ජාල අපක්ෂපාතීත්වයේ අවසානය සහ නිදහස් අන්තර්ජාලය ආරක්ෂා කරගැනීම සඳහා වන අරගලය

The end of net neutrality and the fight to defend the free internet

2017 දෙසැම්බර් 15

අන්තර්ජාලය මත පවතින සියලු දත්ත එකාකාරයෙන් සැලකීම අවශ්‍ය කරන ජාල අපක්ෂපාතීත්වය නමැති නීති අහෝසි කර, වෙබ් අඩවි හා අන්තර්ජාල සේවාවන් වෙත පාරිභෝගිකයන්ගේ ප‍්‍රවේශය සීමා කිරීමට එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදනය කොමිසම (එෆ්සීසී) දෙසැම්බර් 14දා ඡන්දය දුන්නේ ය.

ඒටීඇන්ඩ්ටී, වෙරිසොන් හා කොම්කාස්ට් යෝධ අන්තර්ජාල හා තාක්ෂනික ඒකාධිකාර සමාගම් විසින් මහජනයා අන්තර්ජාලය මත ප‍්‍රවේශ වන්නේ කවර තොරතුරුවලට දැයි පාලනය කරන අන්තර්ජාල සන්නිවේදනයේ නව යුගයක පැමිනීමක් මෙම නීතියෙන් සනිටුහන් කරයි.

අධිධාරිතා අන්තර්ජාලයේ ඉස්මතු වුනු තැන් පටන් එෆ්සීසීය තථ්‍ය ලෙස ක‍්‍රියාත්මක වූයේ, ජාල අපක්ෂපාතී මූලධර්ම යටතේ වන අතර එම මූලධර්මවලට “මහජනයාට අන්තර්ජාලය ඔවුන්ට අවශ්‍ය කරන නීත්‍යානුකූල අන්තර්ගතයන් වෙත ප‍්‍රවේශ වීමේ අයිතිය” හා “මහජනයාට ඔවුන් කැමති සේවාවන් හා ව්‍යවහාරයන් භාවිතා කිරීමේ හිමිකම” තිබේ යනුවෙන් 2005 දී නිකුත් කල ප‍්‍රකාශනයක් ද ඇතුලත් වේ.

අධිධාරිතා සේවා ප‍්‍රවේශය “විදුලි සංදේශ සේවාවක්” ලෙස ශ්‍රේනිගත කරමින් හා “අධිධාරිත අන්තර්ජාල ප‍්‍රවේශ සේවාව සැපයීමේ නිරත පුද්ගලයෙක් නීත්‍යානුකූල අන්තර්ගතයන්, යෙදීම්, සේවාවන් හෝ අන්තරායකාරීත්වයෙන් තොර උපකරන යොදාගැනීම වැලැක්විය නො හැකි ය” හා අන්තර්ජාල සේවා සපයන්නන් (අයිඑස්පීඑස්) “අන්තර්ජාල අන්තර්ගතය මත පදනම් ව නීත්‍යානුකූල අන්තර්ජාල භාවිතය බාධනය හෝ පහත හෙලීම් නො කරනු ඇත” යනුවෙන් ප‍්‍රකාශ කරමින් 2015 දී එෆ්සීසීය මෙම නීති පනවන ලදී.

වාරනයට එරෙහි වන මෙම ඊනියා “තීව‍්‍ර-නීති” ඉවත් කරන දෙසැම්බර් 14 දිනැති නීතිය, අයිඑස්පී සමාගම් වෙත යවන පැහැදිලි පනිවුඩය වන්නේ, ඔවුන්ගේ හිතුමතය පරිදි අන්තර්ජාල අන්තර්ගතයන් විසුරුවීම නිදහසේ “බාධනය” හෝ “පහත හෙලීම” කලහැකි බව යි.

මෙම නීතියේ දිගදුර යන ගම්‍යයන් අතිශයෝක්තියට නැංවීම දුෂ්කර ය. නිවෙස් වලට අන්තර්ජාල සේවය සපයන්නන්ගේ හා ජංගම දත්ත ගෙන යන්නන්ගේ කුඩා කන්ඩායමකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරන වෙබ් අඩවි හා සේවාවන්ගේ අසාදු ලේඛනයක් පවත්වාගෙන යාමට ඉඩ දෙන එය, සමස්ත ඇමරිකානුවන්ට ම පාහේ එම සේවාවන් වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව බාධනය කරයි.

බ‍්‍රහස්පතින්දා මතවිමසුමේ දී, මෙවැන්නක හැකියාව ලඝුකොට තකමින් එෆ්සීසී නිලධාරීන් ප‍්‍රකාශ කලේ නිදහස් වෙලඳපොලේ නීති ඇදහිය නො හැකි අන්දමේ අසාදු ලේඛනගත කිරීමකට ඉඩ නො තබනු ඇති බව හා සේවා සපයන්නන් වාරනයක යෙදේනම් වෙනත් සැපයුම්කරුවෙකු තෝරාගැනීම පාරිභෝගිකයන්ට කලහැකි බව යි. ව්‍යාජ හා එමෙන් ම තමන්ගේ වාසිය පමනක් තකන ඔවුන්ගේ තර්ක, බොහෝ ඇමරිකානුවන්ට අන්තර්ජාල සේවය නිදහස් වෙලඳපොල සේවාවක් නො වන බව නො තකා හැරියේ ය: මිලියන 50කට පමන තෝරාගැනීමට හැක්කේ එක් අධිධාරිතා සේවා දායකයෙකු පමනක් වන අතර ඉතිරි අයගෙන් බොහෝ දෙනෙකුට තෝරාගැනීමට ඇත්තේ සේවා සම්පාදයකයන් දෙදෙනෙකු පමනි.

ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීම එලෙසින් ම විවෘත කරන්නේ පන්ති ආධිපත්‍යයේ නව අවධියකි. අන්තර්ජාල ඒකාධිකාර සංගත මිල ගනන් ඉහල දමන අතර ම, ආර්ථික පීඩනය යටතේ බොහෝ පාරිභෝගිකයන්ට අතිශයින් සීමා කල අන්තර්ගතයන් සහිත සේවා සැලසුම් තෝරාගැනීමට බලකෙරෙන පරිදි බහු සේවා ක‍්‍රම හඳුන්වාදෙනු ඇත. අදහස් නිදහසේ හා විවෘත ව හුවමාරු කරගැනීම එලියට විසිකර දැමීමට සමානුපාතික ව ඒවා ධනවතුන්ට පමනක් හිමි බහිෂ්කාරක දෙයක් වනු ඇත.

සීමාහරනයන්, බදු කැපීම් අනෙකුත් දක්ෂිනාංශික පියවරයන් හරහා සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ බලය අසීමිත ලෙස ශක්තිමත් කරන ට‍්‍රම්ප් පරිපාලනයේ සමස්ත පිලිවෙත සමග, ජාල අපක්ෂපාතීත්වය අවසාන කිරීම එකිනෙකට අනුපූරක වේ.

සමහර ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් ජාල අපක්ෂපාතීත්වයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටියත්, ඩිමොක‍්‍රටික් පක්ෂය ක‍්‍රියා කරන්නේ අන්තර්ජාලය මත නිදහසේ අදහස් පලකිරීමේ අයිතිය මත එල්ල කරන ප‍්‍රහාරයේ පෙරමුනේ රාල ලෙස යි. ජාල අපක්ෂපාතීත්වයට එරෙහි ප‍්‍රහාරයට නායකත්වය දෙන එෆ්සීසී සභාපති අජිත් පායි ව පලමු වරට එෆ්සීසී අධ්‍යක්ෂ මන්ඩලයට නම් කලේ ජනාධිපති ඔබාමා විසිනි. ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම සහයෝගය ලබන ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) හා මධ්‍යම රහස් තොරතුරු ඒජන්සිය (සීඅයිඒ), යෝධ අන්තර්ජාල සැපයුම්කරුවන් සමග සමස්ත ලෝකය පුරා පුද්ගලයන්ගේ සන්නිවේදනයන් හා අන්තර්ජාල ක‍්‍රියාකාරීත්වයන් අධීක්ෂනය කිරීමට කටයුතු කර ඇත.

තව ද නිව්යෝක් ටයිම්ස් හා ජෙෆ් බෙසෝගේ වොෂින්ටන් පෝස්ට් පත්තර ද ප‍්‍රධාන රූපවාහිනී නාලිකාවන් ද සමගින් ඩිමොක‍්‍රටිකයෝ අන්තර්ජාලය මත අදහස් පලකිරීමේ නිදහසට එරෙහි උද්ඝෝෂනයක් ගෙන යන්නේ, “ව්‍යාජ පුවත්” හා විදේශ “අතපෙවීම්” වලට එරෙහි වීමේ නාමයෙනි.

ෆේස්බුක්, යූටියුබ් හා ට්විටර් වෙබ් අඩවි “ආක‍්‍රමනශීලී” හා “ව්‍යාජ” අන්තර්ගතයන් තහනමට හා බාධනයට ලක්කිරීමට වාරකයන් දසදහස් ගනනක් බඳවාගෙන තිබෙන අතර, ලෝකයේ විශාලතම සෙවුම් යන්ත‍්‍රය වන ගූගල්, ප‍්‍රධාන වසයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියඇතුලු වාමාංශික වෙබ් අඩවි සෙවුම් ප‍්‍රතිඵල තුල හමු නො වන පරිදි බාධනය කිරීමට සෙවුම් ක‍්‍රමලේඛන වෙනස් කිරීම ආරම්භ කලේ ය.

ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීමට එරෙහි ව, ඩිමොක‍්‍රටිකයන් පලකරන නාමික විරෝධය බොහෝ සෙයින් බැඳී තිබෙන්නේ අන්තර්ජාල සේවා සපයන්නන්ට ඉහල වේගයන් සඳහා ගෙවීම් කිරීමට සිදුවනු ඇත්තා වූ ගූගල් හා ෆේස්බුක් වැනි දැවැන්ත අන්තර්ජාල සංගතයන්ගේ අවශ්‍යතාවන් සමගිනි. එහෙත්, මෙම සමාගම් පෙන්නුම් කර ඇත්තේ, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අන්තර් ජාල සැපයුම් කරන සමාගම් සමග ගනුදෙනුවලට එලඹීමට සූදානම් බව යි.

ගූගල් සමාගම 2010 දී තමන්ට අයත් යූටියුබ්හි අඩංගු වන දේවල් ද ඇතුලු අන්තර්ගතයන් වරප‍්‍රසාදිත කිරීම සඳහා වෙරිසෝන් සංගතය සමග ගිවිසුමකට ඇතුලු වූ අතර දැන් එයට ජාල අපක්ෂපාතීත්වය අහෝසි කිරීම හරහා එය කරගත හැක. එවැනි සැලැස්මක් ගූගල්හි ම සෙවුම් ප‍්‍රතිඵල හැසිරවීම හරහා අන්තර්ජාලය වාරනය කිරීමට ගූගල් සමාගම දරන උත්සාහයන් පිලිබඳ පසුවිපරම් ලබා දෙනු ඇත.

වාරනයේ නව යුගය තුල ප‍්‍රධාන සංගතවල ආර්ථික අවශ්‍යතා හා සමාජ ප‍්‍රතිගාමීත්වයේ දේශපාලන ඉලක්කයන් වඩ වඩා සම්පාත වේ. වාරනයේ නායක භූමිකාව දරන්නන් වන්නේ ප‍්‍රධාන පුවත්පත් රූපවාහිනී නාලිකාවන් වන අතර, ඒවායේ පාඨකයන් හා නරඹන්නන් සංඛ්‍යාව අඩු වී තිබෙන්නේ ඔවුන්ගේ රාජ්‍ය-අනුග‍්‍රහය ලබන ප‍්‍රචාරයට විකල්පයන් පාරිභෝගිකයන් විසින් සොයන තතු තුල ය. මාධ්‍ය බහ්වාධිකාර සංගත, වෙලඳපොල කොටස් ආපසු උපයාගැනීමේ මෙන් ම අන්තර්ජාල ප‍්‍රකාශන හේතුවෙන් අහිමි වූ දේශපාලන ආඛ්‍යානයේ පාලනය යලි අත්පත් කරගැනීමේ විධික‍්‍රමයක් ද ලෙස අන්තර්ජාල වාරනය දැකගනිති.

ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීම කම්කරුවන් හා තරුනයන් වෙතින් පුලුල් පරිමාන විරෝධයක් අවුලුවා තිබේ. එලඹීමට නියමිත වන්නේ කවරක්දැයි යන්න කෙරෙහි පවතින බිය විසින් ජනනය කරන මෙම විරෝධය, වාරනයේ යථාර්ථය වැටහෙන විට සමාජ විරෝධයක් බවට ඝනීභවනය වනු ඇත.

ඉදිරියේ එන අරගලවල දී එක් දෙයක් පැහැදිලි කල යුතු ය: වාරනය ජනනය වන්නේ නිදහස වෙනුවට ආධිපත්‍යය නො වැලැක්විය හැකි ලෙස ඉලක්ක කරගන්නා ධනවාදී පද්ධතියෙනි. එය, පෙර නුවූ විරූ සමාජ අසමානතාවේ හා පාලක පන්තිය විසින් ලෝක යුද්ධය වෙත කරන ධාවනයේ අනුපූරකය යි.

නිදහස් හා විවෘත අන්තර්ජාලයක් සුරක්ෂිත කරගැනීමේ සටන වනාහි, සමාජය හා දේශපාලනය මත්තෙහි සංගතවල හා මූල්‍ය කතිපයාධිකාරයේ ආධිපත්‍යය අහෝසි කිරීමට කරන අරගලය වේ. සුවිසල් බැංකු හා සංගත සමගින් විදුලි සංදේශ ඒකාධිකාරයන්, පුද්ගලික ලාබය වෙනුවට සමාජීය අවශ්‍යතාව මත ධාවනය කරනු ලබන මහජන උපයෝගිතාවන් බවට හැරවිය යුතු ය. අන්තර්ජාලය වෙත ප‍්‍රවේශය වනාහි සංගත හෝ රාජ්‍යයේ මැදිහත් වීමෙන් තොර ව සියලු දෙනාට නිදහසේ පිවිසිය හැකි වියයුතු මූලික සමාජීය අයිතියකි.

නිදහස් අන්තර්ජාලයක් සුරක්ෂිත කරගැනීමේ හැකියාව ඇති සමාජීය බලවේගය වන්නේ කම්කරු පන්තිය යි. අන්තර්ජාලය වාරනය කිරීමේ මූලික ඉලක්කය වන්නේ, කතිපයාධිකාරයේ පිලිවෙත්වලට එරෙහි ව කම්කරු-පන්තික විරෝධයක් මතුවීම වැලැක්වීම හෝ මර්දනය කිරීම යි. සංගත-රාජ්‍ය පාලනය පැටවීමට එරෙහි විරුද්ධත්වය සමාජ අසමානතාව, දරිද්‍රතාව, විරැකියාව හා යුද්ධයට එරෙහි අරගලය සමග බද්ධ කල යුතු ය.

ගූගල් සමාගමේ වාරනය පිලිබඳ ව ප‍්‍රථමයෙන් අනතුරු ඇඟවූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි. ධනවාදය අවසන් කර සමාජවාදය මගින් එය විස්ථාපනය කිරීමට ගෙනයන අරගලයෙන් වෙන් කල නො හැකි අන්තර්ජාලය මත අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සඳහා වන සටනෙහි පෙරමුනේ එය දිගට ම ක‍්‍රියාකාරී වනු ඇත.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: