක සහ රාජිත සේනාරත්න යන ඇමතිවරුන් ගෙන්වා ප‍්‍රශ්න කල යුතු බවත් ය.

ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය පුලුල් ධනපති පෙරමුනකට ගාල් කිරීමේ පෙසප වැඩපිලිවෙලෙහි පූර්න වාසිය අත්කර ගනිමින් සිටින්නේ කෙසේ හෝ යලි බලයට පැමිනීමට වලිකන රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයයි. එය නියෝජනය කරමින් කතා කල මහජන එක්සත් පෙරමුනේ සිසිර ජයකොඩි නැමැත්තා මෙසේ පැවසීය: “පාර්ලිමේන්තුව විකෘතියක් කරලා. මැතිවරන කල් දාලා ඡන්ද අයිතිය අහිමි කරලා ඔබට විරෝධය පල කරන්න මාර්ගයක් නෑ. තියෙන එකම මාර්ගය මේ මහා පාර පමනයි. මේ වේදිකාව පටු කරන්න එපා. පාටවලට බෙදන්න එපා. පක්ෂවලට බෙදන්න එපා. ඒකාබද්ධ විපක්ෂයේ අපි ඔබ සමග එනවා.”

රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ නාමයෙන් ඇමරිකන් ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වැඩ කල නව සම සමාජයෙන් (නසසප) කැඩී ගිය වමේ හඬ සංවිධානය පිහිටුවාගෙන සිටින ලීනස් ජයතිලක ඒකාබද්ධ විපක්ෂයේ එම උත්සාහයට නිවට විවේචනයක් කරමින් “මේ වේදිකාව මැතිවරන ජයග‍්‍රහනවලට පාවිච්චි කරන්න ඉඩ නොදී කම්කරු ගොවි ජනතාවට මේක ජනතා අරගලයක් කිරීමට ධෛර්ය ලැබේවා” යයි කියා සිටියේ ය.

ආන්ඩුවේ පාර්ශ්වකරුවෙක් වන ජාතික හෙල උරුමය නියෝජනය කරමින් බත්තරමුල්ලේ දයාවංශ, තමන්ගේ පක්ෂයේ පාඨලී චම්පික රනවක සයිටම් විරෝධී සටන රජයේ කැබිනෙට්ටුව තුල නිර්භයවත් සෘජුවවත් ගෙන යන බව ප‍්‍රකාශ කලේ ය. මහජනයා හොඳින්ම දන්නා කාරනය නම් රනවක කම්කරු පන්තියේ සටන් තලා දැමීමට දිගින් දිගටම තර්ජනය කරමින් සිටන බවයි.

අවිශිබමය වෙනුවෙන් මූලාසනය ගෙන සිටි තැනැත්තා මෙවන් වංචනිකයන් සහ ද්‍රෝහීන් රොත්තක්, හඳුන්වා දුන්නේ “සටන් කරන බලවේග” ලෙසයි. අවිශිබම වැඩ බලන කැඳවුම්කරු සනත් බන්ඩාර “ආන්ඩුව දිගටම මේ සෙල්ලම නම් කරන්නේ අපි දරුනු ක්‍රියාමාර්ගවලට, දැඩි පියවරකට යනවා” යයි කියමින් අවිශිබම නායකයන්ට සුපුරුදු පූච්චානමි භාෂාවෙන් බෙරිහන් දුන්නේය. ධනපති කල්ලියකට පසු තවත් එකකට බලයට පැමිනීමට කොන්දේසි සකසමින් ශිෂ්‍යයන් ස්වයංනාශක “දැඩි පියවර” වෙතට යොමු කරමින් ආන්ඩුවේ මර්දන හස්තයට යටත්කරදීම අවිශිබමයේ එල්ලයයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කරන ලද, “ව්‍යාජ වම්මු සයිටම් විරෝධතාවයට මුවා වී දක්ෂිනාංශික පෙරමුනක් ගොඩ නගති” යන හිසින් යුතු ලිපිය බෙදා හරිමින් ශිෂ්‍යයන් සමග දේශපාලන සාකච්ඡාවක නිරත වූ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි සාමාජිකයන්ට පෙසප සහ අවිශිබම සිදු කල බාධා කිරීම් හා තර්ජන, ඔවුනගේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී දක්ෂිනාංෂික ගමන් මග තවත් හෙලිදරව් කරයි.

අවිශිබම ක්‍රියාකාරිකයෙක් පැමින “පෙරටුගාමි පක්ෂයට බැනලා කොල බෙදන්න දෙන්න බෑ” යි කියමින් සසප පත්‍රිකා උදුරා ගැනීමට උත්සාහ කල අතර “මෙතන විවිධ කන්ඩායම්වල අය ඉන්න නිසා පත්‍රිකා බෙදීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇති විය හැකි” යයි පවසමින් සසප උද්ඝෝෂනය නතර කරන ලෙස තවත් ක්‍රියාකාරිකයෙක් තර්ජනය කලේ ය.

Share this article: