සෙනෙට් සභාව බදු පනත සම්මත කිරීමෙන් පසුව ඇමරිකානු පාලක පන්තිය සමාජ ආරක්ෂාව සහ සෞඛ්‍ය රක්ෂන කැපීමේ උත්සාහයක

Following passage of Senate tax bill, US ruling class takes aim at Social Security and Medicare

2017 දෙසැම්බර් 04

ට‍්‍රම්ප් පරිපාලනයේ බදු පනත සෙනෙට් මන්ඩලය විසින් සම්මත කිරීම, දශක ගනනාවක් පුරා පාලක පන්තිය විසින් එක්සත් ජනපදයේ කම්කරු පන්තියට එරහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයේ සන්ධිස්ථානයකි.

ඩිමොක‍්‍රටිකයන්ගෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල නොවූ තතු යටතේ මන්ත්‍රී මන්ඩලය කෙරේ පූර්න විශ්වාසයෙන් යුතුව ගෙන යන සාකච්ඡා වලින් පසුව, මේ මාසය අවසානයේ අවසාන එකඟත්වයෙන් යුතුව කොන්ග‍්‍රස් රිපබ්ලිකන් පාක්ෂිකයන් පන්ති යුද්ධයේ න්‍යාය පත‍්‍රයේ ඊලඟ අදියරට ලඟා වෙමින් සිටී: එනම් සමාජ ආරක්ෂනය, සෞඛ්‍ය ආරක්ෂාව සහ මේඩිකේඩ් වැඩසටහන විනාශ කිරීමයි.

කොන්ග‍්‍රස් අයවැය කාර්යාලයට අනුව, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන මේඩිකෙයාර් සෞඛ්‍යාරක්ෂනාවරනය සඳහා කෙරෙන වියදම්, වසර දහයකදී නොවරදවාම බිලියන 500න් ද වෙනත් සමාජීය වැඩසටහන් වල දැවැන්ත කප්පාදු ද සඳහා වේදිකාව සකසමින්, පනතේ සෙනට් මන්ඩල සංස්කරනය ෆෙඩරල් අය වැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 න් වැඩි කෙරේ.

පසුගිය සතියේ මිසූරි හි පැවති රැලියකදී ට‍්‍රම්ප් “අපි සුභසාධන ප‍්‍රතිසංස්කරනයක් කිරීමට යනවා” යැයි පැවසීය. බදාදා රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ෆ්ලොරීඩා හී මාර්කෝ රුබියෝ ව්‍යාපාර විධායකයන්ට මෙසේ පැවසීය: “අයවැය හිඟය ඉහල නැගීමට හේතුවක් වන නිසා බදු කප්පාදු කිරීම සිදු කල නොහැක්කක් ලෙස බොහෝ දෙනා තර්ක කරනවා”. ඊට ප‍්‍රතිවිරුද්ධව “ආනාගතය උදෙසා සමාජ ආරක්ෂනයට සහ මේඩිකෙයා රක්ෂනාවරනයට සිදු කරන ව්‍යූහාත්මක වෙනස්කම්” ක්‍රියාත්මක කිරීම මගින් එම හිඟය පියවා ගත හැකියැයි ඔහු තර්ක කලේය.

“ව්‍යූහාත්මක වෙනස්කම්” සම්බන්ධ කතා, මිලියන සිය ගනනක් මිනිසුන්ට බලපාන මෙම මූලික වැඩසටහන් පුද්ගලීකරනය සඳහා සහ ඒවායේ විනාශ අනිවාර්යය බව සහතික කරන දේශපාලනික අපභ‍්‍රංශයකි.

එම පනතෙහිම ප‍්‍රතිගාමී විධිවිධානයන්ට අමතරව මෙම නියමිත හිමිකම් කප්පාදු සිදුවනු ඇත. වසර දහයක් ඇතුලත ඩොලර් 75,000ට අඩුවෙන් උපයන කුටුම්භයන් මත පැනවෙන බදු මෙම සෙනට් පනත මගින් ඉහල නංවනු ඇති අතර, ඊට වැඩියෙන් උපයන කුටුම්භයන්ගේ බදු කපා හරිමින්, මුලු ප‍්‍රතිලාභයෙන් විශාලම කොටස ජනගහනයේ පොහොසත්ම සියයට පහ අතට පත් කෙරේ. 2027 වන විට ඉහලම සියයට 0.1 ට තමන්ගේ බදු ගෙවූ පසු ආදායම සියයට දෙකකින් ඉහල නගිනු අත්දකින අතර පහලම සියයට 20 සිය ආදායමේ පහල වැටීමක් අත්විදිනු ඇත.

පනතේ සෙනට් මන්ඩල සහ මන්ත්‍රී මන්ඩල සංස්කරනයන් දෙකම සංස්ථාපිත බදු ප‍්‍රතිශතය අඩකට ආසන්න ප‍්‍රමානයකින්, එනම් සියයට 20 සිට සියයට 35 දක්වා අඩු කරයි. සියයට 14.5ක් හෝ ඊට වඩා අඩු බදු ප‍්‍රතිශතයක් යටතේ, විදේශයන්හි සැඟවූ ලාභ අරමුදල් නැවත සිය රටට ගෙන ඒමට ඔවුන් සංස්ථාවන්ට ඉඩ දෙයි. මෙය දැනටමත් උතුරන තරම් මුදල් ඇති ලෝකයේ විශාලම කොම්පැනි වලට ඩොලර් බිලියන සිය ගනනක් වටිනා අනපේක්ෂිත ලාභ ප‍්‍රධානයකි.

පනතේ සෙනෙට් මන්ඩල සංස්කරනය උරුමයෙන් අයිති වන ධනය වෙනුවෙන් ගෙවීමට සිදුවන බූදල් බදු ඉතා දැඩි ලෙස අඩු කර ඇති අතර මන්ත‍්‍රී මන්ඩල සංස්කරනය එය සම්පූර්නයෙන්ම අහෝසි කර දමා ඇත. රාජවංශික රදල පැලන්තියක නවීන සංස්කරනය නිර්මානය කරමින්, ඩොලර් මිලියන 11 ක් හෝ ඊට වඩා වැඩි ගේ දොර ඉඩකඩම් හිමි, කුටුම්භයන්ගේ ධනවත්ම සියයට 0.2ට, ඔවුන්ගේ අනුප‍්‍රාප්තික පරම්පරාවට තමන්ගේ ධනය කිසිදු බද්දකින් තොරවම පැවරීමට හැකියාව ලැබෙනු ඇත. පනතේ මන්ත්‍රීන මන්ඩල සංස්කරනය, උපාධිධාරී ශිෂ්‍ය බදු විශාල ලෙස ඉහල දමන අතර, සෙනෙට් මන්ඩල සංස්කරනය, අරමුදල් රජයේ පාසල් වලින් ඉවතට පෞද්ගලික සහ ආගමික පාසල් වෙත හරවා යැවීමට කටයුතු කරයි.

ධනවතුන් විසින් ධනවතුන් උදෙසා සිදු කෙරෙන මෙම නින්දිත සමාජ කොල්ලය ඩිමොක‍්‍රටිකයන්ගේ සැබෑ විරෝධතාවයකින් තොරව කොන්ග‍්‍රසය හරහා දුවයි. ඔවුන් දැවැන්ත සංගත බදු කප්පාදුවකට සහාය දක්වයි. ධනවතුන් සඳහා වන ද්විපාර්ශවීය බදු කප්පාදුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප‍්‍රතික්ෂේප කරමින්, රිපබ්ලිකානුවන් තමන් බැහැර කරනු ලබන්නේ යයි නිරන්තරයෙන් චෝදනා කරමින් ඩිමොක‍්‍රටිකයෝ ධනවතුන්ගේ බදුවල ඉතා සුලු අඩු කිරීමක් පමනක් යෝජනා කරති.,

මෙවැනි පනතක් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත්තේ ඊට එරහි සංවිධානාත්මක විරෝධයක් නොමැති වීම නිසාම පමනි. බොහෝ මත විමසුම් මගින් ප‍්‍රකාශයට පත්වන ඉතා විශාල වශයෙන් පැතිර පවත්නා මහජන විරෝධය වෙනුවෙන් ඩිමොක‍්‍රටිකයන්ගේ කිසිඳු පෙනී සිටීමක් නැත. ඒ වෙනුවට කාන්තාවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනා මුල් කරගෙන කෙරෙන දේශපාලන දඩයම සහ 2016 මැතිවරනයට සිදුවූවායැයි කියන රුසියානු මැදිහත් වීම සම්බන්ධ උමතුව ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුහු පොරකති. මේ දෙගොල්ලන්ම, සැකයේ වාසිය හා ඔප්පු වන තෙක් නිර්දෝශී යයි පලිගැනීමේ ප‍්‍රජාතන්ත්‍රීය මූලධර්ම වලට පහර දෙන අතර මර්දනය සහ වාරනය සඳහා තත්වයන් නිර්මානය කරයි. මේ අතර මෙම ප‍්‍රතිගාමී ව්‍යාපාරයෙන් අවධානය වෙනතකට හැරවීමේ උපක‍්‍රමයක් ලෙස ඒවා යොදා ගනියි. පාලක පන්තිය භාන්ඩාගාරයට කඩාවැදී කොල්ල කන අතර තමන් සඳහා ටි‍්‍රලියන ගනනින් බදු කප්පාදු ලෙස සහන සලසා ගනිති.

ඉලක්කම් හයක පඩි පත නිසා, බදු කප්පාදු තුලින් තමන්ට ලාභ සලසා ගන්න ප‍්‍රභූන් අතරට ගැනෙන මිනිසුන් විසින් වෘත්තීය සමිති පාලනය කෙරෙන නිසා වෘත්තීය සමිතිද බදු පනතට විරුද්ධ වීම සඳහා කිසිවක් සිදු කර නැති වීම පුදුමයට කාරනයක් නොවේ.

ඩිමොක‍්‍රටිකයන් මෙන්ම රිපබ්ලිකානුවන් යටතේ ද පසුගිය දශක හතර පුරාවට ක්‍රියාවට නැංවූ, සංගත සහ ධනවතුන් සඳහා කෙරෙන බදු කප්පාදු කේන්ද්රීය භූමිකාවක් රඟදැක්වූ සමාජ ප‍්‍රතිවිප්ලවයේ වර්ධනයක්, බදු ප‍්‍රතිසංස්කරන මගින් සනිටුහන් කරයි. 2008 වෝල් වීදියේ බිඳ වැටීමෙන් පසුව මෙම ප‍්‍රහාරය දැඩි කෙරුනි.

බින්දුවට ආසන්න පොලී අනුපාත, බැංකු ඇපදීම් සහ “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” නමැති මුදල් මුද්‍රනය කිරීම් මෙහෙයුම් හරහා ඔබාමා පරිපාලනය විසින් වෝල් වීදිය තුලට බිලියන සිය ගනනින් මුදල් පොම්ප කලේය. මෙය වැටුප් සහ විශ‍්‍රාම වැටුප් වලට එල්ල වූ ප‍්‍රහාරයන් සහ සහ ජාතික, ප‍්‍රාන්ත සහ ප‍්‍රාදේශීය මට්ටමෙන් සිදුවූ අයවැය කප්පාදු සමග අත්වැල් බැඳගත්තේය. ඔබාමාගේ ප‍්‍රමුඛතම දේශීය වැඩපිලිවෙල වන ඔබාමාකෙයා ඉලක්ක කෙරුනේ, සෞඛ්‍ය සඳහා යන වියදම සංස්ථාවන්ගෙන් සහ ආන්ඩුවෙන් ඉවතට හරවා වැඩකරන ජනතාවගේ කර මත පැටවීමයි.

කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාර නොවැලක්විය හැකි ලෙස ධනේශ්වර පද්ධතියෙන් පැන නගියි. දශක ගනනාවක් පුරා පාලක පන්තියේ බලාපොරොත්තුව වූයේ, කම්කරු පන්තිය වෙතින් ධනය සහ ආදායම ධනවතුන් වෙත බෙදා හැරීම තුලින්, එක්සත් ජනපදයේ පිරිහීමට පත් වෙමින් තිබෙන ආර්ථික ශක්තිය සහ සංගත ලාභ මත එකකට පසු එකක් වශයෙන් ඇතිවන පීඩනය පියවා ගැනීමයි.

1990 ගනන් වල අග භාගයේ ඇති වූ ඩොට් කොම් බුබුල, 2000 ගනන් වල ඇති වූ දේපල වෙලඳාම් බුබුල සහ මූල්‍ය වත්කම් වල වටිනාකමෙහි වර්තමානයේ ඇතිව ඇති උත්පාතය ඇතුලු සමපෙක්ෂන බුබුලු මාලාවක් නිර්මානය වීම මෙය සමග අත්වැල් බැඳගෙන ඇත. බැංකු ඇප දීමෙන් පසු ආරම්භ වූ සහ ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ අගය තුන් ගුනයකටත් වඩා ඉහල නගිනු දැක ඇති මෙම නවතම බුබුල, ඇතැම්විට 2008 මූල්‍ය අර්බුදය ඉක්මවා යමින්, දැවැන්ත කොටස් වෙලඳ පල නිවැරදි වීමක් සිදු වීම සඳහා කල් ඉකුත් වී ඇතැයි අනතුරු ඇඟවීම් බහුලව පවතී.

කොටස් වටිනාකම් කැරකිල්ල හැදෙන මට්ටම්වල පවත්වාගෙන යාමෙන්, මෙම වංචාකාරී පද්ධතිය තුලටතෙව තවත් මුල්‍ය ප‍්‍රවාහයන් හැරවීම සඳහා අන් කවරදාකටත් වඩා අක‍්‍රමනශීලී ලෙස ඉහලට සිදු වන ධනය බෙදා හැරීමක් ඉල්ලා සිටියි. භාන්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් පවසන ආකාරයට, “අපි බදු ගනුදෙනුව සිදුකරගන්නා තරමට කොටස් වෙලඳ පල ඉහල යනු ඇත.” ඔහු අනතුරු ඇඟවීමක් එක් කලේය: “නමුත් අපි එය සිදු කර නොගත හොත් මෙම ලාභයන්හි අර්ථභාරී ප‍්‍රමානයක ආපසු හැරීමක් ඔබට දැකීමට සිදුවන බවට මට කිසිදු සැකයක් නැත.”

පාලක පන්තිය විසින් කොන්ග‍්‍රසය තුල බදු පනත ඉක්මනින් සම්මත කරවීම සඳහා ගමන් කර තිබෙන වියරු වේගය විස්තර කිරීමට මෙය උපකාර කරයි. සෙනෙට් මන්ඩලයේ ඡන්ද විමසීම සෙනසුරාදා උදෑසන 2 ට පමන අවසන් වූයේ, ඉතා අපහසුවෙන් කියවිය හැකි අත් අකුරු වලින්, අයින් වල කුරුටුගා තිබුනු වෙනස් කිරීම් සහිතව ලැබුනු පනත, සාමාජිකයන්ට සමාලෝචනය කිරීමට අවස්ථාවක්ද ලබා නොදෙමින්ය.

ඓතිහාසිකව අර්ථභාරී අර්බුදයක වඩාත්ම මූලික ලක්ෂනය වන්නේ, බලපෑමට ලක්වූ රට තුල සිටින (සහ රට වල) ප‍්‍රමුඛ පන්ති බලවේගයන් හට අර්බුදය පිලිබඳ ස්වාධීන ආස්ථානයක් සූත‍්‍ර ගත කිරීමට සහ තෝරා ගැනීමට බල කිරීමයි” යනුවෙන් තර්ක කල “ධනේශ්වර අර්බුදය සහ ඉතිහාසයේ පුනරාගමනය” යන නමින් වූ ඬේවිඞ් නෝර්ත්ගේ දේශනයක් 2009 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පල කලේය.

”පාලක පන්තීන් සම්බන්ධයෙන් ගත් කල මෙම ක්‍රියාවලිය ස්වාභාවිකම සිදුවෙයි. සියල්ලටත් වඩා වැදගත් වන්නේ තම දේශපාලන සහ ආර්ථික අවශ්‍යතාවන් යැයි ඔවුන් සිතයි.” කෙසේ වෙතත් කම්කරු පන්තියට, “අත්‍යවශ්‍ය වැඩපිලිවෙලක් සහ පිලිවෙත් සහිතව අර්බුදය සම්බන්ධයෙන් ස්වාධීන ආකල්පයක් සූත‍්‍රගත කිරීම වඩා කල්ගතවන සමාජීය සහ දේශපාලන ක්‍රියාවලියකි.” යනුවෙන් නෝර්ත් සඳහන් කලේය.

ඇමරිකානු සමාජය ගිලගෙන ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදයට තමන්ගේ පන්ති ප‍්‍රතිචාරය පාලක පන්තිය පැහැදිලි කොට ඇත: වඩ වඩාත් අසමානතාවය, කප්පාදුව සහ යුද්ධය.

සමාජ ප‍්‍රතිවිප්ලවයේ නව අදියර නොවැලක්විය හැකි ලෙස මහජනයාගේ විරෝධය අවුලුවාලනු ඇත. කම්කරු පන්තියේ තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ පාලක පන්තියේ දේශපාලන වැඩපිලිවෙල මෙන් අධිෂ්ඨාන සහගත සහ පරිපූර්න වශයෙන් සාර්ථක මෙන්ම සිය අවශ්‍යතාවන් සහ අභිලාෂයන් නිවැරදිව ප‍්‍රකාශයට පත් කරන දේශපාලන වැඩපිලිවෙලක් ගොඩනැගීම සහ ඒ වටා බලමුලු ගැන්වීමයි. එවැනි වැඩ පිලිවෙලක් ධනපති පන්තියේ ධනය අත්පත්කර ගැනීමට, විශාල සංගත ජනසතු කිරීමට සහ ඒවා පොදු ජනතාවගේ යහපත සඳහා පරිවර්තනය කිරීමට සහ සමාජ සමානත්වයේ පදනම මත සමාජ සහ ආර්ථික ජීවිතය නැවත සංවිධානය කිරීමට කැඳවුම් කල යුතුයි. එය සමාජවාදී වැඩපිලිවලකි.

ඇන්ඩ්‍රේ ඬේමන්

Share this article: