ආගාමිකයන්ට එරෙහි ප්‍රහාර නවත්වනු!
විවෘත දේශසීමා, සියලු කම්කරුවන්ට පූර්න අයිතිවාසිකම් තහවුරු කරන සමාජවාදී පිලිවෙතක් සඳහා සටන් වදිනු!

Stop the attacks on immigrants! For a socialist policy of open borders and full rights for all workers!

2017 පෙබරවාරි 11

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජපන් අගමැති ශින්සෝ අබේ සමග පැවැත්වූ ඒකාබද්ධ පුවත් සාකච්ඡාවක දී, තමා පැනවූ මුස්ලිම් විරෝධී සංචාර තහනම ප‍්‍රමාද කිරීමට උසාවිය දී තිබෙන තීන්දුව නොතකා, සංක‍්‍රමනිකයන්ට එරෙහි ප‍්‍රහාරය දිගටම ගෙන යන බව පැහැදිලි කලේය.

”අපේ රටට උග‍්‍ර තර්ජනයන්” එල්ලවී තිබෙන බව ප‍්‍රකාශකල හෙතෙම, මුස්ලිම් බහුතර රටවලින් එන සංචාරකයන් ”උපරිම පරීක්ෂනයට” බඳුන් කල යුතුය යි තමා කර ඇති නියමය යලි අවධාරනය කරමින් දැඩි ලෙස පැවසුවේ, ”අපේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය දේ දිගටම කරගෙන යන්නෙමු” යනුවෙනි. එලඹෙන සතියේ නව පියවර ප‍්‍රකාශයට පත් කරන බවට ද ඔහු පොරොන්දු විය.

සිය ෆැසිස්ට්වාදී දේශපාලන උපදේශක ස්ටීවන් බැනන් ද සංක‍්‍රමනිකයන්ට එරෙහි අන්ත දක්ෂිනාංශික උසිගන්වන්නෙකු වන, දැන් නීතිපති ධුරයට පත් කර සිටින ජෙෆ් සෙෂන්ස් ද සමග මෙම පාලනාධිකාරය, දැනටම ලියවිලි රහිත කම්කරුවන් ට එරෙහි ගස්ටාපෝ වර්ගයේ ප‍්‍රහාරයක් ආරම්භ කර තිබේ. එම පිලිවෙත මෙක්සිකෝ දේශසීමාව දිගේ තාප්පයක් ඉදිකිරීමට ජනවාරි 25දා දුන් නියෝගයකින් ට‍්‍රම්ප් විසින් ගෙනහැර දක්වා තිබුනි.

පුවත් මාධ්‍ය විසින් යාන්තමින් පමනක් සඳහන් කරනු ලබන එම නියෝගය යටතේ, සිර භාරයට ගෙන කෙලින්ම රටින් පලවාහරිනු ලබන, ලියවිලි රහිත කම්කරු කොටස් නාටකීය ලෙස වැඩි කරන අතර මෙම නියෝගය, අපරාධයක් කර ඇතැයි හුදෙක් සැකයට ලක්වුවන්ට ද බලපාන පරිදි පුලුල් කෙරේ. දේශසීමා මුර සේවය පලල්කොට දැඩි කරන අතර සංක‍්‍රමනිකයන් සිරභාරයට ගැනීම සඳහා මෙතැන් පටන් ප‍්‍රාදේශීය පොලිසිය යොදා ගැනීමට ද විධි විධාන පනවා ඇත. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ සංක‍්‍රමනිකයින් සිරකොට තබන අලුත් කඳවුරු මාලාවක් තැනීම ද එයට ඇතුලත් ය.

එහි ඉලක්කය, මිලියන 8ක් ජනයා මහා පරිමානයෙන් අත්අඩංගුවට ගෙන පිටුවාහල් කිරීම සඳහා අවශ්‍ය පාදක ව්‍යූහයන් ගොඩනැගීමයි.

ට‍්‍රම්ප්ගේ සංචාර තහනමට පහල උසාවියක් මගින් පනවන ලද වාරනය තහවුරු කරමින්, එක්සත් ජනපද අභියාචනාධිකරනය දුන් තීන්දුවට දිනකට පෙර පසු ගිය බදාදා, ඇරිසෝනාවේ ෆීනික්ස් නගරයේ ආගමන පාලක පොලිසිය, එක්සත් ජනපදය තුල අවුරුදු 21 ජිවත්වී සිටි 36 වියැති, දරුවන් දෙදෙනෙකු ගේ මවක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කලේ ය. පොලිසිය ඇය අත්අඩංගුවට ගත්තේ, සුපුරුදු ලෙස ප‍්‍රදේශයේ ආගමන කාර්යාලයට ගිය අවස්ථාවක ය. එපමනක් නොව මේ සතිය තුල ලොස් ඇන්ජලිස් නුවර සංක‍්‍රමනිකයන් පිලිබඳ පොලිසිය, කම්කරුවන් 160 ක් අල්ලා ගෙන බස්රථ වලට නග්ගා මෙක්සිකෝවේ ටිජුවානා නගරයට පිටුවහල් කලේ ය.

ට‍්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී තහනම පිලිබඳව දේශපාලන සංස්ථාපිතය තුල පැනනැගී ඇති වත්මන් මත ගැටුමේ දී, මහා ව්‍යාපාරික පක්ෂ දෙකම හෝ මහා සංගත පාලිත මාධ්‍ය හෝ සංක‍්‍රමනිකයන් ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා සප‍්‍රතිපත්තික ආස්ථානයක් ගෙන නැත. ”නිල විවාදයේ මුලු රාමුව ම ප‍්‍රතිගාමී ය; එය ඊනියා ”නීති විරෝධී පිටස්තරයන්” බියගන්වා, සිරගතකොට පිටුවහල් කිරීමට රාජ්‍යයට අයිතියක් ඇතැ යි පිලිගනී. ට‍්‍රම්ප් ගේ සංක‍්‍රමන විරෝධී පිලිවෙතට ඩිමොක‍්‍රටිකයන් ගේ විවේචන එල්ල වන්නේ එය ”ත‍්‍රස්ත විරෝධී යුද්ධයට” ද ව්‍යාපාරවලට ද පාඩු සිදුකරන්නේය යන කාරනය උඩ ය.

ට‍්‍රම්ප්ගේ අනෙකුත් දක්ෂිනාංශික පිලිවෙත් මෙන්ම සංක‍්‍රමනිකයන් ට එරෙහි යුද්ධය ද පූර්ව ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පාලනාධිකරයන්ගේ පිලිවෙත් දිගටම පවත්වාගෙන යාමක් ද උග‍්‍ර කිරීමක් ද වේ. ඔබාමා සංක‍්‍රමනිකයන් මිලියන 2.5ක ට වැඩි සංඛ්‍යාවක් පිටුවහල් කලේය. මෙය ඊට පෙර සියලු එක්සත් ජනපද ආන්ඩු විසින් පිටුවහල් කරනලද සමස්ත සංඛ්‍යාව ට වඩා වැඩිය.

කවරෙක් වුව මතු නොකරන කරුන නම්, ලෝකයේ භයානකම මිලිටරි මුරකාවල් සහිත දේශ සීමාවක් පැන ඒමට මධ්‍යම ඇමරිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජනයා පෙලඹෙන්නේ, කර්කෂ දිලිඳු කම ද මිනීමරු ප‍්‍රචන්ඩත්වය ද විසින් බවත්, ඒවා වනාහි වොෂිංටනය ඇටවූ ඒකාධිපතිත්වයන් තුලින් ද ක්‍රියාත්මක කරනු ලබන එක්සත් ජනපද අධිරාජ්‍යවාදී පීඩනයේ විපාක බවත් ය.

සංක‍්‍රමනිකයන්ට ට‍්‍රම්ප් එල්ල කරන ප‍්‍රහාරය, ගෝලීය ප‍්‍රපංචයක කොටසකි. උතුරු ඇමරිකාවේ පටන් යුරෝපය සහ ඕස්ට්‍රේලියාව දක්වා ධනපති ආන්ඩු, තමන්ගේ ම පිලිවෙත් වලින් පැනනගින රැකියා හා ජීවන තත්වයන්ගේ විනාශයට, වඩාත් ම දිලිඳු සහ දුබල කම්කරුවන් දඩමීමා කරගැනීමට දරන දුෂ්ට ප‍්‍රයත්නයේදී, ලෝකය පුරාම සංක‍්‍රමනිකයෝ උග‍්‍ර ප‍්‍රහාර වලට ලක් වන්නාහ.

මැදපෙරදිග සහ වෙනත් ප‍්‍රදේශවල නව යටත් විජිතකරනයේ හා කොල්ලයේ යුද්ධයට ව්‍යාජයක් ලෙස යොදාගැනුනුු ඊනියා ”ත‍්‍රස්ත විරෝධයේ” පසලොස් වසර විසින්, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දරුනුම සරනාගත අර්බුදය නිර්මානය කරනු ලැබ ඇත. තම රටවල් තුල එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් සිදු කරන මහා ඝාතන සහ විනාශයෙන් මිදී පලා ආ මිලියන ගනන් ජනයාට, යුරෝපීය ආන්ඩු වලින් ලැබී ඇත්තේ තාප්ප, කටුකම්බි සිර කඳවුරු සහ වර්ගවාදී උසිගැන්වීම් ය. බලකොටු යුරෝපය තුල ක්‍රියාත්මක කරන සරනාගත විරෝධී බාධක නිසා දහස් ගනන් ජනයාගේ ජීවිත දිනපතා මහ මුහුද ට බිලි වේ.

සංක‍්‍රමනිකයන් මහාපරිමානයෙන් වධ බන්ධනයට ලක් කිරීම ද උතුරා යන ජාතිකවාදී සහ ජාත්‍යෝත්තමවාදී වසවිස ද ධනේශ්වර පර්යායේ මාරාන්තික අර්බුදයට ජාත්‍යන්තර ධනේශ්වර පන්තිය දක්වන ප‍්‍රතිචාරය පෙන්නුම් කරයි. සෑම රටකම ධනේශ්වර පන්තිය සිය තරඟකාරයන්ගේ වියදමින් තම තමන්ගේ අර්බුදය විසඳාගැනීමට කැසකවන ගමන්, සිය රටවල කම්කරු පන්තිය ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන කල්හි, වානිජ බාධක ගොඩ නැගීම සහ වෙලඳ හා මූල්‍ය යුද්ධ අලුතින් පුපුරා යාම මෙම ක්‍රියාදාමය සමග අතිනත් ගනී.

විසිවන සියවසේ ඉතිහාසය පෙන්නුම් කරන පරිදි, මෙය වනාහි ලෝක යුද්ධයට පූර්විකාව යි. අවපාතය, ජනතාව මත කප්පාදු පැටවීම, ආර්ථික ජාතිකවාදය, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රයේ බිඳවැටීම, ඒකාධිපතිත්වය කරා යොමුවීම යන මේ සියල්ල යලිත් වරක් ඉස්මතු වෙමින් තිබේ. ධනවාදය කුනුවීමේ දුගඳ ම ප‍්‍රකාශනය නම් සංක‍්‍රමනිකයන්ට සලකන අන්දමයි.

1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි ලියූ දෙය ඉතා සුලු අලුත් කිරීමකින් යුතුව වර්තමාන තත්වය විස්තර කිරීමට ද යොදාගත හැකිය: ”ජරපත්වන ධනේශ්වරයේ ලෝකයට වැඩිවන ජනගහනය දරාගත නොහැකි ව තිබේ. එක්සත් ජනපදය වැනි ලෝක බලවතෙකුට සරනාගතයන් කිහිප සියයක් වැද්ද ගැනීම මහා ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත. ගුවන් ගමන්, විදුලි පනිවුඩ, රේඩියෝ, රූපවාහිනි යුගයේදී, පාස්පෝට් සහ වීසා වලින් රටින් රට ගමන දුෂ්කරවී ඇත. ජාත්‍යෝත්තමවාදයේ ද විශේෂයෙන්ම යුදෙව් විරෝධයේ ද මේ යුගය, විදේශ වෙලඳාම ද දේශීය වෙලඳාම ද දිරාපත් වීමේ යුගය ද වෙයි. මහාපොලව පමනක් නොව අවකාශය ද මිනිසා සඳහා දිනා ගෙන තිබෙන, භූමි ප‍්‍රදේශ පුලුල් වීම සහ තාක්ෂනයේ ආශ්චර්යයන් ද මධ්‍යයේ අපගේ ග‍්‍රහලෝකය, දුගඳ සිර ගෙයක් බවට පත් කිරීමට ධනේශ්වරය කටයුතු කර තිබේ.”

සංක‍්‍රමනිකයන් මුර්ග ප‍්‍රහාරවලට ලක් කිරීම වනාහි, ධනේශ්වරය ගැටගැසී ඇති ජාතික රාජ්‍ය පර්යායේ රුදුරුම ප‍්‍රකාශනයන් ගෙන් එකකි. ආර්ථික ජීවිතයේ ගෝලීකරනය ද ලෝක ජනතාව තාක්ෂනිකව ඒකාග‍්‍ර කිරීම හා අන්තර් ජාල සංදේශන විප්ලවය ද ප‍්‍රවාහනයේ නව වර්ධනයන්ද දේශාන්තර නිෂ්පාදන ජාල තුල ලෝකය පුරා කම්කරුවන් එකට සම්බන්ධ කිරීම ද යනාදිය - ට්‍රොට්ස්කිගේ සමයට වඩා බොහෝ ඈතට අද දින වර්ධන වී තිබේ.

එහෙත් නිෂ්පාදන බලවේගයන්ගේ සහ ලෝක ජනතාවගේ ජීවන තත්වයන් හි යෝධ ප‍්‍රසාරනයක් උදෙසා උපයෝගි කර ගත හැකිවන මෙම විප්ලවකාරී වෙනස්කම්, වත්මන්හි යොදා ගෙන ඇත්තේ, කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කිරීමට ද පාලක ප‍්‍රභූවගේ දැනටම අසික්කිත ධන සම්භාරය තව තවත් තරකර ගැනීමට ද ජාතික ඝට්ටන උග‍්‍ර කොට ලෝක යුද්ධයක් කරා ධාවනය කිරීමට ද වේ. ලෝකය පුරාම ආන්ඩු සංක‍්‍රමනිකයන්ට එරෙහි වෛරය වගාකොට, කම්කරු පන්තිය භේදකොට, කම්කරුවන්ගේ දුක් කරදර වලට සැබෑ හේතුව වූ ධනේශ්වර ක‍්‍රමයෙන් අවධානය ඉවතට යොමු කිරීම සඳහා, සංක‍්‍රමනිකයන් කෙරේ වෛරය වගා කරමින් සිටිති. සමාජවාදී සමානතා පක්ෂයත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් ආගමනය පිලිබඳ නිල සාකච්ඡාවේ සම්පූර්න රාමුවම ප‍්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට අපි, සංක‍්‍රමනික කම්කරුවන් මුහුන දී සිටින අර්බුදයට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විසඳුමක් ඉදිරිපත් කරමු. එය පදනම් වී ඇත්තේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායික ඉදිරිදර්ශනය මත ය.

ලෝකයේ සෑම ප‍්‍රදේශයකම කම්කරුවන්ට තමන් තෝරා ගන්නා ඕනෑම රටක් තුල, රැකියාවක් කිරීම ද රටින් පිටමං කිරීමේ හා මර්දනය පිලිබඳ බියෙන් තොරව සංචාරය කිරීම ද සහිතව සම්පූර්න පුරවැසි අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමට අයිතිය තිබිය යුතු යයි අපි කියා සිටිමු.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන ඇරඹිය යුත්තේ රටතුල උපන් කම්කරුවන් සහ සංක‍්‍රමනික කම්කරුවන් බෙදාලීම ට දැරෙන සකල උත්සාහයන් ප‍්‍රතික්ෂේප කිරීමත් සමගය. ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් නොව මුලුලෝකයේ ම කම්කරුවන්ට, ගෝලීයව සැරිසරන ධනේශ්වර සංගතවලට එරෙහිව සාර්ථකව සටන් වැද ලෝක ධනේශ්වර අර්බුදය ට තමන්ගේ ම ස්වාධීන විසඳුම ලබාදිය හැක්කේ, ජාත්‍යන්තරව එක්සත් වීම තුලින්ම පමනි. එම විසඳුම වනාහි පුද්ගලිකව ලාභ ගැරීම සඳහා නොව, සමාජ අවශ්‍යතා සපුරා ලීම සඳහා ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමයි.

බැරි ග්‍රේ

Share this article: