කොරියානු යුද්ධය නතර කිරීමට “වැඩි කාලයක් ඉතුරුව නැති” බවට ඉහල පෙලේ ඇමරිකානු නිලධාරියා අනතුරු අඟවයි

Top US official warns “not much time” to prevent Korean war

පීටර් සිමන්ඩ්ස් විසිිනි, 2017 දෙසැම්බර් 4

උතුරු කොරියානු මිසයිල වැඩසටහන පිලිබඳව පැනනැගී තිබෙන උග‍්‍ර ගැටුම සාමකාමීව විසඳා ගැනීමේ කුමන හෝ ව්‍යායාමයක් සඳහා කාලය ඉක්ම යමින් ඇති බවට ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් සෙනසුරාදා (2)දා අනතුරු ඇඟවීය.

“එක්සත් ජනපදයට ප‍්‍රධාන හා ක්ෂනික තර්ජනය” එල්ල වන්නේ උතුරු කොරියාවෙන් බව ප‍්‍රකාශ කරන මැක්මාස්ටර්, “මම හිතන්නේ එය දිනක් දිනක් පාසා ඉහල යන බවය, එහි තේරුම, සැබවින්ම අප තරඟයක යෙදී සිටින බවයි, මෙම ගැටලුව විසඳා ගැනීමට හැකි තරඟයක අපි යෙදී සිටින්නෙමු” යයි පැවසීය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ: “මිසයිලයක් දියත් කරන හා න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකරන සෑම මොහොතකම ඔහු ඉහල තැනකට පත්වන” බවයි.

මැක්මාස්ටර් මෙම අදහස් ප‍්‍රකාශ කලේ, කැලිෆෝනියාවේ රේගන් ජාතික ආරක්ෂක සංසදයේදීය. ඒ පසුගිය සතියේදී උතුරු කොරියාව, මහාද්වීපික ඇමරිකාව දක්වා යැවීමේ හැකියාව සහිත අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බැලීමෙන් පසුවය.

ඇමරිකාවේ බී1-බී ලාන්සර් මූලෝපායික බෝම්බ හෙල යානා සමග සැඟවී යා හැකි ප‍්‍රහාරක යානා (F-35B Lightening stealth fighters) ජපාන මුහුදට ඉහලින් ගුවන්ගතකර තිබියදී,

සැබෑව නම්, ට‍්‍රම්ප් ආන්ඩුවේ නිලධාරීන් උතුරු කොරියානු න්‍යෂ්ටික බලය පුම්බා දක්වන්නේ, පියොංයෑන් තන්ත‍්‍රයට එරෙහි මිලිටරි ප‍්‍රචන්ඩත්වය යුක්ති සහගත කිරීමටය. උතුරු කොරියාව නවතම මිසයිලයේ දුර පරිමානය සැක සහිතය. මක්නිසා ද යත්, න්‍යෂ්ටික බෝම්බයක් ගෙනයාමේ එහි ධාරිතාව හා දැරීමේ ශක්තිය නොදන්නා බැවිනි. තව ද එය ගුවනේදී බිඳී ගිය අතර ඉන් ඇඟවුම් කලේ, තවමත් පෘතුවි කක්ෂයට යලි පිවිසීමේ හැකියාව සහිත මෙවලමක් උතුරු කොරියාව සතුව නොමැති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආන්ඩුව, දැවැන්ත මිලිටරි ප‍්‍රහාරයක් ද ඇතුලුව, “ඕනෑම දේකට සූදානම්” බවට යලි යලිත් ප‍්‍රකාශ කර ඇත. පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකී හැලේ අනතුරු ඇඟවූයේ, “සැකයක් ඇතිකර නොගන්න, යුද්ධයක් ඇතිවුවහොත් උතුරු කොරියානු තන්ත‍්‍රය මුලුමනින්ම විනාශ වනු ඇත” යනුවෙනි.

එක්සත් ජනපදය, දකුනු කොරියාව සමග තවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද ආරම්භ කරයි. එයට ප‍්‍රහාරක යානා 230ක් හා 12000ක හමුදා භට සංඛ්‍යාවක් සම්බන්ධ වේ. එය, උතුරු කොරියාවට එරෙහි පෙර සූදානමක්ය යන්න යන්තමින් සැඟවුන මෙහෙයුමකි. උතුරු කොරියාවට එරෙහි කුමන හෝ ප‍්‍රහාරයක පලමු රැල්ල සඳහා යොදාගන්නා අති නවීන සැඟවී ගමන් කල හැකි යූඑස් එෆ්-22 රැප්ටර්ස් යානා හයක් ද ඊට අයත්ය.

දකුනු කොරියානු ආරක්ෂක නිලධාරියෙකු සීඑන්එන් වෙත පවසා ඇති පරිදි, සතියක් තිස්සේ පැවැත්වෙන විජිලන්ට් ඒස් 18 ගුවන් සටන් අභ්‍යාසයට සම්බන්ධ වීම පිනිස ඇමරිකාව, ඉතා ඉහලින් පියාසර කරන ප‍්‍රහාරක යානා, බෝම්බ හෙලන යානා හා සහායක ගුවන් යානා දුසිම් ගනනක් එවා ඇත. මෙයට යූඑස් එෆ්-22 හයක්, ඊඒ-18ජී හයක් මෙන්ම එෆ්-15 සී හා එෆ්- 16 යානා 10ට වැඩි සංඛ්‍යාවක් ද ඇතුලත්වේ.

එසේම පෙන්ටගනය සිය මිසයිල් නාශක හා අනතුරු ඇඟවීමේ පද්ධතීන් ද වැඩි කර තිබේ. මයික් රොගර්ස් හා ඇඩම් ස්මිත් යන කොන්ග‍්‍රස් සභිකයන් දෙන්නා 2දා පවසා තිබුනේ, මිසයිල් ආරක්ෂක ඒජන්සිය, තාඩ් (THAAD) ආරක්ෂක මෙවලම් සවිකිරීම පිනිස ඇමරිකාවේ බටහිර වෙරල තීරයේ ස්ථාන සොයමින් සිටින බවය. ගොඩබිම සවිකරන බැලිස්ටික් මිසයිල් ප්‍රතිරෝධී දිගු දුර මෙඩිකෝස් ආරක්ෂක මිසයිල දැනටමත් ඇලස්කාවේ හා කැලිෆෝනියාවේ සවිකර තිබේ.

හවායි බලධාරීන් විසින් මාසික න්‍යෂ්ටික අනතුරු ඇඟවීමේ පරීක්ෂන යලි පටන්ගෙන තිබීම, ඇමරිකාව යුද්ධයට සූදානම් වන බව පෙන්වන තවත් ඇඟවුමකි. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව පලමු වරට 1දා, ප‍්‍රහාරයක අනතුරු ඇඟවීමේ හඬ නිකුත්කර තිබේ.

පියොන්යෑනය ඇමරිකානු-දකුනු කොරියා ගුවන් අභ්‍යාස හෙලාදැක ඇත. රොඩොන් සින්මුන් නිල මාධ්‍යයේ පලවූ වාර්තාවක, යුද අභ්‍යාස හඳුන්වා තිබුනේ, ඕනෑම මෙහොතක න්‍යෂ්ටික යුද්ධයකට තුඩුදිය හැකි උතුරු කොරියාවට එරෙහි “විවෘත හා පූර්න ප‍්‍රකෝපකරනයක්” ලෙසය.

ඇමරිකාව, උතුරු කොරියාව මුල්ලකට හේත්තු කර ඇත. ගෙල සිරකිරීමේ ආර්ථික සම්බාධක ද උතුරු කොරියානුතන්ත‍්‍රය තම න්‍යෂ්ටික හා මිසයිල් වැඩසටහන අත්හිටුවා, න්‍යෂ්ටික අවි විනාශ කර, වොෂින්ටනයේ ඉල්ලීමට මුලුමනින්ම යටත් නොවන්නේ නම්, එරටට එරෙහි යුද්ධයේ තර්ජන ඇමරිකාව විසින් එල්ල කර තිබේ. ඉරාක නායක සදාම් හුසේන් හා ලිබියානු නායක මුවම්මර් ගඩාෆිට අත්වූ මාරක ඉරනම ගැන පියොංයෑනය හොඳින් දැන සිටියි. ඔවුහු ඊනියා ජන ඝාතක අවි පිලිබඳව ඇමරිකාව එල්ල කල පීඩනය හමුවේ යටත්වූහ.

ට‍්‍රම්ප් පාලනය ඉවබව නැතිව, ආසියාව හා ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ මුවවිට තබා ඇත. ලෝකයේ බලගතුම මිලිටරිය හෝ ඇමරිකාවේ අවි ගබඩාවල ඇති දහස් ගනන් න්‍යෂ්ටික බෝම්බ හමුවේ, උතුරු කොරියාව කිසිසේත්ම සමාන තත්වයක නැත. එරට දේශසීමා ආසන්නයේ නිමක් නැති ඇමරිකානු යුද අභ්‍යාස වලට මුහුනපා සිටින උතුරු කොරියානු ජෙනරාල්වරු, තමන් අතුගා දැමීමට පෙර පලමුවෙන් පහර දිය යුතු යයි තීරනය කල හැක.

කාලය අවසන් වෙමින් ඇති බවට වොෂින්ටනය කරන තර්ජන, සිතාමතා හෝ අහම්බෙන් විය හැකි සිද්ධියකින්, යුද්ධය ඇවිල යාමේ තර්ජනය උග‍්‍ර කරයි.

”සන්නද්ධ ගැටුමකින් මෙහා මෙම ගැටලුව විසඳිය හැකි ක‍්‍රම තිබෙන නමුත් එය තරඟ දිවීමකි, ඔහු (කිම් ජොන්උන්) වඩ වඩාත් සමීප වෙමින් සිටින අතර, වැඩි කාලයක් ඉතුරුවී නැත.” මැක්මාස්ටර් 2දා කියා සිටියේය.

කෙසේ වෙතත් මැක්මාස්ටර්ගේ ”සාමකාමී” විසඳුම්, උතුරු කොරියාව පූර්න ආර්ථික සිර කිරීමකට ගොදුරු කිරීමට නොඅඩු දෙයකි. එය වනාහි, පියොංයෑනය මංමුලා සහගත ලෙස ප‍්‍රතික්‍රියා දැක්විය හැකි යුද ප‍්‍රකෝපකරනයකි. ”තව තවත් දරුනු සම්බාධක පැනවිය යුතු” බව මැක්මාස්ටර් කියා සිටින අතර, “දැනට පනවා තිබෙන සම්බාධක මුලුමනින්ම ක්‍රියාවට නැගිය යුතුය.”

දැනටමත් පනවා තිබෙන සම්බාධක වලට, උතුරු කොරියාවේ අපනයන මුලුමනින්ම පාහේ තහනම් කිරීම, එරට ආනයන, මූල්‍ය හා ආයෝජන වලින් සැලකිය යුතු ප‍්‍රමානයක් නතර කිරීම ඇතුලත් වේ. ඇමරිකාව දැන් කියන්නේ චීනය උතුරු කොරියාවට යන සියලු බලශක්ති අපනයන කපාහල යුතු බවය. එය පියොංයෑනයේ ක්ෂනික දේශපාලන හා ආර්ථික අර්බුදයක් අවුලුවන පියවරකි.

චීනය ඒකපාර්ශවිකව උතුරු කොරියාවට කරන සිය තෙල් අපනයන නතර කල යුතු බව මැක්මාස්ටර් පැවසුවේ ය. “කිසිවෙකුටත් ඉන්ධන නැතිව මිසයිලයක් විදිය නොහැකිය.” තමා හා ට‍්‍රම්ප් සිතන්නේ සියයට සියයක තෙල් තහනමක් ”මේ මොහොතේ සෑහෙන” බවයයි ඔහු පැවසීය.

සිය උතුරු දේශසීමාවේ යුද්ධයක කොන්දේසි වලට මුහනපා සිටින චීන ආන්ඩුව, අකැමැත්තෙන් වුවත් ඇමරිකාවේ පූර්ව සම්බාධක වලට එකඟ විය. එහෙත් චීනයේ දොරකඩ ඇමරිකානු ගැති තන්ත‍්‍රයක් ඇටවීම පිනිස වොෂින්ටනයට ගසාකෑ හැකි, පියොංයෑනයේ අර්බුදයකට තුඩුදෙන පියවර කෙරෙහි බීජිනය සතුරුය.

උතුරු කොරියාව සමග තීව්‍ර කෙරෙන එක්සත් ජනපද ගැටුම, වඩා පුලුල් ඇමරිකානු මූලෝපායක කොටසකි. එය ඇරඹුනේ, චීනයට ආර්ථික හා මූලෝපායික වශයෙන් වල කැපීමට ඉලක්ක කල ඔබාමා පාලනයේ ”ආසියාවට හැරීම” සමගය.

සමාජ අසමානතාව කෙරෙහි නැගී එන නොසතුට හා විරුද්ධත්වය මධ්‍යයේ, වොෂින්ටනය තුල දේශපාලන කාකොටා ගැනීම් උග‍්‍ර වීම මගින් යුද්ධයේ අන්තරාය දැඩි කෙරේ. සෑම පැත්තකින්ම කොටුවී සිටින ට‍්‍රම්ප්, දැවැන්ත සමාජ හා දේශපාලන ආතතිය, මංමුලා සහගත ලෙස බාහිර සතුරෙකුට විරුද්ධව හරවන ව්‍යසනකාරී යුද්ධයක් දියත් කිරීම, අඩුම නපුර ලෙස නිගමනය කල හැකිය.

Share this article: