වොෂින්ටනයේ රහස් යුද්ධ

Washington’s secret wars

2017 දෙසැම්බර් 13

“සටන් සඳහා සූදානම් කෙරුනු එක්සත් ජනපද සන්නද්ධ හමුදා රැඳවීම ගැන කොංග‍්‍රසය දැනුවත් කිරීමට” නියෝජිත මන්ත‍්‍රී මන්ඩල කතානායක පෝල් රයන් හා සෙනෙට් සභා තාවතාලික සභාපති ඔරින් හැච් අමතා ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය සඳුදා ඊනියා “යුද බලතල” ලිපියක් නිකුත් කලේ ය.

1973දී, වියට්නාම් යුද්ධයේ අන්ත පරාජයේ පසුතලයට එරෙහිව, එක්සත් ජනපද කොංග‍්‍රසය එවකට ජනාධිපති වූ රිචඩ් නික්සන්ගේ නිෂේධ බලය යටපත් කරමින් යුද බලතල පනත සම්මත කලේ ය. එම පනතේ අරමුන වූයේ, එක්සත් ජනපද ව්‍යවස්ථාව යටතේ යුද ප‍්‍රකාශ කිරීමේ තනි බලය ඇති ජනාධිපති හට, කොංග‍්‍රසයේ වගකිව යුතු බව අල්ප වශයෙන් ඇතිව හෝ නොමැති ව අප‍්‍රකාශිත හා විවෘත යුද්ධ දියත් කිරීමෙන් අනාගත ජනාධිපතිවරුන් වැලක්වීම යි.

එය තම කැමත්ත පරිදි දින 60ක් දක්වා මිලිටරි බලය පාවිච්චි කිරීමට ජනාධිපතිට අයිතිය දුන් නමුත්, (එය ම ද විධායක අංශයට දෙන ලද විශාල බලතල සහනයකි) මිලිටරි ක‍්‍රියාව සඳහා තම අනුමැතිය දීමට කොංග‍්‍රසය අසමත් වුවහොත් සම්පූර්න දින 90කින් පසු ඉවත් කර ගැනීම අවශ්‍ය කෙරේ.

තවමත් පොත්වල තිබෙන නමුත්, යුද බලතල පනත දීර්ග කාලයකට පෙර අවලංගු නීතියක් බවට හරවා ඇත්තේ, ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම පසු පැමිනි, විසිපස් වසරක අනවරත එක්සත් ජනපද ආක‍්‍රමනාකාරී යුද්ධ විසිනි, මේ සියලු යුද්ධ ගෙන යන ලද්දේ කොංග‍්‍රසය විසින් යුද ප‍්‍රකාශ කිරීමකින් තොරව ය.

කොංග‍්‍රසය තුල ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන් ම විදේශ යුද්ධ ගෙන යාමේ මුලුමනින් ම වැදගත් කාරනයේ දී “ආඥාපතිගේ” හස්තයෙහි ඒකාධිපති බලයේ තත්වාකාර ඒකාග‍්‍ර කිරීමේ දී සිය කැමත්තෙන් ම එකඟ වී ඇත.

කෙසේ නමුත්, ට‍්‍රම්ප් පාලනාධිකාරියේ මෑත ම ලිපිය නියෝජනය කරන්නේ ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග්ගැස්සුන මෙම පරිහානිය හා මිලිටිරිය මත මහජන පාලනය පිලිබඳ අවසාන ව්‍යාජයන් ද අතු ගා දැමීම යි. එක්සත් ජනපද සටන් දියත් කිරීම් ගැන කොංග‍්‍රසය “දැනුවත් කර” තැබීමට පවා අසමත් වාර්තාව, පලමු වතාවට, වොෂින්ටනයේ බහුවිධ යුද්ධ හා මිලිටරි මැදිහත්වීම්වලට සහභාගී වන හමුදා භට සංඛ්‍යාව ගැන මොනයම් හෝ තොරතුරක් වී නම් එය නොතකා හැරීය.

එක්සත් ජනපදය තම ඉතිහාසයේ දීර්ගත ම යුද්ධය, එනම් වසර 16ක් දීර්ග ඇෆ්ගනිස්ථානය තුල මැදිහත්වීම ඉදිරියට ගෙන යමින් හා තීව‍්‍ර කරමින් සිටින බව ලිපිය පිලිගන්නේ අල්කයිඩා හා අයිඑස්අයිඑස් සංවිධානවලට එරෙහිව පමනක් නො ව, “ඇෆ්ගනිස්ථාන් ආන්ඩුවේ ප‍්‍රරෝහන ශක්තියට” හා එහි ආරක්ෂක හමුදාවන්ට තර්ජනය කරන තලීබාන් හා ඕනෑ ම හමුදාවකට එරෙහිව ඇමරිකානු හමුදා “ක‍්‍රියාකාරී හතුරුකම්වල” නියලෙන බව පවසමිනි. මෙම විවෘත ගැටුම තුල භටයින් කොපමන යෙද වී ඇත් දැ යි යන්න වහංගු කෙරේ.

ඒ ආකාරයෙන් ම, රටවල් දෙකේ ම ගොඩබිම් හමුදා රැඳවීම සමග, ඉරාකය හා සිරියාව තුල දසදහස් ගනනක් මරා දැමූ “ගුවන් ප‍්‍රහාරයන්ගේ ක‍්‍රමානුකූල ව්‍යාපාරය” ගැන ද ලිපිය සඳහන් කර යි. නමුත් නැවතත්, ඒවායේ සංඛ්‍යාව වසන් කෙරේ.

මිලියන ගනනාවක් සාගතය අද්දර අතහැර දමා ඇත්තා වූ ද, එක්සත් ජනපද ගැති සෞදි හමුදා ආසන්න වසයෙන් ජනඝාතක යුද්ධයක් ගෙන යමින් සිටින්නා වූ ද, යේමනය තුල “කුඩා සංඛ්‍යාවක්” රඳවා ඇති බව ද එය පලමු වතාවට සඳහන් කර යි.

ලිබියාව, නැගෙනහිර අප‍්‍රිකාව, අප‍්‍රිකාවේ චැඩ් විල් ද්‍රෝනිය හා සහෙල් කලාපය සහ පිලිපීනයේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් මෙන් ම ජෝර්දානය, තුර්කිය, හා කියුබාවේ හමුදා රැඳවීම් ගැන ද එය සඳහන් කර යි.

ට‍්‍රම්ප්ගේ “යුද බලතල ලිපියේ” වේගය සමගින් පෙන්ටගනය වාර්තාවක් නිකුත් කර ඇත්තේ ලෝකය පුරා රැඳවුනු හරියට ම 44,000ක හමුදාවන්ගේ වර්තමාන පිහිටීම “අප‍්‍රසිද්ධ” බව ලැයිස්තුගත කරමිනි. පසු ගිය බදාදා පෙන්ටගන් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර හමුදා කර්නල් රොබ් මැනින්ග් ප‍්‍රකාශ කලේ, එක්සත් ජනපද මිලිටරියේ අරමුන වූයේ “මෙහෙයුම් ආරක්ෂාව පිලිබඳ විධානයන් සමග ඇමරිකානු මහජනතාවට සමබර තොරතුරු සැපයීම හා හතුරාට කිසියම් හෝ වාසියක් අත් කර නොදීම” බව යි.

පසු ගිය අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු යුද්ධය උත්සන්න කිරීමක් සඳහා ඔහුගේ සැලැස්ම නිවේදනය කල අවස්ථාවේ ට‍්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සැබෑ සේ පෙනෙන තර්කය ම වූයේ ද මෙය ම යි. “වැඩිදුර මිලිටරි ක‍්‍රියාකාරකම් සඳහා වන හමුදා භට සංඛ්‍යාව හෝ අපගේ සැලසුම් ගැන අපි කතා නො කරන්නෙමු” යි ඔහු පැවසී ය. “මෙතැන් සිට අපගේ මූලෝපායට මග පෙන්වනු ඇත්තේ, හිතුවක්කාර කාල සටහන් නො ව, ගොඩබිම කොන්දේසි වනු ඇත. අපගේ හතුරන් කිසි දා අපගේ සැලැසුම් දැන නො ගත යුතු අතර අපව පිටත තැබිය හැකි යයි ඔවුන් විශ්වාස නොකල යුතු ය. අප පහර දීමට යන්නේ කවදා දැ යි මම නො කියන්නෙමි, නමුත් අපි පහර දෙන්නෙමු.”

ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය ඔබාමා පාලනාධිකාරිය යටතේ හමුදා සංඛ්‍යාවේ මට්ටම් මත පටවන ලද ඉහල සීමා ඉවත් කර ඇත්තේ, කැමත්ත පරිදි එක්සත් ජනපද රැඳවීම් උත්සන්න කිරීමට මිලිටරි ආඥාපතීන්ට ඉඩ දෙමිනි. නිල වසයෙන් පොත්වල තිබුනාට වඩා එක්සත් ජනපද යුද්ධයන්ට යැවූ වඩා වැඩි හමුදා භට සංඛ්‍යාවක් පෙන්වන ඊනියා තාවකාලික රැඳවුම් මගින් ඔබාමාගේ සීමාවෝ ම ද හුරු පුරුදු පිලිවෙලට වංචා කෙරුනි.

මෑත මාසවල දී හමුදා රැඳවීම් හාත්පස රහස ඉස්මතු කෙරී ඇත්තේ, විශේෂ මෙහෙයුම් භටයින් හතරදෙනෙකු ඝාතනය කෙරුනා වු ද එක්සත් ජනපද භටයින් 1000ක් පමන රැඳවීම අනාවරනය කෙරුනා වූ ද නයිජීරියාවේ ඔක්තෝබරයේ වෙඩි හුවමාරුවෙන් පසු ය. මෙම මැදිහත්වීම පිලිබඳව එක්සත් ජනපද සෙනේට් සභාවේ ප‍්‍රධාන සාමාජිකයින් කිසිවක් නොදන්නා බව පැවසේ. ඊට පසු පෙන්ටගන් මාධ්‍ය සාකච්ඡාවක දී, සිරියාවේ ගොඩබිම එක්සත් ජනපද භටයින් 4,000ක් සිටින බව ඉරාකය හා සිරියාවේ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් අනදෙන නිලධාරීයාගේ කටින් ගිලි හුනි, ඔහු වහා ම 500ක් වන නිල සංඛ්‍යාව පුනරුච්චාරනය කලේ ය. ඊට පසු, පෙන්ටගනය පිලිගත්තේ සැබෑ සංඛ්‍යාව 2000ක් වූ බව යි.

මේ අතර, මාධ්‍ය අවධානයක් නැති තරමින්, පසු ගිය මාසයේ පෙන්ටගනය නිකුත් කල සංඛ්‍යා හෙලිදරව් කලේ, මැද පෙරදිග රඳවා ඇති එක්සත් ජනපද භටයින් සංඛ්‍යාව පසු ගිය මාස හතර පුරා සමස්තයක් ලෙස සියයට 33කින් වැඩි වී තිබුනේ, ඉරානයට එරෙහිව එක්සත් ජනපද යුද්ධය සඳහා කල් තබා සූදානම් වීම අඟවමින්, පර්සියන් බොක්කේ රටවල් ගනනාවක තියුනු වැඩිවීමක් සිදු වෙමින් තිබීමත් සමග බව යි.

මෙම වර්ධනයන් රහසේ තබා ගන්නේ නැත්නම් ඵලදායි ලෙස වසන් කරන්නේ “හතුරාට ඔත්තු සැපයීම” පිලිබඳ කිසියම් හෝ උත්සුකයකින් නො වේ. සැබවින් ම සෑම අවස්ථාවක දී ම, තමන්ගේ රටවලට එරෙහිව එක්සත් ජනපද මිලිටරි ආක‍්‍රමනයේ මට්ටම ගැන සෑම රටක් ම හොඳින් දනී. ඊට වෙනස් ව එය එල්ල කෙරෙන්නේ, ඇෆ්ගනිස්ථානය, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ සිදුවෙමින් තිබෙන මිලිටරි මැදිහත්වීම් ඉදිරියට ගෙන යාමට, නැතහොත් ඉරානය, උතුරු කොරියාව මෙන් ම චීනය හා රුසියාවට එරෙහිව පවා නව හා ලෝක විනාසකාරී යුද්ධ දියත් කිරීමේ හැකියාව පිලිබඳව සහය නොදෙන ඇමරිකානු මහජනතාවගෙන් තොරතුරු වසන් කිරීමට ය.

රට තුල කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා සමාජ කොන්දේසි මත ප‍්‍රහාරයන් සමග මෙන් ම, විදේශයන් හි අර්ධ රහස් යුද්ධ ගෙනයාමේ අර්ථයෙන් ගත් විට, ට‍්‍රම්ප් නියෝජනය කරන්නේ අපසරනයක් නො ව, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය මත වඩා විශාල බලතල එක්සත් ජනපද මිලිටිරි අනදෙන්නන්ට පවරා දුන්, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු පාලනාධිකාරයන් යටතේ දිග හැරී ඇති, දිග්ගැස්සුන ක‍්‍රියාදාමයක කූඨප‍්‍රාප්තිය යි. මෙම ක‍්‍රියාදාමය ට‍්‍රම්ප් යටතේ තව දුරටත් තියුනු කෙරීම පමෙනකි සිදුවෙමින් ඇත්තේ. එසේ වන්නේ සජීව සේවා ජනරාල්වරයෙකු ජාතික ආරක්ෂක උපදේශකයෙකු ලෙස සේවය කිරීම ද, මෑත දී විශ‍්‍රාම ගත් මැරීන් ජනරාල්වරයින් දෙදෙනෙකු ආරක්ෂක ලේකම් හා ධවල මන්දිර මාන්ඩලික ප‍්‍රධානී යන තනතුරු පිරවීම ද සමගිනි.

උතුරු කොරියාව, චීනය හා රුසියාවේ දේශසීමාවල එක්සත් ජනපද හමුදා කොකා ගැස්සෙන මානයේ තැබීමත් සමග, ඉහල මිලිටරි නිලධාරීන්ට හැකි තාක් යුද්ධ කිරීමේ බලතල නොකඩවා තහවුරු කිරීම වැරදි ගනන් බැලීමක්, වැරදි වැටහීමක්, හෝ හදිසි අනතුරක් ක්ෂනයකින් මහා පරිමාන න්‍යෂ්ටික යුද්ධයකට ඇදී යා හැකි අනතුර දැවන්ත ලෙස වැඩි කර යි.

යුද බලතල පනත මත ට‍්‍රම්ප්ගේ වැඩි දුර ප‍්‍රහාරයන් කොංග‍්‍රසයේ ඩිමොක‍්‍රටිකයන්ගෙන් විරෝධතාවක් මතු කර ගෙන නොමැත. මිලිටරිය විසින් ආන්ඩුවේ ආධිපත්‍ය ගැනීම හෝ යුද තල්ලුවට ඔවුහු විරුද්ධ නො වෙති. නව හා වඩා වැඩි බියකරු මහා යුද්ධයක් සඳහා සූදානම් වීමේ දී එක්සත් ජනපද මිලිටරි හා ඔත්තුසේවා ආයතනවල කන්ඩායම් සමග සහයෝගිත්වයෙන් ගෙන යනු ලබන රුසියානු විරෝධී හිස්ටීරියා උද්ඝෝෂනය තුල ප‍්‍රකාශිත, ඔවුන්ගේ වෙනස්කම් හුදෙක් උපක‍්‍රමික ස්වභාවයක ඒවා ය.

පක්ෂ දෙක ම නියෝජනය කරන්නේ තම ධනය හා ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීමට විශාල වසයෙන් හැකි තාක් මිලිටරිය හා යුද්ධය මත වාරු වන පරපුටු මූල්‍ය කතිපයාධිකාරයකි. එක්සත් ජනපද පාලන සංස්ථාපිතයේ අනෙකුත් ආයතන මෙන්ම මෙම පක්ෂ, ජනරාල්වරුන් හැසිරවීමට නැතහොත් ව්‍යවස්ථාදායක ආන්ඩුව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඔසවා තැබීමට උත්සුක නො වෙති. ඊට වෙනස් ලෙස, ඔවුන් සම්මුති ගසමින් සිටින්නේ, මැතිවරන, කොංග‍්‍රසය හා අනෙකුත් ප‍්‍රජා සංවිධාන, ඒතුල සැරසිල්ලකට වැඩි දෙයක් නො වන තත්වයට පත්වෙමින් තිබෙන, වෝල් වීදිය සමග එක පෙලට වැඩ කරමින්, මිලිටරියේ නිර්බාධිත ආධිපත්‍ය මත පාදක පද්ධතියක මතුවීම සමගිනි.

බිල් වෑන් ඕකන්

Share this article: