ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ තුන්වන සතිය: ධනේශ්වර පාලනයේ අර්බුදයක් සහ ඒකාධිපතිත්වය කරා හැරීමක්

Week three of the Trump presidency: A crisis of bourgeois rule and turn toward dictatorship

2017 පෙබරවාරි 9

පසුගිය දවස් කිහිපය තුල සිදුවූ අත්‍යසාමාන්‍ය වෙනස්කම් තුනක් මගින් එලිදරව් කෙරී ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනරූපයන් ගේ බිඳ වැටීම යි.

සඳුදා ”ඩොනල්ඩ් ට‍්‍රම්ප් ෆ්ලොරීඩාවේ ටම්පාහි මැක්ඩිල් ගුවන් හමුදා කඳවුරේ දී කල දේශපාලන කතාවකදී මාධ්‍යට පහර දෙමින්, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වාර්තා නොකිරීම මගින් ඒවා සතුරාට ආධාර කරන බවක් කියා සිටියේ ය. ඒවාට එසේ කිරීමට හේතු තිබෙන බව ඔබට වැටහෙනු ඇත” යයි යුද හමුදාවට කියා සිටි ට‍්‍රම්ප්, හමුදාවේ සහාය ඉල්ලා සිටියේ ය. තමා සිදුකල මුස්ලිම් විරෝධී තහනම ආරක්ෂා කරමින් ඔහු මෙසේ කීය: ”අප ද අපේ රට ද විනාශ කිරීමට උවමනා අය ඉවත් කර දැමීමට ශක්තිමත් වැඩසටහන් අපට උවමනාය.”

ඉන් දින දෙකකට පසු බදාදා ප‍්‍රධාන නගරවල පොලිස් ප‍්‍රධානීන්ගේ සංවිධානයක් ආමන්ත‍්‍රනය කල ට‍්‍රම්ප්, අධිකරනයට කටුක ලෙස පහර දුනි. ඔහු මෙම කතාව කලේ තමා විසින් පනවන ලද මුස්ලිම් ගමන් තහනම පිලිබඳව එක්සත් ජනපද නවවන අභියාචන උසාවියේ විනිසකරුවන් තුන් දෙනෙකු විසින් තීන්දුවක් දීමට කලින් දිනයේ ය.

”අපට අපේ රට තුල ආරක්ෂාව උවමනාය.” ට‍්‍රම්ප් පොලිසියට කියා සිටියේ ය, ”..ඒ සඳහා ඔබට උවමනා කරන ආයුධ අප විසින් ඔබට සැපයිය යුතුය. මෙය [ආගමන තහනම් නීතිය] ද ඔබට අවශ්‍ය ආයුධයකි. ඔවුන් [උසාවිය] ඔබෙන් ඒවා උදුරාගැනීමට තැත් කරයි. ඊට හේතුව දේශපාලනය හෝ ඔවුන් ගේ දේශපාලන මතයන් විය හැකිය. එසේ සිදු වීමට ඉඩ දිය නොහැකිය.”

මෙය වනාහි තමාට අවාසි සහගත උසාවි තීන්දුවකට විරුද්ධවන ලෙසට ද ඊට එරෙහිව ක්‍රියාකරන ලෙස ද එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් පොලිසියෙන් කරන ලද ඉල්ලීමකට අඩු දෙයක් නොවේ. ඔහු මෙය තවදුරටත් මෙසේ අවධාරනය කලේ ය. ”මා තෝරාපත් කරගැනීමට හේතුවු එක් කාරනයක් නම් නීතිය සහ පර්යාය සහ ආරක්ෂාව ය..... ඔවුන් අපේ ආයුධ එකින් එක අයින් කරදමමින් සිටිති. ඔවුන් කරන්නේ ඒකයි.”

ට‍්‍රම්ප් ගේ මේ කතා දෙක අතර අඟහරුවාදා රාත්‍රීයේ, ඩිමොක‍්‍රටික සෙනෙට් මන්ත්‍රීනි එලිසබත් වොරන්, ජාතියේ ප‍්‍රධාන නීති නිලධරියා ලෙස සෙනෙට් මන්ත්‍රී ජෙෆ් සෙශන්ස් නම් කිරීමට විරුද්ධව කතා කරමින් සිටියදි එක්සත් ජනපද සෙනෙට් මන්ඩලයේ රිපබ්ලිකානු මන්ත්‍රීහු ඇගේ කතාව නැවත්වීමට බලකිරීමේ අත්‍යසාමාන්‍ය පියවරක් ගත්තෝය.

ඒ වනවිට වොරන් කියවමින් සිටියේ, සෙශන්ස් මධ්‍යම ෆෙඩරල් ආන්ඩුවේ විනිසුරුවෙකු ලෙස පත්කිරීමට එරෙහිව සෙනෙට් අධිකරන කමිටුවට ආචාර්ය මාටින් ලූතර් කිං (කනිෂ්ට) ගේ භාර්යාව වූ කොරෙටා ස්කොට් කිං විසින් 1986 දී ඉදිරිපත් කරන ලද ලිපියකි. වොරන් ට බාධාකිරීම සඳහා, ”සෙනෙට් මන්ත්‍රීවරයකුට- නොහොබිනා කුමන හැසිරීමක් වුව සෙනෙට් මන්ත්‍රීවරුන් විසින්, තවත් සෙනෙට් මන්ත්‍රීවරයෙකුට පැටවීම වලක්වා ලන” අප‍්‍රසිද්ධ නීතියක් මතු කරගත් රිපබ්ලිකානු සෙනෙට් මන්ත්‍රීවරු කථාව නවත්වා ඉඳගන්නා ලෙස ඇයට නියම කලහ.

මෙම මුකවාඩම් නීතිය මතු කර ගැනීම ඒ හැටියෙන් සිහියට නංවන්නේ, කොංග‍්‍රසයේ මන්ඩල දෙකේම මන්ත්‍රීවරුන් නීතිදායක සභාවේ ගර්භය තුල දී වහල් සේවය පිලිිබඳ ව කතා කිරීම වැලැක්වීමට සිවිල් යුද්ධයට පෙර පනවාගෙන තිබුනු නීතියයි. වහල් සේවය පිලිබඳව කතාකිරීම එකල තහනම් කරන ලද්දේ එම ප‍්‍රශ්නය එතරම්ම පුපුරන සුලු එකක් බවට පත්වී තිබුනු නිසාය.

මෙම සිද්ධීන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රයේ අතිමූලික ආකෘතින් ගෙන් ප‍්‍රචන්ඩ ලෙස බිඳී වෙන්වීමකි. පලමු වැන්න ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රථම සංශෝධනය විසින් ආරක්ෂිත පුවත් මාධ්‍යය ඉලක්ක කරගති. දෙවැන්න, ව්‍යවස්ථාව අනුව පාලන තන්ත‍්‍රයේ ”එකසමාන” වූ අංශවලින් එකක් වන අධිකරනයට එල්ලකල පහරකි. තුන්වැන්න කොංග‍්‍රසය තුල විවාදය ගොලු කිරීමේ පියවරක් විය.

මෙහිදී ඩිමොක‍්‍රටික් පක්ෂය ගත් ආස්ථානය බරපතල අර්ථභාරයක් දරයි. වොරන් ට ඉඳගැනීමට නියම කරනලද කල්හි, ඇය ඊට කීකරු වූවා ය. මුකවාඩම් නීතිය වැලැක්වීමට කිසිදු ඩිමොක‍්‍රටිකයෙක් ඉදිරිපත් වූයේ නැත. වාදය බදාදා මුලු දිනය පුරාම පැවැත්වුනු අතර මීලඟ නීති-පති හැටියට ජෙෆ් සෙශන්ස් ගේ පත්වීම චන්ද 52ට-47 කින් අනුමත විය.

මිලිටරිය සහ පොලිසිය ඉදිරියේ ට‍්‍රම්ප් කල කතා වලට, එතරම් ප‍්‍රසිද්ධියක් දෙනු නොලැබූ අතර, නැතහොත් ඒවා මුලුමනින්ම නොතකා හරිනලද අතර ඒවායේ දුෂ්ඨ ඇඟවීම් වසං කරනලදි.

පාලක පන්තිය තුල සැලකිය යුතු දේශපාලන මතභේද පැවතුන ද ඒවා සංකේන්ද්‍රනය වී ඇත්තේ විදෙස් පිලිවෙත තුලය. වොරන් ද ඇතුලු ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප් ගේ විවිධ අන්ත දක්ෂිනාංශික කැබිනට් පත්වීම් පිලිිබඳව පුහු විරෝධතා දක්වා ඇති නමුත්, එම පත්කිරීම් වැලක්වීමට ඔවුන් කරපු දෙයක් නැත.

අලුත් ජනාධිපති ට එරෙහිව ඔවුන්ගේ ප‍්‍රහාර වල ප‍්‍රධාන එල්ලය වී ඇත්තේ රුසියාව යකෙකු යයි මවා පෙන්වමින්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට ඕනෑවට වඩා ලං වී ඇතැයි ට‍්‍රම්ප් හෙලාදැකීම ය.

ප‍්‍රධාන වශයෙන්ම මොවුන් කතාකරන්නේ, ට‍්‍රම්ප් ආක‍්‍රමනකාරී රුසියානු පිලිිවෙතින් ඉවත්ව යතැයි කනස්සල්ලට පත්ව සිටින, හිලරි ක්ලින්ටන්ගේ ව්‍යායාමයට ආධාර කල මිලිටරි-බුද්ධි අංශවල කොටස් වෙනුවෙනි. අලුත් පාලනාධිකාරය දැනට යොමුවී ඇත්තේ චීනයට සහ ඉරානයට එරෙහිව යුද ගිනි අවුලුවා ගැනීමටය.

ට‍්‍රම්ප්ගේ විෂ ප‍්‍රහාරයේ ක්ෂනික අරමුන වී ඇත්තේ සංස්ථාපිතය තුලම ඉන්න ඔහුගේ විවේචකයන් වන අතර ඔහුගේ අතිමූලික ඉලක්කය නම් කම්කරු පන්තියයි. ඔහු කම්කරු පන්තික විරෝධයට එරෙහිව සුදානම් කරන විධික‍්‍රම මීට වඩා බෙහෙවින් ප‍්‍රචන්ඩ ය. ඔහු බදාදා කල කතාව වනාහි, පොලිස් බලතල පාවිච්චියට පැනවී ඇති සකල සීමා ඉවත් කරන බවට දෙන ලද සපථයකි. ”මගේ පනිවුඩය නම් දැන් ඔබට ධවල මන්දිරයේ සැබෑ මිතුරෙක් ඉන්නා බවය.” ඔහු තවදුරටත් මෙසේද කීය, මම අපේ පොලිසියට ආධාර කරමි. මම අපේ මුලාදෑනීන් ට සහාය දෙමි. අපි අපේ නීති ක්‍රියාත්මක කරන පිරිමින්ට සහ ගැහැනුන්ට ආධාර කරමු.”

ට‍්‍රම්ප් පාලනය, ඇමරිකානු කතිපයාධිකාරය එහි සාතිශය නිර්දය භාවයෙන් නියෝජනය කරයි. බිලියනපතියන් සහ හමුදා පතියන් ගෙන් පිරුනු ඔහුගේ පාලනාධිකාරය අධිෂ්ඨාන කරගෙන ඉන්නේ, එක්සත් ජනපදය තුල සමාජ ප‍්‍රතිවිප්ලවය උග‍්‍ර කරන ගමන් ම, මහා යුද්ධයක් සඳහා සුදානම් වනු වස් මිලිටරිය දැවැන්තව පුලුල් කිරීමටය. මෙයට සෞඛ්‍ය සේවා කපා දැමීම, පොදු අධ්‍යාපනය වනසා දැමීම සහ මහා සංගතවල ලාභ වලට පවත්නා සකල සීමා අහෝසි කිරීම ඇතුලත් ය. මේ පිලිවෙත ක්‍රියාත්මක කිරීමට නම්, ඉතාමත්ම මූලික ප‍්‍රජාතන්ත‍්‍ර ආකෘතින් පවා ඉවත දැමිය යුතු වේ.

ට‍්‍රම්ප් පාලනය වනාහි සාමන්‍යයෙන් සෞඛ්‍යසම්පන්න වූ සමාජයක් තුල පැනනැගී අහම්බ විකෘතියක් නොවේ. එය වනාහි ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රය තුල දිග්ගැසුනු අර්බුදයක පරිසමාප්තිය යි. ශ්‍රේෂ්ඨාධිකරනය 2000 වර්ෂයේ දී ජනාධිපතිවරනයට මැදිහත් වෙමින් ෆ්ලොරීඩාවේ ඡන්ද යලි ගනන් කිරීම නවතා, ජෝර්ජ් බුෂ්ගේ අතට ජනාධිපති පදවිය පවරාදුන් කල්හි, උසාවියේ එම තීන්දුව ද ඊට ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් කිසිදු විරෝධයක් ඉදිරිපත් නොවීම ද පෙන්නුම් කලේ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උදෙසා මොනයම්ම හෝ බැරැරුම් අභිලාශයක් පාලක පන්තිය තුල නො පවත්නා බව යයි ලෝක සමජවාදී වෙබ් අඩවිය නිගමනය කලේ ය.

පසුගිය සොලොස් වසර මෙම විශ්ලේෂනය සනාථ කර තිබේ. බුෂ් යටතේ 2001, සැප්තැම්බර් 11 ප‍්‍රහාර, ”ත‍්‍රස්ත විරෝධී යුද්ධයක්” ප‍්‍රකාශ කිරීමට සහ විදේශයේ නොනවතින යුද්ධයක් ද සමග එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ට උග‍්‍ර ප‍්‍රහාර එල්ල කිරීම බද්ධ කිරීම යුක්ති සහගත කිරීමට යොදාගන්නා ලදී. ඔබමා කලේ, කිසිසේත්ම මෙම වැඩ සටහන් අත්හිටුවීම නොව, ඒවා පුලුල් කිරීම ය. එක්සත් ජනපද පුරවැසියන් නඩු නොවිමසා ඝාතනය කිරීමේ අයිතිය ජනාධිපති අත තහවුරු කිරීමය.

දැන් ට‍්‍රම්ප් බලයට පත් වීමත් සමග, විවෘත ඒකාධිපති වැඩසටහන් සැකසෙමින් තිබේ.

විප්ලවවාදී තත්වයක් සැමවිටම පැනනගින්නේ, සාම්ප‍්‍රදායික පාලන ආකෘතීන් ප‍්‍රචන්ඩව බිඳ වැටීමකිනි. තවදුරටත් පාලක පන්තිය ට පැරනි පුරුදු ආකාරයට පාලනය ගෙනයා නොහැකිය; එසේම කම්කරු පන්තියට පැරනි ආකරය ට ජීවත් වීම ද කල නොහැකිය. අද මේ තත්වයන් දෙකම පවතිනවා පමනක් නොව බෙහෙවින් උග‍්‍රව ද ඇත.

කේන්ද්‍රීය මූලෝපායික ප‍්‍රශ්නය වනාහි, පාලක පන්තියේ සියලු දේශපාලන නියෝජිතයින් ට එරෙහිව සටන් වදිමින්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය යුද්ධයට එරෙහි අරගලය ද අසමානතාව හා ධනේශ්වර ක‍්‍රමයටම එරෙහි අරගලය ද සමග ඒකාබද්ධ කරන්නා වූ ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුල ගොඩ නැගීම වේ.

ජෝසප් කිෂෝර්

Share this article: