බිට්කොයින් උන්මාදය: ගැඹුරුවන අර්බුදයක උන ප‍්‍රස්ථාරය

Bitcoin frenzy: The fever chart of a deepening crisis

නික් බීම්ස් විසිනි, 2017 දෙසැම්බර් 13

නිල වාතාවරනයට අනුව, 1930 ගනන්වල මහා අවපාතයේ පටන් බරපතලම පසුබෑමකට මග හෙලිකල 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකය වර්ධනයේ හොඳම අවධියට අවතීර්නවී ඇත.

පසුගිය මාසයේ නිකුත්වූ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධන සංවිධානයේ වාර්තාවට අනුව: “රටවල් පුරා ඉහල නැගීම වඩ වඩාත් සමාන වීමත් සමග ගෝලීය ආර්ථිකය, 2010න් පසුව එහි වේගවත්ම වර්ධනය අත්කරගෙන ඇත. ප‍්‍රතිපත්තිමය දිරිගැන්වීම්වල උදව්වෙන්, ගෝලීය වර්ධනයේ දිගු කලක් බලා සිටි මෙම නැගීම, තිරසාර රැකියා අවස්ථා, ආයෝජනයේ නවතම නැගීම හා වෙලඳාමේ වර්ධනය ආරම්භවීමත් සමග අත්වැල් බැඳගෙන ඇත.”

එක්තරා කාලයකදී එවන් “යලි පිබිදීමක්” දැකගනු ලැබුවේ, නිෂ්පාදන ආයෝජනයේ වැඩිවීමක් සමග බැඳුනු සැබෑ ආර්ථිකයේ වර්ධනයත්, වැටුප් හා ජීවන තත්වයේ ඉහල යාමත් ලෙසය. කෙසේ වුව ද එම කාලය ඉක්මගොස් බොහෝ කල්ය.

මේ සතියේ ආර්ථික හා මූල්‍ය තොරතුරු අනුව, කටයුතු පිලිබඳ සැබෑ ලක්ෂනය වන්නේ, අනාගත වෙලඳාම cryptocurrency bitcoin (ගුප්තලේඛනගත බිට්කොයින් මුදල්) වලින් සිදුවීමට පටන් ගැනීම පිලිබඳ කාරනයයි. එයට ආරම්භකත්වය දුන්නේ, Cboe Global Markets යන චිකාගෝහි අනාගත තොග නියාමකයෙකු විසිනි. ලබන සතියේදී CME Group බිට් කොයින් සඳහා වඩාත් විශාල අනාගත තොග වෙලඳාම පටන් ගනු ඇත.

සාපේක්ෂ වශයෙන් වෙලඳාම මන්දගාමී යයි සලකනු ලැබුව ද මිල නගින වේගය නිසා එය දෙවතාවක් අත්හිටුවීමට පවා සිදුවිය. එය වාර්තා බිඳ හෙලීමක් බවට පත් විය. ගුප්තලේඛනගත මුදල් හුවාමරුවේදී බිට්කොයින්වල ගැනුම් මිලවූ ඩොලර් 16250ට සාපේක්ෂව 2018 ජනවාරි මාසය සඳහා වෙලඳාම ඩොලර් 17420කට තීන්දු විය. පසුගිය සතියේදී බිට්කොයින් මිල සියයට 50න් ඉහල ගියේය. මේ වසර ආරම්භයේදී එය ඩොලර් 900ක් තරම් වුව ද පසුගිය මාස 11 තුල එය නූතන ආථික ඉතිහාසයේ විශාලතම මූල්‍ය බුබුල බවට පත්විය.

බිට්කොයින්හි ආරම්භය, හඳුනා නොගත් සතෝෂ් නකමොටෝ යන ජපන් ජතිකයා හෝ ඒ නමින් පෙනී සිටි පරිගනක ක‍්‍රමලේඛකයින් කන්ඩායමක් විසින් 2009 වසරේදී වර්ධනය කල බ්ලොක්චේන් නමින් යුත් නව යාන්ත‍්‍රනයක් සමගම සිදුවිය. නව තාක්ෂනයට බිට්කොයින් හෝ වෙනත් ගුප්තලේඛනගත මුදලක් යොදාගෙන, ජාතිකව පදනම්ව ඇති මුදල් හා මූල්‍ය නියාමන බලධාරීන් ඉක්මවා යමින්, අන්තර්ජාලය හරහා කෙලින්ම මූල්‍ය ගනුදෙනු කල හැකි බව කියනු ලැබේ.

පොදු ලෙජර් ක‍්‍රමයක් මත පාදක වන තාක්ෂනයට, මධ්‍යගත කිරීමක් නොමැතිව ගනුදනුකරුවන්ගේ තොරතුරු එක්වරම පරිගනක පද්ධතීන් තුල රැස්කර තැබීමේ හැකියාව ඇති කරයි. ඒවා සතු පුලුල් යෙදවුම් වලට ඉක්මන් ගනුදෙනු, වේගවත් තොරතුරු ගලායාම හා භාන්ඩ හා සේවා ගලායාම්, ඩිජිටල් ක‍්‍රමයට සොයාගැනීමේ හැකියාව ඇත.

පැවතීගෙන ගිය මුල් වසරවල කුතුහලය දනවන දෙයක් ලෙස පමනක් පැවති බිට්කොයින්, පසුගිය වසර තුල මූල්‍යයේ ප‍්‍රමුඛත්වයකට ඉහල නැගීම, එම තාක්ෂනයෙන් විභව වාසි අත්කර ගැනීම සමග කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට එය ගෝලීය ආර්ථිකය මත අධිකාරය පිහිටුවාගෙන ඇති පුලුල්ව පැතිර පවතින සමපේක්ෂනයේ වඩාත් විසකුරු ප‍්‍රකාශනයක් වී ඇත.

බිට්කොයින් අනාගත වෙලඳාම නිර්මානය වීම ගැන වාර්තා කරමින් ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය, “ගෝලීය මූල්‍ය පද්ධතියට විකල්පයක් ලෙස ගුප්තලේඛනගත මුදල් ක්‍රියාත්මක වීමේ විභවාත්මක මොහොතක්” එමගින් සලකුනු කෙරෙන බව පවසයි. කෙසේ වෙතත් අනාගත වෙලඳාම හඳුන්වා දීමේ ප‍්‍රධාන බලපෑම, ගෝලීය මූල්‍ය යාන්ත‍්‍රනයට එයින් සිදුවිය හැකි හෝ නොසිදුවිය හැකි බලපෑම නොව, ප‍්‍රමුඛ හෙජ් අරමුදල් හා අනෙකුත් මූල්‍ය සමපේක්ෂකයින්ට එහි නැගෙන මිල හා ඒ ආශ්‍රිත ගනුදෙනු වලින් දැවැන්ත ලාභ ඉපැයීමේ හැකියාව අත්කර දීමයි.

ආරම්භයේදී ප‍්‍රමුඛ මූල්‍ය ක්ෂේත‍්‍රයන් බිට්කොයින් සලකනු ලැබුවේ තරමක සැක සාංකාවෙන් යුතුවය. නිදසුනක් ලෙස මේ වසර මුල ජේපී මෝර්ගන් චේස්හි ප‍්‍රධාන විධායක නිලධාරී ජෙමී ඩිමෝන් පැවසුවේ, එහි ගනුදෙනු කරන කිසිවෙකු ගැන දැනගත්තොත් ඔහු වහාම රැකියාවෙන් පහකරන බවය.

එහෙත් සිටි ගෲප්හි ප‍්‍රධනියා වූ චක් ප‍්‍රිනේස් අවමුඛ උකස්කර සමපේක්ෂන බුබුල මධ්‍යයේ 2007දී පැවසුවේ, සංගීතය නදදෙන විට ඔබ කල යුත්තේ නැගිට නටන එකය යනුවෙනි. අනාගත වෙලඳාම ආරම්භවීම, සමපේක්ෂනයේ මේ නවතම ආකෘතිය තුලට විශාල ප‍්‍රමානයන්ගෙන් මුදල් ගලාඒමට අවස්ථා නිර්මානය කරයි.

බිට්කොයින් මේනියාව, 2008-09 මූල්‍ය අර්බුදයේ පටන් ගෝලීය මූල්‍ය ක‍්‍රමය තුල ඇතිව තිබෙන වඩා පුලුල් වර්ධනයක කොටසක් නියෝජනය කරයි. අවමුඛ උකස්කර සමපේක්ෂන බුබුල පුපුරා යාමට හා ගෝලීය මූල්‍ය ක‍්‍රමයේ උනුවී යාමට, ඇමරිකානු හා ලෝකයේ අනෙකුත් මහ බැංකු ප‍්‍රතිචාර දැක්වූයේ, පලමුව බැංකු හා අයෝජන සමාගම් වලට ඇපදීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් සැපයීමත් දෙවනුව, පිලියම් ලෙස ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අඩු පොලීයකට නය සම්පාදනය කිරීමත් තුලින්ය.

ප‍්‍රතිපලය වුනේ වත්කම් මිල, කොටස් මිල හා සමහර ප‍්‍රදේශවල නිවාස මිල දැවැන්ත ලෙස ඉහල නැගීමයි. එය, යටින් පැවති සැබෑ ආර්ථිකයේ ඉතා සීමිත වර්ධනය මුලුමනින්ම අඩාල කලේය.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි විශ්ලේෂක ජෝන් ඕතර්ස් සටහන් කලේ, “කොටස් මිල මුලුමනින්ම වාගේ අධි තක්සේරු කර ඇත. බැඳුම්කර ඊටත් එහා ගොස් ඇත. කලාකෘති එතරම් ලොකු මිලකට කිසිදාක අලෙවිවුනේ නැත. බිට්කොයින්, දැනටමත් “සියල්ල බුබුලු ලෙස පිම්බී තිබෙන” දේට එකතු කරන ලද අභූතයක් පමනි.

මෙම බුබුල තිරසාර වීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ, ඇමරිකාවේ සුපිරි පොහොසතුන් සඳහා ව්‍යාපාර හා ආදායම් බදු සහන ලබාදෙන බවට වී ඇති පොරොන්දුවයි. ට‍්‍රම්ප් ආන්ඩුවේ නීතිය දැන් ඇත්තේ කොන්ග‍්‍රස් සභාවෙන් අනුමතවීමේ අවසාන අවස්ථාවේය.

ට‍්‍රම්ප් බලයට පත්වීමේ තැන් පටන් ඇමරිකාවේ කොටස් මිල සියයට 25න් ඉහල නැගී ඇත. එය 2009 වසරෙන් පසුව සියයට 350න් ඉහල ගොස් ඇත. බදු සහන සැබෑ ආර්ථිකය තුල ආයෝජන ප‍්‍රවර්ධනයට හා ආර්ථික වර්ධනයට කිසිදු සම්බන්ධයක් නැත. එහි අරමුන සමපේක්ෂනය සඳහා තව තවත් අරමුදල් සැපයීමය. එම ක්‍රියාන්විතය පවත්වාගෙන යාම සඳහා සමාජ පිරිවැය කපා හැරීම ද ඒ අතරම සිදුවේ.

ඇපල් සමාගම මේ සම්බන්ධයෙන් කැපී පෙනෙයි. සමාගම විදේශයන්හි පවත්වාගෙන යන ඩොලර් බිලියන 250 සඳහා බදු අනුපාතික පහත හෙලීමෙන්, බිලියන 47ක් එයට ඉතිරි වන බවට ගනන් බලා තිබේ. එය කුමන හෝ ඇමරිකානු සමාගමක් වසරකට උපයන ලාභයට වඩා වැඩිය. මේ කිසිවක් ආයෝජනය සඳහා යෙදවෙනු නැත. ඒවා යොදවනු ඇත්තේ, වෙලඳපොල අගය ට්‍රිලියනයක සීමාවට ලඟාවෙමින් තිබෙන සමාගමේ, කොටස් අගය පිම්බීමට යොමුවූ කොටස් යලි මිලට ගැනීම වැනි “මූල්‍යයේ ඉංජිනේරුකරනයට” ය.

ෆිනෑන්ෂල් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්වලට ලිවූ හිටපු භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස්, ඇමරිකානු ආර්ථිකය “කඳු මුදුනක” පවතින බව පැවසීය.

මේ වසරේ ආර්ථික වර්ධනයට ජවය සැපයුනේ, “ජනගහනයේ සුලු කොටසක් විසින් හිමිකර ගනු ලැබූ” කුටුම්භ ධනයේ ඩොලර් ට්‍රිලියන 6ට වැඩි, කොටස් වෙලඳපොලේ ඉහල යාම නිසා බව ඔහු සඳහන් කරයි.

වාර්තාගත පහත් මට්ටමක ප‍්‍රාග්ධන පිරිවැය හා සංගත සතු බහුල මුදල් තොග, ආයෝජන සඳහා උත්තේජකයන් වුවත්, පලදායිතා වර්ධනය ඉතා පහතින් තිබියදී, “ඇපල් හා ගූගල් වැනි නවීකරනයට නැඹුරු සමාගම් පවා ප‍්‍රතිලාභ වැඩි ආයෝජන සොයාගත නොහැකි කම නිසා, විශාල ප‍්‍රමානයේ කොටස් යලි මිලටගැනීමේ කටයුතු වලට යොමුවී සිටී.”

සමර්ස්ගේ “කඳු මුදුන” පිලිබඳ විනිශ්චයේ ඇඟවුම, ඇමරිකාව හා වඩාත් පුලුල් ලෙස ලෝක ආර්ථිකයම කඩාවැටීමකට ගමන් කරමින් තිබෙන බවය.

සමර්ස් සුවිශේෂී වශයෙන් එම නිගමනයට එලඹෙන්නේ නැත. ඒ වෙනුවට පවසන්නේ “අපට තදින්ම අවශ්‍යව තිබෙන නව ආර්ථික පදනමක්” ගැන පුහු කථාවමය. එහෙත් බිට්කොයින් උමතුව, දැවැන්ත මූල්‍ය උනුවීමක් සඳහා සියලු කොන්දේසි නිර්මානය වී ඇති බවට පැහැදිලිම නිදසුනයි.

Share this article: