ශ‍්‍රී ලංකාව: උතුරේ “විරුදින සැමරුම” බංකොලොත් ජාතිකවාදයට පන පිඹීමේ උත්සාහයකි

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ සමන් ගුනදාස විසිනි, 2017 දෙසැම්බර් 17

උතුරේ ප‍්‍රදේශ කිහිපයක දෙමල වැසියෝ දහස් ගනනක් නොවැම්බර් 27 දින පැවැත්වූ “විරුදින” සැමරුමට සහභාගි වූහ. යුද්ධයේ අවසන් දින කිහිපය තුල ඝාතනය කල දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) නායක වී. ප‍්‍රභාකරන්, විරුදිනය ප‍්‍රකාශයට පත්කලේ, යුද්ධය අවධියේ හමුදාව විසින් මරා දමන ලද එල්ටීටීඊ සාමාජිකයන් සිහිපත් කිරීම සඳහා ය. ශංකර් නමැති එල්ටීටීඊ සාමාජිකයා 1982 නොවැම්බර් 27 දා මරා දැමුනු ලැබීම එදින තෝරා ගැනීමට හේතුව බව ප‍්‍රකාශවේ.

ප‍්‍රභාකරන්ගේ කාලයේ විරුදිනය යොදාගනු ලැබුවේ විශේෂයෙන් ම, එක්සත් ජනපදය ඇතුලු ජාත්‍යන්තර බලවතුන්ට ආයාචනා කරමින් එල්ටීටීඊය ගෙනගිය බෙදුම්වාදී උද්ඝෝෂනය නගා සිටුවීමට ය. ඉන්දියාව ද ඇමරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර බලවතුන්ගේ ද පිටුබලය ඇතිව හමුදාව, 2009 මැයි මාසයේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව, මෙම වාර්ෂික සැමරුම පලල් වශයෙන් සිදු නොවීය.

එහෙත් මෙවර කෝපායි, කිලිනොච්චි, මුලතිවු, මන්නාරම හා වව්නියාව ආදී ප‍්‍රදේශවලින් පැමිනි කම්කරුවෝ, ගොවියෝ, ශිෂ්‍යයෝ හා තරුනයෝ දහස් ගනනක් යුද්ධයේ දී මරුමුවට පත් එල්ටීටීඊ සාමාජිකයන්ගේ සොහොන් වෙත රැස්වූ හ.

සාමාන්‍ය මහ ජනයා මෙම සැමරුමට සහභාගි වූයේ, හුදෙක් යුද්ධයේ දී මැරුනු පුද්ගලයන් සිහිපත් කිරීමට පමනක් නො ව, මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජීය අයිතීන්වලට එකදිගට ම පහර එල්ල කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව කෙරෙහි අප‍්‍රසාදය පෙන්නුම් කිරීමට ය. එහෙත්, මෙම සැමරුම් සිද්ධි සංවිධානය කල පුද්ගලයෝ එය යොදාගත්තේ, බංකොලොත් දෙමල ජාතිකවාදය හුවාදැක්වීම පිනිස ය.

මිලිටරිය සීරුවෙන් තැබූ ආන්ඩුව මහජනයා බියවැද්දීම පිනිස පොලීසියේ නිවාඩු අවලංගු කලේ ය. විශේෂයෙන් ම කෝපායි ඇතුලු ස්ථානවල දී සහභාගි වූවන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ගනිමින් ඔත්තු බැලීම සඳහා මිලිටරි බුද්ධි අංශවල බොහෝ දෙනෙකු යොදවා තිබුනි.

2015 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ ආන්ඩුවේ නිර්දය මර්දනයට ඇඟිල්ල දිගු කල සිරිසේන, දෙමල ජනයාගේ “සංහිඳියාව”, දශක තුනකට ආසන්න යුද්ධයේ දී අතුරුදන් වූවන් ගැන සෙවීම, විනාශ කෙරුනු ජීවන හා සමාජ කොන්දේසි වැඩිදියුනු කිරීම ආදි පොරොන්දු දුන්නේ ය. කෛරාටික ලෙස ඔහු මෙම පොරොන්දු දුන්නේ වුව ද රාජපක්ෂ තන්ත‍්‍ර ඇතුලු මර්දනයට වගකිව යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප‍්‍රමුඛ ආන්ඩුවල ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු ලෙස ඔහු කටයුතු කර ඇත. ඒ මර්දනයට ඔහු ද වගකිව යුතුය.

සිරිසේන රටෙහි සෑම ජනකොට්ඨාශයකට ම මේ වර්ගයේ පොරොන්දු දෙනු ලැබුවේ, ඉන්දියාවේ ද උදව්ව ඇතිව එක්සත් ජනපදය විසින් කොලඹ සිදුකල තන්ත‍්‍ර මාරුව වහංගු කිරීමට ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කර සිරිසේන බලයට පත්කිරීම පිනිස තන්ත‍්‍ර මාරුව සිදුවිය. රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලනයට මෙම බලවත්තු විරුද්ධ නො වූ නමුත් ඔහු චීනය සමඟ ගොඩනගාගෙන තිබූ සමීප සබඳකම් නොරිස්සූ හ. එක්සත් ජනපදයේ උද්ඝෝෂනයට සහයෝගය දුන් දෙමල ජාතික සන්ධානය (දෙජාස) එමගින් චීනයට එරෙහි භූ-දේශපාලන හා මිලිටරි පියවර සමග පෙල ගැසුනි.

සිරිසේන ජනාධිපති ධුරයට පත් ව වසර තුනකට වඩා ගෙවීගොස් තිබේ. උතුරු හා නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලාගැනීම හා පාලනය අඛන්ඩ ව පවතියි. යුද සමයේ අල්ලාගත් බොහෝ ඉඩකඩම් තවමත් මිලිටරිය යටතේ පවතී. වොෂින්ටනයේ හා අනෙකුත් ප‍්‍රධාන බලවතුන්ගේ උදව්වෙන් ආන්ඩුව යුද අපරාධ පිලිබඳ විමර්ශන යටපත් කිරීමට සමත් විය.

නිවාස අහිමි වූ දහස් ගනනක් මූලික පහසුකම්වලින් පවා තොර ව තවමත් තාවකාලික මඩුවල ජීවත් වෙති. ‘එල්ටීටීඊය යලි හිසඔසවමින් සිටියි’ යන කඩතුරාව යටතේ, සෝදිසි මෙහෙයුම් හා බියවැද්දීම් දිගට ම ගෙන යනු ලැබේ. පසුගිය වසරක කාලය තුල පමනක් පොලීසිය විසින් දෙමල තරුනයන් සිවුදෙනෙකු මරා දමනු ලැබී ය. දෙමල දේශපාලන සිරකරුවෝ දිගට ම බන්ධනාගාරවල කල් ගෙවති.

මහජනයාගේ ජීවන හා සමාජ කොන්දේසිවල කිසිදු වැදගත් වර්ධනයක් ඇතිවී නැත. යුද්ධයෙන් ඇති කෙරුන විනාශය මතට ආන්ඩුව රටපුරා ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරනු ලබන කප්පාදු වැඩ පිලිවෙල පැටවී ඇත.

දෙමල, සිංහල හා මුස්ලිම් යන සියලු ම කම්කරුවන් හා දුගී ජනයා මත ආන්ඩුව එල්ල කරන සෑම ප‍්‍රහාරයකට ම දෙජාස සෘජු ව වගකිව යුතු ය.

දෙජාස නායකයෙකු ද වන උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන්, සැමරුම් දිනයේදී නරුම ලෙස මාධ්‍ය අමතා මෙලෙස කීවේ ය: “ආන්ඩුවේ ප‍්‍රමානවත් නො වන විසඳුම් සමග දෙමල නායකයන් පෙලගැසී සිටින නිසා විමුක්තිකාමීන් සිහිපත් කරමින් මහජනයා මානසික ව තෘප්තියට පත් වෙනවා.” එම හුස්මෙන් ම ආන්ඩුව ආරක්ෂා කරමින් ඔහු කීවේ මහජනයා සොහොන් වෙත රැස් වුව ද බියවැද්දීම් සිදු ව ඇත්තේ අල්ප වසයෙන් බව යි.

මහජනයා අතර අතෘප්තිය වර්ධනය වන තතු තුල දෙජාස හවුල්කරුවෙක් වන ටෙලෝ සංවිධානය, කේ. ගජේන්ද්‍රනකුමාර්ගේ දෙමල ජාතික මහජන පෙරමුන (ජීඑන්පීඑෆ්) හා සිවිල් සංවිධානය කිහිපයක් ද එක් කරගෙන දෙමල ජනතා සංසදය (ටීපීසී) නමැති පෙරමුනක් තැනීමට විග්නේස්වරන් මූලිකත්වය ගත්තේ ය. දෙජාස ද උතුරු හා නැගෙනහිර පලාත්වල අනෙකුත් පක්ෂ ද තරයේ අපකීර්තියට පත් ව තිබෙන තතු යටතේ තනා ඇති මෙම පෙරමුන වනාහි මහජන විරෝධය දෙමල ජාතිකවාදය තුල සිරකිරීමට ඇටවූ තවත් උගුලකි.

යුද්ධයේ දී මරුමුවට පත් ප‍්‍රභාකරන් හා එල්ටීටීඊ සාමාජිකයන් හුවා දක්වන ලිපි කිහිපයක් දෙමල මාධ්‍ය තුල පල කරනු ලැබිනි. ඔවුන් දැනුවත් ව ක්‍රියාකරමින් සිටින්නේ රැඩිකලීකරනය වෙමින් සිටින කම්කරුවන් හා තරුනයන් දෙමල ජාතිකවාදය වෙත හරවා යැවීමට යි.

ටෙලෝ නායකයෙක් වන එම්. කේ. සිවාජිලිංගම් මෙම සැමරුම්වල දී වාචාල කතා පැවැත්වීය. ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරේ දී ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය: “‘දෙමල ජනයාගේ ආරක්ෂාව හා නිජබිම’ වෙනුවෙන් සටන් කොට දිවිපිදූ මෙම ශ්‍රේෂ්ඨ විරුවන්ට අපි හිස නමා ආචාර කරනවා.” තව දුරටත් ඔහු මෙලෙස කීවේ ය: “දෙමල ජනයාට අවශ්‍ය වන්නේ දෙමල ජාතිකවාදය හා ස්වයං-නීර්නය මත පදනම් වූ විසඳුමක්.”

සිවාජිලිංගම් ප‍්‍රතිරාවය කරන්නේ, මෙහි ද ජාත්‍යන්තරව ද බංකොලොත් හා ප‍්‍රතිගාමී යයි තහවුරු කෙරුනු “විසඳුම” කි. ආන්ඩුවට සෘජු ව සහයෝගය දෙන නිසා දෙජාස කම්කරුවන් හා තරුනයන් අතර අපකීර්තියට පත්වෙද්දී සිවාජිලිංගම්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, විවිධ ශාස්ත‍්‍රාලිකයන් හා ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙක් මංමුලා සහගත ලෙස බංකොලොත් දෙමල ජාතිකවාදය දිරිමත් කිරීමට උත්සාහ දරමින් සිටිති. දෙජාස හා අනෙක් දෙමල නායකයන් මෙන් ම මොවුහු ද වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තිය එකමුතු කිරීමට පවතින වෛෂයික කොන්දේසි කෙරෙහි බියපත්ව සිටිති.

කම්කරුවන්, තරුනයන් හා දිලිඳු ජනයා අතරින් ජාමූඅ කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත්‍රී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් කෙරෙහි විරෝධය වැඩෙන තතු තුල, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද රාජපක්ෂ හා බෞද්ධ භික්ෂූන් නායකත්වය දෙන විපක්ෂ කන්ඩායම ඇතුලු කොලඹ ධනපති දේශපාලන සංස්ථාපිතය, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය දිරිමත් කරමින් සිටී. ආන්ඩුව පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් යොදාගනිද්දී රාජපක්ෂගේ කන්ඩායම සැරසෙන්නේ, කම්කරු පන්තිය තලා දැමීම සඳහා වර්ගවාදය අවුලුවමින් සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය හෙලාදමා බලයට පත්වීමට යි.

“නිජබිම රැකීම” යන වර්ගවාදී උද්ඝෝෂනය හා ස්වයං-නීර්නය සඳහා පෙනී සිටීම, කොලඹ පාලක ප‍්‍රභූවේ වාර්ගික වෙනස්කම් හා මර්දනයට විරුද්ධ ව කම්කරුවන් හා තරුනයන් සෙවිය යුතු “විසඳුමේ” සෘජු ප‍්‍රතිවිරුද්ධය යි. එමගින් දෙමල නායකයන් මංමුලා සහගත ලෙස කි‍්‍රයාකරන්නේ, එල්ටීටීඊයේ බෙදුම්වාදී උද්ඝෝෂනයෙහි පරාජයෙන් අවශ්‍ය පාඩම් උකහා ගැනීමෙන් කම්කරුවන් හා තරුනයන් ව වලකාලීමට යි.

එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් අනතුරු ව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මෙසේ සඳහන් කලේ ය: “දෙමල ජනයා මුහුන පා සිටින දුක්ගැහැට සහ එල්ටීටීඊ සටන්කරුවන්ගේ කෲර ඉරනම කෙරෙහි වන අනුකම්පාව මගින් යමෙක්, අතිමූලික පාඩම් උකහා ගැනීමකින් වැලකිය යුතු නැත.

“අවසන් විග‍්‍රහයේ දී, එල්ටීටීඊය අත් විඳි ව්‍යසනය වනාහි, කිසිදු ප‍්‍රගතිශීලී ආර්ථික හෝ දේශපාලන තර්කනයකින් තොර ඉදිරිදර්ශනයක ප‍්‍රතිවිපාකය යි. එනම්, ආන්ඩුවල දෙමල-විරෝධී වෙනස්කම් කිරීමට පිලිතුර, කුඩා දිවයිනේ එක් කොනක දෙමල සුලුතරය සඳහා වාර්ගික ව පදනම් කල වෙන ම රාජ්‍යයක් නිර්මානය කිරීමේ ඉදිරිදර්ශනය යි.” (ශ්‍රී ලංකාව: එල්ටීටීඊයේ පරාජය හා ජාතිකවාදයේ ආවෘත අන්තය, 2009 මැයි 21, )

එම ඉදිරිදර්ශන ලිපිය තුල ම ලෝසවෙඅ මෙසේ කීවේ ය: “සිංහල කම්කරු හා පීඩිත ජනතාවන්ට දේශපාලනික ව ආමන්ත්‍රනය කිරීමට හෝ දෙමල-විරෝධී වර්ගවාදය ඇවිස්සීමට සිංහල ධනපති පන්තිය නිමක් නැතිව දරන ප‍්‍රයත්නයන්ට ප‍්‍රතිරෝධය දැක්වීමට මෙම ව්‍යාපාරය තරයේ ම අසමත් විය. එම බෙදුම්වාදී දැක්ම නිසා, එල්ටීටීඊය, දකුනු ප‍්‍රදේශයේ සිංහල කම්කරුවන්ට හා තරුනයන්ට ද ඉන්දියාවේ හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියට ද වර්ගවාදී වෙනස්කම් කිරීම් හා යුද්ධයට විරුද්ධ ව කිසිදු ආයාචනයක් කලේ නැත. ඒ වෙනුවට එය, ඉන්දියානු පාලක ප‍්‍රභූව හා අධිරාජ්‍යවාදී බලවතුන් මත විශ්වාසය තැබී ය.

නිවැරදි බව සනාථ කෙරී ඇත්තේ, හජාජාක හා එහි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ඉදිරිදර්ශනයයි.

දෙමල ජනයාට එරෙහි වාර්ගික වෙනස්කම් හා යුද්ධයට විරුද්ධ වුනු සසප, උතුරින් හා නැගෙනහිරින් ශ්‍රීලංකා හමුදා කොන්දේසි විරහිත ව ආපසු කැඳවන ලෙස බලකලේ ය. ජාතික බෙදුම්වාදී ක්‍රියාමාර්ගය වනාහි කම්කරුවන් හා දුගී ජනයා සූරාකෑම සඳහා වෙන ම රාජ්‍යයක් ඇටවීම ඉලක්ක කරගත්තක් බව එය පෙන්වා දුන්නේ ය. සසප සටන් වැදුනේ, පොදු හතුරා වන ධනවාදයට විරුද්ධ ව දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ය.

එල්ටීටීඊයේ පරාජයේ පටන් ගෙවී ඇති කාලසීමාව කම්කරු පන්තියට වාර්ගික රේඛා කපාගෙන එක්සත් වියහැකි එක ම ක්‍රියාමාර්ගය මෙය බව සනාථ කර ඇත. එක්සත් ජනපදයේ යුද සැලසුම් හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා පිනවමින් කොලඹ පාලක ප‍්‍රභූව තවත් දකුනට ගොස් තිබේ. තමන්ගේ ම අවශ්‍යතා සහිත දෙමල ධනේශ්වරය එම මාවතේ ම පිය නගියි.

සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීමට සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වෙත බැඳෙන ලෙස සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්, තරුනයන් හා සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: