මිලිටරිය අල්ලා ගෙන සිටින උතුරේ ඉඩම්වලට ඇතුලු වුවොත් වෙඩිතබන බවට ඉඩම් හිමියන්ට තර්ජනයක්

இலங்கையின் வடக்கில் இராணுவம் ஆக்கிரமித்துள்ள நிலங்களுக்குள் நுழைந்தால் சுடுவதாக காணி உரிமையாளர்களுக்கு அச்சுறுத்தல்

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 පෙබරවාරි 21

ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ ගුවන් හමුදාව විසින් බලෙන් අත්පත් කරගෙන සිටින සිය ඉඩම් ආපසු ඉල්ලා උද්ඝෝෂනයේ යෙදී සිටින ජනතාවට අනතුරු අඟවමින් “අනවශ්‍ය ලෙස ඉඩම්වලට ඇතුලු වුවහොත් වෙඩි තබන බවට” දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කර ඇත. මෙම තර්ජනය දෙමල විද්‍යුත් මාධ්‍යවල විකාශනය වීමෙන් පසුව විවේචනයට ලක්වීම හේතුවෙන් ගුවන් හමුදාව හදිසියේම එම දැන්වීම “ගුවන් හමුදා කඳවුරට ඇතුලුවීම තහනම්” යනුවෙන් වෙනස් කර ඇත.

කේපාපුලවූ ජනතාවගේ උද්ඝෝෂනය

මෙම දැන්වීම සති තුනක කාලයක් පුරා තමන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් හමුදා කඳවුරු ඉදිරියේ ඉඩම් අයිතිකරුවන් එක දිගට කරගෙන යන උද්ඝෝෂනය තර්ජනය කිරීම මගින් නවතා දැමීමේ උත්සාහයකි.

සිය දරුවන් සමග උද්ඝෝෂනයේ යෙදී සිටින කේපාපුලව් ගම්මානයේ ජනයා

මුලතිව් දිස්ති‍්‍රක්කයේ කේපාපුලවූ ප‍්‍රදේශයේ පිලක්කුඩිඉරිප්පු ගම්මානයේ ජනතාව පසුගිය ජනවාරි 31 සිට හමුදා කඳවුරු ඉදිරියේ ඉදිකරගත් කුඩාරම් තුල රෑ දවල්, අව් වැසි නොතකා සිය දරුවන් සමග වාඩිලාගෙන එකදිගට උද්ඝෝෂනයේ යෙදී සිටින අතර පුදුකුඩියිරිප්පු ප‍්‍රදේශයේ ඉඩම් අහිමි කෙරුනු ජනයා පෙබරවාරි 2 සිට උපවාසයක නිරතවෙමින් මෙවැනිම උද්ඝෝෂනයක යෙදී සිටිති.

පුදුකුඩියිරිප්පු ජනතාවගේ උද්ඝෝෂනය

කේපාපුලව් ප‍්‍රදේශයේ අක්කර 500කට වැඩි මහජනතාවට අයිති ඉඩම් ගුවන් හමුදාව විසින් අත්පත් කරගෙන සිටින බව වාර්තා වේ. පිලක්කුඩිඉරිප්පු ගම්මානයේ පවුල් 84 කට අයිති ඉඩම් අක්කර 42ක්ද, පුදුක්කුඩියිරිප්පු පවුල් 46 කට අයිති ඉඩම් අක්කර 19ක්ද මිලිටරිය විසින් අත්පත් කරගෙන ඇත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට විරුද්ධව ගෙනගිය වර්ගවාදී යුද්ධය අවසන් කෙරී අවුරුදු අටකට ආසන්නව ඇති තත්වය තුල පවා උතුරු සහ නැගෙනහිර පලාත් තුල ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදා විසින් තවමත් අල්ලා ගෙන සිටින මහජනතාවට අයිති ඉඩම් ප‍්‍රමානය අක්කර දහස් ගනනකි.

ආන්ඩුව මෙම කඳවුරු තව තවත් ශක්තිමත් කරමින් සිටියි. එමෙන්ම දෙමල ජනතාව බහුලව ජීවත්වන උතුර හා නැගෙනහිර ප‍්‍රදේශ තුල සිංහල ජනතාව පදිංචි කරවීමේ සහ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමේ වැඩකටයුතු හමුදාව ලවා කරවයි.

පිලක්කුඩිඉරිප්පු සහ පුදුකුඩියිරිප්පු ජනතාවගේ උද්ඝෝෂනයට සහය දෙමින් විශ්වවිද්‍යාලවල සහ පාසල්වල ශිෂ්‍යයෝ ද කම්කරුවෝ සහ සිවිල් සංවිධාන පිකට් උද්ඝෝෂන සහ පෙලපාලි ආදිය සංවිධානය කල අතර උතුරු පලාත පුරා පුලුල් උද්ඝෝෂනයක් දියත් කිරීමේ සූදානමක් ද පවතී.

වර්ධනය වන මහජන විරෝධය මැඩලීමටත් උද්ඝෝෂනකරුවන් ආපසු හරවා යැවීමටත් උත්සාහයේ යෙදුනු දෙමල ජාතික සන්ධානය (දෙජාස) අගමැති රනිල් වික‍්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් සූදානම් කලේය. කේපාපිලව් ජනතාව එයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කලේ ආන්ඩුව රකින නායකයන් ගැන පිලිකුල පෙන්වමිනි. පුදුකුඩුඉරිප්පු ජනතාවගේ නියෝජිතයන් ලෙස කන්ඩායමක් සාකච්චාවට සහභාගි වුවත් ඉඩම් යලි ලබාදීමට “සලකා බලන” බවට පොරොන්දුවක් දී ඔවුන් හරවා එවා ඇත.

පසුගිය 14 වනදා යලි පදිංචි කිරීමේ ඇමති ස්වාමිනාදන් කේපාපිලව්හි ඉඩම් නිදහස් කිරීමට එකඟ වී ඇති බව පැවසූ කැබිනට් මන්ඩල ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසා ඇත්තේ “රෑ දවල් තිස්සේ සටන් කරනව කියල, එක රැයකින් ඉඩම් දෙන්න බැරි” බවයි. මෙම පෙරොන්දු ගැන විශ්වාසය නොතැබූ උද්ඝෝෂකයින් පවසන්නේ සිය ඉඩම්වලට යලි පය තබන්නට ලැබෙනතුරු සටන අත් නොහරින බවයි.

හමුදාව විසින් අත්පත් කරගෙන සිටින නිවසක්

“මෙම ඉඩම් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයිති” බව හමුදාව ප‍්‍රකාශ කර ඇති අතර උද්ඝෝෂකයින් සහ ඔවුන්ට සහය දෙන්නන්ට බිය වැද්දීමක් ලෙස කඳවුරු වල ආරක්ෂාව තරකර ඇත. එම පිරිස් හි ඡායාරූප ගනිමින් හමුදාව විසින් ඔවුන් නිරීක්ෂනයට ලක්කෙරේ. එමෙන්ම, ගුවන් හමුදාව එම ප‍්‍රදේශයේ තවදුරටත් වාඩිලා සිටීමට සැලසුම් කර ඇති බව ආන්ඩුවේ නිලධාරින්ගේ ප‍්‍රකාශ වලින් පැහැදිලි වේ.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ ගුවන් හමුදාව විසින් පාලනය කරන ඇතැම් ඉඩම් කොටස් ආපසු නොදෙනු ඇති බවයි. පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් දැනටමත් හමුදාව විසින් පවරාගෙන ඇති බව එහි ප‍්‍රාදේශීය ලේකම් සඳහන් කර ඇත. මිලිටරිය අල්ලා ගත් ඉඩම් ආපසු දීමට සුදානම් නැත්තේ, උතුරු-නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම පලල් කර දිගටම ගෙන යාමට ආන්ඩුව තීන්දු කර ඇති හෙයිනි.

උතුරු-නැගෙනහිර කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර ආන්ඩුවට හා ඊට පන්දම් අල්ලන දෙමල ධනපති නායකයන් කෙරෙහි දැල්වෙන විරුද්ධත්වය දකුනු පලාත්වල වැඩ කරන ජනයාගේ හා තරුනයන් අතර ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව වැඩෙන පෙරලිකාරිත්වය සමග සමගාමී වී පවතී. කොලඹ ආන්ඩුව යලිත් හදිසි නීතිය පැනවීම ගැන සලකා බලමින් සිටින අතර අලූත් මර්දන නීති ද සුදානම් කරමිනි සිටියි.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ දහස් ගනනක් ජනතාව රුදුරු ලෙස ඝාතනය කරමින් ලේවැකි සිවිල් යුද්ධය අවසන් කෙරුනු අවස්ථාවේ තමන්ගේ ඥාතීන් සහ දේපල අහිමි කෙරුනු ලක්ෂ තුනකට ආසන්න දෙමල ජනතාව හමුදාව විසින් වවුනියාවේ ඇටවූ “සුබසාධන කඳවුරු” යන බොරු නමින් හැඳින්වූ රඳවා ගැනීමේ කඳවුරු තුල අවුරුදු දෙකක් පමන සිර කර තබන ලදී. 2012 වනවිට හමුදාව විසින් මෙම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නමින් යුද්ධයෙන් සමතලාකෙරුනු ගම්මාන වලට යවන ලද්දේ කිසිදු අති මුලික පහසුකම්වත් නොසපයමිනි. කේපාපිලව් සහ පිලක්කුඩිඉරිප්පු ජනතාව ඔවුන්ගේ ගම්වලින් කිලෝ මීටර් 3ක පමන ඈතක පිහිටි සිනිමෝට්ටෙයි හි කැලෑ එලි කර ඉදිකරන ලද කුඩාරම් වල පදිංචි කරවා ඇත.

පුදුකුඩියිරිප්පු වැසියන් ද කොටුකර ඇත්තේ ඊට සමාන තත්ත්වයකය. දැනට හමුදාව විසින් සාදන ඉතා බාල මට්ටමේ නිවාසවල ඔවුහු ජීවත්වෙති. තමන්ට වතුර හිඟයක් පවතින බවද, දී ඇති ඉඩම් ගොවිතැන් කිරීමට ප‍්‍රමානවත් නොවන බවද, ධීවරයන්ට රැකියාව සඳහා විශාල දුරක් ගෙවා යාමට සිදුව ඇති බවද ඔවුහු සඳහන් කරති.

මෙම ජනපද අසල විශාල හමුදා කඳවුරු පිහිටා ඇත. මහජනතාව හමුදාවේ නිරන්තරව නිරීක්ෂනයට ලක්ව සිටිති. ප‍්‍රදේශයේ පාරවල් වලට හමුදා නිලධාරීන්ගේ නම් යොදා ඇත. ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටරයක් පමන දුරක් හමුදාව විසින් වාඩිලාගෙන සිටින නිසා ජනතාවට කැලෑව හරහා කිලෝ මීටර් 3ක් පමන වටයක් යාමට සිදුව ඇත.

2015 ජනවාරියේදී ඇමරිකාව විසින් සැලසුම් කරන ලද, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති කරවීමේ තන්ත‍්‍ර මාරු මෙහෙයුමේ සහකරුවන් වූ දෙජාස අලුත් ආන්ඩුව යටතේ දෙමල ජනතාවගේ ඉඩම් ආපසු ලැබෙනු ඇතැයිද, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ස්ථාපනය කෙරෙනු ඇතැයිද යන මිථ්‍යාවන් වපුරා හැරියේය. 2015 අවසානයේදී යාපනයට පැමිනි සිරිසේන මාසය 6ක් ඇතුලත මෙම ඉඩම් ඒවායේ අයිතිකරුවන්ට ලබාදෙන බවට බොරු පොරොන්දු දුන්නේය. සීමිත ප‍්‍රමානයක ඉඩම් නිදහස් කර ඇති අතර ඒවායේ ජනතාවට අයිතිව තිබූ ගේ දොර කිසිවක් නැති සියලු ඉඩම් සමතලා කර දමා ඇත.

දෙමල ධනපති පන්තියේ වරප‍්‍රසාද රැකගැනීම සඳහා කොලඹ ආන්ඩුව සමග බලය බෙදාගැනීමට කැස කවන දෙජාස, ඊට අධිරාජ්‍යවාදී පාලකයන්ගේ සහය ලබාගැනීමට යුද්ධයේ විනාශයට මුහුන දුන් ජනතාවගේ කටුක ප‍්‍රශ්න ගසා කයි. එහෙත්, දෙජාස දෙමල ජනයාගේ ප‍්‍රශ්න උග‍්‍ර කිරීමට මෙන්ම ලංකාවේ සියලු කම්කරුවන් හා දුගීන් අධිරාජ්‍යවාදීන්ගේ සැලසුම් ඉදිරියේ අන්තාරායකාරී තත්වයකට ඇද දැමීමට කොලඹ පාලකයන් මෙන්ම වගකිව යුතුය. ඇමරිකාව, කොලඹ පාලන තන්ත‍්‍ර මාරුව සිදුකලේ චීනයට එරෙහි සිය යුද සැලසුම්වලට ලංකාව ද ගැටගසා ගැනීමේ කොටසක් ලෙසයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල සිදම්බරනාදන්, “අපිව රවට්ටලා ඡන්දේ ගත්ත දෙමල සන්ධානය ඉඩම් නිදහස් කිරීමට උත්සහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආන්ඩුවත් එක්ක එකට වැඩකරනවා” යැයි සඳහන් කලේය. “2016 දෙමල ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි කියල සම්බන්ධන් කිව්වා. නමුත් අපේ ඉඩම් ප‍්‍රශ්නෙවත් විසඳුනේ නැහැ. එල්ටීටීඊයෙන් රට බේරාගත්තා කියන ආන්ඩුවයි හමුදාවයි නිදහස් කරගත්ත ඉඩම් තමන්ටම අයිතිකරගත්තා. මෙය ඉඩම් නිදහස් කිරීමද ආක‍්‍රමනයක්ද ?” ඔහු ඇසුවේය.

තවත් ගොවියකු වන විවේකානාදන් “මේ අපේ ඉඩම්. යුද්ධය වෙලාවේ අපි මේවා දාල දිව්වා. ඊට පස්සේ හමුදාව ඒ ඉඩම් අල්ලා ගත්තා. මේකේ සාධාරනය මොකද්ද? මොන යහපාලනයක්ද ? අපි කුඹුරේ වැඩකරනකොට හමුදාව ඇවිත් ඒවාට ඇඟිලි ගහනවා. අපේ මුල් ඉඩම් අපට දුන්න නම් මේ ප‍්‍රශ්න නැහැ. මේ ආන්ඩුවට ඡන්දෙ දාපු අපේ ප‍්‍රශ්න ආන්ඩුවට කියල විසඳලා දිය යුතුයි. යුද්ධ කලේ ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරපු ප‍්‍රදේශවලට යාගත නොහැකිව අපේ ධීවරයන්ගේ රැකියා කඩාකප්පල් වුනා. තාමත් ඔවුන්ට මුහුදු යාමේ තහංචි තියෙනවා”. එහෙත් ආන්ඩුව තම ප‍්‍රශ්න විසඳනු ඇතැයි ඔහුට බලාපොරොත්තුවක් නැත.

“යුද්ධයේ අවසාන කෙරුනු මුල්ලිවයික්කාල් ඛේදවාචකය අපට නම් තවමත් අවසන් වෙලා නැතැයි” කියූ කාන්තාවක් “අපේ දරුවන් සමග අපි අව්ව වැස්ස, රෑ දවල් නොබලා මෙතන ඉන්නවා. ආන්ඩුව අපව ගනන් ගන්නේ නැහැ. අපේ ඉඩම් නිදහස් කරන්න ඕනේ. ආන්ඩුව හදා දුන් ගෙවල් හරි නැහැ. ඔය ජනපද ප‍්‍රදේශයට වෙන ආයතන වලට එන්නත් බැහැ. එහෙ වතුර හිඟයක් පවතිනවා.”

“අපේ ඉඩම්වල හමුදාව ජීවත් වෙනවා. යුද්ධය ඉවරනම් හමුදාව යන්න ඕනෑ නේද?” තවත් නිවැසියෙක් විමසුවේය. “අපෙන් අහන්නේ නැතුව අපේ ඉඩම් වල දුරකතන සන්නිවේදන කුලුනකුත් හදලා. අපට යහපාලනයක් නැහැ. සම්බන්ධන් විපක්ෂනායක කම රැකගන්නයි උත්සාහ කරන්නේ. අපේ ප‍්‍රශ්න විසඳන්න නොවේ” ඔහු කෝපයෙන් පැවසුවේය.

Share this article: