එක්සත් ජනපදය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධයක් අද්දරද ?

Is the United States on the brink of nuclear war?

2017 දෙසැම්බර් 11

උතුරු ඇමරිකාවේ විශාල කොටසකට ලඟාවීමේ හැකියාවෙන් යුතු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බැලීමෙන් පසු ගෙවුනු දින 13 තුල එක්සත් ජනපදය සිය යුද තර්ජන තවත් දැඩි කර ඇත.

* දකුනු කොරියාවේ පැවැත්වීමට නියමිත 2018 ශීත සෘතු ඔලිම්පික් තරඟාවලියට සහභාගී වීම සඳහා එක්සත් ජනපදය විසින් මලල ක‍්‍රීඩකයන් නොඑවනු ඇතැයි, බ‍්‍රහස්පතින්දා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති නිකී හේලි අනතුරු ඇඟවීය. මන්ද යත් යුද්ධයක් ඇති වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට නොහැකි වනු ඇති නිසාය.

* එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර යුද්ධයක් පිලිබඳ තර්ජනය “සෑම දිනකම වැඩිවෙමින් තිබේ.” යයි පසුගිය ඉරිදා ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් අනතුරු ඇඟවීය.

* එක්සත් ජනපදය උතුරු කොරියාව සමග මිලිටරි ගැටුමකට ආසන්න වෙමින් ඇතැයි එම දිනයේම දකුනු කැරොලයිනා සෙනෙට් සභික ලින්ඩ්සේ ග‍්‍රැහැම් අනතුරු ඇඟවූ අතර ඇමරිකානු සොල්දාදුවන්ගේ පවුල් දකුනු කොරියාවෙන් ඉවත් කරගන්නා ලෙස මිලිටරියෙන් ඉල්ලා සිටියේය.

ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය තුලින් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වලින්ද මෙම වර්ධනයන් සම්බන්ධයෙන් බියට පත් අනතුරු ඇඟවීම් නිකුත්වී තිබේ.

* මිඩ්ල්බරි හී පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන සඳහා ආයතනයේ ශාත‍්‍රාලිකයෙකු වන ජෙෆ්රි ලෙවිස් විසින් රචිත, “උතුරු කොරියාව සමග න්‍යෂ්ටික යුද්ධයක් දිග හැරෙනු ඇත්තේ මෙසේය” යන නමින් යුත්, බියගන්වන සුලු, උපකල්පිත වෘතාන්තයක් සිකුරාදා වොෂින්ටන් පොස්ට් හී පලකෙරුනි. 2019 දී සිදුවන මුලුමනින්ම නොවැලක්විය හැකි න්‍යෂ්ටික යුද්ධයකින්, මිලියන දෙකකට ආසන්න ඇමරිකානුවන්, දකුනු කොරියානුවන් සහ ජපන් ජාතිකයන් මිය ගොස් තිබෙන අවස්ථාවක්, ඉතා බියකරු විස්තරයක් සහිතව ලෙවිස් ඉතා හොඳින් පැහැදිලි කලේය.

* උතුරු කොරියාව සම්බන්ධ ට‍්‍රම්ප් පරිපාලනයේ කයිවාරු, බුෂ් පරිපාලනය ඉරාකය ආක‍්‍රමනය කිරීමට පෙර සමයේ ගැසූ කයිවරු වලට වඩ වඩාත් සමාන වෙමින් ඇති බවට සෙනසුරාදා නිව් යෝර්ක් ටයිම්ස් අනතුරු ඇඟවීය. “ට‍්‍රම්ප් පරිපාලනයේ තර්ජන අර්ථ විරහිත නොවන බව හා නිලධාරීන් විසින් උතුරු කොරියාවට සහ එහි න්‍යෂ්ටික අවි වලට සහ මිසයිල ගබඩාවට පහරදීම සම්බන්ධයෙන් බැරෑරුම්ව කල්පනා කරමින් සිටින බව බාහිර විශේෂඥයන් විසින් නිගමනය කරනු ලැබ ඇතැයි.” පුවත් පත තව දුරටත් සඳහන් කලේය.

* උතුරු කොරියානු නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව “වර්තමාන තත්වය, අද දිනයේ ලෝකයේ ඇති වඩාත්ම ආතතිසහගත සහ භයානකම, සාමය සහ ආරක්ෂාව පිලිබඳ ප‍්‍රශ්නය වූ බව” ඇමරිකාව සහ උතුරු කොරියාව යන දෙපාර්ශවයේම නායකයන් පිලිගෙන තිබුන බව, ප‍්‍රකාශ කරමින් එම දිනයේම, ඇමරිකානු නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් ප‍්‍රකාශයක් නිකුත් කලේය. “තීරනාත්මක වන්නේ කාලය” යයි ඔහු අනතුරු අඟවීය.

* ඉරිදා, න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයට නොබෙල් සාම ත්‍යාගය ප‍්‍රධානය කිරීමේ උත්සවයකදී, එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර “අන්‍යොන්‍ය විනාශය” ඇත්තේ “එක් ක්ෂනික කෝපයෙන් කඩා පනින දුරින්” යයි එම කන්ඩායමේ නියෝජිතයෝ අනතුරු ඇඟවූහ.

* උතුරු කොරියාවට එරහි ඇමරිකානු ප‍්‍රහාරයකින්, එක්සත් ජනපදය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල රටක් බවට පත් කරනු ඇතැයි කොන්සවේටිව් තීරුලිපි රචකයෙකු වන ජෝර්ජ් විල්, ඉරිදා දැඩි ලෙස ඉඟිකලේය. ඒ “සාමයට එරෙහි අපරාධ” වලින් නාසි යුද අපරාධ පිලිබඳ නියුරම්බර්ග් අධිකරනයේ පදනම නිර්මානය කෙරුන බව සඳහන් කරමින්ය. 1946 නියුරම්බර්ග් නඩු විභාගයන් හී චෝදනා පත‍්‍රවල පලමු චෝදනා ද්විත්වය “ආක‍්‍රමනශීලී යුද්ධය” දියත් කිරීම පිලිබඳව අවධානය යොමු කලේය.

ඇමරිකානු සහ ජාත්‍යන්තර විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ නිල තන්ත‍්‍රයම, උතුරු කොරියාව සමග සිදුවිය හැකි යුද්ධයක් පිලිබඳව සැලකිල්ල යොමු කිරීමේදී දක්වන දැඩි අසහනය සහ කනස්සල්ල, මෙවැනි ප‍්‍රකාශ වලින් අවධාරනය කරයි. ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට සහ සිරියාවට එරහිව එකකට පසු එකක් වශයෙන් දියත් කෙරුනු යුද්ධයන්හී දී මෙන් නොව, උතුරු කොරියාව සමග ඇති විය හැකි යුද්ධයකදී එක්සත් ජනපදයට කිසිදු ජාත්‍යන්තර සහායකයෙකු නොමැත. බිය සැක නොමැතිව එක්සත් ජාතීන්ගේ විධිවිධානයන් සහ කලින් තම මිතුරන්ගේ පොදු එකඟතාවන් නොසලකා හරිමින් ඇමරිකාව, ජාත්‍යන්තර නීතියේ රාමුවට පිටින් ක‍්‍රියාත්මක වෙමින් සිටී.

සැලකිල්ලට ගතහැකි සියලුම තත්වයන් යටතේ උතුරු කොරියාවට එරහි යුද්ධයක්, අඩුම තරමේ උතුරු කොරියානු දේශසීමාව දෙපස සිටින සිවිල් වැසියන්ගේ මරන ලක්ෂ ගනනක් ද ඇතුලුව, ඒකාන්තයෙන්ම එක්සත් ජනපදයට විනාශයක් බවට පත් වනු ඇතැයි එරට දේශපාලන සංස්ථාපිතයේ පරිපාලනයට අයත් විවේචකයන් බිය වෙයි. අන්තර්ජාතික කරලිය තුල වොෂින්ටනයේ පැවැත්මේ ඉතිරි වී තිබෙන කුමන හෝ දෙයක් වේ නම් එය, එවැනි යුද්ධයක් මගින් කඩා බිඳ දමනු ඇත්තේ එය කොන් කෙරුනු රාජ්‍යක් බවට පත් කරමිනි.

ඉරාකය ආක‍්‍රමනයටත් වඩා විනාශකාරී යුද්ධයක එරට ගිල්වා දැමීමට තර්ජනය කරන, උතුරු කොරියාව සම්බන්ධයෙන් වන වඩ වඩාත් ඉහල නඟන යුදවාදී ආකල්පය, ධවල මන්දිර මාලිගා බලකොල්ලයක් ඇතිවීමේ හැකියාව පිලිබඳ අනුමානයේ ප‍්‍රධාන ධාවකය බවට පත්ව ඇත.

ෆොරින්අෆෙයාර්ස් හී නවතම කලාපයේ පලකල ලිපියක ඩී. සාගන් අනතුරු අඟවන්නේ, උතුරු කොරියාව සමග විය හැකි විනාශකාරී යුද්ධයක් වැලක්වීමේදී මිලිටරියේ කොටස් විසින් ට‍්‍රම්ප් බලයෙන් පහකිරීමට සැලකිය යුතු ශක්තියක් යොදවන ඇතැයි සඳහන් කරමිනි.

යම්තාක් දුරකට ඇමරිකාව උතුරු කොරියාවට මුහුනදීම, “ශක්තිමත් සිවිල් නායකයන්, එක්සත් ජනපද මිලිටරියේ භයානක යුධවාදී අවශ්‍යතාවන්ට එරහිව ක‍්‍රියාකල” කියුබානු මිසයිල අර්බුදයටත් වඩා භයානක යැයි සේගන් සඳහන් කරයි. නමුත් දැන් “නොසැලකිලිමත් තර්ජනයන් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ ජේෂ්ඨ නායකත්වය විසින්ම වන අතර, ප‍්‍රඥාවේ හඬ ලෙස සේවය කිරීම, ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්ගේ (හිටපු ජනරාල් වරයෙකි) සහ ජේෂ්ඨ මිලිටරි නිලධාරීන්ගේ වගකීම බවට පත්ව ඇත.”

“ට‍්‍රම්ප් දුර්වල යැයි ජ්‍යේෂ්ඨ මිලිටරි නායකයන් විසින් කුමන හෝ වෙලාවක විස්වාස කරයි නම්, ඔවුන් විසින්, තමන්ගේ තනතුරේ බලතල අත හැරීමට ට‍්‍රම්ප් අසමත් ද යන්න සහ එබැවින් 25 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරනවාද යන්න, නිර්නය කිරීම සඳහා හදිසි කැබිනට් හමුවක් කැඳවීම පිනිස මැටිස් සම්බන්ධ කරගතයුතු යැයි” ඔහු තව දුරටත් සඳහන් කලේය.

එවැනි මිලිටරි කුමන්ත‍්‍රනයක් ඇති වීමේ අනතුර කිසිවෙකු විසින් අවතක්සේරු නොකල යුතු අතරම, පැසිෆික් කලාපය තුල යුද්ධ කිරීම සඳහා වන ට‍්‍රම්ප් පරිපාලනයේ ධාවනය නතර කිරීම සඳහා ඇමරිකානු මිලිටරි නායකත්වය කෙසේ හෝ කටයුතු කරනු ඇත යන අදහස, හීනයකි. ආරක්ෂක ලේකම් “මෑඩ් ඩෝග්” මැටිස් උතුරු කොරියාවට එරහිව සමූල ඝාතනයක් සිදු කරන බවට අනතුරු අඟවා ඇත්තේ යුද්ධය “එරටේ මිනිසුන්ගේ විනාශයට” පාර කපනු ඇතැයි අනතුරු අඟවමින්ය. ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර් ඒ හා සමානවම ප‍්‍රකාශ කලේ, ඇමරිකාව උතුරු කොරියාවට එරහිව “නිවාරක” එනම් කුපිත නොකල යුද්ධයක් දියත් කිරීමට සුදානම් බවයි.

එහි පශ්චාත් යුද ආධිපත්‍යයේ බිඳ වැටීම වඩ වඩාත් උග‍්‍ර වන තතු හමුවේ එක්සත් ජනපදය, හුදෙක්ම ට‍්‍රම්ප් පරිපාලනයේ තර්ජන ක‍්‍රියාවට නගමින් යුද්ධයකට යාමේ හැකියාවක් පවතී.

මේ අතර දෝෂාභීයෝගයක් හරහා බලහත් කාරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරෙන තත්වය හෝ 25 වන සංශෝධනය බලගැන්වීම හරහා ට‍්‍රම්ප් තනතුරෙන් ඉවත් කිරීම පිලිබඳව සිදු වන කතා බහ හමුවේ, එක්සත් ජනපදය වෙලාගෙන ඇති දේශපාලන අර්බුදයට යුද්ධයක් හරහා විසඳුමක් සෙවීමට පරිපාලනය මත යෙදෙන පීඩනය දැඩි කෙරේ.

මේ සියල්ලම සලකුනු කරන්නේ, ඇමරිකානු න්‍යෂ්ටික ගැටුමකින් ඇතිවන දැවැන්ත අනතුරයි. උතුරු කොරියාව සමග යුද්ධයක නුවනක්කාරකම සම්බන්ධයෙන් ඇමරිකානු පාලක ප‍්‍රභූව තුල කට්ටිවාදී නොඑකඟතා තිබියදීම පාලක ප‍්‍රභූව තුල කිසිදු යුද විරෝධී පාර්ශවයක් නොමැත. ට‍්‍රම්ප්ට එරහිව සිටින පාර්ශවයන් ඉල්ලා සිටින පිලිවෙත, එනම් රුසියාව සමග වර්ධනය වන අර්බුදය පූර්න ලෝක යුද්ධයක් බවට වර්ධනය වීමක අනතුර මතුකරයි.

වර්ධනය වන යුද අනතුර ගැන අනතුරු අඟවනවා වෙනුවට ඩිමොක‍්‍රටික් පක්ෂය පසු ගිය සති දෙක ගත කර ඇත්තේ, ට‍්‍රම්ප් පරිපාලනය රුසියාව සමග ඇති කර ගත්තා යැයි කියන රහස් එකඟතාව පිලිබඳ සිය ව්‍යාපාරය ඉහල නංවමිනි. මහජන විඥානය දූෂනය කිරීම සඳහා, ට‍්‍රම්ප් පරිපාලනය සමග තම ගැටුමේදී ඉහල මධ්‍යම පන්තික කන්ඩායමක් රැලි කරගැනීම ඉලක්ක කරගත්, කැපිටල් හිල් හී සහ හොලිවුඩ් හී “ලිංගික අපචාරයට” එරහි දඩයම සමග සමගාමීව ඩිමොක‍්‍රටික් පක්ෂය කටයුතු කරමින් සිටී.

විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් වැලක්වීමේ හැකියාවෙන් යුත් එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙම සමාජ බලවේගය සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, යුද්ධය සහ එය නිර්මානය කරන ධනපති පද්ධතිය අවසන් කිරීම ඉලක්ක කර ගත්, පලල් ජාත්‍යන්තර යුදවිරෝධී ව්‍යාපාරයක් සඳහා බලමුලු ගැන්විය යුතුයි.

අන්ද්‍රේ ඬේමන්

Share this article: