ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරුවෝ ආන්ඩුවේ වැඩවර්ජන තහනම ප‍්‍රතික්ෂේප කරති

Sri Lankan railway workers defy government ban on strike

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 දෙසැම්බර් 12

හයවන දිනට එලඹ ඇති ජාතික පරිමාන දුම්රිය වැඩ වර්ජනය බිඳීම සඳහා ආන්ඩුව පැන වූ රුදුරු අත්‍යාවශ්‍ය සේවා නියෝග වර්ජනයේ නිරත කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකයන්, අධීක්ෂන නිලධාරීන්, සංඥා පරීක්ෂකවරුන්, දුම්රිය ගමන් පාලකයින් හා ප‍්‍රවේශපත් පරීක්ෂකයන් ඇතුලුව 5,000කට අධික කම්කරුවෝ වර්ජනයට සම්බන්ධ වී සිටිති. වර්ජනයේ ප‍්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දෛනික දුම්රිය වාර ගනන වන 350, මේ වනවිට 20ත් 30ත් අතර මට්ටමකට අඩු වී තිබේ.

දුම්රිය රියදුරු සංගමය වර්ජනය ආරම්භ කලේ දෙසැම්බර් 6 වන දා මධ්‍යම රාත්‍රියේ ය. දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය, දුම්රිය නියාමක සංගමය ඇතුලු අනෙකුත් සමිති ඊට පසුදින වර්ජනයට එක් වූහ. ශ්‍රේනිවලට අදාල වැටුප් විෂමතා නිවැරදි කරමින් වැටුප් වැඩිවීම් ලබා දෙන ලෙස වෘත්තීය සමිති විසින් සීමිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රධාන කර්මාන්ත අංශවල වැඩවර්ජන තහනම් කිරීමට ආන්ඩුවට බලය පැවරෙන අත්‍යාවශ්‍ය සේවා නියෝග සහිත අතිවිශේෂ ගැසට් නිවේදනයක් දෙසැම්බර් 8දා රාති‍්‍රයේ නිකුත් කලේ ය. මෙම අත්‍යාවශ්‍ය සේවා නියෝග නිකුත් කෙරුනේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු හා දුම්රිය රියදුරු සංගමයේ නායකයන් අතර තිරෙන් පිටුපස පැවති සාකච්ඡා බිඳවැටීමෙන් ඉක්බිති ව ය.

වැඩ වර්ජනය බිඳීම සඳහා සේවකයන් නෙරපීම හා අනෙකුත් මර්දනීය පියවර දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ගනු ඇතැයි ගැසට් නිවේදනයෙන් පසුව ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කලේ ය.

එමෙන් ම, සේවයට වාර්තා නො කරන කම්කරුවන්ට වැටුප් නො ගෙවන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා දෙසැම්බර් 8දා සඳහන් කලේ ය.

අද වර්ජනයට සහභාගි වන කම්කරුවන් සේවය අතහැර ගියාසේ සලකා සේවයෙන් නෙරපන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික‍්‍රම ඊයේ පැවසුවේ ය.

දුම්රියවලට හා මගීන්ට ආරක්ෂාව සැලසීමේ කඩතුරාවට මුවා වී ආන්ඩුව වර්ජනයට එරෙහි ව පොලීසිය මෙහෙයවා ඇත. මෙය, කම්කරු පන්තිය තුල වැඩෙන සමාජ හා දේශපාලන විරෝධය කෙරෙහි සිරිසේන ආන්ඩුවේ භීතිය පිලිබඳ තවත් ප‍්‍රකාශනයකි.

මෑත මාස කිහිපය තුල වරාය, තෙල්, විදුලි බල හා ඉන්ධන අංශවල කම්කරුවන්ගේ වර්ජන රැල්ලකට ආන්ඩුව මුහුන දී සිටී. අධ්‍යාපනය තවදුරටත් පුද්ගලීකරනය කිරීමට එරෙහිව ශිෂ්‍යයන් අවුරුද්ද පුරා විරෝධතාවල නිරත විය. ජූලි මාසයේ වැඩ වර්ජිත තෙල් සංස්ථා කම්කරුවන්ට විරුද්ධ ව සිරිසේන අත්‍යාවශ්‍ය සේවා නියෝගයක් පනවමින් ඔවුන්ට විරුද්ධ ව හමුදාව දිගේලි කලේ ය.

වර්ජනය බිඳීමේ උත්සාහයක් ලෙස දුම්රිය ධාවනය කිරීම සඳහා විශ‍්‍රාමිකයන් සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

දුම්රිය රියදුරු සහායක සංගමය වැනි ආන්ඩුවට ගැති වෘත්තීය සමිති මෙම පියවරයන්ට විවෘත ව ම සහයෝගය දෙති. සහායක සංගමයේ ප‍්‍රධාන ලේකම් ධනුෂ්ක පෙරේරා වැඩ වර්ජනය නීති-විරෝධී යයි සෙනසුරාදා ප‍්‍රකාශ කලේ ය. වර්ජනයට එරෙහි ව මැදිහත් වන ලෙස ඔහු ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

වර්ජනයට එරෙහි ප‍්‍රහාරය යුක්ති සහගත කිරීම පිනිස ආන්ඩුව ප‍්‍රකාශ කර ඇත්තේ වර්ජනය, එහි දේශපාලන විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රනයක් බව යි. වර්ජනය පිටුපස “සැඟවුනු හස්තයක්” ක්‍රියාත්මක වේදැයි විමර්ශනය කරන බව ජනාධිපති ලේකම් වියරු සහගත ලෙස කියා සිටියේ ය.

ආන්ඩුවේ නියම හොරනෑවක් ලෙස ක්‍රියාත්මක වන දිනමින පුවත්පත “එකකට පසු එකක් ලෙස එන වැඩවර්ජන හා විරෝධතා ආන්ඩුව අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් පෙන්නුම් කරන බව” සිකුරාදා ලීවේ ය. “වර්ජන පිටුපස දේශපාලන බලපෑමක් හා මැදිහත් වීමක්” තිබිය හැකි යයි පුවත්පත වැඩි දුරටත් සඳහන් කලේ ය.

යථාර්ථය නම්, වර්ජනය කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනේ අඩු වැටුප් හා දරිද්‍ර කොන්දේසිවලට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන කෝපය සමහන් කිරීමේ තැතක් ලෙස ය.

පසුගිය මාස කිහිපය පුරා විවිධ අංශවල වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජන කැඳවා එක්කෝ ඒවා දින ගනනක් තුල නතර කල හ; නැතහොත් ආන්ඩුවේ ඉල්ලීම පිට අතහැර දැමුනි. හැම විටම, වෘත්තීය සමිති විසින් ප‍්‍රවර්ධනය කෙරුනේ ආන්ඩුවට කරන වඳ ආයාචනා මගින් කම්කරුවන්ට යහපත් වැටුප් හා සේවා කොන්දේසි දිනාගත හැකිය යන ප්‍රෝඩාව ය.

දුම්රිය වෘත්තීය සමිති, තමන් නියෝජනය කරන්නේ යයි ව්‍යාජ ලෙස කියාපාන කම්කරුවන්ට එරෙහි ගනුදෙනුවක් සඳහා විවෘත ව ආන්ඩුවට ආයාචනා කරමින් සිටිති.

ඊයේ ආන්ඩුව සමග පැවති සාකච්ඡා යලි වතාවක් අසාර්ථක වීමෙන් අනතුරු ව දුම්රිය අධීක්ෂන නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න, වෘත්තීය සමිති “මස් රාත්තල ම ඉල්ලන්නේ නැතැ”යි මැසිවිලි නැගුවේ ය. අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත කල ආයාචනා ප‍්‍රතික්ෂේප වීම ගැන ඔහු වැලපුනේ ය.

වර්ජනයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති ඊයේ සවස පැවැත්වූ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ “අපි තර්ජනවලට බය නැත” යි ප‍්‍රකාශ කලේ ය. කෙසේ නමුත්, එම හුස්මට ම සිරිසේනට හා වික‍්‍රමසිංහට ආයාචනා කල දොඩංගොඩ, “පිලිගත හැකි” විසඳුමක් ආන්ඩුව විසින් යෝජනා කලහොත් තමන් “වර්ජනය නතර කිරීමට” සූදානම් බව ද කීවේ ය.

වෙනත් වචනවලින් කිවහොත්, වෘත්තීය සමිති වර්ජනය නතර කිරීමේ ක‍්‍රම සොයමින් සිටින්නේ එය කම්කරු පන්තියේ පුලුල් ව්‍යාපාරයක කේන්ද්‍රය බවට පත්වීම වැලැක්වීමට ය.

එසේ කිරීම මගින් වෘත්තීය සමිති ආධාර කරමින් සිටින්නේ 2014 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ක් වූ මූල්‍ය හිඟය, වියදම් හා වැටුප් කැපීම හරහා සියයට 3.5 තෙක් අඩු කිරීම ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කර තිබෙන කප්පාදු පියවර පැටවීමේ ආන්ඩුවේ පිලිවෙතට ය.

දුම්රිය දෙපාර්තමේන්තුව 2014 දී රුපියල් බිලියන 11ක (ඇමරිකානු ඩොලර් මිලියන 71ක) හා 2015 දී රුපියල් බිලියන 7.7ක අලාභ අත්විඳ ඇතැයි ආන්ඩුව කියා ඇත. දුම්රිය හා අනෙකුත් ප‍්‍රවාහන සේවාවන් පුද්ගලීකරනය කිරීම හා ඒවා මත පිරිවැය කප්පාදුව යුක්ති සහගත කිරීමට මෙවැනි ප‍්‍රකාශයන් උපයෝගී කරගනු ලබයි.

දුම්රිය හා බස් සේවය ඇතුලු ශ්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහන සේවය මගින් එක් කලෙක කම්කරුවන්ට හා දිලිඳු පුද්ගලයන්ට ලාබ ප‍්‍රවාහන පහසුකම් සම්පාදනය කෙරුනි. කවර හෝ අලාභයක් සුභසාධන පියවරක් ලෙස ආන්ඩුව විසින් දැරුවේ ය. එම බර දැන් දුම්රිය කම්කරුවන් හා මගීන් මත පැටවීමට ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටින්නේය.

දුම්රිය ප‍්‍රවාහනය ලාබ උපදවන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම, එය පුද්ගලික හිමිකරුවන්ට හා මෙහෙයුම්කරුවන්ට විකුනා දැමීමට පදනම සකසයි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කල ජාතික අයවැයට “රාජ්‍ය-පුද්ගල හිමිකාරීත්වය” ස්ථාපනය කිරීමේ කඩතුරාව යටතේ පුද්ගලීකරන පියවරයන් ඇතුලත් කර ඇත.

ආන්ඩුව දුම්රිය වර්ජනය දැකගන්නේ කම්කරු පන්තියට එරෙහි මෙම පෘථුල ප‍්‍රහාරයට තර්ජනයක් ලෙස ය. එබැවින් ආන්ඩුවේ ප‍්‍රහාරවලින් දුම්රිය කම්කරුවන් ආරක්ෂා කිරීමට සියලු කම්කරුවන් ඉදිරිපත් විය යුතු ය.

මෙම වැඩවර්ජනය අවධාරනය කරන්නේ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ ආඥාවන් පැටවීමට කැපවී සිටින වෘත්තීය සමිතිවලින් බිඳීමේ අවශ්‍යතාව යි. සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන හා කාර්මික අරගලයක් සම්බන්ධීකරනය කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු අවශ්‍යම ය.

අන් සියලට ම ත් වඩා ආන්ඩුවේ හා ධනපති පන්තියේ කප්පාදු න්‍යාය පත‍්‍රය පෙන්නුම් කරන්නේ සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක අවශ්‍යතාව යි. මහා සංගත හා බැංකු, ප‍්‍රවාහනය සහ අනෙකුත් සමාජීය අවශ්‍යතා මහජන හිමිකාරීත්වය හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබීම සමාජවාදී පිලිවෙත්වලට ඇතුලත් වේ.

Share this article: