මහ ව්‍යාපාරිකයේ කොන්ග‍්‍රස් පක්ෂය සමග විවෘතව මිත‍්‍රවනවා ද යන්න මත ඉන්දියානු ස්ටැලින්වාදීහු භේද වෙති

Indian Stalinists split over whether to openly ally with big-business Congress Party

වසන්ත රූපසිංහ විසිනි, 2017 නොවැම්බර් 24

කම්කරු පන්තිය හා ග‍්‍රාමීය දිලිඳු ජනයා අතර භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ප‍්‍රමුඛ ඉන්දීය ආන්ඩුව කෙරෙහි විරුද්ධත්වය වැඩෙද්දී, ප‍්‍රධාන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂය වන මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම්, ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප‍්‍රදායික ආන්ඩු පක්ෂය වන කොංග‍්‍රස් පක්ෂය සමග සෘජු මැතිවරන සන්ධානයකට ඇතුලු වන්නේ ද නැද්ද යන්න අරබයා ගැඹුරු ලෙස බෙදී ඇත. පක්ෂය දෙකඩ වීමක් නො වැලැක්විය හැකිවන තරමට බෙදීම් ගැඹුරු ය.

මාධ්‍ය වාර්තා අනුව, පසුගිය මාසයේ පැවති සීපීඑම් මධ්‍යම කාරක සභා රැස්වීම, 2019 පැවැත්වෙන මහ මැතිවරනයේ දී කොංග‍්‍රස් පක්ෂය සමග මැතිවරන සන්ධානයකට ඇතුලු වන්නේ ද නැද්ද යන්න අරබයා පක්ෂ නායකත්වය “සිරස් අතට බෙදී ඇති” හෙලිදරවු වේ.

සීපීඑම් දේශපාලන මන්ඩලයේ බහුතරය විසින් අනුමත කරන ප‍්‍රවිෂ්ටයෙන් ඈත් වෙමින් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි, ඉදිරියේ එන පක්ෂ සම්මේලනයේ ප‍්‍රධාන යෝජනාවේ “සුලුතර ලියවිල්ලක්” බාරදුන්නේ ය. එම ලියවිල්ල හින්දු අධිපතිවාදී බීජේපීයට එරෙහි ව කොංග‍්‍රස් පක්ෂය ද ඇතුලු “අනාගමික පක්ෂ” සමග මැතිවරන සන්ධානයන්ට යාමේ ස්ටැලින්වාදීන්ගේ හා ඔවුන්ගේ වාම පෙරමුනේ ශූරත්වය උත්කර්ෂයට නැංවී ය. එයට විරුද්ධ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් යෙචුරිට පෙර ඔහුගේ තනතුර දැරූ ප‍්‍රකාශ් කරාත් නායකත්වය දෙන අනෙක් පාර්ශවය, “නව ලිබරල්වාදී” කොංග‍්‍රස් පක්ෂය හැර අනෙකුත් සියලු “අනාගමික පක්ෂ” සමග සන්ධානයක් සඳහා ස්ටැලින්වාදීන් කටයුතු කලයුතු යයි තර්ක කලේ ය.

රැස්වීමේ දී කතාකල මධ්‍යම කාරක සභිකයින් 63 දෙනාගෙන් 31 දෙනෙක් කොංග‍්‍රස් පක්ෂය සමග සන්ධානයක් සඳහා යෙචුරි කර ඇති කැඳවුමට පක්ෂ වී ඇති අතර ඉතිරි 32දෙනා කරාත්ගේ ආස්ථානයට සහයෝගය දුන් හ. පක්ෂ නායකත්වය එහි හරිමැදින් ම කැඩී සීපීඑම්හි ප‍්‍රධාන නායකයන් දෙදෙනා එකිනෙකාට එරෙහි ව පෙලගැසෙද්දී, මධ්‍යම කාරක සභාව තීරනයක් ගැනීම කල්දැම්මේ ය. “සම්මුතිගත සූත‍්‍රයක්” යටතේ, ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජාතික සම්මේලනය සඳහා “දේශපාලන මන්ඩලයේ උපදෙස් හා මධ්‍යම කාරක සභා සාකච්ඡාවල පදනම මත” ලිඛිත යෝජනාවක් යලි සකස් කිරීමට දේශපාලන මන්ඩලයට උපදෙස් ලැබී ඇත.

දෙපාර්ශවයේ නො එකඟතාවන් හා පරදුවට තැබී ඇති දේවල් සලකන කල මෙම ආරවුල, පක්ෂ සම්මේලනය තෙක් හා ඉන් ඔබ්බටත් දිව යනු ඇත.

මහ ව්‍යාපාරික කොංග‍්‍රස් පක්ෂයට සහයෝගය දීමේ ප‍්‍රතිගාමී ආස්ථානය ඔස්සේ තර්ක කරන යෙචුරි, අත්‍යන්තයෙන් ප්‍රෝඩාකාරී සමාන්තරයක් අඳිමින්, 1930 ගනන් මුල දී නාසීන්ට විරුද්ධ “එක්සත් පෙරමුනක්” සඳහා ට්‍රොට්ස්කි කල කැඳවුම, තමන් “හින්දු ෆැසිස්ට්වාදී” බීජේපීයට එරෙහි ව වාම පෙරමුනු-කොංග‍්‍රස් නායකත්වය සහිත මැතිවරන සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටීමට සමාන කලේය. ද හින්දු පත‍්‍රයට අනුව, එක්සත් පෙරමුනේ පිලිවෙත පිලිබඳ “වෙන් ව ගමන් කරනු, එක්ව පහර දෙනු” යන ට්‍රොට්ස්කිගේ සුප‍්‍රකට කථාව යෙචුරි විසින් උපුටා දැක්වූයේ, බීජේපීය “ඉහල නගිමින්” සිටින තතු තුල සියලු බීජේපී විරෝධී “දේශපාලන බලවේග” මැතිවරන සන්ධානයක් තුල “එක්සත් වීමේ අවශ්‍යතාව” පිලිබඳ ඔහුගේ කියාපෑමට රුකුලක් ලෙස ය.

අද දින සීපීඑම් ප‍්‍රධාන ලේකම් පෙනී සිටින පිලිවෙතත්, ට්‍රොට්ස්කි විසින් යෝජනා කල පිලිවෙතත් එකිනෙකට අංශක 180කින් ප‍්‍රතිවිරුද්ධ ය. ට්‍රොට්ස්කිගේ පිලිවෙත ෆැසිස්ට් ප‍්‍රතික්‍රියාවට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ශක්තිය බලමුලුගැන්වීම ඉලක්ක කරගත්තක් වූ අතර, හින්දු ප‍්‍රජාගනවාදී බීජේපීයට එරෙහි වීමේ නාමයෙන් යෙචුරි තතනන්නේ, කම්කරු පන්තියට විලංගු දමා, කොංග‍්‍රස් පක්ෂයට, අර්බුද ග‍්‍රස්ත ඉන්දියානු ධනේශ්වරයට හා එහි රාජ්‍යයට එය බැඳතැබීම පිනිස යි.

ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) ෆැසිස්ට්වාදයේ තර්ජනය මාරාන්තික ලෙස අවතක්සේරු කල තතු යටතේ -මෙයට උදාහරනය ලෙස කේපීඩීයේ “හිට්ලර්ගෙන් පසු අපි” යන කියාපෑම දැක්විය හැක- සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩී), ෆැසිස්ට්වාදයට එරෙහි පවුර ලෙස වයිමාර් සමූහාන්ඩුවේ ධනේශ්වර ආයතන හුවා දක්වමින් කම්කරු පන්තියේ අරගලයන්ට විරුද්ධ වෙමින් සිටි අතරේ, ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය සඳහා ට්‍රොට්ස්කි කේපීඩීයට යෝජනා කලේ, එස්පීඩීය සමග කිසිදු දේශපාලන සම්මුතියකින් තොර ව කම්කරු ආරක්ෂක කමිටු, වැඩවර්ජන ආදී කටයුතුවල දී එක්සත් පෙරමුනක් ලෙස ක්‍රියා කිරීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට කැඳවුම් කරන ලෙස ය. “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හෝ ජර්මානු වෘත්තීය සමිති නායකයින් සමග පොදු වේදිකා එපා, පොදු ප‍්‍රකාශන, බැනර හා සටන් පාඨ එපා! වෙන් ව ගමනු කරනු, එහෙත් එක්ව පහර දෙනු! වැඩ වර්ජන කරන්නේ කෙසේ ද, කරන්නේ කා සමග ද, කරන්නේ කවර විටක ද යන්න ගැන එකඟ වනු!” ට්‍රොට්ස්කි කීවේ එය යි.

කොංග‍්‍රස් පක්ෂය, ට්‍රොට්ස්කි යෝජනා කල වර්ගයේ එක්සත් පෙරමුනු සාමාජිකයෙක් ලෙස හුවාදැක්වීමට යෙචුරි දරන උත්සාහය මුලුමනින් ම අභූතයකි. 1930 ගනන් මුල සමයට බොහෝ කලකට පෙර තම සියලු විප්ලවවාදී සම්භවයන් පාවා දී තිබූ එස්පීඩීය, ධනේශ්වර පාලනයට මුක්කුව දෙන්නෙකු බවට පරිවර්තනය වී තිබුනි; එහෙත්, එය වනාහි මහජන කම්කරු පන්තික සාමාජිකත්වයක් සහිත හා වෘත්තීය සමිතිවලට අනුබද්ධිත සාමාජිකත්වයක් සහිත කම්කරුවන්ගේ ධනේශ්වර පක්ෂයක් විය.

කොංග‍්‍රස් පක්ෂය වංශ පෙලපත් නායකත්වයක් සහිත අබලන් වූ ධනේශ්වර මැතිවරන යන්ත‍්‍රයකි. ස්වාධීන ඉන්දියාවේ දශක හත තුල ධනේශ්වර පාලනයේ ප‍්‍රමුඛ පක්ෂය වූයේ එය යි. ඉන්දියාව ගෝලීය ප‍්‍රාග්ධනය සඳහා ලාභ-ශ‍්‍රම තිප්පොලක් බවට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “මූලෝපායික හවුල්කරුවෙක්” බවට පරිවර්තනය කිරීම පිනිස, 1991න් පසු සමයේ මූලික වී ක්‍රියාකලේ කොන්ග‍්‍රස් පක්ෂය යි. එය “අනාගමික” පක්ෂයක් යයි ස්ටැලින්වාදීන් පිරිනමන අක්තපත‍්‍ර පසෙක තිබිය දී, එය සෑමවිට ම හින්දු දක්ෂිනාංශයේ ක්‍රියාකාරකම් යලි යලිත් ඉවසා වදාරා ඇත.

යෙචුරි ට්‍රොට්ස්කිවාදයේ ආන්තික විරුද්ධවාදියෙකි. සීපීඑම් නායකත්වයේ අනෙකුන් මෙන් ඔහු ද, ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය විසින් වාමාංශික විරුද්ධ පාර්ශවය ලෙයින් මැඬීම හා සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනවාදය පුනස්ථාපනය කිරීම මගින් කුලුගැන්වුනු ජාතිකවාදී “තනිරටේ සමාජවාදයේ” ක්‍රියාමාර්ගය ඉත සිතින් ආරක්ෂා කරයි. සීපීඑම් ප‍්‍රධාන ලේකම් තම පක්ෂය වඩ වඩාත් දකුනට තල්ලුවීම සාධාරනීකරනය කිරීමට දැන් හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයාගේ නම නරුම ලෙස මැතිරීම, ඉන්දියානු ස්ටැලින්වාදයේ අර්බුදය පිලිබඳ මිනුමකි.

සීපීඑම් නායකයෝ දශක ගනනාවක් තිස්සේ රතු කොඩි වනමින් ධනේශ්වර සංස්ථාපිතය වැලඳ ගත් අතර, “අධිරාජ්‍ය-විරෝධී” හා මාක්ස්වාදී පුරසාරම් ද දෙඩවූහ. 1991 සිට 2008 දක්වා දක්ෂිනාංශික “බීජේපීයට විරුද්ධව” ආන්ඩු කිහිපයකට ම මුක්කුව දෙමින්, “ආයෝජක හිතවාදී” යයි ඔවුන් නම් කරන පිලිවෙත්, තමන් බලයේ සිටි ප‍්‍රාන්ත තුනෙහිම ක්‍රියාත්මක කිරීම ද මෙයට ඇතුලත් ය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂයට, කම්කරු පන්තියේ සහයෝගය ද ඒ නිසා මහජන ඡන්දයෙන් තේරී පත්වන පහල මන්ත්‍රී මන්ඩලය වන ලෝක් සභාවේ ආසන ගනන දුසිමකටත් අඩු සංඛ්‍යාවකට ද පහත වැටී තිබේ.

සීපීඑම් නායකත්වය තුල යෙචුරිගේ විරුද්ධවාදීන් දෙසාබාන පිලිවෙත ද කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට හතුරු වන්නේ ඊට අඩුවෙන් නො වේ. කොංග‍්‍රස් පක්ෂයට ආධාර කිරීමට හැල්මේ දිවීම යෙචුරිට උවමනා වන අතර කරාත් පාර්ශවය පෙනී සිටින්නේ, කම්කරු පන්තියට විෂකුරු ලෙස හතුරු හා යලි යලිත් කොංග‍්‍රස් පක්ෂය හෝ බීජේපීය සමග පෙලගැසී ඇති ප‍්‍රාදේශීය හා කුලයන් මත පදනම් වන පක්ෂ රොත්තක් සමග මැතිවරන සන්ධානයකටය.

මෙම වෙනස්කම් බොහෝ සෙයින් තුනී මැතිවරන ගනන් බැලීම් තුල මුල්බැස තිබෙන අතර, අනුග‍්‍රාහක ජාලයන් වෙත වන ප‍්‍රවේශය සමග බැඳී තිබෙන ඒවා මුල්කරගෙන පැනනැගී ඇති ආරවුල් සැඩපරුෂ ය. යෙචුරිට සීපීඑම්හි බටහිර බෙංගාල ප‍්‍රාන්ත ශාඛාවේ සහාය හිමි වේ. 2011 දක්වා අඛන්ඩ ව වසර 34ක් සීපීඑම් නායකත්වය දුන් වාම පෙරමුන, බටහිර බෙංගාලය පාලනය කලේ වුව ද මේ වනවිට එය ප‍්‍රාන්ත සභාව තුල තුන්වන තැනට වැටී සිටී. මැතිවරන වලින් අතුගෑවී යතැයි බියෙන් පසුවන සීපීඑම්, කොංග‍්‍රස් පක්ෂය සමග හවුල් වීමට වියරුවෙන් වැඩ කරන්නේ, ප‍්‍රාන්තය තුල දේශපාලනය දක්ෂිනාංශික, විෂකුරු ප‍්‍රති-කොමියුනිස්ට්වාදී ත්‍රිනමූල් කොංග‍්‍රසය හා බීජේපීය අතර වඩ වඩාත් බෙදී තිබෙන අතරතුරය.

කේරලයේ වර්තමාන ප‍්‍රාන්ත ආන්ඩුවේ නායකත්වය ස්ටැලින්වාදීන් විසින් දරන අතර, සීපීඑම් පක්ෂයේ ප‍්‍රධාන මැතිවරන ප‍්‍රතිවාදියා වන්නේ කොංග‍්‍රස් පක්ෂය යි. කොංග‍්‍රසය සමග කෙලින් ම මැතිවරන සන්ධානයකට යාම, සීපීඑම්හි සහයෝගිතා පදනමට වල කපති යි කේරල සීපීඑම් නායකත්වයට පවතින භීතිය එම ප‍්‍රාන්තයේ කන්ඩායම ප‍්‍රකාශයට පත් කරයි.

සීපීඑම්, කොංග‍්‍රස් පක්ෂය සමග වඩා සමීප සන්ධානයකට ගියහොත් එය තවදුරටත් කම්කරුවන්, ග‍්‍රාමීය දිලින්ඳන් හා තරුනයන් අතරේ අපකීර්තියට පත්වනු ඇතැයි ද කරාත්ගේ පාර්ශවයට භීතියක් පවතී. පසුගිය මාසයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී කරාත් පාර්ශවය යලි යලිත් තර්ක කලේ, “කර්තව්‍යය විය යුත්තේ බීජේපීයට එරෙහි මහජන ව්‍යාපාරය ශක්තිමත් කිරීම බවත්, කොංග‍්‍රසය සමග සන්ධාන ගතවුවහොත් එම ආස්ථානය දියාරු වනු ඇති බවටත්” ය.

මාධ්‍ය වාර්තාවලට අනුව කරාත් පාර්ශවය කොතරම් කෝපයට පත් ව ඇත්දැයි කියතොත්, සාමාන්‍යයෙන් සිදුවන පරිදි සීපීඑම් මහ ලේකම්ට හිමිවන දෙවන ධුර කාලය ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව සොයා බැලීමට පවා ඔවුහු කටයුතු කරති.

එහෙත් 2004 මැයි සිට 2008 ජුනි දක්වා කොංග‍්‍රසය ප‍්‍රමුඛ එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුවේ ප‍්‍රධාන මුක්කුව ලෙස ක්‍රියා කලේ කරාත්ගේ නායකත්වය යටතේ පැවති සීපීඑම් වාම පෙරමුන යි. සීපීඑම් පක්ෂය නිල වසයෙන් ආන්ඩුවෙන් පිටත සිටිය ද කොංග‍්‍රසය නායකත්වය දුන් ආන්ඩුවට බැඳෙන ලෙස අනෙක් පක්ෂවලට ආරාධනා කරමින් හා යූපීඒ ආන්ඩුවට සහාය දෙමින්, අවම පොදු වැඩපිලිවෙල ලියමින් ඉදිරිපෙලේ භූමිකාවක් ඉටුකලේ එය යි.

යෙචුරිගේ සහයෝගය ද සහිත ව බටහිර බෙංගාල සීපීඑම් නායකත්වය, 2016 ප‍්‍රාන්ත සභා මැතිවරනයේ දී මධ්‍යම කාරක සභා තීන්දුවක් උල්ලංඝනය කරමින් කොංග‍්‍රස් පක්ෂය සමග ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කල මැතිවරන සන්ධානයකට ඇතුලු වූ විට, කරාත් පාර්ශවය එය නුදුටුවා සේ සිටියේ ය. සීපීඑම් අර්බුදයට යවමින් මැතිවරනය අවසන් වීමෙන් පසුව පමනක් බටහිර බෙංගාල සීපීඑම් නායකත්වයට එරෙහි වූ කරාත් පාර්ශවය, කොංග‍්‍රස් පක්ෂය සමග සන්ධානය අවසන් කරන ලෙස අවධාරනය කරමින්, සිදුව ඇත්තේ පක්ෂ ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව ප‍්‍රසිද්ධියේ පිලිගත්තේ ය.

හිටපු බටහිර බෙංගාල මහ ඇමති ජෝති බාසු කියූ “සමාජවාදය ඉතා ඈත කෙඳිරියකි” යන කථාව යලිත් අල්ලාගෙන සීපීඑම් කන්ඩායම් දෙක ම, ඉන්දියානු ධනේශ්වරයේ විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ ව්‍යායාමයට පිටුබලය දී ඇත. එමගින්, වොෂින්ටනය සමග මූලෝපායික හවුලක් ගොඩනගා ගැනීම ඇතුලු මහා බලවතෙකු බවට පත්වීමේ ඉන්දියානු ධනේශ්වරයේ අභිලාෂයන්ට ඔවුන් මාවත පාදා තිබේ.

විශාල පරිමානයෙන් මිලිටරි කටයුතු ප‍්‍රසාරනය සඳහා යුද අපරාධකරුවෙක් වූ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පරිපාලනයට ඉන්දියාවේ සහාය ලබා දෙමින්, කොංග‍්‍රසය ප‍්‍රමුඛ යූපීඒ හවුල් ආන්ඩුව, එක්සත් ජනපදය සමග සමීප සබඳතා ගොඩනගා ගනිද්දී පවා සීපීඑම් පක්ෂය එම ආන්ඩුවට මුක්කුව දුන්නේ ය. 2016 සැප්තැම්බරයේ දී බීජේපී ආන්ඩුව පාකිස්තානය තුලට නීතිවිරෝධී හා ප‍්‍රකෝපකාරී “ක්ෂනික ප‍්‍රහාර” එල්ල කලවිට කරාත්ගේ සගයෙක් වන කේරල මහ ඇමති පිනරායි විජයන්, ඉන්දීය මිලිටරියට සුභාශිංෂන පලකරන යෝජනාවක් ප‍්‍රාන්ත ආන්ඩු සභාවේ දී සම්මත කරගත්තේ ය.

හින්දු දක්ෂිනාංශය පැනනැගීම සෘජු ව ම බැඳී තිබෙන්නේ, දශක ගනනාවක් පුරා පන්ති අරගලය යටපත් කරමින් මධ්‍යම ආන්ඩුවේ හා ප‍්‍රාන්ත මට්ටමින් ධනපති පන්තියේ න්‍යායපත‍්‍රය ක්‍රියාවට දැමීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකල ස්ටැලින්වාදීන්ගේ ක්‍රියා කලාපය සමග යි. දැන් නරේන්ද්‍ර මෝදි යටතේ වර්ගවාදය ඇවිලවීම හා බීජේපීය ආඥාදායක පාලනයක් දෙසට ඇදී යාම වෙත ස්ටැලින්වාදීන් ඇඟිල්ල දිගු කරන්නේ ද ප‍්‍රතිගාමීත්වයේ වර්ධනයට පාර කපා ඇති ධනේශ්වරයේ පක්ෂ හා ආයතනවලට කම්කරු පන්තිය යටත් කර තැබීම සඳහා යි.

කම්කරු පන්තිය නව මාවතක ගිනි පුපුර විය යුතු ය. ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ස්වාධීන විය යුතු කම්කරු පන්තිය, ජනතාව දරිද්‍රතාව හා දුෂ්කර සමාජ කොන්දේසි ජයගැනීමට ඉන්දියානු ධනපති පන්තිය දක්වන අසමත්කමට විරුද්ධ ව, තමන්ගේ ම සමාජවාදී විසඳුම ඉදිරිපත් කල යුතු ය. එම පදනම මත, ඔවුන් කම්කරුවන්ගේ ආන්ඩුවක් තැනීමට හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා තමන් ගෙනයන අරගලය පිටුපස පීඩිත මහජනයා රැලිකර ගත යුතු ය.

Share this article: