ලංකාවේ නිදහස් වෙලඳ කලාප සමිති කම්කරුවන්ට තවත් උගුලක් අටවයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 පෙබරවාරි 14

යුරෝපා සංගමයෙන් ලංකාවට යලි ලබා දීමට යන ජීඑස්පී ප්ලස් බදු සහනය ඇඟලුම් ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ගේ හා රටේ ජනතාවගේ ජයග‍්‍රහනයක් යයි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ගෙන යන ප‍්‍රචාරයත් සමග පෙල ගැසෙමින් ලංකාවේ වෘත්තීය සමිති නිලධරය එහි වාසිය නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන්ට ලබා දීමට කටයුතු කරන බවට තවත් ප්‍රෝඩාවක් ආරම්භ කොට තිබේ.

ආන්ඩුවේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට අයත් නිදහස් සේවක සංගමය (නිසේස), නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සංගමය (නිවෙකපොසේස), නව සමසමාජ පක්ෂයට (නසසප) අයත් එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වෙලඳ කාර්මික හා පොදු සමිතිය (සීඑම්යූ) යන වෘත්තීය සමිති කිහිපයක නායකයන් ”ඉන්ඩස්ට්‍රි ඕල් ශ්‍රී ලංකා කවුන්සිලය” නමින් පසුගිය මාසයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ ප‍්‍රකාශ කර ඇත: ”පෙර ජීඑස්පී ප්ලස් ලැබුනු අවස්ථාවල දී ෆැක්ටරි හිමියන්ගේ ලාභ සියයට 30 න් ඉහල ගිය මුත් කව්රුත් දන්නා පරිදි ඉන් ස්වල්පයක් හෝ කම්කරුවන්ට හිමි නොවීය. මේ වතාවේ අපි අරගල කරන්නේ එම වාසියේ සාධාරන පංගුවක් කම්කරුවන් වෙත ලබා දීමටයි”.

නසසප ලීනස් ජයතිලක, නිසේසයේ ලෙස්ලි දේවේන්ද්‍ර හා නිවෙකපොසේසයේ ඇන්ටන් මාකස් ඇතුලු මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ මෙම සමිති නායකයන් සියලු දෙනා අධිරාජ්‍ය ගැති වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට සෘජුව වැඩ කලවුන්ය. බලයට පත් වී වසර දෙකක් ගත වන විට වර්ධනය වන ආර්ථික අර්බූදය තුල කම්කරු පන්තියේ නොසන්සුන්තාවය නිසා ආන්ඩුව මෙන්ම වෘත්තිය සමිති නිලධරය හා ව්‍යාජ-වාම පක්ෂ එක සේ කුලප්පු වී සිටිති.

යුරෝපා සංගමය ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය දීමට යෝජනා කර ඇත්තේ ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන හෝ කම්කරුවන්ගේ අයිතීන් ගැන කැක්කුමකින් නොවේ.

යුරෝපා සංගමය 2010 දී මෙම සහනය අහෝසි කලේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනය සමග ගොඩනගා ගනිමින් සිටි සම්බන්ධතා බිඳ දැමීමට ඇමරිකාව ගෙන ගිය බලපෑම් දැමීමට සහයෝගය දීම සඳහා ය. ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට හා වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්නත් ඔහු චීනයට ලංවීමට විරුද්ධ වූහ. දැන් යුරෝපා සංගමය ජීඑස්පී සහනය දීමට මූලික හේතුවක් වන්නේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව චීනයෙන් දේශපාලනිකව හා මිලිටරි සම්බන්ධතා අතින් දුරස්තවීමට තීන්දු කිරීමයි.

යුරෝපා සංගමය වේවා ඇමරිකාව වේවා ජීඑස්පී සහන ක‍්‍රමයක් හඳුන්වා දීමට මූලික හේතුව වූයේ එම රටවල මහා ඇඟලුම් අලෙවි සමාගම්වල ලාභ තර කර ගැනීම සඳහා අඩු දියුනු රටවල අඩු ශ‍්‍රම වියදමකින් නිපයන අඩුමිල භාන්ඩ නාමික බද්දකින් ආනයනය කර ගැනීමට කොන්දේසි සකස් කර දීමයි. මෙම ශ්‍රම කොල්ලයට සහභාගි වී අඩු මිලට භාන්ඩ අපනයෙන් අඩු දියුනු රටවල ධනපතියෝ ද ලාබ තර කර ගනිති.

ලංකාවේ ආන්ඩුව තම මූලෝපායික උවමනාකම්වලට නතුවූ තතු යටතේ, යුරෝපා සංගමය බදු සහනය යලි ලබා දීමට යන්නේ අවපාත කොන්දේසි නිසා බැට කන එම රටවල ඇඟලුම් අලෙවි සමාගම්වලට වාසිදායක කොන්දේසි අලුතින් සකස් කර දීමටයි. ලංකාවේ අපනයන සමාගම් මින් ලැබෙන වාසිය අත් කර ගැනීමට දැන් වියට්නාමය, බංග්ලාදේශය හා කාම්බෝජය ඇතුලු රටවල් සමග බෙලි කපා ගන්නා තරඟය තවත් ගැඹුරු කර ගැනීමට හැරෙනු ඇත.

ලංකාවේ සමාගම් මේ තියුනු තරඟය මධ්‍යයේ ක්‍රියා කරනු ඇත්තේ වෘත්තීය සමිති ප‍්‍රකාශ කරන පරිදි කම්කරුවන්ට ”වාසි” ලබා දීමට නොව ඔවුන්ගේ කොන්දේසි තවතවත් පල්ලමට ඇද දැමීමටයි.

ලංකාවේ නිදහස් වෙලඳ කලාපවල කම්කරුවන් ඉදිරියේ මතුවන මෙම අන්තරායන් වසංකර ජීඑස්පී ප්ලස් සහන ලබා ගැනීමේ නමින් ලංකාවේ සමාගම් සමග කේවල් කිරීමක ඔවුන් පටලවා තැබීමට වෘත්තීය සමිති සූදානම් වෙයි. මෙහිදී, ජීඑස්පී බදු සහනය පැවති වසරවල මේ සමිතිවල ක්‍රියාකලාපය කම්කරුවන් යලි සිහියට නගා ගැනීම වටී.

2008 ලෝක පරිමාන ධනේශ්වර මූල්‍ය පද්ධතියේ බිඳවැටීම සමග අපනයන කඩාවැටීම මධ්‍යයේ එවක බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් යලි පන පෙවූ ජාතික කම්කරු උපේදේශක සභාවේ නියෝජිතයන් ලෙස මෙම නායකයෝ කම්කරුවන් දොට්ට දැමීමට, වැඩ වේගවත් කිරීමට හා අනෙකුත් අයිතීන් කප්පාදු කිරීමට හාම්පුතුන්ට සහයෝගය දුන්හ.

2011 දී ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතක් මගින් පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල විශ‍්‍රාම ගිය විට එක වර ගෙවීමේ ක‍්‍රමය නතර කර මාසික විශ‍්‍රාම වැටුපක් ගෙවීමේ ක‍්‍රමයකට හැරවීමට රාජපක්ෂ ආන්ඩුව ගත් උත්සාහයට විරුද්ධව අරගලයකට ඒම වැලක් වීමට මෙම සමිති ක්‍රියා කලේය. කම්කරුවන් අරගලයට ආවේ සමිතිවලට පිටිනි. ආන්ඩුව එය මැඩලීමට පොලීසිය යොදා එක කම්කරුවෙක් ඝාතනය කලේය.

මෙම සංවිධාන දැන් සම්බන්ධ වී සිටින, ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කර ගත්, ඉන්ඩස්ට්‍රි ඕල් නැමැති ගෝලීය වෘත්තීය සමිතිය මහා සංගත හා ධනපති ආන්ඩුව සමග ඒකාබද්ධව වැඩ කරන ඇමරිකාවේ ඒඑෆ්එල්/සීඅයි ඕ වැනි කාර්මික පොලිස්කාර සංවිධනයකි. ඇන්ටන් මාකස් ඉන්ඩස්ට්‍රි ඕල්හි විධායක සභාව නියෝජනය කරයි.

වෘත්තීය සමිති සෑදීමට උත්සාහ කල කම්කරුවන් දඩයමට හා බිය වැද්දීමට ලක් කිරීමට එරෙහිව පසුගිය ජුලි මාසයේ ඒටීජී සිලෝන්, ඔකියුපේෂනල්, හයිඩ‍්‍රාමනි, ග්ලෝබල් ස්ටාර්, ස්මාර්ට් ෂර්ට්ස් හා අයිසීඑල් යන කම්හල්වල කම්කරුවෝ විරෝධතාවලට සම්බන්ධ වූහ.

නිවෙක තුල ක්‍රියාත්මක ඇන්ටන් මාකස් නිදහස් වෙලඳ කලාපයේ ”වෘත්තීය සමිති අයිතිය පිලිගැනීම” යන යුරෝපා සංගමයේ කොන්දේසිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස වර්නනා කරයි. යුරෝපා සංගමය බංග්ලාදේශය සම්බන්ධයෙන් සමිති පිහිටුවීමේ වැදගත් කම කියා සිටී. ඊට හේතුව වෘත්තීය සමිති කම්කරුවන් හික්මවා දීමේ පොලීසියක් ලෙස ඉටු කරන ක්‍රියා කලාපය ශ‍්‍රම සූරා කෑමේ රුදුරු කොන්දේසි පැටවීමට අවශ්‍ය නිසාය. මාකස් ඇතුලු සමිති නිලධරය වෘත්තීය සමිති ඇටවීමට උත්සුක වී සිටින්නේ මේ උවමනාව ඉටු කර දීම සඳහාය.

පසුගිය දිනවල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ලංකාවේ පැරනිතම හා විශාලතම නිදහස් වෙලඳ කලාපය වන කටුනායක කම්කරුවන් හමුවූ අවස්ථාවේ, කර්මාන්ත තුල සූරාකෑම වේගවත් කිරීම, වැටුප් කප්පාදුව හා ජීවන වියදම ඉහල දැමීම සම්බන්ධව බලයට පැමිනි සියලු ආන්ඩු හා වෘත්තීය සමිති කෙරෙහි සිය අප‍්‍රසාදය හා කෝපය ප‍්‍රකාශ කල ඔවුහු ජීඑස්පී ප්ලස් ලංකාවට ලැබුන ද ඉන් කිසිදු වාසියක් කම්කරුවන්ට අත් නොවනු ඇති බව කියා සිටියහ.

”වාර්ෂික වැටුප් වැඩිවීම් නොදෙන පාලකයෝ හා හාම්පුත්තු ජීඑස්පී ප්ලස්වලින් ලැබෙන සහනයක් අපිට දෙයි ද?” නෙස්ට් කර්මාන්ත ශාලාවේ රැකියාවේ නිරත තරුන කාන්තාවක් ප‍්‍රශ්න කලා ය.

ඇය සිය රැකියා හා ජීවන තත්වයන් පිලිබඳව මෙසේ සඳහන් කලාය: ”මම අතිකාලත් කරලා මාසෙකට රුපියල් 25000 පමන ගන්නවා. ඒත් ජීවත් වෙන්න මදි. අපි හරියට කන්නේ වත් නෑ. ඒ තරමට බඩුමිල ඉහලයි. බෝඩිංගාස්තු ලයිට් බිල් වැඩි කලා. පඩි වැඩි වීමක් නැ. කම්හල්වල වැඩත් අමාරුයි. බෝඩිමටයි ෆැක්ටරියටයි එහා ජීවිතයක් අපට නෑ. කලුවරගස්වැව මගේ ගමට ගිහින් කරන්න දෙයක් නෑ.”

අවුරුදු 10ට වැඩි කාලයක් කටුනායක හයිඩ‍්‍රාමනි ඇඟලුම් කම්හලේ රැකියාවේ නිරත තවත් කම්කරුවෙක් වෘත්තීය සමිති නිලධරය මෙසේ හෙලා දුටුවේ ය. ”ඇන්ටන් මාකස්ලා බොරුවට අවුරුද්දකට වතාවක් කෑම පැයක දී කලාපේ ඉස්සරහා කීප දෙනෙක් එකතු කරන් පිකට් එකක් කෙරුවාට ෆැක්ටරි ඇතුලේ වෙන දේවල් ඇහැක් අරලා බලන්නේ නෑ. ජීඑස්පී තිබිච්ච කාලෙත් නැති කාලෙත් මම කලාපයේ වැඩ. කම්කරුවන්ගේ තත්වය එන්න එන්නම නරක අතට හැරිලා තියෙන්නේ. දැන් අපේ කම්හලේ පැකින් අංශය මුලුමනින්ම මෑන්පවර් සමාගම්වලට භාර දීලා. ජීඑස්පී ලැබුනා කියලා මේවා වෙනස් වෙන්නේ නෑ” යි ඔහු කියා සිටියේ ය.

දෛනිකව රුපියල් 800 ක් 1000 ක් පමන වැටුපක් ගෙවන මෑන්පවර් ක‍්‍රමය ඇඟලුම්ක්ෂේත‍්‍රයේ කඩාවැටීමත් සමග ඇනවුම් ලැබෙන කාලයට පමනක් වැඩ ගැනීම සඳහා කම්කරුවන් සේවයට ගැනීමට නිවේක ෆැක්ටරි හිමියෝ දැන් ක්‍රියා කරති. සෑම දිනකම උදෑසන හා රාත්‍රී වැඩ මුර ආරම්භ වන වෙලාවට කටුනායක නිවෙකය ඉදිරියේ දහසක් පමන කම්කරුවන් මිනිස්බල රැකියාවක් සොයා ගැනීම සඳහා එකතු වී සිටිනු දක්නට ලැබේ.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ ක්‍රිස්ටල් මාර්ටින් නමැති ඇඟලුම් කම්හලේ සුමිතුරු නම් මෑන් පවර් ආයතනය යටතේ වැඩ ලබා ඇති ජීවන්ති මෙසේ පැවසුවාය: ”මට අවුරුදු එකහමාරක පුතෙක් ඉන්නවා. මගේ මහත්තයා නිකවැරටියේ කුඹුරු ගොවිතැන් අතර තුර දී ටැක්ටරේකින් වැටිලා වකුගඩුවක් හානි වුනා. මට දිනකට රුපියල් 1200 ක් ලැබෙනවා දැන්. මාසික පඩියකට ගියාම මේ තරම් වත් මුදලක් උපයන්න බෑ”.

ජීවන වියදම පිලිබඳව විස්තර කල ඇය සංස්ථාපිත සියලු පක්ෂ කෙරෙහි සිය විරෝධය ප‍්‍රකාශ කලා ය. ”කාමර කුලිය 4,500 යි. කෑමවලට 3000 ක් විතර යන්නේ. පරිප්පුයි බතුයි තමා ගොඩක් වෙලාවට කන්නේ. දරුවාගේ වියදමට 8000 ක් විතර අම්මට යවනවා. ලදරු කිරි පැකට් එකක් 450 ක් වෙනවා. මාස තුනකට සැරයක් තමයි ගෙදර යන්නේ. ගෙදරින් එද්දි ලමයා අඬනවා. මම මොන පක්ෂයටවත් ඡන්දේ දීලා නෑ. වැඩක් නෑ කාට ඡන්දේ දුන්නත් නැති මිනිහව සූරං කන එක තමා ඔක්කොමලා කරන්නේ”.

එම කම්හලේම රැකියාවේ නිරත මාතර සුජිත් මෙසේ තම රැකියා කොන්දේසි විස්තර කලේ ය: ”මට අවුරුදු 30 යි. උදේ 7.30ට වැඩට යනවා. රාත්‍රී 9.30 වෙනකන් වැඩ. තරුනයෙකුට නෙමේ මොන මිනිහට ද එක දිගට මෙහෙම වැඩ කරන්න පුලුවන්. අපිට දෙන කෑමත් හරි නෑ. කෑමට පැය භාගයයි. මගේ බිරිඳ ජෝර්දාන්වල ගාමන්ට් එකක වැඩ. එයා මාර්තු මාසේ ආවාම මාත් ආයේ ගමට යනවා. මෙහෙ ජීවිතයක් නෑ. ගමට ගිහින් කුකුල්ලු හදන්න හිතාගෙන ඉන්නේ.”

ස්මාර් ෂර්ට් කම්හලේ රැකියාවේ නිරතව සිටින මහියංගනයේ හසලකින් පැමිනි වයස අවුරුදු 15 ත් 18 ත් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන තරුනියන් දෙදෙනෙක් ලෝසවෙඅ සමග අදහස් දැක්වීමට එකතු විය. ඉන් එක් තරුනියක් මෙසේ සඳහන් කලාය: ”මම සමාන්‍ය පෙල සමත් සම්මාන හයක් තියනවා. නමුත් ආර්ථික ප‍්‍රශ්න නිසා මෙහෙට ආවා. වැඩ අමාරුයි ඒත් දැන් පුරුදු වෙලා. මම කටින් එකේ වැඩ. ඒක හරි පරිස්සමට කරන්න ඕනා වැඩක්. උදේ 7.30 ට වැඩට යනවා ? 8.30 ට බෝඩිමට එනවා. 4.30 න් පස්සේ අතිකාල දෙනවා. අතිකාල පැයකට එකසිය පනහක් විතර දෙනවා. දවසේම හිටගෙන වැඩ. කෑම පැය භාගයයි. කීයක් හරි අනාගතයට ඉතුරු කර ගන්න කියලා තමයි රස්සාව කරන්නේ. නමුත් ඒක ලේසි නෑ” යයි ප‍්‍රකාශ කලා ය.

ජීඑස්පී ප්ලස් සහනයට මුවා වී මහා සමාගම්, අධිරාජ්‍යවාදී බලයන්, ධනපති ආන්ඩුව හා ඒකාබද්ධව වෘත්තීය සමිති අත ගසා ඇත්තේ වර්ධනය වන ලෝක අවපාතයේ කොන්දේසි යටතේ දැනටමත් දරුනු අතට හැරී ඇති කම්කරු පන්තියේ රැකියා හා ජීවන තත්වයන් තවත් වටයකින් මිරිකා දැමීමටයි.

Share this article: