චීන සමාගමට පැවරීමත් සමග ආන්ඩුව හම්බන්තොට වරාය සේවකයන් දොට්ට දමයි

නන්දන නන්නෙත්ති සහ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විසිනි, 2017 දෙසැම්බර් 23

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ව පැවති හම්බන්තොට මාගම්පුර වරාය චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමට පැවරීමත් සමග එහි සේවය කල කම්කරුවන් 435 ට රැකියා අහිමි කර ඇත. නව සමාගම දෙසැම්බර් මාසයේ 9 දා සිට මෙහෙයුම් කටයුතු වල නිරත අතර සේවා කටයුතු සඳහා යොදා ගෙන ඇත්තේ මෑන් පවර් සමාගම් වලින් සැපයෙන කොන්ත‍්‍රාත් කම්කරුවන් ය.

මාගම්පුර වරාය චීන සමාගමට පැවරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග මත ආන්ඩුව විසින් ක්‍රියාවට දමන රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ඇතුලු ආර්ථික කප්පාදු පිලිවෙත්වල කොටසකි. වරාය “සංවර්ධනය කිරීම, වානිජකරනය, කලමනාකරනය හා මෙහයෙවීම” ලෙස එය නම්කර ඇත.

රැකියා අහිමිකිරීම ට විරුද්ධව කම්කරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ. තමන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත කිරීම හෝ මිලියන පහක වන්දියක් ලබා දෙන ලෙස කම්කරුවෝ ඉල්ලති. උද්ඝෝෂනය මෙහෙයවනු ලබන්නේ මාගම්පුර වරාය සේවක සමිතිය (මාවසේස) විසිනි. එම උද්ඝෝෂනයේ කොටසක් ලෙස බ‍්‍රහස්පතින්දා (21) කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කම්කරුවන්ගේ සහ දෙමව්පියන්ගේ විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වුනි. උද්ඝෝෂකයන්ගේ නියෝජිත කන්ඩායමක් සමග පැවති සාකච්ඡුාවේ දී සතියක් ඇතුලත විසඳුමක් ලබාදෙන බවට ජනාධිපති ලේකම්කාර්යාලයේ නිලධාරීන් විසින් ඇස්බැන්දුම් පොරොන්දුවක් දීමෙන් පසු වෘත්තීය සමිති නායකයන් විසින් කොලඹ පැවති එම විරෝධතා උද්ඝෝෂනය නතර කර ඇත.

රැකියා අහිමිවූවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොටසක් ලෙස පැවති මාගම්පුර වරාය කලමනාකරන පුද්ගලික සමාගම (එම්පීසීඑම් ) යටතේ “ස්ථිර පත්වීම”ලබා සිටි කම්කරුවන්ය. චීන සමාගමට මාගම්පුර වරාය පැවරීමත් සමග එම්පීසීඑම් ඈවර කෙරුනි. එහි සේවය කල කම්කරුවන්ගේ සේවය ද තවදුරටත් “අනවශ්‍ය” බව සඳහන් කරමින් නොවැම්බර් 20 දා චක‍්‍රලේඛයක් නිකුත් කල එම්පීසීඑම්, සමාගම විසින් තීන්දු කෙරෙන වන්දියක් ලබා ගෙන ස්වේච්චාවෙන් ඉල්ලා අස්වන ලෙස එය ඉදිරිපත් කල යෝජනාව පිලිගන්නා මෙන් කම්කරුවන්ට නිර්දේශ කර තිබිනි.

එය ප‍්‍රතික්ෂේප කල සියලු කම්කරුවන් රැකියා රැකගැනීමේ උද්ඝෝෂනයක් ආරම්භ කිරීමත් සමග නොවැම්බර් මස 30 වෙනිදා සිට ඔවුන්ට වරාය පරිශ‍්‍රයට ඇතුලුවීම සමාගම විසින් තහනම් කරනු ලැබීය. කම්කරුවන්ගේ සහයට ඉදිරිපත් වූ ඔවුන්ගේ දෙමව්පියෝ ද පසුදින ම වරාය පිවිසුම් මාර්ගය පසෙක වාඩිලාගෙන උද්ඝෝෂනයක් දියත් කලහ.

අරගලයේ යෙදෙන කම්කරුවන් හා දෙමව්පියන් ඇතුලු ඥාතින්

කම්කරුවන් සිය රැකියා රැක ගැනීමේ අරගලය ආරම්භ කලේ 2015 දී ය. ඒ සඳහා මාගම්පුර වරාය සේවක සමිතිය තුල සංවිධානය වූ කම්කරුවෝ වරාය චීන සමාගමට පැවරීමට විරුද්ධව 2016 යේ දෙසැම්බර් මාසයේ වරාය වාඩිලා ගනිමින් උද්ඝෝෂනයක් දියත් කලහ. දින අටක් පැවති එම උද්ඝෝෂනය ආන්ඩුව විසින් මැඩලනු ලැබුවේ සන්නද්ධ නාවික හමුදා භට කන්ඩායම් යොදවමිනි. මේ වසරේ සැප්තැම්බර් 27 දා කම්කරුවන් යලිත් එක්දින වර්ජනයක නිරත වූ අතර නොවැම්බර් මස 21 දා ආරම්භ කල උද්ඝෝෂනය දැන් මාසයක් ඉක්මවා ඇත.

උද්ඝෝෂනයට විරුද්ධව වරාය අධිකාරිය හම්බන්තොට දිසා අධිකරනයේ පැවරූ නඩුවකදී වෘත්තීය සමිතිය විසින් ගොනු කෙරුනු විරෝධතා විභාගයට ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 5 දා ප‍්‍රකාශයට පත් කල නඩු තීන්දුවේ දී මාගම්පුර වරාය කලමනාකරන පුද්ගලික සමාගම යනු ම‍්‍රලාරම්භයේ සිට ම සේවක අයිතිවාසිකම් සීමා කිරීමේ අරමුනින් යුතුව නිර්මානය කරන ලද “පැමිනිලිකාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ම සහ /හෝ එකී අධිකාරියේ ම උපකුලකයක් වන බව” සඳහන් වේ. .

අදාල වරාය සේවකයන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නොව, වරාය කලමනාකරන සමාගමේ සේවකයන් වන බවට හා එම සේවකයන් වෙත ගෙවිය යුතු වන්දි මුදල “ඒක පාර්ශවිකව” තීරනය කරමින් 2017.11.20 දිනැති ස්වේච්චාවෙන් ඉල්ලා අස්වීමේ යෝජනා ක‍්‍රමය ඇතුලත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීම හා 2017.11.30 දින සිට ඉහත කී සේවකයින් වෙත සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දීම මගින් එම සේවකයන්ගේ “අයිතිවාසිකම් බරපතල අන්දමින් අභියෝගයට ලක් කරලීමක් සිදු කොට ඇති” බව අධිකරනය තව දුරටත් නිගමනය කලේ ය.

කෙසේ නමුත් ආන්ඩුව සහ වරාය අධිකාරිය උසාවියේ නිගමනය නොතකා කම්කරුවන්ගේ රැකියා අහිමිකර ඇත. තම දරුවන්ගේ ජීවිත විනාශ කරන බවට උද්ඝෝෂනයේ නිරත දෙමාපියෝ ආන්ඩුවට චෝදනා කරති.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් කම්කරුවන් සමග සාකච්චාවක

කිරම ප‍්‍රදේශයේ පී. එල්. ජයසිරි වරාය ගිනි නිවන අංශයේ සේවය කල තම පුත් පී. එල්. ජයනාත් මසකට රු. 30,000 බැංකු වාරිකය ගෙවිය යුතු බවත් නය ගෙවා ගත නොහැකිව ජීවිතය නැති කර ගැනීමට දරුවන් පෙලඹෙනු ඇතැයි බියෙන් පසු වන බවත් පැවසුවේ ය.

ජංගම වෙලඳාමකින් ජීවත් වන කලුතර නාගස්හංදියේ ඩී. නිහාල් සිල්වා කියා සිටි පරිදි ඔහුගේ පුතාට අවුරුදු පනස් පහ දක්වා වරායේ සේවය කල හැකි බවට සමාගම බැංකුවට දුන් සහතිකය මත රු. 2,000,000 බැංකු නයක් ලබා ගත හැකි වූ අතර දැන් වාරිකය ගෙවා ගැනීමට නොහැව සිටී. “දසලක්ෂයක් රැකියා දෙන බව පොරොන්දුවී බලයට පත් වූ ආන්ඩුව දැන් තියෙන රැකියාත් නැතිකරන” බව ඔහු චෝදනා කලේ ය.

කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙම කම්කරුවන් 2012 දී සේවයට බඳවා ගනු ලැබුවේ පුහුනුවන්නන් ලෙසය. පුහුනු කාලය තුල ඔවුන්ට ගෙවනු ලැබුවේ රුපියල් 10,000 ක සොච්චම් මාසික වැටුපකි. පුහුනුවෙන් පසු ඔවුන්ගේ සේවය ස්ථිර කරන බව ප‍්‍රකාශ කර තිබු නමුත් එය පැහැර හැර ඒ වෙනුවට අලුතෙන් ස්ථාපිත කෙරුන මාගම්පුර වරාය කලමනාකරන සමාගමට ඔවුන් අනුයුක්ත කරනු ලැබීය. පුහුනුවෙන් පසුව ද ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 25,000-30,000 පමන විය.

රැකියා රැක ගැනීමේ අරගලය බලගතුව සංවිධානය කර ගැනීමේ අව්‍යාජ උවමනාවක් කම්කරුවන්ට ඇත. එහෙත් ඔවුන්ගේ අරගලය හුදකලා කර දුර්මුඛ කිරීමෙන් ආන්ඩුවේ සහ වරාය අධිකාරියේ බලධාරීන්ගේ අත ශක්තිමත් කලේ මාගම්පුර වරාය සේවක සමිතිය සහ ඔවුන් ගැලතී ගත් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම,) ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමග පෙල ගැසී සිටින ඊනියා බහුජන සංවිධාන විසිනි.

මාගම්පුර වරාය සේවක සමිති දිගටම යෙදී සිටියේ සහ දැනුදු යෙදී සිටින්නේ වර්ජන හා විරෝධතා ක්‍රියා මගින් කම්කරුවන්ගේ ඉල්ලීම් පිලිගැනීමට ආන්ඩුව පෙලඹවිය හැකිය මිථ්‍යාව තොරොම්බල් කිරීමකය. සතියකින් ප‍්‍රශ්නය විසඳන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව පිලිගැනීම මගින් ඔවුන් යලිදු වතාවක් එයම කර ඇත.

ජවිපෙ නායක ලාල් කාන්ත ගේ උපදේශය වුයේ ද දිගටම ආන්ඩුවට බලපෑම් දමන ලෙස ය. ජාවෘසම සම්බන්ධ සෙසු සමිති හෝ අවසේස කම්කරුවන් හම්බන්තොට වරාය කම්කරුවන්ගේ අරගලය වටා සංවිධානය කිරීම ජවිපෙ විසින් මුලුමනින් ම මග හැරියේය. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසක් බවට පරිවර්තනය වී සිටින සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඒජන්තයන් ලෙස ක්‍රියා කරන ජවිපෙ ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත් වලට සහ ඒ යටතේ කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට පරම ලෙසම හතුරුය.

එහෙත් පුද්ගලීකරන වැඩපිලිවෙල ක්‍රියාවට දමන එම ආන්ඩුවට ම ආයාචනා කිරීම මගින් කම්කරුවන්ට සිය රැකියා රැකගැනීම හා පුද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම කල නොහැකිය. කම්කරුවන්ට සහාය පිනිස ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සාමාජිකයන් කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට වත් ලාල් කාන්ත ක්‍රියා කලේ නැත.

කොලඹ වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (නිසේස) හම්බන්තොට කම්කරුවන්ගේ රැකියා අහිමි කල ආන්ඩුවේ සහ වරාය අධිකාරියේ පිලිවෙතට සෘජුව සහය දෙන යෝජනාවක් ඉදිරපත් කර ඇති බව හම්බන්තොට කම්කරුවෝ කීහ. ඒ අනුව කොලඹ වරායේ ආදායමින් හම්බන්තොට වරායේ පාඩුව පියවීම නිසා කොලඹ වරාය කම්කරුවන්ගේ වැටුප් හා බෝනස් ලබා ගැනීමට නොහැකි වන බව එහි සභාපති ප‍්‍රසන්න කලුතරගේ ඇතුලූ නායකයන් කියා ඇත. හම්බන්තොට වරාය පුද්ගලික සාමාගමට පවරා ඉන් ලැබෙන ලාබයෙන් බෝනස් ලබා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්කර ඇති බව ද හම්බන්තොට කම්කරුවෝ කීහ. රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය සිය ප‍්‍රතිගාමී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගසාකෑමට ය.

මෙම ප‍්‍රතිගාමී දේශපාලන සංවිධාන හා වෘත්තීය සමිතිවල නොමග යැවීම් ප‍්‍රතික්ෂේප කරමින් කම්කරු පන්තික ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත රැකියා සහ සේවා කොන්දේසි රැක ගැනීමේ අරගලය සංවිධානය කිරීමේ හා ඒ වටා අවශේෂ කම්කරුවන්ගේ සහාය කැඳවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල යෝජනාව මාගම්පුර වරාය සේවක සමිතියේ නායකයන් විසින් ප‍්‍රතික්ෂේප කලේ එවන් සාකච්චා මගින් කම්කරුවන් ව්‍යාකුල වන බව ප‍්‍රකාශ කරමිනි. ආන්ඩුව රැකියා අහිමි කිරීම මගින් සසප කල අවධාරනය යලි සනාථ කෙරී ඇත. වෘත්තීය සමිති වල හිරකිරීම් කපා හරිමින් රැකියා සඳහා අරගලය ගෙන යාමට කම්කරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගන්නා ලෙස සසප ඉල්ලා සිටී.

මාගම්පුර වරාය කම්කරුවන්ගේ රැකියා, ජීවන කොන්දේසි සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ සමස්ථ කමකරු පන්තිය සමග එකාබද්ධව ස්වාධීන දේශපාලන බලයක් ලෙස සංවිධානය වෙමින් වරාය සහ සෙසු මූලික කර්මාන්ත සමාජ අයිතියට සහ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට යටත් කරන සමාජවාදී ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන සටනක් තුලින් ම පමනි.

Share this article: