ට‍්‍රම්ප් පාලනයේ මුල් සතිය: යුද්ධයේ සහ සමාජ ප‍්‍රතිගමනයේ ආන්ඩුවක්

Week one of the Trump administration: A government of war and social reaction

2017 ජනවාරි 28

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හැටියට ඩොනල්ඩ් ට‍්‍රම්ප් පත්කොට සතියක් ගතවන අද ඔහුගේ ආඥාවන් ද ක්‍රියාවන් ද පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියට ඉදිරි වර්ෂ හතර ඇතුලත එම පාලනයෙන් අපේක්ෂා කල හැක්කේ කුමක් ද යන්නයි.

ට‍්‍රම්ප් ගේ න්‍යාය පත‍්‍රයේ හරි මැද ඇත්තේ යුද්ධ ප‍්‍රචන්ඩය යෝධ ලෙස උග‍්‍ර කිරීමකි. පසු ගිය සිකුරාදා පෙන්ටගනයේ පැවැත්වුනු, අලුත් ආරක්ෂක ලේකම් ජේම්ස් මට්ටිස්ගේ දිවුරුම් දීමේ උත්සවයේ දී, ට‍්‍රම්ප් යුද්ධ බලය අතිමහත් ලෙස ”යලි ගොඩනැගීම” පටන් ගත යුතුයයි විධායක නියෝගයකට අත්සන් කලේ ය. මෙම නියෝගය මගින් එක්සත් ජනපදයේ න්‍යෂ්ටික ආයුධාගාරය දියුනු කිරීමට පිලිවෙතක් සකසන ලෙස ද, ආසන්නම සම තරග කරුවන්, හෙවත් සම්ප‍්‍රදායික ලෙස ඇඟවෙන පරිදි චීනය හා රුසියාව සමග ඝට්ටනයක ට සූදානම් වන ලෙස ද මට්ටිස්ට නියම කෙරෙයි.

මෙම ක්‍රියාව එන්නේ ට‍්‍රම්ප් ගේ මාධ්‍ය ලේකම්, සීන් ස්පෙන්සර් දකුනු චීන මුහුදේ දූපත් වලට චීනය ලඟාවීම වැලැක්වීමට එක්සත් ජනපදය කටයුතු කරන බවට, එක්සන් මොබිල් තෙල් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී රෙක්ස් ටිලර්සන් විසින් කරනලද ප‍්‍රකාශය යලි තහවුරු කිරීමත් සමග ය.

සිරියාව තුල ”ආරක්ෂිත කලාප” පිහිටුවන අතර මුස්ලිම් බහුතරයක් ඉන්නා රටවලින් එන සියලු ආගමනය තාවකාලිකව තහනම් කිරීමට ට‍්‍රම්ප් සපථ කර ඇත. ට‍්‍රම්ප් රුසියාව කෙරේ ”උවමනාවට වැඩි මෘදු” ආකල්පයක් ගන්නේ යයි ඩිමොක‍්‍රටිකයෝ මැතිවරනය තුල දී දෝෂාරෝපනය කල හ; ඒ අතර, ක්ලින්ටන් ව්‍යායාමය කියාසිටියේ එක්සත් ජනපද යුද-ගුවන් යානා විසින් මුර කෙරුනු ”ආරක්ෂිත” ගුවන්-තහනම් කලාප පිහිටුවා, එමගින් බෂර්-අල්-අසාද්ගේ සිරියානු ආන්ඩුවට රුසියාව දෙන සහය කපාහැරිය යුතුය යන්නයි. සීඅයිඒ කේන්ද්‍රයේ පැවැත්වූ දේශනයකදී ට‍්‍රම්ප් මෙසේද කියා සිටියේ ය, එක්සත් ජනපදය ඉරාකයේ ”තෙල් අල්ලාගත යුතුව තිබුනිි.” ඒ සඳහා තවත් අවස්ථාවක් සීඅයිඒ සංවිධානයට දෙන බව ද ඔහු කීය.

දේශීය පිලිවෙත සම්බන්ධයෙන් ගත හොත්, ෆෙඩරල් මධ්‍යම ආන්ඩුව විසින් අලුතින් සියලු සේවකයන් බඳවාගැනීම නවතා ලන, කිස්ටෝන් සහ ඩැකොටා ඇක්සස් ඇතුලු සියලු තෙල් නල වහා තැනීමට හරස් වන රාජ්‍ය රෙකුලාසි ද බාධා ද ඉවත් කරන, විධායක නියමයන් මාලාවක් ට‍්‍රම්ප් අත්සන් කලේ ය. මේ සතියේ මුලදී ”එක්සත් ජනපදයේ විශාල තම කාර්මික කොම්පැනි වල ප‍්‍රධාන විධායක නිලධාරීන් සමග ද මෝටර් රථ කර්මාන්තය සමග ද පැවැත්වූ රැස්වීම් වලදී ”සීමාකාරී රෙකුලාසි සියයට 75ක්ම කපාදැමීමට” ත්, ව්‍යාපාරික වාතාවරනය ”සැබැවින් ම අවාසි සහගත තත්වයක් සිට අතිශයින්ම වාසි සහගත තත්වයකට මාරු කර දීමට”ත් ඔහු පොරොන්දු විය.

තම පාලනාධිකාරය මෙක්සිකෝ-එක්සත් ජනපද දේශ සීමාවේ තාප්පයක් බඳින බවද ආගාමික කම්කරුවන් මිලියන ගනනක් සිර භාරයට ගෙන රටින් පිට කරනබව ද බදාදා ට‍්‍රම්ප් නිවේදනය කලේ ය. තමාට ගිය නොවැම්බරයේ මහජන චන්දයෙන් බහුතරයක් ලබාගැනීමට නොහැකිවූයේ මිලියන ගනන් ජනයා විසින් කරන ලද ”ඡන්දදායක ප්‍රෝඩාවක්” නිසා යයි එදින ම ඔහු කියා සිටියේය. මොනම පදනමකින් හෝ තොර මෙම දුසමානය පිලිබඳව ”ධවල මන්දිරය ප‍්‍රධාන පරීක්ෂනයක් පැවැත්වනු ඇත”යි ඔහු කීය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ චන්දය ප‍්‍රකාශයට පත් කිරීමේ අයිතියට තව දුරටත් පහර දීමේ තත්වයක් හදාගැනීමට ඔහුට පවත්නා අරමුනයි.

සිය ආන්තික ආර්ථික ජාතිකවාදී පිලිවෙතේ කොටසක් ලෙස ට‍්‍රම්ප් ගිය සතියේ අත්සන් කල විධායක නියෝගයක්, (පැසිෆික් සාගරයේ දෙඉවුරේ රටවල් ගනනාවක් අතර) අන්තර් ශාන්තිකර සහකාරිත්වයෙන් (ටීපීපී) එක්සත් ජනපදය ඉවත් කරගත්තා පමනක් නොව (එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව ඇතුලු) උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුමද අහෝසි කර දැමී ය.

එලඹෙමින් පවත්නා පාලනාධිකාරයේ පිලිවෙත් වලින් බොහොමයක් බදාදා රාත්‍රීය ඒබීසී නිව්ස් මාධ්‍යයේ පුවත් වාර්තාකරු ඬේවිඩ් මුයිර් සමග ට‍්‍රම්ප් පැවැත්වූ සම්මුඛයේ දී ට‍්‍රම්ප් සඳහන් කලේය: එහිදී ඔහු තම පදවි ප‍්‍රාප්ති උත්සවයට පැමිනි සෙනග ද තාමාගේ ජනප්‍රියත්වය ද පිලිබඳ බේගල් කතා කියමින් යුද්ධය, වධබන්ධන, සහ මර්දනය පිලිබඳ තර්ජන කලේ ඒවා ඉතා හෑල්ලු ලෙස ගනිමිනි. එම කතාවේ දී ට‍්‍රම්ප් අවධාරනය කලේ ඇමරිකානු ධනපති සමාජයේ සකල දූෂිතය සහ ජරාව පිලිබිඹු කරන්නාවූ, පාතාල ලෝකය විසින් බලය පැහැර ගෙන ඇති බවය.

ට‍්‍රම්ප් රජය විසින් වධ දීම පිලිබඳව කීවේ ”මට්ටිස් සහ අලුත් සීඅයිඒ අධ්‍යක්ෂක මයික් පොපියෝ එය කරනවා නම් අගෙයි. ඔවුන්ට එය කිරීමට උවමනා නම් මමත් ඒකට ලෑස්තියි.” විදේශයන් තුල රහසිගත සීඅයිඒ හිරගෙවල් සහ වධකාගාර යලිත් විවෘත කිරීම ට යෝජනාකරන කෙටුම්පත් නීතියක් දැන් ධවල මන්දිරය තුල සාකච්ඡා වෙමින් පවති.

මේ මුල් සතිය විතරයි. කොන්ග‍්‍රස් මන්ඩලය වේගයෙන් ගමන් කරමින් සිටින්නේ බිලියන පතියන්ගෙන් ද හමුදා පතියන්ගෙන් ද මහසංගත විධායකයන්ගෙන් ද සමන්විත ට‍්‍රම්ප්ගේ ඇමති මන්ඩලය වහවහා අනුමත කිරීමට ය: ඩිමොක‍්‍රටිකයන්ගේ සහයත් ඊට නොඅඩුව ලැබේ. ට‍්‍රම්ප්ගේ ඇමැති මඩුල්ලට තෝරාගත් අනෙකුත් අය ද, මෙඩි කෙයාර්, මෙඩිකේඩ් වැනි සෞඛ්‍ය සංරක්ෂනය ද පොදු අධ්‍යාපනය ද ඇතුලු සකල සමාජ සංරක්ෂනය විනාශ කිරීමේ පිලිවෙතකට කැපවූ අය ය.

ට‍්‍රම්ප්ගේ පත්වීම ඇමරිකානු දේශපාලනයේ බෙදුම් කඩනයක් ය යන්න ගැන කිසිම සැකයක් වත් ඇත්තේ නැත. කෙසේ වෙතත්, අනාගත ඉතිහාසඥයන් විසින් මෙසමය පරික්ෂාවට බඳුන් කෙරෙන කල්හි, අනිවාර්යයෙන්ම ට‍්‍රම්ප් ජනාධිපතිත්වය වෙත ඔසවා තැබීමට තුඩුදුන් මීට පෙර සමය කෙරේ සිය අවධානය යොමු කරනු ඇත. එකල්හි ඔවුන් ගේ අවධානය යොමු වනු ඇති බොහෝ සාධකයන් අතර පහත සඳහන් දෑ ද වනු ඇත: එක්සත් ජනපදයේ දේශපාලන සංස්කෘතියේ අත්‍යසාමාන්‍ය ජරපත් වීම, නිමක් නැති යුද්ධයේ සහ පිටරටට යෙදුනු ප‍්‍රචන්ඩය සිය රට කෙරේ ඇති කල ප‍්‍රති විපාක, සමාජ අසමානත්වයේ ආන්තික උග‍්‍ර වීම, සහ පරපුටු මූල්‍ය කතිපයාධිකරයක් නැගී ඒම.

ට‍්‍රම්ප් පාලනය නියෝජනය කරන්නේ හුදෙක් මුලුමනින්ම පෙර සමයෙන් බිඳී වෙන්වීමක් නොවේ, ප‍්‍රමානය ගුනය කරා පරිවර්තනය වීමකි. ට‍්‍රම්ප් වනාහි අවසාන විග‍්‍රහයේ දී, ඇමරිකානු සහ ලෝක ධනේශ්වරය පෙලෙන්නාවූ අතිඋග‍්‍ර අර්බුදයේ විපාකයයි.

දශක හතරක් තිස්සේ, සමාජ ප‍්‍රතිවිප්ලවයේ අභ්‍යාසයක යෙදුනු එක්සත් ජනපදයේ පාලක පන්තිය කම්කරුවන් දිගු කාලය තුල කටුක අරගල තුලින් අත්කරගෙන තිබුනු සකල ජයග‍්‍රහනයක් ම ක‍්‍රමානුකූලවම අහෝසි කරමින් සිටි. ඔබාමා පාලනය මම ක්‍රියාවලිය වේගවත් කලේ ය. ඔබාමා බුෂ් පාලනය විසින් ආරම්භ කරනලද මූල්‍ය - ඇප දී බැංකු බේරාගැනීමේ වැඩපිලිවල ඉදිරියට ගෙන යමින් එය තව තවත් පුලුල් කලේ ය. හේ ෆෙඩරල් රිසව් (ඇමරිකානු මහා) බැංකුවේ ”ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩ පිලිවෙල තුලින් වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනන් පුදකරමින්, 2009 මෝටර් රථ කර්මාන්තය ප‍්‍රතිව්‍යූහගත කොට කම්කරු පන්තියේ වැටුප් කපාදැමීය.

මෙම සන්තතියේ විපාක සමාජ අසමානත්වයේ අත්‍යසාමාන්‍ය උග‍්‍ර වීම තුල දැකගත හැකි වේ. කැලිෆෝනියාවේ බර්ක්ලි සරසවියේ අර්ථශාස්ත‍්‍රඥ තෝමස් පිකෙටි, එම්මානුවෙල් සයෙස් සහ ගේබ්‍රියල් සුක්මන් ගේ මෑත අධ්‍යයනයක් අනුව, 1980 සහ 2014 අතරතුර දී, බදු ගෙවීමට පෙර ජාතික ආදායමෙන්, ඇමරිකානු ජනගහනයේ දුප්පත්ම සියයට 50හේ පංගුව, සියයට 20 සිට 12 දක්වා පහත වැටුනු අතර පෝසත්ම සියයට එකට අයත් පංගුව, සියයට 12 සිට සියයට 20 දක්වා ඉහලට නැග්ගේ ය. ජනකායේ ඉහලම සියයට .1 සහ සියයට .01 අත් කරගත් වැඩිවීම මීටත් වඩා උග‍්‍රවේ.

එසේම ට‍්‍රම්ප් පාලනයේ විදෙස් පිලිවෙත ද ඔහේ කඩාපාත් වූ එකක් නොවේ. සියවස් කාලක් තිස්සේ, ඇමරිකානු පාලක පන්තිය සිය ආර්ථික පිරිහීමෙන් ගොඩ එන්නට යුද්ධ බලය පාවිච්චි කිරීමේ අති සාහසික ප‍්‍රයත්නයක යෙදී සිටි. අවුරුදු 15ක් තිස්සේ, කරන ලද ”ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” තවතවත් විශාල තරග කරුවන් සමග සෘජු ඝට්ටනයක් කරා ඔඩු දුවා ඇත. ට‍්‍රම්ප් විසින් චීනය ප‍්‍රධාන ඉලක්කය ලෙස ගැනීම වනාහි ඇත්තවශයෙන් ම දකුනු පැසිෆික් ප‍්‍රදේශය සහ නැගෙනහිර ආසියාව පුරා, ඇමරිකානු යුද බලය යෙදවූ ඔබාමා ගේ ”ආසියාවට හැරීම” පිලිවෙතම අඛන්ඩව තව දුරටත් ඉදිරියට ගෙන යාමකි.

ට‍්‍රම්ප් මෙම සන්තතින්ට ෆැසිස්ට් වාදයේ නියම දුර්ගන්ධය එක් කර ඔහු සිය ප‍්‍රාරම්භ දේශනයේ දී කල ප‍්‍රකාශය: ”අපගේ දේශපාලනය පදනමේ ශෛලමය පදනම වන්නේ ඇමරිකා එක්සත් ජනපදය කෙරේ සම්පූර්න කැපවීමය” යන්න වනාහි විරුද්ධ මත දැරීම ”අපරාධ කරනයක්” ලෙස සලකන බවට කරන තර්ජනයකි.

කෙසේවෙතත්, ට‍්‍රම්ප් මෙහිදී ද නග්න ලෙසම ප‍්‍රකාශිත කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලන රූපයන් ගේ දිගු කාලීන පරිහානියයි. නිර්දිෂ්ට පටිපාටියකින් පරිබාහිරව එක්සත් ජනපද පුරවැසින් මරා දැමීමේ බලය තමන්ට ඇති යයි ප‍්‍රථමයෙන්ම නිවේදනය කල ජනාධිපතිවාරයා ලෙස ඉතිහාස ගතවනු ඇත්තේ ඔබාමා ය. ව්‍යවස්ථා නීති-රීති කෙරේ ට‍්‍රම්ප්ගේ පවත්නා සුවිශේෂ පිලිකුල ගලා එන්නේ ගුවන්තනාමෝ බේ සහ අබු ඝ‍්‍රයිබ් සිර කඳවුරු, ඩ්රෝන් යානා යොදාගෙන කරන ලද මිනීමැරීම්, නැශනල් සෙකියුරිටි ඒජන්සි [ජාතික ආරක්ෂක ආයතනය] (එන් එස් ඒ) ඔත්තු බැලීම්, යන මේවා හරහාය.

ට‍්‍රම්ප් නිලවශයෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා හැටියට නාම යෝජනාලත් අවස්ථාවේ දී ලොසවෙඅ මෙසේ පෙන්නුම් කලේ ය: ”ට‍්‍රම්ප්ගේ සුවිශේෂ ෆැසිස්ටික පෞරුෂය වාත්තු කරනු ලැබුවේ (හිට්ලර්ගේ මෙන්) මියුනික් නුවර බීර හල් වල හෝ පලමුවන ලෝක යුද්ධයේ යුද අගල්වල හෝ නොවේ. නිව් යෝක් නගරයේ ව්‍යාපාර වස්තු වෙලඳ පොල තුලය. කැසිනෝ, ව්‍යාජ සරසවි සහ නිමක් නැති බංකොලොත් ජාවාරම් පොදිගසාගත්තා වූ, මහ සංගත වංචාවේ මේ ප‍්‍රතිරූපය ට වඩා ඇමරිකානු ධනවාදය වැටී සිටින තත්වය පිලිබඳ නියම උචිත සංකේතයක් තිබිය නො හැක්කේ ම ය.

ඇමරිකානු පාලක පන්තිය තුල තියුනු භේද ඇති. එහෙත් මේ භේද වනාහි උපාය පිලිබඳව පමනි; මූලික පන්ති පිලිවෙත පිලිබඳව නොවේ. දැන් ඔහුව විවේචනය කරමින් දේශපාලන සංස්ථිතිය තුලද, මාධ්‍යය තුලද වඩාත් වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තිය තුලද ඉන්නා බොහෝ දෙනා, ඉදිරියේ දී සිය පාලනය තුලට වැද්ද ගැනීමට බැරිකමක් ට‍්‍රම්ප් ට ඇත්තේ නැත.

අලුත් පාලනයට එරෙහි තිරසාර විපක්ෂයක් පැනනගිනු ඇත්තේ, එවන් කන්ඩායම් තුලින් නොව එක්සත් ජනපදයේ ද, ලෝකය පුරාම ද කම්කරු පන්තිය තුලිනි. අලුත් පාලනයේ පිලිවෙතේ පීඩනය දැනෙන්නට පටන් ගන්නා කල්හි ”නොතැකුනු මිනිහාගේ” ආරක්ෂකයා ලෙස ට‍්‍රම්ප් කරන විකාර ඉරියව් පෑම කල්නොයවා ම එලිදරව් වී, ඉක්මනින් ම, කටුක පන්ති අරගලයන් ඉස්මතු වනු ඇත. දැන් සමාජවාදීන් කල යුත්තේ කම්කරු පන්තියේ පෘථුල ජනකාය වෙතට හැරී, ක‍්‍රමානුකූල සංවිධානය සහ අධ්‍යාපනය මගින් ක්ෂිතිජයේ දිස්වෙමින් පවත්නා පන්ති අරගලයන් උදෙසා දේශපාලන නායකත්වයක් ගොඩනැගීම ය.

ජෝසප් කිෂෝර්

Share this article: