ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමේ සූදානමක

US remains poised to attack North Korea

පීටර් සිමන්ඞ්ස් විසින්, 2017 අගෝස්තු 14

ඇමරිකාවේ මිලිටරි නායකයින් විසින් නොවැලැක්විය හැකි න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ ප‍්‍රශ්නය යට ගැසීමේ කාරනයම පෙන්නුම් කරනු ලබන්නේ, එම කාරනය ධවල මන්ඳිරය තුල සාකච්ඡා කෙරෙමින් තිබෙන බවයි.

පෙන්ටගනයේ ප‍්‍රමුඛ ජෙනරාල්වරයෙකු, දැනට දකුනු කොරියානු ජනාධිපති හා ඉහල පෙලේ මිලිටරි නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බීජිනය හා ටෝකියෝව බලා යාමට සූදානම්ව සිටී. එයමත් පෙන්නුම් කරන්නේ ඇමරිකාව උතුරු කොරියාවට එරෙහි යුද්ධයට සූදානම්වීම පිලිබඳ සලකුනක් ලෙසය.

“මිලිටරි නායකයෙක් ලෙස මට, රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික බලපෑම් අසාර්ථක වන අවස්ථාවකදී, ජනාධිපති (එක්සත් ජනපද) වරයා සතුව විභව මිලිටරි විකල්පයන් තිබීම ගැන සහතිකයක් තිබිය යුතු” යයි, ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජෝ ඩන්ෆඩ්, ඕසන් ගුවන් හමුදා කඳවුරේ සිට 13දා මාධ්‍ය වෙත පැවසීය.

“එම විකල්ප වර්ධනය කරන විට පවා අප, එම විකල්ප ක්‍රියාත්මක කිරීම ගැන කල්පනා කල යුතුය.” ඩන්ෆඩ් පැවසුවේ මෙහිදී, ඉක්මන් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගන්නා බවය. ඔහු පසුගිය මාසයේ පැවසුවේ, උතුරු කොරියාව සමග යුද්ධයකදී “අපගේ ජීවිත කාලය තුල නොදුටු පරිමානයේ ජීවිත හානි සිදුවනු ඇති බව සිතාගත නොහැක්කක් නොවන” බවයි.

ඇමරිකානු හා දකුනු කොරියානු හමුදා තවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට යයි. එය කොරියානු අර්ධද්වීපයේ ආතතිය යලි වතාවක් උත්සන්න කරනු ඇත. අගෝස්තු 21-31 අතර පැවැත්වෙන වාර්ෂික උල්චි-නිදහසේ බාරකාර අභ්‍යාස, දැනටමත් උතුරු කොරියාවේ විවේචනයට ලක්ව තිබේ. උතුරු කොරියාව සමග යුද්ධයකට සූදානම් වීමේ කොටසක් වන එයට දහස් ගනනක් ඇමරිකානු හා දකුනු කොරියානු හමුදා භටයින් සහභාගි වනු ඇත.

එලඹෙන සති වලදී ජපානය ද ඇමරිකාව සමග මිලිටරි අභ්‍යාස පවත්වනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේ ජපාන මිලිටරිය, ඇමරිකාව විසින් සපයනු ලබන, පැක්-3 ලෙස හඳුන්වන, මිසයිල් විනාශ කිරීමේ ගොඩබිම් පද්ධතීන් 4ක් වෙන් වෙන් මධ්‍යස්ථානවල ස්ථානගත කරනු ඇති බවයි.

කුඩා, දුගී ජාතියකට එරෙහිව මිලිටරි ප‍්‍රහාර එල්ල කිරීමට පසුගිය සතියේ ජනාධිපති ට‍්‍රම්ප් එක දිගට කරන ලද අතිශයින්ම ප‍්‍රකෝපකාරී හා ඉවබව නැති තර්ජන මාලාවක් හමුවේ, උතුරු කොරියාව සමග න්‍යාෂටික යුද්ධයක අන්තරාය යට ගැසීමට 13දා ඇමරිකානු ආන්ඩුවේ නිලධාරීහු උත්සාහ කලහ.

“ලෝකය මින් පෙර දැක නැති ආකාරයේ ගින්දර හා කෝපාග්නිය” තුලට ඇද දැමීමට කල ට‍්‍රම්ප්ගේ තර්ජන ආරක්ෂා කරන අතර සීඅයිඒ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ 13දා ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ, “අප න්‍යෂ්ටික යුද්ධයේ හා සාමයේ මැද සිටින බව ජනතාව කියනු මට ඇසී තිබේ. අද කිසිදු බුද්ධි අංශයක් අප ඉන්නේ එවන් තත්වයක යයි ඇඟවීමක් පවා කරනු මට දැකිය නොහැකිය.”

දෙගිඩියා සහගතව වුවත් පොම්පියෝට න්‍යෂ්ටික යුද්ධයක අනිවාර්යතාව පිලිබඳ අදහස යට ගැසීමට බල කෙරී තිබීමෙන් පෙනී යන්නේ, කාරනය ධවල මන්ඳිරයේ හා මිලිටරි කවයන්හි ඉහල මට්ටමේදී සාකච්ඡා කෙරෙමින් ඇති බවයි.

තව ද ඉහල මට්ටමේ සැලසුම් හා සූදානම් කිරීම් දැනටමත් සිදුව තිබේ. පසුගිය සතියේ ට‍්‍රම්ප්ගේ ට්වීටර් සටහනකින් පෙන්වන පරිදි, “මිලිටරි විසඳුම් දැන් මුලුමනින්ම තීන්දු කර ඇති අතර උතුරු කොරියාව මුග්ධ ආකාරයකින් කටයුතු කරන්නේ නම්, ඒවා සූදානමින් තබා ඇත, කිම් ජොන් උන් වෙනත් මාවතක් සොයාගනු ඇති බවට බලාපොරොත්තුවක් ඇත.”

ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් ද පොම්පියෝට සමාන හඬක් නගයි. පියොන්යෑනය දිගටම ඇමරිකාවට තර්ජන එල්ල කරන්නේ නම් අපේක්ෂා කල යුත්තේ කුමක් ද යන්න පිලිබඳ කුමන හෝ“ව්‍යා කූලත්වයක්” තුරන් කිරීම, ට‍්‍රම්ප්ගේ තර්ජනවල හුදු අර්ථය බව ඔහු පැවසීය. ඒබීසීහි “මේ සතිය” වැඩසටහනට කතා කරමින් 13දා ඔහු පැවසුවේ, “සතියකට පෙරදීට වඩා අප යුද්ධයට සමීපව ඇතැයි මම නොසිතමි. එහෙත් දශකයකට පෙරදීට වඩා අපි යුද්ධයට සමීපව සිටිමු.”

අවශ්‍ය වුවහොත් උතුරු කොරියාව සමග මිලිටරිමය වශයෙන් ගනුදෙනු කිරීමට ඇමරිකාව සූදානමින් සිටින බවට අනතුරු අඟවන ගමන්ම ඔහු පැවසුවේ,“අපි ඉහලම මට්ටමකින් සූදානම්ව සිටින්නෙමු, ඒ අනුව එක්සත් ජනපද මිලිටරිය හැමවිටම සූදානමින් හා සන්නද්ධව සිටියි, එහෙත් අරමුන සාමය ආරක්ෂා කර යුද්ධය වැලැක්වීම සඳහා හමුදාවන් සූදානම්ව හා හැකියාව සහිතව තැබීමයි.”

ට‍්‍රම්ප් පාලනයේ මතභේද ගැන අඟවුම් කරන පොම්පියෝ හා මැක්මාස්ටර්ගේ ප‍්‍රකාශ, ඒත්තුගන්වන සුලූ නොවීය. ගිනි අවුලුවන සුලූ ට‍්‍රම්ප්ගේ තර්ජන, එක්කෝ අහම්බයෙන් නැතිනම් සිතාමතාම ඇති විය හැකි සුලූ සිද්ධියක් වුවත්, ගැටුම පාලනයෙන් තොර මට්ටමකට තියුනු කල හැකි ආකාරයෙන් ආතතිසහගත තත්වයකට පත්ව ඇත.

මුල්ලකට තල්ලුකර තිබෙන උතුරු කොරියාවට, ට‍්‍රම්ප්ගේ කයිවාරු පදනම් කරගෙන නිගමනය කල හැක්කේ, තමන් ඇමරිකාවේ ඉල්ලීම් වලට අවනත නොවුනහොත්, අනිවාර්ය ප‍්‍රහාරයකට මුහුනදීමේ තර්ජනය මතුව ඇති බවටය. ඊට යටත් වීමක්, තව තවත් ඇමරිකානු ඉල්ලීම් වලට යටත් වීම පමනක් සිදුවිය හැකි අතර දැනටමත් අස්ථාවරව ඇති තන්ත‍්‍රය තවත් දුබල කරනු ඇත.

ට‍්‍රම්ප්ගේ තර්ජන වලට ප‍්‍රතිචාර ලෙස පියොන්යෑනය, කුමන හෝ ඇමරිකානු ප‍්‍රහාරයක් වලක්වන බවට මංමුලා සහගත ලෙස අනතුරු අඟවයි. පසුගිය සතියේ කේසීඑන්ඒ යන රාජ්‍ය මාධ්‍ය, ඇමරිකාවේ ප‍්‍රධාන මිලිටරි කඳවුරු පිහිටි ගුවාම්හි මුහුදු සීමාවට මධ්‍යම දුර මිසයිල හතරක් එල්ල කරන ලෙසට කිම් ජොන් උන් වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට රටේ මිලිටරි නායකයින් සූදානම් වන බව වාර්තා කලේය.

කෙසේ වෙතත් පියොන්යෑනයේ අස්ථාවරත්වය, ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය මොස්කෝව සමග එකට වැඩ කල බවට එල්ල කෙරෙන චෝදනා මුල්කරගෙන රුදුරු දේශපාලනික කුලල් කා ගැනීමක යෙදී සිටින වොෂින්ටනයට සමාන වේ. ඇමරිකාව මුහුනපා සිටින ගැඹුරුවන ආර්ථික හා සමාජ අර්බුදය මධ්‍යයේ ට‍්‍රම්ප්, ඇතුලත ආතතීන් පිටතට හරවා යැවීමේ අටියෙන් ලෝකය, යුද්ධය තුලට ඇද දැමීමේ හැකියාව බැහැර කල නොහේ.

13දා වෝල්ස්ට්‍රීට් ජර්නලය මිලිටරි ප‍්‍රධානීන් පවසන්නේ යයි සඳහන් කලේ, ඇමරිකාව උතුරු කොරියාවට පූර්ව භංග ප‍්‍රහාරයක් එල්ල කිරීම “සිදු විය නොහැකියයි” පවසන අතරම, “ට‍්‍රම්ප් මහතා නිශ්චිත කර්තව්‍යයකට ඒත්තු ගන්වා ගැනීමට සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ උපදේශකයින් යලි යලිත් තර්ක කිරීම බවයි. පූර්ව භංග ප‍්‍රහාරයක් ගැන විශ්වාස නොකරන මිලිටරි උපදේශකයෝ, එම ප‍්‍රවිෂ්ටය ගැනීම ආඥානවන්ත යයි ජනාධිපතිවරයා ඒත්තු ගැන්වීම අඛන්ඩව කල යුතු බව දැන සිටිති.”

අවසාන විග‍්‍රහයේදී, න්‍යෂ්ටික අවි යොදාගෙන වුවත්, උතුරු කොරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා නියෝග දිය හැකි බලය ඇත්තේ ට‍්‍රම්ප්ටය. තව ද පියොන්යෑන් තන්ත‍්‍රය ඉවත් කිරීම, චීනයට වල කපා එය යටත් කිරීමේ පුලූල් මූලෝපායේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සලකන ඇමරිකානු පාලක පැලැන්තියේ බලගතු කොටසකගේ සහාය ඔහුට ඇත.

සති අන්තයේ ට‍්‍රම්ප් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී චීන ජනාධිපති සී ජින්පින්, දෙපාර්ශවයම ඉවසිලි සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය. එසේම, “සුදුසු විසඳුමක්” ඇතිකිරීම සඳහා ඇමරිකාව සමග වැඩ කිරීමට චීනයේ කැමැත්ත ද ඔහු ප‍්‍රකාශ කලේය. උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීම් මෙන්ම ඇමරිකා- දකුනු කොරියා ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස නතර කිරීමටත් ඔහු ඉල්ලීම් කලේය. එහෙත් මීට පෙර වොෂින්ටනය, එවැන්නක් යලි යල

ත් ප‍්‍රතික්ෂේප කර ඇත.

පසුගිය 11දා වෝල්ස්ට්‍රීට් ජර්නලයට හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයෙකු වන හෙන්රි කිසිංගර් කථාකරමින් අනතුරු ඇඟවූයේ, “ඇමරිකාවේ ඒක පාර්ශවික පූර්ව භංග ප‍්‍රහාරයක් චීනය සමග ගැටුමකට යෑමේ අවදානම දරා සිටී. බීජිනය තාවකාලිකව විරුද්ධ නොවුන ද 1950 ගනන්වල කොරියානු යුද්ධයට එරට මැදිහත්වීමෙන් පෙන්නුම්කල පරිදි, චීනයේ අද්දරම ප‍්‍රතිවිපාක ජනනය කරනු ඇති ඇමරිකානු මූලෝපායික තීරනයට දිගටම හිස නමනු නැත.”

Share this article: